තමන්ලා හැර සියලු‍ සත්වයෝ දුකින් පෙළෙත්වා! – ප්‍රියමාලි කතා වස්තුව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දිනවල රටේ උණූසුම් ම මාතෘකාව ‘තිලිණි ප්‍රියමාලි’ සහ ‘තිකෝ’ සමාගමයි. ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල ඉතිහාස ගතවන වැඩක් කල ඇයට ඉතිහාස ග්‍රන්ථයන් තුල සුවිවිශේෂ තැනක් ලබාදිය යුතු යන්න මාගේ පුද්ගලික අදහසයි. ශ්‍රී ලාංකීය සමාජය තුල අතිපූජ්‍ය, අතිඋතුම්, අතිගෞරවණීය, මැතිතුමන්ලා, මැතිණිවරුන්, මහත්මයන්ලා, මහත්මියන්… යනාදී ජනප්‍රිය චරිත බොහෝමයක් එක මොහොතින් ‘චප්ප චොරස් කොට කුල්ල කුජීත තත්වයට’ ඇද දැමීමට ඇය සමත් වී ඇත. ශ්‍රී ලාංකීය සමාජය තුල මහා ප්‍රතාපවත් හා ප්‍රබල එසේම විටෙක පූජනීය චරිත ගණනාවක් නිරුවත් කොට නිරුත්තර කල ඇයගේ මෙම ජාවාරම් දාමය ‘ප්‍රියමාලි කථා වස්තුව’ ලෙස ඉතිහාස ගතකිරීම කාලීන හොද යෝජනාවක් යැයි ඔබට නොසිතේද?.

රටම ආර්ථික අර්බුදයක් කරා සීඝ්‍රයෙන් ඇදීයමින් තිබියදීත්, රටේ ප්‍රභූවරුන් යැයි පවසාගන්නා ඉහතින් සදහන් පාර්ශවයන් නෛතික රාමුවෙන් පිට මුදල් ආයෝජනය කරමින් සහ මූල්‍ය ගණූදෙනු සිදුකරමින් මහා ජාවාරමක් සිදුකොට ඇති බව දැන් අනාවර්ණය වෙමින් ඇත. මේ රට තුල මෙවැනි ජාවාරම්කරුවන් කලින් කලට බිහිවීම අරුමයක් නොවේ. මීට කලකට ඉහත සිදු වූ ‘සක්විති රණසිංහ’ වංචාව එයට කදිම හා සමීපතම නිදසුනකි. නමුත් මෙහි තත්වය ‘සක්විති’ වංචාවට වඩා තරමක් වෙනස් හා විශේෂය. ඒ මෙම ජාවාරම අනාවර්ණය වීම හමුවේ රටේ ප්‍රබල චරිත ‘තක්කු මුක්කු’ වී සිටීමයි. එදා ‘සක්විති රණසිංහ’ වංචනිකයෙකු ලෙස නීතිය හමුවට ගෙනඒමට ආයෝජකයින් පෙරමුණ ගත්තද, ‘තිකෝ’ ගනුදෙනුවේදී එය එසේ නොවේ. මෙහි ප්‍රියමාලිට වඩා සැඟවෙන්න තැන් සහ කරුණු සොයන්නේ ආයෝජකයින්ය. ඒ ඔවුන් උපයාගත් එම කෝටි ගණන් ධනය සදහා උපයාගත් මාර්ග ‘සෝස්’ ඉදිරිපත් කිරීමට ඇති නොහැකිවය. මේ අනුව ප්‍රියමාලි සහ ‘තිකෝ’ සමාගමේ ආයෝජකයින් යන්න නීති විරෝධී එකම ජාවාරමක කොටස්කරුවන් යන්න අණාවර්නය වෙමින් ඇත.

මේ රටේ පොල් ගෙඩියක, අඹ ගෙඩියක, කොස් ගෙඩියක හොරකම සදහා නීතිය කොතරම් තදින් ක්‍රියාත්මක වුනාද? යන්න අප හොදින් දන්නෙමු. නමුත් මෙම ජාවාරමට සම්බන්ධ පාර්ශවයන් දෙස බලන විට නෛතික රාමුවෙන් පිට සිදුවූ ඉහත කෝටි ගණන් මුදල් ගණූදෙනු ජාවාරමට එරෙහි ක්‍රියාත්මක නීතිය කොර වී යාවිදෝ? යැයි සිතේ. ඒ මෙම ජාවාරම් හි කොටස්කරු පාර්ශවයන් පහත ආකාරයට වීම හේතුවෙනි. ,

  • දේශපාලඥයින්,
  • ඉහල රජ්‍ය නිලධාරීන්,
  • ආගමික නායකයින්,
  • කලාකරුවන්,
  • වෙළද ව්‍යාපාරිකයින්,
  • සිවිල් සමාජයේ සාමාජිකයන්,

මෙලෙස රටේ ඉහල තලයේ සිට පහලම තලය දක්වා බූවල්ලෙකු සේ නතුකරගෙන සිටින මෙම ජාවාරමට සම්බන්ධ සියළු පාර්ශවයන් එකම වරදේ කොටස්කරුවන්ය. මේ ජාවාරමට සම්බන්ධ ඔවුන් නීතීය හමුවේ වරදකරුවන්වේද? ඔවුනට දඬුවම් ලැබේවිද? මෙවැනි දෙයක් යලි මේ බිමේ නොවන්නට ක්‍රමවේදයක් සැකසේද?… මේ සියල්ල කාලයාට භාර කරමින් මා මෙම ලිපිය තුලින් ඔබේ අවදානය රුගෙන යන්නේ වෙනත් කාරණාවක් වෙතය. එම කාරණය කථා කිරීමට මත්තෙන් පසුගිය දිනවල අප රටේ මාධ්‍යයන් තුල ඉහත සිද්ධිය සම්බන්ධයෙන් පලවු පුවත් සිරස්තල කිහිපයක් පහතින් පෙලගසන්න අදහස් කරමි.

  • තිළිණී ඇතුළු 3ක් රිමාන්ඩ්
  • ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
  • මුදල් ගන්නකොට සිරිසුමන හිමිට එන ආරූඪය – තිලිණි ප්‍රියමාලි SMS එකකුත් යවලා
  • තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලා
  • ප්‍රියමාලි ගැන කියන්න නළුවා-බිරිඳ සී.අයි.ඩිය මඟ හරිති
  • තිලිණි ප්‍රියමාලිගේ ඩොලර් වංචා එළියට
  • තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් අධිකරණ ඇමැති විජේදාසගේ පුතා ඇතුළු නීතිඥ මණ්ඩලයම උසාවි ඇවිත්
  • ප්‍රකට හිමිනම තිලිණි ප්‍රියමාලිට ලබාදුන් කෝටි ගණන මෙන්න
  • ප්‍රියමාලිගේ ව්‍යාපාරික සගයකු අල්ලයි
  • ප්‍රියමාලිගේ ව්‍යාපාරික හවුල්කරු රිමාන්ඩ්
  • මුරුත්තෙට්ටුවේ හිමිගේ V8 එක තිළිණි ප‍්‍රියමාලිට අලෙවි කළාද ?
  • තිළිණිට සම්බන්ධ නිළියෝ දෙදෙනෙක් මාරු
  • බොරැල්ලේ සිරිසුමන හිමි CID අත්අඩංගුවට
  • හඬපට සිද්ධියට සේමිණි සී.අයි.ඩීයට
  • රුපියල් කෝටි 4 ක වංචාවක් ගැන ප්‍රියමාලි තවත් පැමිණිල්ලක්
  • ප්‍රියමාලිගේ විමර්ශනවලට අදාළව ඥානසාර හිමිගෙන් පැය 3 1/2ක් ප්‍රකාශ ගනී
  • ජානකීටත් පාර වරදියි
  • ප්‍රියමාලිට මුදල් දුන් දේශපාලකයෝ ගොළු වෙති
  • නයා පෙන්වා ප්‍රියමාලී ප්‍රකෝටිපතියා දමනය කල හැටි
  • කුරුඳුවත්තේ ව්‍යාපාරිකයෙක් ප්‍රියමාලි ළඟ කෝටි 75 තැන්පත් කරලා
  • තිළිණි ප්‍රියමාලිගේ වංචාවට හසුවූ සුප්‍රකට පුද්ගලයින් පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන්නේ ඇයි?
  • තිළිණිට දුන් රත්‍රන් විකිණූ සමාගම් අධ්‍යක්ෂක රිමාන්ඩ්
  • ප්‍රසිද්ධ නිළියක් කුලියට අරන් ප්‍රකෝටිපතියන් ‘බ්ලැක්මේල්’ කරලා !,
  • ප්‍රියමාලිට දුන් කළු සල්ලි වතුරේ

මේ රටේ බහුතර දේශපාලකඥයින් කොතරම් පිරිසිදු චරිතද? යන්න මේ රටේ ජීවත් වන අප පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවත් දැන් හොදින් දනී. එමනිසා ඔවුන් උපයාගත් මුදල් මෙම ජාවාරම තුල ආයෝජනය කොට තිබීම අරුමයක් නොවේ. නමුත් මේ සමාජය අධ්‍යාත්මිකව ගොඩනඟන්න සහ ඔවුන් යහමග ගැන්වීමට දිවා රූ වෙහෙසෙන ධර්මදීපයේ ආගමික නායකයින් ද මෙම ජාවාරම තුල කෝටි ගණන් මුදල් හුවමාරු කරගෙන තිබීම විශ්මිත කාරණයක් නොවේද?. ‘දුකෙන් මිදෙන්න හොදම මඟ ලෞකික බැඳීම් අත්හැරීම’ යැයි සමාජයට දේශනා කල සමහරක් (තමන් බුදුබව ලබා ඇතැයි පැවසූ) හිමිවරුන් මෙම ජාවාරමෙහි කොටස්කරුවන් වී සිටීම විශ්මය දනවන්නකි. ඔවුන් සමාජයට බණ කියන ගමන් ආගම ව්‍යාපාරයක් කරගෙන ලෞකික සැප සම්පත් සොයා ගොසින් බව සිතෙන්නේ මට විතරක්ද?. ඇත්තෙන්ම මොවුන් සමාජයට දේශනා කරන දහම ඔවුනට වලංගු නැද්ද?.

මේ රටේ මෑතකාලීනව සිදු වූ සිද්ධීන් (වන ජාවාරම්, කෝලාහල, දේශපාලන පෙරලි, ගැටුම්… යනාදීන්)වල බොහෝ විට පෙරමුණ සිටියේ ආගමික නායකයින්ය. ඔවුන් සමාජය තුල කොතරම් පහත් තැනකට වැටිලාද යන්නට සරල නිදසුනකින් පවසනවා නම්, අප රටේ සමහරක් හිමිනමවරුන් නමින් ප්‍රසිද්ධ වනවාට වඩා ‘V8’, ‘අඹසරණ’, ‘නාඟලෝක’… වැනි නම්වලින් ප්‍රසිද්ධ වී සිටීම මෙම අරාජිකත්වයේ තරම මනාව පිලිඹිබු කරන්නකි. මෙවැනි ආගමක නායකයින් ඔබ හොදින් හා බුද්ධිමත්ව නිරීක්ෂණය කරනවා නම්, ඔවුන් දහමේ ඉගෙන්වීමන් හැර අන් සියල්ල හොදින් ඉටුකරන බව ඔබට ම අවබෝධ වනු ඇත.

මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණයක් ඇත. එනම්, මෙම ‘ප්‍රියමාලී කථා වස්තූව’ තුල සමහරක් මුස්ලීම් චරිත ද කථාබහට ලක්වන අවස්ථා අසන්නට ලැබේ. ඔවුන් එම වරදෙහි කොටස්කරුවන් නම්, රටේ නීතියෙන් ඔවුනට දඬුවම් ලැබුණත්, නැතත් දෙවියන් ඉදිරියේ ඔවුන් වරදකරුවන් යන්නෙහි විවාදයක් නැත. දේව අනපනත් නියෝග පසෙකලා වස්තුන් රුස්කිරීම වෙනුවෙන් කිසියම් මුස්ලීම්වරයෙකු මෙහි ක්‍රියා කොට ඇත්නම්, මේ අල්කුර්ආන් වාක්‍යයන් දෙක ඔබ වෙනුවෙනි.

(නබියේ!) තමන්ගේ ආශාවන් දෙවිවරුන් වශයෙන් අරගත් පිරිස ඔබ නිරීක්ෂණය කළෙහිද? (ඔහුගේ පාපයන්හි හේතුවෙන්) අල්ලාහ් ඔහුව වැරදි මාර්ගයෙහි අත්හැර දමා, ඔහුගේ කණ් මතද, හෘදය මතද, මුද්‍රා තැබුවේය. තවද ඔහුගේ දෘෂ්ඨිය මතද, තිරයක් ඇති කොට ඇත. අල්ලාහ් (මෙසේ) කිරීමෙන් පසු කවුරුන්ට නම් ඔහුව ඍජු මාර්ගයට ඇතුළු කළ හැකිද? (මෙය) ඔබ අවධානය කර බැලිය යුතු නොවේද?

අල්කුර්ආන් 45-23

‘අල්ලාහ් (දෙවි)ට බිය වන්න!’ යැයි ඔහුට කියූ විට, ඔහුගේ උඩඟුකම ඔහුව පාපය කරා ඇදගෙන යයි. එබැවින් ඔහුට නිරය ම ප්‍රමාණවත් වනු ඇත, එම නිරය රුදෙන තැන්වලින් නරකම තැන වේ.

අල්කුර්ආන් 2-204

මේ අනුව අප පිලිපදින දහමේ ඉගෙන්වීමන් හොදින් අධ්‍යනය කොට ඒ තුලින් යහපත් දිවිපෙවත අවබෝධ කරගන්නවාද? නොඑසේනම්, තවදුරටත් එක එක ඔළුගෙඩිවල තිබෙන විකෘති පටු අරමුණූවලට ‘සාදුකාර’ දී ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් ඔබ කටයුතු කරමින් ජීවත් වෙනවාද?. එම තීරණය ඔබයි ගතයුතු වන්නේ. එය ඔබේ ජීවිතයේ ඔබ ප්‍රමාද නොකොට ගතයුතු බුද්ධිමත් හා තීරණාත්මක තීරණය බව නැවත නැවතත් අවදාරණය කරමින්, ඒ සදහා මෙම ‘ප්‍රියමාලී කථා වස්තූව’ ඔබට පිටුවහලක් වේවා! යැයි ප්‍රාර්ථාන කරමින් මෙම සටහන අවසන් කරමි.

.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම