තරුණ තරුණියන් රවටා ආගම්වලට හැරවීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාමීය මුලික ඉගෙන්වීමන් පවා නොදැන ඉස්ලාමීය විවේචනය කිරීම අද සමාජයේ සුළුභ වූ කාරණයක් වී ඇත. මෙය කලකට ඉහත අන්තර්ජාලය තුල සාමාන්‍ය කැළෑ පත්තර හා මඩ ව්‍යාපාර ලෙස බ්ලොග් අඩවීන් තුල ආරම්භ වුවත් අද වනවිට එය ජාතික පුවත්පත් හා ජනමාධ්‍යයන් දක්වා සෑම ක්ෂේත්‍රයක්ම අරක්ගෙන ඇත. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් රටේ ජාතිවාදීන්ගේ සුරතලුන් බවට පත්ව ඉටුකරන මඩ ව්‍යාපාර සදහා යහමග විටින් විට එහි බලපෑමේ ප්‍රමාණය අනුව පිලිතුරු ලබාදීම සිදුකරනවා ඔබට අළුත් කාරණයක් නොවනු ඇත. අද දිනයේ ද මෙහි සංවාදයට ගැනෙන්නේ එවැනි තවත් මඩ ව්‍යාපාරයකි.

අප රටේ ජාතික පුවත්පතක් වන ලක්බිම පුවත්පතේ 2009/12/24 දින පලවූ ප්‍රවෘත්තියේ කොටසක් තමා ඉහත පිංතූරය තුලින් දකින්නේ. එහි මාතෘකාව වුයේ “තරුණ තරුණියන් බිලිබා ගැනීමේ මූලධර්මවාදී උපාය” යන්නයි. ඉහත ලිපියෙහි අන්තර්ගත කරුණු පිලිබදව අවධානය යොමු කිරිමට පෙර එහි මාතෘකාව පිලිබදව කෙටි අවධානයක් යොමු කලේ නම්, එහි ලාංකිය සමාජයේ භාවිතා වන ජනප‍්‍රිය වචනයක් ඇත. ඒ “මූලධර්මවාදීන්” යන්නයි. මෙය අද රටේ සුළු ආගමික ප්‍රජාව විවේචනය කිරීම සදහා අන්තවාදී බෞද්ධ සමාජය භාවිතා කරන ජනප‍්‍රිය වචනයක් බවට පත්ව ඇත. එනම් ඕනෑම යථාර්ථවාදී කාරණයක් මෙම වචනය භාවිතා කොට යටපත් කිරීමට අද ඔවුන් පෙළඹී සිටී. සැබැවින්ම මූලධර්මවාදය යනු කුමක්ද? (පහතින් පැහැදිලි කර ඇත) මෙය අද සමාජයේ ගැඹුරින්ම කථාබහට ලක්විය යුතු කාරණයක් මිස එය ලේබලයක් හෝ තවත් කොට්ඨාශයකට චෝදනා කිරිමට භාවිතා කරන හොරනෑවක් නොවිය යුතුය. ඉහත ලිපියෙහි කතෘ ලාංකිය සමාජයේ සුපුරුදු වචන එනම් මූලධර්මවාදය, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ, ආගම් හැරවීම, යනාදි වචන පෙලක් පෙලගස්වමින් පවසන්නට උත්සාහ කර ඇත්තේ සුළුපටු වු කාරණයක් නොවේ. එම නිසා ඉහත මෙම ලිපියට විවිධ පැතිකඩ ඔස්සේ අවධානය යොමු විය යුතුව ඇත.

  • නිතිය ක‍්‍රියාත්මක කරන මහත්වරුන්ගේ අවධානයට මෙම ලිපියට යොමුවිය යුතුයි.

මෙම ලිපියෙහි කතෘ පවසන ආකාරයට බෞද්ධයන් වෙනත් ආගමකට හරවීමේ ක‍්‍රියාවලියේ දී පොලිසියේ මහත්වරුන්ගෙන් යම් දායකත්වයක් ලබාදෙන බවටත් ඒ සදහා සාක්‍ෂි පවා තිබෙන බවටත් සාජුවම චෝදනා කරයි. එසේම රටේ නීතිය පවා නිසි ආකාරව ක‍්‍රියාවට නොනංවා ඔහුගේ භාෂාවෙන්ම පවසන්නේ නම් “ජාත්‍යන්තර කුමණ්ත‍්‍රනකාරයන් හට සහය දක්වන බව” පවසන්නේ අරක්කු බෝතල් උදාහරණයක් ද ගෙනහැර දක්වමිනි. මෙම කාරණය කෙරෙහි පොලිසියේ බලධාරීන්ගේ පමණක් නොව රටේ පාලකයන්ගේ ද දැඩි අවධානය යොමු විය යුතු යන්න මාගේ විශ්වාසයයි

  • බුදුදහම කෙරෙහි බෞද්ධයන්ගේ තිබෙන දැනුම පිලිබදව මෙම ලිපියෙහි කතෘ ප‍්‍රබල ප‍්‍රශ්නයක් මතුකරයි.

මෙම කාරණයන් කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයන් නොවේ. ඒ අනුව මෙවැනි අන්තවාදී පිරිසගෙන් ප්‍රශ්න කිහිපයක් විමසන්නට කැමැත්තෙමි. බුදුන්ගේ දේශයේ ජිවත්වන බෞද්ධයන් බුදුදහමේ ඉගෙන්වීමන් නොදන්නවා යයි පවසන්නේ කෙසේද?. එසේ බුද්ධ ඉගෙන්වීමන් නොදන්න මේ බෞද්ධ සමාජය ඉලක්ක කරගෙන බෞද්ධ රාජ්‍යයක් තනන්නට වෙහෙසෙන භික්‍ෂූන් වහන්සේලා තම උපාසක උපාසිකාවන්ට බුද්ධ දේශනය පවසන්නේ කවදාද?, ආගමක් යනු කායික හෝ බාහිර ලෝකයත් සමඟ නොව මනසත් සමඟ බැදුණූ කාරණයකි. එය විශ්වාසයන් මත ගොඩනැගෙන කාරණයකි. එසේනම් ඉහත ලිපියෙහි කතෘ පවසන ආකාරයට මේ මනස නොමඟ යන්නට තරම් අන්‍යආගමික ප්‍රජාව සිදුකල බලපෑම කුමක්ද?. බෞද්ධ තරුණයන්, විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේලා සහා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොමඟ යන්නට තරම් බුදුදහමට වඩා අනිකුත් දහමන් බලගතු බව පවසනවාද? එසේත් නැත්නම් බෞද්ධයන් මනසින් දුර්වලයයි පවසනවාද? සැබෑ ආගමික විශ්වාසයක් මුදලින්, අධ්‍යාපනයෙන්, රුකියාවෙන්, තනතුරක් ලබාදීමෙන් එසේත් නැත්නම් ආදර සම්බන්ධතාවයන් තුලින් ගොඩනැගීමට හෝ විනාශ කිරිමට හැකියාව පවතීද?. එය එසේ යයි කිසිවකු පවසනවා නම් එයට මූලික වූ හේතු කිහිපයක්ද පවතින බව ප්‍රතික්ෂේප කල නොහැක. එනම්,

  • තමා පිලිපදින දහම කෙරෙහි තිබෙන අවිශ්වාසය
  • තමා පිලිගන්නා දහම කෙරෙහි ඇති වන විශ්වාසය
  • තමා අනුගමනය කරන දහම කෙරෙහි තිබෙන අනවබෝධය
  • ආගම් කෙරෙහි තිබෙන අවිශ්වාසය
  • මානසික දුර්වලතාවය

මෙවැනි කාරණයන් නිසා කෙනෙකු තවත් දහමකට හෝ තමන් මෙතෙක් පිලිපදින ලද දහම අතහැර යාමට පුළුවන. මෙහි ඉහත කරුණූ 05 බුදුදහම පදනම් කරගෙන විමසා බලන විට එහි 05 වන කාරණය හැර අනිකුත් සෑම කාරණයකදීම ප‍්‍රධාන වශයෙන් ඇඟිල්ල දිගු වන්නේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට සහා බෞද්ධ ආගමික විද්වතුන්හටයි. මන්ද ඉහත කතෘ පවා තම ලිපියෙන් පිලිගන්නා සත්‍යයක් ඇත. එනම් බෞද්ධයන් හට බුදුදහම පිලිබදව නිසි අවබෝධයක් නැත යන්නයි. අද ලොව කිසිදු රටක කිසිදු දහමක් ප‍්‍රචාරය නොකරන තරමට අප රටේ බුදුදහම ප‍්‍රචාරය සිදුවේ. එවන් තත්වයක මේ ආකාරයට එනම් ලිපියෙහි කතෘ පවසන ආකාරයට බුදුදහම අතහැරයාමක් සිදුවන්නේ නම් වරද කොතනද? එක්කෝ මේ බුද්ධ දේශනය බෞද්ධ ජනතාවට ප‍්‍රායොගික වී නැත. එසේත් නැත්නම් බුදුන්ගේ බුද්ධ දේශනයන් එනම් බෞද්ධ මුලධර්මයන් බෞද්ධ ජනයාට පවසා නැත. වරක් බුදුන් වහන්සේ මෙසේ දේශනා කල බව බුදුදහමේ සදහන් වේ.

“මිත්‍යාවන් ජනතාවගෙන් වසන් වු තරමට එය බැබලෙයි. නමුත් දහමක් විවෘත්ත වු තරමට එය බැබලෙයි.”

එසේනම් සැබෑ දහමකට විවෘත වනවා යන්න එය තව තවත් බබළවන්නට හේතු කාරණයක් වෙනවා මිස පරිහානියට හේතුවක් විය නොහැක. එසේනම් බුදුදහම එනම් බුදුන්ගේ ඉගෙන්වීමන් ඇයි ජනතාව ඉදිරියේ විවෘත නොවන්නේ. යහමග අඩවිය එක් කාරණයක් ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයට පැහැදිලි ලෙස පවසමි. එනම්,

බුද්ධ දේශනයන් ජනතාවගෙන් වසන් කොට ඇත. අන්‍ය ආගමිකයන් හට ඇඟිලි දිගු කිරිමට ප‍්‍රථම “තම ආගමිකයන් වෙනුවෙන් එහි විද්වතුන් හා භික්‍ෂූන් වහන්සේලා කර ඇත්තේ කුමක්ද?” යන්න ස්වයං අධ්‍යනයක් සිදුකල යුතුව ඇත. ඉහත කතෘ තම ලිපියෙහි බෞද්ධයන් බුදුදහම හැරයාමට පවසන හේතූන් පිලිබදව බෞද්ධ සමාජයේ බුද්ධිමත් අවධානය යොමු විය යුතු යන්න මාගේත් දැඩි කැමැත්තයි. මන්ද ඔහු පවසන කාරණය සත්‍යයක් නම් ශ්‍රී ලාංකීය බෞද්ධයන් කොතරම් දුර්වල ආගමික බැදීමක් සහිතව ජීවත්වනවා ද යන්න එයින් මනාව කියාපායි. එනම් මුදලටත්, රුවටීමන්ටත්, වැරදි දේශපාලන තීරණයන්ටත්, අනවාබෝධය නිසාත්… යන කාරණයන් මත බෞද්ධයන් බුදුදහම හැර යන්නේ නම් ඔවුන්ගේ දහම කෙරෙහි පවතින විශ්වාසය පිලිබදව තවදුරටත් මා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත.

ඉහත ලිපියෙහි කතෘ ජාත්‍යන්තරයට දෙවැනි නොවී ඉස්ලාම් දහමටත් චෝදනාවක් එල්ලකොට ඇත. එය තුලින්ද ඔහුගේ අන්තවාදීත්වයත්, ජාතිවාදයත් “කෙසේ හෝ රටේ සුළු ආගම් විවේචනය කලයුතුයි” යන පටු අරමුණත් මනාව පිලිඹිබු කොට ඇත. ඔහුගේ ලිපිය මුස්ලිම්වරුන්ට ඇඟිල්ල දිගුකරමින් අරඹා ක‍්‍රිස්තු දහමට චෝදනා කරමින් අවසන් කිරීම මගින් ද ඉහත සැකය තවත් තහවුරු වේ. ලාංකීය සමාජය තුල අතීතයේ මෙන්ම අදත් බෞද්ධයන්, ක‍්‍රිස්තියාණිවරුන්, හින්දුවරුන් හා මුස්ලිම්වරුන් සහයෝගයෙන් ජීවත්වන බව බහුතරයක් හොදින් දන්නා සත්‍යයකි. නමුත් මෑත කාලයේ බිහිවී ඇති බෞද්ධ ජාතිවාදී කල්ලීන් හා දේශපාලන පක්‍ෂයන් නිසා සමාජය තුල ජාතිවාදීත්වයන් නිර්මාණය වෙමින් පවතී. මේ නිසා විවිධ හිරිහැරයන්ටත්, තර්ජනවලටත් බෞද්ධයන් නොවන සමාජයට මුහුණපෑමට සිදුවී තිබෙනවා යන්න අද ප‍්‍රසිද්ධ වු රහසකි. එවන් තත්වයක මුස්ලිම් ගම්මානවල සිංහල බෞද්ධයන් කොටු වි පවුල් පිටින් ආගමට හැරවීමන් සිදුවන්නේ නම් එය ඉහත කතෘගේ මනසෙහි ඇති වු එක්තරා මන:කල්පිතයක් මිස එය ප‍්‍රායෝගිකව සිදුවිය හැක්කක් නොවේ. එසේ මා පැවසීමට තවත් හේතුවක්ද ඇත. එනම් ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව එවැනි ක‍්‍රියාවක් තුලින් කිසිවකු ඉස්ලාම් දහමට බදවාගන්නේ නම් එය ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව බරපතල වරදකි. ඉස්ලාම් එවැනි ආදර්ශයන් පෙන්වා නොදෙනවා පමණක් නොවේ. එවැනි ක‍්‍රියාවන් පිලිබදව දැඩිව අවවාද ද සිදුකරයි.

උදාහරණ වශයෙන් එවැනි ශූද්ධ වු අල්කුර්ආන් වාක්‍ය කිහිපයක් කෙරෙහි ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

  • ඉස්ලාමයේ බලකිරීමක් නැත. ඇත්තෙන්ම දුර්මාර්ගයෙන් සන්මාර්ගය පැහැදිලිය (2-256)
  • අල්ලාහ් (දෙවියන්) නොවන ඔවුන් වන්දනා කරන එම (දේවත්වයෙන් සලකන) වස්තූන්ට බැන නොවදින්න (6-108)
  • සමානයන් තබන්නන් (අන්‍ය අගමිකයින්) ආරක්‍ෂාව පතා නුඹ වෙත පැමිණියා නම් ඔවුනට නුඹ ආරක්‍ෂාව දෙන්න (9-6)

මෙවන් වු දහමක් තුල ආගමකට බලෙන් හෝ කුමන්ත‍්‍රණකාරීව හරවනවා යන්න ප‍්‍රායොගිකව සිදුවිය නොහැක්කකි. නමුත් ආගමට හැරවීමන් සමාජය තුල සිදුවන්නේ නම්. එහි හේතූකාරණයන් හොදින් අධ්‍යනය කිරීම තුලින් අවබෝධකර ගෙන එයට පිලියම් සොයනවා මිස මේ ආකාරයට පාළු ගෙදර වලං බිදීම නිෂ්පල කාරණයක් මෙන්ම සමඟියෙන් හා සහජීවනයෙන් ජීවත්වන ජාතීන් අතර වෛරයන්, මතභේදයන් හා ගැටුමන් ඇති කරවන්නකි. මෙහිදී තවත් කාරණයක් මතු කොට පෙන්වීමට ඇත. එනම් ඉහත කතෘගේ ලිපියට අනුව බෞද්ධයන් හට නිර්මල බුදුදහම ප‍්‍රකාශයට පත්ව නැතිබව පිලිගනී. එසේනම් එය සිදුකරන්නට අවශ්‍ය පිඹූරුපත් සකසනවා මිස ඒ වෙනුවට අන්‍ය ආගමිකයන් ලාංකීය පොළොවෙන් තුරන් කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කිරීම සැබෑ ආගම්වාදියෙකු අනුමත නොකරන්නකි. ඒ අනුව මෙවන් වු අන්තවාදී හා ජාතීවාදී ක‍්‍රියාවන් යහමග දැඩි ලෙස හෙලාදකින අතර මෙවන් ලිපි රටේ බලධාරීන්ගේ අවධානයට ද යොමු වියයුතු යන්න මාගේ විශ්වාසයයි. අවසාන වශයෙන් මෙම කාරණය පවසමින් මෙම ලිපිය අවසන් කරමි.

මෙය අපෙත් මව් රටයි. එය අපේ ලෞකික උරුමයයි,
එසේම
අපේ ලෝකෝත්තර විමුක්තිය ඇත්තේ අපට උපතින් උරුම වු දහමක නොව
මනසට ගොචර වු දහමකය,
එය තීරණය කිරීම දී අන්තවාදයට හෝ ජාතිවාදයට එහි ඉඩක් නැත,
ඇත්තේ බුද්ධිමත් තර්ක විතර්ක පදනම් වූ සංවාද පමණි
එසේනම්…
එන්න ධර්මය දකින්න

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම