පිටසක්වල ජීවීන් පිලිබදව ඉස්ලාමීය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


විසිවන සියවසේ දෙවන භාගය යනු විද්‍යා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුණුවක් අත්කරගත් අවදියකි. මිනිසා සාර්ථකව සඳ මතට බැස්ස අතර මිනිස් අභ්‍යාවකාශ මෙහෙයුම් මගින් සූර්‍යයා, ග්‍රහලෝක, ග්‍රහවස්තු, මන්දාකිණි සහ ඒවායේ ස්වභාවය පිලිබද විශාල තොරතුරු ප්‍රමාණයක් රුස්කරගත්තේය. නමුත් කොතරම් විශ්වය පිලිබදව මිනිසා මෙලෙස තොරතුරු රැස්කරගත්තත් ඔහුගේ දැඩි අවදානය යොමුව තිබුණේ හා තිබෙන්නේ ‘ජීවය අඩංගු එකම ග්‍රහලෝකය පෘථිවිය පමණක්ද?’ යන කාරණය වෙතයි.

අද බොහෝ විද්‍යාඥයින්ගේ ස්ථාවරය වී තිබෙන්නේ, ‘විශ්වය තේරුම්ගත නොහැකි තරම් විශාල බැවින්, එහි ජීවය අඩංගු එකම ග්‍රහලෝකය පෘථිවිය යැයි සිතිය නොහැක’යන්නයි. මේ නිසාම විද්‍යාඥයින් පසුගිය දශක කිහිපය තුළ දැඩි ලෙස පිටසක්වල ජීවීන් සොයමින් වෙහෙසෙති. අප සිටින සෞරග්‍රහ මණ්ඩලය තුළ පවා යම් ආකාරයක ජීවයක් පැවතීමේ හැකියාව පවතිනවා යන්න ඔවුන්ගේ අනුමානයයි.

නිදසුනක් වශයෙන්, බ්‍රහස්පතිගේ විශාල චන්ද්‍රයන්ගෙන් එකක් වන යුරෝ භූගෝලීය වශයෙන් ක්‍රියාකාරී ලෝකයක් යැයි විශ්වාස කෙරේ, සෙනසුරුගේ චන්ද්‍රයන්ගෙන් එකක් වන එන්සෙලාඩස් ද අයිස්වලින් හා දියර ජලය සහිත සාගරයකින් වැසී ඇති බව විශ්වාස කෙරේ. එසේම ජීවය සොයන විද්‍යාඥයින් උනන්දුවක් දක්වන සෙනසුරු ග්‍රහයාගේ තවත් සඳක් වන්නේ ටයිටන් හි කාලගුණ පද්ධතිය ජලය හා මීතේන් මත පදනම් වූ අතර සඳෙහි මීතේන් සහ එතේන් වලින් සාදන ලද ගංගා අඩංගු බව විශ්වාස කෙරේ.

කෙටියෙන් කිවහොත් අද විද්‍යාවේ ස්ථවරය, පෘථිවියෙන් පිටත ජීවයක් තිබිය හැකිය. නොතිබිය ද හැකිය. එම ජීවිතය කෙබඳු විය හැකිද? එය බුද්ධිමත් ජීවිතයක් වියහැකිද? මේ කිසිවකට අදටත් නිශ්චිත පිලිතුරක් නැත යන්නයි. අප කවදා හෝ පෘථිවියෙන් පිටත ජීවය සොයාගනීද යන්න කිසිවෙකුට නිශ්චිතව තවම දැනගත නොහැකිය. විශ්වය කෙතරම් විශාලද යන්න නොසලකා, ජීවිතය සොයා ගැනීම ඇදහිය නොහැකි තරම් දුෂ්කර යන්න විද්‍යාවේ සහා විද්‍යාඥයින්ගේ ස්ථාවරයයි.

එසේනම්, ඉස්ලාම් දහම මේ විෂය පිලිබදව දරණ ස්ථාවය දැන් විමසා බලමු.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න විමසා බලන මෙම ලිපියට පිවිසුමක් ලෙස අල්කුර්ආනයේ පලමු පරිච්චේදයේ 02 වන වාක්‍යය මෙහි ඔබේ පලමු අවදානයට ගෙනආ හැක.

සියලු ප්‍රශංසා සියලු ලෝකවල අධිපති වන අල්ලාහ්ට ම වේ.

අල්කුර්ආන් 1-2

ඉහත වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) අවධාරණය කරන්නේ ඔහු සියලු ලෝකවල අධිපති බවයි. මෙහිදී අල්ලාහ් (දෙවි) ‘සියලු ලෝක’ යන්න පැවසීම සදහා භාවිතා කරන වචනය වන්නේ ‘ආලාම්’ යන්නයි. මෙම වචනයට විග්‍රහයන් පවසන විශාරදයන් පැහැදිලිවම මෙය මිනිසුන්, සතුන්, ජින්, දේවදූතයන් (මලාඉකාවරුන්)… යනාදී සියළු ලෝක අදහස් කරන බව පවසයි. මේ අනුව පැහැදිලි වන්නේ ඉහත 1-2 වාක්‍ය මඟින් පවසන ජීවි කොට්ඨාශය පෘථිවියේ වෙසෙන ජීවීන්ට පමණක් ලඝුකොට තේරුම්ගත නොහැකි බවයි. මා පවසන එම අදහස මතුකරන වාක්‍ය ගණනාවක් අල්කුර්ආනයේ දක්නට ඇත. එවැනි අල්කුර්ආන් වාක්‍ය දෙකක් වෙත නැවත ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

අහස්ද, භූමියද උත්පාදනය කර තිබීමද, ඒවායෙහි සතුන් (ආදී බොහොමයක් ජීවීන්)ද (ඒ මේ අත) විසිරුවා හැර තැබීමද, ඔහුගේ ප්‍රාතිහාර්යයන්ගෙන් එකකි. එබැවින් ඔහු කැමති අවස්ථාවන්හිදී (ඒවා මරණයට පත් වූ පසුද) ඒවා ඒකරාශී කිරීමට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.
وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِنْ دَابَّةٍ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَاءُ قَدِيرٌ
And one of His signs is the creation of the heavens and the earth and what He has spread forth in both of them of living beings; and when He pleases He is all-powerful to gather them together.

අකුර්ආනය, 42-29

අහස්වල ඇති දෑ සහ මහපොළොවෙහි ඇති දෑද ජීවීන්ද, මලාඉකාවරුන්ද අල්ලාහ් (දෙවි)ට සුජූද් (නමස්කාර) කරති. තවද ඔවූහු උඩඟු නොවෙති.
وَلِلَّهِ يَسْجُدُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مِنْ دَابَّةٍ وَالْمَلَائِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ
“And whatever creature that is in the heavens and that is in the earth makes obeisance to Allah (only), and the angels (too) and they do not show pride.”

අල් කුර්ආනය, 16-49

මෙම වාක්‍ය දෙක බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, අල්ලාහ් (දෙවි) පෘථිවියෙන් ඔබ්බට ජීවත් වන පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම පිළිබඳව ඉඟියක් පවසන බවක් මෙහි පෙනීයයි. මෙහි ‘සමාවති’ යනුවෙන් අහස බහු වචනයෙන් භාවිතා කරන නිසා අල්ලාහ් (දෙවි) එයින් අදහස් කරන්නේ අපට ඉහළින් ඇති අහස ගැන පමණක් නොවන බව පැහැදිලිය. එසේම මෙහි දෙවනුව, එහි ‘ජීවීන්’ පිලිබදව පවසන විට එහිදී භාවිතා කරන වචනය වන්නේ ‘දාබ්බ’ යන්නයි. එයින් අදහස් කරන්නේ පෘථිවියෙන් ඔබ්බට ගමන් කරන ගොඩබිම වාසය කරන සතුන් යන්නයි. ඒ අනුව අල්ලාහ් (දෙවි) මෙහි පවසන්නේ අධ්‍යාත්මික ජීවීන් ගැන නොව, අහසෙහි වාසය කරන වචනානුසාරයෙන් යුත් (එනම් පෘථිවියෙන් පිටත) අභ්‍යවකාශය පුරා විසිරී ඇති මිලියන සංඛ්‍යාත ග්‍රහ වස්තූන් තුළ ජීවත් වන යම් ආකාරයක ජීවි කොට්ඨාශයක් පිලිබදව බව පැහැදිලි වේ.

ඒ ආකාරයේම තවත් අල්කුර්ආන් වාක්‍යයක් වෙත අවදානය යොමු කලේනම්,

අල්ලාහ් අහස් හතක් සහ පොළොව හා ඒවාට සමාන මැවිල්ලක් ද මවන ලදී. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්න බවත්, අල්ලාහ් සිය ඥානයෙන් සියල්ල වටකරගෙන සිටින බවත්, ඔබ දැනගන්නා පිණිස දිව්‍ය ආඥාව ඔවුන් අතරට පැමිණේ.

اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ الْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوا أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمً ا

“Allah is He Who created seven heavens, and of the earth the like of them; the decree continues to descend among them, that you may know that Allah has power over all things and that Allah indeed encompasses all things in (His) knowledge.”

අල්කුර්ආනය: 65-13

ඉහත වාක්‍යය තුල අප මාතෘකාවට අදාලව අල්ලාහ් (දෙවි) විශේෂ කාරණා දෙකක් පවසයි. එනම්,

  • පෘථිවියට සමාන වස්තූන් නොමැති නම් සමාන දේ ඇති බවයි. – මෙය පැහැදිලිවම ග්‍රහලෝක පිලිබදව කරන සඳහනක් යන්නෙහි විවාදයක් නැත.
  • දිව්‍යමය එළිදරව්ව ඒ සියල්ලටම පහළ වන බවයි. – මෙයින් පැහැදිලි වන්නේ දිව්‍යමය එළිදරව්ව පිටසක්වල ජීවීන්ට ද පහල වන බවයි.

මේ අනුව ඉහත 65-13 වාක්‍යය මඟින් පෘථිවියට සමාන ග්‍රහලෝක තිබෙනවා යන්න පමණක් නොව එහි වෙසෙන පිටසක්වල ජීවීන් සදහා ද දිව්‍යමය මඟපෙන්වීම පහල වන බව පැවසේ. මේ ආකාරයටම අල්කුර්ආනයේ තවත් තැනක අල්ලාහ් (දෙවි) මෙසේ ද පවසයි.

අහස් හත, පොළොව සහ ඒවායේ ඇති අය උන්වහන්සේගේ මහිමය ප්‍රශංසා කරති.”
تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۚ وَإِنْ مِنْ شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَٰكِنْ لَا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا
“The seven heavens declare His glory and the earth (too), and those who are in them; and there is not a single thing but glorifies Him with His praise, but you do not understand their glorification; surely He is Forbearing, Forgiving.”

අල්කුර්ආනය 17-45

මෙම වාක්‍ය මඟින් පෘථිවියේ පමණක් නොව අහස් 07 සහ පොළොව යන තැන් හි වෙසෙන අල්ලාහ් (දෙවි)ගේ මහිමය අවබෝධ කොට ජීවත් වන බුද්ධිමත් ජීවී කොට්ඨාශයක් පිලිබදව කථා කරයි. මෙම වාක්‍යයට විග්‍රහය දක්වන සමහරක් ඉස්ලාමීය විද්වතුන් පවසන්නේ මෙය ‘පිටසක්වල ජීවීන් සඳහා ඇති ලොකුම සාක්ෂිය විය හැකි’ යනුවෙනි. මේ ආකාරයටම තවත් එවැනි අල්කුර්ආන් වාක්‍යයක් වෙත අවදානය යොමු කලේනම්,

ඇත්ත වශයෙන්ම, අපි ආදම්ගේ දරුවන්ට ගෞරව කර, ගොඩබිම සහ මුහුදට ගෙන ගොස්, ඔවුන්ට හොඳ සහ නීත්‍යානුකූල විධිවිධාන ලබා දී, අපගේ බොහෝ මැවිලිවලට වඩා ඔවුන්ට වරප්‍රසාද ලබා දී ඇත්තෙමු.

අල්කුර්ආනය 17-1

ඉහත වාක්‍යය තුලින් අල්ලාහ් (දෙවි) පවසන කාරණය තරමක් බුද්ධිමත්ව විමසා බැලීම අවශ්‍යය. එම වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) මෙහි අපට කියා සිටින්නේ මිනිසුන් වන අප විශ්වය තුල බොහෝ ජීවීන්ට වඩා උසස් යන්නයි. නමුත් එයින් විශ්වය තුල සියළුම ජීවීන්ට වඩා මිනිසුන් වන අප උසස් යන්න අදහස් නොවේ. මිනිසුන් වන අප දෙවියන්ගේ උසස් මැවීමක් යන්න අප දන්නා කාරණයකි. එසේනම් මෙම වාක්‍යය මඟින් පවසන මිනිසුන් වන අපට වඩා උසස් එම ජීවී කොට්ඨාශය කුමක්ද?. ඒ පිටසක්වලයින්ද?. එම තීන්දුව බුද්ධිමත් ඔබේ ගවේෂණයටම තබමින් ඒ සදහා මෙතෙක් ඉදිරිපත් කල අල්කුර්ආන් වාක්‍යයන් සාරාංශ කොට නැවත පහතින් සටහන් කරමි.

  • අල්කුර්ආන් 1-2 මඟින් – ලෝක ගණනාවක් පිලිබදව අදහසක් පවසයි.
  • අල්කුර්ආන් 42-29 මඟින් – අපට ඉහලින් ඇති අහස පමණක් නොව තවත් අහස් ගණනාවක් පිලිබදව පවසයි.
  • අල්කුර්ආනය: 65-13 මඟින් – පෘථිවියට සමාන ග්‍රහලෝක පිලිබදව මෙහි පවසයි.
  • අල්කුර්ආනය: 65-13 මඟින් – ඉස්ලාම් දහම වෙනත් ලොකවලටත් පහළ වන බව පවසයි.
  • අල්කුර්ආනය 17-45 මඟින් – වෙනත් ලෝකවලත් අල්ලාහ් (දෙවි)ගේ මහිමය අවබෝධ කොට ජීවත් වන බුද්ධිමත් ජීවීන් සිටින බව පවසයි.
  • අල්කුර්ආනය 17-1 මඟින් – මිනිසුන්ටත් වඩා උසස් ජීවි කොට්ඨාශ සිටින බව පවසයි.

අවසාන සටහන

අභ්‍යවකාශ පර්යේෂණයන්හි වඩාත්ම සිත්ගන්නාසුලු ප්‍රශ්නය වන්නේ පෘථිවියෙන් ඔබ්බට ජීවත්වීමට ඇති හැකියාවයි. කෙසේ වෙතත්, පර්යේෂණය මගින් සෞරග්‍රහ මණ්ඩලයේ කිසිදු ග්‍රහලෝකයක හෝ ග්‍රහ වස්තුවක ජීවය පවතින බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැත. එසේ වුවද, මෙම විශ්වයේ මන්දාකිණි බිලියන ගණනක් ඇත, සෑම එකක්ම තරු බිලියන ගණනක් අඩංගු වේ. එයින් පෘථිවියට සමාන පාරිසරික තත්ත්වයන් ඇති ග්‍රහලෝක විශාල සංඛ්‍යාවක් පැවතිය හැකි යන්න විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. එවැනි ග්‍රහලෝකවල පිටසක්වල ජීවින් ද පැවතිය හැක යන්න ඔවුන්ගේ විශ්වාසයයි. අපට තවමත් විද්‍යාත්මක පැහැදිලි පිළිතුරක් නොමැත. කෙසේ වෙතත්, විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ යම් දවසක පෘථිවියෙන් ඔබ්බට විශ්වයේ යම් ආකාරයක ජීවයක් තිබේද යන්න නිශ්චිතවම සොයා ගැනීමට ඔවුන් සමත් වනු ඇති බවයි.

21 වන සියවසේ විද්‍යාවේ ස්ථාවරය එය වෙද්දී ඉස්ලාම් පියවර ගණනාවක් ඉදිරියට ගොස් මීට සියවස් 14 කට පෙර මෙම විෂය කථා කොට ඇති ආකාරය ඉහතින් දුටුවෙමු. මෙතැනදී තවත් වැදගත් කාරණයක් අවසාන වශයෙන් පැවසිය යුතුව ඇත. එනම්, අල්කුර්ආනය යනු විද්‍යාත්මක ගවේෂණ කෘතියක් නොවේ. එය සියළු ලෝකවාසී ජීවී කොට්ඨාශයට යහපත් ජීවන මාර්ගයක් සදහා වූ අත්වැලක් පමණි. එමනිසා එහි පැවසෙන විවිධ වූ ඉඟි ගවේෂණය කොට පරීක්ෂණ නීරීක්ෂණ හා නිගමන තුලින් තහවුරු කරගැනීම විද්‍යාවේ කාර්‍යභාරයයි.

(සෑම වසරකම July 02 ට යෙදී ඇති ‘ලෝක UFO (Unidentified Flying Objects) දිනය’ මූලික කරගෙන ඔබේ බුද්ධිමත් ගවේෂණයට මෙම ලිපිය ඉදිරිපත් කරන අතර මෙම විෂය පිලිබදව නිවැරදි හා පූර්ණ දැනුම ඇත්තේ අල්ලාහ් (දෙවි)ට පමණි).


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/14

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම