දඹුල්ලෙන් රටට ම වැරදි පූර්වාදර්ශයක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අතීතයේ පටන් ශ්‍රී ලංකීය සිංහල හා මුස්ලීම් ප්‍රජාව අතර ඇත්ත සමඟියෙන් පිරි බැදීමකි. මේ සදහා ඉතිහාසය තුලින් අපමණ වූ සාක්ෂි ගෙනහැර දැක්වීමට පුළුවන. මේ පිලිබදව ‘ශ්‍රී ලංකාවේ මුස්ලීම්වරුන්’ යනුවෙන් ගවේෂණ කෘතියක් ලියූ මහාචාර්‍ය ලෝනා දේවරාජ් මහතා ඉතා සවිස්තර ලෙස කරුණූ දක්වා ඇත. එම පොතේ සදහන් ආකාරයට රජවරුන්ගේ පාලන සමයේ පවා මුස්ලීම්වරුන්ට හිමිව පැවතියේ ඉතා විශිෂ්ඨ තැනකි. එම බැදීම කොතරම්ද යන්න පවසනවා නම් විහාර භූමි මුස්ලීම්වරුන් සදහා පරිත්‍යාග කල ඉතිහාසයන් පවා එහි විස්තර වේ. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස එම පොතින් කොටසක් උපුටා දක්වන්නේ නම්,

‘…රිදි විහාරයේ භක්‍ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සඳහා විහාර ගමේ කොටසක් පවරා දී මුස්ලිම් පූජකවරයෙකුගේ නඩත්තුව සඳහා ද ඉඩම් කොටසක් වෙන් කර තිබීම. නූතන යුගයේ සම්මත පිළිවෙත අනුව පවා ඉතා උදාර කාර්යයන් වශයෙන් සැලකිය හැකිය. මුස්ලිම් පදිංචිකරුවන් කිසිඳු පැකිළිමකින් තොරව බෞද්ධ විහාරයට සේවය කළ ඇති අතර, ඔවුන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතා පිරිමසාලීම සඳහා මුස්ලිම් පූජකවරයකුට විහාරය විසින් විවෘතවම සහයෝගය දක්වන ලදී. ආගම් පිළිබඳ ඉතිහාසයේ අද්විතීය ගණයේ එකක්වූ විශිෂ්ට ආගමික සහනශීලතාවක් ප‍්‍රකට කළ මේ සිද්ධිය 1870 දී බි‍්‍රතාන්‍ය රාජකාරි බදු කොමසාරිස්වරුන්ගේ විස්මයට හේතු විය. ඒ මුස්ලිම් පල්ලිය, විහාරයේ සිට සැතපුම් භාගයක් දුරින්, මුලින් රිදී විහාරයට අයිතිව තිබුණු ඉඩමක අද ද පිහිටා තිබෙනු දැකිය හැකි යැයි ඒ විහාරයේ අධිපති තිබ්බොටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන් වහන්සේ ග‍්‍රන්ථ කර්තෘව දන්වා සිටියහ. එය එකල ආගමික සහනශීලිතාව පිළිබඳ අනුස්මරණීය සිද්ධියකි…‘

මෙලෙස අතීතයේ පටන් සාමුහිකව ජීවත් වූ සමාජය කාලයත් සමඟ උඩුයටිකුරු වී අද වන විට එකින් එකා අතර විරසකයන් නිර්මාණය කර ගනිමින් කටයුතු කරන අවාසනාවන්ත තැනකට යොමු වී ඇත. එවැනි තත්වයන් පිලිඹිබු කරන නිදසුන් වර්ථමාන සමාජය තුල ඕනෑතරම් පෙලගැසීමට පුළුවන. ඒ අතර තුර අතීතය තුලින් ලද ආදර්ශ පදනම් කරගෙන යලිත් වරක් එවැනි සාමූහිකත්වය අගයන සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය පූංචි පුංචි උත්සාහයන් ද ඒ අතර තුර නැතුවා නොවේ. එයට සමීපතම නිදසුනක් ලෙස පසුගිය දිනක අතිගරු ජනාධිපති තුමා නුවරඑළියේ දී මුස්ලීම් දේවස්ථානයක් විවෘත කරමින් සිදුකල ප්‍රකාශය සදහන් කලහැක. එනම්,

එදා අතිගරු ජනාධිපති තුමා දේවස්ථානයක් විවෘත කරමින් එලෙස කථා කරන විට ජාතිවාදී හා ආගමික අන්තවාදී කල්ලියක් මුස්ලීම් හා සිංහල ජනතාව අතර විරසකයක් නිර්මාණය කරමින් දඹුල්ල ප්‍රදේශයේ පිහිටී මුස්ලීම් දේවස්ථානයක් කඩා ඉවත් කිරීමට පිඹූරුපත් සකසන ලදී. මෙය අද වන විට මුස්ලීම් සමාජය තුල සිත කම්පා කරවන උණූසුම් මාතෘකාවක් වී ඇත. මේ හේතුව නිසා ‘යහමඟ’ අඩවිය තුලින් ඉහත දේවස්ථානය සම්බන්ධයෙන් මතු වී ඇති මතභේදයට තුඩුදෙන කාරණයන් හා එය සමතයකට පත්කිරීමට රජය විසින් යෝජනා කර ඇති විසදුම පදනම් කරගෙන කරුණූ කිහිපයක් පාඨක අවධානයට ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

රටක ජාතීන් අතර සමඟියක්, සහජීවනයක් ඇතිවීමට නම් ඔවුන් අතර අන්තර් අවබෝධයක් හා ගරුත්වයක් ගොඩනැඟීම අත්‍යඅවශ්‍යය. මේ සියල්ල නොමැති තැන අඩුම වශයෙන් රටක නීතියට අවනත වීමක් හෝ පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. මේ කිසිවක් නොමැති තැන පැහැදිලි ලෙසම ඉතිරි වන්නේ වියරුව, පලිගැනීම, වෛරය… යනාදී පහත් පෙළේ ගුණාංග පමණි. මෑතක සිට එම අවාසනාවන්ත ඉරණමට අපේ රට ගොඳුරු වෙමින් ඇති බව ‘යහමඟ’ අඩවිය බොහෝ අවස්ථාවන් හි කරුණු සහිතව පෙන්වා දී ඇත. සමීපතම නිදසුන් දෙකක් පවසනවා නම්, අනුරාධපුර දී මුස්ලීම්වරුන්ට අයත් සොහොන් කොතක් (මෙවැනි ඇදහිලි ඉස්ලාම් අනුමත කරන්නේ නැත) සිංහල ජාතිය නියෝජනය කරන බව පවසා ගන්නා ආගමික වියරුවෙන් පෙලෙන අන්තවාදී පිරිසකගේ ගොදුරට හසුවීම සදහන් කලහැක. මේ පිලිබදව මෙම අඩවිය තුලින් පවා අනුරාධපුර කඩා ඉවත්කලේ පල්ලියක්ද? යන ලිපිය මඟින් කරුණු සාකච්චා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එපමණක් නොවේ පසුගිය දිනවල විදේශ රටකින් අප රටට පැමිණි මුස්ලීම් සංවිධානයක් නියෝජනය කරන ඉස්ලාම් ආගමික පූජක පිරිසක් ත්‍රස්ථවාදීන් ලෙස ලේබල් කොට රටින් පිටුවහල් කිරීමද එවැනි තවත් සිදුවීමකි. ඒ පිලිබදව ද ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදින් යන ලිපිය තුලින් මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කල ඔබේ මතකයේ ඇතැයි සිතමි. මෙවැනි සිදුවීම් ගණනාවක් මෑත කාලීන ලාංකීය සමාජය තුලින් ගෙනහැර දැක්වීමට හැක. ඒ අතුරින් වර්ථමානයේ දඹුල්ල සිදුවීමද තවත් එක් සිදුවීමක් පමණි. නමුත් මෙය තවත් එක් සිදුවීමක් යයි නොසලකා හැරීමට නොහැකි හේතුවක් ඇත. ඒ පිලිබදව කරුණූ කිහිපයක් පාඨක ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

මෑතක සිට ශ්‍රී ලාංකීය ජාතීන් අතර විරසකයන් ගොඩනැගීමට අවශ්‍ය සියළු ආකාරයේ උත්සාහයන් උපරිමයෙන් ක්‍රියාත්මක වෙමින් ඇත. විශේෂයෙන් රටේ බහුතරය වන සිංහල ජාතිය නියෝජනය කරන බව පවසා ගන්නා අන්තවාදී එසේම බෞද්ධ ආගමික වියරුවෙන් පෙලෙන සංවිධාන, සංගම් හා දේශපාලන පක්ෂ අද රටේ සාමයට විශාල තර්ජනයක් වී ඇත. දිනෙන් දින රටේ සුළුතරය වන මුස්ලීම් ජනතාවට හා දෙමල ජනතාවට හා ඔවුන්ගේ ආගමික නිදහසට කරන බලපෑම අති ප්‍රබලය. විශේෂයෙන් ඉස්ලාම් දහමට එරෙහිව අන්තර්ජලය තුල පවත්වාගෙන යන ආගමික වියරුවෙන් පෙලෙන blog අඩවීන් මෙයට හොදම හා පැහැදිලි සාක්ෂියකි. බෝක්කු පාළුවන් මෙන් වාචලකම හා පහත් අන්දමේ වචන භාවිතය පමණක්ම පදනම් කරගෙන රටේ සුළු ආගම් විශේෂයෙන් ඉස්ලාම් දහම විවේචනය කිරීම තුලින් ඔවුන් බොහෝ විට බලාපොරොත්තු වන්නේ තම දහමට කිසියම් මහිමයක් ආරූඩ කොට එය ලෝකයාට කියාපෑමයි. නමුත් කිසිදු ආකාරයක ආගමික විනයක් නොමැති ඔවුන්ගේ ක්‍රියාදාමයන් ලෝකයාට කියාපාන්නේ ඔවුන්ගේ ආගමික බංකලොත්තුභාවය මිස රටේ සුළු ආගම්වල දුර්වලතාවයන් නොවන බව ඔවුන් හට තවම අවබෝධ කරගැනීමට නොහැකි වී තිබීම කණගාටුවට කරුණකි. මෙතැනදී කිවයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම්,

‘හතුපිපෙනවා සේ blog නිර්මාණය කරමින් ඒ තුලින් සුළු ආගම්වලට එරෙහිව මඩ ව්‍යාපාර දියත් කරන පිරිස් සිතනවා නම් එවැනි විවේචන සිදුකිරීමට අප අපොහොසත් බව එය ඔවුන්ගේ අනවබෝධයකි. අපට ද අප දරණ මතවාදය සමඟ අනිකුත් ආගමික මතවාද පිලිබදව ප්‍රබල විවේචන නැතුවා හෝ ඒවා ඉදිරිපත් කිරීමට නොහැකිවා නොවේ. නමුත් එවැනි පහත් ක්‍රියාවන් සදහා ඉස්ලාම් ආගමික විනය තුල කිසිදු ඉඩක් නොමැති අතර එවැනි විවේචන ද සදාචාරසම්පන්න නොවනවා යන්න අපගේ විශ්වාසයයි. මේ නිසාම අදටත් එවැනි බ්ලොග් අඩවියක් අන්තර්ජාලය තුලි මුස්ලීම්වරුන් අතින් නිර්මාණය නොවීම ඔවනුගේ ආගමික විනයට හොද නිදසුනකි.‘

එසේම රටේ ‘සුභ අනාගතය’ පිලිබදව වෙන කවරදාකටත් වඩා වැඩියෙන් කථා කරන වර්ථමානයේ මෙවැනි පිලිලයන් සමාජයෙන් තුරන් නොකොට එම ඉලක්ක දිනාගත නොහැකි බවද තරයේ මතකයේ තබා ගතයුතුය. විශේෂයෙන් මෙම කරුණූ පිලිබදව රජය හා නීතිය ක්‍රියාත්මකත්මක කරණ පාර්ශවයන් මධ්‍යස්ථ වූ විමසුමක් සිදු කොට මේ සිදුවෙමින් පවතින අන්තවාදී ක්‍රියාවලට තිත තැබිමට වහවහාම කටයුතු කලයුතුව ඇත. මා මෙම කාරණය මෙහිදී දැඩිව අවධාරණය කිරීමට ප්‍රබල හේතුවක් ඇත. ඒ මෑතක් වනතුරු ඉහත සදහන් වියරු වැටුණු පිරිස වාග් ප්‍රහාරයන්ට පමණක් සීමා වූවද දැන් දැන් එම තත්වයෙන් ඔබ්බට ගොස් වියරුවෙන් ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇත. එහි සමීපතම සිදුවීමක් ලෙස ඉහතින් සදහන් අනුරාධපුර දී සිදුවීම සදහන් කලහැකි අතර දැන් දඹුල්ල ප්‍රදේශයේ සිදුවෙමින් තිබෙන සිදුවීම ද එයට තවත් හොද නිදසුනකි.

මෙම තත්වය ශ්‍රී ලාංකීය සමාජය තුල කොතරම් ඔඩුදුවා ඇත්ද යන්න පවසනවා නම්, අතීතයේ ආගමික විනයක් ගොඩනැඟීමට ක්‍රියාකල බෞද්ධ ස්වාමිණ්වහන්සේලා පවා අද දේශපාලනීකරණය හා කල්ලිවාදීකරණය තුල වල්මත් වී පොදු ජනතාවට වඩා වියරුවෙන් ක්‍රියා කරන තැනට යොමුව ඇති ආකාරය අප සමාජය තුල වෙන කවරදාකටත් වඩා වැඩි වශයෙන් දකින්නෙමු. එවැනි එක් සිදුවීමක් ලෙස දඹූල්ල සිදුවීම ද සදහන් කලහැක. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස දඹූල්ල සිදුවීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ඉනාමලුවේ ශ්‍රි සුමංගල ස්වාමීන්වහන්සේ ‘අද‘ පත්තරයට මේ සම්බන්ධයෙන් දෙන ලද ප්‍රකාශය ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

(උපුටා ගැනීම මෙතැන් සිට...)


දැන් මේ ඇතිවෙලා තියෙන ගැටලුව මොකද්ද?
“දැන් රජයකියනවා දඹුල්ල පුජා භුමි සැලසුම් ක්‍රමය කන්දලම හන්දියෙන් නවත්වන්න කියල.මේකපුජා භුමි කප්පාදුවක්”.
මෙහෙම කියන්න පසුබිම්වුනේ මොකද්ද කියල ඔබවහන්සේ දැනුවත්ද?
ඔව් මේකට පසුබිම්වූ කරුණ තමයි ඔතන තියෙනවා මුස්ලිම් පල්ලියක්.ඒ කියන්නේ මිටඅවුරුදු 30 කට විතර කලින් උදුවාස් ලෙබ්බේ කියල මඩකලපුවේ ඉඳල ආපු මුස්ලිම්ජාතිකයෙක් වෙළඳසලක් පවත්වාගෙන ගියා.දැන් ඔහු නැහැ.
ඔහු පෞද්ගලිකව දෙවියන් ඇදහීම සඳහා ඔහු හදාගත් දේවස්ථානයක්.එක පොඩිමඩුවක්.උදාහරණයක් ලෙස බෞද්ධයන්ගේ ගෙවල් වල තියෙන බුදු මදුර වගේ.එහෙම කලේමොකද, ඒ වෙද්දී මෙහෙම් මුස්ලිම් ජාතිකයෝ කව්රුත් හිටියේ නැහැ.පල්ලිතිබුනෙත් නැහැ.ඒ නිසා හදාගත්ත එකක් තිබුනා.දැන් මොකද කරලා තියෙන්නේ මේකදේවස්ථානයක් බවට පත්කරන්න කටයුතු කරලා.
මේ දෙයට මැදිහත්වෙලා ඉන්නේ කව්ද කියල ඔබවහන්සේ දැනුවත්ද?
ඔව්.මේකට මැදිහත්වෙලා ඉන්නේ දේශපාලඥයෙක්.පහුගිය දවස්වල මේ ආණ්ඩුවේ මුස්ලිම්ජාතික කැබිනට් අමාත්‍යවරයෙකු ජනක තෙන්නේකොන් අමාත්‍යවරයාත් එක්ක එතනටගිහින් කියල තියෙනවා මේක හදාගන්න අවසර දෙන්න කියල.
පැහැදිලිවම මට මේ විස්තර කිව්වෙත් මුස්ලිම් ජාතිකයෝ පිරිසක්.මොකද ඒගොල්ලෝ ඕකහදන්න හදපු හැමවෙලේම ප්‍රාදේශීය ලේකම් එයට විරුද්ධ උනා.මේක අනවසරඉදිකිරීමක් කියල එක නැවැත්තුව.මොකද දඹුල්ල පුජා භුමිය ඇතුලේ තියෙන භූමියකකරන්න හදන නිසා.ඒ හැමවෙලාවෙම නවත්තපු මේ පල්ලිය දැන් හදන්නේ කොහමද කියල මමඅහපු පැනයට තමයි කිව්වේ ජනක තෙන්නේකොන් අමාත්‍යවරයා මෙයට අවසර ලබාදුන් බව.
ඒ අතර දැන් තමයි දැනුම්දීම කරලා තියෙන්නේ කන්දලම හන්දියෙන් දඹුල්ල පුජාභුමිය කන්දලම හන්දියෙන් නවත්වන්න කියල.ඒ එක්කම ඊට එහායින් තව කොවිලකුත්හදනවා.ඒ ඇමතිවරයාගේම උපදෙස් මත දඹුල්ල පන්සලේ ගල පිටිපස්සේ තමයි ඒක හදන්නේ.
අපේ රටේ නායකතුමා බෞද්ධ නායකයෙක්.එතුමාට මේ පිළිබඳව දන්වුවේ නැද්ද ඔබ වහන්සේ.?
“ජනාධිපතුතුමා බෞද්ධ නායකයෙක් කියල වැඩි දෙනෙකුගෙ පිළිගැනීමක් තියනවා.ඉතින් බෞද්ධ නායකයෙක් නම් බෞද්ධ නායකයෙකුට උචිත පරිදි කටයුතු කරන්න ඕනෑ.අපි ජනාධිපති තුමාත් ඒ ගැන දන්වලා තියෙනවා.මේ ගම් වැසියෝ 1000 කට වැඩි ප්‍රමාණයක් ඊට මාස 06 කට විතර කලින් අත්සන්කරලා පෙත්සමක් ඉදිරිපත් කලා එතුමාට ඒ පූජා භූමි ව්‍යාපෘතිය ඉක්මනින් ඉවරකරන්න කියලා. ඒත් අඩුතරමින් පිළිතුරක්වත් නෑ. ඒකෙන් පැහැදිලි වෙනවාබෞද්ධයන්ගේ ඉල්ලීම් වලට එතුමා ඇහුම්කන් දීල නෑ කියලා.අපේ රටේ මහානායක හාමුදුරුවරු, අස්ගිරි, මල්වතු ඇතුළු අහානායක වරු රජයෙන්ඉල්ලපු ඉල්ලීම් රාශියක් තියෙනවා. ඒවා එකක්වත් කෙරුනෙ නෑ කියන එක තමයි මානම් දන්නෙ. ඒ වගේම මල්වතු නාහිමියන් කියල තිබුනා උන්වහන්සේ කියන කිසි දෙයක්ආණ්ඩුව කරන්නෙ නෑ කියලා.
නමුත් පසුගිය දවස් වල ළමා නිවාසයක් සම්බන්ධ කළ අපචාරයක් පිළිබඳ මාධ්‍යයවලින් ප්‍රචාරය වුන හැටියේ අගරදගුරු ප්‍රකාශයක් කරල තිබුනා. ඒක නිවැරදි කලේනැත්නම් රාජ්‍යය නත්තල් උත්සව වර්ජනය කරනව කියලා. මොකක්ද ප්‍රතිඵලය? ඒනඩුව නීතිපතිතුමා ඉවත් කර ගත්තා. ඇත්තටම එදා ඉදලා කලේ මේ බොරුව. මා අහන්නෙඇයි මෙහෙම කරන්නෙ? කවදද ඒව නවත්තන්නෙ? හැමදාම මෙහෙම බොරු කිය කියා බෞද්ධජනතාව රවට්ටන්න පුළුවන් ද?”
මේ සම්බන්ධයෙන් සමස්ත බෞද්ධයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
“මෙලෙස විවිධ ක්‍රියා මඟින් අන්යාගමිකයින් බෞද්ධ පූජාභූමි විනාශ කරනවා. ඒවාආක්‍රමණය කරනවා. මේවාට එරෙහිව නැගී සිටින්න ඕනෙ. මේවා අපේ පුද්ගලික දේපලනෙවෙයි. විහාරය සතු ඉඩම් උනත් මේවා සඟසතු දේපල.මේවා ආරක්ෂා කිරීම බෞද්ධයන්ගේ පරම යුතුකම. ඒ නිසා පක්ෂ දේශපාලනය පසෙකලාබෞද්ධයින් තම උරුමය ආරක්ෂා කර ගැනීමට නැගී සිටින්න කියලා. මේක ආගම්යුද්ධයක් නෙවෙයි. අපි යුද්ධ කරන්නෙ නෑ. හැබැයි අනිකුත් ආගමිකයන් සීතල යුද්ධප්රමකාශ කරල තියෙනවා. ඒ නිසා ගොළුවන් බිහිරන් වගේ නොසිට අවදියෙන් කටයුතුකරන්න ඕන. අද උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කරල තියෙනවා.මේවා ගැන කිහිපදෙනෙක් කතා කරල තියෙනවා. ඒ කතා කරන ස්වාමීන්වහන්සේලාට මරණතර්ජන එල්ල වෙලා තියෙනවා. උන්වහන්සේලා කතා කරන්නෙ තාන්ගෙ පුද්ගලික දේපලක්ආරක්ෂා කරගන්න නෙවෙයි. බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්නයි. ඒ නිසා බෞද්ධ ජනයාසියල්ල බේධ නොසලකා එකතු වෙන්න ඕන රට පුරා වෙන මේ බෞද්ධ උරුමය විනාශ කරනදේවල් වලට.”

(උපුටා ගැනීම අවසන්)

ඉහත සංවාදය හොදින් අධ්‍යනය කලේනම්, ඒ තුල ඔබට කරුණු කිහිපයක් පැහැදිලිව පෙනෙනු ඇත. මෙහිදී මාහට ඇති වන ගැටළු කිහිපයක් ඔබේ අවධානයට ද ඉදිරිපත් කිරීමට අදහස් කරමි. එනම්,

  •  උන්වහස්නේ මුලින්ම කියන්නේ ‘දැන් රජය කියනවා දඹුල්ල පුජා භුමි සැලසුම් ක්‍රමය කන්දලම හන්දියෙන් නවත්වන්න කියල…‘ මෙහෙම තීරණයක් ගන්නේ රජය මගින් බව උන්වාහන්සේ පැහැදිලිවම පවසයි. එසේනම් මෙය නීති විරෝධි ලෙස මුස්ලීම් ජනතාව ගත්තු තීරණයක් නොවේ. එසේම මෙය ඉඩමේ සීමාව පිලිබදව නීතිමය ගැටළුවක් මිස මෙය ආගම්වාදී හෝ ජාතිවාදී ගැටළුවක් නොවේ. එසේනම් එම කාරණය වසන්කොට මෙම ගැටළුවට රට තුල ජාතිවාදී හා ආගම්වාදී මුහුණුවරයන් ලබාදීමට කටයුතු කරන්නේ කුමක් නිසාද?
  •  උන්වහස්නේ ඊළගට කියන්නේ ‘…ඔතන තියෙනවා මුස්ලිම් පල්ලියක්. ඒ කියන්නේ මිටඅවුරුදු 30 කට විතර කලින් උදුවාස් ලෙබ්බේ කියල මඩකලපුවේ ඉඳල ආපු…ඒ වෙද්දී මෙහෙම් මුස්ලිම් ජාතිකයෝ කව්රුත් හිටියේ නැහැ.පල්ලිතිබුනෙත් නැහැ. ඒ නිසා හදාගත්ත එකක් තිබුනා. දැන් මොකද කරලා තියෙන්නේ මේක දේවස්ථානයක් බවට පත්කරන්න කටයුතු කරලා.‘ මෙහිදී පැහැදිලිව පෙනෙන කාරණයක් තමා මේ අද ඊයේ ඉදිවුණූ දේවස්ථානයක් නොව දශක 03ක් තිස්සේ පැවතී දේවස්ථානයක් යන්නයි. එය එම ප්‍රදේශයේ ජනතාවද තහවුරු කරයි. අනික් කාරණය නම්, ඕනෑම තැනක දේවස්ථානයක් ඇයි ඔතන දඹුලු පන්සල පවා ඉදිවන්නේ එම ස්ථානයට බැතිමතුන් ඒකරාශි වන විටයි. ඒ අනුව ඉහත ස්ථානයේ මුස්ලීම් දේවස්ථානය ඉදි වූ ඉතිහාසය අන්තවාදී මානසිකත්වයෙන් පෙලෙන පිරිසට ගැටළුවක් වුනාට බුද්ධිමත් ප්‍රජාවට එය සරල කාරණයක් පමණි.
  •  උන්වහස්නේ ඊළගට කියන්නේ ‘…ඒ අතර දැන් තමයි දැනුම්දීම කරලා තියෙන්නේ දඹුල්ල පුජාභුමිය කන්දලම හන්දියෙන් නවත්වන්න කියල.ඒ එක්කම ඊට එහායින් තව කොවිලකුත් හදනවා…‘ මෙතැන ගැටළුවක් තිබේ නම් ඒ ගැටළුවේ පාර්ශවකරුවන් මුස්ලීම් ජනතාව හෝ දෙමල ජනතාව නොවේ. උන්වහන්සේගේ ප්‍රකාශය අනුව එම පාර්ශවකරුවන් වන්නේ පන්සල හා රජයයි. රජය මඟින් පන්සලේ මායිම් සලකුණු කරනවා නම්, එම මායිමට පිටින් ඇති ස්ථානයක මුස්ලීම් දේවස්ථානයක් පවතිනවා නම්, එය ‘මුස්ලීම්වරුන් විසින් අත්පත් කර ගන්නවා‘ යයි චෝදනා කිරීම කොතරම් අසාධාර්ණ වූ චෝදනාවක්ද? මෙවැනි චෝදනාවන් තුල ගැබ්ව තිබෙන්නේ කිසියම් ජාතියක් ආගමක් කෙරෙහි වූ වෛරය නොවේද?
  •  උන්වහස්නේ ඊළගට කියන්නේ ‘…ජනාධිපතුතුමා බෞද්ධ නායකයෙක් කියල වැඩි දෙනෙකුගෙ පිළිගැනීමක් තියනවා.ඉතින් බෞද්ධ නායකයෙක් නම් බෞද්ධ නායකයෙකුට උචිත පරිදි කටයුතු කරන්න ඕනෑ…‘ මෙවැනි ප්‍රකාශයක් තුලින් උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ ජනාධිපති තුමා ජාතියකට පක්ෂපාතී තීන්දුවක් ගතයුතුයි යන්නද? නොඑසේ නම් උන්වහස්සේට ජනාධිපති තුමා සමඟ තිබෙන දේශපාලන කොන්ත්‍රයක් පිරිමසා ගැනීමක්ද?. එසේ සිතෙන්නට තවත් හේතුවක් ද ඇත. ඒ උන්වහන්සේ තවත් අවස්ථාවක මෙසේ පවසනවා. එනම් ‘අපේ රටේ මහානායක හාමුදුරුවරු, අස්ගිරි, මල්වතු ඇතුළු අහානායක වරු රජයෙන්ඉල්ලපු ඉල්ලීම් රාශියක් තියෙනවා. ඒවා එකක්වත් කෙරුනෙ නෑ කියන එක තමයි මානම් දන්නෙ. ඒ වගේම මල්වතු නාහිමියන් කියල තිබුනා උන්වහන්සේ කියන කිසි දෙයක් ආණ්ඩුව කරන්නෙ නෑ කියලා.‘ මෙය කෙලින්ම දේශපාලන ප්‍රකාශයක් යන්න මාගේ හැඟීමයි. මේ අනුව පැහැදිලි වන්නේ ඉහත ජාතිවාදී හා ආගම්වාදී වියරුව දේශපාලනීකරණය ද වී ඇති බවයි.
  •  උන්වහස්නේ ඊළගට කියන්නේ ‘…පසුගිය දවස් වල ළමා නිවාසයක් සම්බන්ධ කළ අපචාරයක් පිළිබඳ මාධ්‍යයවලින් ප්‍රචාරය වුන හැටියේ අගරදගුරු ප්‍රකාශයක් කරල තිබුනා. ඒක නිවැරදි කලේනැත්නම් රාජ්‍යය නත්තල් උත්සව වර්ජනය කරනව කියලා. මොකක්ද ප්‍රතිඵලය? ඒ නඩුව නීතිපතිතුමා ඉවත් කර ගත්තා. ඇත්තටම එදා ඉදලා කලේ මේ බොරුව. මා අහන්නෙ ඇයි මෙහෙම කරන්නෙ? කවද ද ඒව නවත්තන්නෙ? හැමදාම මෙහෙම බොරු කිය කියා බෞද්ධ ජනතාව රවට්ටන්න පුළුවන් ද?‘ මෙවැනි ප්‍රකාශ තුලින් එක් පසෙකින් දේශපාලන ක්‍රියාදාමයක් උන්වහන්සේ සිදුකරන ගමන් තවත් පසෙකින් රටේ සුළු ආගම්වලට පහර ගසමින් රටේ මහා ජාතිය මේ අන්දන්න හදනවා නොවේද?
  •  උන්වහස්නේ ඊළගට කියන්නේ ‘…මෙලෙස විවිධ ක්‍රියා මඟින් අන්යාගමිකයින් බෞද්ධ පූජාභූමි විනාශ කරනවා. ඒවා ආක්‍රමණය කරනවා. මේවාට එරෙහිව නැගී සිටින්න ඕනෙ…‘ ඉහතින් උන්වාහන්සේ කල ප්‍රකාශයන් බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් මෙහිදී නඟන චෝදනා කොතරම් පදනම් විරහිත එකක්ද යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්විට එයට අනුකූලව මුස්ලීම් සමාජය ක්‍රියා කොට ඇත. නමුත් රටේ නීතිය අභිබවා ක්‍රියාත්මක වෙමින් ‘මේවාට එරෙහිව නැඟීසිටින්න ඹ්නේ…‘ යනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීම සාමාන්‍ය මනුෂ්‍යකුට පව නොගැලපෙන තුට්ටු දෙකේ ක්‍රියාවකි. එසේනම් එවැනි ප්‍රකාශයක් ස්වාමින්වහස්සේ නමක් ප්‍රකාශ කරන්නේ නම්, එහි පවතින බරපතල තත්වය බුද්ධිමත් ජනතාව බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය.

මෙතෙක් ඉදිරිපත් කල ඉහත කරුණූ තුලින් පැහැදිලිවම පෙනෙන කාරණයක් නම් මෙය රට තුල ජාතීන් අතර ඇති සමඟිය බිඳ දමමින් ඔවුන් අතර විරසකයක් නිර්මාණය කරන්නට අන්තවාදී පිරිසක් ගන්නා තවත් උත්සාහයක් පමණී. එය වඩාත් හොදින් තහවුරු වන්නේ මෙම මතභේදයට මූලික වී ඇති ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ප්‍රකාශයන්ය. පසුගිය දිනක බී.බී.සී සංදේශය (සිංහල මාධ්‍ය පුවත් විකාශනය) මේ පිලිබදව පුවත ඉදිරිපත් කිරීමෙ දී එම ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කර සිටියේ ‘අපිට මේ පල්ලිය මෙතැන තිබුණාට ගැටළුවක් නැහැ අපි සමඟියෙන් ජීවත් වන්නේ‘ යනුවෙනි. එසේම අණ්ඩුකාර අලෙවි මහතා එම ප්‍රදේශයේ බෞද්ධ ජනතාව සමඟ කථා කිරීමේ දී එම කාරණය නැවත තහවුරු කල බව 2012/04/23 දින සිරස ගුවන්විදුලි දහවල් පුවත් විකාශනය තුල ප්‍රකාශ කර සිටියා. මේ තුලින් පැහැදිලි වන කාරණය කුමක්ද? මෙතෙක් එම ප්‍රදේශය තුල නොමැති ගැටළුවක් අලුතින් නිර්මාණය කරමින් සිටිනවා යන්න නොවේද?.

එසේම මෙහිදී විමසා බැලිය යුතු තවත් වැදගත්ම කාරණයක් ඇත. ඒ මෙවැනි මතභේද වර්ථමානයේ ඇතිවීමට බලපා ඇති හේතු සාධක මොනවාද? යන්නයි. අතී‍තයේ පන්සල සතු ඉඩම් මුස්ලීම් ජනතාවට දේවස්ථාන ඉදිරිකිරීම සදහා ලබාදුන් ආදර්ශමත් ඉතිහාසයක් අපට පැවතුනු බව ඉහතින් මා තහවුරු කලා ඔබට මතකයේ ඇතැයි සිතමි. එම තත්වය අද උඩුයටිකුරු වී මුස්ලීම්වරුන්ගේ දේවස්ථාන ඇති භූමිය පන්සල සතු භූමියක්, එසේත් නැත්නම් පූජාභූමියක් යයි ගැටුම්කාරී තත්වයන් නිර්මාණය කිරීමට හේතු සාධක කර ගන්නේ වර්ථමානයේ ජාතිවාදී හා ආගමික අන්තවාදී පිරිසන්ගේ ක්‍රියාකාරීත්වයේ වැඩිවීම හේතුව නිසා නොවේද?. රට තුල දිනෙන් දින වර්ධනය වෙමින් පවතින මෙම තත්වය යහමඟ අඩවිය දිගින් දිගටම බලධාරීන්ගේ අවධානයට යොමු කරමින් සිටියත් තවම ක්‍රියාකාරී මැදිහත්වීමක් ඔවුන් සිදුකොට නැත. ආගමික විනයක් හා රටේ නීතියට ගරු නොකරන එසේම රටේ නීතිය අතට ගෙන වියරුවෙන් ක්‍රියාකරන පිරිසක් ආගමක් වෙනුවෙන් පෙනීසිටිම එම ආගමේ අවාසනාවකි. මෙවැනි පිරිසට එරෙහිව ජාතිය, ආගම හෝ දේශපාලන පසුබිම… යනාදී තරාතිරම් කිසිවක් නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කලයුතුය. විශේෂයෙන් රටක සුළුතරයට ඇති එකම පිහිට රටේ නීතියයි. එයත් පක්ෂග්‍රාහී වන අවස්ථාවන් මෑතක සිට අප දකින්නෙමු. ඉහත දඹූල්ල මතභේදයට තුඩුදෙන දේවස්ථානය වෙනත් තැනක ඉදිකිරීමට දැන් රජය තීන්දු කිරීම තුලද එය අපට ඔප්පුකොට පෙන්වා ඇත.

අවසාන වශයෙන් පැවසිය යුතු කාරණයක් ඇත‍. එනම් ඉස්ලාම් දහම තුල නිත්‍ය පූජා භූමි සංකල්පයන් නැත. එසේම දේව වන්දනය සදහා නිශ්චිත හෝ සීමා වූ ස්ථාන සංකල්පයන් ද නැත. මේ නිසා මෙම ස්ථානයේම මුස්ලීම් දේවස්ථානය පැවතිය යුතුමයි යන වාදයක් මුස්ලීම් සමාජයට පැවතිය නොහැක. එසේම රජය විසින් මේ සම්බන්ධයෙන් දැන් ගෙන ඇති තීරණයට එරෙහිව නැඟීසිටීමට හෝ ආවේගකාරී ක්‍රියාවන්ට පෙළඹීමට ද කිසිදු මුස්ලීම්වරයෙකුට ඉස්ලාම් දහම තුල ඉඩක් ද නැත. නමුත් රජය විසින් මෙහි ගෙන ඇති තීන්දුව තුල මුස්ලීම් ජනතාවට කිසියම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් තම විරුද්ධත්වය රජයට ප්‍රකාශ කිරීමත් ඒ සම්බන්ධයෙන් නීතිමය පිහිට පැතීමත් සිදු කලයුතුව ඇත. මන්ද අද රජය විසින් දඹුල්ල ප්‍රදේශයේ ලබාදෙන මේ වැරදි පූර්වාදර්ශය හෙට දවසේ රටේ තවත් ස්ථානයක ඇතිවීමට පුළුවන. මෙය නොවන්නට නම් සමස්ථ මුස්ලීම් සමාජය ඒකරාශි වී එකම හඬක් නැඟීමට ඉදිරිපත් විය යුතුය. එහිදී රටේ පවතින නීතියට අනුකූලව කටයුතු කිරීමට වග බලාගැනීම සෑම මුස්ලීම්වරයෙකුටම ඉස්ලාම් අවධාරනය කරන අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්නද අමතක නොකල යුතුය.

සම්බන්ධ Video කිහිපයක්…




සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම