ඔවුන් සූදානම්, ඔබ සූදානම් ද ?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහමට අනුව මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ පුස්තකය නොහොත් දිව්‍ය පුස්තකය වන්නේ ‘අල්-කුර්ආනය’යි. මෙය මුස්ලීම්වරුන්ගේ පිලිගැනීමට අනුව දිව්‍යමය අනපනත් හා නීතිරීති අන්තර්ගත ශුද්ධ වූ ග්‍රන්ථයකි. මෙය ලොවපුරා වෙසෙන මුස්ලීම්වරුන් දැඩි ගෞරවයෙන් හා භක්තියෙන් ආරක්ෂා කරන පාරායනය කරන ග්‍රන්ථයකි. මුස්ලීම් සමාජයේ තිබෙන මේ ගෞරවය හා ආකර්ශණය නිසාම ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් මුස්ලීම් සමාජය රිදවීමටත්, ඉස්ලාම් දහම අපහස කිරීමටත්, යොදාගන්නා සරල ක්‍රමවේදය වන්නේ මේ ශුද්ධ වූ කුර්ආනයට අපහස කිරීමයි. මේ තත්වය කලින් කලට ලොවපුරා විවිධ ප්‍රදේශවලින් වාර්ථා වීම ඔබට අළුත් කාරණයක් ද නොවනු ඇත. මෙය ජාත්‍යන්තරයේ පමණක් නොව අප ර‍ට තුලද වාර්ථා වූ අවස්ථාවන් නැතුවා නොවේ. සමීපතම අවස්ථාවක් ලෙස පසුගිය 2014/06/15 දින සිංහල ජාතිවාදීන් පිරිසක් විසින් අළුත්ගම හා ඒ අවට මුස්ලීම්වරුන්ට අයත් දේපල ගිනිතැබීමේදී (මාගේ මතකයේ හැටියට) වැලිවිටිය එක්තරා නිවසක තිබූ ශුද්ධ වූ කුර්ආන් හා අනිකුත් ආගමික ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් සාලය මැද ගොඩගසා ගිනිබත් කර තිබීම සදහන් කලහැත. මෙය එම ප්‍රදේශයේ සැරිසැරූ මා ඇතුළු සියළුදෙනාගේ හඳ කම්පා කරවන දසුනක් ද විය.

කෙසේ නමුත් මුලින්ම එක් කාරණයක් මෙතැනදී පැහැදිලිව සදහන් කලයුතුව ඇත. එනම්, මෙවැනි පහත් ක්‍රියාවන් තුලින් කිසිවකු ඉස්ලාම් දහම හා මුස්ලීම් සමාජය දුර්වල කලහැකි හෝ විනාශ කලහැකි යයි සිතන්නේ නම් එය මුලාවක් මෙන්ම සිහිනයක් පමණි. මෙය අල්ලාහ් (දෙවි) ඉතා අලංකාරව ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ පවසයි.

අල්ලාහ් (දෙවි)ගේ ආලෝකය ඔවුන්ගේ මුවින් නිවා දමන්නට ඔවුහු අදහස් කරති. අල්ලාහ් එයට ඉඩ නොතබයි. ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද ඔහු තම අලෝකය පරිපූර්ණ කරන්නේමය.

ශුද්ධ වූ කුර්ආනය 9-32

ලොව පවතින අනිකුත් දහම් පුස්තකයන් මෙන් නොව ශුද්ධ වූ කුර්ආනය ආකාර ගණනාවකින් ලොව තුල ආරක්ෂා වී ඇත. විශේෂයෙන් එය වනපොත් කොට ඇති පිරිස ඉතා විශාලය. මේ මොහොතේ ලොව තිබෙන සියළු ශුද්ධ වූ කුර්ආන් ග්‍රන්ථ විනාශ කලත්, ඊලඟ විනාඩියේ ශුද්ධ වූ කුර්ආනය ලිවිය හැකි එය වනපොත් කල කුඩා දරුදැරියන් සෑම ගමක් ගමක් පාසාම විශාල සංඛ්‍යාවක් ඇත. මේ මා පවසන්නේ විදේශ රටවල තත්වය නොව අප රටේ සෑම ගමක නගරයකම පහසුවෙන් දැකිය හැකි තත්වයයි. මෙවැනි පසුබිමක සමහරක් අන්තවාදී විටෙක මානසික විකෘතිතාවයෙන් පෙලෙන පිරිස් ශුද්ධ වූ කුර්ආනය විනාශ කිරීමට ගන්නා උත්සාහය ඉහත 9-32 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) පවසනවා සේ අල්ලාහ් (දෙවි)ගේ ආලෝකය මුවින් පිඹ නිවන්නට ගන්නා අසාර්ථක උත්සාහයක් පමණි. ඔවුන්ගේ මානසික විකෘතිතාවය කොතරම් ද යන්න වටහා ගැනීමට කෙටි වීඩියෝවක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

මෙවැනි ක්‍රියාවන් මුස්ලීම් සමාජය කම්පා කරවන එකක් වූවත්, එයින් ඉස්ලාම් දහමට හෝ මුස්ලීම් සමාජයට කිසිදු හානියක් අත් නොවන බව මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන සමාජය පැහැදිලිව වටහා ගතයුතුය. මේ හේතුව නිසා මෙවැනි ක්‍රියාවන් මුස්ලීම්වරුන් නොසලකා හැරිය යුතුයි යන්න මෙයින් අදහස් නොකරමි. එසේම මෙවැනි පහත් ක්‍රියාවන්ට එරෙහිව අන්තවාදී හෝ ආවේගකාරී ක්‍රියාවන්ට යොමුවීම ද මුස්ලීම්වරුන් නොකලයුතුය. ඔබ බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ලොවපුරා වර්ධනය වෙමින් තිබෙන, නිතර නිතර වාර්තා වන මෙම විකෘති පහත් ක්‍රියාවන් සැබැවින්ම ඉස්ලාම් දහමටත්, මුස්ලීම්වරුන්ටත් වෙස්වලාගත් ආශිර්වාදයකි. මා එසේ පවසන්නට හේතුව මෙවැනි පහත් ක්‍රියාවන් ලොවපුරා සංවිධානය වීම තුල සැබැවින්ම ‍මේ ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීම මොනවාද? යන්න විමසා බැලීමට බුද්ධිමත් සමාජය නැඹූරු වෙමින් ඇත. එසේනම් ඉහත ක්‍රියාවන් ඉස්ලාම් දහමත්, මුස්ලීම් සමාජත් වෙස්වලාගත් ආශිර්වාදයක්, භාග්‍යයක් යන්න පැහැදිලි වනවා නොවේද?. නමුත් මෙම භග්‍යය වඩාත් සපලදායි අන්දමින් මුස්ලීම් සමාජය දිනාගැනීමට නම්, මුස්ලීම්වරුන් අප විසින් ද කලයුතු අනිවාර්‍ය කාර්‍යයක් ඇත. ඒ ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමන් ඔවුන්ට වඩාත් සමීප කරවීමයි.

විශේෂයෙන් මීට දින කිහිපයකට පෙර මෙම අඩවිය තුලින් සාකච්චා කල ‘අබසරණ මීලඟ අදියර සදහා පිඹුරුපත් සැකසීම‘ යන ලිපිය තුල ඉදිරිපත් කල වීඩියෝවේ වැදගත් ස්ථානයක් මෙතැනදී ඔබේ විමසුමට ගෙන එන්නට අදහස් කරමි. එනම්, වර්ථමානයේ මේ රටේ සිංහල ජාතිවාදී බෞද්ධයන්ට නායතකත්වය දෙන ඥානසාර භික්ෂූන් වහන්සේ විසින් එහි දළදා මාලිගාව ඉදිරිපිට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ ‘අපි කුරානය ඉගෙන ගනිමු’ යන්නයි. මීට ඉහත මෙම අඩවිය තුල ‘දිව්‍ය වැකි කියන සාතාන්ගේ සහකරුවෝ‘ යන ලිපිය මඟින් සාකච්චා කලාසේ මුසාව හා උපකල්පනයන් පදනම් කරගෙන ‘ශුද්ධ වූ කුර්ආනයේ මෙහෙම තියෙනවා අරම තියෙනවා’ යයි නොපවසා අධ්‍යනයකින් අනතුරුව කථා කරන්නට ඉදිරිපත් වීම ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් වන අපට සතුටට කාරණයකි. නමුත් ඔවුන් සූදානම් වන තරමට මුස්ලීම්වරුන් වන අප සූදානම්ද? යන ප්‍රබල ගැටළුව අපේ පැත්තෙන් ඇති බව අප අමතක කලයුතු නැත. ‘ඔවුන් සූදානම් ඔබ සූදානම්ද?’ යන මෙම ලිපිය තුලින් ඔබේ අවදානය යොමු කරන්නේ ඒ පිලිබදවයි.

ඉස්ලාමයට එරෙහිවීමේ අදහසින් හෝ ශුද්ධ වූ කුර්ආනය අධ්‍යනය කිරීමට ඉස්ලාම් විරෝධීන් ඉදිරිපත් වනවිට ඒ සදහා ඔවුනට අවශ්‍ය පහසුකම් සලසාදීම මුස්ලීම්වරුන් වන අපේ යුතුකමකි. මන්ද ඔවුන් අතුරින් බොහෝ පිරිස් ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමන් පිලිබදව අනවබෝධයෙන් කටයුතු කරන බැවිණි. නමුත් අවාසනාවකට ශ්‍රී ලාංකීය මුස්ලීම් විද්වතුන්ට සාර්ථක ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථන ග්‍රන්ථයක් තවම ශ්‍රී ලාංකීය සිංහල භාෂාව හසුරුවන සමාජයට දායාද කිරීමට හැකි වී නැත. සිංහල භාෂාවෙන් ආගමික කරුණු හා පොදු කරුණු කථා කරන පිරිස් පවා ශුද්ධ වූ කුර්ආනයට වැඩි ඉඩක් ලබාදී කථා කරන තත්වයක් තවම දකින්නට නැත. විශේෂයෙන් සමාජ ජාල අඩවීන් හා අනිකුත් බ්ලොග් හා වෙබ් අඩවින් තුල ඉස්ලාමීය හැඟීම හා උනන්දුව ඇතුව සිංහල භාෂාවෙන් කටයුතු කරන බොහෝ පිරිස් දක්නට ලැබුණත් ඔවුන් ඒ තුල ශුද්ධ වූ කුර්ආනයට ලබාදී ඇති ඉඩ පිලිබදව සෑහිමකට පත්විය නොහැක… මෙවැනි පසුබිමක වර්ථමාන තත්වයට අප මුල සිට සූදානම් වියයුතුව ඇත. ඒ සදහා ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට නුවණනැස පෑදේවා! ශක්තිය හා දැනුම වර්ධනය වේවා! යන ප්‍රාර්ථනා ඇතුව අවසාන වශයෙන් ඒ සදහා ‘යහමඟ’ අඩවිය තුලින් ඉඟි සහ පහසුකම් කිහිපයක් ඔබට හදුන්වාදෙමින් හා යෝජනා කරමින් මේ ලිපිය සදහා විරාමය තබමි.

  • සාර්ථක පරිවර්ථනයක් සහිත පහසුවෙන් කියවිය හැකි ශුද්ධ වූ කුර්ආන් ග්‍රන්ථයක් සිංහල භාෂාවෙන් සමාජයට දායාද කරන්න උනන්දු වන්න.
  • අල්හම්දුලිල්ලාහ් !, ශුද්ධ වූ කුර්ආන් සිංහල mp3 ශ්‍රී ලාංකීය සමාජයට දායද කොට ඇත. එය හැකිතාක් මේ සමාජය තුල විසුරුවා හරින්න කටයුතු කරන්න.
  • අන්තර්ජාලය තුල ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථන වෙබ් අඩවි ගණනාවක් ඇත. ඒ අතර ‘යහමඟ’ අඩවිය ඉදිරිපත් කරන ‘ශ්‍රී-කුර්ආන්’ අඩවිය ද එකකි. මෙම අඩවීන් හැකිතාක් සමාජය තුල ප්‍රචාරය කරන්න.
  • සමාජ ජාල අඩවීන් තුල ශුද්ධ වූ කුර්ආන් පාඨයන් හැකිතාක් තම මිතුරන් අතර ප්‍රචාරය කරන්න.
  • විශේෂයෙන් facebook භාවිතා කරන පිරිසට තම ගිණුමට දැන් ශුද්ධ වූ කුර්ආනය එක් කල හැක. (බලන්න ‘යහමග’ facebook ගිණුම) ඔබත් ඔබේ facebook ගිණූමට ශුද්ධ වූ කුර්ආනය එක්කරන්න. (ඒ සදහා උපදෙස් මෙහි Click කොට කියවන්න)
  • ශුද්ධ වූ කුර්ආනය පිලිබදව එනම්, එහි ඉතිහාසය, ග්‍රන්ථාරූඩ වූ ආකාරය, එහි අන්තර්ගය, ආරක්ෂා වී ඇති ආකාරය… යනාදී කරුණු පිලිබදව සමාජයට කරුණු පැහැදිලි කරන්න. (මෙවැනි ලිපි කිහිපයක් යහමඟ අඩවිය තුල කියවන්න මෙහි Click කරන්න)
  • ශුද්ධ වූ කුර්ආන් පාඨ අලංකාර පෝස්ටර් ලෙස සමාජය තුල විසුරුවා හරින්න.

ඉහතින් මා ඉඟි හා උපකාර කිහිපයක් පමණක් යෝජනා කලත් ඔබේ හැකියාව හා නිර්මාණාත්මකභාවය අනුව ඔබේ විෂය පථය පුළුල් වේ. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් අවසානම වශයෙන් හදීසයක් තුලින් ඔබේ බුද්ධිමත් විමසුමට තවත් වැදගත්ම කාරණයක් ගෙනඑමින් මෙම ලිපිය අවසන් කරමි. එනම්,

එක්තරා අවස්ථාවක (මුහම්මද් (සල්) තුමාණන්ගේ බිරිද වන) ආයිෂා (රලි) තුමියගෙන් එක්තරා සමකාලීන (සහාභිවර)යෙකු ‘නබිතුමාණන්ගේ ජීවිතය (දෛනික ක්‍රියාවන්) කවර ආකාරයක් ගත්තේද?’ යනුවෙන් විමසන ලදී. එයට එතුමිය ‘එතුමාගේ දිවිය කුර්ආනයම විය’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍රය – බුහාරී

ඉහත ශුද්ධ වූ හදීසයට අනුව ඕනෑම මුසලීම්වරයෙකු සෑම ක්‍රියාවක්ම ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමට අනුකූල වියයුතු යන්න පැහැදිලිය. තවත් ආකාරයකට පවසනවා නම්, මුස්ලීම් සමාජය කුර්ආනීය සමාජයක් වියයුතු යන්න පැහැදිලිය. මෙයට තවත් හේතුවක් ද ඇත. එනම්, අපි ඉහතින් සදහන් ආකාරයට ඉස්ලාමීය ඉගෙන්වීමන් කුමක්ද? යන්න මුස්ලීම් නොවන ප්‍රජාවට අවබෝධ කරගැනීමට කොතරම් පහසුකම් සැලසුව ද ඔවුන්ගෙන් අතිබහුතරය මුලින්ම නිරීක්ෂනය කරන්නේ මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් කෙබදුද? යන්න පිලිබදවයි. මේ හේතුව නිසාද අප ශුද්ධ වූ කුර්ආනයට අනුව ජීවත්වීම අත්‍යඅවශ්‍යය. එසේ නොමැතිව ආගම දහම කටවාචලකමට තර්ක විතර්ක කරන්නත්, සමාජය තුල පොරක් වන්නටත් කිසිවකු යොදාගන්නේ නම්, නියත වශයෙන්ම මුස්ලීම් සමාජයට මේ උදාවී තිබෙන භාග්‍යය, මුස්ලීම් සමාජය විසින් අභාග්‍යයක් බවට පරිවර්ථනය කිරීමක් පමණි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම