පාපතරයන් මඟින් වූවද අල්ලාහ් මේ දහම ශක්තිමත් කරයි.
ලෝව සම්මත පිලිගැනීම ‘උත්සාහවන්තයා ජයගනී’ යන්නයි. කෙනෙකු දුක්මහන්සි වී, කැපකිරීමන් ඇතුව ඉගෙන ගන්නේ නම් ඔහු අනාගතයේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්… වීම දුෂ්කර නොවේ යන්න සමාජ පිලිගැනීමයි. එසේම හොදින් සැලසුම් කොට දුක්මහන්සි වී ව්‍යාපාර කටයුතුවල නිරත වුයේ නම්, සාර්ථක ව්‍යාපාරිකයෙකු වීම දුෂ්කර කාර්‍යයක් නොවේ යන්නත් සමාජ විශ්වාසයයි… මේ ආකාරයට සියල්ල මනුෂ්‍යයාගගේ උත්සාහය මත රදාපවතිනවා යන්න සමාජ සම්මත පිලිගැනීමයි.
නමුත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීම මීට තරමක් වෙනස් වේ. එනම් මෙලොව සියළු කාර්‍යයන් හා ඉරණමයන් අල්ලාහ් (දෙවි) විශ්ව නිර්මාණයට පෙරම තීන්දු කොට අවසන් යන්න ඉස්ලාම් දහමේ පිලිගැනීමයි. එය අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් එක්තරා අවස්ථාවක මෙසේ පවසන ලදී. එනම්,
අවසාන ඉරණමට අනුව (අල්ලාහ් (දෙවි)) සියළු පෙර සැලසුම් කොට ඇත.
ඉස්ලාම් දහමේ මූලික විශ්වාසයන් අතර ‘කද්ර් (දෛවය)’ පිලිබදව වූ විශ්වාසය ප්‍රධාන එකකි. මෙලොව සියළු ක්‍රියාවන් සිදුවන්නේ අල්ලාහ් (දෙවි)ගේ පෙර නියමය පරිදි යයි විශ්වාස කිරීම එම විශ්වාසයයි. නමුත් මුස්ලීම්වරුන්ගේ මෙම විශ්වාසය තුල ඇති වන දුර්වලතාවයන් නිසා කලින් කලට මුස්ලීම් ලෝකය තුල ඉහත විශ්වාසයට පරස්පර සමහරක් ක්‍රියාවන් වාර්ථා වනවා අප දකින්නෙමු. මීට ඉහත මෙම අඩවිය තුල ඉදිරිපත් කල ‘හූනියමට අභියෝගයක්‘ යන ලිපිය තුලින් සාකච්චා කල කරුණු ද ඊට හොද නිදසුනකි. මේ ලිපිය තුලින් ද ‘දේව නියමය’ අභියෝගයට ලක් කරන හා එවැනි මතවාද හා ක්‍රියාවන් සාධාර්ණීකරණය කරන පිරිසගේ බුද්ධිමත් අවදානයට ශුද්ධ වූ හදීසයක් ගෙන එන්නට අදහස් කරමි.
එය මෙසේය…
අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් සමඟ අප ‘කයිබර්’ යුද්ධයට සහභාගි වූ අවස්ථාවක, මුහම්මද් (සල්) තුමාණන් විසින් අප අතර සිටී (සහාභිවරයෙකු) කෙනෙකු පෙන්වා… ‘මොහු අපාය වාසීන්ගෙන් කෙනෙක්’ යනුවෙන් පවසන ලදී. නමුත් යුද්ධය අැරඹූ විට එම පුද්ගලයා (ඉස්ලාම් විරෝධීන් සමඟ) ඉතා දැඩිව සටන් කරනු දක්නට ලැබුණි. දිගින් දිගටම සටන් කිරීම තුල ඔහු තුවලයට පත්ව එක්තරා අවස්ථාවක (තවදුරටත් යුද්ධ කරන්න නොහැකිව) වාඩි වන ලදී. එම අවස්ථාවේ සහාභාවරුන් (මුහම්මද් (සල්) තුමාගේ සමකාලීන අනුගාමිකයන්)ගෙන් කෙනෙකු නබිතුමාණන් හමුවට පැමිණ… ‘දූතයාණෙණි!, ඔබ තුමා කවුරු අපාය වාසියෙක් යැයි පැවසුවේද, ඔහු දැඩිව සටන් කොට අධිකව තුවාල ලබා සිටී’ යයි දැනුම් දෙන ලදී. එයට නබිතුමාණන්… ‘ඔහු අපාය වාසීන්ගෙන් කෙනෙක්මය’ යනුවෙන් (නැවතත්) පවසන ලදී. එම අවස්ථාවේ මුස්ලීම්( සහාභා )වරුන් අතුරින් සමහරක් පිරිසට නබිතුමාණන්ගේ එම ප්‍රකාශය කෙරෙහි සැකයන් ද ඇතිවන්නට විය. එලෙස ඔවුන් (අවුල් වී) සිටින විට යුද්ධයේ දී තුවාල ලද එම පුද්ගලයා තම වේදනාව ඉවසා දරාගත නොහැකිව තමා ලඟ තිබූ ඊයක් ගෙන එයින් තමාට ම ඇණගෙන සියදිවි හානි කරගන්නා ලදී. ඒ මොහොතේම මුස්ලීම්වරුන් අතුරින් තවත් පිරිසක් නබිතුමාණන් හමුවට දිවවිත්… ‘දූතයාණෙනි!, ඔබතුමාගේ ප්‍රකාශය අල්ලාහ් (දෙවි) සත්‍ය කරන ලදී. එම පුද්ගලයා සියදිවි හානි කරගන්නා ලදී.’ යනුවෙන් පවසන ලදී. එම අවස්ථාවේ අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන්… ‘බිලාල් !, නැඟිට ගොස් ‘දේව විශ්වාසවන්තයින් හැර වෙන කිසිවකු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. තවද අල්ලාහ් (දෙවි) මේ දහම පාපතරයන් මඟින් ද ශක්තිමත් කරන්නේය’ යයි (ජනයාට) පවසන්න’ යනුවෙන් පවසන ලදී.
දැනුම් දෙන්නේ – අබූ හුරෙයිරා (රලි) තුමා මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 6606
ඉහත සිද්ධිය තවත් හදීසයක් මඟින් වාර්ථා වීමේ දී,
යුධ බිමේ වීරකම් පෑ ඉහත පුද්ගලයා සියදිවි හානිකරගත් පණිවුඩය සහාභිවරයෙකු විසින් නබිතුමාණන් හට දැනුම් දුන් විට නබිතුමාණන් පහත ආකාරයට පැවසූ බව ද සදහන් වේ. එය මෙසේය… ‘…(අල්ලාහ් (දෙවි)ට අවනත) වහල්ලෙක් අපායවාසියෙකුගේ ක්‍රියාවන්ම කරගෙනවිත් අවසානයේ ස්වර්ග වාසියෙකු බවට පත්වේ. එසේම තවත් කෙනෙකු ස්වර්ගවාසියෙකුට අදාල ක්‍රියාවන් කරගෙනවිත් අවසානයේ අපායවාසියකු බවට පත්වේ. අවසාන ඉරණම අනුවයි ක්‍රියාවන් සියල්ල තීන්දු කොට ඇත්තේ.’ යනුවෙන් පවසන ලදී.
දැනුම් දෙන්නේ – සහ්ල් ඉබුනු සාද් (රලි) මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 6607
ඉහත හදීසයන් දෙක ඔබ හොදින් විමසා බලන්නේ නම්, සියල්ල සිදුවන්නේ අල්ලාහ් (දෙවි)ගේ පෙර සැලැස්ම අනුව ම බව ඔබට පැහැදිලි වියයුතුය. එපමණක් නොව එම හදීසයන් දෙක තුල තවත් යථාර්තයන් 02ක් අන්තර්ගතව තිබෙන බව ද ඔබ වටහා ගතයුතුව ඇත. එනම්,
- අල්ලාහ් (දෙවි) පාපතරයන් මඟින් ද ඉස්ලාම් දහම ශක්තිමත් කරනවා යන්න,
- අවසාන ඉරණමට අනුකූලව සියල්ල සිදුවෙමින් තිබෙනවා යන්න,
එසේනම් එම යථාර්තය හොදින් අවබෝධ කොට, ඉස්ලාම් දහම එහි සැබෑ ස්වරූපයෙන් වටහාගෙන කටයුතු කිරීමට මුස්ලීම් සමාජයට නුවණැස පෑදේවා ! යන ප්‍රාර්ථනාව ඇතුව මෙම ලිපිය අවසන් කරමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න