පුද්ගල නම ඔහුගේ දහම පිලිඹිබු කරන සාධකයක්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක යහමඟ Facebook එකට පිංතූර කිහිපයක් හා එම පිංතූර පදනම් කරගෙන ඒ සදහා ලියන ලද කෙටි විග්‍රහයන් කිහිපයක් ද ලැබී තිබූණි. එම විග්‍රහයන් සියල්ල සාරාංශ කොට පවසනවා නම්, එයින් කියවෙන්නේ “ඉස්ලාම් භක්තිකයින් බුදුදහම අවබෝධ කරගෙන ඉස්ලාම් දහම අතහැර බුදුදහමට එන බවයි.” මෙම පිංතූර හා එම පිංතූරවලට බෞද්ධ සමාජයේ සමහරක් පිරිස් දෙන විග්‍රහයන් දුටු යහමඟ පාඨක ප්‍රජාව මේ සදහා අදහස් දැක්වීමක් යහමඟ අඩවිය හරහා කරන ලෙස ද ඉල්ලා සිටින ලදී. එම කාරණය සදහා මා උනන්දු නොවුයේ බුද්ධිය ඇති ඕනෑම කෙනෙකු හට මෙහි සැබෑ ස්වරෑපය අවබෝධ කරගැනීම අපහසු නොවන නිසාම බැවිණි. නමුත් එම ඡායාරූප විවිධ වෙබ් අඩවීන් හා බ්ලොග් කරැවන් දිගින් දිගටම පලකරමින් හා එම ඡායාරෑපවලට විවිධ පාඨයන් එක්කරමින් ඒ ඔස්සේ අදහස් දැක්වීම් හා විවිධ තර්කයන් සමාජය තුල ගොඩනඟන නිසා එම කාරණය ලිපිබදව කෙටි අදහස් දැක්වීමක් කරන්නට මා අදහස් කලෙමි. එහිදී මා ඉහත පිරිස සේ ජනතා මුලා කරන පහත් පෙලේ දහම් ප්‍රචාරනයකට නොයමි. එසේම මෙතෙක් ශ්‍රී ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම හැරගිය සංඛ්‍යාව හා බුදුදහම අතහැර ඉස්ලාම් දහමට ආ සංඛ්‍යාත්මක අගය සංසන්ධනය කිරීමට ද නොයමි. එවැනි උපක්‍රමශීලී දහම් ප්‍රචාරනය ඉස්ලාම් අනුමත කරන්නේ ද නැත. “මුස්ලිම්වරු න්ට ඇත්තේ සත්‍ය දහම දේශනා කිරීම පමණි” යන්න ශුද්ධ වූ කුර්ආනය මුස්ලීම් සමාජයට අවධාරනය කරන ආදර්ශමත් ඉගෙන්වීමයි. ඒ අනුව මා මෙහිදී අවධාරනය කරන්නේ කීදෙනෙකු එක් දහමකින් අනෙක් දහමට ආවාද යන්නට වඩා එය කොතරම් අවබෝධයෙන් කලාද යන්නයි.

මෙහි දැක්වෙන පිංතූර ඉදිරිපත් කරමින් බොහෝ පිරිස් ගොඩනඟන තර්ක වන්නේ වර්ථමානයේ මුස්ලීම් ප්‍රජාව බුදුදහම අවබෝධ කරගෙන ඉස්ලාම් ප්‍රතික්ෂේප කොට බුදුදහම වැලද ගන්නා බවයි. ඒ සදහා ඉදිරිපත් කල ඡායාරූප අතර අංක පලමු ඡායාරූපයට ප්‍රථමයෙන් ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. මෙහි දැක්වෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද නම් ප්‍රදේශ‍ෙය් ඉතා සමඟියෙන් හා සහයෝගයෙන් ජීවත් වන බෞද්ධ මුස්ලීම් ප්‍රජාවගේ එක්තරා වැඩසටහනක දී ගත් ඡායාරූපයකි. මෙය විස්තර සහිතව ශ්‍රී ලාංකීය ජාතික පුවත්පත්වල පවා මීට කලකට පෙර පලවුණි. එම ඡායාරූපයට විවිධ පාඨයන් එක්කොට ඒ සමඟ නම් වෙනස් කිරීම් සම්බන්ධ ඡායා රෑප කිහිපයක් සම්බන්ධ කොට ඒ තුලින් වැරදි මතයක් සමාජය තුල ගොඩනැගීමට උත්සාහ කර ඇත. මෙවැනි වැඩසටහන් අපේ රටතුල අනන්තවත් ක්‍රියාත්මක වේ. නමුත් මෙවැනි අන්තවාදී හා ආගමික වියරැවෙන් පෙලෙන පිරිස් ඒවා දකින්නේ විකෘති ආකාරයටය. වර්ථමානයේ ජාතීන් අතර වර්ධනය වෙමින් පවතින විරසකයට මෙවැනි අන්තවාදී වියරුවන් තමා මූලික කාරණය වී ඇත්තේ එයට මෙම ඡායාරූපයත් හොද නිදසුනක්. කෙසේ වෙතත් මා මෙම සිදුවීමට මූලික වූ (ඡායා රූපයේ සිටින) ඉස්ලාමීය පූජකවරයාගෙන් පුද්ගලිකව කරුණු විමසුවෙමි. එහි ඔහු පවසා සිටියේ,

“…අපි අපේ ගමේ බෞද්ධ ජනතාවත් සමඟ සහයෝගයෙන් ජීවත් වෙන්නේ අපේ ගමේ බෞද්ධ ස්වාමිණ් වහන්සේලා දවසක් අපෙන් ඉල්ලා සිටියා ඉදිරියට උදාවෙන (වෙසක් හෝ පොසොන් (ඔහුට එම දිනය නිශ්චිත නැත)) උත්සවයට සමඟාමිව මුස්ලීම් සිංහල අප දෙපාර්ශවය එක්ව එක් වැඩසටහනක් කරමු යනුවෙනි. ඒ අනුව මුස්ලිම්වරු න් වන අප එයට එකඟ වී එම වැඩසටහන සංවිධානය කල අතර ස්වාමිණ් වහන්සේලාට අවශ්‍ය දානය පිලියෙල කිරීමද මුස්ලිම්වරු න් වන අප කලා …”

මේ වැඩසටහන හරිද? වැරදිද? යන වාදයට මා නොයමි. මේ දෙපිරිස අතර පවතින සහයෝගය වඩ වඩාත් වර්ධනය කරගැනීම සදහා කල එම ක්‍රියාවලියට අද වනවිට දෙන මුහුණුවර කුමක්ද?, මේකද දහමක් ප්‍රචාරය කරන ආකාරය?, මේකද තම දහම් තුලින් උගත් පාඩම?, නොඑසේ නම් මීට වඩා යහපත් ආදර්ශයක් දහම තුල නැතුවාද?. මේ ප්‍රශ්නයන් බුද්ධිමත් බෞද්ධ අවධානය යොමු කලයුතුය. මන්ද ශ්‍රී ලාංකීය සමාජය තුල ජාතීන් අතර දිනෙන් දින ගොඩනැ‍ඟෙන විරසකය මැඩලීමට මෙවැනි පහත් පෙලේ ක්‍රියාවන් මැඩලීම කාලීන අවශ්‍යතාවයක්. මෙවැනි බොරදියේ මාළු බාන පිරිස් සමාජයක් තුල පැවතීම ජාතියේ පමණක් නොව ඔවුන් නියෝජනය කරන දහමේත් අවාසනාවක්.

මීලඟට මා ඔබේ අවධානයට යොමු කරන්නේ 02 හා 03 පිංතූර දෙකටය. එහිදී මුස්ලිම්වරු න් කිහිපදෙනෙකු තම නම සිංහල ජාතික නමක් ලෙස වෙනස් කිරීම සදහා කල ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් ඡායාරෑප කිහිපයක් ගෙනහැර දක්වා තිබුණි. එම කාරණය පදනම් කරගෙන සමහරක් පිරිස් තර්කයක් ගොඩනඟන්නේ මුස්ලීම් ජනතාව දිනෙන් දින බුදුදහම වෙත ඇදී එන බවයි. එම තර්කය සැබෑවක් නම් ඒ සදහා පැවතිය යුතු මූලික අවශ්‍යතාවයන් දෙකක් ඇත. එනම්,

  • ඉස්ලාම් දහම අතහැර ගිය පිරිස් එසේ කලේ ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව හොද අධ්‍යනයකින් හා අවබෝධයකින් වියයුතුය.
  • එසේ ඉස්ලාම් දහම අතහැර ගොස් බුදුදහම වැලද ගත්තේ බුදුන්ගේ ඉගෙන්වීමන් පිලිබදව පූර්ණ අවබෝධයකින් වියයුතුය.

කිසියම් කෙනෙකු ආගමික හේතූන් මත තම දහම වෙනස් කරන්නේ නම් ඒ සදහා පැවතිය යුතු මූලික අවශ්‍යතාවයන් ඉහත දක හෝ දෙකෙන් එකක් පමණි. මෙ‍‍‍හිදී දෙවන කාරණයට අනුව එම තීරණය ගත්තා නම් එනම්, “බුදුදහම වැලද ගත්තේ බුදුන්ගේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි” යන්න පවසන පිරිසගෙන් විමසන්නට ඇත්තේ දහමක ආගමික ඉගෙන්වීමන් වන ආගමික ලියවිල්ලට සාපේක්ෂව බුදුන්ගේ දේශනයන් යයි පවසන ත්‍රිපිටකය පිලිබදව බෞද්ධ සමාජයට පවා තවම ඇත්තේ සීමිත අවබෝධයකි. එය වටහා ගැනීමට මීට පෙර යහමඟ අඩවිය තුල”මාංශ අනුභවය පිලිබදව ත්‍රිපිටකයේ” පදනම් කරගෙන ඉදිරිපත් කල ලිපිය හොදම සාක්ෂියයි. එහි කථා කොට ඇත්තේ මාංශ අනුභවය සම්බන්ධයෙන් අන්‍ය ආගමිකයන් හට ඇඟිලි දිගු කරන බෞද්ධ ප්‍රජාව ත්‍රිපිටකයේ සදහන් ඉහත කරුණු පිලිබදව කොතරම් දැනුවත්ද? යන්නයි. මේ එක් නිදසුනක් පමණි. (ඉදිරියටත් මෙවැනි කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි) මෙවන් තත්වයක ඉහත සදහන් අන්‍ය ආගමික පිරිස් බුදුදහම අවබෝධ කරගත්තේ කෙසේද?. එය බෞද්ධ සමාජය පදනම් කරගෙන සිදුකලා නම් එය නිවරැදි යන්න කිසිදු බෞද්ධ විද්වතෙකු නොපිලිගනු ඇත. එයට මා ඉහතින් සදහන් මාංශ අනුභවය මාතෘකාවම හොදම නිදසුනක්. එනම් කෙනෙකු මාංශ කන්න පුළුවන් යයි පවසයි. තවත් කෙනෙකු කන්න බැරි බව පවසයි. ඒ අතර තවත් කෙනෙකු ත්‍රිකෝටික පාරිශුද්ධත්වයක් පිලිබදව පවසයි. එසේ නම් මෙහි බුදුන්ගේ ඉගෙන්වීම කුමක්ද?. මේ තුලින් බෞද්ධ සමාජය පදනම් කරගෙන බුදුදහම අවබෝධ කරගැනීම නිවරැදි ක්‍රමවේදය නොවන බව පැහැදිලිය. නමුත් අද සිදුවන්නේ කුමක්ද?. වර්ථමාන සමාජය ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙන දහමක් අවබෝධ කරගන්නවා වෙනුවට කරන්නේ විවිධ පුද්ගල චින්තන හා මතවාද තුලින් දහම අවබෝධකර ගැනීමයි. මේ නිසා බොහොදෙනෙකු ආගම නමින් දන්නේ ඒ ඒ පුද්ගල මතයන් හා ගොතන ලද කථා පමණි. මෙය ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවියන්) ඉතා අලංකාර ලෙස මෙසේ පවසයි,

“ඔවුන් අතර නුගත් අය වෙති. ඔවුන් ඇසු විරූ දෙය හැර පුස්තකය (දේව වාක්‍යයන්) නොදනිති”

ඉහත වාක්‍යයත් සමඟ වර්ථමාන සමාජය දෙස බුද්ධිමත්ව බලන්න. ඒ පවසන තත්වය නොවේද අද සමාජය අත්විදිමින් සිටින්නේ. ලොව තුල පවතින ආගමික මතවාද හා ඉගෙන්වීමන් “කනුවක බැදි ගොනා” මෙන් අධ්‍යනය කර පලක් නැත. ඒවා බුද්ධියෙන් දැකිය යුතුය. සංසන්ධනාත්මකව විමසිය යුතුය. එසේ නොමැතිව උපතින් උරුම වූ පමණින් එය සත්‍ය මාර්ගයක් යයි සිතීමත්, අනිකුත් ආගමික මතවාද කිසිදු අධ්‍යනයකින් තොරවම ඒවා වැරදි යයි පූර්ව නිගමනවලට එළඹීමත් අනුවනක්කාර ක්‍රියාවකි. මේ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවියන්) තවත් ස්ථානයක මෙසේ පවසයි.

“ඔවුන්ට (කිසියම් කාරණයක් පිලිබදව) පූර්ණ ඥානයක් නැති විටත් ඒ (කාරණය) පිලිබදව පැහැදිලි කිරීමන් නොලද විටත් එය (එම කාරණය) බොරැවක් යයි ඔවුන් සිතන්නේය”

මේ අනුව දහමක් යන්න බුද්ධියෙන් දැකියයුතු අංගයක් මිස ‍ෙමවැනි පිංතූර පදනම් කරගෙන අවබෝධ කර ගතයුතු සරල කාරණයක් නොවේ.

ඉහත පිංතූර හොදින් අධ්‍යනය කරන විට අවබෝධ වන තවත් කාරණයක් ඇත. ඒ මෙහිදී එම පුද්ගලයන් දහම වෙනස් කරනවාට වඩා නම වෙනස් කරන්නට දැඩි උනන්දුවක් දක්වා ඇති බවයි. එය සමහරක් පිරිස් වාසගම් පවා යොදාගෙන තිබීමෙන් මනාව පැහැදිලි වේ. මේවා තුල ඔවුන්ගේ තිබුණු පටු අරමුණු අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. මෙම පිංතූර පදනම් කරගෙන සමහරක් පිරිස් මුස්ලිම්වරුන් බුදුදහමට ආවා යයි කුංචනාද දුන්නත් ශ්‍රී ලාංකාවේම ජනප්‍රිය බෞද්ධ වෙබ් අඩවියක් ඉහත ඡායාරූපය පිලිබදව අදහස් දක්වා තිබුණේ මේ ආකාරයටය. එනම්,

“…මෙහි දැක්වෙන අය තෙරුවන් සරණ ගිය බව නිසැකවම පැවසිය නොහැක. විවාහය වැනි බොහෝ හේතූන් මේ සඳහා බලපෑ හැකිවේ …”

ඒ අනුව ඉහත ආකාරයට නම් වෙනස් කිරීමට බලපාන හේතූ බුදුදහම අවබෝධ කරගැනීම ම තමා යන්න පදනම් විරහිත තර්කයක් යන්න පැහැදිලිය. මීට අමතරව ඉහත එම ඡායාරූපය පදනම් කරගෙන ඉස්ලාම් භක්තිකයන් බුදුදහම වැලද ගන්නවා යයි අර්ථකථනයක් පවසන පිරිසගෙන් මා විමසන්නේ “කිසියම් කෙනෙකු බෞද්ධයකු වීම පිණිස ඔහුගේ නම සිංහල ජාතික නමක් වීම අත්‍යඅවශ්‍ය කාරණයක්ද?” මා අවබෝධ කරගෙන සිටින බුදුදහම අනුව නම් පිලිතුර “නැත” යන්නයි. එසේනම් මේ නම් වෙනස් කිරීම කුමන අරමුණක් සදහා ද?. තම නම සිංහල ජාතික නමක් බවට පරිවර්ථනය කර ගැනීමට උනන්දුවීම තුල එහි අරමුණ දහම් අවබෝධය නොවන බව බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුහට වටහා ගැනීම අපහසු නොවනු ඇත. ශ්‍රී ලාංකීය සමාජය තුල පවා තම සිංහල ජාතික නම තබාගෙන ඉස්ලාම් දහම අනුගමනය කරන පිරිස් බොහෝමයක් ඇත. (එවැනි නම් මෙහි සටහන් නොකරන්නේ ඔවුනට ඉන් කිසියම් බලපෑමක් ඇති වේ යන සැකය නිසාත්, පුද්ගලික නම් ඔවුන්ගේ අවසරයකින් තොරව පලකිරීමට සුදුසු ක්‍රියාවක් නොවන නිසාත්ය). ඒ අනුව ඉස්ලාම් දහමට පමණක් නොව ලොව බොහෝ ආගම්වලට එහි අනුගාමිකයන්ගේ නම කුමණ ජාතිය නියෝජනය කරනවාද? යන්න වැදගත් සාධකයක් නොවේ. එය ලොව පුරා විසිරී පවතින බෞද්ධ ආගමිකයන්ද තම නම සිංහල ජාතික නමක් බවට පරිවර්ථනය නොකිරීම තුල සනාථ කොට ඇත. මෙහිදී සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් සමහරක් පිරිස් ඉස්ලාම් දහම වැලද ගැනීමේ දී තමාට පෙර පැවතී නම හා බද්ධ කොට මුස්ලීම් සමාජයේ භාවිතයේ පවතින නමක් යොදාගනී. නිදසුනක් පවසනවා නම් ඉස්ලාම් දහම වැලදගැනීමට පෙර “නන්දා මාලනී” ලෙස පැවතී නමක් ඉස්ලාම් දහම වැලදගැනීමෙන් අනතුරැව එය “සාරා මාලනී” ලෙස කිසිවකු වෙනස් කරන්නේ එය ඉස්ලාම් අගය කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නොකරයි. නමක් තැබීම සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය වන්නේ “අර්ථවත් නමක් තැබිය යුතුයි” යන්න පමණි. මීට පරිභාහිරව කිසිවකු ක්‍රියාකරයි නම් එය ඉස්ලාම් නොවේ. දැන් මාතෘකාවට නැවත අවධානය යොමු කලේනම්,

ඉහතින් සදහන් පිරිස තම නම වෙනස් කිරීමට මුල් වූ කාරණය ඉස්ලාම් දහම පිලිබදව අවබෝධයද? අනවබෝධයද? යන්න කෙසේ වෙතත් බුදුදහම පිලිබදව තිබෙන අනවබෝධය යන්න නම් ඉහත කරුණුවලින් ඔබට පැහැදිලි වනු ඇත. එසේ නම් ඉහත ආකාරයට නම් වෙනස් කිරීමට නොඑසේ නම් බෞද්ධයකු වීමේ තීරණාත්මක අවස්ථාවකට ඔහු පත්වන කිසියම් (එනම් විවාහය, රැකියාව, වස්තූව … වැනි ලෞකික කාරණයන් පදනම් වූ) හේතුවක් හෝ බලවේගයක් ඔහු කෙරෙහි ක්‍රියාත්මක වී තිබිය යුතුය. ඒ අනුව ද පැහැදිලි වන්නේ එම පිරිසගේ නම වෙනස් කිරීමේ අරමුණ දහම් අවබෝධය යන්නට වඩා ලෞකික කාරණයන් යන්නයි. එපමණක් නොව මෙවැනි කාරණා ඉදිරිපත් කරමින් බුදුදහමේ මහිමය ඉහල නංවන්නට උත්සාහ කරන පිරිසට ද පවසන්නට ඇත්තේ, මෙවැනි පහත් ක්‍රියාවන් තුලින් තම දහමට කිසියම් මහිමයක් හෝ ගෞරවයක් දිනාදීමට උත්සාහ කිරීම තුල ඔවුන් කියාපාන්නේ අනිකුත් ආගම් හි ඉගෙන්වීමන් කෙසේ වෙතත් තම දහම පිලිබදව පවා තමන්ට නිසි අවබෝධයක් නැතියි යන්න පමණි.

කෙසේ වෙතත් මේ ආකාරයට “ඉස්ලාම් දහම හැර ගොස් බුදුදහම වැලදගත්තා” යයි පවසන පිරිසට සේම එසේ බුදුදහම වැලදගත් පිරිසට අභියෝගාත්මක ආරාධනාවක් කරන්නට කැමැත්තෙමි. ඒ “ඔබලා අවබෝධ කරගත් දහම ඉස්ලාම් හා සංසන්ධනාත්මකව ලියන්නේ නම් එය මෙම අඩවිය තුල පලකරන්න යහමඟ සූදානම්. එසේම ඉහත ඡායාරූපවලින් හදුන්වා දෙන පිරිස් පිලිබදව සැබෑ ‍තොරතුරැ දන්නා පිරිස් සිටී නම් ඔවුන් ද එම තොරතුරැ යහමඟට යොමු කරන්න. එසේ නොමැති නම් පහතින් ඇති අදහස් දැක්වීමේ තීරුවෙහි සටහන් කිරීමට අමතක නොකරන්න. මන්ද සත්‍යය විකෘති කර ඒ තුලින් අනිකුත් ආගමික මතවාද බිඳ දමා තම ආගමික මතවාදය සමාජය තුල වැපිරීම වර්ථමානයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ක්‍රියාවලියක් බවට පත්වී ඇති බැවිණි. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ දහමක් යන්න මෙවැනි ඡායාරූපයක් හෝ ලෞකික ජීවිතයට තුල ගිලීගිය එවැනි පිරිස් පදනම් කරගෙන එහි වලංගු අවලංගුභාවය තීරණය කලහැකි සාධකයක් නොවේ. එය බුද්ධියෙන් දැක තර්ක විතර්ක තුලින් අවබෝධ කර ගතයුතු කාරණයක් යන්න නැවත නැවතත් අවධාරනය කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම