ධනාත්මක සිතුවිලි – දෙවියන් කෙරෙහි වූ සිතුවිල්ල

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුස්ලීම්වරයෙකු තුල ධනාත්මක සිතුවිලි පැවතීම ඉතා අත්‍යඅවශ්‍ය කාරණි. ඒ අපේ දේව නැමදුම් හා ප්‍රාර්ථනා (කන්නලව්) යන ප්‍රධාන කාරණා දෙක සුබවාදී බලාපොරොත්තු මත ගොඩනැඟී තිබෙන බැවිණි. මුස්ලීම්වරයෙකු කරන නැමදුම් හි ‘මා කරන නැමදුම දෙවියන් බලාසිටී, එසේම මා කරන ප්‍රාර්ථනාවට දෙවියන් සවන්දෙති’ යනුවෙන් සුබවාදී ව එය ඉටුකිරීම අත්‍යඅවශ්‍යය. (එය දිව්‍යමය පුස්තකය වන ‘අල්කුර්ආනය’ හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් වන ‘හදීසය’ හොදින් අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව දැකගත හැකි වේ.)

ඒ අනුව ධනාත්මක සිතුවිලි පිලිබදව ‘අල්කුර්ආනය’ කුමක් පවසනවාද? යන්න මීට පෙර ‘ධනාත්මක සිතුවිලි හා ඉස්ලාම් 01- අල්කුර්ආන් විමසුම‘ යන ලිපිය තුලින් විමසා බැලුවෙමු. මේ විෂය පිලිබදව ‘අල්හදීසය’ (මුහම්මද්(සල්) තුමාණන්ගේ ආදර්ශය) කුමක් පවසනවාද? යන්න කථා කරන ලිපි පෙලෙහි මීට ඉහත ලිපියෙන් ‘ඉවසීම හා කෘතඥ වීම‘ යන මාතෘකාව කථා කල අතර මෙම ලිපිය තුලින් ‘දෙවියන් කෙරෙහි ධනාත්මකව සිතීම’ යන විෂය කථා කිරීමට අදහස් කරමි.

සර්ව බලධාරී දෙවියන් සෑම විටම ඔහුගේ මැවීමන් අතුරින් ප්‍රධාන මැවීමක් වන මිනිස් වර්ගයා හා ඉතා ආදරයෙන් කටයුතු කරනවා යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එම ඉගෙන්වීම නිවැරදිව අවබෝධ කොටගෙන මිනිසුන් වන අප අපගේ දෛනික කටයුතු සිදු කරන්නේ නම්, ඒ තුල දුක, පසුතැවීම… වැනි සෘනාත්මක සිතුවිලි ඇති නොවේ. එවන් සෘනාත්මක සිතුවිලිවලින් බැහැරව ධනාත්මක සිතුවිල් අප තුල වර්ධනය කරගන්න පහත හදීසය අපට හොදින් මඟපෙන්වයි.

   මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රලි) තුමා පවසයි.  
උත්තරීතර අල්ලාහ් (දෙවි) මෙසේ පැවසීය: මාගේ ගැත්තා මා ගැන කවර ආකාරයට සිතන්නේද, මා ඔහු සමඟ ඒ අනුව කටයුතු කරමි. ඔහු මාව සිහි කරන විට මා ඔහු සමඟ සිටිමි. මාව ඔහු සිතින් සිහි කරන විට මාද ඔහුව සිහි කරමි. ඔහු පිරිසක් හමුවේ මාව සිහි කරන්නේ නම්, ඔවුන්ට වඩා යහපත් පිරිසක් හමුවේ මා ඔහුව සිහි කරමි. ඔහු වියතක් තරම් මා වෙත එන්නේ නම්, මා රියනක් තරම් ඔහු වෙත ළං වෙමි. ඔහු රියනක් තරම් මා වෙත එන්නේ නම්, දිගු කළ දෑත් තරම් මා ඔහු වෙත ළං වෙමි. ඔහු ඇවිද මා වෙත එන්නේ නම්, මා ඔහු වෙත දුව එන්නෙමි.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ ‘හදීස් කුදිසි’ නම් ඝනයට අයත් වන එනම්, අල්ලාහ් (දෙවි) පැවසුවා යයි නබිතුමාණන් පවසන හදීසයකි. එම හදීසය තුලින් අපට පැහැදිලි කරන්නේ අපගේ මැවුම්කරු වන ‘අල්ලාහ්’ ගැන යහපත් සිතුවිල්ලෙන් අප පසුවිය යුතු බවයි. එනම්, අප දෙවියන්ගේ ආදරය, කරුණාව අපේක්ෂාවෙන් ඔහු හා සමීපවීමේ අරමුණින් යමක් කරන විට දෙවි ඊට කිහිප ගුණයකින් අපට සමීප වන බවයි.

ඒ අනුව මෙම ධනාත්මක සිතුවිල්ල අපව යහමග ට යොමු කරනවා පමණක් නොව යහක්‍රියාවන්ට තව තවත් අපව උනන්දු කරවයි. නපුරු සිතුවිලිවලින් අප අපව ඈත් කොට අල්ලාහ් (දෙවි)ගේ පිහිට හා උපකාරය කෙරෙහි අප කොතරම් ධනාත්මකව සිතන්නේද ඒ තරමට අපට මෙලොව හා පරලොව සැනසුම හා ජයග්‍රාහණය හිමි වනු ඇත.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම