කාන්තාව පිලිබදව ආගමික හා සමාජීය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


කාන්තාව සම්බන්ධයෙන් ලෝකයා දැක් වු ප‍්‍රතිචාරයන් විවිධ කාලවල දී විවිධ මුහුණුවර ගෙන ඇත. එහිදී ඇයගේ අයිතීන් වෙනුවෙන් ඇය දැක්වු සක‍්‍රිය ක‍්‍රියා පිලිවෙත විශේෂයෙන් සදහන් කලයුතුය. මෙම කාන්තා අයිතිය පිලිබදව ඇයගේ සක‍්‍රිය අවදානය යොමු කාල වකවානුව පිලිබදව ඉතිහාසය කථා කරන්නේ නම්, එය වසර ගනනාවක් අතීතයට දිවයයි. එහි ආරම්භයට නිශ්චිත තැනක් මායිම් කර දැක්විය නොහැකි වුවත්, ලොව තුල පිඹීදීමන් හා සලකුණු කල සිදුවීමන් හා අවස්ථාවන් ඉතිහාසයේ පැහැදිලිව සදහන්ව ඇත. එවැනි ඉතිහාසගත කාන්තා භූමිකාව පිලිබදව වර්ථමාන කාන්තාවට කිසිදු අවබෝධයක් නැතිවීමත්, සිතාමතාම එම ඉතිහාසය ඇයගෙන් වසන් කිරීමත් තුල ඇයට බලවත් අසාධාරණයක් සමාජය සිදුකොට ඇත. එවැනි පසුබිමක් තුල කාන්තාව ඇයගේ ශුද්ධ වු අරමුණුවලින් බැහැරව සම අයිතිය, ගර්භාෂ නිදහස… වැනි ඇයගේ ප‍්‍රතිරූපයන් බිද දමන තේමාපාටයන් පෙරදැරිව විමුක්තිකාමි යයි පවසමින් විවිධ අරඟලයන් හි නිරතව සිටී.

ජාත්‍යන්තරය තුල කාන්තාව එදා සහ අද

මෙවන් මොහතක ජාත්‍යන්තරය තුල කාන්තාව එදා සහ අද යන කාරණය සහ කාන්තා විමුක්ති සංවිධානවල ආරම්භය එහි අරමුණ හා එය බිහිවීමේ ඉතිහාසය පිලිබදව කාන්තා සමාජය දැන සිටීම මෙම මාතෘකාව වඩාත් හොදින් අවබෝධ කරගැනීමට උපාකාර වනු ඇත.

කාන්තා විමුක්ති සංවිධානයන් බිහිවීමේ ඉතිහාසය

මෙම කාන්තා විමුක්ති සංවිධානයන් රටින් රටට විවිධ අරමුණු පෙරදැරිව බිහිවිය. ඔවුන්ගේ ඉල්ලිම් ද විවිධ විය එසේම ඔවුන් අරගලයන් තුලින් දිනාගත් අයිතීන්ද රටින් රටට විවිද විය. මේ නිසා එවැනි රටවල් කිහිපයක කාන්තා සංවිධානයෙහි ක‍්‍රියාකාරීත්වය හා ඔවුන්ගේ අරගලයන් ක‍්‍රියාත්මක වූ ආකාරයත් ඒ තුලින් ඔවුන් දිනාගත් අයිතීන් පිලිබදවත් කෙටි අවදානයක් යොමු කලේනම්,

ජාත්‍යන්තර අවධානය ලොව බලගතු එසේම කාන්තා හිංසනය හා අයිතිය වෙනුවෙන් කිඹුල් කදුඑ සලන රාජ්‍යයන් කිහිපයක් පෙරදැරි කරගෙන අවදානය යොමු කලේ නම්, පසුගිය සියවස් දෙකට පෙර සිටම බ්‍ර්තාන්‍ය තුල කාන්තා විමුක්ති හා අයිතීන් ඉල්ලා උද්ඝෝශණ ව්‍යාපාරයන් ක‍්‍රියාත්මක විය. ඔවුන්ගේ ප‍්‍රධානම ඉල්ලීම් වුයේ ද “කාන්තාව යනු ලිංගික කෙලි භාණ්ඩයක්” ලෙස සලකා සමාජ, ආර්ථික, දේශපාලන තත්වයන් හි ඔවුන්ව ප්‍රතික්ෂේප නොකරන ලෙසයි. මේ ආකාරයේ පහත් තැනකට කාන්තාව ඇද දමා ඔවුන්ට සිදුකරන අසාධාරණයට හා අපරාධයට එරෙහිව ඔවුන් නැගී සිටින ලදී. කාන්තා පිරිමි දෙපාර්ශවයම සමයි පිරිමින්ට සේම කාන්තාවන්ටත් සමාජීය ආර්ථික හා දේශපාලන අයිතිය හිමි වියයුතු යන්නත් ඒ සදහා අවශ්‍ය නීතිමය ආරක්‍ෂාව සැලසිය යුතු යන්නත් ඔවුන්ගේ තවත් ඉල්ලීමකි. මේ අරමුණු පෙරදැරිව තමා බි‍්‍රතාන්‍ය තුල කාන්තා සංවිධාන බිහිවුයේ,

බ්‍රිතාන්‍්‍ය – මෙම අරමුණ ජනතාව ඉදිරියට විශේෂයෙන් කාන්තාව හමුවට ගෙනයාමට මූලිකත්වය ගෙන කටයුතු කලේ වර්ෂ 1792 (එනම් මීට වසර 215 කට පෙර) දී මේරි වූල්ස්ටෝන් ක‍්‍රබට් නැමැති කාන්තාවයි. එම අරඟලයේ දී “කාන්තා අයිතීන් සුරකීමේ විප්ලවය” Vindication of the Rights of Women)යනුවෙන් ප‍්‍රකාශනයක් ද නිකුත් කරන ලදී.

ඊට පසු 1903 දී කාන්තා දේශපාලන සංවිධානයක් කාන්තාවට ඡන්ද අයිතිය අවශ්‍ය බව පවසමින් එමලින් පාංගියුස්ට් (Emmeline Pankhurst) නැමැති කාන්තාවගේ ප‍්‍රධානත්වයෙන් “කාන්තා සමාජ හා දේශපාලන සංගමය” (Women’s Social and Political Union – WSPU) නැමැති සංවිධානය ආරම්භ විය. මෙම සංගමයේ කාන්තාවන් වයස් භේදයකින් තොරව සාමාජිකත්වය ලබා ගන්නා ලදී. මෙසේ තම අයිතීන් වෙනුවෙන් කටයුතු කල එම කාන්තාවන් එවකට පාලකයන් විසින් සිරගත කරන ලදී. එම කාන්තාවන් රැස්වන ගොඩනැගිල්ල පවා රජය විසින් මූද්‍ර තබන ලදි. රජයේ මෙම ක‍්‍රියාදාමයට එරෙහිව එම කාන්තා සංවිධාන සාමාජිකයන් රටේ පාර්ලිමෙන්තුව වටකරගත් අවස්ථාවක ඔවුනට දැඩි ලෙස වද හිංසා පමුණු වන ලදී. මෙසේ විවිධ අරගල මධ්‍යයේ කාලය ගතවෙද්දි වර්ෂ 1914 දී පලමු ලෝක යුධ ආරම්භ විය. මේ මොහොතේ එම කාන්තා සංවිධානයන් යුධ අවස්ථාවක රටට කාන්තාවගේ ශ‍්‍රම දායකත්වය අවශ්‍ය යන පදනමෙන් තම උද්ඝෝෂණයන් පසෙකලා යුධ කටයුතුවලට අවශ්‍ය සහය දක්වන ලදී. මේ හේතුව නිසා රජය මගින් එම කාන්තා සංවිධානයන්ට එල්ල වු විරුද්ධත්වයන් යහපත් දිශාවකට යොමු වීමටත් ඉන් තමන්ට වාසි සහගත ලෙස රජය පොළොඹවා ගැනීමටත් ඔවුනට හැකි විය. මොවුන්ගේ අඛන්ඩ උද්ඝෝෂණයන් මගින් 1918 දී වයස අවුරුදු 30 ට වැඩි කාන්තාවන්ට ප‍්‍රථම වතාවට ඡ න්ද වරම හිමි වු අතර 1928 දී ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවම වයස වශයෙන් වයස අවුරුදු 21 ක දක්වා අඩුකර ගැනීමට ඔවුනට හැකි විය.

බි‍්‍රතාන්‍ය අදටත් කාන්තාවක් වන එලිසබෙත් පවුලෙන් පාලනය කරනු ලබන රටක් යන්න කව්රුත් හොදින් දන්නා කාරණයකි. කාන්තාවක් පාලනය කරන රටකම කාන්තාවට ඡන්ද අයිතිය ලබාගන්නට සියවස් 2 ක් ගත වී ඇත යන්න කොතරම් කනගාටුදායක කාරණයක්ද?. මොවුන් තමා වර්ථමානයේ කාන්තා අයිතිය පිලිබදව ලොවට හඩ නගමින් මුස්ලීම ලෝකයට ඇඟලි දිගු කරන්නේ.

ඇමෙරිකාව – ඇමෙරිකාව කෙරෙහි අවදානය යොමු කලේ නම් ඇමරිකාවේ කාන්තා සංවිධානයක් ප‍්‍රථමයෙන්ම ආරම්භ වන්නේ 1848 දි එලිසබෙත් කේඩි ස්ටෙන්ටන් නැමැති කාන්තාවකගේ ප‍්‍රධානත්වයෙනි. 1848 දී ප‍්‍රථම වතාවට රැස්වු මෙම සංගමය නීග්‍රෝ වහල්ලූන් (අදටත් මොවුන් ඇමරිකාවේ බොහෝ ප‍්‍රදේශවල වහල්ලූන් ලෙස ජීවත් වේ) නිදහස් කිරීමේ ඉල්ලීමක් ප‍්‍රමුඛ කරගෙන කාන්තා නිදහස හා කාන්තා අයිතීන් සුරැකීමේ ප‍්‍රඥප්තියක් එලිදක්වන ලදී. ඉන්පසු 1850 දී ලූසී ස්ටෝන් Lusee Ston නැමැති කාන්තාවගේ ප‍්‍රධානත්වයෙන් ජාතික කාන්තා අයිතීන් සුරැකීමේ සම්මේලනයක් පවත්වන ලදී. ඉන්පසු ඉහත කාන්තා සංවිධාන දෙකම එක්වී ශූසෙන් බී අන්තොනී Shusen B Antone නැමැති කාන්තාවගේ නායකත්වය යටතේ “කාන්තා දේශාභිමාණි සංගමය” ආරම්භ කරන ලදී. 1878 දී කාන්තාවන්ට ඡන්ද අයිතිය අවශ්‍ය බව පවසමින් එය නීතිගත කරන ලෙස රජයෙන් ඉල්ලීම් කරන ලදී. මෙම කාන්තා විප්ලවයන් හි ප‍්‍රථීපලයක් ලෙස ඇමරිකාවේ ඇති ප‍්‍රාන්ත අතුරින් වියෝමිං ප‍්‍රාන්තය ප‍්‍රථම වතාවට 1890 දී කාන්තාවට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය ලබා දෙන ලදී. ඉන් අනතුරුව තවත් ප‍්‍රාන්ත කිහිපයක එම ආයිතිය කාන්තාවට හිමිවිය. නමුත් මෙම ඡන්ද අයිතිය ප‍්‍රාන්ත කිහිපයකට සීමා වු නිසා “ඇමරිකානු ජාතික කාන්තා ඡන්ද අයිතීන් සංගමය” නමින් සංගමයක් 1900 දී ගෙරී ජෙප්මෙන් කාට් නැමැති කාන්තාවගේ නායකත්වයෙන් අරම්භ කරන ලදී. මෙම සංගමය කල බොහෝ උද්ඝෝෂනයන්, රැස්වීමන්, සම්මේලනයන් එවකට ඇමරිකානු සමාජයේ උගත් කාන්තාවන්ගේ හා ඉහල පැලැන්තිවල කාන්තාවන්ගේ දැඩි අවදානයට ලක්වීය. එසේම සර්ව කාලීන දේශපාලන මෙහෙයන් ඉටුකිරීමටත්, සංගමයේ ඉදිරි කටයුතු සදහා විශාල අරමුදලක් තරකර ගැනීමටත් මෙම සංගමය සමත් විය. මේ නිසා මෙම සංගමයේ ප‍්‍රචාරන කටයුතු රටේ සෑම ප‍්‍රදේශයක්ම ආවර්ණය වන ආකාරයට සිදුවිය. අවසානයේ ශූසෙන් විසින් ගෙන එන ලද කාන්තා අයිතීන් ඉල්ලීමේ ප‍්‍රකාශනය 19 වන නීතිය යන නමින් 1920 දී ඇමරිකානු පාර්ලිමෙන්තුව විසින් අනුමත කරන ලදී. ඒ අනුව සමස්ථ ඇමරිකානු කාන්තාවන්ටම ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය හිමිවිය. කාන්තා අයිතීන් වෙනුවෙන් ප‍්‍රථම වතාවට අනුමත කල මෙම නීතිය 1920 සිට 1960 දක්වා තවත් බොහෝ කාන්තා අයිතීන් සුරකීමේ සංවිධානයන් බිහිවීමට හේතු කාරණා විය. මෙසේ බිහිවු සංගම් අතුරින් වැදගත්ම සංගමයන් ලෙස 1920 දී බිහි වු “කාන්තා ඡන්දලාභින්ගේ සංගමය” League of Women Voters හා 1935 දී බිහි වු “ජාතික නීග්‍රෝ කාන්තා කෞන්සලය” National Council of Negro Women සදහන් කල හැක.

ඉහත සංගමයන් හා සංවිධානයන් කාන්තාව සම්බන්ධයෙන් වු විවිධ ඉල්ලීමන් එනම් කාන්තා/පිරිමි සම අයිතිය හා නිදහස යනදී තේමාවන් පෙරදැරි කරගෙන රට තුල ප‍්‍රචාරණයන් හා උද්ඝෝෂණ ව්‍යාපාරයන් දියත් කරන ලදී. විශේෂයෙන් 1923 දී “ජාතික කාන්තා සංගමය” කාන්තාවන්ට, පිරිමින් හා සම අයිතිය දැඩිව ඉල්ලා සිටින ලදී. නමුත් රටේ පාලකයන් වසර 50 ක පමණ කාලයක් තිස්සේ මෙම ඉල්ලීම කුණු කූඩයට දමා තිබුණි. මේ ආකාරයට කාන්තා සංවිධානයන් ජාත්‍යන්තර මට්ටමින් සක‍්‍රිය වනවාත් සමගම මේ විෂය කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවදානය ද යොමු විය. ඒ අනුව 1945 දී පැවැත් වු එක්සත් ජාතීන්ගේ සංගමයේ කාන්තා අයිතිය හා කාන්තා හා පිරිමි සම අයිතිය පිලිබදව එහි ආරම්භක දේශනයෙන් හුවාදක්වන ලදී. පසුව 1948 දී කාන්තාවන් සම්බන්ධයෙන් ගතයුතු තීරණයන් පිලිබදව සොයා බැලීමට හා අධ්‍යනය කිරීමට කොමිසමක් පත්කරන ලදී. එහි ප‍්‍රථිපලයක් ලෙස 1952 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය “කාන්තා දේශපාලන අයිතිය” යන මැයෙන් සමුළුවක් පවා පවත්වන ලදී. නමුත් 1960 වන විට ඇමරිකාවේ කාන්තා සංවිධානයන් තරමක අන්තවාදී ක‍්‍රියා පිලිවෙතක් අනුගමනය කරන්නට විය. එයට ප‍්‍රධාන හේතුව වුයේ එවකට කාන්තාව සම්බන්ධයෙන් ලියවී පල වු ලිපියන්ය. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • The Second Sex (1953) By Simone De Beauvoir
  • The Feminine Mystique (1963) By Betty Friedan
  • Sexual Politics (1969) By Kate Millet
  • The Female Eunuch (1970) By Gamaine Gree

මෙම ලිපියන් කාන්තා සංවිධානවලට දැඩි බලපෑමක් ඇත කරවන්නට හේතුව වුයේ මේ වන විට මෙම කාන්තා සංවිධාන දේශපාලන අයිතිය දිනාගැනිමට වඩා සමාජ ගෞරවය දිනා ගැනිම කෙරෙහි වැඩි අවදානයක් යොමුව පැවතීමයි. එසේම මොවුන්ගේ තවත් අරමුණක් වුයේ කාන්තාවට එරෙහිව නිකුත් කරන ප‍්‍රකාශන හා සමාජය තුල කාන්තාව පිලිබදව තිබෙන මිත්‍යාවන් ඉවත් කර කාන්තාව කෙරෙහි ගෞරවණීය අවදානයක් දිනාගැනීමයි. මේ වෙනුවෙන් ක‍්‍රියා කල සංවිධාන අතුරින් ප‍්‍රධාන කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • National Organization for Women (NOW) ජාතික කාන්තා සංවිධානය
  • National Women’s Political Caucus – 1971 ජාතික කාන්තා දේශපාලන සංවිධානය

යන සංවිධාන සදහන් කල හැක. ඉන් පසු 1973 දී,

  • The Equal Rights Amendment Ratification Coun ඇදුම් සම අයිතිය නීතිගත කිරීමේ හා ක‍්‍රියාවට නැගීමේ කෞන්සලය
  • Coalition of Labour Union Women කාන්තා සමුහ සේවක සංගමය

යනාදී සංගම් ද බිහිවිය. National Organization for Women (NOW) යන සංගමය පැවැත්තු රැලි හා උද්ඝෝෂණ හේතුවෙන් “කාන්තා සම අයිති” නීතිය 1971 ඇමරිකානු ප‍්‍රාන්ත සභාවත් 1972 දී ඇමරිකානු රාජ්‍ය සභාවත් පිලිගැනීමට එකගවිය. නමුත් 1982 ජූනි 30 දින මෙම නීතිය සදහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් සිදුකල අතර එහි දී ඡන්ද 38 ක් ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම නීතිය පාරාජයට පත්විය. ඉන් පසුවද මෙම නීතිය නීතිගත කිරීමට ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක විය.

මේ ඔබ දුටුවේ ලෝක බලවතුන් මෙන්ම ලොවටම නීතිය උගන්වන්න හදන ඇමරිකාව තුල මීට වසර දහස් ගනනකට පෙර නොව මීට වසර කිහිපයකට පෙර කාන්තාවට අත්වින්ද ඉරණමයි. මොවුන් තමා අද “අප කාන්තාවන්ගේ ආරක්‍ෂකයන්” යයි පවසාගෙන කාන්තා අයිතීන් වෙනුවෙන් කිඹුල් කදුළු සලන්නේ.

පසු විපරම…

මේ ආකාරයට කාන්තා අයීතීන් සුරැකීමේ සංවිධානයන් හරහා කාන්තාව පසුගිය සියවස් හි කුමන අයිතීන් වෙනුවෙන් සටන් ඇරඹුවේද?. එනම් ඇයත් පණ ඇති. හැඟීම් දැණිම ඇති, මනුෂ්‍ය ගනයට අයත්, පිරිමින් හා සම අයිතිය සමාජය තුලත්, දේශපාලනය තුලත්, හිමවිය යුතු බවටත් තමන්ට ලිවීමේ, කථාකිරීමේ, දේපල අයිතිය යනාදී සමාජ අයිතීන් සියල්ල හිමවිය යුතු බවටත් පවසමින් සටන් අරඹා අද වනවිට ඔවුන් කිසියම් ආකාරයක ජයග‍්‍රහණයන් දිනාගෙන සිටියද අදටත් තවත් බොහෝ රටවල් එම අයිතීන් ඔවුනට පූර්ණ වශයෙන් ලබා දී නැත යන්න ද මෙහි සදහන් කලයුතුමය.

එසේම යහපත් අරමුණු පෙරදැරිව ඇරඹු මෙම කාන්තා අයිතින් සුරකීමේ ක‍්‍රියාවලිය අද වන විට ඉතා සංවීධානාත්මකව එහි සටන් පාඨයන් වෙනස් කරමන් මෙම කාන්තාවන් නොමඟ යවා ඇත. කාන්තාවගේ අඩනිරුවත් ඇදුම් ඇදීමත්, වේදිකාවල අන්පිරිමීන්ට ආකර්ශණීයව හැසිරීමත්, පිරිමින්ගේ ආකර්ශණය දිනාගත් ප‍්‍රදර්ශන භාණ්ඩයක්වීමත් වර්ථමානයේ කාන්තා නිදහස බවට පරිවර්ථනය කර සමාජගත කොට ඇත. ස්වභාවයෙන්ම සංවේදී වු මේ කාන්තාව තමන් නොදැනම පිරිමින්ගේ ආකර්ශණීය වදන්වලටත් සිතුවිලිවලටත් කාන්තා නිදහස නමින් බිලිවෙමින් සිටී. සැබෑ කාන්තා නිදහස අමතක වු මොවුන් පිරිමි සමාජය සතුටු කරවන “බෝනික්කන්” තත්වයට අද පත්ව සිටී. විශේෂයෙන් මෙහි දී මුස්ලීම් කාන්තාවන් තම ශරීර අලංකාරය පිටතට නොපෙනෙන සේ වස්ත‍්‍රයකින් වසා සිටීමත් (ෆර්දාව), සමාජයේ පිරිමින්ගේ කාමුක බැල්මන්ගෙන් ඉවත්ව හා දුරස්ව සිටීමත්, බොලද ආකර්ශණීය වදන්වලට හසු නොවී ගෞරවාන්විතව තමන්ටම සුවිශේෂ වු ආකාරයට ජීවත්වීමත් මුස්ලීම් කාන්තාවන් වහලූන් ලෙස පවත්වාගෙන යන බවට ඉහත බොලද කාන්තා අයිතීන් සුරකින සංවිධානයන් හඩඟන තැනට ඔවුන් පත්ව ඇත. තමන් ආරම්භයේ සමාජය ඉදිරියේ තැබු සටන් පාඨයන්ගෙන් බැහැරවී කාන්තා විරෝධි කුමන්ත‍්‍රණවලට හසුවී තම අරමුණුවලට යනවා වෙනුවට පිරිමීන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරවමින් හා ඒ වෙනුවෙන්ම කටයුතු කරමින් සිටී. මාගේ මෙම ප්‍රකාශය තවදුරටත් තහවුරු වන්නේ වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඩක් නගන ග්‍රීර් Germaine Greer නැමැත්තිය පැවැත්වූ සංවාදයයි. එනම්,

1970 වේ සිට කාන්තාවගේ නිදහස වෙනුවෙන් සටන් කරමින් සිටින ජෙර්මන් ග්‍රීර් නැමැති කාන්තාව 1999 මාර්තු 07 දින ලන්ඩනයේ පැවැත් වු ලෝක කාන්තා සම්මේලනයට සහභාගි වෙමින් එහි දේශනයක දී පවසා සිටියේ “තවම කාන්තාව වහල්භාවයෙනුත්, පිරිමින්ගේ හිංසනයන්ගෙන් හා අනවශ්‍ය අතපෙවීමන්වලිනුත් මිදුනේ නැත. අද පවුල් ජීවිතයේ කාන්තාව ස්වාමියා විසින් හිංසාකාරීව පවත්වමින් සිටී. නිවසේම ඔවුන්ව කිසිවකටත් එරෙහිවීමට නොහැකි ආකාරයට අසරණ තත්වයට පත්කොට ඇත. එසේම බාහිර ලෝකයේ ඔවුන් පිරිමින්ගේ කෲර ආශාවන්ටත් විනෝදකාමී ක‍්‍රියාවන්ටත් විනෝද භාණ්ඩයක තත්වයට පත්ව තිබේ. තවද වෙළද භාණ්ඩ අලෙවි කරණයේ ප‍්‍රදර්ශන භාණ්ඩයක් තත්වයට ද පත්කර තිබේ.” යයි පවසන ලදී.

ඇය විසින් රචිත ග‍්‍රන්ථයක් වන The Whole Women හි ඇය පවසා සිටින්නේ “ප‍්‍රථමයෙන්ම අප ආරම්භ කල ‘පිරිමියාට කාන්තාව සමයි’ යන විප්ලවිය තේමාව අද වන විට පරාජය අත්විද ඇත. එපමණක් නොවේ එය කාන්තාව නොයෙක් ආකාරයේ දරුණූ ඉරණමයන්ටද යොමු කොට ඇත” යනුවෙනි. ඕස්ටේ‍්‍රලියාවේ උපන් ඇය බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාලයක සේවය කරන අතර ඉහත අදහස් දැක්වීම සිදුකලේ ආරාබි දේශයේ හිද නොව. “කාන්තා අයිතිය වෙනුවෙන් හඩ නගන ඉස්ලාමිය කාන්තා නිදහස හා ඉස්ලාමීය ආගමික නීති රීතිවලට එරෙහිව සටන්වදින ත්ස්ලීමා නස්රීන්වරුන් වෙනුවෙන් හඩ නැගීමට සිටින්නෙමු” යයි පවසාගන්නා ලෝව දියුණුම සමාජය යයි පවසා ගන්නා බ්‍රිතාන්‍යයේ සිටය. මෙම ප‍්‍රකාශය මඟින් කාන්තාවද ලොව හිමි තැන මනාව පිළිඹිබු කරන අතර කාන්තාව වෙනුවෙන් කිඹුල් කඳුළු සලන පිරිසගේ වෙස්මූහුණු ද මින් ගැලවෙනවා නොවේද?

මේ ආකාරයට වෙස්මූණු පැලද කාන්තා හිංසනය හා අයිතිය වෙනුවෙන් හඩනගන බොහෝ රටවල කාන්තාවගේ ඉරණම පෙළ ගැසිය හැක. නමුත් නියදියක් ලෙස අවබෝධය සදහා ලොව බලගතු ලොවටම වැදි බණ දෙසන රාජ්‍ය දෙකක කාන්තාවට අත්ව තිබෙන ඉරණම අවබෝධ කර ගැනීම මගින් අනිකුත් රටවල කාන්තාවගේ ඉරණම අවබෝධ කරගැනිම අපහසු නොවනු ඇත යන්න මාගේ විශ්වාසයයි. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ කාන්තාව දීර්ඝ කාලීනව කල උද්ඝෝශණ, ජනරැලි, පෙලපාලී… යනාදී ක‍්‍රියාමාර්ගයන් තුලින් අද ඇය දිනාගත් එකම අයිතිය “ලෝක කාන්තා දිනය” නම් කාන්තාවන් සදහා වු ජාත්‍යන්තර එක් දිනයක් යන්න පමණි. වසරේ දින 365න් ඇය වෙනුවෙන් එක් දිනයක් නම් කිරීම තුල යම් ආකාරයක ඇයට අසාධාරණයක් වී ඇති බව බොහෝ කාන්තාවන් අවබෝධ කර නොගනී. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට ඇය වෙනුවෙන් වෙන්කල එම දිනයම හොදම සාක්‍ෂියයි. එනම් ඇය වෙනුවෙන් වෙන්කල එම දිනයෙ පවා තවමත් ඇය උද්ඝෝශණය කරනවා යන්න ඇයට නිදහස නොලැබුනා යන්නට හොදම සාක්‍ෂිය නොවේද?

ආගම්, දර්ශන හා ඒ තුල කාන්තාව

ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිබෙන අයිතීන් හා වරප‍්‍රසාධයන් පිලිබදව කථා කිරීමට මත්තෙන් මේ කාන්තාව සම්බන්ධයෙන් ලොව අනිකුත් දහමන්, දර්ශනයන් හා විවිධ ජන සමාජ දක්වන ප‍්‍රතිචාරය කෙරෙහි අවදානය යොමු කිරීම මෙම විෂය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට පිටුවහලක් වනු ඇත. ඒ අනුව ලෝකය දෙස අවධානය යොමු කලේනම්, ලෝක ඉතිහාසයේ වැදගත් සන්දිස්ථානයක් ලෙස ග‍්‍රීකවරුන් සදහන් කල හැක. ලෝක ඉතිහාසයේ අළුත් පරිච්චේදයක් නිරමාණය කල අදටත් ලොව විශ්මිතව කථා කරන මේ ග‍්‍රීකවරුන් කාන්තාව සම්බන්ධයෙන් දැක් වු ප‍්‍රතිචාරය කුමක්ද? යන්න විමසා බැලුවේ නම්, මේ පිලිබදව ඉතිහාස පෙරලද්දී ඔවුන් ආරම්භයේ කාන්තාව “වෙළද භාණ්ඩයක්” ලෙස සලකන ලද බව තහවුරු වේ. එසේම කාන්තාව යනු කිසිදු ආකාරයක අයිතිවාසිමකට උරුමකම් කිව නොහැකි පිරිසක් ලෙසත් සියළුම ආකාරයේ අයිතීන් වරප‍්‍රසාද ඇත්තේ පිරිමින්ට පමණක් ලෙසත් එදා එම සමාජය විශ්වාස කරන ලද බවත්, දේපල අයිතිය ප‍්‍රධානය කිරීම හෝ තබාගැනීම කාන්තාවට නුසුදුසු ක‍්‍රියාවක් ලෙස සලකන ලදී. වර්ථමාන ලොව පවා විද්වතෙකු ලෙස සලකන, ග‍්‍රීකවරුන්ගේ ප‍්‍රබලතම විද්වත් මතවාදියකු වන සොක්රටීස් නැමැත්තාගේ කාන්තාව පිලිබදව අදහස වුයේ,

“කාන්තාවන් සිටීම ලෝව පරිහාණියට ප‍්‍රබල හේතුකාරකයක් වේ. තවද කාන්තාව යනු විෂ ගසකට සමාන පිරිසකි. එම ගසේ භාහිර ස්වරුපය අලංකාර වේ. නමුත් එහි පලය බට්ටිත්තන් කෑ විගසම එම බට්ටිත්තන් මියඇදෙති”

ග‍්‍රීකවරුන් එසේ තීරණය කරද්දී ඊට දෙවැනි නොවී රෝමාවරුන් ද කාන්තාව සම්බන්ධයෙන් විවිධ තීරණ හා අදහස් සමාජ හමුවේ ප‍්‍රකාශ කරන ලදී. එහි වැදගත්ම කාරණය වන්නේ ඔවුන් “කාන්තාව පණ නැති වස්තුවක්” ලෙස සලකනු ලැබීමයි. එදා රෝමාවරුන්ගේ සමාජයේ කාන්තාවට කිසිදු ගෞරවයක් හෝ සැලකිල්ලක් හිමි නොවී පැවතුණි. මොවුන් කාන්තාව පණ නැති භාණඩයක් ලෙස සැලකූ නිසා එම සමාජයේ කාන්තාවන්ට රත් කරන ලද තෙල් ශරීරයේ වැක්කිරීම වැනි මිලෙච්ච දඩුවම් පවා කාන්තාවන්ට පමුණුවන ලදී. එසේම කාන්තාව හිංසනයට ලක්කිරීම එම සමාජයේ විනෝදාංශයක්ව පැවතුණි. එය කොතරම් කුරිරු ද යයි පවසනවා නම්, කාන්තාවක් අශ්වයකුගේ වලිගයේ බැද එම අශ්වයන් වේගයෙන් දුවවමින් එම කාන්තාවට හිංසනයන් සිදුකරමින් එය බලා විනෝද වීම එම සමාජයේ පිරිමීන්ගේ විනෝදාංශයක් වූ බව ඉතිහාසයේ සදහන් වේ.

කාන්තාව සම්බන්ධයෙන් එදා ලෝක ප‍්‍රතිචාරය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා අප අසැල්වාසී ඉන්දීයාව කෙරෙහි අවදානය යොමු කලේ නම්, ඔවුන් කාන්තාව සම්බන්ධයෙන් දැක්වු ප‍්‍රතිචාරයත් ඉහත සදහන් රටවල් දැක්වු ප‍්‍රතිචාරයන්ට දෙවැනි නොවීය. විටෙක ඉන්දියාව ලොව අනිකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටී බව පැවසිය හැක. එනම් “සතිපූජාව” නමින් තම ස්වාමියා මියගිය පසු එම මෘතදේහය ආදාහනය කරන මොහොතේ ඔහුගේ බිරිද ද එම ගින්නෙහිම පණපිටින් ආදාහනය කරන සිරිතක් එම සමාජයේ පැවතුණි. එනම් තම ස්වාමියාගෙන් තොර ලොවක් ඇයට සිතීමේ පවා අයිතියක් නොපැවතුණි.

චීනවරුන් කාන්තාව ධනයත්, භාග්‍යයත් අහිමි කරවන දුර්භාග්‍යමත් කාරණයක් ලෙස සලකනු ලැබු අතර සියල්ලට විපත ගෙන එන ජලයට ඇය සමාන කරන ලදී. එසේම එදා සමාජයේ චීනවරුන් තම බිරිදන් පණපිටින්ම වලලන්නටත් විකුණන්නටත් රටේ නීතියෙන්ම සම්පූර්ණ අයිතය ලබා තිබුණි.

ලොව විප්ලවකාරීන් වන යුදෙව්වරුන් එදා කාන්තාව සැලකුවේ සියළුම ආකාරයේ ශාපයන්ට උරුමකම් කියන පිරිසක් ලෙසයි. මන්ද “ඇය තමා ආදම් තුමාව නොමඟ යවා තහනම් ගසේ ගෙඩි කන්නට සැලැස්වු බවත් එහි ප‍්‍රථිපලයක් ලෙස මිනිස් සමාජය බිහිවී දුක්විදින්නට සිදුවී ඇති බවත්” යන්න ඔවුන්ගේ විශ්වාසයයි. තවද කාන්තාව අපිරිසිදු මැවීමක් ලෙස ඔවුන් සැලකූ අතර විශේෂයෙන් ඇයට ස්වභාවිකව ඇතිවන මාසික (මාස්ශූද්ධිය) ඔසප් කාලය ඇති වුයේ නම් ඇය ඉතා අපිරිසිදු තත්වයට පත්වන බවත් ඇය සිටින නිවසත් ඇයගේ ස්පරශයට හසුවන සියල්ලමත් අපිරිසිදු තත්වයට පත්වන බවටත් ඔවුන් විශ්වාසය විය. එසේම දේපල බෙදිම සම්බන්ධයෙන් කිසියම් පවුලක කාන්තාවකට සහෝදරයන් සිටියේ නම් ඇයට තම පියාගෙන් කිසිදු ආකාරයක දේපල අයිතියක් නොලැබෙන බව ද ඔවුන්ගේ නිගමනය වී තිබුණි. එපමණක් නොවේ යුදෙව්වරුන් තම දේපල ආරක්‍ෂා කරගැනීම පිණිස තම දූවරුන් විකිණීමටත් ඔවුන් දාසයන් ලෙස ලබාදීමටත් අවසරය ලබා තිබු බව පහත බයිබල් වාක්‍යයෙන් පැහැදිලි වේ. එනම්

“යුදෙව්වරු තමන්ට අයිති ඉඩම්වලට හා මිදි වතුවලට තීරුබදු ගෙවීම පිණිස තමන් සතු ගැහැණු දරුවන් උකසට තැබීමටද බලය ලබා තිබුණි”

බයිබලය (නෙහෙමියා 5:5)

කාන්තා අයිතීන් වෙනුවෙන් කිඹුල් කඳුළු සලමින් ඉස්ලාම් දහමට චෝදනා නඟන පිරිස් මේවා පිලිබදව දෙවරක් සිතාබැලිය යුතුය. තවදුරටත් පවසනවා නම්, ක‍්‍රිස්තියානිවරුන් කාන්තාව ෂෙයිතාන්ගේ (නපුරෙහි) දොරකඩ ලෙස කලකන ලදී. ක‍්‍රිස්තියානි විද්වතුන්ගේ පවා නිගමනය වී තිබුණේ කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත් නොවන බවයි. තවද පාරිශූද්ධ යූනපෙන්තූරා නැමත්තා මෙසේ පවසයි,

“නුඔලා කාන්තාවන් දුටුවේ නම් ඇයව මනුෂ්‍ය ඝනයට අයත් කෙනෙකු යයි නොසිතන්න, එපමණක් නොවේ ඇයව පණ ඇති ජීවියකු ලෙස ද නොසලකන්න, නුඹලා දකින්නේ සැබැවින්ම ශෙයිතාන්ගේ (නපුරෙහි) රූපයම බවත් නුඹලාගේ සවනට වැටෙන ඇයගේ හඩ විෂ සර්පයන්ගේම ශබ්දයක් යන්නත් අමතක නොකරන්න”

තවද පසුගිය 19 වන සියවසයේ මැද භාගය වනතුරු ඉංග‍්‍රීසිවරුනගේ පොදු නීතියට අනුව කාන්තාව යනු රටක පුරවැසිභාවය නොලද පිරිසක් ලෙස සලකන ලදී. එපමණක් නොවේ කාන්තාවට පමණක් යයි කිසිදු අයිතියක් හෝ නීතියක් ඔවුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක නොවුනි. එය කොතරම් ද යයි පවසනවා නම් ඇයි අදින වස්ත‍්‍රය ඇයට අයිති එකක් ලෙස තබාගැනීමට පවා අවසරයක් ඇයට නොතිබුණි. එසේම 1567 දී ස්කොට්ලන්තයේ පාර්ලිමෙන්තුව කාන්තාවට කිසිදු ආකාරයක තනතුරක් හෝ බලයක් නොදිය යුතු බවට නීතියක් සම්මත කරන ලදී. මේ ආකාරයටම අටවන හෙන්රි සමයේ ඉංගී‍්‍රසිවරුන්ගේ පාර්ලිමෙන්තුව “කාන්තාව අපිරිසිදු කොට්ඨාශයක් වන නිසා ඉන්ජීල් දහම ඉගෙනීම තහනම්” යයි නීතියක් සම්මත කරන ලදී. එසේම 1805 වන තුරු ඉංග‍්‍රීසිවරුන්ගේ නීතියේ පුරුෂයෙකු තම බිරිද අලෙවි කිරීම අනුමත කාරණයක් ලෙස සදහන්ව තිබුණි. බිරිදකගේ වටිනාකම පෙනී 6ක් (සිලිං භාගයක්) බවට ද තීරණයක් පැවතුණි

ප‍්‍රංශයේ පාර්ලිමේන්තුව 586 වර්ෂයේ කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත් පිරිසක්ද? නැද්ද? යන්න තීරණය කිරීමට විද්වත් කමිටුවක් පත්කරන ලදී. එසේ පත්කල එම කමිටුව අවසාන වාර්ථාව “කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත් පිරිසකි, නමුත් ඔවුන් මවා ඇත්තේ පුරුෂයන්ට සේවය කිරීම සදහා පමණකි” යනුවෙන් තින්දුව ලබාදෙන ලදී.

මුහම්මද් (සල්) තුමා මගින් ඉස්ලාම් දහම ප‍්‍රකාශවන්නට පෙර අරාබි සමාජයේ ද කාන්තාව වෙළද භාණ්ඩයක් ලෙස සලකන ලදී. ඔවුනට කිසිදු ආකාරයක අයිතියක් හිමි වී නොතිබුණි. එපමණක් නොවේ අනිකුත් සමාජයන් මෙන්ම මෙම සමජයේත් කාත්තාවට වදහිංසා මෙන්ම ඔවුන් පණපිටින් වලලන සිරිතක් ද එම සමාජයේ පැවතුණි. ගැහැණු දරුවකු පවුලක උපත ලැබීම දුර්භාග්‍යයක් ලෙසත් සමාජයට මුහුණදිය නොහැකි ලැජ්ජාවට කාරණයක් ලෙසත් ඒ සමජය සලකන ලදී.

ලාංකීය සමාජයේ බහුතරය පිලිපදින බුදුදහමේ කාන්තාව පිලිබදව පවසන කරුණූ කාරණයන් පිලිබදව දැන් අවධානය යොමු කලේ නම්. මෙම කාරණයේදී ලොව අනිකුත් දහමන් හා බුදුදහම ද කරට කර සිටී. මෙහි දී පැවසිය යුතු කාරණයක් ඇත. එනම් බුදුදහම පිලිබදව කථාකරන විට එය කථා කල යුත්තේ බුද්ධ දේශනයන් පදනමස් කරගෙන මිස බෞද්ධ සමාජය හෝ බෞද්ධ සමාජයේ විද්වතුන් පදනම් කරගෙන නොවේ. ඒ අනුව කාන්තාව සම්බන්ධයෙන් බුදුදහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න විමසා බැලුවේ නම්,

මෙම කාරණය කෙරෙහි බුද්ධිමත් අවධානය බුද්ධ දේශන වෙත අවධානය යොමු කරන ඕනෑම කෙනෙකුහට මුලින්ම නෙත ගැටෙන ප‍්‍රබලතම සිදුවීම වන්නේ බුදුදහමේ උතුම් ස්ථානයක් වන පැවිදිබව ලැබීම හා එම තැන කාන්තාව සදහා ලබාදීමටත්, තමන් එය ලබාගැනීමටත් ප‍්‍රජාපති ගෝතමී මාතාව (භාග්‍යවතුන් වහන්සෙගේ, මවගේ සහෝදරිය. මවකළුරිය කළාට පසු භාග්‍යවතුන් වහන්සේව දැඩිකළාය. පෝෂණය කළාය. කිරි පෙව්වාය) ගත් උත්සාහය හා ඒ තැන ලබාගැනීම සදහා කාන්තාවට කැපකිරීමට සිදුවු කැපකිරීමන්ය. ඒ සිදුවීම කෙරෙහි දැන් අවදානය යොමු කරමු.

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිගොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප‍්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ සිටින තැනට පැමිණ ස්වාමිණි, ස්ත‍්‍රීය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප‍්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත‍්‍රීය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.
දෙවනුවත් මහා ප‍්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ස්වාමිණි, ස්ත‍්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප‍්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත‍්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි  භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.
තෙවනුවත් මහා ප‍්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ස්වාමිණි, ස්ත‍්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප‍්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත‍්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි  භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.
අවසර නොලැවීම නිසා ප‍්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදේයයි සිත නරක් වූවා, කදුළු පිරුණු ඇසින් යුක්තව, පිටව ගියාය.

අවසානයේ ඇය තම හිසකෙස් සිදුවා කසා වස්ත‍්‍ර හැද තවත් බොහෝ ස්ත‍්‍රීන් සමඟ බොහෝ දුර පැමිණ බුදුන් වහන්සේ සිටින ප‍්‍රදේශයේ හඩමින් රුදී සිටින ලදී. මෙය දුටු ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඇයගෙන් කරුණු විමසන ලදී. ඉන් පසු ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමිනි, මහා ප‍්‍රජාපතී ගෝතමී තොමෝ ඉදිමී ගිය පයින් ධූලි වැකුනු සිරුරින්, දුක් වෙමින්, නරක්වූ සිතින්, කදුළු පිරුණු ඇස් ඇතිව අඩමින් සිටී. ස්ත‍්‍රීය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිකවූ පැවිද්ද ලබන්නේ නම් යහපතකි”. යයි පවසන ලදී. නමුත් භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රතික්‍ෂේප කරන ලදී. නැවත නැවතත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මේ කාරණය පිලිබදව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටින ලදී. නමුත් දිගින් දිගටම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා මේ පිලිබදව තවදුරටත් විමසීම පලක් නොවන බව අවබෝධ කරගත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අවසානයේ “ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද ලබා සෝවාන් ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත් ඵලය ප‍්‍රත්‍යක්‍ෂ කරන්ට සුදිසුය” විමසන ලදී. එයට භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, ප‍්‍රජාපතී ගෝතමි තොමෝ කරුණු අටක් පිළිගන්නේ නම් ඇයට උපසම්පදාව හිමිය.

  • උපසම්පදා වී වර්ෂ සියයක් ගිය භික්‍ෂුණිය වුවද එදා උපසම්පදා වූ මහණහට වැදීම හා දැක හුනස්නෙන් නැගටීම යනාදී * වශයෙන් ගරුකල යුතුය.
  • භික්‍ෂුණිය විසින් භික්‍ෂූණ් නැති ආවාසයක වස් නොවිසිය යුතුය.
  • අඩ මසකට වරක් භික්‍ෂුණිය විසින් භික්‍ෂූ සංඝාගෙන් පොහොය විචාරීම ද අවවාද ඇසීම ද කලයුතුය
  • වස් විසු භික්‍ෂුව උභය සංඝයා ඉදිරියේ පවාරණය කල යුතුය
  • ඇවැතකට පැමිණි භික්‍ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක්‍ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි.
  • දෙවර්ෂයක් ධර්ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය.
  • කිසියම් කරුණකින් භික්‍ෂුණිය විසින් භික්‍ෂූන්ට ආකේ‍්‍රශා නොකළ යුතුය. පරිභව නොකළ යුතුය.

අද පටන් භික්‍ෂුණීන්ට භික්‍ෂූන් කෙරෙහි වචන මාර්ග වැසූයේය. භික්‍ෂුණීන්ට භික්‍ෂූන් කෙරෙහි වචන මාර්ග නොවැසුවේය.” මෙසේ කරුණු අට ප‍්‍රජාපතී ගෝතමී තුමියට පැවසීමේන් අනතුරුව සසුනට තිබු දැඩි කැමැත්ත නිසා ඇය මෙම කරුණු 08 පිලිගෙන සසුන් ගතවන ලදී. මෙම සිදුවීම කෙරෙහි බුද්ධිමත් අවධානය යොමු කරන ඕනෑම කෙනෙකු හට බුදුදහම තුල කාන්තාවට හිමිව පවතින ස්ථානය අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. විශේෂයෙන් ඉහත 08න් 01, 02, 07 හා 08 කරුණු පිලිබදව හොද අවධානයක් යොමුකලේ නම් මෙය පහසුවෙන් අවබෝධ කරගනු ඇත. මෙසේ මා කරුණු බුද්ධ දේශන ඇසුරින් ඉදිරිපත් කරන විට සමහරක් බෞද්ධ විද්වතුන් මෙම කරුණු කාරණයන් සදහා විවිධ අර්ථ කථන ලබාදීමට පුළුවන. (එයට මෙම අඩවිය විවෘතය) මෙහිදී මෙම සිදුවීම මුල සිට අග දක්වා මධ්‍යස්ථව හිද නිරීක්‍ෂණය කලයුතුයි. එනම් ප‍්‍රජාපතී ගෝතමී තුමියගේ අඛණ්ඩ උත්සාහය, ආනන්‍ද ස්ථවිරයන් වහන්සෙගේ අඛණ්ඩ උත්සාහය පිලිබදව ගැඹුරින් අධ්‍යනය කලයුතුයි. එවිට එදා පැවතී සමාජයත් ඒ සමාජයට ප‍්‍රකාශිත බුදුදහම තුල කාන්තාවට හිමිව පැවතී ස්ථානයත් පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා මෙම සිදුවීම අවසානයේ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හට භාග්‍යවතුන් වහන්සේ පවසන කාරණය ඉතා වැදගත් වේ. එය පහතින් ඉදිරිපත් කරමින් මෙම මාතෘකාවට විරාමය තබමි. එනම්,

“ආනන්‍දය, ඉදින් ස්ත‍්‍රීය තථාගතයන් වහන්සේ විසින් ප‍්‍රකාශ කරණ ලද ධර්මයේ පැවිද්ද නොලැබූයේ නම්, ආනන්‍දය, බ‍්‍රහ්මචරය්‍ය බොහෝ කල් සිටියේ වන්නේය. වර්ෂ දහසක් සද්ධර්මය පිහිටන්නේය. ආනන්‍දය, යම් දවසෙක සිට ස්ත‍්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් සස්නෙහි පැවිදි වූයේද, ශාසනය වර්ෂ පන්සියයක් සද්ධර්ම සිටින්නේය. එසෙම් යම්සේ කිසි කුලයක ස්තී‍්‍රහු වැඩිවෙත් ද පුරුෂයන් අඩුවෙත්ද ඒ කුලයේ ගම්පහරණ සොරුන් විසින් පහසුවෙන් මැඩ පැවැත්විය යුත්තේද එසේම යම් ධර්ම විනයෙහි ස්තී‍්‍රය පැවිද්ධ ලබයි ද ශාසනය බොහෝ කල් නොපවතින්නේය, එසේම සම්පූර්ණ වු හැල් කෙතෙහි සුදු ඇට ඇති රෝග පහළවේද එසේ ඒ හැල් කෙත බොහෝ කල් නොපවතී එසේම ස්ත‍්‍රිය යම් ධර්ම විනයක පැවිද්ද ලබයි ද ඒ ධර්ම විනය බොහෝ කල් නොපවතී…”

මේ අනුව විවිධ කාලවල විවිධ සමාජවල හා ආගම්වල කාන්තාවට හිමිව පැවතී තැන පැහැදිලිවම වටහා ගැනීම අපහසු නොවේ.

ඉස්ලාම් දහම තුල කාන්තා අයිතිය

මීට වසර 1420 කට පෙර එනම් ඉස්ලාම් දහම සමාජය ඉදිරියේ ප‍්‍රකාශ වන ආරම්භක අවධියේ අරාබි දේශයේ ජනයා කාන්තාව දුර්භාග්‍යයක් ලෙසත්, පවුලක කාන්තාවක් සිටීම ලැජ්ජාවට කාරණයක් ලෙසත්, වෙළද පොළේ වෙළද භාන්ඩයක් ලෙස අලෙවි වූ බවත් ඉතිහාසගත තොරතුරුවලන් පැහැදිලි වේ. මෙම කාරණය ශුද්ධ වූ කුර්ආනය 58-59 වාක්‍යය පහත අකාරයට අනාවරණය කරයි. එනම්,

“ඔවුන්ගෙන් කිසිවකුට ‘ගැහැණු දරුවෙකු ඉපදී ඇත’ යන පුවත ලැබුණේ නම් ඔහුගේ මුහුණ අඳුරු වී යනු ඇත. තවද ඔහු සිත සංවේගයෙන් පිරී යනු ද ඇත. ඔහුට දන්වනු ලැබූ පුවතෙහි සංවේගය නිසා ඔහු (ලැජ්ජාව නිසා) මිනිසුන්ගෙන් තමාව වසන් කරගනුද ඇත. අවමානය විඳ දරා ඇයව ඔහු සමග තබා ගන්නේ ද නැත්නම් ඇය (පණපිටින්ම) වළදා දමන්නේද? (යන පැනය ඔහු තුල පැන නඟී) නිශ්චය වශයෙන්ම නපුරු වන්නේ (එම බිළිදා මරා දැමිය යුතුය යන) ඔවුන්ගේ තීරණයයි.”

කාන්තාව සම්බන්ධයෙන් තිරිසන් ආකාරයටත්, මිලේච්ඡ ජාතියක් ලෙසත් කටයුතු කල ඒ අඥාන සමාජයේ ඉස්ලාම් දහමේ ප‍්‍රචාරය නබිතුමාණන් විසින් අරභන ලදී. මෑත වකවානුවේ එනම් මිට සියවස් 03 කට පමණ පෙර කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත්ද?, කාත්තාවට පණ තිබෙනවාද? ඇයට හැඟීමන් තිබෙනවාද?, ඇයට කිසියම් ආකාරයක අයිතීන් ලබාදීමක් අවශ්‍යද?… යනාදී ලෙස වාද විවාද පවත්වමින් සිටින විටත් කාන්තාවගේ අවශ්‍යතාවයන් හා වගකීමන් හොදින් අවබෝධ කරගෙන සිටී ඉස්ලාම් මීට වසර 1420 ට පෙර පැවති ඒ මිලේච්ඡ සමාජය ඉදිරියේ කාන්තාවට සියළුම ආකාරයේ අයිතීන් හිමවිය යුතු බවත්, ඇයට ද නිදහසක් අවශ්‍ය බවත්, පැවසීමෙන් නතර නොවී ඒ අයිතීන් කි‍්‍රයාවට නංවා ඔවුන් ද ශ්‍රේෂ්ඨ වු සමාජයක කොටස්කරුවන් බව තහවුරු කරන ලදී. හයවැනි සියවසේ ජීවත් වූ නබි (සල්) තුමාණන් සමාජය විසින් කාන්තාවට එරෙහිව පනවා තිබු සියළු අගුළුවලින් ඇය නිදහස් කිරීමෙන් නතර නොවී කාන්තාව මවක් වශයෙන්, දියණියක් වශයෙන්, භාර්යාවක් වශයෙන් සමාජයෙහි ඇයට හිමිවිය යුතු අයිතිවාසිකම් හා ගෞරවය ගෞරවාන්විත ආකාරයට ලබාදෙන ලදි. එය අද අපට හොදින් කියාපාන හදීස් (නබිතුමාණන්ගේ වදන්) කිහිපයක් වෙත ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම් මා පෙර සදහන් කලාසේ මිලෙඡ්ච සමාජයක් ඉදිරියේ එදා කාන්තාව සම්බන්ධයෙන් ඉස්ලාම් කුමක් අවධාරණය කරනවාද යන්න බලන්න.

“ජාහිමා (රලි) තුමා, නබි (සල්) තුමාණන් වෙත පැමිණ ‘ශාස්තෘවරයානනි! මම (ඉස්ලාම් දහම ආරක්‍ෂා කිරීමේ) සටනෙහි නිරතවීමට කැමත්තෙන් පසුවෙන්නෙමි’ කීවේය. එවිට නබි (සල්) තුමන් ‘ඔබගේ මව ජීවතුන් අතර සිටින්නේ දැයි?’ ප‍්‍රශ්ණ කළහ එම මිත‍්‍රයා ‘එසේය’ යැයි පැවසු විට නබිතුමාණන් ‘ඇයට ඇප උපස්ථාන කරන්න, ඇයගේ පාමුල ස්වර්ගය තිබෙන්නේය’ යැයි පැවසූහ.”

ග‍්‍රන්තය : අහ්මද්, නසායී

  • “ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පන පිටින් නොවළලා, ඇය අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා, ඇය පෝෂණය කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේය” යනුවෙන් නබි (සල්) ප‍්‍රකාශ කළහ.”

ග‍්‍රන්ථය : අහ්මද්

  • “දියණියන් තිදෙනෙකු සිට, ඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම්, ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක්‍ෂාව සපයනු ඇත” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ.”

ග‍්‍රන්ථය : බුහාරි

  • “අධ්‍යාපනය ලබා දීම, හොද (යහපත් අරුතක් ඇති) නමකින් ඇමතිම, යොවුන් වියට පත්වූ විට විවාහ කරදීම සියළු පියවරුන්ට තමන්ගේ ගැහැණු දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වෙයි.”

ග‍්‍රන්ථය : බුහාරි.

ඉහත හදීසයන් අනුව ඇය විවිධ අවදීන් පසුකලත් ඇයගේ ගෞරවාන්විත අයිතීන් පිලිබදව ඉස්ලාම් දැඩි හා පැහැදිලි ස්ථාවරයක සිටන බව පැහැදිලිය. නමුත් ඉස්ලාම් මගින් කාන්තාව වෙත තහවුරු කරන අයිතීන් හා කාන්තාවගේ අයිතීන් දිනාගැනීම සදහා ඒ මිලෙඡ්ච ජන සමාජය ඉදිරියේ කරන ලද විප්ලවීය අරඟල බටහිර ලොවේ කාන්තා නිදහස පිලිබදව ක‍්‍රියාකාරී හු දැනගෙන ඇත්තේ ස්වල්ප වශයෙන්වීම ඉස්ලාම් අද සමාජයේ මුහුණ දෙන ඛේදනීය තත්වයකි. එදා ඉස්ලාම් ප‍්‍රකාශ වන මුල් අවධියේ සමාජය කාන්තාව සැලකුවේ මිනිසාගේ අවශ්‍යතාවයන් පිනවීම සදහා මවන ලද නිවසට පමණක් සීමා වූ සත්වයකුට වඩා නොදෙවනි තත්වයකයි. මෙවන් වූ තත්වයකින් ඇය මුදවාගෙන ඉස්ලාම් කාන්තාවට ලබාදුන් අයිතීන්ට අමතරව බටහිර ශිෂ්ඨාචාරය මඟින් කිසිදු වැඩදායි යමක් ඇයට ලබාදී නොමැත. ලබදී ඇති යමක් තිබේ නම් එය දූෂණයටත්, අනාචාරයටත් වැඩි නිදහසක් ලබාදීම පමණකි. අනාචාරය, සල්ලාලකම, අශීලාචාර බව, නීචත්වය හා චරිත දූෂණය වැනි දේ ඉස්ලාම් විසින් අනුමත නොකරයි. එම ගුණාංගයන් අහිමි කිරීම කාන්තාවගේ දියුණුවට බාධාවක් වේද? එය කාන්තාවගේ දියුණුවට බාධාවක් නම් එවැනි නිදහසක් බුද්ධිය ඇති කිසිදු යහපත් කාන්තාවක් අපේක්‍ෂා නොකරනු ඇත.

ඉස්ලාමීය ස්ථාවරය “ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාම මනුෂ්‍යත්වයේ පාරමිතාව අත්පත් කරගත හැකි ස්වභාවයෙන් යුතුව දෙවියන් වහන්සේ විසින්ම නිර්මාණය කරණු ලැබූවෝය” යන්නයි. මෙම සංකල්පය වෙනත් ආගම්වල දක්නට නැත. එසේ නැතුවා පමණක් නොවේ ඇයගේ එම මූලික අයිතීන්ට හානිකර ප‍්‍රකාශනයන් ආගමික මූලාශ‍්‍රයන්වල දක්නට ලැබෙන බව අප ඉහතින් විමසා බැලූවෙමු. මේ පිලිබදව “ඉස්ලාමීක් ඇන්ඞ් ඇරබ් සිවිලිසේශන්” නම් ග‍්‍රන්ථයේ 519 පිටුවේ මෙසේ සදහන් වේ. එනම්, “දහස් සංඛ්‍යාත පුරුෂයින් අතර දේවාශිර්වාදය ලද කෙනෙක් සොයා ගත හැක. එහෙත් එවැනි තත්වයට පත්වු එක් ස්තී‍්‍රයක් හෝ ලෝක කාන්තාවන් අතර සොයාගත නොහැක.” මෙය තමා කාන්තාව සම්බන්ධයෙන් ලොව බහුතරයකගේ ස්ථාවරය. මේ ආකාරයට ලොව සියළු ආගම් ලිංග භේදය අනුව යම් යම් සීමාවන් නිර්මාණය කරගෙන ක‍්‍රියාත්මක වෙද්දී ඉස්ලාම් පියවරක් ඉදිරියෙන් හිද දෙවියන් වහන්සේගේ අභියස ස්ත‍්‍රී පුරුෂ භේදය සලකනු නොලබන බවත්, මේ දෙපල එකින් එකා හා සමාන බවත්, සෑම කෙනෙක්ම උත්තරීතර අධ්‍යාත්මයකින් හෙබි ජීවයන්ය කෙනෙකු අනෙකුට වඩා විශේෂත්වයක් උසුලන්නේ දෙවියන් වහන්සේ අභියස සුචරිතය, ශ‍්‍රද්ධාව, අධ්‍යාත්මික හා සදාචාරාත්මක ගුණයහපත්කම ආදියෙන් පිරිපුන් හා ඉහලින් සිටින තැනැත්තා බවත්, මෙවන් ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට ස්ත‍්‍රී පුරුෂ දෙපලටම පුළුවන් බවත්, අවසාන විනිශ්චය දිනයේ දී විනිශ්චය ඔවුන ඔවුන්ගේ ක‍්‍රියා කලාපය මත පමණක් තීන්දු කරනවා මිස ඔවුන් ඔවුන්ගේ ලිංගිකත්වය අනුව නොවන බවත් පැහැදිලිවම පවසයි. එවැනි ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කිහිපයක් ඔබේ අවධානයට යොමු කරන්නේ නම්,

“පුරුෂ වුවද ස්ත‍්‍රී වුවද (මෙම දහම) විශ්වාස කර හොද ක‍්‍රියාවන් කරන්නෝද ඔවුන් ස්වර්ගයට ඇතුල් වන්නෝය. ඔවුනට ස්වල්ප ප‍්‍රමාණයකින් හෝ අසාධාරණයන් සිදු නොකරන්නේය.”

ශුද්ධ වු අල්කුර්ආනය 4-124

“යහපත් ක‍්‍රියාවන් කරන කෙනෙකුට ස්ත‍්‍රීය වේවා පුරුෂයා වේවා සැබෑ ව්ශ්වාසවන්තද වේ නම් එවැන්නාට අප මෙලොවේදී ඉතා යහපත් ජීවිතයක් සකස් කර දෙන්නෙමු. එලොවේ දී ඔවුන් ඔවුන්ගේ ශ‍්‍රමයට ප‍්‍රතිපල ලබා දී මේදී ඔවුන් කල ප‍්‍රමාණයට වඩා හොද ප‍්‍රථිපල ලබා දෙන්නෙමු.”

ශුද්ධ වු අල්කුර්ආනය 16:97

ස්ත්‍රී්‍ හා පුරුෂයා එකිනෙකාගේ ඌනපූරක ලෙස ඉස්ලාම් සලකයි.

“ඔවුන්ගේ ප‍්‍රාර්ථනයට සවන්දුන් ඔවුන්ගේ ස්වාමියා කීවේය. ඔබලාගෙන් ස්තී‍්‍රය හෝ වේවා පුරුෂයා හෝ වේවා කිසිවකුගේ යහකම්වලට යහපත් ප‍්‍රථීපල නොදී මා අපතේ නොයවන්නෙමි. ඔබලා එකින් එකා අනෙකා මත රැඳීසිටින්නෙහිය.”

ශුද්ධ වු අල්කුර්ආනය 3:195

මේ ආකාරයට දෙවියන් ඉදිරියේ තීරණාත්මක සාධකය වන්නේ ලිංග භේදය නොව ඇයගේ හෝ ඔහුගේ අවනතභාවය හා විශ්වාසණියත්වය බව ඉස්ලාම් අවධාරණය කිරීම තුල ඉස්ලාම් කාන්තාවට ඇයගේ අපේක්‍ෂිත සීමාවට වඩා බොහෝ දෑ ලබාදී ඇති බව පැහැදිලිය. මෙහි සුවිශේෂි කාරණය වන්නේ ලොව සෑම සමයක්ම කාන්තාවගේ ආගමික අයිතිය පවා අහිමි කරද්දී ඉස්ලාම් ඇයගේ ආගමික අයිතිය පමණක් නොවේ ලෞකික ජීවිතයේ ඇයට අවශ්‍ය සියළුම ආකාරයේ වරප‍්‍රසාදයන් නොඅඩුව ලබාදෙන්නේ ඇයගේ කිසිදු ආකාරයක මැදිහත්වීමක් හෝ ආයාචනයකින් තොරවය. මේ කිසිවක් පිලිබදව අධ්‍යනයන් සිදු නොකොට පටු සීමාවල හා පූර්ව නිගමනවල හිද පදනම් විරහිතව ඉස්ලාම් දහම හා මුස්ලීම්වරුන් විවේචනය කිරීම ඔවුන්ගේ අනවබෝධයට වඩා අන්තවාදීත්වය මනාව ප‍්‍රදර්ශනය කිරීමකි. මෙවන් පදනම් විරහිත අන්තවාදී විවේචකයන්ටත් ඔවුන්ගේ අඩිපාරේ ගොස් වල්මත් වූ සමාජයේ අවධානයටත් “කාන්තා අයිතීන් ඉස්ලාම් අහිමි කරනවාද? ඇයිට ඉස්ලාම් ලබාදී තිබෙන තැන කොතැනද?” යන කාරණය පිලිබදව දැන් අවධානය යොමු කරමු.

කාන්තා අයිතීන් ඉස්ලාම් අහිමි කරනවාද? ඇයිට ඉස්ලාම් ලබාදී තිබෙන තැන කොතැනද?

“ඉස්ලාම් කාන්තා අයිතීන් උදුරාගෙන ඇත” යයි පවසන පිරිස් ඒ සදහා වූ සාක්‍ෂි වශයෙන් කරුණු කිහිපයක් ගෙන හැර දක්වයි. එනම්,

  •  කාන්තාව නිවසේම රදවා තබාගැනීම
  •  කාන්තාවට අධ්‍යාපනය සම්බන්ධයෙන් සමානත්වයක් නොතිබීම
  •  සමාජයෙන් ඇය වසන්කොට තැබීම
  •  පිරිමියා බහු විවාහය සිදුකලත් කාන්තාවට ඒ අයිතිය ලබානොදීම
  •  දික්කසාදයේ දී සමානත්වයක් නොතිබීම
  •  පවුල් දේපල බෙදීමේ දී කාන්තාවට වඩා පිරිමීන්ට වැඩි වරප‍්‍රසාද ලබාදීම
  •  සාක්‍ෂි ලබාදීමේ දී හො ලබාගැනීමේ දී පිරිමින්ට වඩා වෙනස් ආකාරයට කාන්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීම
  •  ක‍්‍රියාකාරී කටයුතුවලදී ඇයට අවස්ථාවක් ලබානොදීම

(ඉහත කරුණු ඉදිරියේදී වෙන වෙනම යහමඟ හරහා සාකච්චා කිරීමට අපේක්ෂා කර ඇත) ඉහත ආකාරයට සමාජයෙන් ඉස්ලාම් දහමට එරෙහිව විවිධ චෝදනාවන් ඉදිරිපත් වේ. මේවා එකින් එක කථා කිරීමට වඩා වැදගත් වන්නේ සමස්ථයක් වශයෙන් ඉස්ලාම් දහම තුල කාන්තාවගේ භූමිකාවයි. එම කාරණය කෙරෙහි අවධානය යොමු කිරීමට මත්තෙන් මුළු මහත් සමාජය පැහැදිලි කරගත යුතු කරුණක් ඇත. ඒ “කාන්තාවට පිරිමියා සෑම අතින්ම සමානද?” යන්නයි. මෙය පැහැදිලි කරගැනීම තුල ඉහත කාරණ බොහෝමයකට පිලිතුරු ලැබෙනු ඇත. ඒ අනුව එම කාරණය කෙරෙහි අවධානය යොමු කලේ නම්,

කාන්තාවට පිරිමියා සෑම අතින්ම සමානද?

ඉහත බොහෝ චෝදනාවලට හේතුව මෙම සංකල්පයයි එනම් “කාන්තාව පිරිමීන්ට සෑම අතින්ම සමානයි” යන සංකල්පයයි. ඉස්ලාම් දහම අධ්‍යනය කරන විට සමහරක් කරුණුවල දී කාන්තාවට වඩා පිරිමීන්ට ප‍්‍රමුඛත්වයක් දෙන අවස්ථාවල් දක්නට ඇත. එම කාරණයන් පදනම් කරගෙන සමස්ථ දහම ම කාන්තාවගේ අයිතීන් උදුරාගෙන ඇති බවට චෝදනා කරයි. එසේ නම් ප‍්‍රථමයෙන් අවබෝධ කරගත යුත්තේ මේ දෙපාර්ශවය සෑම අතින්ම සමානද? නොඑසේ නම් වෙනසක් පවතිනවාද? යන්නයි.

ඉස්ලාම් පැහැදිලිවම “කාන්තාව සෑම අතින්ම පිරිමිට සමයි” යන සංකල්පය පප්‍රතික්ෂේප කරයි. මෙම සංකල්පය වාදයකට අලංකාර වුවත් ප‍්‍රායෝගික නොවන සංකල්පයකි. සැබැවින්ම කාන්තාව හා පිරිමීයා අසමානව පැවතීම තමා මනුෂ්‍ය පැවැත්මේ රහස. කාන්තාව කාන්තාවම විය යුතුය. පිරිමියා පිරිමියාම විය යුතුය. එසේ නොවන අවස්ථාවන් සමාජය පිලිකුල් කරනවා යන්න ප‍්‍රායෝගික සත්‍යයයි. අප සමාජයේ සමහරක් “ඔහු ගෑණියෙක් වගේ” එසේත් නැත්නම් “ඇය පිරිමියෙක් වගේ” යයි පිලිකුල් සහගතව කථා කරනවා අනන්තවත් දැක ඇත්තෙමු. ගතිගුණ වලින් පමණක් නොවේ “ඒක ගෑණූ වැඩ” එසේත් නැත්නම් “ඒක පිරිමි වැඩ” යනුවෙන් ක‍්‍රියාවන් පවා කාන්තාවට හා පිරිමින්ට වෙන වෙනම වෙන් කර සමාජය හදුනාගෙන ක‍්‍රියා කරනවා යන්න යථාර්තයයි. එසේනම් මතභේදය ඇත්තේ කොතැනද? මිනිසුන් කුමන ආකාරයට කි‍්‍රියාකලත් “දෙවියන් ඇයි මේ දෙපාර්ශවය සම කොට නොසලකන්නේ” යන මත වාදයයි. මෙය සාධාර්ණ වූ තර්කයක් පමණක් නොව මිනිසුන් වශයෙන් දෙවියන්ගෙන් බලාපොරොත්තු වියයුතු සාධාරණයකි. එසේ නම් දැන් ගැටළුව දෙවියන් මේ දෙපාර්ශවයෙන් එක් පාර්ශවයකට සුවිශේෂත්වයක් දක්වමින් තවත් පාර්ශවයකට අසාධාරණයක් සිදු කරනවා ද? යන්නයි.

මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය වන්නේ කුමන කාරණයන් හි කාන්තාව හා පිරිමියා සමවිය නොහැකි ද එම කාරණයන්වල ඉස්ලාම් ඒ දෙපාර්ශවය සමව දැකීම ප්‍රතික්ෂේප කරයි. එසේම කුමන කාරණයන් හි කාන්තාවට වඩා පිරිමියා උසස් වේද එහි දී පිරිමියා උසස් ලෙසත්, කවර කාරණාවල දී පිරිමීන්ට වඩා කාන්තාව උසස් වේද එහි දී කාන්තාව උසස් ලෙසත් ඉස්ලාම් සලකයි. පිරිමින්ගේ ශාරීරික ස්වභාවයන් පදනම් කරගෙන ඔවුනට යම් යම් වරප‍්‍රසාද, යුතුකම් හා වගකීම් ඉස්ලාම් පවරයි. එසේම කාන්තාවගේ ශාරීරික ස්වභාවයන් පදනම් කරගෙන ඔවුනට යම් යම් වරප‍්‍රසාද, යුතුකම් හා වගකීම් ඉස්ලාම් පවරයි. මේ අනුව සෑම අතින්ම කාන්තාව පිරිමියාට සමයි යන සංකල්පයේ ඉස්ලාම් පැහැදිලිවම නැත. මෙය සරල උදාහර්ණයක් මගින් පැහැදිලි කරනවා නම්,

එක් පවුලක වයස අවුරුදු 20 හා අවුරුදු 01 ක දරුවන් දෙදෙනෙකු සිටිනවා යයි උපකල්පනය කරන්න. මේ දරුවන් දෙදෙනාම මව බිහිකර ඇත්තේ දසමසක් කුසේ දරා සිටීමෙන් අනතුරුවයි. මවගේ කෝණයෙන් තම දරුවන් දෙදෙනාම තමාට එක සමානය. එමනිසා මව කිසිදු විටෙක තම දරුවන්ට අසාධාරණයක් සිදු නොකරයි. දැන් මේ මව දරුවන්ගේ කුසගින්නට වැඩිමල් දරුවාට ඝන ආහාර ලබාදෙයි එසේම බිලින්දා කුසගින්නේ හඩනවිට ඉහත ඝණ ආහාර ලබානොදී පළතුරු හා කිරි වැනි සරලව දිරවන්නට පහසු ආහාර ලබාදෙයි. දැන් මේ දෙස බලා සිටින ඔබ ඒ මව දරුවන් අතර අසාධාර්ණ අයුරින් කටයුතු කරන බව පවසනවාද?. එසේම මෙම දරුවන් දෙදෙනා එකවර කුසගින්නේන් ආහාර ඉල්ලා සිටින විට මව බාලම දරුවාගේ කුසගින්නට ආහාර දීමෙන් පසුවයි වැඩිමල් දරුවා ගැන බලන්නේ මෙහි දී කිසිවකුට තර්ක කල හැකි ද ඉහත මව තම දරුවන් අතර අසාධාරණයෙන් ක‍්‍රියා කරනවා යයි. මේ දරුවන් දෙදෙනාගේ ශරීර ස්වභාවය අනුව මව සාධාරණව ක‍්‍රියා කරන්නේ නම් ක‍්‍රියාකලයුතු එකම ආකාරය ඉහත ආකාරය පමණි. මේවා සමාජයේ එදිනෙදා දකින ප‍්‍රායෝගික සත්‍යයි.

සාමාන්‍ය දරුවන් සැලකූවිට ඉහත ආකාරයේ අසමානකම් කෙටිකාලීනව පැවතියත් කාන්තාව හා පිරිමියා සැලකූවිට ඉහත දුර්වලතාවයන්ට වඩා වැඩි දුර්වලතාවයන් සධාකාලිකව පවතී. එම වෙනස හදුනා ගෙන ඔවුනට සාධාරණය ඉටුකිරීම බාහිරින් අන්තවාදීව දකින ඕනෑම කෙනෙකුහට අසාධාරණයක් ලෙස පෙනෙන්නට පුළුවන නමුත් සැබැවින්ම එහි අසාධාරණයක් නැත. මනුෂ්‍යාගේ හැකියාවන් හා දුර්වලතාවයන් හොදින් දන්නේ අපව මැවූ දෙවියන් පමණි. පිරිමියාට පිරිමින්ගේ දුර්වලතාවයන් එක්තරා දුරකට පැවසිය හැක. ඒ ආකාරයටම කාන්තාවට කාන්තාවගේ දුර්වලතාවයන් පැවසිය හැක. නමුත් මෙම දුර්වලතාවයන් එකට එක සාපේක්‍ෂව හොදින්ම දන්නේ දෙවියන් පමණී. සමහරක් අවස්ථාවල දී යහපත් ගුණාංග පවා දුර්වලතාවයන් බවට පත්වෙන අවස්ථාවන් ඇත. එයට උදාහරණයක් ලෙස ඉහතින් සදහන් කල ආකාරයට “ස්ත‍්‍රිය සාක්‍ෂි නම් දෙකක් අවශ්‍යයි පිරිමින් නම් එකක් ප‍්‍රමාණවත්” යන ඉස්ලාමීය නීතිය සදහන් කල හැක. මෙම ඉස්ලාමීය නීතිය බොහෝ දෙනෙකු ඉස්ලාම් කාන්තාවට ආසාධාරණයන් සිදු කරන බව ඔප්පු කරන්න යොදාගන්නා නීතියකි. ඒ එක් පිරිමියෙකුට සමවෙන්න නම් කාන්තාවන් දෙදෙනෙකු අවශ්‍ය බව ඉස්ලාම් අවධාරනය කරන බව පවසමිනි. ඉස්ලාම් මෙම නිතිය පනවා ඇත්තේ කාන්තාව බුද්ධිමත් නොවන නිසාත් පිරිමීන්ට ඊට වඩා බුද්ධිමත් නිසාත් නොවේ. වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී.

“බුද්ධිමත්ම පිරිමියෙකුගේ බුද්ධියම අක‍්‍රිය කරවන්නට තරම් හැකියාවක් කාන්තාවණී ඔබට ඇත.”

ග‍්‍රන්ථය:- බුහාරි 304, 1463

ඉහත නබිවදනට අනුව කිසිසෙත් කාන්තාවගේ බුද්ධීය අවතක්සේරු කල නොහැක. එසේනම් ඇයි ඉස්ලාම් සාක්‍ෂි සම්බන්ධයෙන් මෙවැනි නීතියක් පනවන්නේ? මෙයට හේතූන් කිහිපයක් ඇත. එහි ප‍්‍රධානම හේතුව ඇයගේ යහපත් ගුණාංගයක් වන අසීමිත ආදරය, සංවේදීභාවය හා අනුකම්පා කිරීමේ ස්වභාවයයි. කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් කාන්තාව සාක්‍ෂිදීමේ දී ඇයගේ සාක්‍ෂි කිසියම් පාර්ශවයක් කෙරෙහි ආදරයක් හෝ අනුකම්පාවක් නිසා සත්‍ය වසන් වී එම තීන්දුවට අසාධාරණයක් නොවීම සදහා කාන්තා සාක්‍ෂි ලබාගැනීමේ දී දෙදෙනෙකු අවශ්‍ය බව ඉස්ලාම් අවධාරණය කරයි. මෙම කාන්තා දුර්වලතාවය සැබැවින්ම දුර්වලතාවයක් නොවුවත් ඉස්ලාම් එය මෙම ස්ථානයේ දී දුර්වලතාවයක් ලෙස දකී. මේ අනුව දුර්වලතාවයන් කිහිපයක් පදනම් කරගෙන කාන්තාවද? පිරිමියාද? උසස් යන නිගමනයකට පැමැණිය නොහැක. මෙයට සරල උදාහරණයක් මුහම්මද් නබිතුමාගේ වදනකින් පැහැදිලි කරගත හැක. එනම්,

“එක්තරා අවස්ථාවක කෙනෙකු පැමිණ ‘මම අධිකව යුතුකම් ඉටු කිරීමට ඇත්තේ කාහටද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණෝ ‘මවට’ යයි පවසන ලදී. නැවත ඔහු ඊළඟට කාටද? යයි විමසන ලදී. එයට නබිතුමාණෝ නැවතත් ‘මවට’ යයි පවසන ලදී. නැවතත් ඔහු ඊළඟට කාටද? යයි විමසන ලදී. එයටත් නබිතුමාණෝ ‘මවට’ යයි පවසන ලදී. ඉන්පසු නැවත් ඔහු ‘ඊට පස්සේ කාටද?’ යයි විමසූ විට ‘නුඹේ පියාට’ යයි නබිතුමාණන් පවසන ලදී.” ග‍්‍රන්ථය :- බුහාරී 5971

ඉහත නබි වදන අනුව මවට දෙවැනි තැන නොව තෙවැනි තැන පවා පියා නොමැති තරමට මෙම කාරණයේ දී ඉස්ලාම් කාන්තාවට සුවිශේෂි ස්ථානයක් ලබාදී ඇති බව පැහැදිලිය. සෑම අතින්ම පිරිමියා උසස් නම් ඉහත ආකාරයට කිසිවිටෙකත් නබිතුමාණෝ නොපවසනු ඇත. මේ අනුව ඉස්ලාම් දහමේ පැහැදලි ස්ථාවරය වන්නේ’

  •  සෑම අතින්ම පිරිමීන් උසස් ද නොවේ
  •  සෑම අතින්ම කාන්තාව පහත් ද නොවේ
  •  සෑම අතින්ම මේ දෙපාර්ශවය සමාන ද නොවේ

මේ අනුව ඉස්ලාම් කාන්තාවට ලබාදී ඇති අයිතීන් හා නිදහස අද ලොව කාන්තාවට ලබා දී ඇති අයිතීන්ට හා නිදහසට වඩා ගෞරවනීය එකක් බව වටහාගත යුතුය. ඒ අනුව සමාජය තුල කාන්තාවට හිමි විය යුතු ස්ථානය වන්නේ සමතැන නොව නිසි තැන යන්න පැහැදිලිය. ඉස්ලාම් කාන්තාව සම්බන්ධයෙන් ලබාදෙන නිදහස හා වරප‍්‍රසාද ගැඹුරින් අධ්‍යනය කරන විට ඉස්ලාම් කාන්තාවට ලබාදෙන නිසි තැන සමාජයේ කාන්තාව ඉල්ලා සිටින සමතැනට වඩා උසස් ස්ථානයක් බව පැහැදිලි ලෙස අවබෝධ කරගත යුතුවේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/10

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම