තාක්ෂණ දියුණු හමුවේ දරුවන් හා මාපියන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


21 වන සියවසයේ දියුණූව දෙස බලන කල මීට වඩා, එසේත් නැත්නම් මෙතැනින් එහාට තවත් දියුණුවක් තිබෙන්නට පුළුවන්ද?. යයි සිතෙන තරමට අද ලෝකය දියුණු වී ඇත. මීට දශක දෙකකට පෙර තිබූ ලෝකයත් වත්මන් ලෝකයත් සසදා බලන්නේ නම් එය පහසුවෙන් වටහාගත හැක. නිදසුනක් ලෙස දුරකථනය ලබා ඇති දියුණුව මොහොතක් සසදා බලන්න. අද අප එහි තාක්ෂණ දියුණුවේ ඉනිපෙත්තෙහි අප සිටින්නෙමු. නමුත් අවාසනාවන්ත ලෙස මේ තාක්ෂණ උපකරණය සමඟ තවත් අන්තයකින් විනාශ මුඛයට පානඟමින් ද සිටීම මෙහි අමතක නොකලයුතුය. එවැනි අවාසනාවන්ත සමාජ පැතිකඩක් අද මෙම ලිපිය තුලින් කථා කිරීමට අදහස් කරමි.

සියල්ල රුපියල් ශතවලින් නිර්ණය කරන සමාජයේ සමහරක් දෙමාපියන් තම දරුවන්ට ආදර දක්වන්නේත් රුපියල් ශතවලින්ය. ඒ හොද 3G ජංගම දුරකථනයක් තම දරුවාට ලබාදීම මඟින්, එසේත් නැත්නම් අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් ලබාදීම මඟින්…(මෙවන් දෑ දරුවන් හට ලබාදීම වරදක් යයි මා නොපවසමි). අනිවාර්යයෙන්ම වර්ථමාන සමාජය තාක්ෂණය සමඟ උරෙන් උර සිටිය යුතුයි. නමුත් ඒවායන් හි සීමාවන් දැනගතයුතුය. මේවා දැලිපිහි හා සමාන භාණ්ඩ බව දෙමාපියන් අමතක නොකලයුතුය. මේවා මඟින් යහපතක් මෙන්ම අයහපතක් ද සිදුකල හැක. මේවා භාවිතය පිලිබදව දෙමාපියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ පසුවිපරම අත්‍යඅවශ්‍ය යන්නයි මාගේ තර්කය. වර්ථමාන දියුණු ලොව තුල ජංගම දුරකථනය මූලික අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. තවත් පසෙකින් මෙය ලොව සියළුම ආකාරයේ අනාචාරයන්, අසභ්‍යයන් ඇගිලි තුඩු අඟට ගෙනත් දී ඇත. ඕනෑම ආකාරයේ අසභ්‍ය දර්ශනයක් GPRS / WiFi මඟින් ඉතා පහසුවෙන් ඕනෑම තැනක සිට රහසිගතව නැරඹීමේ වරප‍්‍රසාදය හිමි වී ඇත. මෙය 2010 වර්ෂයේ පමණක් අසභ්‍ය වෙබ් අඩවීන් 447 නීත්‍යානුකූලව ශ්‍රී ලාංකීය රජය තහනම් කිරීම තුල එම ක්ෂේත්‍රයේ අපේ සමාජ තත්වය මනාව පිළිඹිබු කරයි. මේ අනුව වර්ථමානයේ ජංගම දුරකථනය යන්න සියළු අනාචාරයන් සදහා වැඩිහිටි අශිර්වාදය ලත් දොරටුවක් බවට පත්ව ඇතැයි පැවසුවේ නම් එහි වරදක් නැත. (අප රටේ පසුගිය කාලයේ පාසැල් දැරියන් කිහිපදෙනෙකු (මාධ්‍යයන් තුලින් අනාවරණය වූ) මෙවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වී අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවූ අවාසනාවන්ත තත්වයන් දුටුවෙමු.) එසේ නම් මෙම ජංගම දුරකථනය තුලින් තාරුණ්‍යයට තිබූ බොහෝ බාධක පහසුවෙන් ජය ගැනීමටත් හැකි වී ඇත. මේ ජංගම දුරකථන තරුණ්‍යයේ ලැජ්ජාව හා විනය සහමුලින්ම උදුරාගෙන ඇත. විශේෂයෙන් අද ජංගම දුරකථනයේ SMS එනම් Short Message Service යන්න Sex Message Service බවට පත්ව ඇත. මෙය තරුණ සමාජයේ පරිහානිය මනාව පිලිඹිබු කරන තත්වයකි. මෙවැනි සමාජ තත්වයන් පිලිබදව ඉස්ලාම් මීට වසර 1400 කට පෙරම දුටූ නිසයි මුහම්මද් (සල්) තුමාණන් මඟින් මිනිස් සමාජයට මෙසේ අවවාදාත්මක දේශනා කලේ,

“කාමයේ වරදවා හැසිරීමේ (සිනාව) ආදම්ගේ දරුවාට හිමි බව දෙවියන් නිර්ණය කොට ඇත. එය ඔහුට නියතවම හිමිවන්නේය. මනුෂ්‍යාගේ ඇස් කරන සිනාව (කාමුක හැඟීමන් ඇතිකර වන) එවැනි දෑ බැලීමයි, දිවෙන් කරන සිනාව ඒ හා සම්බන්ධ (කාමුක හැඟීමන් ඇතිකර වන) දෑ පිලිබදව කථා කිරීමයි. සිතින් කරන සිනාව ඒ කෙරෙහි නැඹුරුවක් හා ආසාවක් දැක්වීමයි. අවසානයේ මේ සියල්ල තම රහස් අවයවය (ලිංගික අවයව) මඟින් සනාථ කිරීම හෝ අසත්‍ය කිරීම (වරදකට යොමු කිරීම හෝ ඉන් වැලකීම) සිදුකරයි.”

දන්වන්නේ :- අබුහුරෙයිරා (රලි) තුමා, මූලාශ්‍ර ග‍්‍රන්ථය – බුහාරි

සහෝදර. සහෝදරියනි!. ඉහත නබි වදනට මොහොතක් ඔබේ සිත යොමු කරන්න. අද අපව වරදට පොළොඹවන මූලික් සාධකයන් මොනවාද?. අපේ අසංවර බැල්ම, අපේ අසංවර කථාව, අපේ හැඟීමන්ට වහල් වූ සිත… මේවා තුලින් තරුණ්‍යයට ඇති බලපෑම දුටු ඉස්ලාම් මීට වසර 1400 කට පෙරම නබිතුමාණන් මඟින් සමාජයට මේ පිලිබදව ඉහත ආකාරයට අවවාද කොට ඇත. ඒ අවවාදය තුලින් අනතුරු ඇඟවූ එම සාධකයන් අද සමාජයේ ජංගම දුරකථන හරහා ඉතා සරලව සිදුවෙමින් පැවතීම කිසිවෙකුත් ප්‍රතික්ෂේප කලනොහැකි තත්වයකි. එහි ඉතිරිව ඇත්තේ තමන් දකින, කථා කරන හා සිතන දෑ ලිංගික අවයව මඟින් සත්‍ය / සනාථ කිරීම පමණි. එම තත්වය ද මා ඉහතින් සදහන් කලාසේ මාධ්‍යයන් තුලින් විවිධ සිද්ධීන් හරහා දකින්නෙමු.

ජංගම දුරකථන මේ ආකාරයට සමාජයේ තරුණ පරම්පරාව බිලිගනිද්දී පරිගණකය ද ඊට දෙවැනි නොවේ. එහි ද Email, ‍facbook, chat… යනාදී තුලින් මේ තරුණ්‍යය තවත් පසෙකින් බිලිගනිමින් සිටී. මා මෙහි දී පවසන්නට උත්සාහ දරන්නේ මෙවැනි දෑ තුලින් තරුණ සමාජය දුරස් කලයුතුයි යන්න නොවේ. ‍වර්ථමාන ‍මෙම තාක්ෂණ දියුණූව අපට මහත් ආශිර්වාදයක් නමුත් එය ආශිර්වාදයක් කරගන්නවාද? එසේත් නැත්නම් තම විනාශය ඒ තුලින් ළඟාකර ගන්නවාද? යන්න තීරණය ඇත්තේ මෙය භාවිතා කරන ආකාරය මත හා ඔවුනට මඟපෙන්වන වැඩිහිටි සමාජය මතය. මේ දියුණු ලොව තුල ඔවුන් නූතන තාක්‍ෂණය හා කරට කර යෑම අනිවාර්ය අවශ්‍යතාවයකි. නමුත් මෙම තාක්‍ෂණය තරුණයා හට “කටුස්සා කරේ බැදි මාලයක්” බදු නොවිය යුතුය. තාක්‍ෂණය සමඟ ඔවුන් හුදකලා නොකර ඔවුන්ව අධීක්‍ෂණයන් හා පසුවිපරම් කිරිම අත්‍යඅවශ්‍යය. එය නිසි පරිධි සිදු නොවීමේ ප‍්‍රථිපලයයි අද සමාජය මේ අත්විදිමින් සිටින්නේ. එවැනි යහපත් මගපෙන්වීමන් නොමැති හොද විනයක් හා ආදර්ශයක් නොමැති සමාජයේ අවසාන ප‍්‍රථිපලයයි මේ අප අත්විදිමින් සිටින්නේ. එනම්, තම දෙමාපිය, සහෝදර සහෝදරියන්. ගුරුවරු හා වැඩිහිටියන් නොහදුනන ආදරය, කරුණාව හා මනුෂ්‍යත්වය නොහදුනන තිරිසන් “හිප්පි” සමාජයක් බවට මේ තරුණ සමාජය වර්ථමානයේ පරිවර්ථනය වෙමින් ඇත. එහි ප්‍රථිපල විටින් විට සමාජය අත්විදිමින් සිටින බව මාධ්‍යයන් තුලින් දකින්නෙමු. එම මාධ්‍ය අනාවර්ණයන් ද සමස්ථ සිදුවීමෙන් අංශු මාත්‍රයක අනාවර්ණයක් බවද අප හොදින් දන්නෙමු.

මෙම තත්වයන් හොදින් වටහාගෙන ඒ සදහා කඩිනම් පියවරක් ගෙන යහපත්, විනයගරුක මාර්ගයක් ඔස්සේ මේ තරුණ සමාජය සමාජගත කලයුතුව ඇත. ඒ සදහා වැඩිහිටියන් මෙන්ම සමාජයේ වගකිවයුත්තන් ඉතා පරිස්සමට ප්‍රායෝගික සැලැස්මක් කඩිනමින් දියයත් කලයුතුව ඇත. ඒ සදහා සියළු පාර්ශවයන්ට නුවණැස පෑදේවා!. යන පැතුමින් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/8

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම