කන්‍යාවියන් 72 කථාව විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රි ලාංකීය මුස්ලීම් නොවන සාමාන්‍ය ජනයාගෙන් ‘ඉස්ලාම් ගැන ඔබලා දන්නේ කුමක්ද?’ යන්න විමසා බලන්න. එවිට ඔවුන් බොහෝ විට ‘එය අරාබිකරයේ ආගමක්’, ‘කෲර නීති පවතින ආගමක්’, ‘අන්‍ය ආගමිකයන් නොරූස්සන ආගමක්’, ‘ත්‍රස්තවාදය උනන්දු කරවන ආගමක්’, (මෑතක සිට) ‘කන්‍යාවියන් දිනාගන්න මරාගෙන මැරෙන්න කියන ආගමක්…’ යනාදී වශයෙන් සෘනාත්මක මත ගණනාවක් පවසනු ඇත. අද වනවිට බටහිර ලෝකය වේගයෙන් පැතිරෙන ආගම් ඉස්ලාම් දහම ලෙස පැවතෙද්දි, අප වැනි රටවල්වල ඉහතින් සදහන් ආකාරයේ සමාජ මතවාදයන් දැඩිව පැවතීමට මූලික වු හේතුකාරණා පිලිබදව විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.

ඒ අනුව එසේ විමසා බැලීමේදී මෙම තත්වයට බලපාන හේතු කාරණා 03ක් දකින්නට ලැබේ. එනම්,

  • මුස්ලීම්වරුන් විසින් තම දහමේ ඉගෙන්වීමන් පිලිබදව නිවැරදි අවබෝධයකින් තොරව කරන වැරදි ක්‍රියාවන් හේතුවෙන් සමාජය තුල දහම පිලිබදව වැරදි මතවාදයක් නිර්මාණය වීම. (නිදසුනක් ලෙස ‘පාස්කු ප්‍රහාරය’)
  • මුස්ලීම් නොවන ජනයා දහමේ ඉගෙන්වීමන් අධ්‍යනය නොකොට විවිධ පාර්ශවයන් කරන ප්‍රකාශ හා මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් මත ඉස්ලාම් දහම පිලිබදව තීන්දු තීරණවලට එළඹීම. (නිදසුනක් ලෙස ‘ඉස්ලාම් කාන්තාවට නිදහසක් ලබා නොදෙයි’ යැයි පැවසීම)
  • ඉස්ලාම් දහමට හා මුස්ලීම්වරුන්ට එරෙහිව ක්‍රමණ්ත්‍රනකාරී ලෙස විවිධ මතවාද සමාජගත කිරීම. (නිදසුනක් ලෙස ‘ඉස්ලාම් මුස්ලීම් නොවන්නන් ඝාතනය කරන්න කියයි’ යන ප්‍රකාශය)

ඉහත කාරණා තුනම ඒකරාශි වු මෑතකාලීන අවස්ථාවක් ලෙස අද අපේ මාතෘකාව වන ‘කන්‍යාවියන් 72’ කථාව මෙහි සදහන් කලහැක. තවමත් අප සමාජය තුල විටින් විට කථාබහට ලක්වන මෙම ‘කන්‍යාවියන් 72’ කථාව පිලිබදව පැති කිහිපයක් ඔස්සේ මෙතැන් සිට අවදානය යොමු කිරීමට අදහස් කරමි. එනම්,

  • හූර්ලීයින් නොහොත් කන්‍යාවියන් පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද?
  • ත්‍රස්ත ක්‍රියාවක් කොට මරාගෙන මැරෙන පිරිසට කන්‍යාවියන් 72ක්ද?
  • පාස්තු ප්‍රහාරය නැවත හැරී බැලීමක්,
  • කන්‍යාවියන් 72ක් ලැබෙනවා කියන කථාව බොරුවක්ද?
  • කන්‍යාවියන් 72 අත්හරින්න සූදානම් නැති අපේ ඇත්තෝ

හූර්ලීයින් (Hoor Al Ayn)’ නොහොත් කන්‍යාවිය

ඉස්ලාම් දහම, මෙලොව යහපකම් කොට ස්වර්ගස්ථ වන ජනයාට ලැබෙන භාග්‍යයන් පිලිබදව අල්කුර්ආනයේ බොහෝ තැන්හි විස්තර කරයි. එවැනි එක් අවස්ථාවක් වෙත ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

   අල්ලාහ් (දෙවි)ගේ අවංක වහලුන් වන ඔවුනට (ස්වර්ගයෙහි) ඔවුනට ප්රනීත ආහාර ඇත. පළතුරු (ද ඇත.) ඔවුහු එහි ගෞරව කරනු ලබන්නෝය. සතුට පිරි භාග්යයෙන් යුත් ජන්නාහ්වන් (ස්වර්ගයන්) හි (ස්වර්ගවාසීන් වන) ඔවුහු මුහුණට මුහුණලා යහන්වල (ඇල වී) සිටිති. (මිදී යුෂ) උල්පත්වලින් ලැබෙන පානයෙන් පිරෙන කුසලාන ඔවුන් වටේ යනු ලබයි. එය පලිඟු මෙන් සුදු වන අතර පානය කරන්නන්ට සුමිහිරිය. ඔවුනට එයින් (ශාරීරික) උවදුරක් ඇති නොවෙයි. ඔවුන් එයින් මත් ද නොවෙයි. ඔවුන් සමග ලස්සන ඇස් බැල්මෙන් යුත් කන්‍යාවෝද වෙති. ඔවුන්ගේ (සම) බිත්තර සිවිය මෙන් ඉතා සියුමැලිය.

අල්කුර්ආනයේ 37-40 සිට 49

ඉහත වාක්‍යයන්ට අමතරව අල්කුර්ආනයේ තවත් බොහෝ තැන් හි මෙම ‘කන්‍යාවියන්’ පිලිබදව සදහන් වේ. එවැනි වාක්‍ය කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්, අල්කුර්ආනයේ 38-52, 44-51 සිට 55, 52-20, 55-56 සිට 58, 55-70 සිට 74, 56-22 හා 23, 56-37 සිට 40, 78-33… මෙම ‘හූර්ලීයින් (Hoor Al Ayn)’ නොහොත් කන්‍යාවියන් පිලිබදව ඉස්ලාමීය මූලාශ්‍රය වන අල්-කුර්ආනයේ පමණක් නොව අල්-හදීසයේ ද විස්තර කරයි. (ලිපිය දීර්ඝ වීම සැලකිල්ලට ගෙන මෙහි එම හදීසයන් ඉදිරිපත් නොකරමි). මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, ස්වර්ගයේ වෙසෙන මෙම ‘කන්‍යාවියන්’ පිලිබදව කථා කරන ලොව එකම දහම ඉස්ලාම් නොවේ. සෑම දහමක ම වාගේ මෙම විෂය අඩු වැඩි වශයෙන් සාකච්චා කරයි. වෙනසකට ඇත්තේ එහි භාවිතා කරන නම්වල පමණි. එනම්, සුරංගනාවියන්, දේවදුතියන්, සුරදූතියන්, සුරඹුන්, ලලනාවියන්… එවැනි නම් කිහිපයකි.

මේ අනුව ඉස්ලාම් දහම ‘හූර්ලීයින් (Hoor Al Ayn)’ නොහොත් කන්‍යාවියන්’ පිලිබදව කථා කරනවා යන්න අවිවාදයෙන් පිලිගතයුතු කාරණයකි. දැන් මතුවන මීලඟ පැනය වන්නේ ‘ත්‍රස්ත ක්‍රියාවක් කොට මරාගෙන මැරෙන පිරිසට කන්‍යාවියන් 72ක’ පොරොන්දුවක් ඉස්ලාම් ලබාදෙන්නේද? යන්නයි.

ත්‍රස්ත ක්‍රියාවක් කොට මරාගෙන මැරෙන පිරිසට කන්‍යාවියන් 72ක්ද?

මෙම මාතෘකාව වෙත යොමුවීමට ප්‍රථම අල්කුර්ආනයේ ඉගෙන්වීමක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නට කැමැත්තෙමි. ය මෙසේය…

   මිනී මැරීමකට දඬුවමක් ලෙසින් හෝ මහපොළොව මත කුමණ්ත්‍රන කිරීම (වරදකරුවන්නකු හැර) යන කාරණය සදහා මිස තවත් කෙනකු ඝාතනය කරන්නා සකල මනුෂ්ය වර්ගයාම ඝාතනය කළා සේය. එහෙත් යමෙක් ජීවත් කර වන්නට සැලසු වුවහොත් ඔහු සකළ මනුෂ්ය වර්ගයාම ජීවත් කළා වැනිය…

අල්කුර්ආනය 5-32

මරණ දණ්ඩුවමක් ක්‍රියාත්මක කිරීම සමබන්ධ ඉස්ලාම් දහමේ ඉහත ඉගෙන්වීම තුල වරදක් නොකල සාමාන්‍ය මිනිස්සූ ඝාතනය කොතරම් විශාල පාපයක්ද? යන්න පැහැදිලි වේ. එසේම ඉහතින් සදහන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පාලකයින්ට පැවරෙන වගකීමක් මිස තනිපුද්ගලයන් ට එය ක්‍රියාත්මක කල නොහැක යන්නත් ඉස්ලාම් දහමේ දැඩි කොන්දේසියකි. එම කාරණය සිතේ තබාගෙන අපේ අනුමාතෘකාව වන ‘ත්‍රස්ත ක්‍රියාවක් කොට මරාගෙන මැරෙන පිරිසට කන්‍යාවියන් 72ක්ද?’ යන කාරණය වෙත දැන් යොමු වෙමු.

ඉස්ලාම් දහම ‘ජිහාද්’ නම් සංකල්පයක් ගැන කථා කිරීම සැබෑවකි. නමුත් ඒ සදහා දැඩි කොන්දේසි හා නීතිරීති පනවමින් එයට ඉස්ලාම් අවසර ලබාදීම දැකිය හැකි වේ. (මේ පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත සවිස්තරව කරුණු ඉදිරිපත් කොට ඇත. මෙහි click කොට එම ලිපි කියවන්න) එසේ තිබියදී කුමක් හෝ ත්‍රස්ථ ක්‍රියාවක් කොට ‘මේක ශුද්ධ වූ යුද්ධය නොඑසේනම් ජිහාද්’ යැයි පැවසූ පමණින් එය ‘ජිහාද්’ නොවේ. එපමණක් නොවේ මොනම තත්වයක වුවත් ‘දිවිනසා ගැනීමට’ ඉස්ලාම් දහම තුල ඉඩක් ලබාදී නැත.

පාස්තු ප්‍රහාරය නැවත හැරී බැලීමක්

ශ්‍රි ලාංකීය සමාජය තුල කන්‍යාවියන් 72 කේ කථාව මතුවන්නේ ‘පාස්කු ප්‍රහාරයත්’ සමඟය. මේ පාස්කු ප්‍රහාරය පිලිබදව ඉස්ලාමීය දෘෂ්ඨියෙන් විමසා බලන විට ‘ජිහාදයක්’ කිරීම සදහා තිබිය යුතු මූලික අවශ්‍යතාවයන් කිසිවක් එහි සපුරා නැත. එපමණක් නොවේ ජිහාදයක් තුල වුවද සිදු නොවියයුතු යැයි ඉස්ලාම් පවසන පූජනීය ස්ථානවලට හානි කිරීම හා කාන්තාවන්, මහල්ලන්, ළමුන්… ඝාතනය වීම සිදුව ඇත. එසේම ඉස්ලාම් තහනම් කරන එසේම මහා පාපයක් ලෙස පවසන සියදිවි නසාගැනීම ද මෙහි සිදුව ඇත. මේ අනුව කන්‍යාවියන් කෙසේ වෙතත් මෙම ක්‍රියාවට නිරයනම් ඒකාන්තය. එම ප්‍රහාරයට මැදිවූ ත්‍රස්ථයන්ගේ ඉරණම කවර ආකාරයට තීන්දු වූවත් ඔවුන් ශ්‍රි ලාංකීය සමාජය තුල වපුරා ගිය බීජය නම් සුළුපටු නොවේ. එම ත්‍රස්ථ ප්‍රහාරයේ ප්‍රථිපලය…

  • රටේ දේශපාලන පෙරලියක් ඇති කරන්න සමත්ය,
  • මුස්ලීම්වරුන්ගේ ආගමික ස්ථානවලට විවිධ බාධා එල්ල වන්න සමත්ය,
  • මුස්ලීම්වරුන්ට කියා පුද්ගලිකත්වයක් නැතැයි සිතන තරමට කරදර ඇත් කරවන්න සමත්ය,
  • මුස්ලීම්වරුන් කෙරෙහි අන්‍ය සමාජවල තිබූ විශ්වාසය බිඳින්නට සමත්ය,
  • ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ප්‍රෞඩ ඉතිහාසයට කැලලක් කරන්න සමත්ය,
  • මුස්ලීම් කාන්තාවන්ට නිදහසේ අඳින්නට තිබූ ඇදුමක් ඇදීමට බාධා එල්ල කරවන්න සමත්ය,
  • මුස්ලීම්වරුන්ට ම සුවිශේෂි වූ නීති නැවත සලකා බැලීමට සංවාදයක් ඇති කිරීමට සමත්ය,
  • ඉස්ලාමයට එරෙහිව අභූත චෝදනාවන් ගණනාවක් සමාජය තුල නිර්මාණය වීමට එය සමත්ය,

එතකොට කන්‍යාවියන් 72ක් ලැබෙනවා කියන කථාව බොරුවක්ද?

මෙම පැනයට පිළිතුරු ලබාදීමට පෙර මෙහි සටහන් කලයුතු වැදගත් කාරණයක් ඇත. ඒ යමක් ඉස්ලාම් යැයි පැවසීමට නම්, එම ඉගෙන්වීම අල්-කුර්ආනයේ හෝ (පිලිගත්) අල්-හදීසයේ සදහන්ව තිබීම අත්‍යඅවශ්‍යය. එසේ නොමැතිව එක් එක් පුද්ගලයන්ගේ මනසෙහි ඇති වන විකාර හා මනක්කල්පිතයන් ඉස්ලාම් නොවේ. (මේ පිලිබදව දීර්ඝ ලෙස යහමග අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ඇත) ඒ අනුව ‘කන්‍යාවියන් 72’ කථාව ඉස්ලාම් දහම තුල විමසා බලන්නේ නම්,

  • අල්-කුර්ආනයේ ‘කන්‍යාවියන් 72’ කථාවක් කිසිදු තැනක සදහන් නොවේ.
  • පිලිගත හැකි අල්-හදීසයේ ද ‘කන්‍යාවියන් 72’ කථාවක් කිසිදු තැනක සදහන් නොවේ.

හදීසයක් සපුරාලිය යුතු ප්‍රධාන කොන්දේසි සියල්ල සපුරා ඇති හදීස් පිලිගත හැකි හදීස් ලෙස හැදින්වේ. (මේ පිලිබදව ‘හදීස් කලාව’ යන මාකෘතාව යටතේ මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත) එසේ පිලිගත හැකි හදීසයක් මෙම ‘ ‘කන්‍යාවියන් 72’ ‘ සම්බන්ධයෙන් දක්නට නැතත් අල්-හදීස් ග්‍රන්ථයන් තුල මෙම ‘කන්‍යාවියන් 72’ කථාවක් සදහන් වේ. එම කාරණය විමසා බැලුවේ නම්, එවැනි හදීස් දෙකක් අපට හමුවේ. එම හදීසයන් වෙත දැන් අවදානය යොමු කරමු.

පළමු හදීසය

අල්-කුර්ආනයට විවරණයක් ලියූ ඉබුනු කසීර් (රහ්) තුමාණන් 55-72 අල්-කුර්ආන් වාක්‍යයට විවරණයන් ලිවීමේදී එහි පහත සදහන් හදීසය ඉදිරිපත් කරයි.

ඉහත සදහන් 55-72 අල්කුර්ආන් වාක්‍යය මෙසේය…

හූර් (Hoor – නමැති අලංකාරවත් කන්‍යාවන් මුතු, පබලූ වලින් නිමා කරන ලද) කූඩාරම්හි වාසය කරන්නාහ.

එම අල්කුර්ආන් වාක්‍යයට විවරණයක් ලෙස ඉදිරිපත් කරන හදීසය වන්නේ,

   මුහම්මද් (සල්) තුමාණන් පැවසු බව අසන්නට ලැබුණි. එනම්, ‘ස්වර්ගයේ මිනිසුන්ට ලැබෙන කුඩාම ත්‍යාගය වන්නේ සේවකයින් 80,000 ක් සහ සහචරයින් 72 ක් සිටින වාසස්ථානයකි. එය මුතු, ඇක්වාමරීන් සහ රූබි වලින් සැරසුණු කුඩාරමකි. එහි ප්රමාණය අල්-ජබියා (දමස්කස් හි නගරයක්) සිට සන්හා (යේමනය) දක්වා තරම් විශාලය.
   “The Prophet Muhammad was heard saying: ‘The smallest reward for the people of paradise is an abode where there are 80,000 servants and 72 wives, over which stands a dome decorated with pearls, aquamarine, and ruby, as wide as the distance from Al-Jabiyyah [a Damascus suburb] to Sana’a [Yemen]’.”

මූලාශ්‍රය ග්‍රන්තය – තිර්මිදි


තිර්මිදි නම් හදීස් ග්‍රන්ථයේ තිබෙන මෙම හදීසය පිලිගත නොහැක්කක් යන්න එහි කතෘ තුමාම පවසයි. එයට හේතුව වන්නේ මෙම හදීසය දන්වන්නන් පෙලෙහි සිටින ‘රශිදායින් බින් සාද්’ නැමැත්තා හදීසයක් දන්වන්න සුදුසුකම් නොලද දුර්වලයෙකු වීමය. මේ අනුව ඉස්ලාමීය ලෝකයේ විද්වතුන් සියළුදෙනා මෙම හදීසය ඒකමතිකවම පිලිගත නොහැකි හදීසයක් ලෙස ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව එම හදීසය පදනම් කරගෙන ඉස්ලාම් දහමට හෝ එහි ඉගෙන්වීමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම කිසිසෙත් සාධාර්ණ නොවේ.

වාදයකට එම හදීසය පිලිගත හැකි හදීසයක් ලෙස සැලකූවත් එහි කන්‍යාවියන් 72ක් පිලිබදව සදහන් වන්නේ ‘ජිහාද්’ හෝ ‘ජිහාද් නමින් කරන ත්‍රස්ථ ප්‍රහාරයන්’ පදනම් කරගෙන නොවේ. මෙහි පැවසෙන්නේ ස්වර්ගයේ කෙනෙකුට හිමිවන අවම වරප්‍රසාදය කොතරම් විශාල ද යන්න පිලිබදව අදහසක් පමණි. මෙහි කන්‍යාවියන් නොහොත් සුරඹූන් 72ක් හිමිවීම යන්න මේ ලිපිය ආරම්භයේ පැවසුවා සේ එය ස්වර්ගවාසීන්ට ලැබෙන ත්‍යාගයකි. මෙම හදීසය පිලිගත හැකි හදීසයක් ලෙස සැලකූවත් එම භාග්‍යය කිසිසේත් සියදිවි හානි කරගැනීමකට හෝ ත්‍රස්ථ ක්‍රියාවකට නොලැබෙන බව නම් පැහැදිලිව මෙහි සටහන් කලයුතුමය.

දෙවන හදීසය

කන්‍යාවියන් 72ක් පිලිබදව පැවසෙන මීලඟ හදීසය වන්නේ,

අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) පැවසූ බව මික්දාම් බින් මදිකාරිබ් (රලි) තුමාණන් පවසයි. ෂහීද් කෙනෙකුට අල්ලාහ් වෙතින් කරුණු හයක් හිමිවේ. (එනම්),

  • වැගිරෙන ඔහුගේ පළමු රුධිර බිංදුවෙන්ම ඔහු (කල පාපයන්)ට සමාව හිමිවේ,
  • ස්වර්ගයේ ඔහුට හිමි ස්ථානය ඔහුට පෙන්වනු ලැබේ,
  • මිනීවළේ වේදනාවෙන් ඔහුව ආරක්ෂා කරනු ලැබේ,
  • මහා භීතියෙන් ඔහුව ආරක්ෂා කොට උසස් බවේ ක්‍රීටය ඔහුට පලඳනු ලැබේ, එහි ඇති මැණික් ගල් මෙලොව හා එහි සියලු දෑට වඩා උසස්ය.
  • ඔහුට හුර්ලීන්වරුන් (Hoor Al Ayn) 72කු විවාහ කරදෙනු ලැබේ,
  • ඔහුගේ ඥාතීන් 70ක් වෙනුවෙන් මැදිහත් වීමේ අවසරය ඔහුට හිමිවේ.
Narrated Al-Miqdam bin Ma’diykarib: That the Messenger of Allah (ﷺ) said: “There are six things with Allah for the martyr. He is forgiven with the first flow of blood (he suffers), he is shown his place in Paradise, he is protected from punishment in the grave, secured from the greatest terror, the crown of dignity is placed upon his head – and its gems are better than the world and what is in it – he is married to seventy two wives along Al-Huril-‘Ayn of Paradise, and he may intercede for seventy of his close relatives.”

මෙම හදිසය ද සදහන් වන්නේ තිර්මිදි නම් හදීස් ග්‍රන්ථයේමය. මෙම හදීසයේද පෙර හදීසය මෙන්ම දුර්වල දැනුම්දෙන්නෙකු සිටී. ඔහු මෙම හදීසය දැනුම් දෙන්නන් පෙලෙහි 05 වැනියට සිටින ‘නුඅයිම් ඉබුනුහම්මාද්’ නැමැත්තාය. ඔහු දුර්වල දැනුම්දෙන්නෙකු බවත්, ඔහු දැනුම්දෙන හදීසයන් ප්‍රතික්ෂේප කලයුතු බවත් හදීස් කලාවේ විද්වතෙකු වන ‘ඉමාම් නසාඊ තුමා’ පවසයි. තවද හදීස් කලාවේ විද්වතෙකු වන ‘ඉබුනු හජර් අල් අස්කලානි තුමා’ මොහු හදීස් දැනුම්දීමෙහි බොහෝ වැරදි සිදුකර ඇති බව පවසයි.

ඒ අනුව ‘කන්‍යාවියන් 72ක්’ පිලිබදව කථා කරන එම හදීසයත් ඉස්ලාම් දහමට හා ඉස්ලාමිය විද්වතුන්ට අනුව ප්‍රතික්ෂේපිත හදීසයක් වේ. නමුත් ඉහත හදීසයට බොහෝසෙයින් සමාන එසේම පිලිගත හැකි කොන්දේසි සපුරා ඇති හදීසයක් තවත් හදීස් ග්‍රන්ථයක සදහන් වේ. එම හදීසය නම්,

   අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) පැවසූ බව මික්දාම් බින් මදිකාරිබ් (රලි) තුමාණන් පවසයි. ෂහීද් කෙනෙකුට අල්ලාහ් වෙතින් කරුණු හයක් හිමිවේ. (එනම්),
   • වැගිරෙන ඔහුගේ පළමු රුධිර බිංදුවෙන්ම ඔහු (කල පාපයන්)ට සමාව හිමිවේ,
   • ස්වර්ගයේ ඔහුට හිමි ස්ථානය ඔහුට පෙන්වනු ලැබේ,
   • ඔහු මිනීවළේ වේදනාවෙන් ඔහුව ආරක්ෂා කරනු ලැබේ,
   • මහා භීතියෙන් ඔහුව ආරක්ෂා කොට ඊමානය රසවිඳීමට අවස්ථාව ලැබේ,
   • ඔහු විවාහ වී සිටින්නේ පුළුල් ඇස් ඇති හුර්ලීන්වරුන් (Hoor Al Ayn) සමඟය,
   • ඔහුගේ ඥාතීන් 70ක් වෙනුවෙන් මැදිහත් වීමේ අවසරය ඔහුට හිමිවේ.
   It was narrated from Miqdam bin Ma’dikarib that the Messenger of Allah (ﷺ) said: “The martyr has six things (in store) with Allah: He is forgiven from the first drop of his blood that is shed; he is shown his place in Paradise; he is spared the torment of the grave; he is kept safe from the Great Fright; he is adorned with a garment of faith; he is married to (wives) from among the wide-eyed houris; and he is permitted to intercede for seventy of his relatives.”

මුලාශ්‍ර ග්‍රන්ථය – ඉබුනු මාජා

මෙම හදීසය පිලිගත හැකි ‘හසන්’ ගණයේ හදීසයක් යන්න ඉස්ලාමීය ලෝකයේ විද්වතෙකු වන අල්බානි තුමාගේ මතයයි. නමුත් මෙම හදීසය තුල ‘කන්‍යාවියන් 72ක’ කථාවක් සදහන් නොවේ. එහි පැවසෙන්නේ ‘ෂහීද්වරයෙකු’ ස්වර්ගයේ දී කන්‍යාවියන් සමඟ විවාහ වෙනවා යන්න පමණි.

මේ අනුව ‘කන්‍යාවියන් 72ක’ කථා සම්පූර්ණයෙන්ම ඉස්ලාමයෙන් බැහැර කිසිදු පදනමක් නැති කථා ගොඩක් යන්න මෙම ලිපිය බුද්ධිමත්ව බලන ඔබට පැහැදිලි වියයුතුය. නමුත් මෙම ‘කන්‍යාවියන් 72ක’ කථාව ආශිර්වාදයක් කරගෙන මේ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාර්ණය ඉටු කිරීම කෙසේ වෙතත් තම තමන්ගේ පැවැත්මට මෙම ප්‍රහාරය අවස්ථාවක් කොටගත් පිරිස් මේ සමාජය තුල අප දකින්නෙමු.

කන්‍යාවියන් 72 අත්හරින්න සූදානම් නැති අපේ ඇත්තෝ

මේ දක්වා ඉදිරිපත් කල කරුණු අනුව ‘කන්‍යාවියන් 72’ සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න දැන් ඔබට කිසියම් අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. මෙම ‘කන්‍යාවියන් 72’ සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය අපේ රටේ ආගමික විද්වතුන් ද විවිධ අවස්ථාවල මේ සමාජයට අඩු වැඩි වශයෙන් පැහැදිලි කොට ඇත. එසේ නමුත් මේ සමාජයේ සමහරක් මෙම ‘කන්‍යාවියන් 72’ අත්හරින්න සුදානම් නැත.

මේ රටේ අතීතයේ පටන් සියළු ජාතින් සමඟ සහජිවනයෙන් හා සහෝදරත්වයෙන් විසු මුස්ලීම් ප්‍රජාව අද ‘ත්‍රස්තවාදීන්’ යයි ලේබල් ගැසීමටත්, ඒ තුලින් ඔවුන්ගේ සිත්රිදවීමටත් මෙම ‘කන්‍යාවියන් 72’ කථාව අවස්ථාවක් කරගෙන ඇත. මුස්ලීම් සමාජයේ කිහිපදෙනෙකු එක්වී සිදුකල මෙම අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් කිතුණු සමාජයට සේම මුස්ලීම් සමාජයට ද දැඩි හානියක් සිදුවූවා යන්න තිත්ත වූ ඇත්තයි. එසේ තිබියදී ඉතා සියුම් ලෙස හා සැලසුම් සහගතව තවදුරටත් සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට හා ඉස්ලාම් දහමට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කිරීම ජාතිවාදී හා ගෝත්‍රවාදී ලක්ෂණ පිලිඹිබු කරන්නකි. විශේෂයෙන් සමාජ වගකිව යුත්තතන් තුලින් හා ඔවුන්ගේ ආශිර්වාදය මත මෙවැනි දෑ සිදුවීම ඉතා අවාසනාවන්ත තත්වයකි.

මේ මොහොතේ මිට මාස දෙකකට පමණ පෙර එනම්, 2021/09/03 දින ඕක්ලෑන්ඩ් හි එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා මහත්මිය නියම නායකත්ව ලක්ෂණ පිළිඹිබු කරමින් මධ්‍ය ඉදිරියේ කල ප්‍රකාශය සිහියට නැඟේ, ඒ,

අප රටේ ප්‍රතිචාරය කුමක්ද?

එදා පාස්කු ත්‍රස්ථ ප්‍රහාරයට ගොදුරු වු කිතුණු ජනයා ඉතාමත්ම ඉවසිලීවන්තව කටයුතු කරද්දී බෞද්ධ යයි කියාගන්නා සමහරක් පිරිස් සමස්ථ ශ්‍රි ලාංකිය මුස්ලීම් ප්‍රජාවම ‘ත්‍රස්ථවාදීන්’ ලෙස හංවඩුගසමින් මුස්ලීම් දේවස්ථාන වටලමින්, මුස්ලීම් සමාජයේ නායකයින් අත්අඩංගුවට ගන්නයයි අරඟල කරමින් මහා අවුල් ජාලයක් මේ සමාජය තුල නිර්මාණය කරන ලදී. අවසානයේ දැන් මේ ප්‍රහාරයේ ‘මහ මොළකරු අල්ලාහ්’ යයි පවසමින් ද තවදුරටත් එවැනි ප්‍රහාර කුමන්ත්‍රණ ක්‍රියාත්මක බව පවසමින් ද ඉස්ලාම් දහමට හා සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට පහර ගසන්නට කටයුතු කරමින් සිටී.

මෙහි අවාසනාවන්තම තත්වය එය නොවේ. ඉහත ආකාරයේ ප්‍රකාශයන්ට රටේ වගකිවයුතු පාර්ශවයන් සෘජුව හා වක්‍රව දක්වන ප්‍රතිචාරයි. එයට නිදසුනක් ලෙස පසුගිය දිනක ශ්‍රි ලංකාවේ ජනප්‍රිය ගුවන්විදුලි නාලිකාවකින් ඉහතින් සදහන් ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියා විසින් දුරකථනයෙන් රටේ මහජන ආරක්ෂාව පිලිබද වගකීම් දරණ මහතෙකුගන් විමසූ විට එයට පිලිතුර වුයේ…

   ‘…එම ප්‍රකාශය සම්පුර්ණයෙන් වැරදි කියලා කියන්න බැහැ. මොකද‍, මුස්ලීම් නොවන අය මැරුවම දිව්‍ය ලෝක යන්න පුළුවන් කන්‍යවියෝ 72ක් සමඟ ඉන්න පුළුවන් කියන මතවාදය ඔවුන් තුල තිබෙනවා. එම මතවාදය තිබෙනකම් අවදානමක් තිබෙනවා. සිංහල දෙමල අය අතර මෙවැනි මතවාදයන් නැහැ…’

දැන් ඔබට අවබෝධ වියයුතුයි, එනම්, ‘අපේ රටේ ප්‍රශ්නයක් ඇති වුවාම අපේ නායකයින් එය හසුරුවන්නේ කවර ආකාරයටද? විදෙස් රටක එවැනි ගැටළුවක් ඇති වුවාම ඔවුන් එය හසුරුවන්නේ කවර ආකාරයටද? යන්න. මෙතැනදී කිවයුතු හාස්‍යජනක එසේම ශ්‍රි ලාංකීය සමාජය බුද්ධිමත්ව විමසා බැලියයුතු කාරණයක් ඇත. එනම්.

ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් පවසන ආකාරයේ…

  • මුස්ලීම් නොවන්නන් ඝාතනය කරන්න,
  • එසේ ඝාතනය කලේනම් නම්, ස්වර්ගය හා කන්‍යාවියන් 72ක් ලැබේ,

යන ඉගෙන්වීමන් ඉස්ලාම් දහමේ කිසිදු තැනක නැති බව ඕනැවට වඩා මෙම ලිපිය තුලත් මෙවැනි ලිපි ගණනාවකින් මීට පෙරත් මෙම අඩවිය තුලම ඔප්පුකොට පෙන්වා ඇත. (තවදුරටත් එසේ තිබෙනවා තිබෙනවා යයි සමාජයට වැදිබණ නොකොට හැකිනම් පෙන්වන්න ඒ සදහා යහමග අඩවිය තුල ඉඩක් දෙන්න යහමඟ සුදානම්.) හැබැයි ඉස්ලාම් දහමේ ඇතත් නැතත් සිංහල සංස්කෘතිය තුල නම් එවැනි දෙයක් නැතැයි ප්‍රතික්ෂේප කල නොහැක. එයට මහින්ද හිමියන් ලියු පහත කවි පංතිය සහ එම කවි පංතිය ඇසුරෙන් නිර්මාණය වු ‘මුණි සිරිපා සිඹිමින්නේ…’ යන නන්දා මාලනී මහත්මිය හා අමරදේව මහතා ගයන ගීතය හොදම නිදසුනකි.

ජාතික රණ දෙරණ මතේ – ගැටී වැටී මළ මොහොතේ

සුන්දර සුරඹුන්ගේ අතේ – නැළවෙන බව සිතනු පුතේ

අවසාන වශයෙන්

මේ සටහන් කරන්නේ සිංහල, දෙමළ හා මුස්ලීම් අවස්ථාවාදී දේශපාලඥයින්ට හෝ සමාජයේ නායකත්වය ගෙන කටයුතු කරන බොරු නායකයින්ට නොවේ. ඔවුන් මේ රට අද වනවිට ගෙනගොස් ඇති තැන මා අමුතුවෙන් මෙහි කිවයුතු නැත. අද මේ නායකයින් අපට හා අපේ දරුවන්ට ඉතිරි කොට ආර්ථික, සමාජීය හා සංස්කෘතිකමය වශයෙන් පිරිහුණු ජාති, ආගම් හා පක්ෂ වශයෙන් බෙදී එකින් එකාට වෛර කරන රටක් පමණි. ඔවුනට මා මේ ලියන කියන සියල්ල ‘බිහිරි අලීන්ට වීනා වාදනය කිරීමක්’ පමණි.

නමුත් සත්‍යය හා සාධාර්ණය අගයන මේ රටේ පොදු ජනතාව වන ඔබ පටු මතවාදවල නොහිඳ බුද්ධිමත්ව හා තාර්කිකව විමසා බලන්න. සියවස් ගණනාවක් මේ පොළොවේ ජීවත් වු ශ්‍රිලාංකීය මුස්ලීම්වරුන් මේ කියන මතවාදය වන ‘මුස්ලීම් නොවන්නන් ඝාතනය කලයුතුයි’ යන්න හෝ ‘ඔවුන් මැරුවොත් අපට ස්වර්ගය ලැබෙනවා’ යන විකෘතිවාදය මේ සමාජය තුල කවර කාලෙක හෝ මතුකොට තිබෙනවාද?. ඉස්ලාම් ආගම පිලිබදව හා එහි ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයක් නැති විකෘති මානසිකත්වයෙන් පෙළුණු කිහිපදෙනෙකු කල පාස්කු ප්‍රහාරය පදනම් කරගෙන සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයටම එලෙස දෝෂාරොපනය කිරීම කොතරම් සාධාර්ණ හා ශිෂ්ඨසම්පන්න ක්‍රියාවක්ද?. අනික එම ප්‍රහාරය ආගමික මතවාදයකට වඩා එහා ගිය කුමණ්ත්‍රණයක් යන්න පිලිබදව කථිකාව මේ සමාජයේ ප්‍රබලයන් තුලම පවති. එසේ තිබියදී එම ප්‍රහාරය ඉස්ලාම් දහමට හා ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට ලඝුකොට කථා කිරීම සාධාර්ණද?.

තීන්දුව ඔබට ම බාරයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/6

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම