ජාතිවාදය සහ සුභ අනාගතය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


බහු ආගමික රටක් වන ශ්‍රී ලාංකීය සමාජය තුල දශක ගණනාවක් මුළුල්ලේ පැවති මිලෙච්ඡ ත්‍රස්තවාදය පරාජ කල මොහොතේ ඒ නිදහස උත්කර්ෂවත් අන්දමින් සමරමින් අප සිතුවේ “ශ්‍රී ලාංකීය අපට මේ උදාවන්නේ සාමය සමඟිය පිරි සුභ අනාගතයක් නොවේද?” යනුවෙනි. විශේෂයෙනන් ශ්‍රී ලාංකීය සුළු ජාතීන් හට එය බලාපොරොත්තු රාශියක් ඇති කරවන මොහොතක් විය. එදා යුද්ධයෙන් අවතැන් වූ පිරිස් සදහා ජාතිභේදයකින් තොරව මානුෂිකත්වයේ දෑත් හතරවටින් දිගුවූයේ සාමය, සජීවනය හා සහෝදරත්වයේ දොරටු විවෘත කරමින් පමණක්‍ නොව තවදුරටත් මේ රට තුල ජාතිවාදී අරඟල එපා යන ආයාචනයත් සමාජය හමුවේ තබමිනි.

එදා ඒකීය ජාතියක් ලෙස එම යුධ ජයග්‍රහණය මහත් අභිමානයෙන් ලෝකයා හමුවේ කියාපෑව ද ඒ සියල්ල “හිරු දුටු පිණි බිඳුමෙන්” අද වියකී ගොස් යලිත් වරක් ඒ අඳුරු යුගය කරා සමස්ථ සමාජය “ජාතිවාදය” නමින් දියත් වෙමින් පැවතීම කිසිවකුටත් අතපසු කල හෝ මඟ හැර නොයාහැකි සත්‍යයක් වී ඇත. මෙවැනි තත්වයක් මේ ආකාරයට යලිත් රට නිර්මාණය වීමට බලපෑ හේතු සාධක බොහෝමයක් ඇතත් මෙය බහු ජාතික හා බහු ආගමික රටක් ලෙස එහි පැවතිය යුතු සමාජ පරිසරය සියළු පාර්ශවයන් නිසි ලෙස අවබෝධ කර නොගැනීම ප්‍රධාන හේතුවක් ලෙස සදහන් කල හැක. බහු ආගමික සමාජය තුල විවිධ වූ (විටෙක පරස්පර වූ) මතවාදයන් පැවතීම අලුත් කාරණයක් නොවේ. එහිදී සියළු පාර්ශවයන් එකම ජාතියක් ලෙස හෝ එකම ආගමක් ලෙස පරිවර්ථනය වියයුතු යයි කිසිවකු සිතන්නේ නම් එය බුද්ධිමත් තර්කයක් හෝ යෝජනාවක් නොවේ. එසේම සියළු පාර්ශවයන් තම තමන්ගේ ආගමික මතවාද අතහැර පොදු එකඟතාවයකට එසේත් නැත්නම් බහුතර පිරිසගේ මතවාදයට එකඟ වියයුතු යයි කිසිවකු සිතන්නේ නම් එයත් බුද්ධිමත් වාදයක් නොවේ. වියයුතු වන්නේ අනිකුත් පාර්ශවයන්ගේ මතවාද ගරු කරන ගමන් තමන් දරණ මතවාදය තුල හිඳ කටයුතු කිරීමයි. මේ තත්වය නිසි ලෙස අවබෝධ කර නොගැනීම හේතුවෙන් අද වනවිට ව්‍යාකූල තත්වයන් රට තුල නිර්මාණය වෙමින් පවතී.

මෙහිදී වැදගත් වන්නේ ඉහත ව්‍යාකූල තත්වයන් දිගින් දිගටම සාකච්චා කරනවාට වඩා එම තත්වයෙන් අප රට මුදවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද? යන්න පිලිබදව අවධානය යොමු කිරීමයි. එම කාරණය වෙත අවධානය යොමු කිරීමේ දී ප්‍රධාන පාර්ශව කිහිපයක් සදහන් කල හැක. එයින් රටේ දේශපාලඥයින්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, රටේ විද්වතුන්, ආගමික නායකයන්. යන පිරිස් ප්‍රධාන තැනක් ගනී. මීට අමතරව රටේ පොදු ජනතාවට වැඩි වගකීමක් මෙහි ඇත. නමුත් අවාසනාවකට මේ සියළු පාර්ශවයන් මේ අරඟලය තුල තමන්ගේ එසේත් නැත්නම් තම ජාතියේ වාසි පමණක් සලකා කටයුතු කරමින් සිටීම තුල මෙම තත්වය තව තවත්අනුරාධපුර පුදබිමේ ව්‍යාකූල වී ඇත. විශේෂයෙන් ජාතිවාදී හා ආගම්වාදී දේශපාලන පක්ෂ බිහිවීමත් එම පක්ෂ රාජ්‍ය බලය තුල ආශිර්වාද ලැබීමත් මෙම තත්වයට ප්‍රධාන හේතුවක් යන්න මාගේ විශ්වාසයයි. මෙවන් ජාතිවාදී පක්ෂවල අතකොලු බවට පත්ව තිබෙන සමහරක් ජාතිවාදී සංවිධාන වර්ථමානයේ සිදුකරන ක්‍රියාදාමයන් හමුවේ නීතිය මුනිවත රුකීමත්, වක්‍ර ආකාරයට අනුබලදීමත් මෙම තත්වය දිනෙන් දින වර්ධනය වීමට තවත් හේතුවකි. මෙම තත්වයන් රට තුල අදට වැඩි බලපෑමක් එල්ල නොකලද නියත වශයෙන්ම රට ආගාදයක් කරා යොමුව ඇති බව සමස්ථ ප්‍රජාව අවබෝධ කර ගතයුතුව ඇත. “කවදත් අශ්වයා පැනගිය පසු අස්තාලය වසන” අප රටේ දේශපාලයින් හා සමාජ වගකිවයුත්තන් මෙතැනදී ද සුපුරුදු පිලිවෙත අනුගමනය කිරීම රටේ අනාගත ඛේදවාචකය වඩාත් හොදින් කියාපෑමකි.

මෙවැනි තත්වයන් පිලිබදව නිරන්තරයෙන් සාකච්චා කරන හා ජාතියේ අවධානයට කරුණූ ගෙන එන වෙබ් අඩවියක් ලෙස මෙවැනි තත්වයන් පිලිබදව මීට ඉහත ද කිහිප අවස්ථාවක හේතු හා සාක්ෂි සහිතව කරුණූ පෙන්වා දී ඇත. විශේෂයෙන් ජාතික නිදහස් දිනය මූලික කරගෙන ඉදිරිපත් කල මේ නිදහස වඩාත් අර්ථවත් කරමු යන ලිපිය තුලින් ද සමස්ථ ජාතියේ අවධානයට මේ පිලිබදව බොහෝ කරුණූ ගෙනහැර දැක්වුයෙමි. නමුත් සමස්ථ සමාජයම, එහි සියළු ක්ෂේත්‍රයක්ම බූවල්ලෙකු සේ වෙලාගෙන සිටින මේ “ජාතිවාදය” කොතැනින් පටන්ගෙන කොතැනින් අවසන් කරන්නද යන්න පවා සිතාගැනීමට අපහසු තැනකට අද දියත්වී ඇත. එය තරමක් දුරකට හෝ වටහා ගැනීම සදහා යහමග අඩවිය තුල මීට පෙර ඉදිරිපත් කල ලිපි කිහිපයක් නැවත ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

මෙහිදී සදහන් කලයුතු එසේම ඔබට පවා මතුවිය හැකි කුතුහලාත්මක කාරණයක් ඇත. ඒ “ඉහතින් ඉදිරිපත් කර ඇති බොහෝ ලිපි ශ්‍රී ලාංකීය මහා ජාතියට ඇඟිලි දිගු වන ආකාරයේ ඒවා නොවේද? මේ තුලත් ජාතිවාදය පිලිඹිබු වනවා නොවේද?” යන කුතුහලයයි. මෙය තර්කයක් ලෙස ගත්විට සැබෑවත් යන්නේ හි විවාදයක් නැත. නමුත් සැබෑම තත්වය සැලකූවේ නම් ජනමාධ්‍යයන් හා අන්තර්ජාල වෙබ් අඩවීන් තුල වැඩි වශයෙන් ජාතිවාදය කථා කරන්නේ රටේ සුළු ජාතීන්ට එරෙහිව මිස මහා ජාතියට එරෙහිව නොවේ. මේ නිසා එවැනි පිරිසට පිලිතුරු සැපයීමේ දී වැඩි වශයෙන් එවැනි ලිපි ඉදිරිපත් වීම නොවැලැක්විය හැකි කාරණයක් යන්න ඔබ අවබෝධ කර ගතයුතුය. එසේ නොමැතිව ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් 100% නිවරැදි යන ස්ථාවරයේ යහමග කිසිදු දිනක සිටියේ නැත. එය ඉහත මුස්ලිම්වරුනේ ඔබ කොයිබටද?ලිපිය කියවීමෙන් වුවද ඔබට අවබෝධ කරගත හැකි වනු ඇත. මෙහිදී පැවසිය යුතුව ඇත්තේ ඉහත ආකාරයේ ජාතිවාදී සංවිධාන හා ක්‍රියාකාරකම් සංඛ්‍යාත්මක ලෙස අඩුවැඩි වුවත් සියළු ජාතීන් මේ රැල්ලට හසුවී සමස්ථ ජාතියම ප්‍රපාතයක් කරා දියත් කරමින් සිටිනවා යන්නයි. මෙහිදී දැඩිව අවධාරණය කලයුතු කාරණයක් ඇත. අප රට තුල මුස්ලිම්වරයෙකු හෝ සංවිධානයක් කිසියම් මොහොතක ජාතිවාදී ලෙස කිසියම් ක්‍රියාවක නිරත වන්නේ නම් ඔවුනට එරෙහිව හඬක් නැඟීමටත් ඔවුන් පිලිබදව රටට අනාවරණය කිරීමටත් යහමග කිසිදු විටෙක පසුබට වන්නේ නැත. ඒ ඉස්ලාම් ඒ සදහා කිසිදු මුස්ලිම්වරයෙකු හට අවසර ලබා නොදෙන බැවිණී.

මෙහිදී වැඩියෙන්ම වැරදි කරන්නේ කව්ද?, වැඩියෙන්ම ජාතිවාදය වපුරන්නේ කව්ද? යන්න දිගින් දිගටම කථා කරනවාට වඩා කලයුතු වන්නේ මෙම තත්වය වලක්වාලීමට ගතහැකි ක්‍රියාමාර්ගයන් කුමක්ද? යන්න විමසා බැලීමයි. මෙහිදී රටේ දේශපාලනයට කලහැකි වැඩ කොටස අතිමහත් වුවත් අප රටේ සන්දාන දේශලානය තුල ඒ පිලිබදව කථා කිරීම නිෂ්පල කාරණයක් යන්න මා ඉහතින් සදහන් කලෙමි. මීලඟට එම විෂය සදහා ක්‍රියාකාරී මැදිහත්වීමක් ලබාදිය හැකි පාර්ශවය වන්නේ රටේ නීතිය ආරක්ෂා කරන පාර්ශවය හා විද්වතුන් වුවත් ඔවුන් ද සෘජුව හා වක්‍ර ආකාරයට දේශපාලනීකරණය වීම තුල එය කෙරෙහිද විශ්වාසයක් තැබිය නොහැක. මීලඟට එම වගකීම ඉටුකලහැකි පාර්ශවය වන්නේ රටේ ජනමාධ්‍යයයි. නමුත් අවාසනාවකට අද වනවිට ඔවුන් ද දේශපාලනීකරණය වීමත්, මුදල් ඉපයීම එකම අරමුණූ වීමත්, පැවැත්ම උදෙසා ආවැඩීමත්, සමහරක් මාධ්‍ය ආයතන ජාතිවාදයට ආවැඩීමත් තුල ඒ පිලිබදව ද බලාපොරොත්තුවක් තැබිය නොහැකි තරම්ය.

මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණීස පසුගිය දිනක විකාශය වූ ප්‍රවෘත්තියක් මාධ්‍ය ආයතන දෙකක් ඉදිරිපත් කල ආකාරය ඔබගේ අවධානයට පහතින් ගෙන එමි.

ඉහත ප්‍රවෘතිය ඉදිරිපත් කිරීම තුල එම මාධ්‍ය ආයතන දෙක එහි කුමන කාරණය සදහා මුල්තැන ලබාදී තිබෙනවාද? යන්න බුද්ධිමත් ලෙස විමසා බැලීම අත්‍යඅවශ්‍ය. මෙය වෙනත් විශ්‍රම ශාලාවක සිදුවුවා නම් එම ප්‍රවෘත්තිය “සිංහල ජාතික විශ්‍රාම ශාලාවක..” යනුවෙන් ප්‍රවෘත්තිය ඉදිරිපත් කරයිද? එසේ ඉදිරිපත් කලත් ඔබ අනුමත කරන්නේද? තීන්දුව ඔබට භාරයි.

මෙවැනි දෑ අප රට තුල වාර්ථාවන පලමු අවස්ථාව මෙය නොවේ. සතිඅන්ත පුවත්පතක් ගෙන බලන්න. එහි කිසියම් අපරාධයකට සම්බන්ධ වී සිටින්නේ මුස්ලිම් ජාතිකයෙකු නම් එය එම ප්‍රවෘත්තියේ වඩාත් මතුකොට පෙන්වන වැදගත් කාරණයක් ලෙස ඉදිරිපත් වේ. සමහරක් අවස්ථාවල “මො‍හු මුස්ලිම් ජාතිකයෙකු” යන්න තේමා පාඨය තුල පවා සදහන් කරයි. වරද කව්රුන් කලත් එය වරක් එහි ජාතිය වැදගත් නොවේ. නමුත් මාධ්‍ය සදාචාරය පිලිබදව කථා කරන මාධ්‍යයන් මේ ප්‍රතිපත්තියේ අනිකුත් ජාතීන් විශේෂයෙන් රටේ මහා ජාතීන් සම්බන්ධයෙන් ද සිටිනවාද? යන්න තමා මෙහි ඇති ගැටළුව. මහා ජාතිය සම්බන්ධයෙන් පුවතක් ඉදිරිපත් කිරීමේදී

  • සිංහල ජාතික කුඩු ව්‍යාපාරිකයෙක්
  • සිංහල ජාතික ස්ත්‍රි දූෂකයෙක්
  • සිංහල ජාතික හොරෙක්
  • සිංහල ජාතික ඝාතකයෙක්

යනාදී වශයෙන් පුවත් වාර්ථා කරනවා ඔබ අසා හෝ දැක තිබෙනවාද? සමහර විට ඉහත උදාහරණය දකින විටත් ඔබට කෝපයක් ඇති වන්නට පුළුවන. එසේ වුවානම් එය වරක් නොවේ. මන්ද සමාජයේ කිසියම් පුද්ගලයෙකු කරන වරදකට ජාතියක් වගකිව යුතු නොවේ. මේ තත්වය අනිකුත් ජාතීන් සම්බන්ධයෙන් ද අවබෝධ කරගත යුතු යන්න තමා මෙම කරුණූ දැක්වීමේ මූලික අරමුණ. ඒ අනුව ජාතිවාදී අරඟල තුල දිනෙන් දින ප්‍රපාතයක් කරා යොමු වෙමින් තිබෙන මේ සමාජය ඒ එම තත්වයෙන් මුදවා යලි යහමග ගැන්වීමේ ක්‍රියාවලිය තුල සක්‍රිය දායකත්වයක් ලබාදිය හැකි ප්‍රධාන පාර්ශවය “ජනාමාධ්‍යයයි”. ඔවුනට මේ සම්බන්ධයෙන් කලහැකි බොහෝ දෑ තවම ඉතිරිව ඇත.

එසේම මෙම අවාසනාවන්ත ඉරණම ජාතියට අනාවරණය කරමින් එම ජාතිවාදී රැල්ලෙන් ජනතාව මුදවා ගැනීමේ වගකීම මෙවැනි වෙබ් අඩවීන්ට ද පැවරී ඇත. එහිදී එක් ජාතියක් තවත් ජාතියකට යටහත්වීම හෝ වහල්වීම නොව අපේක්ෂා කල යුත්තේ කෙනෙක් අනික් කෙනාගේ මතවාද ගරු කරමින් ක්‍රියා කිරීමට අවශ්‍ය දැනුම හා අවබෝධය ලබාදීමයි සිදුකල යුත්තේ. සියළු පාර්ශවයන් යහපත් අරමුණින් එලෙස ක්‍රියා කරන්නේ නම් අප රටේ හෙට දවස සුබම සූබ අනාගතයක් වෙනවා යන්නෙහි කිසිදු සැකයක් නොමැත. එසේ නොවන්නේ එහි විපාකය අත්විදින්නේ අපට වඩා අපගේ දූදරුවන් යන්නත්, අප මේ ඔවුන් සදහා නිර්මාණය කරමින් සිටින්නේ යහපත් සාරධර්ම, මනුෂ්‍යත්වය අගයන, එකිනෙකාට ගරු කරණ, ආදරය, සහජීවනය පිරි සමාජයක් වෙනුවට වෛරය, ක්‍රෝධය, පලිගැනීම යනාදී තිරිසන් ගති පැවතුම් හොද නරක නොහදුනන, මනුෂ්‍යත්වය ගරු නොකරන අමනුෂ්‍ය ජාතියක් යන්නත් පැහැදිලි ලෙස අවබෝධ කර ගතයුතුය. එම ඉරණම තීන්දු වන්නේ ඔබ හා අප ඉදිරිපත් කරන ජාතිවාදයට වහල් වූ තවත් ලිපියක්, පෝස්ටරයක් හෝ අදහස් දැක්වීමක් (comments) තුල හා එයට දක්වන ප්‍රතිචාර අනුව බව අවසාන වශයෙන් නැවතත් අවධාරණය කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම