නිර්මාංශ ප්‍රශ්න – ඔබම විසඳා ගැනීම පිණිසයි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


නිර්මාංශ ප්‍රශ්න
නිර්මාංශ ප්‍රශ්න

‘වර්ථමානයේ බෞද්ධ යැයි කියා ගන්නා මේ සමාජයෙහි බොහෝ ගිහි පැවිදි පින්වතුන් ගේ සාමාන්‍ය ස්වභාවය නම් ඕනෑම දෙයක් පිලිබදව නො විමසා අවිචාරවත් ව නිගමනයන්ට බැසගැනීමයි. එසේ බැසගත් අවිද්‍යා සහගත මතවල පැටලී අනුන්ට ගැරහීමෙන් ඔවුහු අමුතු ම අස්වභාවික තෘප්තියක් ලබයි.

එනිසා ම බොහෝ දෙනෙකුට නිදහස් චින්තනයක් නැත. මධ්‍යස්ථව කරුණූ විමසා බැලීමක් ද නැත. එසේ විමසා බැලීමේ හැකියාවක් ද නැත. බොහෝ දැනමුතුකමින් යුතු යැයි සිතාගෙන සිටිනා ඔවුන් තුළ තිබෙන්නේ නො දැනීම ම බව ඔවුනට නොපෙනෙන්නේ අවිද්‍යාව නිසා ම ය. සුළු කරුණකිනුත් විවිධ අදහස් වැළද ගෙන එහි ම තරව වැදී සිටිමින් තම මතවාද හුවාදැක්වීම ඔවුන් තුළ දක්නට ලැබෙන සාමාන්‍ය ලක්ෂණය යි…’

ඉහත කරුණූ දැක්වීම කියවන ඔබ තුල බොහෝ කුතුහලයන් දැනටමත් ඇති වී තිබෙනු නො අනුමානය. එම නිසා මෙහි ප්‍රථමයෙන් ඔබේ අවධානයට ගෙනආයුතු කාරණය වන්නේ, ඉහතින් මා ඉදිරිපත් කොට ඇති කරුණු දැක්වීම මාගේ පුද්ගලික අදහසක් නොවන බවත්, එය එක්තරා සහෝදරයෙකු විසින් මාහට ලබාදුන් ‘නිර්මාංශ ප්‍රශ්න’ නම් කිර්බත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් රචිත කෘතියෙහි පෙරවදනින් කොටස බවත්ය. ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ සැලකිය යුතු පිරිසක් නිර්මාංශ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් මාංශ අනුභවයේ නිරත වන පිරිස් දැඩිව විවේචනය කිරීම වර්ථමානයේ සුලබ දසුනකි. මේ හේතුව නිසාම විටින් විට අප රට තුල උණූසුම් වාතාවර්ණයන් නිර්මාණය වූ අවස්ථාවන් ද අපගේ මතකයේ නැතුවා නොවේ. විශේෂයෙන් මාංශ වර්ග ආහාරය පිණීස ගැනීමට අවසර ලබාදී ඇති ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ද අප රට තුල වෙන කවරදාකටත් වඩා වැඩියෙන් උණූසුම් සංවාදයන් ප්‍රසිද්ධීයේ හා අප්‍රසිද්ධීයේ සිදුවෙමින් පවතිනවා යන්නත් ප්‍රසිද්ධ රහසකි. මේ හේතුව නිසාම ‘යහමග’ අඩවිය පවා මෙම විෂය සම්බන්ධයෙන් ‘තවත් කථා කිරීමට කිසිවක් නැත’ යයි සිතෙන තරමට විවිධ පැති ඔස්සේ ලිපි ගණනාවකින්ම කරුණූ සාකච්චා කොට ඇත. එවන් ලිපි කිහිපයක් ඔබේ මතකයට ගෙන එන්නේ නම්,

මෙලෙස මා දීර්ඝ ලෙස හා ගැඹූරින් විවිධ පැති ඔස්සේ කරුණූ ඉදිරිපත් කොට තිබුණත්, ඒ සියල්ලට වඩා බෞද්ධ සමාජයේ දැඩි ගෞරවයට හා සැලකිල්ලට පාත්‍රව සිටින ‘කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ’ මේ විෂය පිලිබදව දක්වන අදහස් බෞද්ධ සමාජයේ දැඩි අවධානයක් දිනා ගනු ඇතැයි සිතන නිසා උන්වහන්සේ විසින් රචිත ඉහත සදහන් ‘නිර්මාශ ප්‍රශ්න’ නම් කෘතියෙන් කරුණූ කිහිපයක් පාඨක ඔබේ බුද්ධිමත් අවධානයට ගෙන එන්නට අදහස් කරමි. මේ ආකාරයට උන්වහන්සේගේ කෘතිය තුලින් මෙම විෂය පිලිබදව කරුණූ ගෙනහැර දැක්වීමට විශේෂිත වූ හේතුවක් ද ඇත. ඒ උන්වහන්සේ කාලයක් මුළුල්ලේ ‘නිර්මාංශ ප්‍රතිපත්තිය’ ශ්‍රී ලාංකීය සමාජය තුල වැපිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීමය. (අදටත් නිර්මාණ ප්‍රතිපත්තිය සමාජය තුල ස්ථාපනය කරන්න දැඩිව කටයුතු කරන) එක්තරා පුද්ගලික රූපවාහිනි නාලිකාවක් තුල මෙම ස්වාමින් වහන්සේ කල දහම් දෙසුමන් එකක් දෙකක් නොවේ. එවන් වූ ප්‍රචාරණයේ යෙදුනු එම ස්වාමින් වහන්‍සේ අද ඒ පිලිබදව කියන්නේ කුමක්ද?

1.ප්‍රශ්නය

ඔබ වහන්සේ ද සම්පූර්ණයෙන් ම මස් මාංශ අනුභවයෙන් වැළකී නිර්මාංශව ශුද්ධ ශෘඛාහාරීව සිටී අවදියක් තිබුණූ බව අප අසා තිබේ එය සත්‍යයක් ද?

1.පිළිකුර

එසේය එය සත්‍යයකි. එකල මා නිර්මාංශීව ශුද්ධ ශෘඛාහාරීව සිටියා පමණක් නොවේ. ඒ ගැන මහත් ගර්වයකින් යුතුව පුන පුනා වර්ණනා කළ කෙනෙක්මි. එමෙන් ම අන් අයව ද නිර්මාංශ ආහාර භක්ෂණය පිණිස පොරොන්දු කරවා ගත් කෙනෙක්මි. එමෙන් ම මස් මාළු අනුභව කරන අය දුටුවිට එය මම නො රීස්සු කෙනෙක්මි. එය බලවත් ලෙස පිලිකුල්ට ලක් කළෙමි. මස් මාංශ අනුභව කරන අය මා දුටුවේ මහා නොදියුණූ පිරිසක් හැටියට ය. එනිසා ම මම නිර්මාංශ ආහාර අනුභවය කිරීම පිළිබදව මහත් සේ උදම් අනමින් සිටියෙමි.

කෘතිය – නිර්මාංශ ප්‍රශ්න

කතෘ – කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ

පිටුව – 15

ඉහතින් මා ඉදිරිපත් කල කරුණූ දැක්වීම ඉහත කෘතියේ පළමු ප්‍රශ්නය තුලින් ඔබ‍ට අවබෝධ වනු ඇතැයි සිතමි. කාලයක් මුළුල්ලේ ‘නිර්මාංශ ප්‍රතිපත්තිය’ (වර්ථමාන ශ්‍රී ලාංකීය බහුතර බෞද්ධයන් මෙන්) බුදු දහමේ මූලික අංගයක් ලෙස සිතා ප්‍රචාරණයේ යෙදුනු උන්වහස්සේ අද එහි යථාර්ථය අවබෝධ කරගෙන ඇත. එදා එලෙස ප්‍රචාරණයේ යෙදුනු උන්වහන්සේ අද මේ පිලිබදව දක්වන අදහස ඔබේ බුද්ධීමත් අවධානයට ගෙන එන්නේ නම්,

29. ප්‍රශ්නය

නිර්මාංශීවීම ශීලයක් වශයෙන් හෝ ගුණයක් වශයෙන් හෝ ඔබ වහන්සේ නො පිලිගන්නේ මක් නිසා ද?

29. පිළිතුර

පින්වත, මා කවරෙක් ද? අපගේ හාස්තෘන් වහන්සේ පවා නිර්මාංශ ආහාර අනුභවය ශීලයක් වශයෙන් හෝ ගුණයක් වශයෙන් හෝ නො පිළිගත් සේක. එය හුදෙක් පෞද්ගලික රුචිකත්වයක් පමණි. ඉන් ඔබ්බට ගිය වටිනාකමක් එහි නැත. මේ කරුණ අවධාරණයෙන් ම සිහියේ තබා ගැනීම වැදගත් ය.

කෘතිය – නිර්මාංශ ප්‍රශ්න

කතෘ – කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ

පිටුව – 71

එදා මෙදා තුර සිදුවූ මේ වෙනස්වීම බුද්ධිමත් බෞද්ධ සමාජය දැන්වත් බුද්ධීමත් ලෙස විමසා බැලිය යුතුය. ‘යහමග’ අඩවිය මෙම විෂය පිලිබදව විශේෂයෙන් බෞද්ධ ඉගෙන්වීමන් ශ්‍රී ලාංකීය සමාජයේ අවධානයට ගෙන ආවේ මීට බොහෝ කලකට ඉහතය. ඒ මෙම වෙබ් අඩවියේ ආරම්භ කාලයේදීය. ඒ ‘බෞද්ධ ඉගෙන්වීම් හා මාංශ අනුභවය’ යන ලිපිය තුලින්ය. එහිදී බුදු දහම දශ මාංශ තහනම් කල ආකාරයත්, බුදුන් වහන්සේගේ කාලයේ ස්වාමින් වහන්සේලා මිනිස් මස් පවා විටෙක අනුභවයට ගත් ආකාරයත් මාගේ වදන්වලින් නොව ත්‍රපිටකයේ සදහන් වදන්වලින් ඔබේ අවදානයට ගෙන ආවා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එදා ‘යහමග’ ඉදිරිපත් කල එම කාරණයන් අද කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ තම ‘නිර්මාශ ප්‍රශ්න’ නම් කෘතියේ අලංකාර ලෙස පෙලගස්වා විග්‍රහ කොට ඇත. අද උන්වහන්සේ අවධාරනය කරන්නේ නිර්මාශ ප්‍රතිපත්තිය යන්න බුදුදහම නොවන බවත්, එය අද අප සමාජය තුල කලාවක් බවට පරිවර්ථනය වී ඇති බවත්ය. එය තම කෘතියේ පහත ආකාරයට පැහැදිලි කරයි.

31. ප්‍රශ්නය

මස් මාංශ වැළදීම ශීලයක් හෝ ගුණයක් නොවේ නම් සමාජය විසින් එය මෙතරම් අගය කරනු ලබන්නේ මක් නිසාද?

31. පිළිතුර

පින්වත, මෙයින් පෙනෙන්නේ සමාජය විසින් ගුණවත් කම හෝ සිල්වත් කම මනිනු ලබන්නේ හුදෙක් බාහිර පෙනුමෙන් මිස අභ්‍යන්තරික වටිනාකමකින් නො වන බවයි. අභ්‍යන්තරික ගුණවත්කම් වර්ධනය නොවූ සමාජයක නිර්මාංශ වීම උසස් සමාජ තත්වයකි. තමන් ගේ පිරිසිදුකම පෙන්වීමට ආභර්ණයකි. තමාව හුවා දැක්වීමේ ගුණයකි. අනුන් ව පහත් කොට හෙලා දැක්වීමට ආයුධයකි. ඔවුහු දයානුකම්පා විරහිත අන්‍යයන්ට පහර දෙන්නේ නිර්මාංශ වීම නම් වූ තියුණූ ආයුධයෙනි

සම්මා දිට්ඨිය ඇති කර ගැනීමේ වැදගත්කම ඔවුනට නො පෙනේ. ඊර්ෂ්‍යාව, කුහකකම, පළිගැනීම, වෛර කිරීම පුහුමාන්නය ආදියේ ඇති අනතුර ඔවුනට නො පෙනේ. මනුෂ්‍යයාට අනුකම්පාවෙන් උදව් කිරීම ගැන ඔවුන් තුළ එතරම් සැලකිල්ලක් නැත. ඒ වෙනුවට තිබෙන්නේ මස් මාංශ අනුභවයට එරෙහි වූ ද්වේෂ සහගත ඝෝෂාවක් පමණි. සම්මා දිට්ඨීය ඇති කර ගැනීමට මහන්සි ගන්නේ නම් කොතරම් අගනේ ද?

කෘතිය – නිර්මාංශ ප්‍රශ්න

කතෘ – කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ

පිටුව – 75 හා 76

ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ බහුතරයක් අනුගමනය කරන නිර්මාංශ ප්‍රතිපත්තිය පිලිබදව ‘යහමග’ අඩවියට කිසිදු ගැටළුවක් නැත. නමුත් ඉහතින් ස්වාමින් වහන්සේ පවසන ආකාරයට ඔවුන් තම ප්‍රතිපත්තියට සාපේක්ෂව අනිකුත් ආගමික ප්‍රතිපත්ති දෙස බලමින් එම ප්‍රතිපත්ති ගැරහීම හා එම සමාජයට ඊර්ෂ්‍යාව, කුහකකම, පළිගැනීම, වෛර කිරීම… යනාදීය පෑම හේතු කොටගෙන මනුෂයා මාංශ ආහාර ගැනීම සම්බන්ධ බෞද්ධ ඉගෙන්වීමන් කුමක්ද? යන්නත් එහි විද්‍යාත්මක තත්වය කුමක්ද? යන්නත් ඉහතින් සදහන් ලිපි තුලින් දිගින් දිගටම කථා කිරීමේ අනිවාර්‍ය වගකීම අපට ද පැ‍වරේ. මෙතැන දී සදහන් කලයුතු වැදගත් කාරණයක් ද ඇත. එනම් සමස්ථ බෞද්ධ සමාජය ඉහත මිත්‍යාව තුල කොටු වී ඉහත ආකාරයට කටයුතු කරනවා යයි කිව නොහැක. මෙම විෂය ‍සැබෑ බෞද්ධ ඉගෙන්වීම පදනම් කරගෙන එසේම බුද්ධීයෙන් අවබෝධ කරගෙන කටයුතු කරන බෞද්ධ ජනයා ද අප සමාජයේ ඇත. එයට හොදම නිදසුන ලෙස ‘යහමග’ පාඨකයෙකු විසින් මෙම අඩවියට යොමු කලමි මාංශ අනුභව ප්‍රතිපත්ති පිලිබදව බෞද්ධ විද්වතුන්ගේ විග්‍රහයක් යන ලිපිය සදහන් කල හැක.

නමුත් අවාසනාවකට නූතන සමාජය ඉහත ආකාරයට කිසියම් විෂයක් බුද්ධීයෙන් විමසා එය සංවාදයට බඳුන් කරනවා වෙනුවට කරන්නේ තමන් විසින් මවාගත් මතවාදයක් මුල්කරගෙන එසේත් නැත්නම් කිසියම් ඉගෙන්වීමක් උඩින් පල්ලෙන් විමසා මතවාදවලට බැස අනුන්ගේ උසිගැන්වීම් මත ආවේගශීලීව ක්‍රියා කිරීමයි. මෙය ‘යහමග’ අඩවිය ශ්‍රී ලාංකීය සමාජය තුල ආරම්භයේ පටන් අද දක්වා නිරන්තරයෙන් දකින සමාජ තත්වයකි. මෙය යමක් අවබෝධ කරගැනීමට යාමේ දී නිවරුදි ක්‍රමවේදය නොවන බව නූතන බුද්ධිමත් සමාජයට මා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. මෙය ගෞතම බුදුන් වහන්සේ ද දේශනා කල බව ත්‍රපිටකයේ මෙසේ සදහන් වේ.

  • කෝපයට පත් වූ තැනැත්තා යහපත නොදනී,
  • කෝපයට පත් වූ තැනැත්තා ධර්මය නො දකී.
  • ක්‍රෝධය විසින් යම් මිනිසෙකු යටපත් කරන ලද්දේය
  • එවිට ඔහු සිටින්නේ මෝහය නම් වූ ඝනාන්ධකාරය තුළ ය.

මූලාශ්‍රය – අංගුත්තර නිකාය – කෝධන සූත්‍රය

ඉහතින් සදහන් සමාජ තත්වය පිලිබිඹූ කරමින් ද කරුණූ දැක්වීමක් ඉහත කෘතියේ උන්වහන්සේ සිදුකොට ඇත. එය මෙසේය,

13. ප්‍රශ්නය

අනේ!, ඔබ වහන්සේ නම් බලවත් ලෙස මුලාවට පත් වී ඇති හැඩයි. අපගේ බුදුරජාණන් වහන්සේ මහා කාරුණික වන සේක. එබඳු වූ මහා කාරුණිකයන් වහන්සේ නමකගෙන් ඔය ආකාරයට මාංශ භක්ෂණයට අනුබලයක් ලැබේ යැයි කෙසේ නම් විශ්වාස කරන්න ද?

13. පිළිතුර

පින්වත, අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ සමන්විත වූයේ මහා කාරුණාවෙන් පමණක් නොවේ. මහා ප්‍රඥාවෙන් ද සමන්විත වන සේක. එනිසා උන්වහන්සේගේ කරුණාව නිගණ්ඪ නාතපුත්ත ගේ ‘පරම අවිහිංසාව’ යැයි කියා ගන්න ලද ප්‍රායෝගිකව ගලපා ගත නොහැකි හුදෙක් වාද විවාද කරගන්නා දෘෂ්ඨියක් සේ නොවූයේ ය…

කෘතිය – නිර්මාංශ ප්‍රශ්න

කතෘ – කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ

පිටුව – 31

ඉහත කරුණූ හොදින් විමසා බලන්නේ නම් ඒ තුල ඔබට බොහෝ කරුණූ පැහැදිලිව අවබෝධ කරගත හැකිවනු ඇත. විශේෂයෙන් ‘පරම අවිහිංසාව’ යන්න බුදුදහමේ ස්ථාවරය නොවන බවත්, නිගණ්ඪයන් මෙන් අන්තවාදී ලෙස ප්‍රශ්නයක් දිහා බැලීම සාධාර්ණ නොවන බවත්, ප්‍රායෝගිකව ගලපාගත නොහැකි විවාදයට පමණක් සීමා වූ ප්‍රතිපත්ති දහමක පැවතිය නොහැකි බවත් යන්න එවැනි කිහිපයකි. එසේ නම් මේ විෂය මීට වඩා විග්‍රහ කිරීමට අවශ්‍ය නොවේ යයි සිතමි. මන්ද මෙම අඩවිය තුල මීට ඉහත මෙම විෂය පුළුල් ලෙස සාකච්චා කොට ද ඇත. එසේම අද කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ බෞද්ධ සමාජයට ලබාදෙන පැහැදිලි කිරීම ඉස්ලාම් භක්තිකයෙකු ලෙස හිඳ බෞද්ධ සමාජයට මා ලබාදෙන විග්‍රහයන්ට වඩා සමාජගත වීමේ සම්භාවිතාවය වැඩි බැවිණි. මෙහිදී සමස්ථ බෞද්ධ සමාජයෙන් ඉල්ලීමක් කරන්නට ද කැමැත්තෙමි. ඒ පටු අරමුණූවල හා මිත්‍යා දෘෂ්ඨියන් තුල හිඳ මෙම විෂය දෙස නොබලා විවෘත මනසින් හා බුද්ධියෙන් මේ දෙස බලන්න. ඒ සදහා මෙම අඩවිය තුල මීට ඉහත පලකල ඉහතින් සදහන් ලිපියන් මෙන්ම ඉහතින් සදහන් ‘නිර්මාශ ප්‍රශ්න’ නම් පොතත් ඔබට හොද අත්වැලක් වනු ඇත.

අවසාන වශයෙන් මෙහි තවත් වැදගත් කාරණයක් ‘යහමග’ පාඨක අවධානයට ගෙන ආයුතුව ඇත. එනම් ඉතා බුද්ධීමත් ආකාරයට තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ‘නිර්මාංශ ප්‍රතිපත්තිය බුදු දහම නොවේ’ යන්න බෞද්ධ සමාජයට හේතු ගැන්වීම සදහා කරුණූ කාරණා ඉදිරිපත් කල කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ තම කෘතියේ අවසාන කොටසේ ඉස්ලාම් දහම පිලිබදව හා මුස්ලීම් සමාජය පිලිබදව ද සෘජුවම කථා කොට ඇත. එම කොටස කියවන විට මට සිතුණේ මෙතෙක් බුද්ධීමත් තර්ක විතර්ක ඉදිරිපත් කල ඤානානන්ද ස්වාමින් වහන්සේට මොකද වුණේ? යන්න හා උන්වහන්සේ විසින් තම කෘතියේ සදහන් කල

‘කුද්ධෝ අත්ථං න ජානාති කුද්ධෝ ධම්මං න පස්සති. අන්ධන්තමං තදා හෝති යං කෝධෝ සහතේ නරං’

නම් සූත්‍රය තමන්ට වලංගු නොවුනේකොහොමද? යන්නයි. කෙසේ වෙතත් (ඉන්ෂාඅල්ලාහ් ) නොබෝ දිනකින් එම කෘතියේ මෙම කොටස වෙනම ගෙන සාකච්චා කිරීමට අදහස් කරන බැවින් මේ ලිපියට මෙතැකින් විරාමය තබන්නේ මෙම ලිපිය හා එහි සබැදුම් (link) බුද්ධීමත් ලෙස විමසා බැලීමට නැවත නැවතත් ඔබ සියළුදෙනාට ආරාධනා කරමිනි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම