තත්වයට නොගැලපෙන තුට්ටු දෙකේ කතාවක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


සාරාංශ - පුරාවිද්‍යා චක්ක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් 2007.12.12 “වීරකේසරී” පුවත්පතට කල ප‍්‍රකාශනයක් උපුටා දක්වමින් 2007.12.16 “ඉරුදින” පුවත්පතේ පලකොට තිබුණි. එහි “නැගෙනහිර පළාත මුස්ලීම්වරුන්ගේ මව්බිම නොවන බවත්, ඔවුන්ගේ මව්බිම විය යුත්තේ සෞදිඅරාබිය” යනුවෙන් ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි එල්ලාවල මේධානන්ද හිමියෝ ප‍්‍රකාශ කල බවට සදහන්ව තිබුණි.

ඉස්ලාමීය මුලික ඉගෙන්වීමන් පවා නොදැන ඉස්ලාමීය විවේචනය කිරීම අද සමාජයේ සුලබ වු කාරණයක් වී ඇත. මෙම විවේචකයන් දැනුවත් කිරීමේ අරමුණින් හා ඔවුන්ගේ අනවබෝධය පෙන්වාදීම අරමුණූ කොටගෙන විවිධ මාතෘකා මෙම යහමග අඩවිය තුල කලින් කලට සාකච්චා කෙරේ. අදත් ඒවැනි මාතෘකාවක් දැන් මෙහි විමසා බලමු.

මේධානන්ද හිමියන්ගේ තනතුරට නොගැලපෙන තුට්ටුදෙකේ කථාවක්.

පුරාවිද්‍යා චක්ක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් 2007.12.12 “වීරකේසරී” පුවත්පතට කල ප‍්‍රකාශනයක් උපුටා දක්වමින් 2007.12.16 “ඉරුදින” පුවත්පතේ පලකොට තිබුණි. එහි “නැගෙනහිර පළාත මුස්ලීම්වරුන්ගේ මව්බිම නොවන බවත්, ඔවුන්ගේ මව්බිම විය යුත්තේ සෞදිඅරාබිය” යනුවෙන් ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි එල්ලාවල මේධානන්ද හිමියෝ ප‍්‍රකාශ කල බවට සදහන්ව තිබුණි. මේ ආකාරයට මුස්ලීම්වරුන් හා ඉස්ලාම් දහමට එරෙහි වු ප‍්‍රකාශන හා මාධ්‍ය සාකච්චාවන් පසුගිය කාල වකවනුවේ එතුමා නායකත්වය දෙන හෙළ උරුමය පක්‍ෂ සාමාජිකයන්ගෙන් බහුලව දක්නට ලැබුණී. එවැනි තත්වයක් මධ්‍යයේ හෙල උරුම නායක පුරාවිද්‍යා චක්ක‍්‍රවර්ති මේධානන්ද හිමියන් කල මෙම ප‍්‍රකාශය හේතු කොටගෙන මාහට උන්වහන්සේ පිලිබදව හා උන්වහන්සේ නායකත්වය දෙන පක්‍ෂය පිලිබදව ප‍්‍රශ්න කිහිපයක් මතු වේ. එනම්,

  • පුරාවිද්‍යාව පිලිබදව හසල දැනුමක් ඇති උන්වහන්සේට ලාංකීය මුස්ලීම්වරුන්ගේ මව්බිම පිලිබදව නිසි අවබෝධයක් නැත්තේ ඇයි?
  • “මව්බිම” යන වචනයට උන්වහන්සේ ලබාදෙන අර්ථ කථනය කුමක්ද?
  • වර්ථමානයේ ජනවාර්ගික ගැටලුවක් පවතින මාගේ මව්බිම උන්වහන්සේගේ ධර්මදීපයක් බවට පත් කරන්නට යන්නේ මේ ආකාරයට සුලු ජාතීන් රටින් බැහැර කරමින්ද?
  • හෙළයන්ගේ උරුමය රුක දෙන්නට හදන්නේ මේ ආකාරයටද?
  • මෙවැනි මතයන් දරමින් ලාංකීය වර්ථමාන ජනවාර්ගික ගැටලුවට ඔබ වහන්සේ නියෝජනය කරන පක්‍ෂයෙන් පිලිගත හැකි. විසදුමක් එම පීඩිත ජනතාවට ලැබේ යයි බලාපොරොත්තු වීම විහිලුවක් නොවේද?
  • ජාතිය හා ආගම පිලිබදව පැහැදිලි අදහසක් නැති උන්වහන්සේගේ මෙම ප‍්‍රකාශය මුස්ලීම් ජනතාවට පමණක් නොවේ ලාංකීය සුලුතරයක්ව ජීවත්වන සියල්ලටම රතු එලියක් වනවා නොවේද?
  • අතීතයේ පටන් රජවරුන් හා මුස්ලීම්වරුන් අතර පැවතී සමීප සම්බන්ධතාවයත්, පසුකාලීනව ස්වාමින්වහන්සේලා හා මුස්ලීම්වරුන් අතර පැවතී අවංක බැදීමන් පුරාවිද්‍යාව පිලිබදව ගවේශනය කල එල්ලාවල මේධෘනන්ද හිමියන්ට දැනගැනීමට නොහැකි වුවාද එසේත් නැත්නම් ඒවා සියල්ල හිතා මතා යට ගැසුවාද?
  • ඉහත කිසිවක් නොවේ නම් මේ සියල්ලට වඩා ඔබ්බට ගොස් වර්ථමාන ලාංකීය දේශපාලන රාමුවතුල හිද සුපුරුදු දේශපාලඥයකුගේ චරිතය රඟ දක්වමින් දේශපාලන වාසි ලබන්න උත්සාහ කරනවාද?

මෙම ලිපිය මගින් ගරු එල්ලාවල මේධානන්ද හිමියන්ගේ අවධානයට කරුණු කිහිපයක් යොමු කිරීමට අදහස් කරමි. වර්ථමානයේ ශ‍්‍රී ලංකාවේ ජීවත්වන සියලු මුස්ලීම්වරුන්ගේ මව්බිම මේ ලක්බිමයි. මේ බිම මාගේ මව උපන් බිමයි, මවගේ මව උපන් බිමයි, එය කොතරම් අතීතයට ගියත් එහි වෙනසක් නැත. ආරම්භ කාලයේ විදේශවල සිට මුස්ලීම් ව්‍යාපාරිකයන් වෙළෙදාම් සදහා ලක්බිමට පැමිණෙන ලදී. ඔවුන්ගේ වෙළද දක්‍ෂතාවය හා අවංකභාවය අවබෝධකර ගෙන සිටී රජවරුන් පවා මුස්ලීම් වෙළෙන්දුන්ට රටේ වෙළද කටයුතු භාර කල අවස්ථාවන් ද දක්නට ලදී. එසේම වෙළදාම සදහා පැමිණි පිරිස ලංකීය බෞද්ධ කාන්තාවන් විවාහ කරගන්නා ලදී. මෙය වඩාත් හොදින් තහවුරු වන්නේ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක විදේශ කාන්තාවන් ලංකාවට ගෙන ආ බවට සදහන් නොවීම තුලිනි. මේ අනුව සැලකුවත් වර්ථමාන මුස්ලීම්වරුන්ගේ මව්බිම ලංකාවයි. එසේ නොමැතිව ලෝකයේ ඉස්ලාම් දහමේ ආරම්භය හෝ මුස්ලීම් බහුතරය ජීවත්වන ප‍්‍රදේශය පදනම් කරගෙන වර්ථමාන මුස්ලීම්වරුන්ගේ මව්බිම තීරණය කරනවා නම් ලාංකීය බෞද්ධයින්ගේ මව්බිම ද ලංකාව නොව දඹදිව එසේත් නැත්නම් උතුරු ඉන්දියාව විය යුතු නොවේද? එසේ විය යුතුයයි රටේ බහුතරයක් වන බෞද්ධයින් හෝ මුස්ලීම්වරුන් වන අප ද පිලිනොගනිමු. මව්බිම තීරණය කරන සාධකය ඒ ඒ ජන කොට්ඨාශ පිලිපදින ආගම හා බැදුණූ කාරණයක් නොවේ. අප ආගමික වශයෙන් බෞද්ධ වුවත්, ක‍්‍රිස්තියානි වුවත්, මුස්ලීම් වුවත් එසේත් නොවේනම් හින්දු වුවත් අප සියල්ල ජාතියක් වශයේන ලාංකිකයන්ය. මෙම ගැටලුව තවත් කෝණයකින් එනම් විදේශයකින් සංක‍්‍රමණයවීම පදනම් කරගෙන මෙම ගැටලුවට පිලිතුරු සොයන්නේ නම් මුස්ලීම්වරුන් වෙළදාම සදහා ලංකාවට පැමිණීයා සේම විජය කුමරුගේ පැමිණිමත් සමඟ තමා සිංහල ජාතියේ ආරම්භය සිදුවන්නේ කාලයෙන් අඩු වැඩි වුවත් දෙපිරිසගේම පියවරුන් සංක‍්‍රමණිකයන් යන්නෙ හි කිසිදු මත භේදයක් නැත. එසේම මේ සියල්ල කුවේණිගේ දරුවන් යන්නෙහි ද මතභේදයක් නැත. මේ අපේ ද මව්බිම යන්නට මීටත් වඩා සාක්‍ෂී අවශ්‍යද? අපේ මේ උරුමය මුස්ලීම්වරුන් වන අප අහිමි කරගන්න කිසිවිටෙකත් සුදානම් නැත. ලාංකීය බෞද්ධයින්ට මෙන්ම මේ රට පිලිබදව අපට ද හැඟමක් ඇත. එය රජවරුන්ගේ සමයේත්, පසු කාලීනව අධිරාජ්‍යවාදීන්ගෙන් රට මුදාගැනීමේදීත් ඊට පසුකාලවලදීත් එය ප‍්‍රායෝගිකව ඔප්පුකොට පෙන්වා ඇත. අතීතයේ පමණක් නොවේ වර්ථමානයේ බෙදුම්වාදීන්ට මුදලට රට පාවාදෙන සමහරුන් හමුවේත් “මිලේනියම් සිටි” වැනි තීරණාත්මක අවස්ථාවල මුස්ලීම්වරුන් නායකත්වය ලබාදෙමින් මෙම ජතික හැගීම වාචිකව නොව ප‍්‍රායෝගිකව ඔප්පුකොට පෙන්වා ඇත. මේ තරම් සරල කාරණයක් අවබෝධ කරගන්නට තරම්වත් ඉතිහාසය පිලිබදව හසල දැනුමක් ඇති එල්ලාවල හිමියන්ගේ මනස විවෘත්ත නොවුයේ ඇයිද?.

අතීතයේ පටන් ලාංකීය සමාජයේ විවිධ ආගමිකයින් ඉතා සුහදව කටයුතු කර ඇත. එවැනි ජන සමාජයක් මධ්‍යයේ හිද බහුතරයක් නියෝජනය කරන ආගමික නායකයෙක් මෙන්ම විද්වතෙක් මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් මෙවැනි ප‍්‍රකාශනයක් කිරීම ඒ විවිධ ආගමිකයින් අතර ඇති බැදීමට අකුල් හෙලීමකි. එසේම ජනවාර්ගික ගැටලුවක් පවතින අප රටට මෙවැනි ප‍්‍රකාශන මරු පහරකි. අතීතයේ බෞද්ධ ස්වාමින්වහන්සේලා හා මුස්ලීම් ජනතාව ඉතා සමීපව කටයුතු කල බවට ඕනෑතරම් සාක්‍ෂි ඇත. සමහරක් අවස්ථාවල ස්වාමින්වහන්සේලා මුස්ලීම් දේවස්ථාන ඉදිකර ගැනීම සදහා පන්සලට අයත් භූමීන් ලබාදුන් බවට ද ඉතිහාසයේ සදහන් වේ. මේ අකාරයට සුහදව කටයුතු කල ජනතාව මධ්‍යයේ මෙවැනි ප‍්‍රකාශන මේධානන්ද හිමියන් සිදුකිරීම ජාතියක් වශයෙන් දෙවරක් සිතා බැලිය යුතුයි.

මෙවැනි ප‍්‍රකාශන සිදුකිරීමට බලපෑ කාරණය නැගෙනහිර පළාතේ ඇති වු ඉඩම් ආරව්ලක් බව සදහන් වේ. නමුත් මෙම ප‍්‍රකාශය තුල මුස්ලීම්වරුන් වන අප දකින්නේ ලාංකීය මුස්ලීම්වරුන් පිලිබදව උන්වහන්සේ හට තිබු ආකල්පය මල්ලෙන් එලියට පැනීමකි. කෙසේ වෙතත් එතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ සැබෑ මුස්ලීම්වරයෙකු කිසිවිටෙකත් අන්සතු වස්තුවක් තමා සතුකර නොගනී. එය ඉස්ලාම් දහමේ මහා පාපයකි. එවන් තත්වයක බෞද්ධ සමාජයට යම් අසාධාරණයක් මුස්ලීම් ජනතාවගෙන් සිදුවී ඇත්නම් කලයුතුව ඇත්තේ එයට ආගම්වාදී මුහුණුවරක් හෝ දේශපාලනවාදී මුහුණූවරක් නොදී නිතියේ ඉදිරියට එය ගෙනයාමයි. මා සිතන්නේ මේධානන්ද හිමියන්ගේ මෙම ප‍්‍රකාශය තුල සෘජුවම ආගම්වාදීත්වයක් තිබුණ ද පසුබිමින් ඇත්තේ පැහැදිලිවම දේශපාලනමය ගැටුමකි. මන්ද පසුගිය දිනවල ලාංකීය දේශපාලනයේ ඇති වු උණුසුම්කාරී තත්වය එයට ප‍්‍රධාන හේතුවක් විය හැක. එය වඩාත් හොදින් පසුගිය දිනවල පැවතී අයවැය විවාදය තහවුරු කලා. එනම් අයවැය දෙවන වර කියවීමෙන් අනතුරුව පැවතී ඡුන්ද විමසීමේ දී අණ්ඩුවට පක්‍ෂව ඡුන්දය ලබාදුන් රව්ෆ් හකීම් ඇතුලු කන්ඩායම දේශපේ‍්‍රමීන් ලෙස ඉහත ස්වාමිණ් වහන්සේ නායකත්වය දෙන පක්‍ෂ සාමාජිකයින් පවා මාධ්‍යයට පවසා සිටියා. එසේ හදුන්වා දුන් එම දේශප්‍රෙමීන්ම තෙවන වර අයවැය ඡුන්ද විමසීමේ දී දේශද්‍රෙහීන් බවට පත්වුනා මෙය තමා ලාංකීය දේශපාලනය, කෙසේ වෙතත් ස්වාමින් වහන්සේගේ සහා එතුමාගේ මතයට සමාන මතයන් දර සියල්ලගේ අවදානය සදහා එක් කාරණයක් පැවසිය යුතුයි. එනම් වර්ථමාන ලාංකීය සමාජයේ මුස්ලීම් ජනතාව හා ඉස්ලාම් දහම නියෝජනය කරන බව පවසමින් විවිධ දේශපාලන පක්‍ෂයන් හා දේශපාලඥයන් ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ සිටියත් මේ සියලු දේශපාලඥයින් මුස්ලීම් ජනතාව හා ඉස්ලාම් දහම ලංසුවට තබා දේශලානයේ වැජඹෙනවා මිස මොවුන්ගෙන් කිසිවකු ඉස්ලාම් දහම හෝ මුස්ලීම් ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී නොසිටින බව අවධාරනය කලයුතුයි. මා එසේ පවසන්නේ ලාංකීය සමාජයේ අතීතය පුරාවට දැකපු කාරණයක් ඇත. එනම් මීට වසර 17 කට පමණ පෙර මුස්ලීම් ජනයාගේ උපන් බිමි වන යාපනයේ ඔවුන් නෙරපාහැරිම. මීට වසරකට පෙර මුතූර්වලන් නෙරපාහැරිම… මේ සෑම අවස්ථාවකම මුස්ලීම් දේශපාලඥයින් කලේ කුමක්ද? තමන්ගේ ඡුන්ද මල්ල තර කර ගන්න වාද විවාද කලා පමණි. පසුගිය දිනවල මුස්ලීම් ව්‍යාපාරිකයන් පැහැර ගැනීම, කප්පම් ගැනීම යනාදී වශයෙන් විවිධ හිරිහැරයන් සිදුවුනා. මුස්ලීම් දේශපාලඥයින් කලේ කුමක්ද? තමන්ගේ ඡුන්ද මල්ල තරකරගන්න වාද විවාද කලා පමණි. මේ ආකාරයට මුස්ලීම් ජනතාවට ගැටලු ඇතිවන සෑම අවස්ථාවකම මුස්ලීම් දේශපාලඥයින් ක‍්‍රියා කොට ඇත්තේ ඉහත ආකාරයට පමණි. එමනිසයි මා නැවතත් අවධාරනය කරන්නේ මෙම දේශපාලඥයින් මුස්ලීම් ජනතාව හෝ ඉස්ලාම් දහම නියෝජනය කරන්නේ නැති බව.

එමනිසා ගරු ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ මෙය දේශපාලන කටයුත්තක් නම් එයට ඉස්ලාම් ආගම හෝ මුස්ලීම් ජනතාව අවදානමට ලක් නොකර එය දේශපාලන රාමුවට පමණක් සීමා කරන්න. එසේ නොමැතිව යම් ජන කොට්ඨාශයකට මුස්ලීම්වරුන්ගෙන් අසාධාරණයක් සිදුවී ඇති බව පවසන්නේ නම්, එය නීතිය ඉදිරියට ගෙන ගොස් එම ගැටලුව සදහා විසදුමක් ලබාගන්න. මන්ද “සැබෑ මුස්ලීම්වරුන් සැමදා නිතිගරුක විය යුතුයි!” යන්න ඉස්ලාම් දහම කියාදෙන වැදගත් පාඩමකි. ඒ බවත් අවදාරනය කරමන් අවසාන වශයෙන්, මේ රට අපෙත් රටයි අපේ මව්බිමයි අප ශරිරයේ ඇති ලේ, මස්, ඇට, නහර මේ සියල්ල පෝශණය වෙලා තියෙන්නේ මේ ලක්පොළොවින් එය අපෙත් උරුමයක් බවත්. එය එසේ නොවේ යයි කිසිවකු පවසයි නම් එය පිලිගන්න මුස්ලීම්වරුන් වන අප සුදානම් නැති බවත් පවසා මෙම ලිපිය අවසාන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම