නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වසරක් ගෙවී ගොස් නව වසරක උදාවෙහි සිටින මේ මොහොතේ, කවදත් කාලීන මාතෘකාවන් කථා කරන යහමග අඩවිය අදත් ඉස්ලාමීය දින දර්ශනය හා නව වසරක උදාව යන මාතෘකා ඔස්සේ කරුණු කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන ඒමට අදහස් කරමි. එහිදී,

  • ඉස්ලාමීය නව වසර යනු කුමක්ද?’ යන්නත්,
  • එහි උදාව සිදු වන්නේ කෙසේ ද? යන්නත්,
  • එය නිර්ණය කරනු ලබන්නේ කුමක් පදනම් කරගෙන ද? යන්නත්,
  • එය නිර්ණය කරන්නේ කෙසේ ද? යන්නත්,

මෙහිදී තරමක ගැඹුරින් විමසා බැලීමට අදහස් කරමි.

ඉහත කාරණයන් වෙත යොමුවීමට ප්‍රථම වටහා ගතයුතු මූලික කාරණයක් ඇත. එනම්, වර්තමාන ලොව පවතින (ක්‍රිස්තු වර්ෂ) දින දර්ශනය ලොව ආරම්භයේ සිට එසේත් නැත්නම් ආදිතම මිනිසාගේ පටන් පැවත එන්නක් නොවනවා යන්න සහා එය ලොව සමස්ථ මිනිස් වර්ගයාම ඒකමතිකව පිළිගත් දින දර්ශකයක් නොවනවා යන්නයි. වර්තමාන දින දර්ශනය ක්‍රිස්තුස් වහන්සේගේ උපත පදනම් කරගෙන නිර්මාණය වූ එකකි. ලොව පවතින තාක්ෂණ දියුණුවත්, මුළු ලොවම විශ්ව ගම්මානයක් වීමත්, ඒ තුල දින ගණනය කිරීම සදහා කැමැත්තෙන් හෝ අකැමත්තෙන් ජනතාවට පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට සිදුව ඇත. ඒ අනුව ලොව බහුතර පිරිසක් වන කිතුණුවන්ගේ තීරණයකට අනුව “ක්‍රිස්තු වර්ෂය” නම් වූ ගණනය කිරීම ලොව සම්මත පිළිගැනීමක් බවට පත්ව ඇත.

ඒ අනුව යේසුස් තුමාගේ උපතේ සිට මේ දක්වා කාලය ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.ව.) යනුවෙන්ද, එතුමාගේ උපතට පෙර කාලය ක්‍රිස්තු පූර්ව (ක්‍රි.පූ.) යනුවෙන් ද දින ගණනය කිරීම ක්‍රියාවට නැංවුණි. මෙලෙස ආරම්භ වූ දින දර්ශනය නිර්මාණය කිරීමේ දී එහි කාලය එනම් දින, සති, මාස හා වර්ෂ යනාදිය නිර්ණය කිරීම සදහා යම් යම් උපකල්පනයන් ද එහි භාවිත වුණි. සූර්‍යයාට සාපේක්ෂව පෘථිවි චලිතය පදනම් කරගෙන වත්මන් දින දර්ශනය නිර්මාණය විය. එනම්,

  • පෘථිවි එක් පරිභ්‍රමණයක් දිනයක් ලෙසත්,
  • එවැනි දින හතක් සතිය ලෙසත්,
  • එවැනි දින 28, 29, 30 හෝ 31 මාසය ලෙසත්,
  • පෘථිවිය සුර්‍යයා වටා එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය (ආසන්න වශයෙන් දින 365) වර්ෂයක් ලෙසත්,
  • එම වර්ෂයකට මාස 12ක් ලෙසත් නිර්මාණය කරන ලදී.

මේ ආකාරයට නිර්මාණය කළ දින දර්ශනය අද ජාත්‍යන්තර දින දර්ශනය ලෙස භාවිතා වේ. ජාත්‍යන්තර දින දර්ශනය ඒ ආකාරයට පැවතුණද ඉස්ලාම් දහම ලොවට හදුන්වා දුන් දින දර්ශනය ඉහත දින දර්ශනයට වඩා තරමක් වෙනස් ආකාරයගත් එකක් විය. එහි වර්තමාන ජාත්‍යන්තරය පිලිගත් දින දර්ශනයට සමානකම් ඇති දෑ මෙන්ම අසමානකම්ද රාශියක් ඇත. එම කාරණයන් පිළිබඳව මෙතැන් සිට දැන් විමසා බලමු.

මෙම විෂය තරමක් පුළුල් ලෙස සාකච්චා කිරීම අවශ්‍ය නිසා එය විවිධ කොටස්වලට වෙන්කොට ඒ එකින් එක කථා කිරීමේ අදහස් කරමි. ඒ අනුව මෙතැන් සිට මාතෘකාව වෙත යොමු වන්නේ කාලය පිළිබඳව අල්ලාහ් (දෙවි) මිනිස් සමාජයට කරන අනාවර්ණය කරන දිව්‍යමය සත්‍යයක් ඔබේ බුද්ධිමත් අවදානයට තබමිනි. එනම්,

ඔහු (අල්ලාහ් (දෙවි)), ඉර ආලෝකය විහිදුවන්නක් ලෙසත්, චන්ද්‍රයා ආලෝකය පරාවර්තනය කරන්නක් ලෙසත් නිර්මාණය කලේ. ඒ (නුඹලාට) වර්ෂයන් හා කාලයන් නුඹලා දැනගැනීම පිණිස ය.

අල්කුර්ආනය 10-5

ඉහත වාක්‍යය තුල බොහෝ විශ්මිත කාරණයන් අල්ලාහ් (දෙවියන්) අන්තර්ගත කොට කථා කර ඇතත් අපගේ මාතෘකාවට අදාළව පමණක් මෙහිදී අවධානය යොමු කරමි. එම වාක්‍ය තුල අල්ලාහ් (දෙවි) ඉර හා හඳ මවා ඇත්තේ කාලය හා වර්ෂය ගණනය කිරීම පිණිසයි යනුවෙන් පවසයි. මෙම ඉස්ලාමීය ඉගෙන්වීම අනුව "ඉර" පමණක් හෝ "සඳ" පමණක් පදනම් කරගෙන "වර්ෂය" හා "කාලය" ගණනය කිරීම කළ නොහැක්කක් බව පැහැදිලි වේ. එම කාරණය හොදින් මතකයේ රඳවාගෙන පහත කාරණයන් එනම්, “දිනය”, “සතිය”, “මාසය” හා “වර්ෂය” යනාදිය පිළිබඳව ඉස්ලාමීය විග්‍රහය කුමක් ද? යන්න දැන් විමසා බලමු.

දිනය

දිනය යන්න විමසා බලන විට ඉස්ලාම් පවසන දිනය හා වර්තමාන ජාත්‍යන්තර දිනය යන දෙකෙහි කාල පරාසයේ වෙනසක් නැත. එනම්, එය ආසන්න වශයෙන් පැය 24ක් ම වේ. එය ‍එසේ වීමට හේතුව ජාත්‍යන්තර කාල නිර්ණය සේම ඉස්ලාමීය ක්‍රමයට ද කාලය ගණනය කිරීම සිදු කරන්නේ (ඉහත 10-5 කුර්ආන් වාක්‍යයේ සදහන් ආකාරයට) සූර්යයාගේ චලිතය පදනම් කරගෙන වීම ය. ඒ අනුව එහි පරස්පරතාවයක් ඇති නොවේ. කාලයේ වෙනසක් ඇති නොවූවත් දවසේ ආරම්භක මොහොත පිළිබඳව ඉස්ලාමීය විග්‍රහය වර්තමාන සමාජ භාවිතයේ තිබෙන ක්‍රමයට වඩා වෙනස් ආකාරයක් ගනී. ඒ පිලිබදව ද කෙටි විමසුමක් කරන්නේ නම්,

දවසේ ආරම්භය

වර්තමාන දින නිර්ණය කිරීම මනක්කල්පිත ජාත්‍යන්තර දින රේඛාවක් පදනම් කරගත් එකකි. එසේම රටක් ලෙස සැලකූ විට එය රටේ මධ්‍යම රාත්‍රියේ එනම් රාත්‍රී 12.00 ට නව දවස ආරම්භය සිදු වේ. නමුත් ඉස්ලාමීය ඉගෙන්වීම අනුව එය එසේ නොවේ. ඉස්ලාමීය ඉගෙන්වීම අනුව දවසේ ඇරඹුම සිදුවන්නේ සන්ධ්‍යාවේදී ය. මෙය බහුතර මුස්ලීම් ප්‍රජාව පවා නොදන්නා කාරණයකි. එයට හේතුවක් ද ඇත. එනම්, මේ වන විට ඔවුන් ජාත්‍යන්තර දින දර්ශනයන්ට අනුව කටයුතු කිරීමට පුරුදු පුහුණු වී සිටීමයි. කෙසේ වෙතත් මා ඉහතින් සඳහන් කාරණය තහවුරු කිරීමේ වගකීම දැන් මට පැවරී ඇති නිසාත්, මෙම ලිපියෙහි දීර්ඝ වීමද සැලකිල්ලට ගෙන ඒ සදහා ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් එක් සාක්ෂියක් පමණක් මෙහි ගෙනහැර දැක්වීමට අදහස් කරමි.

එම හදීසය මෙසේය...

වරක් මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බවට ආයිෂා (රලි) තුමිය මෙසේ පවසන ලදී.
“නුඹලා සිකුරාදා රාත්‍රිය ලැබුවේ නම් ජුම්මා සලාතය ඉටු නොකොට ගමන් බිමන් නොයන්න"

මූලාශ්‍ර ග්‍රන්ථය – අබී ශෙයිබා 5114

ඉහත හදීසය වෙත හොදින් අවදානය යොමු කලේ නම්, “ජුම්මා” සලාතය යනු සිකුරාදා දින මධ්‍යහ්නයේ සෑම මුස්ලීම්වරයෙකුම ඉටු කරන සමූහ සලාතයකි. එම සලාතය ඉටු කරන තුරු සිකුරාදා රාත්‍රියෙහි ගමන් නොයන ලෙස ඉහත හදීසය පවසයි. අද සමාජ භාවිතය හා ජාත්‍යන්තර දින ගණනය කිරීම අනුව දහවලින් පසුවයි එම දිනයට අදාල රාත්‍රිය උදාවන්නේ. සරලව පවසනව‍ා නම් සිකුරාදා දහවලින් පසුව සිකුරාදා රාත්‍රිය උදා වන්නේ. නමුත් ඉහත හදීසයේ “නුඹලා සිකුරාදා රාත්‍රිය ලැබුවේ නම් ජුම්මා සලාතය ඉටු නොකොට ගමන් නොයන්න” යන්න පැවසීම තුල ඉස්ලාමීය ක්‍රමයට රාත්‍රියෙන් පසුවයි දහවල හි උදා‍ව සිදුවන්නේ යන්න පැහැදිලි වේ. (මෙම කාරණය තහවුරු කරන හදීස් රාශියක් ඇති අතර එම හදීසයන් ද හොදින් අධ්‍යනය කලේ නම් මා ඉහතින් පවසන කාරණය වඩාත් හොදින් වටහා ගත හැක) මේ අනුව ඉස්ලාමීය ඉගෙන්වීම අනුව දවසේ ආරම්භය සිදුවන්නේ සවස් කාලයේ බව පැහැදිලිය.

සතිය

ඉස්ලාමීය දින දර්ශනයට අනුව සතියකට අයත් දින ගණන යන්න, වර්තමානයේ ජාත්‍යන්තරය තුල භාවිතයේ පවතින දින දර්ශනයට සෑම අතින්ම සමාන වේ. එනම් සතියකට දින 07ක් යන්නෙහි කිසිදු වෙනසක් නැත.

මාසය

වර්තමාන ජාත්‍යන්තර දින දර්ශනය "සුර්යයා හා පෘථිවිය" පදනම් කරගෙන නිර්මාණය වී තිබුණ ද, ඉස්ලාමීය දින දර්ශනයට පදනම් වී ඇත්තේ "පෘථිවිය හා චන්ද්‍රයා" ය. මේ නිසා ඉස්ලාමීය මාසය චන්ද්‍ර මාසය ලෙස ද ව්‍යවහාර වේ. මෙලෙස චන්ද්‍රයා පදනම් කරගෙන මාසය නිර්ණය කිරීම ඉස්ලාමීය දහමට පමණක් ආවේණික ලක්ෂණයක් නොවන බව ද මෙහිදී පැහැදිලිව වටහා ගතයුතුය. මන්ද ලොව බොහෝ පිරිස් මෙම ක්‍රමය අනුගමනය කර ඇති බව ඉතිහාසගත සාක්ෂි ලොවට කියාපායි. ආසන්නතම නිදසුන ලෙස ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය හැදින්විය හැක. ඔවුන්ගේ ද මාසය නිර්ණය කිරීමේ දී එයට පදනම් කරගන්නේ චන්ද්‍රයා ය. විශේෂයෙන් පෝය දින ගණනය කිරීමේදී මෙය වඩාත් හොදින් තහවුරු වේ. මේ අනුව සැලකුවද "චන්ද්‍රයා පදනම් කරගෙන මාසය ගණනය කිරීම" මුස්ලීම් ප්‍රජාවට පමණක් ආවේණික කාරණයක් නොවන බව පැහැදිලිය.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව නව සඳ දැකීමෙන් මාසය ආරම්භ වී මීළඟ නව සඳ දකින තුරු එම මාසය දීර්ඝ වේ. ඒ අනුව මාසයකට අදාල දින ගණන දින 29 හෝ 30 වේ. එනම්, කිසිදු අවස්ථාවක ජාත්‍යන්තර දින දර්ශනයේ මෙන් මාසයට දින 28 ක් හෝ 31 ක් යන්න ඇති නොවේ. මෙතැනදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් ඇත. එනම්, මාසයකට දින නිශ්චිත අගයක් එනම් 29 හෝ 30 යයි නොපවසා එය ඉහත දෙකෙන් එකක් යයි පැවසීමට හේතුවක් ඇත. එය පහත අල්හදීසය හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ වදනක් තුලින් ම පැහැදිලි කරන්නේ නම්,

“රමලාන් (උපවාසය රකින මාසය) හඳ දකින තුරු උපවාසය නොඅරඹන්න. (ඊලඟ මාසයට අදාළ) හඳ දකින තුරු උපවාසය අත් නොහරින්න. වලාකුළු හේතුවෙන් හඳ නොපෙනුනේ නම්, එම මාසය දින 30 ලෙස පූර්ණ කරන්න”

ඉහත හදීසයට අනුව මාසයේ 29 වන දින නව සඳ බැලීම සෑම මුස්ලීම්වරයෙකුටම අනිවාර්‍ය වන අතර කිසියම් (එනම් අධික වලාකුළු වැනි) හේතුවක් නිසා නව සඳ නොදුටුවේ නම් එම මාසය දින 30ක් ලෙස පූර්ණ කළ යුතුයි යන්න ඉස්ලාමීය මඟපෙන්වීමයි. ඉහත නව සඳ බැලීම සමස්ථ මුස්ලීම් සමාජයටම අනිවාර්‍ය වුවත් එය කිසියම් කෙනෙකු දැක දැනුම් දුන්නේ නම් ඒ අනුව සමස්ථ මුස්ලීම් සමාජයම ක්‍රියා කිරීමද අනිවාර්‍ය යන්නත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. මෙය ඉස්ලාමීය මාසය නිර්ණය කිරීම සදහා ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට පෙන්වාදෙන ක්‍රමවේදයයි.

ඉස්ලාම් දහම මඟපෙන්වන මෙම ක්‍රමවේදය තරමක සංකීර්ණ එකක් ලෙස මේ රටේ මුස්ලීම් නොවන සමාජයට සිතෙන්නට පුළුවන. එයට හේතුව මාසයේ මුල් දිනය නිර්ණය කිරීම ප්‍රායෝගික නොවීම හා සමස්ථ සමාජයට නව සඳ පණිවුඩය නොලැබීම යන්නයි. නමුත් ආසන්න වශයෙන් නිර්මාණය කළ ඉස්ලාමීය දින දර්ශනයක් සමාජ භාවිතයේ පැවතීම, සමස්ථ මුස්ලීම් සමාජයම නව සඳ දැකීම ජීවිතයේ එක් අංගයක් ලෙසගෙන සිටීම, ලොව ඕනෑම තැනක නව සඳ දුටු විට ඊළඟ මොහොතේ දී සමස්ථ මුස්ලීම් ප්‍රජාවටම එම පණිවුඩය දැනුම් දීමේ සාර්ථක සන්නිවේදන ක්‍රමවේද සකස් වී තිබීම වැනි හේතු නිසා මෙහි කිසිදු සංකීර්ණතාවයක් මුස්ලීම් ප්‍රජාව තුල නැත.

නමුත් මේ කිසිවක් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති සමහරක් අන්‍ය ආගමික සමාජ පිරිස් "අල්ප දැනුමේ අදෝනාව" සුපුරුදු පරිඳි පුර්ව නිගමනවල හිද තම විවේචන ඉදිරිපත් කිරීම දකින්නට ලැබේ. එවැනි පිරිස් ඉදිරිපත් කරන සමහරක් විවේචන හාස්‍ය උපදවන සුළුය. එයට කඳිම නිදසුනක් මා ඔබට පවසන්නම්,

මෙය ශ්‍රී ලාංකීය ජනප්‍රිය පුවත්පතක් වන “දිනමිණ” පුවත්පත එක්තරා අවස්ථාවක තම ලිපියක් තුල ඉදිරිපත් කොට තිබූ සටහනකි.

“…ඉස්ලාම් දහමට අනුව හඳ උත්තරීතර වස්තුවකි, එහි දෙවියන්ගේ වාසස්ථානය ඇති බව ඔවුන්ගේ පිළිගැනීම වේ…”

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පුවත්පතක් සේම රටේ වගකිවයුතු මාධ්‍ය ආයතනයක් මේ ආකාරයට "ගජබින්නක්" පැවසීම කොතරම් දුරට සාධාර්ණද? යන්න තීන්දු කිරීම රටේ ජනතාවටම භාර කරමි. එම කරුණු ලියන තැනැත්තා විෂය පිළිබඳව අවබෝධයකින් තොරව ලිව්වත් මෙම පුවත්පතේ කතෘට මේ පිළිබඳව සොයා බලන්න වගකීමක් තිබුණා නොවේද?. මා මීට වඩා ඒ ගැන කිසිවක් පවසන්නට උත්සාහ නොකර නැවත මාතෘකාවට යොමු වන්නේ ඉස්ලාමයට එරෙහිව ශ්‍රී ලාංකීය මාධ්‍ය සදාචාරය මා මීට පෙරත් කිහිප අවස්ථාවක මෙම වෙබ් අඩවිය තුල කරුණු සහිතව කථා කොට ඇති නිසාය.

මෙතෙක් සාකච්චා කල කරුණුවලට අනුව ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසය නිර්ණය කිරීම හද පදනම් කරගෙන සිදුවන නිසා එම මාසයට දින 29ක් හෝ 30 යන්න පැහැදිලිය. මෙැතනදී මුස්ලීම් සමාජයට අවධාරණය කළ යුතු කාරණයක් ඇත. එනම් වර්තමාන මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් උපවාසය ආරම්භ කිරීමටත්, අවුරුදු උත්සව දිනය තීරණය කිරීමටත් පමණක් මෙම නව හඳ බැලීම පුරුද්දක් කරගෙන සිටීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියා පිලිවෙතකි. ඉස්ලාමීය මාසයේ දින වැදගත් වන්නේ ඉහත කාරණා දෙකට පමණක් නොවේ. මුස්ලීම් සමාජයේ ඉස්ලාමීය නීතිරීති අනුගමනය කිරීමේදීත් මෙම මාසය නිවැරදිව ගණනය කිරීම වැදගත්‍ වේ. නිදසුක් ලෙස ඉස්ලාම් “ඉද්දා” කාලය නිර්ණය කිරීමේ දී එය නිර්ණය කළ යුත්තේ චන්ද්‍ර මාසයට අනුව මිස ජාත්‍යන්තර දින දර්ශකයට අනුව නොවේ. එම නිසා මෙම කාරණය එනම් සෑම මසකම නව සඳ බැලීම පිළිබඳව මුස්ලීම් සමාජය හොද අවබෝධයකින් පසුවිය යුතුය යන්න මෙහිදී අවධාරණය කරමි.

වර්ෂය

මෙයයි අපගේ මාතෘකාවේ ප්‍රධාන කොටස. ඒ ඉස්ලාමීය දින දර්ශකයට අනුව වර්ෂය නිර්ණය කරන්නේ කෙසේ ද? යන්නයි. ජාත්‍යන්තර දින දර්ශනයට අනුව වර්ෂය මාස 12 ක් පදනම් කරගෙන නිර්ණය කරන විට ඊට තරමක් සමාන ලෙස ඉස්ලාම් දහම ද ශුද්ධ වූ කුර්ආනයේ (9-36) වාක්‍යය මඟින් වර්ෂයකට මාස ‍12 ක්ම යන්න මීට වසර 1400 කට පෙරම පහත ආකාරයට අවධාරනය කරයි, එනම්,

“අහස හා පොලොව මැවූ දා පටන් අල්ලාහ් (දෙවියන්) හමුවේ (වර්ෂයකට) මාස ගණන 12 කි”

ඉහත කුර්ආන් වාක්‍යයට අනුව ඉස්ලාමීය වර්ෂයටත් මාස 12 ක් යන්න පැහැදිලිය. එපමණක් නොව එම මාස 12 සදහා නම් 12 ක් ද ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට හදුන්වා දී ඇත. එය පිළිවෙලට පහත ආකාරයට වේ.

  1. මුහර්රම් මාසය
  2. සෆර් මාසය
  3. රබියුල් අව්වල් මාසය
  4. රබියුල් ආහිර් මාසය
  5. ජමාතුල් අව්වල් මාසය
  6. ජමාතුල් ආහිර් මාසය
  7. රජබ් මාසය
  8. ෂහ්බාන් මාසය
  9. රමලාන් මාසය
  10. ෂව්වාල් මාසය
  11. දුල්කහ්දා මාසය
  12. දුල්හජ් මාසය

මේ ආකාරයට වර්ෂයකට මාස 12 ක් ලෙස ඉස්ලාම් දහම ද හදුන්වා දුන්නත් මෙහි ඇති ගැටළුව නම් ඉස්ලාමීය වර්ෂයකට දින කීයක් අයත් වෙනවාද? යන්නයි. චන්ද්‍රයා පදනම් කරගෙන මාසය ගණනය කිරීම සිදු කරන නිසා මා ඉහතින් සදහන් කළා සේ නිශ්චිත පිලිතුරක් එකවර සැපයීම කල නොහැක්කකි. එය දළ වශයෙන් පහත ආකාරයට ගණනය කල හැක.


  • ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසයකට උපරිම දින 30කි. වර්ෂය තුළ සෑම මාසයක්ම දින 30 න් අවසන් වුවා යැයි උපකල්පනය කලේ නම්, වර්ෂයට දින
30 x 12 = 360
  • ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසයකට අවම දින 29කි. වර්ෂය තුල සෑම මාසයක්ම දින 29න් අවසන් වුවා යයි උපකල්පනය කලේ නම්, වර්ෂයට දින
29 x 12 = 348

ඉහත ගනනය කිරීමට අනුව පැහැදිලි ලෙස එක් කාරණයක් සදහන් කල හැක. එනම් වර්තමානයේ ජාත්‍යන්තරය තුල භාවිතා කරන වර්ෂයකට දින 365 යන්න ඉස්ලාමීය දින දර්ශනය කිසිවිටෙකත් අභිබවා නොයන බවයි. ඒ අනුව ඉස්ලාමීය වර්ෂය ජාත්‍යන්තරය තුල භාවියේ පවතින වර්ෂය (එනම් ක්‍රිස්තු වර්ෂය) ට වඩා අඩු දින ගණනක් පවතින බව පැහැදිලි වේ. එසේනම්, සැබැවින්ම ඉස්ලාම් පවසන (චන්ද්‍රයා පදනම් කරගත්) වර්ෂය සදහා දින කීයක් තිබෙනවා ද? යන්න විමසා බලමු.

සුර්යයාට සාපේක්ෂව පෘථිවියේ චලිතය පදනම් කරගෙන දින, මාස හා වර්ෂ වර්තමානයේ තීරණය වුවද ඉස්ලාමීය දිනය, මාසය හා වර්ෂය තීරණය වන්නේ සුර්යයාට සාපේක්ෂව පෘථිවිය හා චන්ද්‍රයාගේ චලිතය පදනම් කරගෙන යන්න ඉහතින් විමසා බැලුවෙමු. ඒ අනුව පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කිරීමට ගතවන කාලය චන්ද්‍ර මාසය හෙවත් ඉස්ලාමීය මාසයක් ලෙස හැදින්වේ. මේ සදහා ගතවන කාලය වර්තමාන ගණනය කිරීමන්ට අනුව දින 29 යි පැය 12 යි විනාඩි 44 ක් වේ. ඉහත සදහන් (9-36) ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව වර්ෂයකට මාස 12 ක් නිසා වර්ෂයකට දින ගණන වන්නේ

  • මසක අයත් කාලය – දින 29 පැය 12 විනාඩි 44 යි
  • ආසන්න වශයෙන් – දින 29.5
  • වර්ෂයකට අයත් දින – 29.5 x 12 = 354

ඉහත ගණනය කිරීමට අනුව ඉස්ලාමීය දින දර්ශනයේ වර්ෂයකට අයත් දින ගණන වන්නේ දින 354 කි. එය වර්තමාන දින දර්ශනයට (දින 365) අනුව පවතින දින ගණන හා සලකන විට දින 11 ක වෙනසකි. මේ අනුව ඉස්ලාමීය වර්ෂය හා ක්‍රිස්තු වර්ෂය අතර දින ගණනාවක පරතරයක් පවතින බව පැහැදිලි වේ. මෙම ස්ථානයේ දී පාඨක ඔබේ අවධානයට ඉහත විෂයට අදාලව අල්කුර්ආනය කථා කරන "ගුහා වාසීන් එම ගුහාව තුල රැදී සිටී කාලය" පිලිබදව හෙලි කරන අල්කුර්ආනය 18-25 හි විශ්මිත අනාවර්ණයක් වත්මන් දින දර්ශනය සහ ගුහා වාසීන් විසූ කාලය යන ලිපිය තුලින් ඔබට කියවීමට පුළුවන.

එම කාරණය ඔබේ අමතර අවදානයට තබමින් නැවතත් මාතෘකාවට අවධානය යොමු කලේ නම්, දැන් ඉස්ලාමීය දින දර්ශනය හා වර්තමානයේ ලොව භාවිත වන දින දර්ශනය අතර ඇති වෙනස මනාව ඔබට පැහැදිලි වනු ඇත. නමුත් එහි ප්‍රශ්නයක් ද ඉතිරිව ඇත. ඒ වර්තමාන ලොව පිලිගෙන සිටින දින දර්ශනය “ක්‍රිස්තු වර්ෂ” නමින් යේසුස් තුමාගේ උපත පදනම් කරගෙන හදුන්වයි. ඒ අනුව මේ ගෙවී යන්නේ ක්‍රිස්තු වර්ෂ 2010 යි. ඒ ආකාරයට ඉස්ලාමීය දින දර්ශනය සදහා නමක් තිබෙනවා ද? එය කුමක් පදනම් කරගෙන නිර්මාණය වී තිබෙනවා ද? යන්නයි. මෙම කාරණය ද නිවැරදි ලෙස අවබෝධ කර ගැනීම ඉහත මාතෘකාව පූර්ණ ලෙස සාකච්චාවීමක් වන බැවින් ඒ පිලිබදව දැන් අවදානය යොමු කරමු.

ඉහතින් සදහන් ආකාරයේ වර්ෂ නම් කිරීමක් ආරම්භක මුස්ලීම් මුස්ලීම් සමාජය තුල නොපැවතුණි. එවැනි වර්ෂ නම් කිරීමක අවශ්‍යතාවයක් මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවය දක්වා මුස්ලීම් සමාජයට පැවතුණේ ද නැත. එමනිසා සමාජයේ සුවිශේෂි සිදුවීමන් පදනම් කරගෙන ඒ ඒ කාලවල එම වර්ෂයන් නම් කිරීම සිදු කරන ලදී. උද‍ාහරණයකට වරක් “කව:බාව” (ශුද්ධ වූ දේවස්ථානය) විනාශ කිරීමට ඇත් සේනාවක් පැමිණීම හේතුකොට ගෙන එතැන් පටන් ඉදිරි වර්ෂ “ඇත් වර්ෂ” යනුවෙන් හදුන්වන ලදී. (ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන් උපදින්නේ 01 වැනි ඇත් වර්ෂයේදී ය.) මේ ආකාරයට වර්ෂය ගණනය කිරීම පැවත ආවද මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු දෙවන පාලකයා වූ උමර් (රලි) තුමාගේ කාලයේ මුස්ලීම් සමාජයෙන් “මුස්ලීම්වරුන් සදහා වූ දින දර්ශනයක් අවශ්‍යයි” යන අදහස් ඉදිරිපත් වන්නට වි‍ය. ඒ සදහා විවිධ යෝජනා ද ඉදිරිපත් වන්නට විය. ඉන් කිහිපයක් මෙහි පහතින් සදහන් කරන්නේ නම්,

  • මුහම්මද් (සල්) තුමාගේ උපත පදනම් කරගෙන එතැන් පටන් ගණනය කිරීම.
  • මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවය පදනම් කරගෙන එතැන් පටන් ගණනය කිරීම.
  • මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවියන්) ගේ දූතයා බවට පත් වූ සිදුවීම් පදනම් කරගෙන එතැන් පටන් වර්ෂය ගණනය කිරීම.
  • මුහම්මද් (සල්) තුමාණන් තම උපන් බිම අතහැර ඉස්ලාම් විරෝධීන්ගෙන් දිවි බේරාගෙන මක්කාවේ සිට මදීනාවට පලා ගිය "හිජ්රත්" නම් සිදුවීම පදනම් කරගෙන එතැන් පටන් වර්ෂය ගණනය කිරීම.

මේ ආකාරයට යෝජනා විශාල සංඛ්‍යාවක් අතුරින් අවසානයේ දී “මුහම්මද් (සල්) තුමාණන් තම උපන් බිම අතහැර ඉස්ලාම් විරෝධීන්ගෙන් දිවි බේරාගෙන මක්කාවේ සිට මදීනාවට පලාගිය සිදුවීම (හෙවත් ‘හිජ්රතය’) පදනම් කරගෙන එතැන් පටන් ගණනය කිරීම” යන්න තීන්දු විය. මෙයට විශේෂ හේතුවක් ද ඇත. ඒ ඉස්ලාමීය ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස මුහම්මද් (සල්) තුමාණන් තම උපන් බිම වන මක්කාව අතහැර මදීනාවට පලායාම සදහන් කළ හැකි වීම ය. මෙය අරාබි භාෂාවෙන් “හිජ්රත්” යැයි පවසයි. මෙය මුස්ලීම් සමාජය මුහුණ පෑ අවාසනාවන්ත එසේත් නැත්නම් පරාජිත අවස්ථාවක් ලෙස පෙනුණද මෙම ගමන "ඉස්ලාම් දහම යළි කිසිදු දිනක විනාශ කළ නොහැකි ස්ථාවරයකින් ගොඩනැඟෙන්න හේතුවක් විය".

ඒ අනුව මුස්ලීම්වරුන් වර්ෂය නම් කරන ලද්දේ “හිජ්රි” යනුවෙන් වන අතර ප්‍රථම වර්ෂය හිජ්රි 01 යනුවෙන් නම් කරන ලදී. ඒ අනුව මේ ආරම්භ වී ඇත්තේ (ක්‍රි:ව: 2010) හිජ්රි 1432 වන වර්ෂයයි. එසේම ඉස්ලාමීය ක්‍රමයට වසරේ මුල් මාසය “මුහර්රම්” නම් මාසය වන නිසාත් ඉස්ලාමීය නව වසර හිජ්රි 1432 මුහර්රම් මාස 01 වන දිනයෙන් ආරම්භ වේ. ඒ අනුව වර්තමාන ජාත්‍යන්තර දින දර්ශනයට අනුව එම දිනය 2010 දෙසැම්බර් මස 07 වන දිනට යෙදී ඇත. ඒ අනුව මේ උදා වී ඇත්තේ මුස්ලීම් සමාජයේ නව වසරයි.

නමුත් ඉස්ලාමීය නව වර්ෂයක උදාව වෙනුවෙන් කිසිදු ආකාරයක විශේෂිත ක්‍රියාවක් හෝ උත්සවාකාර සැමරුමක් ඉස්ලාම් දහම පෙන්වාදී නැත. මා එසේ පවසන්නට හේතුව නව වසරක උදාව පිළිබඳව ඉස්ලාමීය ස්ථාවරය නම් එය “තවත් දිනයක් හෝ වසරක අවසානයක් මිස සැමරිය යුතු දිනයක් නොවේ” යන්නයි. එය ඉහත දෙසැම්බර් 07 දින ලොව පුරා සිටින මුස්ලීම් ජනත‍ාව මුහර්රම් 01 දින (2010 දෙසැම්බර් මස 07 වැනිදා) නොසැමරීම තුල මනාව පිලිඹිබු වේ. එසේ තිබිය දී ජාත්‍යන්තර වශයෙන් පිලිගැනෙන ඇති යේසූස් තුමාගේ උපත පදනම් කරගත් නව වසර උදාව අනිකුත් සමාජයන් උත්සවාකාරයෙන් සැමරීම, ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහම පෙන්වා නොදෙන වැරදි ආදර්ශයක් යන්න අවසාන වශයෙන් මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට තබමින් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම