දිනු ජය අර්ථවත් කරමු

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග අඩවිය මේ දක්වා මෙරට පක්ෂ දේශපාලනය පිලිබදව කථා කිරීමට උනන්දු නොදක්වන අඩවියක් බව පාඨක ඔබ හොදින් දන්නා කාරණයකි. නමුත් දැනට නිම වී ඇති 2020 මහ මැතිවර්ණය හා එහි තීන්දු වී ඇති ජය-පරාජය හමුවේ අදහස් කිහිපයක් මෙහි සටහන් කිරීමට අදහස් කරමි.

මෙහිදී පලමුව කිවයුතු කාරණය නම්, මේ නිකුත් වී ඇති ප්‍රථිපලය පක්ෂ දේශපාලන වහල්ලුන්ට හා දේශපාලන කියවීමක් නොමැති දේශපාලඥයින්ට විශ්මයට කාරණයක් වන්නට පුළුවන. නමුත් එසේ නොවන සියළු ජනයාට මෙය බලාපොරොත්තු වූ ප්‍රථිපලයක් යන්නෙහි විවාදයක් නැත. එය පසුගිය ජනාධිපතිවරණ ප්‍රථිපලය හොදින් විශ්ලේෂනය කරන ඕනෑම කෙනෙකු හට පහසුවෙන් තේරුම් ගතහැකි කාරණයක් යන්න පමණක් ඒ සම්බන්ධයෙන් සටහන් කරමි. මෙතැනදී වරදවා තේරුම් නොගතයුතු කාරණයක් ඇත. එනම්, මා මෙතැනදී මේ රටේ ජනතාව නිවැරදි හා බුද්ධිමත් තීන්දුවක් අරගෙන ඇතැයි කියා හෝ නැතැයි කියා අදහස් නොකරමි. සියළුදෙනා තම තම නැණ පමණින් ගතහැකි හොදම තීන්දුව ප්‍රකාශ කොට මෙම ප්‍රථිපලය ලැබී ඇත. මහමැතිවර්ණය යනු අපේ රටේ ඉතාම ඉතා වැදගත් තීරණාත්මක මැතිවර්ණයකි. මෙය රටේ අනාගත ඉරණම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා රටට ආදරය කරන විද්වතුන් 225ක් තෝරාගැනීමේ මැතිවර්ණයකි. එහිදී දේශපාලන පක්ෂවලට තමන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව වැදගත් වූවත් යහපත් රටකට සහ නිරෝගි සාධාර්ණය අගයන සමාජයකට වැදගත් වන්නේ මේ තෝරාගන්නා පිරිස් රටට ආදරය කරන බුද්ධිමත් පරිනත දේෂපාලඥයින්ද? යන්න පමණි.

ඒ අනුව දැන් මේ රටේ ජනතාව එම තීන්දුව පහත දැක්වෙන ආකාරයට තීන්දු කොට අවසානය.

දැන් ඉහත ප්‍රථිපලය හමුවේ ජය ලැබුණු පාර්ශවයන් ප්‍රිතියෙන් උද්ධාමයට පත්ව සිටින අතර පරාජය වූ පාර්ශවයන් තම පරාජයට හේතු සොයමින් සහ නිදහසට කරුණු පෙලගසමින් සිටී. මේ අතර එක් එක් අපේක්ෂකයන් දිනවීමට කටයුතු කල ජනතාව ද සතුටින් කුල්මත්වී සිටින අතර තමන් ඡන්දය ලබාදුන් අපේක්ෂකයන් පරාජ වීම හේතුවෙන් තවත් පාර්ශවයක් දුකෙන් කණගාටුවෙන් පසුවෙති.

මෙතැනදී ඉහත පාර්ශව 04 තේරුම් ගතයුතු යථාර්තයක් ඇත. එයනම්, එක් එක් අපේක්ෂකයන් තමන් දිනුවාද? පැරදුනාද? එසේම ඡන්ද දායකයන් තම අපේක්ෂකයා දිනුවාද? පැරදුනාද? යනුවෙන් තවදුරටත් වාද-විවාද කරනාවට වඩා රටක් වශයෙන් අප සියළුදෙනා ජයග්‍රහණය කරන්නේ කොහොමද? නොඑසේනම් එම ජයග්‍රහණය කරා රට ගෙන යන්නේ කොහොමද? ඒ සදහා අප සහය වන්නේ කෙසේද? යන්න දැන් සැලසුම් කලයුතුය. තමන්ට ලැබුණු ඡන්දයේ ජාතිය, ආගම, කුලය තවදුරටත් අදාල නැත. එකම ජාතියක් ලෙස නැඟීසිටීමේ අභියෝගයයි දැන් රට ඉදිරියේ ඇත්තේ. එම අභියෝගය නිසිලෙස අවබෝධ කොට 225 කටයුතු නොකරන්නේ නම්, අද ජයග්‍රහණය වෙනුවෙන් කිරිබත් උයා සතුට සමරණ ජනයාම හෙට දිනයේ ඔවුනට ශාප කරමින් ප්‍රතික්ෂේප කරනු ඇත. එවැනි නායකයින් සහා ජනතාව තමයි මේ මිහිතලය මත අවාසනාවන්තම පිරිස යන්න ඉස්ලාමයේ පවා ඉගෙන්වීමයි.

එය මෙසේය…

නබි (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී. ‘නුඹලාගේ නායකයන් අතුරින් යහපත් පිරිස වන්නේ නුඹලා ඔවුන්ට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන, ඔවුන්ට නුඹලා (යහපත) ප්‍රාර්ථනා  කරන නුඹලාට ඔවුන් (යහපත) ප්‍රාර්ථනා  කරන තත්වයේ නායකයින්ය. එසේම, නුඹලාගේ නායකයින් අතුරින් නරක පිරිස වන්නේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලාව ද ප්‍රිය නොකරන, නුඹලා ඔවුන්ට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන තත්වයේ නායකයින්ය.

මූලාශ්‍ර ග්‍රන්ථය :- මුස්ලිම්

අවසාන වශයෙන් 2020 මහ මැතිවර්ණයෙන් පාර්ලිමෙන්තුවට තෝරා පත්වූ මන්ත්‍රීවරුන් හට යහමග සුභපතන අතර මේ රටේ ජනතාවගේ පැතුම් ඉටුකරන යහපාලනක් සදහා ඔවුනට ශක්තිය දෛර්‍යය ලැබේවා ! යනුවෙන් ද ප්‍රාර්ථනා කරමි. එසේම ඡන්දය ලබාදීමෙන් පොදු ජනතාව වන අපේ මෙහෙවර අවසන් වී නොමැති බව රටේ පොදු ජනයා වන අප තේරුම් ගතයුතුය. එසේම දැන් තෝරා පත්ව ඇති මන්ත්‍රි කණ්ඩායමට යහපත් අයුරින් රට පාලනය කරන්න අවශ්‍ය ශක්තිය ලබාදෙමින් ඔවුන් දිරිමත් කිරීමද අපේ වගකීමය. එසේම ඔවුන් කරන කියන හැමදෙයකටම ‘එහෙයි’ කියන සම්ප්‍රදාය හෝ ‘අපි විරුද්ධයි’ කියන සම්ප්‍රදාය තවදුරටත් අනුගමනය නොකොට හොද දේ හොදයි කියන්නත් නරත දේ නරකයි කියන්නත් දෛර්‍යමත් වියයුතුය. එසේ නොවන්නේ නම් මේ රට තවදුරටත් කිසිදා දියුණු නොවන ‘ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි’ යන බෝඩ් ලෑල්ල පමණක් ඉතිරි වනු ඇත. එසේනම් මෙරට පොදු ජනතාව දැන්වත් පක්ෂ-පාට, ජාති-ආගම් හා කුල-ගෝත්‍ර යනුවෙන් භේද නොවී රටේ යහපත් අනාගතය වෙනුවෙන් ඉහත සදහන් අයුරින් කටයුතු කරන්නට නුවණැස පෑදේවා! යනුවෙන් ද ප්‍රාර්ථනා කරමින් මෙම සටහන අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම