ගතිගුණ අතින් අපි තවමා…?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අප රටේ තවත් ජාතිවාදී මෙහෙයුමක් ‘හලාල්’වලින් පටන්ගෙන කුරගල, මුස්ලීම් ව්‍යාපාර, ඉස්ලාමීය ඇදුම… යනාදී වශයෙන් ඉදිරියට දියත් වෙමින් ඇත. වර්ථමාන ශ්‍රි ලාංකීය සමාජය තුල විශේෂයෙන් බෞද්ධ ජනයා තුල මේවා ප්‍රබල ගැටළු ලෙස මතවාද ගොඩනඟමින් ජාතීන් අතර අසමඟියක් නිර්මාණය කරන්න මාතෘකා සොයන ජාතිවාදි පිරිසට තවත් මිත්‍යා මතවාදයක් හා පරිසරයක් නිර්මාණය වි ඇත. මේ සියළු ක්‍රියා කලාපයන් හමුවේ දැඩිව ක්‍රියා කලයුතු රටේ නීතිය මුන්වත රකිමින් මර නින්දේ ඇත. විටෙක ‘මේ රටේ නීතිය අතට ගෙන ක්‍රියාත්මක වන නිළනොලත් තවත් විශේෂ කාර්‍ය බලකායක් දෝ?’ යයි මේ රටේ මුස්ලීම් ජනතාව සිතන තරමට මේ බොදු බළ සේනා සංවිධානය ක්‍රියාකලාපයන් දිනෙන් දින වර්ධනය වෙමින් ඇත.

ශ්‍රී ලාංකිය මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් මේ ආකාරයට අන්තවාදී ලෙස ක්‍රියා කරන ඉහත සංවිධානය පිලිබදව හා ඔවුන්ගේ පටු න්‍යාය පත්‍රය කුමක්ද? යන්න පිලිබදව මීට ඉහත ජාතිවාදී සේනාවේ අවාසන ඉලක්කය කුමක්ද? යන ලිපිය තුලින් මෙම අඩවිය තුල දීර්ඝ ලෙස කරුණූ සාකච්චා කල නිසා මේ ලිපිය තුලින් ද එවැනි කරුණූ දැක්වීමකට යොමු නොවන නමුත් ඊයේ දිනයේ එම සංවිධානය සිදුකල තවත් පහත් අන්දමේ ප්‍රකාශයක් රටේ බුද්ධිමත් ජනතාවගේ මෙන්ම අදාල පාර්ශවයේ අවධානයට තබමින් මේ රටේ වර්ථමාන තත්වය හමුවේ සමස්ථ ජාතිය ක්‍රියා කලයුතු ආකාරය පිලිබදව වු බුද්ධිමත් සංවාද දෙකක් ඔබේ අවදානයට මේ ලිපිය තුලින් ගෙන එන්නට අදහස් කරමි.

ඊයේ දිනයේ හා මිට පෙර දිනක ඉන්දියාවේ දී භික්ෂූන් වහන්සේලා දෙනමකට පහරදුන් ඒ පහත් ක්‍රියාව ශ්‍රී ලාංකීය ජනතාවට අලුත් පුවතක් නම් නොවේ. මනුෂ්‍යත්වය අගයන කිසිදු මනුෂ්‍යයෙකු ඒ පහත් ක්‍රියාව අනුමත නොකරනු ඇත. ‘යහමඟ’ අඩවිය ද ඒ පහත් ක්‍රියාව දැඩිව හෙළාදකින අතර ඒ සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවට මාගේ කණගාටුව ද ප්‍රකාශ කර සිටිමි. නමුත් ශ්‍රී ලාංකීය ජනතාවට ඉතා කම්පාකිරී මෙන්ම බෞද්ධ ජනතාවට ඉතා සංවේදී සිදුවීමක් වූ මෙම සිදුවීම පවා තවත් අවස්ථාවක් කරගත් ඉහත ජාතිවාදි සංවිධානය ඊයේ සිදුකල පහත ප්‍රකාශය පිලිකුල් සහගතව හෙළාදකිමි.

ඉහත විඩියෝව මූලික කරගෙන මෙවැනි ලිපියක් මා ඉදිරිපත් කිරිමට මූලික වූ හේතුන් දෙකක් ඇත. එනම්,

  • ඉහත චෝදනාවට මැදි වන SLTJ සංවිධානය දැන්වත් තම හඬ අවදි කලයුතු බව අවධාරණය කිරීම පිණිස,
  • ඉහත ජාතිවාදි සංවිධානය කොතරම් පටු අන්දමින් ක්‍රියා කරනවාද? යන්න බුද්ධිමත් ජනතාවගේ අවදානයට ගෙන ඒම පිණිසය,

මේ පලමු කාරණයට ප්‍රථමයෙන් අවදානය යොමු කරන්නේ නම්, අප රටේ ක්‍රියාත්මක ස්වෙච්චා සංවිධාන අතර SLTJ (හෙවත් ශ්‍රී ලංකා තව්හීද් ජමාත්) සංවිධානය නමින් මුස්ලීම් සමාජය තුල ක්‍රියාත්මක වනවා යන්න සැබැවකි. ඉහත බොදු බල සේනා ජාතිවාදී සංවිධානය මේ ඉහත ප්‍රකාශය සිදු කිරීමට පෙර ද ඉහත SLTJ සංවිධානය රටේ අන්තවාදී සංවිධානයක් ලෙසත් විදේශ රටවල ආධාර ලබමින් ජිහාදයක් මේ රට තුල නිර්මාණය කිරීමට කටයුතු කරන සංවිධාන අතර මේ SLTJ සංවිධානය ද එකක් ලෙසත් පසුගිය දිනක ටීඑන්එල් මාධ්‍යය තුල පැවති ඉහත සංවිධාන සංවාදය තුල ප්‍රසිද්ධියේ හා සෘජුවම චෝදනා කරන ලදී. නමුත් මුස්ලීම් සමාජය තුල ඇති වන විවිධ වු මතගැටුම්වල දී ක්ෂණිකව ප්‍රතිචාර දක්වන SLTJ සංවිධානය ඉහත චෝදනාවන් හමුවේ නිසි ප්‍රතිචාර දැක්වීමක් නොකලේ ඇයිද? යන ගැටළුව ‘යහමඟ’ට දිගින් දිගටම තිබුණි. විශේෂයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් මතු තිබෙන වර්ථමාන රටේ තත්වය හමුවේ සියළු මතභේද පසෙකලා බොහෝ පාර්ශවයන් එකම වේදිකාව හිඳ ශ්‍රි ලාංකීය මුස්ලීමවරුන් වෙනුවෙන් පෙනී සිටින විටත්, මුස්ලීම් සමාජය මෙවැනි අවාසනාවන්ත ඛේදවාචකයකට ඇදදමමින් මහා පාවාදිමන් සිදුකල ඉතා අතෙලාස්සක් වූ (සම්ප්‍රදායක)මුස්ලීම්වරුන් යයි පවසා ගන්නා ආගමික නිකායවාදීන් මෙන්ම SLTJ නම් සංවිධානය ද නිහඬව බලා සිටීම පිලිබදව ‘යහමඟ’ අඩවියට ඇත්තේ ඉහත සංවිධානය පිලිබදව පිලිකුලකි. එවැනි කලකිරීමක් එම සංවිධානය කෙරෙහි ඇතිවීමට තවත් කාරණයක් ද ඇත. ඒ ඉහතින් සදහන් ජාතිවාදී සංවිධානය එදා TNL සාකච්චාවේ දී මේ රටේ ඉස්ලාමීය අන්තවාදී පිරිසක් පිලිබදව හා ඔවුන් සදහා විදේශ ආධාර ලබන බවට මිත්‍යා මතයක් පවසන විට එයට නිසි පිලිතුරු ලබාදීමට සුදුසුම සංවිධානය ලෙස මේ SLTJ සංවිධානය පැවතී නිසාය. මන්ද මා දන්නා පමණින් විදේශ ආයතනවල හෝ රටවල කොන්දේසි සහිත වු ආධාර කිසිවක් ලබා නොගන්නා ප්‍රතිපත්තියක ක්‍රියාත්මක සංවිධානයක් ලෙස මේ සංවිධානය ක්‍රියා කරන නිසාය. කෙසේ වෙතත් මේ සංවිධානයට දැන්වත් නුවණැස පෑදේවා යනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කරමින් ඉහත දෙවන කාරණය වෙත යොමු වෙමි.

ඉහත දෙවන කාරණය, මා ඉහතින් සදහන් බොදු බළ සේනා ජාතිවාදී සංවිධානය කොතරම් පටු න්‍යාය පත්‍රයක වැඩ කරනවාද? යන්න ජාතියේ අවදානයට ගෙන ඒමයි. ශ්‍රි ලාංකීය සමාජයට සංවේදී විශේෂයෙන් බෞද්ධ ජනතාවට සංවේදී ඉහත පහරදීමේ සිදුවිම මාධ්‍ය තුල සාකච්චා කරන විට ශ්‍රි ලාංකීය මුස්ලීම්වරුන් නියෝජනය කරන ඉහත SLTJ සංවිධානයත් එහි මවු ශාඛාව වන ඉන්දියාවේ TNTJ සංවිධානයත් සම්බන්ධ කරමින් වැරදි මතවාදයක් සමාජය තුල ගොඩනැඟීමට ප්‍රකාශ නිකුත් කිරීම හා ඒතුලින් මේ රටේ මුස්ලීම් ජනතාව කෙරෙහි බෞද්ධ ජනතාව තුල ප්‍රකෝපකාරී තත්වයක් නොසතුටක් ඇති කිරීමට උත්සාහ කිරීම ඉතා පහත් නින්දිත හා බොළද ක්‍රියාවක් මේන්ම ශ්‍රී ලාංකිය මුස්ලීම්වරුන්ට කරන අසාධාර්ණයකි. කෙසේ වෙතත් මෙවැනි ක්‍රියාවන් ශ්‍රි ලාංකීය මුස්ලිම්වරුන්ට අලුත් තත්වයක් නම් නොවේ. එයට නිදසුන් ඕනෑ තරම් ගෙනහැර දැක්විය හැක. මෙම අඩවිය තුල ඇති ‘කොහෙන් පටන්ගත්තත් ඉවර වෙන්නේ අපෙන් යන ලිපියත් එයට හොද නිදසුනකි. කෙසේ වෙතත් ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් මේ අන්තවාදීන්ගේ අවදානයට නොව ශ්‍රි ලාංකීය බුද්ධිමත් ජනතාවගේ අවදානයට සරල පැනයන් කිහිපයක් යොමු කිරීමට අදහස් කරමි.

මෙවැනි නින්දිත ප්‍රකාශයක් කරන පිරිස්…

  • කිසියම් රටක ශ්‍රී ලංකාවට විරුද්ධ දේශපාලන පක්ෂයකට එම රටේ කිසියම් ස්වෙච්චා සංවිධානයක් සහය පලකිරීම හා එම සංවිධානයේ ශාඛාවන් අප රටේ පැවතීම දේශද්‍රෝහීන් ලෙස හෝ ජාතිවාදීන් ලෙස හෝ අන්තවාදීන් ලෙස චෝදනා කිරීමට තරම් සාධාර්ණ හේතුවක්ද?
  • ඉන්දියාවේ ජයලලිතා පක්ෂයට ඉන්දීය TNTJ සංවිධානය සහය පල කරන්නේ කුමන කොන්දේසිවලට යටත්වද?. ඒ තුල ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට ජයලලිතා පක්ෂයේ සමාජිකයන් පහරදිය යුතුයි යනුවෙන් කොන්දේසියක් තිබෙනවාද?
  • අප රටේ පවා ජාතිවාදී පක්ෂ සමඟ රජය ඉතා සුහඳ ලෙස කටයුතු කරන විට ඉන්දීය දේශපාලන රාමුව තුල එවැන්නක් ඇති නොවියයුතු යයි සිතීම කොතරම් සාධාර්ණද?. මේ දේශපාලන ක්‍රියාවලිය ජාතිවාදයක් දක්වා පරිවර්ථනය කිරීමට උත්සාහ කිරීම ශිෂ්ඨසම්පන්න ජාතියක් අනුමත කරනවාද?
  • ඉන්දීය බහුතරයක් මුස්ලීම්වරුන් නියෝජනය කරන TNTJ සංවිධානය ඒ රටේ මුස්ලීම්වරුන්ගේ අයිතීන් වෙනුවෙන් ජයලලිතා සමඟ පමණක් නොව තවත් බොහෝ පක්ෂ සමඟ විටෙක සුහඳව හා තවත් විටෙක විරුද්ධ ව කටයුතු කල ඉතිහාසය මෙවැනි බොළද චෝදනා ඉදිරිපත් කිරීමට පෙර අධ්‍යනය කලයුතුව තිබුනා නොවේද?
  • මේ සියල්ලට පෙර මේ පහරදීම පිලිබදව ජයලිලිතා පක්ෂයේ ස්ථාවරය කුමක්ද? යන්න විමසා බැලුවේද?
  • මේ පහරදීම පිලිබදව ඉන්දීය TNTJ සංවිධානයේ ස්ථාවරය විමසා බැලුවේද?
  • එපමණක් නොව මේ සිදුවීම සම්බන්ධයෙන් එම ඉන්දීය TNTJ සංවිධානයේ ශාඛාවක් ලෙස මෙහි ක්‍රියාත්මක SLTJ සංවිධානයේ ස්ථාවරය සොයා බැලුවේද?
  • අප රජය ඉදිරියේ දි කරුනානිදිට හෝ ජයලලිතාට සහයදීමට තීරණය කලානම් එය දේශපාලන තීරණයක් ලෙස දකිනවාද? නොඑසේ නම් ජාතිවාදී ක්‍රියාවක් ලෙස දකිනවාද?
  • තවත් සරලව පවසනවා නම් මේ අප රටේ ක්‍රියාත්මක බොදු බළ සේනාවට රජයට සම්බන්ධ යම් යම් පාර්ශවයන්ගේ සහයෝගය ලැබෙනවා යන්න ප්‍රසිද්ධ රහසක් එමනිසා මේ රජයම මේ රට තුල මුස්ලීම් විරෝධි ව්‍යාපාරයක් දියත් කරනවා යයි මා චෝදනා කලේනම් එය බුද්ධිමත් ප්‍රකාශයක් ලෙස ඔබලා පිලිගන්නවාද? එසේනම් ඊටත්වඩා බොළද ප්‍රකාශයක් නොවේද? ඉහත චෝදනාව?

මේ ආකාරයට ශ්‍රී ලාංකිය මුස්ලීම්වරුන් කෙරෙහි ඇති කරගත් වෛරයක් නිසා ඉහත ජාතිවාදී සංවිධානය කොතරම් වියරුවෙන් සතුරු ආකාරයට හා වෛරිය ආකාරයට බොළද තර්ක ඉදිරිපත් කරනවාද? යන්න ඉහත කරුණූ කිහිපය තුලින් ඔබට අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත.

අවසාන වශයෙන් මුස්ලීම් සමාජයේ බුද්ධිමත් අවදානයට සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් මේ අවසනාවන්ත තත්වය තවදුරටත් මේ රට තුල වර්ධනයක් වෙනවා මිස නිමාවක් නම් පෙනෙන තෙක් මානයක නැත. එමනිසා මෙහිදී වැදගත් වන්නේ ඉස්ලාම් යයි පවසමින් ස්වමතයන් ඔස්සේ ක්‍රියා කිරීම නොව ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව ඉවසීමේන්, සාමුහිකව කටයුතු කරමින් මේ රටේ මුස්ලීම් ජනතාවගේ නිදහස වෙනුවෙන් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කිරීම පමණි. ඒ මානසිකත්වය ඔබ තුල ගොඩනඟා ගැනීම සදහා පහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය මෙන්ම ඉට පහලින් ඇති විද්වත් සංවාදයන් ද පිටුවහලක් වේවා! යයි ප්‍රාර්ථනා කරමි.

විශ්වාසවන්තයණී!, නුඹලා, නුඹලාව හැර අන්කිසිවකු සමීපයන් කර නොගන්න.  (මන්ද) ඔවුන් නුඹලාට හානියක් සිදුකිරීමේ දී (එහි) කිසිදු අඩුවක් නොකරන්නේය. නුඹලා දුක්විදීම ඔවුන් ප්‍රිය කරන්නේය. ඔවුන්ගේ මුවින් ක්‍රෝධය එලිදරව් වී අවසානය. ඔවුන්ගේ හදවත් තුල ඇති දෑ මීට වඩා ඉතා දරුණූය. නුඹලා අවබෝධ කරගන්න තරම් බුද්ධිමත් නම් එය දැනගනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය 3-118

නුඹලාට පෙර විසූ ජන සමාජයන්ට ඇති වු (අවාසනාවන්ත) තත්වයන් ඇති නොවී ස්වර්ගයට පිවිසෙන්න නුඹලා අදහස් කරන්නේද? ඔවුන්ව සාගින්නෙන් හා දුක් ගැහැටවලින් පීඩාවට පත්කොට ‘අල්ලාහ් (දෙවි)ගේ උදව් කවදාද?’ යනුවෙන් දූතයා සහා ඔහුගේ අනුගාමිකයන් විමස තරමට ඔවුන් පරික්ෂා කලෙමු. නියත වශයෙන්ම අල්ලාහ් (දෙවි)ගේ උදව් අප සමීපයේ ඇත.

ශුද්ධ වූ කුර්ආනය 2-214

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/20

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම