දරුවන් මෙලොව අලංකාර භාග්‍යයක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රි ලංකාව තුල වෙන කවරදාකටත් වඩා සීඝ්‍රයෙන් ළමා අපචාර හා ළමා හිංසන දිනෙන් දින ඉහල යමින් ඇත. මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ පිරිස් අතුරින් බහුතරයක් සමාජයේ ඉහල පැලැන්තියේ යයි පවසා ගන්නා පාර්ශවයන් වීම මෙහි තවත් වීශේෂ කාරණයක් වී ඇත. මේ හේතුව නිසාම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඇතුළුව ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රියාත්මක ආයතන පද්ධතීන් වෙත විශාල මහජන අවධානයක් යොමු වෙමින් ඇත.

පසුගිය ජූලි 06 පුවත්පත් වාර්ථාවකට අනුව අප රටේ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි හා සිද්ධි සම්බන්ධව වාර්ථා කොට තිබුණේ පහත ආකාරයටය.

“ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි 12,165 පසුගිය වසර එක හමාරේදී ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.
එම අධිකාරිය පවසන අන්දමට ළමා අපයෝජන සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස පහේදී ලැබී ඇති පැමිණිලි සංඛ්යාව 4000 කි.
දරුවන් සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් හතළිස් අට දහසක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ වසරේ මේ දක්වා ලැබී ඇතැයිද සභාපතිවරයා කීය .

ඉහත විස්තර බුද්ධිමත්ව විමසා බලන්නේ නම් ළමුන් සම්බන්ධයෙන් අද අප සමාජය සිටින තැන පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම අපහසු නොවනු ඇත. (මෙම තත්වය පිලිබදව තවදුරටත් විස්තර ‘ළමා හිංසන හා අපයෝජන‘ නම් යහමග ඉදිරිපත් කරන මණ්ඩප ලිපි තුලින්ද කියවීමට හැක.)

මෙවන් මොහොතක ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සමාජය තුල කඩිනම් වැඩපිලිවලක් හා පුළුල් දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවයකි. එම වගකීම ඉටුකිරීමේ අරමුණින් සහ මෙම ළමා හිංසන හා අපයෝජන චෝදනා එල්ල වන පිරිස් අතර මුස්ලීම්වරුන්ද සිටීම හේතුවෙන් ඉස්ලාම් ‘ළමුන්’ සම්බන්ධයෙන් දරණ ස්ථාවරය කුමක්ද?. යන කාරණය ‘’දරුවන් මෙලොව අලංකාර භාග්‍යයක්’ යන විෂය මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

ළමුන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහම විවිධ නීති-රීති පුළුල් වශයෙන් සාකච්චා කොට ඇත. (ඒවා එකින් එක ඉදිරියේදී සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.) ඒ පිලිබදව අධ්‍යනය කිරීමේදී ‘දරුවන් යන්න මනුෂ්‍යාගේ ලෞකික දිවිය අලංකාර කරවන දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් හා භාග්‍යයක්’ යන්න අපට පැහැදිලව දක්නට ලැබේ.

ඉස්ලාම් පවසයි – දරුවන් යනු දෙවියන් විසින් ලබාදෙන ශුභාරංචියක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එපමණක් නොව දරුවන් මනුෂ්‍යාගේ මෙලොව ජීවිතය අලංකාර කරවන ආදරය, කරුණාව, සතුට හා තෘප්තිය ඇති කරවන තීරණාත්මක සාධකයක්.


මෙය අල්කුර්ආනයේ මෙසේ විස්තර කරයි,

අල්ලාහ් නුඹලාගෙන් නුඹලාට කලත්‍රයන් ඇති කළේය. තවද නුඹලාගේ කලත්‍රයන්ගෙන් නුඹලාට දරුවන්ද මුණුබුරු මිණිබිරියන්ද ලබාදී ඇත. තවද නුඹලාට හොද දැයින් භෝග සම්පාදනය කළේය. (මේවා ගැන දැන දැනත්) ඔවූන් අසත්‍යය විශ්වාස කර අල්ලාහ්ගේ අනුග්‍රහයන් ඔවූහු ප්‍රතික්ෂේප කරන්නෙහිද?

අල්කුර්ආන් 16-72

තවද ඔවුන් “අපගේ දෙවියනේ! අපගේ භාර්යයාවන්වද, අපගේ දරුවන්වද, අපගේ ඇස් කුල්මත් කරවන්නන් ලෙස ලබා දෙනු මැනව! තවද පරිශුද්ධවන්තයින්ට මාර්ගෝපදේශ-කයින් වශයෙන්ද අපව ඔබ පත් කරනු මැනව!” යයි ප්‍රාර්ථනා කරමින් සිටින්නාහ

අල්කුර්ආන් 25-74

වස්තුන්ද, දරුවන්ද මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. සදාකල් පවතින යහකම් නුඹගේ රබ්(පරමාධිපති)ගේ සන්නිධානයෙහි ඵල විපාකයෙන් ඉතා හොඳය. තවද බලාපොරොත්තුවෙන්ද ඉතා හොදය.

අල්කුර්ආන් 18-46

ඉස්ලාම් පවසයි – දරුවන් (පරම්පරාව) යන්න දෙවියන් විසින් ලබාදෙන භාග්‍යයක්.

මෙය අල්කුර්ආනයේ මෙසේ විස්තර කරයි,

අහස් හා පොළොවෙහි අධිකාරිය අල්ලාහ්ටමය. (මේ හැර), ඔහු කැමති දැයද උත්පාදනය කරන්නේය. එබැවින් ඔහු කැමති අයට ගැහැණු දරුවන් දෙන්නේය. ඔහු කැමති අයට පිරිමි දරුවන් ද දෙන්නේය.

අල්කුර්ආන් 42-49

නැතහොත් පිරිමි හා ගැහැණු වශයෙන් මිශ්‍රව දෙන්නේය. තවද ඔහු කැමති අයට (දරුවන් නැති) වඳ බවටද පත් කර හරින්නේය. නියත වශයෙන්ම ඔහු (ඔවුනොවුන්ගේ තරාතිරම) හොඳින් දන්නෙකු හා (තමන් කැමති ආකාරයකට කිරීමට) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

අල්කුර්ආන් 42-50

එසේනම්, අල්ලාහ් (දෙවි) ඉහතින් පවසන ආකාරයට අපට අලංකාර වූ ශුභාරංචියක් හා භාග්‍යයක් ලෙස ලැබුණු අපේ දරුවන්ට අද අත්වෙමින් තිබෙන ඉරණම කුමක්ද?. මේ පිලිබදව වත්මන් සමාජය බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇත. වැඩිහිටියන් ලෙස ඔවුන්ගේ ආරක්ෂාව නිසි අයුරින් සලසාදීමට නොහැකිවු හේතුකාරණා පිලිබදව නැවත වරක් අවදානය යොමු කලයුතුව ඇත. ඒ සදහා බලධාරීන්, දෙමාපියන් හා වැඩිහිටියන් යන සමස්ථ සමාජයටම නුවණැස පෑදේවා! යන ප්‍රාර්ථනයෙන් මෙම ලිපියට විරාමය තබන්නේ ‘ළමා අයිතීන් හා ඉස්ලාම්’ නම් ලිපි පෙලක් ඉදිරියේදි යහමග තුලින් ඉදිරිපත් කිරීමේ අධිෂ්ඨානය ඇතුවයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/2

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම