තව්හීද් යනු කුමක්ද?

From යහමග

        Home       Articles       Categorys       Updates       Gallery       About Us      


මෑත කාලීනව ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් නිතර සංවාදයට බඳුන් වන මාතෘකාවක් බවට ‘තව්හීද්‘ යන්න පත්ව ඇත. මුස්ලීම් නොවන පාර්ශවයන් වත්මන් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය විවේචනය කිරීමේ දී නිතර මෙම නම භාවිතා කරයි. එපමණක් නොවේ මුස්ලීම් සමාජයේ ද අතිබහුතරයක් විවිධ සංවිධාන ගොඩනැඟීමේ දී මෙම (**TJ (Tawhid Jamath)යනාදී… ලෙස) නම් භාවිතා කරයි. මෙවන් පසුබිමක ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය වෙත දිගු වන විවේචන හා ගැරහීම් අවම කිරීමට නම්, ප්‍රථමයෙන් මේ වදන් හි අරුත හා එවැනි වදන් මුස්ලීම් සමාජය තුල භාවිතා වීමට මූලික වූ හේතු පිලිබදව සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදිය යුතුව ඇත.

අරාබි භාෂාවෙන් ‘වහ්ද්’ (Wahadha) යන වචනයට ‘එකක්’, ‘ඒකක’ යන අරුථ හිමිවේ. මෙය පදනම් කරගෙන ගොඩනැ‍‍‍ඟෙන ක්‍රියා පදය ‘වහ්හද්’ (wahhadha) යන්නයි. එහි අරුථ ‘ඒකීය කළා‍’ යන්නයි. එහි වර්ථමාන කාල ක්‍රියාපදය වන්නේ ‘යුවහ්හිදු’ (yuwahhidhu) යන්නයි. එහි ‍අරුථ ‘ඒකීය කරනවා’ යන්නයි (ඉංග්‍රීසියෙන් unite, unify). මෙම ‘වහ්හද්’ (wahhadha) යන අතීත කාල ක්‍රියා පදයෙන් බිහිවෙන නාම පදය ‘තව්හීද්’ යන්නයි. එය අරාබි ‘සර්ෆ්’ (පද ව්‍යාකරණ) ක්‍රමයට අනුව සර්ෆ් ක්‍රමයේ තුන් වන අවස්ථාවයි. (එනම්, වහ්හද – යුවහ්හිදු – තව්හීද්) මේ අනුව මෙම ‘තව්හීද්’ යන පදයේ අර්ථය ඒකීයභාවය – ඒකකත්වය යන්නයි. උදාහර්ණයකට ‘මේ රට ඒකීය රටක් කලයුතුයි’ යන ප්‍රකාශය ‘මේ රට තව්හීද් රටක් කලයුතුයි’ යයි පැවසීමෙහි කිසිදු වරදක් නැත. එයින් මේ ර‍ට ඉස්ලාමීය රටක් හෝ ත්‍රස්ථවාදී රටක් ලෙස පරිවර්ථනය කලයුතු යන්න අදහස් නොවේ. එසේනම් ‘තව්හීද්’ යන වචනාර්ථය සැලකූවිට එහි කිසිදු ආකාරයක භයංකාර අදහසක් ඉදිරිපත් නොවන එපමණක් නොව යහපත් අදහසක් ගෙනදෙන වචනයක් බව අවබෝධ කරගතයුතු වේ. කෙසේ වෙතත් ඔබට ගැටළුවක්ද තවම තිබෙනු ඇත. ඒ, මුස්ලීම්වරුන්ගෙන් කොටසක් මෙම ‘තව්හීද්’ නම් වදන නිතර භාවිතා කරන්නේ ඇයිද? යන්නයි.

‘තව්හීද්’ යන්න ඉස්ලාමීය පරිභාෂිතයට අනුව ඒකක දෙවි වන අල්ලාහ්ගේ ඒකීය භාවය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම යනුවෙන් අරුත් වේ. අල්ලාහ් සතු සියලු ගුණාංග ඔහු පමණක් සතු යැයි පිළිගෙන එම ගුණාංග වලින් ඔහුව ඒකක කිරීම අල්ලාහ්ගේ ඒකීය භාවය පිළිගැනීම හෙවත් තව්හීදය පිළිගැනීම ලෙස හදුන්වනු ලැබේ. මේ ආකාරයට අල්ලාහ් (දෙවි) පිලිගන්නා අයවලුන් පමණයි මුස්ලීම්වරුන් වන්නේ. ඉස්ලාම් දහම ඒකදේව සංකල්පය මත ගොඩනැඟුණු දහමක් යන්න අවස්ථා ගණනාවකදීම මෙම අඩවිය තුල විග්‍රාහ කොට ඇත. එය ‘…සමාජයේ බොහෝ ආගම් දෙවියන් ගණනාවක් පිලිබදව කථා කරනවා සේ ඉස්ලාම් දහම එකම දෙවියෙකු ගැන කථා කරනවා…’ යනුවෙන් සරලව අවබෝධ කර ගතයුතු සම්ප්‍රදායක විශ්වාසයක් නම් නොවේ. එය තරමක් දුරකට හෝ අවබෝධ කරගැනීම පිණිස ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

* ඔහු ඒකීය යයි කියව,
* ඔහු සදාකාලිකය,
* ඔහුගේ බලය අසීමිතය,
* ඔහු ජාතක නොකරන්නේය,
* ඔහුද ජාතක කරනු නොලැබීය
* ඔහුට සමාන වන කිසිවක් නැත.

ශුද්ධ වු කුර්ආනය 112:1 සිට 4

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් ඉස්ලාම් පවසන දෙවියන් වර්ථමාන සමාජය තුල පිලිගැනෙන, විශ්වාස කරන දෙවියන්ට වඩා වෙනස් ආකාරයේ විශ්වාසයක් යන්න ඔබට තරමක් දුරකට හෝ පැහැදිලි වියයුතුය. මෙයට අමතරව මෙම අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල ‘ඉස්ලාම් පවසන දේව විශ්වාසය‘ යන ලිපිය තුලින් මෙන්ම ‘දේව විශ්වාසය‘ යටතේ පෙලගසා ඇති ලිපි තුලින් ද මේ පිලිබදව වැඩි යමක් ඔබට අවබෝධ කර ගතහැකි වනු ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

 
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/22

* යහමග ඉදිරිපත් කිරීම - අබූ අර්ශද්



Home       Blog       Updates       Gallery       About Us


යහමග ආ ගමන් දුර...

 


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම