ජාතිවාදී ව්‍යාපාර හා ශ්‍රී ලාංකීය බුද්ධිමත් ජනතාව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෑතක පටන් අප රට තුල ජාතීන් අතර සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන අවාසනාවන්ත තත්වයක් පිලිබදව ‘යහමග’ අනාවැකි පවසන්නට පටන් ගත්තේ අද ඊයේ පටන් නොවේ. මීට වසර කිහිපයකට පෙර ‘යහමග’ නම් මෙම අඩවිය ආරම්භ කොට ඒ තුලින් ජාතියේ අවදානයට ප්‍රධාන වශයෙන් ගෙන ආවේ ඉහතින් සදහන් අවාසනාවන්ත තත්වයයි. රටේ එල්ටීටීඊ ත්‍රස්ථවාදයේ නිමාවත් සමඟ හිස ඔසවන්නට පටන්ගත් මේ ජාතිවාදය හා ජාතීන් අතර විරසකය යම්කාත් දුරකට හෝ අවම කිරීම පිණිස එදා මෙම අඩවිය ආරම්භ කරන ලදී. මේ තුලින් ජාතීන් අතර පවතින අනවබෝධය හැකිතාක් දුරකට අවම කොට ජාතීන් අතර අවබෝධයෙන් ගොඩනැඟෙන සමඟියක් නිර්මාණය කිරීම මෙම අඩවියේ ප්‍රධාන අරමුණක් විය. නමුත් මෙවැනි අඩවීන් තුලින් ගන්නා පුංචි උත්සායන්ට වඩා ක්‍රමණ්ත්‍රනකාරී පිරිසගේ ව්‍යාපාරයන් අති ප්‍රබල වූ නිසා ‘යහමග’ අඩවියේ අරමුණූ දිනා ගැනීම අදටත් එතරම් පහසු කටයුත්තක් නොවීය. කෙසේ වෙතත් ‘යහමග’ අඛණ්ඩව තම මෙහෙවර ඉදිරියට ගෙනයන බව සතුටින් ප්‍රකාශ කරමින් අද මා ඔබේ අවදානයට ගෙන එන්නේ අද අප රටේ උණුසුම් තත්වයක් නිර්මාණය කරමින් සිටින ව්‍යාපාරයක් පිලිබදවයි.

පසුගිය දිනවල අප රටේ උණුසුම් මාතෘකාවක් වී තිබෙන ‘බොදු බළ සේනා’ නම් ව්‍යාපාරය ඉස්ලාම් දහමටත්, මුස්ලීම් සමාජයටත් එල්ල කරන අභියෝගය කිසිසේත් නොසලකා හැරිය හැකි මට්ටමේ එකක් නම් නොවේ. මේ ව්‍යාපාරය හමුවේ රටේ නීතියත්, මුස්ලීම් දේශපාලඥයින් නිහඬව බලා සිටීම රටේ සුළුතරය වන අපට ඇති ඉමහත් කුතුහලයකි. මුසාව එකම පදනම කරගෙන බොරු බියක් සමාජය තුල නිර්මාණය කරමින් අමු අමුවේ ජාතීන් අතර වෛරයක් ගොඩනැ‍ෙඟෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් ජනතා රුලි සංවිධානය කිරීමන් දැක දැක මේ පාර්ශවයන් නිහඬව බලා සිටින්නේ ඇයිද? යන්න මුස්ලීම් සමාජයට පැවතී ප්‍රබල ගැටළුවකි. කෙසේ වෙතත් මේ ‘බොදු බළ සේනා’ ජාතිවාදී ව්‍යාපාරයට එරෙහිව හඩ නැඟූ බෞද්ධ ප්‍රජාවක් ද නැතුවා නොවේ. විශේෂයෙන් ගරුතර ස්වාමින් වහන්සේලා, රටේ බුදුධිමත් ප්‍රජාවක්, දේශපාලඥයින් ද ඒ අතර නොසිටියා නොවේ. එපමණක් නොවේ රට තුල ජාතිවාදී ව්‍යාපාරයන් නිර්මාණය කිරීමට මඟ බලමින් සිටින මාධ්‍යයන් හමුවේ සාධාර්ණ ලෙස කටයුතු කල (නෙත් fm – ‘බැලුම්ගල’ වැනි) මාධ්‍යයන් ද නැතුවා නොවේ. මේ ආකාරයට සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයම ඒකීය ජාතියක් ලෙස කටයුතු කිරීමට කැමැත දක්වන පිරිසක් අප රට තුල සිටින නිසාදෝ මේ වර්ථමාන තත්වය ජනාධිපති තුමාගේ අවදානයට යොමුවීමට හේතුවක් විය. ඒ අනුව මෙම තත්වය කෙරෙහි ජනාධිපති තුමාගේ දැඩි අවදානය අද යොමු වී තිබීම රටේ සුළුතරය වන මුස්ලීම් ප්‍රජාවට සතුටට කාරණයකි.

ඊයේ දිනයේ ජනාධීපති සාකච්චාව…

ඉහත ආකාරයට ජනාධිපති තුමා මෙම ගැටළුවට මැදිහත් වීම පිලිබදව හා මෙම තත්වය පිලිබදව සාධාර්ණ වූ විනිශ්චයක් සිදු කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට නියෝග කිරීම සාමය, සමඟිය හා සාධාර්ණය අගයන සියළු ප්‍රජාවට සතුට ට කාරණයකි. විශේෂයෙන් රටේ සුළුතරය වන මුස්ලීම් සමාජයට හෙට දවස පිලිබදව බලාපොරොත්තු ඇති කරවන්නකි. එපමණක් නොව මා ඉහතින් සදහන් කලාසේ මේ රටේ ජාතීන් අතර සාමූහිකත්වය ප්‍රිය කරන මැති ඇමතිවරුන් මෙම උණුසුම් තත්වයට දැක්වූ ප්‍රතිචාර රටේ සුළුතරය වන අපට හෙට දවස ගැන බලාපොරොත්තු ඇති කරවන තවත් ප්‍රබල කාරණයක් විය. නිදසුනක් ලෙස අද (2013/01/28) ‘මව්බිම’ පුවත්පතේ රාජිත සේනාරත්න ආමාත්‍යවරයා පලකල පහත අදහස් දැකවීම ඊට සමීපතම නිදසුනක් ලෙස සදහන් කල හැක.

එසේම මා ඉහතින් සදහන් කල රටේ යහපත් සමාජ තත්වයක් නිර්මාණය කිරීම උදෙසා නෙත් FM කල ‘බැලුම්ගල’ වැඩසටහනත් මෙහි සදහන් කලයුතුම වැඩසටහනකි.

මේ ආකාරයට මුස්ලීම් නොවන ශ්‍රී ලාංකීය සහෝදර ජනතාව මුස්ලීම්වරුන්ගේ අයිතිය හා නිදහස වෙනුවෙන් හඬ නඟන විට මුස්ලීම් ජනතාවගේ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් වූ මුස්ලීම් ජනතා නියෝජිතයන් කොහිද? යන්න මුස්ලීම් සමාජයට පැවති තවත් ප්‍රබල ගැටළුවකි. කවදත් පක්ෂ දේශපාලනය පිලිබදව උදාසීන පිලිවෙතක් අනුගමනය කරන ‘යහමග’ කිසිදු අවස්ථාවක පක්ෂ දේශපාලනය පිලිබදව නම් කථා කරන්නේ නැත. මා එසේ පවසන්නට හේතුව මෙතැන දී ඉදිරිපත් කරන කරුණූ පක්ෂ පාට කණ්ණාඩි තුලින් නොබැලිය යුතු යන්න පාඨක ඔබට අවදාරණය කිරීම පිණිසය. කෙසේ වෙතත් අද වනවිට නිහඩව සිටී මුස්ලීම් දේශපාලඥයින් ද කිසියම් හඬක් නඟන තැනට ජනතාව තල්ලු කොට තිබීම සතුට ට කාරණයකි. නමුත් මෙහි දී විශේෂයෙන් සදහන් කලයුත් මුස්ලීම් ජනතා ‍නියෝජිතයෙකු සිටී. ඒ අසාද් සාලී (හිටපු කොළඹ නගරාධිපති) මහතාය. ‘TNL එලිච්චි’ නම් වැඩසටහන ට සහභාගි වී ‘වර්ථමාන රටේ තත්වය හා ඉස්ලාම් දහමේ ස්ථාවරය’ පිලිබදව දැක්වූ කරුණු දැක්වීම අප රටේ මුස්ලීම් දේශපාලඥයින් ට හොද පූර්වාදර්ශයකි. එහි කථා කළ කරුණූ සම්බන්ධයෙන් ‘යහමග’ අඩවියට 100% එකඟතාවයක් නොවුවත් එතුමාගේ ඉදිරිපත් වීම පිලිබදව ‘යහමග’ ට ඇත්තේ එතුමා පිලිබදව ගෞරවයකි.

අවසාන වශයෙන් නැවතත් පවසන්නට ඇත්තේ වසර 30 කුරිරු යුද්ධයක අමිහිරි මතකයන් තවම මැකී නොගොස් ඇති අප ජීවිතවලට එවන් කෲර මතකයන් යලි අවශ්‍ය නොවේ. එපමණක් නොවේ අතීතයේ පටන් සාමූහිකව අන්තර් අවබෝධයෙන් ජීවත් වූ සියළු ජාතීන් අතර ජාතිවාදී වියරුවක් කිසිසේත් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ජාතීන් අතර අවබෝධයන් හා ඒ තුල ගොඩනැඟුණූ ගෞරවයන් මූලික කරගත් සමගිය පමණි. ඒ සදහා සියළු පාර්ශවයන් තමන් නියෝජනය කරන සියළු ක්ෂේත්‍ර තුලින් මැදිහත් වීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා! යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මේ ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම