ජාතිවාදය හා ඊර්ෂ්‍යාව හමුවේ රැකුනු මනුෂ්‍යත්වයට ‘යහමග’ උත්තමාචාරය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


රටේ බහුතර ජනතාව අළුත් අවුරුදු සමරමින් සිටින මේ මොහොතේ කාලීන වශයෙන් වැදගත් වූ මාතෘකාවක් පිලිබදව ‘යහමග’ පාඨක ඔබේ අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. ඒ අනුව මෙහි මාතෘකාව සම්බන්ධයෙන් කෙටි හැදින්වීමක් ප්‍රථමයෙන් කරන්නේ නම්, මෙහි ‘ඊර්ෂ්‍යාව’ හා ‘ජාතිවාදය’ යන්න ඔබට අළුත් වචනයක් නොවනවා සේම මිහිරි වචනයක් ද නොවනවා යන්නෙහි සැකයක් නැත. එම වචන තුලින් පැවසෙන ගුණාංග සැලකූවිට එය පුද්ගල වශයෙන් හෝ දහමක්, දර්ශනයක් වශයෙන් ලොව කිසිවෙකුත් අනුමත නොකරන දුර්ගුණාංගයක් යන්නෙහි කිසිවකුටත් දෙවැනි මතයක් ද නැත. මෙය ලොවපුරා සෑම දහමක් දර්ශනයක්ම අඩු වැඩි මිනිස් සමාජයට අවවාද කරන ජනප්‍රිය විෂයන් දෙකකි. විශේෂයෙන් නූතන මිනිසාගේ ලෞකික දියුණූවත්, ආගමික අන්ධ භක්තිය හා අනවබෝධයත් හේතු කොට ගෙන ආගමික රාමුව තුල පවා නූතන සමාජය තුල ‘ඊර්ෂ්‍යාව’ හා ‘ජාතිවාදය’ ඉහවහාගිය තත්වයන් දක්නට ලැබේ.

සමාජ පරිහානියට මූලික වන මෙවන් දුර්ගුණාංග ආගම නමින් සමාජ ගතවීමේ ප්‍රවණතාවයක් දැන් දැන් ලොවපුරා දක්නට ලැබේ. මේ ආකාරයට වර්ථමානයේ ආගම් හා දර්ශන මූලික කරගෙන අන්තවාදී ලෙස හා වියරුවාදී ලෙස එහි අනුගාමිකයන් කටයුතු කරන විට ආගම් හා දර්ශනවල නියමුවන් ලෙස ක්‍රියා කරන සියළු පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් ද පැවරේ. මෙවන් සමාජ පරිහානි හමුවේ එය නිවරුදි කිරීමේ හා ඒ සදහා අවංක ලෙස මැදිහත්වීමේ වගකීම නිරන්තරයෙන් ඔවුනට පැවරේ. නමුත් අවාසනාවකට එම මැදිහත්වීම අදාල පාර්ශවයන් අතින් වර්ථමාන ශ්‍රි ලාංකීය සමාජය තුල කොතෙක් දුරකට ඉටු වෙනවාද? යන්න පිලිබදව විශාල ගැටළුවක් ඇත.

අද වෙන කවරදාකටත් වඩා ඉහලින් ‘ජාතිය’ පිලිබදව කථා කරන ආකාරයක් අප රට තුල දක්නට ඇත. එහි වරදක් ඇතැයි මා නොපවසමි. නමුත් තවත් ජාතියක් ගරහමින් තම ජාතියට එක්කර ගන්නට උත්සාහ කරන මහිමය කුමක්ද? යන්න පිලිබදව ගැටළුවක් ඇත. (මේ පිලිබදව වැඩි විස්තර ජාතිවාදී මිත්‍යා ප්‍රහාර යන ලිපිය මාලාව තුලින් කියවීමට හැක) කවදත් ඉස්ලාමීය ඉගෙන්වීමන් මූලික කරගෙන කරුණූ ඉදිරිපත් කරන ‘යහමඟ’ අඩවිය අද මහා ඉහලින් ජාතිවාදය පිලිබදව කථා කරන සියළු පාර්ශවයන්ගේ අවදානයට මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන් විසින් දේශනා කල ඉතා වටිනා දේශනයක් ඔබේ අවදානයට මෙහි ඉදිරිපත් කිරීමට අදහස් කරමි. එනම්,

“…ඔබ සියළු දෙනා ජාතියෙන්, භාෂාවින් කිසිවෙක් කිසිවකුට වඩා උසස් නොවන සමානයෝ වන්නේය…”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 7343

නබිතුමාණන් කල ඉහත දේශනය තුලින් කිසිවකු තවත් කිසිවකුට ජාතියෙන් හෝ භාෂාවෙන් උසස් නොවන බව පැහැදිලිය. මනුෂ්‍යයෙකුගේ උසස් බව හෝ පහත් බව රුදී ඇත්තේ ඔහුගේ ක්‍රියා කලාපය මත පමණි. මෙය ඉස්ලාම් පමණක් ලොවට දේශනා කරන සත්‍යයක් නොවේ. ලොව බොහෝ ආගම් මේ සත්‍යය ලෝකයාට කියාපායි. මීට වසර 2500 කට පෙර ‘ජාති හා කුල වාදයන්’ ඉහවහා ගිය සමාජයක් මධ්‍යයේ ද ගෞතම බුදුන් දේශනා කල ඉගෙන්වීම අදටත් බෞද්ධ මූලාශ්‍රයන් තුල ද දක්නට ඇත. නමුත් මේ ඉගෙන්වීමන් වර්ථමාන බෞද්ධ සමාජයට කොතරම් වලංගු වී තිබෙනවාද? යන්න පිලිබදව ලොකු ගැටළුවක් ඇත. ආගමික ඉගෙන්වීමන් පසෙක දමා පටු අරමුණු ඔස්සේ නූතන සමාජය ඒකරාශි වීම තුල අද සමාජය තුල නිර්මාණය වෙමින් තිබෙන්නේ ආගමික ඉගෙන්විමන්ට පරස්පර වූ සංකීර්ණ මෙන්ම අවාසනාවන්ත තත්වයන්ය. තවත් සරලව පවසනවා අද ආගම දහම පොත්පත්වලට හා දේශනවලට පමණක් සීමා කොට ඇත. එය ජීවිතයට ගලපාගෙන ක්‍රියා කිරීමට සුදානම් නැත.

එයට සරල හා සමීපතම නිදසුන ලෙස වර්ථමානයේ මේ රටේ මුස්ලීම් ජනතාවට එරෙහිව සමහරක් අන්තවාදී පිරිස් බුදු දහමේ හා සිංහල ජාතියේ නාමයෙන් දියත් කල හා දියත් කරමින් සිටින ව්‍යාපාර සදහන් කල හැක. එයට නිදසුනක් ලෙස විශේෂයෙන් මේ සිංහල හින්දු අවුරුදු උත්සව සමයේ මුස්ලීම් ජනතාවගේ ව්‍යාපාරික අවස්ථාවන් අහිමි කරන්නට ගත් උත්සාහයන් සදහන් කල හැක. එම ව්‍යාපාරික ස්ථානවලට එරෙහිව අසත්‍ය ප්‍රචාර දියත් කරමින් හා ප්‍රහාරයන් එල්ල කරමින් ගත් උත්සාහයන් ශ්‍රී ලාංකීය ඔබට තවම අමතක වී ඇතැයි මා නොසිතමි. එපමණක් නොවේ තම පහත් අරමුණූ මුදුන්පත් කරගැනීම සදහා සමහරක් සිංහල සහෝදරයන්ට පවා බෞද්ධ අන්තවාදී පිරිස් සිදුකල හිරිහැර ද මෙහිදී සදහන් කලයුතුම කාරණයකි. මුස්ලීම් ව්‍යාපාරික ස්ථානවලට ගිය බෞද්ධයන් හට කුණු බිත්තරවලින් පහරදීම ඔවුනට අපහස වන ආකාරයට අන්තර්ජාලය තුල විවිධ අපහසාත්මක රූපරාමු පලකිරීම එවැනි කිහිපයකි. එපමණක් ද නොවේ. සමහරක් ප්‍රදේශවල මුස්ලීම් ව්‍යාපාරික ස්ථානවලට නොයන ලෙස පොස්ටර් ව්‍යාපාරයන් පවා ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම ඉහත අවාසනාවන්ත තත්වයන් නිදසුන් කිහිපයක් පමණි. (පහත රූපරාමු මේ සදහා නිදසුන් කිහිපයක් පමණි.)



මේ ආකාරයේ පහත් ක්‍රියාවන් තුලින් ආගමක්, ජාතියක් හෝ රටක් වශයෙන් දිනා ගන්නට හදන ජයග්‍රහනය කුමක්ද? යන්න මේවාට සෘජුව හා වක්‍රව අනුබල දෙන ප්‍රජාව බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය. තවත් ජාතියක් විනාශ කිරීම හෝ ඔවුනට ඊර්ෂ්‍යා කිරීම තුලින් තමන්ට අත්වන යහපත කුමක්ද? මේ පිලිබදව විමසා බැලිය යුතු නොවේද? මෙහිදී ද මුහම්මද් (සල්) තුමාණන් ඊර්ෂයාව සම්බන්ධයෙන් කල දේශනාවක් ඔබේ බුද්ධිමත් විමසුමට තබන්නට අදහස් කරමි. එනම්,

ඊර්ෂ්‍යාව සම්බන්ධයෙන් මා නුඹලාට අවවාද කරමි. මන්ද ‘ගින්දර දර කැබැලි කෙසේ විනාශ කර දමන්නේ ද ඒ ආකාරයටම ඊර්ෂ්‍යාව නුඹලාගේ කුසල් සියල්ල විනාශ කර දමන්නේය.’

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්

මෙය ඉස්ලාමීය ඉගෙන්වීම වුවත් ලොව අනිකුත් දහමන් ද තම සමාජයට ‘ඊර්ෂ්‍යාව’ සම්බන්ධයෙන් මෙලෙස හෝ මීට වඩා දරුණූ ආකාරයට අවවාද කර නැතුවා නොවේ. එසේනම් අවසාන වශයෙන් නැවතත් ඔබේ බුද්ධිමත් මනසට යොමු කලයුතු පැනය වන්නේ රටක් ලෙස නැඟීසිටිය යුතු ශ්‍රි ලාංකීය ජාතිය, මේ පූංචි රට තුල ජාතිවාදී බෙදීමන් නිර්මාණය කරගෙන එකින් එකාට ඊර්ෂ්‍යා කරගෙන මේ දිනාගන්නට හදන්නේ කුමක්ද? යන්නයි. එම පැනය නැවත නැවතත් ඔබේ මනස තුල දෝංකාර දෙන පැනයක්ම වේවා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමින් අවසාන ම වශයෙන් සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව වෙනුවෙන් ‘යහමඟ’ උත්තමාචාරයක් ද කරමින් මේ ලිපිය අවසන් කරමි. එනම්,

ගෞරවණීය උත්තමාචාරය!,

මේ ගෙවීගිය උත්සව සමයේ ශ්‍රී ලාංකීය මුස්ලීම් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර අඩපණ කිරීමට හා ඔවුන් අපහසුතාවයට ලක් කිරීමට ගෙන ගිය ඊර්ෂ්‍යාවෙන් පිරි ජාතිවාදී කූඨ ව්‍යාපාරයන් හමුවේ පවා මනුෂ්‍යත්වයේ නාමයෙන් මුස්ලීම් ව්‍යාපාරික ස්ථානයන්ට පැමිණ විශ්වාසයෙන් යුතුව ගනුදෙනු කල සියළු සිංහල බෞද්ධ ජනතාවට ‘යහමඟ’ උත්තමාචාරය මෙලෙසින් පල කරන්නේ,

මේ රට තුල සුළුතරය වන අපට හෙට දවස ගැන බලාපොරොත්තුවක් ඇති කරමින් හා ජාතිවාදය පසෙකලා මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබ සියල්ල සැබැ බෞද්ධයන් ලෙස ශක්තියක් වූ නිසාමය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/20

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම