ධර්ම ද්වීපය තුල සුළු ජාතීන්ගේ ඉරණම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මීට වසර කිහිපයකට පෙර ‘යහමඟ’ නමින් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුල ආරම්භ කරන්නේ සීමිත අරමුණූ කිහියපයක් මුල් කරගෙනය. එනම්, අන්තර්ජාලය තුල ආගමික කරුණූ විශ්ලේෂණයේ දී එහි ආගමික ඉගෙන්වීමන්ට වඩා එකින් එකාට එරෙහිව මඩ ව්‍යාපාරයන් දියත්වීමත්, රටේ සුළු ආගම්වලට එරෙහිව ඉතා සූක්ෂම ලෙස කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයන් අන්තවාදී පිරිස් සිදුකිරීමත්, අතීතයේ නොපැවතී ආකාරය‍ට ජාතිවාදී සංවිධාන හා දේශපාලන පක්ෂවල බිලි බවට දිනෙන් දින රටේ සුළු ආගම් හා ජාතීන් පත්වීමත්, ‘තමා අදහන ආගම හැර අනිකුත් ආගම්වල කිසිදු හරයක් නැතැයි’ සිතා එම සමාජවල සම්ප්‍රදායන්, පුද්ගල චරිත එසේත් නැත්නම් තමන් විසින් ගත් පූර්ව නිගමන පදනම් කරගෙන එම ආගම් විවේචනය වීමත් සැලකිල්ලට ගෙන මෙවැනි ක්‍රියාවන් තුලින් රට තුල නිර්මාණය වන අවාසනාවන්ත තත්වයන් පිලිබදව සමාජයට රතු එලියක් දැල්වීම මූලික අරමුණූ කරගෙන මෙම අඩවිය ප්‍රධාන වශයෙන් ආරම්භ කරන ලදී.

එදා එවැනි අරමුණකින් ආරම්භ කල මෙම අඩවිය එදා මෙදා තුල සමාජය තුල යහපත් මතවාදයන් ගොඩනැඟීම සදහා ගත් උත්සාහයන් අපමණය. අප අතීතයේ පටන් ඉතා සාමුහිකව හා සහජීවනයෙන් එසේම ඒ ඒ ආගමික මතවාදයන් ගරු කරමින් ඒකීය සමාජයක් ලෙස ජීවත් වූ සමාජයකි. නමුත් අද ශ්‍රි ලාංකීය සමාජය තුල ‘දේශමාමක’ හා ‘බුදුදහමේ උන්නතිය’ යනාදී සංවේදී පාඨයන් ඉදිරිපත් කරමින් රටේ සුළු ජාතීන් ‘දේශද්‍රෝහීන්’ ලෙසත්, ‘බෞද්ධ විරෝධීන්’ ලෙසත් ලේබල් ගසමින් ශ්‍රී ලාංකීය සමාජය භේදබින්න කොට ඔවුන් තුල විරසකයන් නිර්මාණය වන තැනට ජාතිවාදී කල්ලීන් ක්‍රියා කරමින් ඇත. විශේෂයෙන් රටේ ද්‍රවිඩ ජනතාව මූලික වූ කුරිරු යුධයක් නිමා කොට ඇති මේ ‍මොහොතේ ලෝකයාගේ අවධානය රටේ ද්‍රවිඩ ජනතාව සම්බන්ධයෙන් දැඩිව යොමු වී ඇති නිසාදෝ ඉහත පාර්ශවයන් ද්‍රවිඩ ජනතාවට සාපේක්ෂව මුස්ලීම් ජනතාව කෙරෙහි දැඩි ක්‍රියා මාර්ගයන් අනුගමනය කරමින් සිටී. එය කොතරම්ද යන්න සරලව ඔබට පවසනවා නම්, මේ වනවිට අන්තර්ජාලය තුල ඉස්ලාම් දහම සෘජුවම විවේචනය කරන වෙබ් අඩවි අතිවිශාල ප්‍රමාණයක් සිංහල භාෂාවෙන් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර ඊට සාපේකෂව එහි බුදුදහමේ ඉගෙන්වීමන් කියාපාන අඩවීන් දක්නට ඇත්තේ ඉතා අඩු සංඛ්‍යාවක් පමණි. මේ අන්තවාදී පිරිසගේ ක්‍රියාදාමයන් අන්තර්ජාලයට පමණක් සීමා වූ එකක් නොවේ. මේ මොහොත වනවිටත් දඹූල්ල ප්‍රදේශයේ සිදුවෙමින් තිබෙන අන්දෝලනාත්මක සිදුවීමත් ඔවුන්ගේ තවත් එක් එවැනි රඟ දැක්මකි. මීට පෙර ‘දඹූල්ලෙන් රටට ම වැරදි පූර්වාදර්ශයක්’ යන ලිපිය මඟින් ඒ පිලිබදව මෙම අඩවිය තුල සාකච්චා කරන ලදී. මෙහිදී යලිත් එම සිදුවීම පිලිබදව මෙතැන දී කථා කිරීමට අදහස් නොකල ද එම සිදුවීම පදනම් කරගෙන ‘යහමඟ’ අඩවිය පුලපුලා අනාවැකි පැවසූ මේ රට තුල නිර්මාණය වෙමින් තිබෙන අවාසනාවන්ත තත්වය පිලිබදව යලිත් වරක් කරුණූ කිහිපයක් ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි.

ලොව කිසිදු රටක් තම රට වෙනුවෙන් කථා නොකරන තරමට මේ ද්වීපය ‘ධර්ම ද්වීපයක්’ යනුවෙන් හඬ නඟමින් නිර්මල බුදුදහමේ එකම උරුමක්කාරයන් තමා බව ලෝකයා ඉදිරියේ ආඩම්භරයෙන් පවසා ගන්නා ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය තුල එම දහමේ ආරක්ෂකයන් එසේත් නැත්නම් නියමුවන් වූ පිරිසක් ක්‍රියා කල ආකාරය ඔබේ විමසුමට ගෙන එන්නට අදහස් කරමි.

ඉහත විඩියෝව දඹූල්ල සිදුවීමට පමණක් සීමා කලහැකි වීඩියෝවක් නොවේ. එයට හේතු කිහිපයක් ඇත. එනම්, මෙහි එක්රුස් වූ ජනතාව දඹූල්ල ප්‍රදේශවාසීන් නොවීම, මෙම විඩියෝ දර්ශනය තුල පවසන ආකාරයට ‘මෙය දඹූල්ලෙන් ආරම්භයක් පමණක්’ වීම, මේ සිදුවීම රටපුරා වෙසන බොහෝ පිරිස් අනුමත කිරීම හා එය දැක සතුටක් ලැබීම… මෙවැනි හේතූන් ගණනාවක් නිසා මෙය දඹූල්ලෙන් ඔබ්බට ගොස් කථා කිරීමේ අවශ්‍යතාවයක් ඇත. ඒ අනුව මෙම විෂය සාකච්චාවට ගැනෙන අතර ප්‍රථමයෙන් ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයෙන් විමසන්න‍ට ඇත්තේ සරල පැනයකි. එනම්, ‘මෙහිදී ස්වාමින්වහන්සේලා ක්‍රියාකල ආකාරය පිලිබදව සැබෑ බෞද්ධයෙකු ලෙස ඔබට ආඩම්භර වීමට හැකිද?’ යන්නයි. මේ පිරිස පුද්ගලික කාරණයක් වෙනුවෙන් නම් මේ ආකාරයට ක්‍රියා කරන්නේ එය නොසලකා හැරීමට පුළුවන. නමුත් එසේ කලනොහැකි හේතූන් ගණනාවක් ඇත.

රටපුරා විවිධ ප්‍රදේශවලින් දඹූල්ලට එක්රුස් වූ ජනතාව එලෙස ප්‍රකෝපකාරී ලෙස කටයුතු කලේ ඇයද? යන්න පලමුවෙන්ම විමසා බැලිය යුතු පැනයකි. මේ රට තවම නීතිය ක්‍රියාත්මක වන රටක් යන්න අපගේ විශ්වාසයයි. එසේ තිබිය දී නීතිය අතට ගෙන එම පිරිස් ක්‍රියා කලේ ඇයි?. එයට දියහැකි සරල පිළිතුරු දෙකක් ඇත. එනම්,

  • මේ සුමංගල ස්වාමිණ්වහන්සේ පසුපස මෙතරම් ප්‍රමාණයක් ජනතාව පෙලගැසෙන්නේ එක්කෝ ඔවුනට ලබා දී ඇති වැරදි මඟපෙන්වීමකි
  • නොඑසේ නම් එම පිරිසගේ සිතුවිලි තුල සුළු ජාතීන් කෙරෙහි තිබෙන ජාතිවාදී විකෘති මානසිකත්වයකි

එය කුමක් වුවත් ඔවුනට නායකත්වය සපයන්නේ බුදුදහමේ නියමුවන් වන ස්වාමින්වහන්සේ නමකි. උන්වහන්සේ බෞද්ධයන් ඉදිරියේ ආදර්ශමත් වනවා වෙනුවට එහි ක්‍රියා කරන්නේ කෙසේද? (නැවතත් ඉහත වීඩියෝව ඉතා හොදින් අපක්ෂපාතීව බුද්ධීමත් ලෙස නරඹන්න) විටෙක උන්වහන්සේට වඩා එහි සිටී ප්‍රකෝපකාරී ජනතාව තුල සංයමයක් පැවතුනු ආකාරයක් දක්නට ලැබේ. රටේ නීතිය අතට ගෙන තර්ජනාත්මක ලෙස කරන ප්‍රකාශන හා ක්‍රියාවන් සමස්ථ ජාතියට කියාපාන්නේ කුමක්ද?. රටේ සුළුතරය ඉදිරියේ වීර චරිත රඟ දක්වන මේ පිරිස මේ තුලින් රටට හා ලෝකයට දෙන පණිවුඩය කුමක්ද?. ‍නිර්මල බුදුදහම පිලිබදව කථා කරන මා ඉහතින් සදහන් කලාසේ කාලෙන් කාලෙට මතුවන රාලලා හා ධර්ම ද්වීපයේ ඉරණම ගැන වෙබ් පිටුගනන් ලියන හා වැදිබණ දෙසන රාලලා මේ පිලිබදව පවසන්නේ කුමක්ද?. මේ සම්බන්ධයෙන් සුමංගල ස්වාමිණ්වහන්සේගෙන් හා උන්වහන්සේ වටා එක් රොක් වූ වියරු වැටුනු ජනතාවගෙන් රටේ සුළු ජතිකයන් ලෙස විමසන්නට ඇත්තේ ‘සිහනාද සූත්‍රයේ’ කියවෙන ආකාරයට බොහෝ දුෂ්කර ක්‍රියාවන් මධ්‍යයේ ගෞතම බුදුන් අවබෝධ කරගත් සහා ලෝකයාට දෙසූ දහම මේකද?’ යන්න පමණි.

මෙහිදී බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවගේ අවධානයට තවත් කරුණූ කිහිපයක් සදහන් කලයුතුව ඇත. අතීතයේ නොදුටු ආකාරයේ ජාතිවාදී ක්‍රියාදාමයන් දැන් දැන් රට තුල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම පිලිබදව බුද්ධිමත්ව හා විමසිලීමත්ව ක්‍රියා කිරීම අත්‍යඅවශ්‍ය කාරණයක් වී ඇත. කුමක් නිසාදෝ කොතැනක හෝ වරදක් සිදුවෙමින් ඇති බව පැහැදිලිව පෙනෙන සත්‍යකි. අද නිහඬව බලා සිටීම නිසා හෙට දවසේ එහි ප්‍රථිපලය ඉතා භයානක වන්නට පුළුවන. මෙය ‘යහමඟ’ මීට පෙර අවස්ථා ගණනාවකදීම ජාතියේ අවධානයට ගෙන ආවද එයින් තවම පලක් වී නැත. පසුගිය දිනවල සිදුවූ අනුරාධපුර සිදුවීම හෝ මේ දැන් සිදුවෙමින් තිබෙන දඹූල්ල සිදුවීම තවත් සිද්ධීන් දෙකක් යයි අමතක කල නොහැක. වි‍ශේෂයෙන් මේ සිදුවීම් දෙකම සිදුවන්නේ නීතියේ ආරක්ෂකයන් වන පොලීසියේ ඉහල නිලධාරීන් අබිමුවෙහි වීම මෙහි අවාසනාවන්ත තත්වය වඩාත් හොදින් පිළිඹිබු කිරීමකි. මේ පිලිබදව අතිගරු ජනාධිපති තුමාගේ මෙන්ම රටේ උත්තරීතර සභාවේ ද දැඩි අවධානයට යොමු විය යුතුව ඇත. මෑත කාලීනව අප රටේ නිර්මාණය වෙමින් පවතින ඉහත සදහන් තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කල පහත ලිපි ද ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ, ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ ජාතිවාදී කල්ලීන් රට තුල ව්‍යාකූල තත්වයන් නිර්මාණය කිරීමට විවිධ අවස්ථාවල ගත් උත්සාහයන් බිඳක් පමණි. මේ පිලිබදව රටේ වගකිව යුත්තන්ගේ මෙන්ම සමස්ථ ජාතියේ බුද්ධිමත් අවධානය යොමු වියයුතුය. එසේම මෙහිදී ඉහත අන්තවාදී වියරුවැටුණූ පිරිසට සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම්, මෙම ලිපි තුලින් හෝ මීට පෙර ඉදිරිපත් කල මෙවැනි ලිපි තුලින් මුස්ලීම් ජනතාව ‘අනේ අපගේ අයිතීන් රුකදෙන්න’ යනුවෙන් ආයාචනා කරවා යයි හෝ අපි ඔවුනට යටහත් වූ වහල්ලුන් ලෙස ජීවත් වියයුතුයි යනුවෙන් සිතන්නේ නම් එය ඔවුන්ගේ අනවබෝධයකි. අප ද මේ රටේ උපන් මේ පොළොවටම පස්වන ජන කොට්ඨාශයකි. ඔවුනට මෙන්ම අපට ද මෙයයි මාතෘ භූමිය. මේ රටේ පුරවැසියෙකු ලෙස ඔවුනට ඇති අයිතීන් අපට ද ඇත. මෙය රටේ සියළු පාර්ශවයන් අවබෝධ කර ගතයුතු අතර එම අයිතීන් තහවුරු කිරීම රජය සතු වගකීමක් යන්න අපගේ විශ්වාසයයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම