නව සඳ දැකීම හා උපවාසය ඇරඹීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


නව සඳ දැකීම හා උපවාසය ඇරඹීම
නව සඳ දැකීම හා උපවාසය ඇරඹීම

උපවාස සමය උදාවත් සමඟ මුස්ලීම් සමාජය තුල කාලීන මාතෘතාවක් වන්නේ ‘හඳ දැකීම හා උපවාසය ඇරඹීම’ යන්නයි. මේ හේතුව නිසාම ඒ පිලිබදව අද දින යහමග වෙබ් අඩවිය තුල අවධානය යොමු කිරීමට අදහස් කරමි. මෙම මාතෘකාව සාකච්චාවට ගැනීමට ප්‍රධාන හේතූන් දෙකක් ඇත. එනම්,

මුස්ලීම් සමාජයේම ඉතා සුළු පිරිසක් උපවාසය අරම්භ කිරීමේ දී, ඒ සදහා අනුගමනය කරන වැරදි ක්‍රමවේදයන්ය. එම උපවාසය ඇරඹීමට මුස්ලීම්වරුන් අනුගමනය කරන ක්‍රමවේදයන් පිලිබදව ශ්‍රී ලාංකීය අන්‍ය ආගමික ප්‍රජාවට තිබෙන අනවබෝධය වැරදි ආකල්පයන්ය.

ඉහත වැරදි ක්‍රමවේදයන් හා ආකල්පයන් පිලිබදව කිසියම් පැහැදිලි කිරීමක් ලබාදීම පිණිස ඉදිරිපත් කරන මෙම ලිපිය ආරම්භයේ ශ්‍රී ලාංකීය අන්‍ය ආගමික සහෝදර ජනතාවට මෙම “නව සඳ දැකීම හා උපවාසය ඇරඹීම” යන කාරණය සරලව පැහැදිලි කරන්නේ නම්, ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසය ගණනය කිරීම සිදුවන්නේ හඳ හි චලිතය හා එහි පිහිටීම පදනම් කරගෙනය. (මේ විෂය පිලිබදව දීර්ඝ ලෙස මීට පෙර “නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය” යන මාතෘකාව ඔස්සේ මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත) මෙම හඳේ පිහිටීම අනුව මාසය නිර්ණය කිරීම යන්න ඉස්ලාම් ආගමට හෝ මුස්ලීම් සමාජයට පමණක් ආවේනික අංගයක් නොවේ. ශ්‍රී ලංකීය බහුතරයක් පිලිපදින බෞද්ධයන් පවා බෞද්ධ ක්‍රමයට මාසය ගණනය කරනු ලබන්නේ මේ හඳේ පිහිටීම පදනම් කරගෙනය. මේ හේතුව නිසා තමා පෝය දිනයන් හඳ පිහිටීම අනුව නිර්ණය වන්නේ. නමුත් මේ පිලිබදව නිසි අවබෝධයක් නොමැති සමහරක් බෞද්ධයින් පවා ඉස්ලාමීය චන්ද්‍ර මාස ක්‍රමය විවේචනය කිරීම හාස්‍ය ජනක කාරණයකි. මෙහි දී සදහන් කලයුතු විශේෂ කාරණයක් ඇත. එනම් බෞද්ධ සමාජයේ කිසියම් විද්වත් කණ්ඩායමක් නිර්මාණය කරදුන් චන්ද්‍ර මාස දින දර්ශනය අනුව වර්ෂය පුරාවට එය අනුගමනය කරමින් ඔවුන් ක්‍රියාකලද ඉස්ලාම් දහම චන්ද්‍ර මාසයේ ආරම්භය නිර්ණය කිරීම සදහා මුල් හඳ දැකීම මුස්ලීම් සමාජයට උනන්දු කරවයි. මේ නිසා ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයට සාපේක්ෂව මුස්ලීම් සමාජය නව හඳ නැරඹීමට දැඩි උනන්දුවක් දක්වීම පුදුමයට හෝ කුතුහලයට කාරණයක් නොවේ. එය ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව කුසල් ගෙන දෙන ක්‍රියාවක්ද වේ. මේ ආකාරයට මුල්හඳ දැකීමට උනන්දු කරවන ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව අවබෝධයක් නොමැති සමහරක් පිරිස් ඉස්ලාම් දහමට එරෙහිව ඉදිරිපත් කරන විවේචනයන් දෙස බලනවිට ඔවුන් කොතරම් අනවබෝධයෙන් එවන් ක්‍රියාවල නිරත සිටිනවාද? යන්න සිතේ. එයට නිදසුනක් පවසනවා නම්, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පුවත්පතක් වන “දිනමිණ” පුවත්පතේ මීට කලකට ඉහත පලවූ “සාහස්‍රය” නම් ගවේෂණාත්මක ලිපියේ එක්තරා තැනක එහි කතෘ සදහන් කර තිබුණේ පහත ආකාරයටය. එනම්,

“…ඉස්ලාම් දහමට අනුව හඳ උත්තරීතර වස්තුවකි, එහි දෙවියන්ගේ වාසස්ථානය ඇති බව ඔවුන්ගේ පිලිගැනීම වේ…”

ඉහත ආකාරයේ වූ අදහස් දැක්වීමන් මුස්ලීම් සමාජයට එක් පසෙකින් හාස්‍යය උපදවන අතර ඉස්ලාම් කිසිදු විටෙක නොපවසන ඉස්ලාමීය මූලික ඉගෙන්වීමන්ට පවා පරස්පර වූ එවැනි අදහස් දැක්වීම් දැක එවන් පිරිස් පිලිබදව පිලිකුලක් ද ඇති වේ. මෙවන් වූ සමාජ පසුබිමක මෙවැනි ලිපියක් ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවයක් යන්නෙහි දෙවැනි මතයක් කිසිවකුටත් පැවතිය නොහැක.

දැන් මෙම ලිපියේ මීලඟ අරමුණ මෙන්ම මුඛ්‍ය අරමුණ වන “රමලාන් මාසය උදාව ඉස්ලාමීය ක්‍රමයට නිර්ණය කරන්නේ කෙසේද?” යන කාරණය වෙත අවධානය යොමු කලේනම්, එහි මුස්ලීම් සමාජය තුල කිසියම් ආකාරයක මතභේදයන් ද ඇති බව අමතක නොකලයුතුය. එම කාරණයට යොමු වීමට ප්‍රථම සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් මුස්ලීම් සමාජයට මතභේදයක් පවතින්නේ රමලාන් මාසය ආරම්භ කිරීම සම්බන්ධයෙන් හෝ මාසය ආරම්භ කලයුත්තේ හඳ පදනම් කරගෙනද? යන කාරණයේ නොවේ. සමස්ථ මුස්ලීම් සමාජයම චන්ද්‍ර මාස ක්‍රමය ඒකමතිකව අනුමත කරයි. ඒ අනුව ඉස්ලාමීය ක්‍රමයට 9 වන මාසය වන “රමලාන්” (උපවාසය රකින) මාසයත් චන්ද්‍ර මාසය අනුවම තමා නිර්ණය වියයුත්තේ යන්නෙහි විරුද්ධ මතයක් මුස්ලීම් සමාජයේ නැත. මතභේදය ඇත්තේ මෙම චන්ද්‍ර මාසය නිර්ණය කරන්නේ කෙසේද? යන කාරණයේදී පමණි. එනම්,

1මාසයේ මුල (චන්ද්‍රයාගේ පිහිටීම) ගණනය කිරීම මඟින් හදුනා ගතයුතුයි 2ලොව කුමන රටක මුල් හඳ දුටුව ද එය මුළු ලොවටම පොදු වියයුතුයි 3කිසියම් රටක දකින මුල් හඳ එම රටට පමණක් සීමා වියයුතුයි 4(එකම රට තුල පවා) කිසියම් ප්‍රදේශයක දකින හඳ එම ප‍්‍රදේශයට පමණක් වලංගු වියයුතුයි ඉහත ප‍්‍රධාන මතවාද 04 ට අමතරව තවත් අනු වාදයන් ද මුස්ලීම් සමාජය තුල සුළු වශයෙන් දක්නට ඇත. කෙසේ වෙතත් නිවරැදි ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න පැහැදිලිව හදුනාගැනීම තුල ඉහත මතවාදයන් හා දුර්මතයන් මෙන්ම මෙහි සදහන් නොවූ අනිකුත් මතවාදයන් සියල්ල අවලංගු වී යනු ඇත යන්න මාගේ විශ්වාසයයි. ඒ අනුව ඉස්ලාමීය මාසය ආරම්භ කිරීමේ දී ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශය කුමක්ද? යන කාරණය වෙත අවධානය යොමු කරමු. එහිදී එය ඉස්ලාමීය මූලාශ්‍රයන් හෙවත් දිව්‍යමය මඟපෙන්වීමට යටත් විමසා බැලීම අත්‍යඅවශ්‍ය කාරණයකි. එනම් “ඉස්ලාම්” යයි පැවසෙන කාරණය දිව්‍යමය වදන් වන ශුද්ධ වූ කුර්ආනයේ (හෝ/හා) හදීසයේ සදහන් වී තිබීම අත්‍යඅවශ්‍ය වේ. ඒ අනුව ඉස්ලාමීය ආදර්ශය විමසා බැලුවේ නම්,

රමලාන් මාසය (උපවාසය) ආරම්භ කිරීම හා අවසන් කීරීම සම්බන්ධයෙන් මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගය පහත හදීසයන් තුලින් නබිතුමාණන් ඉතා පැහැදිලි ලෙස මෙසේ පවසයි. එනම්,

“රමලාන් හඳ දකිනා තුරු නුඔලා උපවාසය නොඅරභන්න හඳ දකිනා තුරු උපවාසය අත්නොහරින්න නුඔලාට, වලාකුළු හේතුවෙන් (එදින) හඳ නොපෙනුනේ නම් (මාසය දින 30 සේ) පූර්ණය කරගන්න.”

මූලාශ්‍ර ග්‍රන්ථය : බුහාරී

“රමලාන් හඳ දකිනා තුරු නුඔලා උපවාසය නොඅරභන්න හද දකිනා තුරු උපවාසය අත්නොහරින්න නුඔලාට වලාකුළු නිසා එදා හඳ නොපෙනුනේ නම් එම මාසය දින 30 ලෙස සලකන්න. එසේත් නැත්නම් (හඳ දුටු බවට) සාක්‍ෂි 02 ලැබුනේ නම් ඒ අනුව ක‍්‍රියා කරන්න.”

මූලාශ්‍ර ග‍්‍රන්ථය – නසායි

ඉහත හදීසයන් 02 දෙස බැලීමේදී මා ඉහතින් සදහන් කලාසේ නව හඳ බැලීම සෑම මුස්ලීම්වරයෙකුට අනිවාර්‍ය බව පැහැදිලිය. එසේම හඳ දැකීමෙන් හෝ (හඳ නොදුටු නිසා) ගෙවීයන මාසය දින 30ක් ලෙස පුර්ණ කිරීමෙන් පසුව තමා නව මාසය ආරම්භ කලයුතු වන්නේ යන්නත් පැහැදිලිය. එසේම සමස්ථ මුස්ලීම් සමාජයටම නව හඳ බැලීම අනිවාර්‍ය වුවත් තමන් නොදුටු හඳ වෙනත් කවුරුන් හෝ දැක එම සාක්ෂි ලැබුණේ නම් එය පිලිගතයුතු යන්නත් ඉහත දෙවන හදීසය අනුව පැහැදිලිය. ඒ අනුව හඳ නොදුටුවත් හද දුටුවන් දෙදෙනෙකුගේ සාක්‍ෂි පදනම් කරගෙන උපවාසය ආරම්භකල හැකි බවද ඉහත හදීසයෙන් පැහැදිලිය. එසේ නම් සියළු දෙනාටම හද බැලීම අනිවාර්‍ය වුවත් දෙදෙනෙකු එම හඳ දුටුවේ නම් උපවාසය ආරම්භ කිරීමට එය ප‍්‍රමාණවත් බව ද මින් තහවුරුවේ. ඉහත එම හදිසය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉස්ලාමීය විද්වතෙකු වන ඉබුනුතයිමියා (රහ්) තුමා “හඳ බැලීම සෑම කෙනෙකුටම කල නියෝගයක් නොවේ. එය ‘ෆර්ලු කිෆායා’ වේ” යනුවෙන් පවසයි. මේ අනුව ඉස්ලාමීය ක්‍රමයට නව මාසයක් ඇරඹීමට නව හඳ දැකීම යන්න සෑම කෙනෙකුටම අනිවාර්‍ය අවශ්‍යතාවයක් නොවන බවත්, සාක්ෂිමත පදනම්ව නව මාසය ඇරඹිය හැකි බවත්, ගණනය කොට නිර්ණය කිරීමට කිසිදු අවසරයක් අනුමැතියක් දහම තුල නොමැති බවත් පැහැදිලි වේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම