දරු කළලය හා ලිංග භේදය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“…ඇය මේ නිසා සමාජය තුල මුහුණපාන දුක්කරදර අපමණය. ඇය විටෙක ඥාතීන්ගේ අපහසයට හා නින්දාවට ලක්වේ. විටෙක පහරකෑමන්ට මෙන්ම හිංසනයන්ට ද ලක්වේ. විටෙක එය තම පවුල් ජීවිතය දෙදරායාමට තරම් හේතුවක් වේ. තවත් විටෙක ඇයට මේ වෙනුවෙන් තම ජීවිතයෙන් පවා වන්දිගෙවන්නට සිදුවේ…”

මෙය කියවන ඔබට අද මේ යහමග අඩවිය පවසන්නට සූදානම් වෙන්නේ චිත්‍රපට ජවනිකාවක් හෝ මනක්කල්පිත කථා වස්තුවක් යයි සිතුණේනම් එය පුදුමයට කාරණයක් නොවේ. එසේම මෙවැනි චරිත අප අවට සමාජයේ තිබෙනවා යයි මා පැවසූවේ නම් එයද පුදුමයට කාරණක් නොවේ. නමුත් මා මේ ඌනපූරණයෙන් මුලපුරන්නේ මනක්කල්පිතයක් පිලිබදව නොව තවත් කාලීන සමාජීය ගැටළුවක් පිලිබදව බුද්ධිමත් මෙන්ම විද්‍යාත්මක ඇසින් විමසුමක් සිදුකිරීමටයි.

ලොව උතුම්මම පදවිය වන මව් පදවියට අතීතයේ පටන් වර්ථමාන බුද්ධිමත් සමාජය පවා අත්කර දී තිබෙන ඉරණම පිලිබදවයි මා ඉහතින් සදහන් කලේ. ඒ අන් කිසිවක් නිසා නොව ඇය ගැහැණු දරුවකු ලොවට දායාද කිරීමේ වරදය. ගැහැණු දරුවකු සමාජයට දායාදකරන මව දෙස සමාජය බැලීමට හුරැ වී සිටින්නේ තරමක වපර ඇසකිනි. මෙය අතීතයේ පමණක් නොව අදත් ලොව තුල විවිධ සමාජ තලවල (අඩු වැඩි වශයෙන්) විවිධ මට්ටමින් දක්නට තිබීම ප්‍රසිද්ධ රහසකි. මෙම චෝදනාවෙන් කිසිදු ජන සමාජයකට මිදීමට හැකි වී නැත. අතීතයේ ලාංකීය සමාජය තුල මෙය උග්‍රලෙස පැවතුනත් මේ වන විට අළුයට ගින්නක් බවට පත්ව ඇත. විශේෂයෙන් පිටිසර ගම්බිම්වල මෙය අදටත් දක්නට ඇත. එසේම ඉන්දියාව වැනි රටවල මෙම තත්වය උග්‍ර ලෙස පවතින අතර මා ඉහතින් සදහන් කලාසේ ජීවිතයෙන් වන්දිගෙවූ අම්මලා පිලිබදව ද අනන්තවත් වාර්ථා වී ඇත. ස්ත්‍රී පුරුෂ එක්වීමක් (ඩිම්භ හා ශූක්‍රාණූ සංසේචනය) තුලින් බිහිවන දරුවාගේ ලිංග භේදයේ තීරණාත්මක සාධකය ලෙස ඇය (ස්ත්‍රීය) සලකා ඇයට පමණක් ඇඟිලි දිගුකිරීම කොතරම් අමානුෂික ක්‍රියාවක්ද? යන්න මා තර්ක විතර්ක තුලින් ඔබට වටහාදීමට අවශ්‍ය නොවේ. වර්ථමානයේ බුද්ධිමත් යයි පවසා ගන්නා සමාජය පවා මෙවැනි මිත්‍යාවන් තුල තවමත් කොටු වී ජීවත් වීම කණගාටුදායක තත්වයකි.

වර්ථමාන සමාජයට සාපේක්ෂව අරාජිකත්වයේ ඉනිපෙත්තෙහි ජීවත් වූ මීට වසර 1400 කට පෙර පැවති සමාජයක් මධ්‍යයට පහල වූ ශුද්ධ වූ කුර්ආනය එහි යථාර්ථය මනා ලෙස මෙන්ම සවිස්තරාත්මකව ලෙස මිනිස් සමාජ‍යට අනාවරණය කිරීම නූතන දියුණු සමාජය පවා මවිත කරවන සුළුය. ඒ පිලිබදව අවදානය යොමු කිරීමට මත්තෙන් යහමග අඩවිය තුල මෙම විෂයට අදාලව මීට ඉහත සාකච්චා කල පහත ලිපිද ඔබේ අවදානයට තබමි.

ඉහත ලිපි තුලින් සාකච්චා කරන කරුණු ඔබේ බුද්ධිමත් අවදානයට තබමින් දැන් මෙම මාතෘකාවකට අල්කුර්ආන් වාක්‍යයක් තුලින් පිවිසෙමු.

“මිශ්‍ර තරලයකින් මනුෂ්‍යයන් අපමය මවන ලද්දේ.”

(ශුද්ධ වූ කුර්ආනය 76-2)

මෙහි ඉහත 76-2 වාක්‍යය අනුව දරුවකු බිහිවීමේ දී එම ක්‍රියාවලිය සදහා ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කිසියම් දායකත්වයක් පවතින බව පැහැදිලි වේ. නමුත් 18 වන සියවසය දක්වා මේ පිලිබදව පැවතුනේ අපැහැදිලි මතවාදයන්ය. දරුවකු බිහිවීම සදහා පුරුෂයාගේ ශූක්‍රාණු මෙන්ම ස්ත්‍රීයගේ ඩිම්බයක්ද අවශ්‍ය බව විද්‍යාඥයින්ට පවා ඔප්පුකර ගැනීමට හැකි වුයේ 18 වන සියවසයේදීය. ඒ “ස්ප්ලෙන් සානි” (Spallanzani) නැමැති විද්‍යාඥයා විසිනි. ඒ අනුව 7 වන සියවසයේ ශුද්ධ වූ කුර්ආනය පැවසූ “…මිශ්‍ර බිංදු…” (Mixed Drops) යන්නෙහි සැබෑ අරුථ විද්‍යාවට අවබෝධ කරගැනීමට හැකිවුයේ සියවස් 11 ක් ගෙවා දැමූ මොහොතකය. (මෙයම ශුද්ධ වූ කුර්ආනය දිව්‍යමය පුස්තකයක් යන්නට සාක්ෂියක් නොවේද?) මෙසේ දරුවකු මෙලොව බිහිවීම සදහා මා පිය දෙදෙනාගෙම් දායකත්වයක් පවතින බව පවසන ශුද්ධ වූ කුර්ආනය තවත් ප්‍රබල අනාවරණයක් සිදුකරයි. එනම්, ඉහත ආකාරයට කළල විකාශනය පිලිබදව පවසන ශුද්ධ වූ කුර්ආනය එහි ස්ත්‍රී පුරුෂ ලිංග භේදය නිර්ණය කිරීමේ දී ඒ සදහා පදනම් වන සාධකය කුමක්ද? යන්නත් පැහැදිලිවම පවසයි. එම කාරණයට තමා මෙම ලිපිය තුලින් මූලික අවධානය යොමු කරන්නේ. එය ශුද්ධ වූ කුර්ආනයේ 53 – 45 හා 46 වාක්‍යය මෙසේ පවසයි.,

“නියත වශයෙන්ම ඔහු ඔබව ස්ත්‍රී පුරුෂ ජෝඩු වශයෙන් නිර්මාණය කරන්නේ (ගර්භාෂයට) ඇතුල් කරන ලද ශූක්‍ර තරල පදනම් කරගෙනය.”

ඉහත සත්‍යය මීට සියවස් 14 කට පෙර මිනිස් සමාජයට ශුද්ධ වූ කුර්ආනය කියාපෑවද එය විද්‍යාවට අනාවරණය කරගැනීමට හැකි වුයේ 20 වන සියවසයේ අගභාගයේදීය. එනම් දරු කළලයේ ලිංග භේදය තීරණය කිරීමේ දී තීරණාත්මක සාධකය කාන්තාව හෝ ක‍ාන්තාව හා පිරිමියා යන දෙදෙනාම යන්න නොව පිරිමියා යන්න පමණක් බවයි. ඒ පිලිබදව වර්ථමාන විද්‍යාත්මක විග්‍රහය දැන් විමසා බලමු.

නූතන විද්‍යාත්මක අනාවරණයට අනුව දරු කළලයක් නිර්මාණය වීමට ස්ත්‍රී ඩිම්බයක් මෙන්ම ශූක්‍ර තරලය ද අවශ්‍ය වේ. (මෙය ශුද්ධ වූ කුර්ආනයේ (76-2) වාක්‍යය ද අවධාරණය කරයි) එපමණක් නොව එම කළලයේ ලිංග භේදය නිර්මාණය වන්නේත් x හා y නම් වර්ණදේහයකට අනුවය. මෙම වර්ණදේහය පිලිබදව තරමක් ගැඹුරින් අවධානය යොමු කලේනම්,

  • ස්ත්‍රියකගේ ඩිම්බයෙහි xx නම් වර්ණදේහ යුගල පිහිටා ඇත.
  • පුරුෂ ශූක්‍රාණුවෙහි xy නම් වර්ණදේහ යුගල පිහිටා ඇත.

මේ අනුව කළලයක් නිර්මාණය වීමේ දී ඉහත වර්ණදේහයන් මිශ්‍ර වීමෙන් කළලයේ ලිංග භේදය නිර්ණය වේ. ඒ පහත ආකාරයටය,

  •  ස්ත්‍රී x වර්ණදේහය සමඟ පුරුෂ y වර්ණදේහය එක්වුයේ නම් එහිදී බිහිවන දරු කළලය පුරුෂ ලිංගික වේ.
  •  ස්ත්‍රී x වර්ණදේහය සමඟ පුරුෂ x වර්ණදේහය එක්වුයේ නම් එහිදී බිහිවන දරු කළලය ස්ත්‍රී ලිංගික වේ.

දැන් ඉහත කාරණයන් පියවරින් පියවර හොදින් විමසා බලන්න. කළලයේ නිර්මාණය වන දරුවකුගේ ලිංගය තීරණය කරන තීරණාත්මක සාධකය කුමක්ද? යන්න මනාව ඔබටම පැහැදිලි වනු ඇත. දැන් ඉහතින් සදහන් ශුද්ධ වූ කුර්ආනයේ 53 – 45 හා 46 වාක්‍ය දෙස නැවත අවධානය යොමු කරන්න. 20 වන සියවසයේ ජාන (Genetic) තාක්ෂණයේ දියුණුවත් සමඟ අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සත්‍යය. මීට වසර 1400 කට පෙර ශුද්ධ වූ කුර්ආනය පවසනවා නම් එය මිනිස් චින්තනයක් විය හැකිද? ලිපිය ආරම්භයේ පැවසුවා සේ වර්ථමාන දියුණු මිනිස් සමාජය පවා මෙම කාරණය එනම් බිහිකරණ දරුවාගේ ලිංග භේදය සම්බන්ධයෙන් කාන්තාව දෙස ඇඟිලි දිඟු කරන විට එහි සැබෑ ස්වරූපය මීට වසර 1400 කට පෙර පැහැදිලි ලෙස ශුද්ධ වූ කුර්ආනය ලොවට අනාවරණය කිරීම තුලින් මෙය දිව්‍යමය පුස්තකයක් යන්න මිනිස් සමාජයට අනාවරණය කරනවා නොවේද?

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම