ජාතිකවාදය, ජාතිවාදය හා ගෝත්‍රවාදය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


වත්මන් ලෝකය දෙස බලනවිට බොහෝ ජාතීන් යහපත් සිතුවිලි, සාරධර්ම තමන් තුල වර්ධනය කරගනිමින් සහෝදරත්වයෙන් කටයුතු කිරීමටත් දියුණු මිනිස් ගුණාංග වර්ධනය කරගැනීමටත් උනන්දුවක් උද්යෝගයක් දක්වන ආකාරයක් අද දක්නට ඇත. නමුත් අවාසනාවන්ත ලෙස සමහරක් රටවල් හා එහි ජන කොට්ඨාශයන් අතීත පුරසාරම් පුරාජේරු තෙපලමින් ගල් යුගයත්, ගෝත්‍රවාදයත් ආවැඩීම පමණක් නොව එම ගෝත්‍රවාදී ලක්ෂණයන් වර්ධනය කරගනිමින් සිටින ආකාරයක් දකින්නට ඇත. නිදසුනක් ලෙස අප රටේම ජාතිවාදී ඊනියා බෞද්ධ හා හින්දුවාදීන්ගේ ක්‍රියාකලාපයන් මෙහි සදහන් කලහැක. අප රටේ පමණක් නොව අප ආසන්නතම රට වන ඉන්දියාවේ ද මෙම තත්වයේ සීග්‍ර වර්ධනයක් දක්නට ඇත. මනුෂ්‍යත්වය වෙනුවට ජාතිවාදය, කුලවාදය මනුෂ්‍ය හදවත් තුල වපුරමින් වෛරය වියරුව ආදේශ කොට ජාතීන් අතර විරසකයන් නිර්මාණය කරන මෙම ගෝත්‍රවාදය අප රට තුල කොතරම් දුරකට ඔඩුදුවා ඇත්ද යන්න සාකච්විචා කිරීම මෙම ලිපියේ එක් අරමුණකි. මෙහිදී මා ඉදිරිපත් කරුණූ කාරණා බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, මා පවසන මෙම තත්වය අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවනු ඇත.

තරමක් බුද්ධිමත්ව අවට සමාජය දෙස බලන්න. එදා ගෝත්‍රවාදී යුගයේ පැවතී බලවතා දුබලයා විනාශ කිරීමේ න්‍යය ඒ ආකාරයටම අද ශ්‍රී ලාංකීය සමාජය තුල දියත් වෙමින් හා ඊට අවශ්‍ය පිඹුරුපත් සකස් වෙමින් තිබෙනවා නොවේද?. එදාට වඩා අද වෙනසකට ඇත්තේ එදා මුහුණට මුහුණ පමණක් සිදුවූ ගෝත්‍ර සටන අද ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉතා සියුම්ව සැලසුම් කොට සිදුකිරීම පමණි. එනම්, පිරිසක් ඒ අතීත ගෝත්‍ර සටන් ක්‍රමයම අනුකරණය කරමින් කඩු පොලු අරගෙන දුබලයාට පහරදෙයි. තවත් පිරිසක් ගරිල්ලා ක්‍රමයට බෝම්බ, ගල්මුල්… යනාදියෙන් (සැඟව සිට) පහර දෙයි. තවත් පිරිසක් තාක්ෂණය උපයෝගි කරගෙන Facebook හා Whatsapp යනාදී සමාජ මාධ්‍ය තුලින් ප(මුසාව, වෛරය මූලික කොටගත් ප්‍රකාශ හා ප්‍රචාරණ) ප්‍රහාර දියත් කරයි. සමහරක් මාධ්‍ය ආයතන හා දේශපාලඥයින් සූක්ෂම සැලැස්මකට මේ සියලු ප්‍රහාරයන්ට අවශ්‍ය පසුබිම පිටිය සකසාදීමෙහි නියලෙයි. තවත් පිරිසක් මේ සියල්ල බලාහිඳ කාලකන්නි සතුටක් ලබමින් සියළු ක්ෂේත්‍රයන්ට ආශිර්වාද පල කරයි. මේ කුමන ක්ෂේත්‍රය නියෝජනය කලත් ඔවුන් සියල්ල ගෝත්‍රවාදී වියරුවෙන් පෙලෙනවා යන්නෙහි විවාදයක් නැත.

විවිධ කාලවල මේ රටේ පහල වූ අදට ජාතියේ මහා වීරයන් යයි සැලකෙන සමහරක් පිරිස් ජනප්‍රිය චරිතයන් හා වීරයන් වූයේ මේ රටට හා සමාජයට මේ ගෝත්‍රවාදය දේශනා කිරීමෙන් යන්න තිත්ත වූ ඇත්තකි. එම වැරදි පූර්වාදර්ශය ඔස්සේ ගමන් කරන වත්මන් සමාජය ‘ඔන්න අපිව වඳ කරනවා, අපිට ශරීයා නීති ගේනවා, මේ රට ආක්‍රමණය කරන්න හදනවා…‘ යනාදී කිසිදු පදනමක් නැති වාදයන් තම ජාතිය හමුවේ තබමින් ඔවුන් ද ගෝත්‍රවාදී මානසිකත්වයකට ඇද දමමින් මේ රට තුල මිලෙඡ්ච වූ ක්‍රියාවන්ට සිංහල ජාතියේ සැලකිය යුතු පිරිසක් දැනටත් පෙලගස්වාගෙන හමාරය.

විශේෂයෙන් මේ රටේ මුස්ලීම් ප්‍රජාවට එරෙහිව ගෙන යන ව්‍යාපාරයන් මේ ගෝත්‍රවාදය මනාව පිළිබිඹු කරන්නකි. අතීතයේ පටන් මේ දක්වාම කිසිදු අවස්ථාවක මේ රටට ජාතියට අසාධාර්ණයක් නොකල ජාතියක් වේ නම්, ඒ ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනතාවයි. රජවරුන් සමඟ ඉතා සමීපව හා වගකිවයුතු තනතුරු දැරීමෙහි ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව සුවිශේෂි තැනක් දිනාගෙන සිටියේය. එපමණක් නොවේ. මේ රටේ නිදහස සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුව ගැනීමේ දී තමන්ට අනාගතයේදී අසාධාර්ණයන් සිදුවන බව දැන දැනත් එදා මුස්ලීම් නායකයන් මේ රටේ නිදහස ගැන සිතා තීන්දු තීරණ ගත් බව ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත. එපමණක් ද නොවේ රට දෙකඩ කරන්න විවිධ පාර්ශවයන් සටන් කරද්දී පවතින රජයට හා හමුදාවට ශක්තියක් වුණේ ද මුස්ලීම් ජනතායි. එදා දමිල ත්‍රස්ථවාදීන් රට අරාජික කොට උතුරේ අයිතිය වෙනුවෙන් සටන් කල මොහොතේ නැගෙනහිර අයිතිය වෙනුවෙන් මුස්ලීම් ජනයා සටනක් ඇරඹුවේ නම්, තත්වය මොහොතක් සිතා බලන්න. නමුත් මේ රටේ මුස්ලීම් ප්‍රජාව ඒ මොහොතේදීත් රටේ හමුදාවට ශක්තියක් වූවා මිස බොරදියේ මාළු බාන්න සංවිධාන ගතවුයේ නැත. ඒ යුද සමයේ පවා අද මහා ප්‍රෞඩයන් ලෙස කියාගන්නා සිංහලයන් කීදෙනෙකු නම්, දමිල ත්‍රස්ථවාදීන්ගේ මුදලට විකුණුනාද?. සමාන්‍ය ජනයා නොව ජනතා නායකයන් කීදෙනෙකු ඔවුන් හා අත්වැල් බැද කටයුතු කලාද?. එවැනි පහත් තැනකට මුස්ලීම් නායකයන් පමණක් නොව සාමාන්‍ය ජනතාව වුවද කිසිමදාක මේ රටතුල ක්‍රියා කොට නැත. ඔවුන් කවදත් සියළු ජාතීන් සමඟ ඉතා සමීපව හා හොඳහිත වර්ධනය කරගනිමින් ජීවත් වී ඇත. මේ රටේ වෙසෙන මුස්ලීම් ජනයාට විරුද්ධව ඔවුන් රටට එරෙහි වුණා, රටේ කුමණ්ත්‍රනයන් කලා, රට පාවාදුන්නා… යනාදී කිසිදු චෝදනාවක් අතීතයේ පටන් මේ දක්වා ම නැත.

එවන් ජාතියක්ට අද මේ රට තුල උදාකර දී ඇති ඉරණම කුමක්ද?. එදා රට බෙදන්න කටයුතු කල ඒ හින්දු ත්‍රස්ථවාදී පිරිස් අද මේ රටේ සිංහල ගෝත්‍රවාදීන් හා අත්වැල් බැඳ මුස්ලීම් ප්‍රජාවට එරෙහිව සංවිධානය වෙමින් ඇත. ඔවුන් වීරවඳන් පවසමින් ජාතීන් අතර වෛරය වියරුව ගොඩනඟමින් ඇත. එහි ප්‍රථිපලය කොතරම් දරුණූවට ඔඩුදුවා ඇත්තද යන්න පවසනවා නම්,

  • අද වනවිට පාසැල්වල කුඩා දරුවන් පවා මේ සිංහල ජාතිවාදය වීරක්‍රියාවක් ලෙස දැකීමටත්, මුස්ලීම් දරුවන් හතුරන් ලෙස හෝ බියගුලුවන් ලෙස අපහසාත්මකව කථා කිරීමටත් පෙළඹෙන තරමට මේ ගෝත්‍රවාදය පාසැල්වලටත් ළමා මනසටත් ඔඩුදුවා ඇති ආකාරය මා ප්‍රායෝගිකව අත්දකිමි. එපමණක් නොවේ,
  • සමහරක් සිංහල හා දමිල පාසැල්වල ගුරුවරුන්ද අද වනවිට පංති කාමරවල මේ ගෝත්‍රවාදය කථා කරන තැනට ඔවුන්ගේ මනස විකෘති වී ඇත.
  • බෞද්ධ ආගමික විද්වතුන් යයි පවසාගන්නා සමහරක් දහම නමින් මේ ගෝත්‍රවාදය බෞද්ධ සමාජයට දේශනා කරමින් ඇත.
  • සේවා ස්ථානවල හා මිතුරන් අතර ජාතික සමඟිය බිඳී සැකය අවිශ්වාසය වර්ධනය කරන තැනට මෙම ගෝත්‍රවාදය ඔඩු දුවමින් ඇත.
  • සාමාන්‍ය ජන ජීවිත තුල වූවත් එකින් එකා අතර මනුස්සකම වෙනුවට වෛරය වර්ධනය කරගන්නා තැනට මේ ගෝත්‍රවාදය ඔඩු දුවමින් ඇත.

මෙවන් පරිසරයක රටේ සුළුතරයක් වන මුස්ලීම් ජනතාව පවතින තත්වයන් හමුවේ ඉතා අසරණ වී ඇත. මේ රටේ ජීවත්වීමට සිදුවීම මහා කරුමයක් යයි සිතෙන තැනටත්, අපේ දරුවන් මේ රටේ ජීවත්වීමට සිදුවීම ඔවුන්ගේ අවාසනාවක් යයි සිතෙන තරමටත් දිනෙන් දින තත්වය නරක අතකට හැරෙමින් ඇත. මේ ගෝත්‍රවාදීන්ගේ කෝණයෙන් අප කල එකම වරද මේ රටේ මුස්ලීම්වරුන් වීම ම පමණි. එක්පසකින් මේ අපට අත්වෙමින් තිබෙන ඉරණ හමුවේ අප පුදුමයට පත්වියයුතු ද නැත. මා එසේ පවසන්නේ අවිහිංසාව හා නිර්මල බුදුදහම කට වචනයට මහා උජාරුවෙන් කථා කලත් මේ ඊනියා බෞද්ධයන් රටේ සුළුතරය වන මුස්ලීම්වරුන්ට වද හිංසා පමුණුවන එකම රට ශ්‍රී ලංකාව පමණක් නොවන බැවිණි.

  • අප ආසන්නතරම රටක් වන මියන්මාරයේ තත්වය මොහොතක් විමසා බලන්න. එහි මුස්ලීම් සුළුතරයක් වන අතර බහුතරය බෞද්ධයන්ය. එහි මුස්ලීම්වරුන්ගේ තත්වය අප රටේ තත්වයට දෙවැනි නැත.
  • අප ආසන්නතම රටක් වන ඉන්දියා සැලකුවත් එහි ද මුස්ලීම් සුළුතරය වන අතර අවිහිංසාවාදය කථා කරන බහුතරයේ ක්‍රියා කලාපය ද ඉහත තත්වයට සමානය.

මුස්ලීම්වරුන් දෙස කිසිදු පදනමකින් තොරව ඇඟිලි දිගු කරමින් ඔවුන්ගේ විනාශයට පිඹූරුපත් සකසන පිරිස් මෙන්ම මේවාට දැන හෝ නොදැන ආවඩන පිරිස් ලොවපුරා මෙවැනි කරුණු පිලිබදව ද බුද්ධීමත්ව විමසා බැලිය යුතුය. මෙහිදී අපට අසන්නට ඇත්තේ එකම එක පැනයක් පමණි. ඒ ‘සිංහලයනි!, ඔබලා මහාජාතිය වූ නිසාද සුළුජාතිය වන අපට මෙහෙම කරන්නේ ?‘, යනුවෙනි. අප මහා ජාතිය වන රටවල් තුල ඔබලාට මුස්ලීම්වරුන් සලකන්නේ කොහොමද? යන්නත් ඔබලා විමසා බැලිය යුතු නොවේද?. එයටත් නිදසුන් කිහිපයක් මේ ගෝත්‍රවාදී මානසිකත්වයෙන් පෙලෙන උන්ගේ බුද්ධීමත් අවදානයට ඉදිරිපත් කරන්නම්.

  • අප ආසන්නතම රටක් වන බංගලාද්ශය එහි මුස්ලීම් බහුතරය වන අතර බෞද්ධයන් සුළුතරයකි. බංගලාදේශ බෞද්ධයන් එහි ඉතා සාමකාමීව ජීවත් නොවන්නේද?. ලෝක බෞද්ධයන්ගේ උරුමයන් එම භූමිය තුල ඉතා සුරක්ෂිතව තිබෙනවා නොවේද?. ශ්‍රී ලාංකීය ඔබේ ‘වඳපෙති, ශරීයා, ආක්‍රමණ… සංකල්ප එතැන වලංගු වී නැත.
  • අප ආසන්නතම තවත් රටක් වන මලයාසියාව එහි ද මුස්ලීම් බහුතරය වන අතර බෞද්ධයන් සුළුතරයකි. එහිද ඔබේ පුහු ‘වඳපෙති, ශරීයා, ආක්‍රමණ… සංකල්ප වලංගු වී නැත.
  • අප ආසන්නතම තවත් රටක් වන ඉන්දුනීසියාව එහි ද මුස්ලීම් බහුතරය වන අතර බෞද්ධයන් සුළුතරයකි. එහිද ඔබේ ‘වඳපෙති, ශරීයා, ආක්‍රමණ… සංකල්ප වලංගු වී නැත.

එසේනම් මේ සියළු කරුණු තුලින් පැහැදිලිව පෙනෙන සත්‍ය කුමක්ද ?. මෙතැන ඇති ගැටළුව “වඳපෙති, ශරීයා, ආක්‍රමණ…“ යන කිසිවක් නොව, ප්‍රබලයා දුබලයා පරාජ කිරීමේ මිලෙඡ්ච ගෝත්‍රවාදය හා එය ආශිර්වාදයක් කරගෙන වැජඹෙන දේශපාලනය පමණි. එහිදී තම ක්‍රියාවලිය සාධාර්ණීකරනය කිරීම පිණිස මේ වඳපෙති, ශරීයා, මුස්ලීම් ආක්‍රමණ… යනාදී බෝඩ් ලෑලි යොදා ගැනීම පමණක් සිදුකරනවා යන්න ඔප්පු වෙනවා නොවේද?.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම