කැසීනෝව නීතිගත කිරීම හමුවේ මුස්ලීම් ජනතා නියෝජිතයන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


‘කැසීනෝව’ යනු නූතන සමාජයට නූතන වදනක් වුවද, මේ ‘කැසිනෝව’ නම් නම පිටුපස සිදුවන ක්‍රියාකාරකම්වලට නම් අතීතයටම දිවයන ඉතිහාසයක් ඇත. ඉස්ලාම් දහම මුහම්මද් (සල්) තුමාණන් මඟින් ප්‍රකාශ වන වකවානුව එනම්, මීට වසර 1400 කට පෙර සමාජය සැලකුව ද මේ ‘කැසීනෝව’ එදා ‘සූදුව’ ලෙස ක්‍රියාත්මක විය. එපමණක් නොව අද ‘කැසීනොවට’ මුවාව සිදුවන සුරාව ඇතුළු අනිකුත් අනාචාර ක්‍රියාවන් ද එදා එවකට සමාජයේ ද සුළභ එකක් විය. එවන් පසුබිමක ප්‍රකාශ වූ ඉස්ලාම් දහම ඒ අරාජික ජන සමූහය ලොව උතුම්ම ජන සමූහය බවට පරිවර්ථනය කලේ විශ්මය ජනක ආකාරයටය. එම තත්වය 19 වන සියවසයේ විද්වතෙකු වන ලියෝ ටොල්ස්ටොයි (leo Tolstoy) දුටුවේ මේ ආකාරයටය. එනම්,

‘ලේ පිපාසිත දර දඩු ජන කොට්ටාශයක් ඔවුන්ගේ නපුරු චාරිත්‍රවලින් මුදවා ලෝකයේ දියුණුම සමාජයක් බවට පත්කල ජයග්‍රහණයට වඩා වෙනත් හේතුවක් මුහම්මද් තුමාගේ කීර්තියට අවශ්‍ය නොවේ. එතුමාගේ ව්‍යාවස්ථා  හා අනපනත් එහි බුද්ධිගෝචර ස්වභාවය සමගින් ලොවේ අධිකාරිය බවට පත්වනු ඇත.’

එදා සුරාව, සූදුව, අනාචාරය, ඝාතනය, අසාධාර්ණය, කල්ලිවාදය හා කුලවාදය… යනාදීය සියල්ලෙහි අන්තයටම ගොස් ඒ තුල ගිලී පැවතී සමාජය මධ්‍යයේ ඉස්ලාම් දහම ප්‍රකාශ වීමත් සමඟ ‘සහාභාවරුන්’ ලෙස මනුෂ්‍යත්වයේ ඉනිපෙත්තට ගිය පිවිතුරු සමාජයක් ලෙස ඔවුන් පරිවර්ථනය විය. (මේ පිලිබදව වැඩි විස්තර ‘කුර්ආනීය සමාජයක් කරා නැවතත්‘ යන ලිපිය තුලින් මෙම අඩවියේ කියවීමට පුළුවන.) පරිහානියේ ඉනිපෙත්තෙහි සිටී ඒ සමාජය එලෙස නිවරුදි වනවිට ඒ ඉගෙන්වීම තුලින් එලෙසම ආදර්ශ ලැබිය යුතු වර්ථමාන මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් යලිත් ‘ජාහිලියාව (ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර පැවතී අරාජික යුගය) කරා පියනඟනවාදෝ’ යයි සිතන තැනට කටයුතු කරමින් සිටීම අවාසනාවන්ත තත්වයකි. ඒ අද වනවිට මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් ද මේ ‘සූදු’ ව්‍යාපාරයන්ට ඇබ්බැහි වී ඇති බවට තොරතුරු විවිධ ප්‍රදේශවලින් වාර්ථා වේ. එවැනි පිරිස් එම ව්‍යාපාරයන්ගෙන් මුදවා ගැනීමට ගම් මට්ටමේ, නගර මට්ටමේ විවිධ සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීමේ කාලීන අවශ්‍යතාවය දැන් මතු වෙමින් ඇත. මේ පිලිබදව වගකිවයුතු පාර්ශවයන්ගේ අවදානය යොමු වේවා!, යන ප්‍රාර්ථනය සමඟ අද මේ ලිපිය තුලින් අවදානය යොමු කරන්න උත්සාහ කරන්නේ ‘වර්ථමානයේ අප රටේ උණූසුම් මාතෘකාවක් වී තිබෙන ‘කැසීනෝව’ හා එය කරපින්නාගෙන යන මුස්ලීම් දේශපාලඥයින් පිලිබදව වචන කිහිපයක් පැවසීමටය.’ ඊට ප්‍රථම ‘යහමග’ අඩවිය මීට ඉහත ‘කැසීනෝව හා දේශමාමක නිහැඩියාව’ යන මාතෘකාව යටතේ මේ ‘කැසීනොව’ තුලින් සමාජයට සිදුවන හානිය කුමක්ද? යන්නත්, එම විෂය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ඉගෙන්වීම හා ස්ථාවරය කුමක්ද? යන්නත් පැහැදිලිව කරුණු සාකච්චා කලා ඔබේ මතකයට තබමින් මේ ‘සූදුව’ සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ඉගෙන්වීම ශුද්ධ වූ කුර්ආනය තුලින් නැවත ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

(නබි මුහම්මද්!) සුරාපානය හා සූදු කෙළිය පිළිබඳව ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහිම අතිමහත් අනර්ථයන් ඇත. මිනිසුන්ට එහි යම් ප්‍ර යෝජන ද ඇත. එහෙත් එම දෙකෙහිම ඇති අනර්ථය දෙකෙන්ම සිදුවන ප්‍රයෝජනයට වඩා අති විශාල යැයි පවසනු…

ශුද්ධ වූ කුර්ආනය 2-219

විශ්වාසවන්තයිනි! සුරාව, සූදූව, අන්සාබ් (ආදේශවාදීන් අදහන පිළිරුව ඉදිරියේ පූජාවන් සඳහා යොදා ගන්නා ගල්) හා අzස්ලාම් (නිමිති බැලීමට සිටුවා තබා ඇති රිටි) යන මේ සියල්ලම ෂෙයිතාන්ගේ පිළිකුල් සහගත ක්‍රියා වේ. එනිසා මේවායින් වළකිනු. නුඹලාට ජයග්‍රා හකයන් විය හැකිය.

ශුද්ධ වූ කුර්ආනය 5-90

සුරාව, සූදුව මගින් නුඹලා අතර වෛරය හා ද්වේශය වැපිරීමටත් අල්ලාහ් සිහිකිරීම හා සලාතය (ඉටු කිරීමෙන්) නුඹලා වළක්වාලීමටත්ය, නියත වශයෙන්ම ෂෙයිතාන් ප්‍රිය කරන්නේ. (ඒනිසා ඒවායින්) නුඹලා වළකින්නේ ද?

ශුද්ධ වූ කුර්ආනය 5-91

ඉහත වාක්‍යයන් 03 හොදින් විමසා බලන්නේ නම් ඉස්ලාම් දහම සූදුව කොතරම් දුරකට පිලිකුල් කරනවාද? යන්න අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවේ. එවන් වූ ව්‍යාපාරයක් මේ රටේ මහා පරිමාණයෙන් ගොඩනඟන්න වත්මන් රජය කටයුතු කරමින් සිටීම ශ්‍රී ලාංකීය ප්‍රජාව හොදින් දන්නා කාරණයකි. එම සූදු ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක් වුවද එය මේ රටේ අතිබහුතරය වන බෞද්ධ ප්‍රජාව ද අනුමත නොකරන එසේම පිලිකුල් කරන ව්‍යාපාරයක් යන්න මෙහි මා පැහැදිලි කොට ඔබ අවබෝධ කරගතයුතු කාරණයක් නොවේ. මන්ද ඒ තරමට එය සමාජීය, සංස්කෘතික හා සාරධර්ම පරිහානියක් ගෙනදෙන ව්‍යාපාරයක් ලෙස ලොව ප්‍රසිද්ධ ව්‍යාපාරයක් වී ඇති බැවිණි. එවන් වූ ව්‍යාපාරයක් නීතිගත කරන්න රජය කටයුතු කරමින් සිටින මේ මොහොතේ ඒ වෙනුවෙන් කඩේ යන මුස්ලීම් දේශපාලඥයින් තිදෙනෙකු පිලිබදව මේ දිනවල වාර්ථා වේ. ඉස්ලාම් දහම පවා පිලිකුල් කරන මේ පාපක්‍රියාවට උරදෙන ඒ දේශපාලඥයින් පිලිබදව 2014/05/06 පාර්ලිමේන්තු මැති සභයේ කථා වුණේ පහත ආකාරයටය.

මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, පාර්ලිමෙන්තු සභාව තුල ප්‍රකාශ වූ ඉහත ප්‍රකාශය පදනම් කරගෙන මෙම කරුණු දැක්වීම මා මෙහි ඉදිරිපත් නොකරමි. මෙම ඉහත විඩියෝව තුල සදහන් ප්‍රකාශය ප්‍රකාශ නොවුවත් සමහරක් මුස්ලීම් දේශපාලඥයින් පසුගිය දිනවල මෙම ‘කැසීනෝව’ සම්මත කිරීමේ ක්‍රියාවලියට පක්ෂව මාධ්‍යයන් තුල මතවාද ප්‍රකාශ කරන ආකාරය මා ද දුටුවෙමි. ඒ කරුණු මත පදනම්ව කෙටියෙන් හෝ මුස්ලීම් සමාජයේ අවදානයට කරුණු කිහිපයක් පැවසිය යුතුව ඇත.

  •  බහුතර මුස්ලීම් ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව ගොස් අද මෝඩ ජෝකර්ලා වී සිටින, හරිදේ වැරදිදේ හැමදේටම එකලෙස ප්‍රතිචාර දක්වන, දේශපාලනය කරනවාට වඩා පවතින ආණ්ඩුවට මුක්කු ගසන, මේ පොල් පිති දේශපාලඥයින් මුස්ලීම් සමාජය හදුනා ගතයුතුව ඇත.
  •  එපමණක් නොව සමහරක් දේශපාලඥයින් කැසීනොව සාර්ථක කරගන්න අද දක්වන උනන්දුව උද්යෝගය රටේ මුස්ලීම් ප්‍රජාව සම්බන්ධයෙන් වූ ගැටළුවල දී දකින්ට නැත. එපමණක් නොව විදේශ නියෝජිතයන් ජනාධිපති තුමා හමුවී රටේ මුස්ලීම් ජනතාවට සිදුවෙමින් තිබෙන වත්මන් හිංසා පීඩා පිලිබදව සාකච්චා කරන විට ‘මේ රටේ මුස්ලීම් ජනතාවට ප්‍රශ්නයක් නැහැ…’ යයි බෙරිහන්දීම නිසා ඔහුව සභාවෙන් ඉවත්කරන ලෙස විදේශ නියෝජිතයන් ඉල්ලා සිටී ජෝකර්ලාත් මේ කැසීනොවට වලිකන පුහු වීරයන් අතර සිටින බව මුස්ලීම් සමාජය අවබෝධ කර ගතයුතුව ඇත.
  •  මෙහිදී තිදෙනෙකු පිලිබදව කථා වුවත්, බහුතර මුස්ලීම් ජනතාවගේ ඡන්දයෙන් මැති සභයට ගොස් අද ‘ගොලුවා කසාය බිව්වා සේ’ සිටින මැතිවර්ණ සමය දී පමණක් වීරයන් වන තවත් මුස්ලීම් ජනතා නියෝජිතයන් සිටින බවත්, ඔවුන් අද ප්‍රසිද්ධියේ මුස්ලීම් ජනතාවට එරෙහිව කටයුතු කරන ව්‍යාපාරවලට වඩා දරුණු අවස්ථාව දී පිරිසක් බවත් මුස්ලීම් ජනතාව හොදින් අවබෝධ කරගත යුතුව ඇත.
  •  එසේම ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය පක්ෂ පාට භේදයකින් තොරව මේ සූදු ව්‍යාපරයට එරෙහිව අත්වැල් බැඳ ගතයුතුව ඇත. මේ සූදු ව්‍යාපාරය වෙනුවෙන් හඬ නඟන පිරිස් සමාජය විසින් ප්‍රක්ෂේප කලයුතුව ඇත. එසේම එම සූදු ව්‍යාපාරයට එරෙහිව කටයුතු කරන පිරිසට ශක්තියක් ලබාදිය යුතුව ඇත. මෙය ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට පෙන්වාදෙන ඉගෙන්වීමක් බව මුස්ලීම් සමාජය අවබෝධ කර ගතයුතුව ඇත.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ඉහත වීඩියෝවේ සදහන් ආකාරයට මේ මැති ඇමතිවරුන්ට ‘පල්ලිය’ (මුස්ලීම් දේවස්ථාන) තහනම් කල නොහැක. එවැනි පහත් තැනකට පල්ලි පරිපාලන සභාවන් වැටේ යයි මා විශ්වාස නොකරමි. මන්ද මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේත් එතුමාණන් සමඟ දේවස්ථානයේ ‘මුනාෆික්’ (කුහකයන්) වන්දනාමාන කල බවත්, ඔවුන් පල්ලියට පැමිණීම මුහම්මද් (සල්) තුමා කිසිවිටෙක තහනම් නොකල බවත් අපි හොදින් දන්නා කාරණයකි. නමුත් ආගමික නායකයින්, විද්වතුන් හා සමාජ වගකිවයුතු පාර්ශවයන්ට වගකීමක් ඇත. ඒ මෙවැනි පහත් ක්‍රියාවල නියලෙන ජන නායකයින් සමාජයට අනාවර්නය කිරීමේ හා හදුන්වාදී මේ වගකීමයි. ඒ අනුව එම වගකීම වගකිවයුතු පාර්ශවයන් නිවරුදිව ඉටු කිරීමටත්, ඒ සියල්ල හදුනාගැනීමටත්, අවබෝධකර ගැනීමටත් සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට නුවණැස පෑදේවා!, යන ප්‍රාර්ථනය ඇතුව මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම