කැසීනෝ නම් සූදුව හා දේශමාමක නිහැඩියාවේ විපාකය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


කලින් කලට අප රටේ උණුසුම් මාතෘකාවන් සමාජගත වීම ශ්‍රී ලාංකීය අපට අළුත් කාරණයක් නම් නොවේ. පසුගිය කාලවල මේ රටේ සුළුතරය වන මුස්ලීම් ප්‍රජාවට එරෙහිව මතු වූ ජාතිවාදී රුල්ල එයට සමීපතම හා සංවේදීම නිදසුනයි. මීට දින කිහිපයකට පෙර රටේ සියළු මාධ්‍යයන් හි ප්‍රධාන මාතෘකාව වූ මෙම ජාතිවාදී ව්‍යාපාරයන් ‘හිරු දුටු පිණි බිංඳු මෙන්’ හිටිහැටියේ නිහඬවීම පිලිබදව සමහරක් පිරිස් විශ්මිතව බලා සිටින අතර තවත් සමහරක් ඒ නිහඬියාව පිලිබදව විවිධ මතවාදයන් ඉදිරිපත් කරයි. මේ අතර සමහරක් නිවට දේශපාලඥයින් වත්මන් තත්වය සම්බන්ධයෙන් මහා උජාරුවෙන් හා ආඩම්භර ලීලාවෙන් පුරසාරම් දොඩවයි. ඒ කෙසේ වෙතත් මෙම වර්ථමාන තත්වය සම්බන්ධයෙන් ‘යහමග’ ට ද අදහසක් ඇත. ඒ, ‘මෙය තාවකාලික විරාමයක් පමණි’ යන්නයි. ‘යහමග’ අදහස අනුව එම ජාතිවාදී පිරිස් සක්‍රිය වන කාල විරාම countdown (අවරෝහණ ක්‍රමයට ගණනය කිරීම්) මඟින් මෙලෙස ඉදිරිපත් කලහැක.

කෙසේ වෙතත් පසුගිය කාලවල මේ රටේ උග්‍ර ලෙස ක්‍රියාත්මක වූ ජාතිවාදී ව්‍යාපාරය හමුවේ ‘හජ් උත්සවය’ සැමරීම හා ඒහා බැඳුනු ආගමික කටයුතු නිදහසේ ඉටුකිරීම පිලිබදව මුස්ලීම් සමාජයට පැවතුණේ දැඩි අවිනිශ්චිත තත්වයකි. එම සැකය තුරන් කරමින් කිසිදු බාධාවකින් තොරව එම දිනය සැමරීමටත්, ඒහා බැඳුනු ආගමික කටයුතු ඉටුකිරීමටත් අවස්ථාව උදාකර දුන් අල්ලාහ් (දෙවි)ට ප්‍රථමයෙන් ස්තූතිවන්ත වන අතර ඉන් අනතුරුව ඊට අවශ්‍ය පරිසයර නිර්මාණය කරදුන් වත්මන් රජයට ද සමස්ථ මුස්ලීම් සමාජය වෙනුවෙන් ‘යහමඟ’ අඩවිය ගෞරවණීය ස්තූතිය පුද කරමි.

මෙලෙස ස්තූති පූර්වකව අද මෙම ලිපිය තුලින් සංවාදයට ගැනෙන්නේ වර්ථමානයේ අප රට තුල උණුසුම් මාතෘකාවක් වී තිබෙන ‘කැසීනෝව හා ජේම්ස් පැකර්’ නම් මාතෘකාවට මූලික වී තිබෙන ‘සූදුව’ නම් විෂය පිලිබදවයි. මෙම විෂය රටේ සාරධර්ම, සභ්‍යත්වය හා දැහැමි බව අගයන විශේෂයෙන් රටේ ‘සුභ අනාගතය’ අපේක්ෂා කරන පොදු ජනයාට මිහි මාතෘකාවක් නොවුවත් සමහරක් දේශපාලඥයින්ට හා ජනප්‍රියත්ව හඹායන ඊනියා විද්වතුන්ට හා පූජකවරුන්ට නම් එය ආශිර්වාදයක් වී ඇති ආකාරය මාධ්‍යයන් තුල දකින්නට ඇත. කෙසේ නමුත් කවදත් දේශපාලන විෂය පිලිබදව උනන්දුවක් නොදක්වන ‘යහමඟ’ අද කැසීනො‍්ව හා ඒ තුලින් වෙස්වලා පැමිණෙන සමාජ පරිහානිය පිලිබදව කෙටි විමසුමක් මෙහිදී සිදුකිරීමට අදහස් කරන අතර සත්භාවයෙන් කරන මෙම මෙහෙවරට දේශපාලන මුහුණුවරක් ආරූඪ නොකෙරෙත්වා! යන ප්‍රාර්ථනයෙන් මාතෘකාවට පිවිසෙන්නේ එක්තරා වෙබ් අඩවියක පලවී තිබූ කෙටි අදහස් දැක්වීමක් ද සමඟිනි. එය මෙසේය…,

…මේ අතර ආන්දෝලනයට පත් කැසිනෝ ව්‍යපෘති සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි බොදු බල සේනා සංවිධානයෙන් විමසා තිබු අතර වම සංවිධානයේ දිලන්ත විතානගේ මහතා ප්‍රකාශකොට තිබුනේ කැසිනෝ වලට තම සංවිධානය විරුද්ධ බවත්, නමුත් මෙම අවස්ථාවේ වඩා වැදගත් වන්නේ කැසිනෝ නොව හලාල් අර්බුධය බවයි.

Link – අදාල ලිපිය කියවන්න

තම අරමුණු කෙසේ හෝ දිනාගැනීමට කුලල්කන වකවානුවක හා සියල්ල මිල මුදලින් තීන්දු වන වකවානුවකය අද අප ජීවත් වෙමින් සිටින්නේ. මෙවන් සමාජ පසුබිමක හිඳ ‘බෞද්ධ රාජ්‍යයක්’, නිර්මල බුදුදහමක්’, ‘ආසියාවේ ආශ්චර්‍යයක්’… යනාදී වූ විවිධ තේමා පාඨයන් විටින් විට සමාජගත කරන්න උත්සාහ කලත් මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? යන්න අවබෝධ කරගැනීමට ගැඹුරු විග්‍රහයන් හෝ දීර්ඝ පැහැදිලි කිරීමන් අවශ්‍ය නොවේ. මෙහි විශ්මය ජනක කාරණය එය නොවේ. ඉහතින් සදහන් සංවිධානය හා ඔවුනට ආවැඩු සමහරක් ජාතිවාදී ව්‍යාපාර පසුගිය කාලවල මේ රටේ සමාන්‍ය නිෂ්පාදිත භාණ්ඩයක එම භාණ්ඩය මුස්ලීම්වරුන්ගේ භාවිතයට සුදුසුද? නැද්ද? (හලාල් හරාම්) සටහන් කිරීම, මුස්ලීම් ජනයා අදින ඇදුම් විලාසය හා විශේෂයෙන් පාසැල් දරුවන්ගේ ඇදුම් විලාසය… යනාදීය මේ රට ‘බෞද්ධ රාජ්‍යයක්’ නොඑසේ නම් ‘සිංහල රාජ්‍යයක්’ කරා යන ගමනට ඉමහත් බාධාවක් බවට සමාජ මතවාදයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන ලදී. එවන්

ඊනියා ජාතිමාමක පිරිසට අදත් මේ කැසීනෝව හෝ ඒ හරහා වෙස්වලා එන මත් උවදුර, ගණිකා හා සමලිංගික වෘත්තිය… වැනි සමාජ විරෝධි ව්‍යාපාරයන් බාධාවක් නොවුයේ කෙසේද? යන්න හා ‘හලාල්’ ඊට වඩා ගැටළුවක් වුයේ කෙසේද? යන්න විශ්මය ජනකය. මේවා තුලින් කියාපාන්නේ එම ව්‍යාපාරවල අන්තවාදී ජාතිවාදයේ පටු හා පහත් න්‍යායපත්‍රයන් මිස අන්කිසිවක් වේ.

ඉහත තත්වයන් ‘යහමඟ’ පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙතැන් සිට අවදානය යොමු කරන්නේ මේ කැසීනෝ ව්‍යාපාරය හරහා සමාජගත වන පරිහානිය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න කථා කිරීමටයි. ‘කැසීනෝව’ යන්න නූතන සමාජයට නූතන ම වචනයක් වුවද මේ කැසිනෝව තුල සිදුවන සූදූවට ඈත අතීතයටම දිවයන ඉතිහාසයක් ඇත. ඉස්ලාම් දහම මුහම්මද් (සල්) තුමාණන් මඟින් ප්‍රකාශ වන ආරම්භ කාලය සැලකුව ද එතුමාණන්ට තිබූ ප්‍රබල අභියෝගයන් අතර මෙම ’සූදුව’ එම සමාජයෙන් තුරන් කිරීම ද ප්‍රධාන එකකි. මේ නිසාමය ‘සූදුව’ මහා පාපයක් ලෙස ඉස්ලාම් හදුන්වන්නේ. ඒ මහා පාපයට මිනිස් සමාජය නැඹුරු නොවීමට ශුද්ධ වූ කුර්ආනය ස්ථාන 03ක මෙසේ අවවාද නඟයි. එනම්,

(නබි මුහම්මද්!) සුරාපානය හා සූදු කෙළිය පිළිබඳව ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහිම අතිමහත් අනර්ථයන් ඇත. මිනිසුන්ට එහි යම් ප්‍ර යෝජන ද ඇත. එහෙත් එම දෙකෙහිම ඇති අනර්ථය දෙකෙන්ම සිදුවන ප්‍රයෝජනයට වඩා අති විශාල යැයි පවසනු…

ශුද්ධ වූ කුර්ආනය 2-219

මා ඉහතින් සදහන් කලාසේ මුහම්මද් (සල්) තුමාණන්ට ආරම්භ කාලයේ තිබූ අභියෝගයන් අතර මේ සූදුව ද ප්‍රධාන එකක්ව පැවතී බව ඉහත 2-219 වාක්‍යය තුලින් තවදුරටත් තහවුරු වේ. අද මෙන්ම එදා සමාජයෙත් ‘මේ සූදුව හොදයි නේ, මේ මඟින් හොද ආදායමක් උපයන්න පුළුවන් නේ…’ යනාදී ලෙස විවාද කල පිරිස් සිටී බව පැහැදිලි වේ. නමුත් ‘එයින් ලබන වාසියට වඩා ඉන් සිදුවන හානීය අතිමහත් බව මිනිස් සමාජයට අවවාද කරන්න’ යන්න අල්ලාහ් (දෙවි) මීට වසර 1400 කට පෙර ඉහත 2-219 වාක්‍යය තුලින් මුහම්මද් (සල්) තුමාණන්ට කරන නියෝගයයි. එපමණක් නොව මේවා තුල තාවකාලික ජයග්‍රාහණයන් අත්වුවද සැබෑ ජයග්‍රහණය ඒ තුල නොමැති බවත්, මෙම සූදුවෙන් මීදීම තුල සැබෑ ජයග්‍රහණය අත්වන බවත් පහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් අල්ලාහ් ‍(දෙවි) පැහැදිලිව පවසයි. එනම්,

විශ්වාසවන්තයිනි! සුරාව, සූදූව, අන්සාබ් (ආදේශවාදීන් අදහන පිළිරුව ඉදිරියේ පූජාවන් සඳහා යොදා ගන්නා ගල්) හා අzස්ලාම් (නිමිති බැලීමට සිටුවා තබා ඇති රිටි) යන මේ සියල්ලම ෂෙයිතාන්ගේ පිළිකුල් සහගත ක්‍රියා වේ. එනිසා මේවායින් වළකිනු. නුඹලාට ජයග්‍රා හකයන් විය හැකිය.

ශුද්ධ වූ කුර්ආනය 5-90

ඉහත පරිච්චේදයේම ඊලඟ වාක්‍යය තුලින් අල්ලාහ් (දෙවි) මිනිස් සමාජයට මෙසේද අවවාද නඟයි.

සුරාව, සූදුව මගින් නුඹලා අතර වෛරය හා ද්වේශය වැපිරීමටත් අල්ලාහ් සිහිකිරීම හා සලාතය (ඉටු කිරීමෙන්) නුඹලා වළක්වාලීමටත්ය, නියත වශයෙන්ම ෂෙයිතාන් ප්‍රිය කරන්නේ. (ඒනිසා ඒවායින්) නුඹලා වළකින්නේ ද?

ශුද්ධ වූ කුර්ආනය 5-91

ඉහත වාක්‍යයන් 03 හොදින් විමසා බලන්නේ නම් ඉස්ලාම් දහම සූදුව කොතරම් දුරකට පිලිකුල් කරනවාද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. ලොව අනිකුත් සමාජයන්ට සාපේක්ෂව මුස්ලීම් සමාජය තුල මෙම සූදුව ඉතා අවම මට්ටමක පැවතීම ඉහත තත්වය ප්‍රායෝගිකව ද ලෝකයාට ඉස්ලාම් ඔප්පුකොට පෙන්වා ඇත. මෙහිදී ඉහත වාක්‍යයන් 03 තුලම සූදුව හා බද්ධව තවත් සමාජ පරිහානියක් පවසයි. එනම්, ඒ ‘සුරාව’ යන්නයි. මේ පිලිබදව මීට ඉහත ‘යහමඟ’ අඩවිය තුල දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත. සූදුව මෙන්ම සුරාවට ද ඇබ්බැහි වූ සමාජයක් මධ්‍යයේය එදා ඉස්ලාම් දහම ප්‍රකාශ වුයේ. එදා ඉස්ලාම් දහම සුරාව තහනම් කලවිට එම භූමිය සුරාවෙන් පෙඟිගිය ආකාරය මීට ඉහත ‘මත්පැන් භාවිතයට එරෙහි ඉස්ලාමීය ඉගෙන්වීම’ යන ලිපිය තුලින් ද විමසා බැලුවෙමු. ඉස්ලාම් සුරාවට තබන තිත අද අප රටේ මෙන් බෝඩ් ලෑල්ලට සීමා වූ තිතක් නොවේ. (වැඩි විස්තර සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ 2012 වාර්ෂික වාර්ථා කියවන්න) එයත් මුස්ලීම් ලෝකය, ලෝක ජනයාට ඔප්පුකොට පෙන්වා ඇත. දිනපතා පන්සිල දෙන සමාජයක් තුල ‍මෙම ව්‍යාපාරයන් මෙතරම් සාර්ථකව ක්‍රියාත්මක වීම හා රාජ්‍ය අනුග්‍රහය ලැබීම පිලිබදව වාග් මාලාවට පමණක් සීමා වූ පුහු දේශමාමකයින් නොව බුද්ධිමත් ජනයා සිතා බැලිය යුතු නොවේද?.(මෙම තත්වය අවබෝධ කරගැනීම සදහා ඉහතින් සදහන් සුරාබදු 2012 වාර්ථාවේ පහත සංඛ්‍යා ලේඛන මොහොතක් විමසා බලන්න)

එසේනම් අප රටේ ප්‍රධාන ආගම වන බුදුදහම තුල සුරාව සම්බන්ධයෙන් කොතරම් කථා කලද, බෞද්ධයන් ලෙස සුරාවෙන් වැලකෙන්න සමාජය කොතරම් දිවුරුම් දුන්න ද ඉන් බෞද්ධ සමාජයට සිදුව ඇති බලපෑම කුමක්ද?. යන්න බුද්ධිමත් බෞද්ධ සමාජය දැන්වත් විමසා බැලිය යුතු නොවේද?.

ඉහත කරුණු බුද්ධිමත් බෞද්ධ සමාජයේ විමසුමට තබමින් නැවතත් මාතෘකාවට යොමු වන්නේ නම්, ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් තුලින් සුරාව පිලිබදව දැඩිව අවවාද නඟද්දී මුහම්මද් (සල්) තුමාණන් ද මිනිස් සමාජය මේ සුරාවෙන් වැලකෙන්න අවශ්‍ය අවවාද අනුශාසනා බොහෝමයක් පවසයි. එවැනි ‍කිහිපයක් විමසා බලන්නේ නම්,

කවරෙකු මෙලොවෙහි සුරාව පානය කරන්නේ ද, ඔහුට පරලොවෙහි අපායවාසීන්ගේ (ශරීරයෙන් ගලන) සැරව පානය කරවනු ලබන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්, නසායි

අල්ලාහ් (දෙවි) මාගේ ජන සමූහයට මත්පැන් ඹෟෂධයක් කලේ නැත.

මූලාශ්‍ර ග්‍රන්ථය – බයිහකී, අහ්මද්, හාකිම්

මෙතැනදී වර්ථමානයේ සුරාව පානය කරන බොහෝ දෙනෙකු පවසන ජනප්‍රිය කාරණයක් පිලිබදව ද මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන් කථා කොට ඇති ආකාරය ඔබේ අවදානයට ගෙන ආයුතුව ඇත. එනම්, අද සුරාවට ඇබ්බැහි වූ බොහෝ දෙනෙකු පවසන කාරණයක් වන්නේ ‘මත්පැන් එක්තරා ආකාරයක ඖෂධයක්’ යන්නයි. සමහරක් වෛද්‍යවරු පවා මෙම ‘මත්පැන් පානය කිරීම මඟින් රෝග සුව වීමට පුළුවන’ යයි පැවසූ බව රෝගින් පවසයි. නමුත් ඉස්ලාම් දහම පැහැදිලිවම එහි ඖෂධීය ගුණයක් නොමැති බවත් ඒ තුල රෝග සදහා ප්‍රතිකාරයක් තබා නොමැති බවත් ඉහත හදීසය තුලින් පැහැදිලිව පවසයි. එපමණක් නොව එසේ මත්පැන්වලට ඇබ්බැහි වන තැනැත්තා හට පර‍ලොවේ අත්වන ඉරණම ද ඉතා පැහැදිලිව විස්තර කිරීම තුල ඉස්ලාම් මේ සුරාව සම්බන්ධයෙන් දරණ ස්ථාවරය ද මේ සියල්ල තුලින් මනාව පැහැදිලි කරයි.

මේ අනුව ‘සූදුව’ පමණක් නොව ඒහා බැඳුනු සුරාව ද ඉස්ලාම් දැඩිව පිලිකුල් කරන එසේම තහනම් කරන අංගයන් යන්න දැන් පැහැදිලිය. මේ සුරාව සූදුව අප රට තුල විදිමත් කිරීමට යා‍ම තුල ඒහා බැඳුනු තවත් සමාජ පරිහානින් ගණනාවක් වන මත්ද්‍රව්‍ය භාවිතය, සමලිංගික ගණිකා වෘත්තිය හා විරුද්ධ ලිංගික ගණිකා වෘත්තිය, මිලෙච්ඡ හා විකෘති වූ සංස්කෘතිය… යනාදීන් ද සමාජගත වීම නොවැලැක්විය හැකි හෝ පාලනය කල නොහැකි තත්වයන්ය. මේ කිසිවක් පිලිබදව කිසිදු තැකීමක් නොකොට රටේ සුළු ජාතීන් ගැරහීම හෝ ඔවුන්ගේ ඉදිරි ගමනට අකුල් හෙලීම මෙන්ම ඔවුන්ගේ නිදහස සීමා කිරීම ජාත්‍ය ආලය ලෙස හෝ දේශමාමකත්වය ලෙස කවුරුන් හෝ සිතන්නේ නම්, ඒ තුල ගොඩනැ‍‍ඟෙන රටේ හෙට දවස නොඑසේ නම් අනාගතය කවර ආකාරයේ එකක් වනු ඇත්ද?. මේ සරල පැනයට බුද්ධිමත් පිලිතුර සෙවීම ඔබට ම භාර කරමින් මේ ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම