ධනාත්මක සිතුවිලි – ඉවසීම හා කෘතඥ වීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුස්ලීම්වරයෙකු තුල ධනාත්මක චින්තන සහ සුබවාදී ආකල්ප පැවතීම ඉතා වැදගත් වේ. ඒ අපේ දේව නැමදුම් හා ප්‍රාර්ථනා (කන්නලව්) යන ප්‍රධාන කාරණා දෙක සුබවාදී බලාපොරොත්තු මත ගොඩනැඟී තිබෙන බැවිණි. මුස්ලීම්වරයෙකු කරන නැමදුම් හි ‘මා කරන නැමදුම දෙවියන් බලාසිටී, එසේම මා කරන ප්‍රාර්ථනාවට දෙවියන් සවන්දෙති’ යනුවෙන් සුබවාදී ව එය ඉටුකිරීම අත්‍යඅවශ්‍යය. එය දිව්‍යමය පුස්තකය වන ‘අල්කුර්ආනය’ හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් වන ‘හදීසය’ හොදින්අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව දැකගත හැකි වේ.

ඒ අනුව අල්කුර්ආනය මේ විෂය පිලිබදව කථා කරන ආකාරය ‘ධනාත්මක සිතුවිලි හා ඉස්ලාම් 01- අල්කුර්ආන් විමසුම‘ යන ලිපිය තුලින් මීට පෙර විමසා බැලුවෙමු. අල්හදීසයේ (මුහම්මද්(සල්) තුමාණන්ගේ ආදර්ශයේ) මෙම විෂය පිලිබදව ඉගෙන්වීම් කවර ආකාරයේද? යන්න මෙතැන් පටන් විමසා බලමු.

ඉස්ලාමීය හදීස් තුලින් ද ධනාත්මක චින්තනය මිනිස් සමාජයට අවධාරණය කරයි. ඒ පිලිබදව කථා කරන හදීසයක් වෙත අවදානය යොමු කලේනම්,

1 ඉවසීම හා කෘතඥ වීම

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසීය.

   යහපත් මුස්ලීම්වරයෙකුගේ ක්‍රියාකාරකම් විශ්මය ජනකය. නිසැකවම, ඔහුගේ මුළු ජීවිතයම යහපත් වන අතර මෙය ඔහු හැර වෙන කිසිවෙකු තුල දක්නට නොවේ. ඒ ඔහුට යහපතක් සිදු වේ නම් ඔහු තම දෙවිට කෘතඥ වන අතර එයින් එය ඔහුට යහපතක් ම වේ. එසේම ඔහුට හානිකර යමක් සිදුවු විට ඔහු ඉවසිලිවන්තව සිටින අතර එයින් එයත් ඔහුට යහපතක් ම වේ.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

සාමාන්‍යයෙන් මනුෂ්‍යා තුල දකින ගුණාංගය නම්, තමන්ට යහපතක් වූ විට අසීමිත සතුටින් ඉපිල මුළු මැද අග අමතක කිරීම සහ අයහපතක්, පාඩුවත් හෝ අහිමිවීමක් සිදුවූ විට එම දුක දරාගත නොහැකිව හඩාවැටීම හා විටෙක දිවිනසා ගැනීමකට පවා යොමුවීමය. නමුත් ඉහත හදීසයෙන් පවසන යහපත් මුස්ලීම්වරයෙකුගේ තත්වය ඊට බොහෝ සේ වෙනස්ය. එනම්,

  • ඔහුට යහපතක් සිදු වූ විට සතුටින් ඉපිලී වහසිබස් දොඩවනවා වෙනුවට ඔහුට ඒ යහපත ලබාදුන් දෙවියන්ට කෘතඥ වේ.
  • එසේම ඔහුට අයහපතක්, පාඩුවක් සිදු වූ විට ‘දෙවියන් එය එසේ කලේ කුමක් හෝ යහපතක් පිණිස වියයුතුයි’ යයි සිතා එය ඉවසා කටයුතු කරයි.

මේ ඉහත තත්වයන් දෙක තුලම මුස්ලීම්වරයෙකු සුබවාදීව ධනාත්මකව සිතන නිසා ඔහුට කුසල් හිමි වන අතර සැබැවින්ම ඔහු ජයග්‍රහකයෙකු වේ. මෙයයි මුහම්මද් (සල්) තුමාණන් ඉහත හදීසය තුලින් ‘යහපත් මුස්ලීම්වරයෙකුගේ ක්‍රියාවන් විශ්මය ජනකය’ යයි පැවසුවේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/31

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම