කියාමුල් ලෛල් (රාත්‍රී නැමදුම)

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


සලාතය
සලාතය

අනිවාර්ය වූ (ෆර්ල්) සලාතයන්ට පසු ඉතාම උසස් අධිකව කුසල් ගෙනදෙන නැමදුම රාත්‍රි කාල නැමදුම හෙවත් කියාමුල් ලෛල් නැමදුම හෙවත් සලාතයයි.

නබි (සල්) තුමානෝ මෙසේ ප්‍රකාශ කළහ.

රමලාන් මාසයෙන් පසු ශ්‍රේෂ්ඨ උපවාසය වන්නේ අල්ලාහ්ගේ මස වන මුහර්රම් මසහි කරනු ලබන උපවාසය යි. අනිවාර්ය වූ සලාතයට පසු ශ්‍රේෂ්ඨ සලාතය වන්නේ රාත්‍රීකාල සලාතය යි.

දැනුම් දෙන්නා – අබූ හුරෛරා (රලි), ග්‍රන්ථය – සහීහ් මුස්ලිම් 257

මෙම රාත්‍රී යේ ඉටුකරනු ලබන සලාතය විවිධ නම්වලින් ඉස්ලාම් හදුන්වනු ලබයි. ඒවා නම්,

කියාමුල් ලෛල් (රාත්‍රී නැමදුම) විවිධ නම්

සලාතුල් ලෛල් (රාත්‍රී සලාතය) කියාමුල් ලෛල් (රාත්‍රීයේ සිට නැමැදුම් කිරීම) විත්ර් (ඔත්තේ සංඛාවක නැමැදුම) තහජ්ජුත් (අවධි වී කරන නැමැදුම) යන නම් (හදීස්වල) දැකිය හැක.

තරාවිහ් යන නම

අද සමාජය මෙම සලාතය තරාවීහ් නමින් ඇමතුවද නබි (සල්) තුමාණෝ තරාවීහ් නමින් සලාතයක් ඉටුකළ බවට හෝ මෙම සලාතයට තරාවීහ් යන නම භාවිතා කළ බවට හෝ කිසිදු හදීස් ග්‍රන්ථයක කිසිම සදහනක් නොමැත. රමලාන් මාසයේත් රමලාන් නොවන මාසවලත් නබි (සල්) තුමානණ් ඉටුකර ඇත්තේ එකම සලාතයයි. රමලාන් මසට පමණක් කිසිදු සලාතයක් නබි (සල්) තුමාණන් පෙන්වාදී නොමැති නමුත් රමලාන් මාසයේ මෙම කියාමුල් ලෛල් සලාතයට අනිකුත් මාසවලට වඩා වැඩි වැදගත් කමක් දී ඇති බව පහත හදීසය මගින් වටහා ගත හැකිය.

“යමෙක් රමලානයේ දේව විශ්වාසයෙන් යුතුව හා කුසල් බලාපොරොත්තුවෙන් නැමැදුම් කරයි නම් ඔහුගේ පෙර පාප ක්ෂමා කරනු ලැබේ” යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා – අබූ හුරෛරා‍ (රළි) තුමා, ග්‍රන්ථය – සහීහුල් බුහාරී 37,2008,2009

නැමදුම් සංඛ්‍යාව ඔත්තේ වීම

රාත්‍රීකාල සලාතය රකඅත් දෙක දෙක වශයෙන් ඉටුකළ යුතු අතර සලාතය අවසන් කළ යුතු වන්නේ ඔත්තේ සංඛාවක රකඅත් වලිනි. මෙයට පහත හදීසය සාක්ෂි දරයි.

“මිනිසෙක් නබිතුමාණන්ගෙන් රාත්‍රීකාල සලාතය ගැන විමසුවේය. එවිට නබි (සල්) තුමාණේ ‘රාත්‍රීකාල සලාතය රකඅත් දෙක දෙක වශයෙන් ඉටුකළ යුතුය. ඔබලා අතුරෙන් කෙනෙක් සුබහ් සලාතය ගැන බියට පත් වන්නේ නම් ඔහු එක් රකඅතයක් ඉටුකරත්වා. ඔහු (එයට පෙර) ඉටුකළ (රකඅත්) ගනන එය ඔත්තේ සංඛාවක් කරනු ඇත.” යනුවෙන් පිළිතුරු දුනේනෝය.

දැනුම් දෙන්නා – ඉබ්නු උමර් (රලි) ග්‍රන්ථය – සහීහුල් බුහාරී990

රාත්‍රීකාල සලාතය ඉටුකළ යුතු වේලාව

(ඉෂා සලාතය අවසන් වූ වේලාවේ සිට ෆජිර් සලාතයේ වේලාව දක්වා රාත්‍රීකාල සලාතයේ වේලාව වේ. ඉෂා හා ෆජිර් අතර වූ හැම වේලාවකම පාහේ නබි (සල්) තුමාණෝ රාත්‍රී සලාතය ඉටුකර ඇත.) (බුහාරී -7452,183,996 මුස්ලිම් – 1340,428,)

රාත්‍රී සලාතයේ රකඅත් ගනන

රකඅත් හතක් හෝ නවයක් ඉටුකිරීම “නබි (සල්) තුමාණන්ගේ රාත්‍රී සලාතය ගැන ආයිෂා තුමියගෙන් විමසුවෙමි. එයට එතුමිය, ‘ෆජිර්හි සුන්නත් රකඅත් දෙක හැර රකඅත් 11ක්, (ඇතැම්විට) රකඅත් 9ක්, (ඇතැම්විට) රකඅත් 7ක් (ලෙස නබි (සල්) තුමාණෝ රාත්‍රීකාල සලාතය ඉටුකරන්නෝය)’යැයි පිළිතුරු දුන්නාය.” දැනුම් දෙන්නා – මස්රූක්, ග්‍රන්ථය – බුහාරී 1139

ඉහත හදීසයෙහි විත්ර් සලාතයද ඇතුළුව රකඅත් නවයක් බව සදහන් වුවද විත්ර් හි රකඅත් ගනන සදහන් වී නොමැත. 8+1 ලෙස හෝ 6+3 ලෙස නැත්නම් 4+5 ලෙස ඉටුකළ හැකිය. එසේම රකඅත් හතක් ඉටුකරන විට 6+1 ලෙස හෝ 4+3ක් ලෙස ඉටුකළ හැකි.

රකඅත් 8+3

“රමලාන් මාසයේ නබි(සල්) තුමාණන්ගේ සලාතය කෙසේ වූයේ දැයි මම ආයිෂා (රළි) තුමියගෙන් විමසුවෙමි. එවිට එතුමිය නබි (සල්) තුමාණෝ රමලාන් මාසයේදීත් රමලාන් නොවන මාසවලදීන් රකඅත් 11 කට වැඩියෙන් සලාත් ඉටුකළේ නැත. රකඅත් හතරක් සලාතය ඉටුකරන්නෝය. එහි අලංකාරය හා දිග ගැන මගෙන් ප්‍රශ්න නොකරන්න. පසුව රකඅත් හතරක් සලාතය ඉටු කරන්නෝය. එහි අලංකාරය හා දිග ගැන මගෙන් ප්‍රශ්න නොකරන්න. පසුව රකඅත් තුනක් සලාතය ඉටුකරන්නෝය.” යැයි පිළිතුරු දුන්නාය.

ආයිෂා (රළි)තුමිය ප්‍රකාශ කළාය. “අල්ලාහ්ගේ වක්තෘවරයාණනී! ඔබතුමාණන් විත්ර් සලාතයට පෙර නිදාගන්නවාදැ”යි මම ඇසුවෙමි. එයට නබි (සල්) තුමාණෝ ‘ආයිෂා! මාගේ ඇස් දෙක නිදාගනී. මාගේ හදවත නිදාගන්නේ නැත’ යැයි පිළිතුරු දුන්හ.” දැනුම් දෙන්නා – අබූ සලමා ඉබ්නු අබ්දිර්රහ්මාන්, ග්‍රන්ථය – බුහාරී 1147, මුස්ලිම් -1344

එක් විත්ර් රකඅතයක් ඇතුළුව 13

“මම නබි (සල්) තුමාණන්ගේ රාත්‍රී සලාතයට අවධානය යොමුකළෙමි. එතුමාණන් කෙටි රකඅත් දෙකක් ඉටුකළහ. ඉන් පසුව දීර්ඝ රකඅත් දෙකක් ඉටුකළහ. ඉන් පසු එයට වඩා දිගින් අඩු රකඅත් දෙකක් ඉටුකළහ. ඉන්පසු එයටත් වඩා දිගින් අඩු රකඅත් දෙකක් ඉටු කළහ. ඉන්පසුව එයටත් වඩා දිගින් අඩු රකඅත් දෙකක් ඉටුකළහ. ඉන්පසු විත්ර් සලාතය ඉටුකළහ. මුළු රකඅත් ගනන 13කි.”

දැනුම් දෙන්නා – සෛයිද් බින් කාලිද් අල් ජුහෛරී (රළි), ග්‍රන්ථය – සහීහ් මුස්ලිම් 1284

විත්ර් රකඅත් 5ක් ඇතුළුව 13ක්
“නබි (සල්) තුමාණෝ රාත්‍රීයේ රකඅත් 13ක් සලාත් ඉටුකරන්නෝය. එයින් රකඅත් පහක් විත්ර් සලාතය (ලෙස) ඉටුකරන්නෝය. පස්වන රකඅතයේ හැර (වෙන කිසිම රකඅතයක) (තෂහ්හුද් පාරායණය කිරීමට) වාඩිවන්නේ නැත.”

දැනුම් දෙන්නා – ආයිෂා (රලි) තුමිය, ග්‍රන්ථය – මුස්ලිම් 1217

එක විත්ර් රකඅතයක් ඇතුළුව 11
“නබි (සල්) තුමාණෝ රාත්‍රීයේ රකඅත් 10ක් ඉටුකරන්නෝය. විත්ර් එක් රකඅතයක් ඉටුකරන්නෝය. ෆජ්ර්හි පෙර සුන්නත් රකඅත් දෙකක් ඉටුකරන්නෝය. මුළු රකඅත් ගනන 13කි.”

දැනුම් දෙන්නා – ආයිෂා (රලි) තුමිය, ග්‍රන්ථය – මුස්ලිම් 1222

ඉහත සදහන් කළ සියළු ආකාරවලට නබි (සල්) තුමාණෝ රාත්‍රී සලාතය ඉටුකර ඇති නිසා එයින් කුමණ ආකාරය තොරා ගත්තද එහි වරදක් නොමැත. සැලකිල්ලට ගතයුතු කරුණ නම් නබි (සල්) තුමාණෝ රකඅත් 7ට අඩුවෙන් මෙම සලාතය ඉටුකළ නැති අතර රකඅත් 13ට වැඩියෙන්ද ඉටුකර නොමැති බවයි.

ඉහත ලිපිය සංවාදයට විවෘතය. මෙම ලිපිය පිලිබදව පරස්පර මතයන් පවතී නම්ද, එය යහමග වෙත යොමු කරන්නේ නම්ද එය මෙහි පලකරන්න සූදානම්.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම