පුනරුත්පත්තිය පිලිබදව ඉස්ලාම් දහමේ දැක්ම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රී ලාංකීය සමාජය තුල විශේෂයෙන් බෞද්ධ සමාජය තුල නිරන්තරයෙන් කථාබහ වන මාතෘකාවක් ලෙස පුනරුත්පත්තිය සදහන් කලහැක. මෙම පුනරුත්පත්තිය පිලිබදව ශ්‍රී ලංකාව තුල බෞද්ධ ජනතාව කථා කලද මෙය බෞද්ධ සමාජයට පමණක් ආවේනික වූ විශ්වාසයක් නොවේ. මෙම පුනරුත්පත්තිය පිලිබදව වූ විශ්වාසය ලොව බොහෝ සමාජවල දක්නට ලැබේ. විශේෂයෙන් හින්දු සමාජය සැලකූවිට මෙම විශ්වාසය ප්‍රබලව පවතී. එවන් වූ මෙම පුනරුත්පත්තිය පිලිබදව වූ විශ්වාසය ශ්‍රී ලාංකීය සමාජය පදනම් කරගෙන සලකා බලන විට මීට දශක කිහිපයකට පෙර එයට ප්‍රබල පිලිගැනීමක් සමාජය තුල පැවතුනත්, මිනිසාගේ බුද්ධි වර්ධනයත්, ඒ හේතුවෙන් සියල්ල තර්කානුකූලව බැලීමට පුරුදුවීමත් හේතුවෙන් එම විශ්වාසය කෙමෙන් කෙමෙන් ශ්‍රී ලාංකීය සමාජයෙන් දුරස් වෙමින් ඇත. මේ අනුව තවදුරටත් එම විශ්වාසය සමාජය තුල පවත්වා ගැනීමට එහි විවිධ සංශෝධනයන් ද සිදු කරන තැනට සමාජය ක්‍රියාත්මක වෙමින් ඇත. දැන් මෙම විෂය පිලිබදව ශ්‍රී ලාංකීය සමාජයේ විශ්වාසයන් පදනම් කරගෙන විමසා බලමු.

‘පුනරුත්පත්තිය’ යන වචනයෙහි අරුථ පිලිබදව ප්‍රථමයෙන් විමසා බැලුවේ නම්, එහි වචනාර්ථය ‘නැවත නැවත ඉපදීම’ යන්නයි. එනම් පුද්ගලයෙකු මියයන විට ඔහු තුල තිබෙන අමරණීය ආත්මය තවත් පුද්ගල ශරීරයක් තුලට ඇතුල් වී තම ජීවිතය අඛන්ඩව පවත්වාගෙන යනවා යන්න එම විශ්වාසයයි. සරලවම පවසනවා නම් යම් ජීවියෙකුගේ මරණයත් සමග සියල්ලල අවසන් නොවී එම ජීවීයා හා බැදුනු ආත්මය දිගින් දිගටම පවතිනවා යන්නයි. මෙය මා පෙර සදහන් කලාසේ හින්දු සමාජයේ පවතින ප්‍රබල විශ්වාසයක් වූවත් හින්දූ දහමේ ආභාෂය බුදු දහමට දැඩි ලෙස බලපෑම හේතුවෙන් බෞද්ධ සමාජය තුලද මෙම විශ්වාසය දක්නට ඇත. කෙසේ වෙතත් බෞද්ධ සමාජය තුල පවතින එම විශ්වාසය අනිකුත් ආගම්වල පවතින විශ්වාසයට වඩා තරමක් ඉදිරියට ගිය එකකි. ඒ අනුව බෞද්ධ සමාජයේ විශ්වාසය වන්නේ මනුෂ්‍යයෙකු මේ ආත්මයේ යහකටයුතුවල නිරත වුවානම් ඔවුන් ඊලඟ ආත්මයේ දී මනුෂ්‍ය ආත්මයක් ලබන බවත්, එයිනුත් තමන් කල පින්පව් අනුව ඊලඟ ආත්මයේ දී ඔහු යහපත් මිනිසෙකුද අයහපත් මිනිසෙකුද යන්න තීරණය වන බවත්ය. ඊට අමතරව තමන් කල කුසල් අකුසල් අනුව ඊලඟ ආත්මයේ දී ඔහු පොහොසත් පුද්ගලයෙකු ද දුප්පත් පුද්ගලයෙකු ද යන්න තීරණය වන බවත්, ලබන ආත්මයේ දී මිනිස් ආත්මයක් ලබන්න තරම් පින් කර නොමැතිනම් සත්ව (නොඑසේ නම් තිරිසන්) ආත්මයක් ලබන බවත්, එහි කුසල ඉතා ඉහල මට්ටමක පැවතුනා නම් තිරිසන් සත්ව ආත්මයක පවා හොද ආත්මයක් හිමි වන බවත් එම සමාජයේ විශ්වාසයයි.

මේ පිලිබදව මාධ්‍යයන් හරහා කරන සංවාද හා ලිපි සුළුපටු නොවේ. විවිධ වූ මාධ්‍ය වැඩසටහන් තුලින් මේ පිලිබදව ප්‍රබල වූ මතයක් මේ වනවිටත් නිර්මාණය කොට හමාරය. ඒ සදහා සමහරක් මාධ්‍යයන් මෙවැනි පෙර ආත්මය පිලිබදව කරුණූ පවසන පුද්ගලයන් මාධ්‍ය හමුවට ගෙන විවිධ වැඩසටහන් මෙහෙයවනවා අප දැක ඇත්තෙමු. ඔබට සමීපත නිදසුනක් ගෙන එන්නේ නම්, මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු, පවා පුනරුත්පත්තියක් ලබා ඇති බවට මාධයන් හරහා ප්‍රචාරය කෙරුනු ආකාරය ඔබට තවම අමතක යයි නොසිතමි. මීට අමතරව මියගිය ගායකයන්, නළුවන්… යනාදී පිරිස් ද පුනරුත්පතියක් ලබා ඇතැයි මාධ්‍යයන් තුලින් කරන සාකච්චා ඔබට අලුත් එකක් නොවනු ඇත. මේ ආකාරයට ශ්‍රී ලාංකීය සමාජය තුල ප්‍රබල කථිකාවක් ගොඩනැ‍‍ගෙමින් පවතින අවස්ථාවක මෙම කාරණය පිලිබදව මුස්ලීම්වරුන් වශයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමකද? යන්නත්, මෙම පුනරුත්පත්තිය කොතරම් දුරකට පිලිගතහැකි විශ්වාසයක්ද? යන්නත්, එය කොතරම් දුරට බුද්ධිගෝචරද? යන්නත් දැන් විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.

ප‍්‍රථමයෙන් මේ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න පවසනවා නම්, ආත්මවාදී සංකල්පය එනම් කිසියම් පුද්ගලයෙකු නැවත නැවත ඉපදීම එසේත් නොමැති නම් අමරණීය යමක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ගමන් කිරීම ඉස්ලාම් තරයේ ප‍්‍රතික්‍ෂෙප කරන මතවාදයකි. ඉස්ලාමීය විශ්වාසයට අනුව මනුෂ්‍ය ඇතුළු සියළු ජීවින් එක්වරක් පමණක් උපදින අතර මනුෂ්‍යයෙකු තම ජීවිත කාලය තුල කරණූ ලබන යහපත් හා අයහපත් කටයුතු සදහා ලෝක අවසානයෙන් පසු උදාවන විනිශ්චය දිනයේ දී සර්ව බලධාරී අල්ලාහ් (දෙවි) විසින් විනිශ්චය ලබාදී ඒ අනුව සදාථනික ස්වර්ගයද, අපායද එසේත් නැත්නම් අපායෙන් පසු ස්වර්ගයද යන්න තීන්දු කෙරේ. මනුෂ්‍යයන් නොවන අනිකුත් ජීවින් සදහා ද අල්ලාහ් (දෙවියන්) විනිශ්චයක් කරන අතර එහිදී කිසියම් අසාධාර්ණයක් එම සතුන්ට සිදුවී ඇත්නම් ඔවුන් සදහා එහිදී සාධාර්ණයක් ඉටුකරන බවත් ඉස්ලාමීය ඉගෙන්වීමයි. ඒ අනුව ජීවියෙකුගේ මරණයෙන් පසුවටත් ඔහු තුල යමක් ඉතිරි වෙනවා යන්න ඉස්ලාම් දහමද විශ්වාස කරන බව පැහැදිලිය. එය පහත හදීසය (මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්) තුලින් ද මනාව අවබෝධ කරගත හැක.

“කිසියම් කෙනෙකු මරණයට පත්වූ විට කරුණු 03 ක් හැර අන් සියල්ල (ඔහුගෙන්) විසන්ධි වන්නේය. ඒ,
* ඔහු වෙනුවෙන් කරන ‘සදකාව’ හෙවත් (දානදර්ම)පරිත්‍යාග,
* ඔහු විසින් (සමාජයට) ලබාදුන් යහපත් අධ්‍යාපනය,
* ඔහු සමාජයට දායාද කල යහපත් දරුවන්ගේ ප්‍රාර්ථනය,

දන්වන්නේ – අබූ හුරෙයිරා (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, තිර්මිදි

ඉහත හදීසයට අනුව මරණින් මතුවට තමන් ජීවත්ව සිටිය දී කල කුසල් අකුසල් බලපාන බව පැහැදිලිය. නමුත් එය තවත් ලෞකික උත්පත්තියක් සදහා බලනොපානවා යන්න ඉස්ලාමීය විශ්වාසයයි. ඒ අනුව මෙම විෂය සම්බන්ධයෙන් ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න දැන් ඔබට පැහැදිලි වියයුතුය. එසේ නම් මීලඟට මෙම පුනරුත්පත්තිය හෙවත් ආත්මවාදය මිනිස් බුද්ධියට බුද්ධිගෝචර මෙන්ම ප‍්‍රායෝගික වූ විශ්වාසයක්ද? යන්න දැන් බුද්ධිමත්ව විමසා බලමු.

අද ලොව කෝටි 600ත් අධික ජනගහනයක් ජීවත් වෙති. මීට වසර 100 කට පෙර මෙම ජනගහනය ආසන්න වශයෙන් කෝටි 200 ක් පමණි. තවත් ඈතට එනම් අවුරුදු 1000 ක් පමණ ආපස්සට ගියේනම් එදා ජනගහනය ඉතා සුඑ පිරිසක් වනු ඇත. මේ ආකාරයට අතීතයටම ගියේනම් අවසානයේ එකම එක මිනිස් යුවලකින් අවසන් වනු ඇත. (මෙය වර්ථමානයේ සියළු දෙන විවාදයකින් තොරව පිලිගන්නා සත්‍යයකි) මෙය මනුෂ්‍යයා සම්බන්ධයෙන් වූ සංඛ්‍යාලේඛන පමණක් වුවද අනිකුත් ජීවින් සම්බන්ධයෙන් ද තත්වය එසේමය. එනම් ඒවා ද අවසන් වන්නේ එකම ජීවි යුගලකිනි. මේ අනුව උදාහරණයක් ලෙස අද ලොව මිනිසා ඇතුළුව ජීවින් වර්ග 1000ක් පවතින්නේ යයි ද ඒවා සියල්ල එකවර බිහිවුවා යයි ද උපකල්පනය කලේනම්, ලොව ජීවින් ආරම්භයේ පැවතී ජීවින් සංඛ්‍යාව ජෝඩු 1000ක් වේ. එසේත් නැත්නම් ජීවින් 2000ක් වේ. ආත්මවාදය හෙවත් පුනරුත්පත්ති සංකල්පය සත්‍යක් නම් අදටත් ලොව පවතින ජීවින් සංඛ්‍යාව ආරම්භයේ පැවතුනු ජීවින් සංඛ්‍යාවට සමාන වියයුතුය. එහිදී සතුන් සංඛ්‍යාව අඩු වී මනුෂ්‍ය සංඛ්‍යාව වැඩිවීමක් හෝ මනුෂ්‍ය සංඛ්‍යාව අඩුවී (අකුසල නිසා) සතුන් සංඛ්‍යාව වැඩිවීමක් සිදුවිය හැක. නමුත් සමස්ථ ජීවි සංඛ්‍යාවේ වෙනසක් ඇතිවිය නොහැක. බුදු දහමේ ඉගෙන්වීමට අනුව පැවසෙන නිර්වාණය හා හින්දු දහමේ පැවසෙන ස්වර්ගය ලැබීම වැනි හේතූන් නිසා ඉහත අගය තව තවත් අඩුවනවා මිස වැඩිවිය නොහැක. ඉහත පුනරුත්පත්ති විශ්වාසය තුල ප්‍රායෝගිකව සිදුවිය යුත්තේ එය වුවත් සැබෑවටම සිදුවන්නේ කුමක්ද?. ඉහත ආත්මවාදය සීසිකඩ කරමින් දිනෙන් දින ජීවින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. ඒ අනුව අළුත් ජීවින් ලොව බිහිවනවා යන්න පැහැදිලි කාරණයකි. මේ සදහා හොදම නිදසුන වශයෙන් බැක්ටීරියා ව්‍යාප්තිය සදහන් කලහැක. විනාඩි කිහිපයකින් බිලියන දහස් ගනන් බිහි වේ. ලොව සමස්ථ ජනගහනයට වඩා අධික බැක්ටීරියා සංඛ්‍යාවක් විනාඩි කිහිපයකින් වර්ධනය වනවා අප හොදින් දනිමු. මේ ජීවින් බැක්ටීරියා ආත්මයක් ලබන්න නම් ඔවුනට සමාන මනුෂ්‍ය සංඛ්‍යාවක් මිය යායුතුය. එසේම ඒ සියළුදෙනාම මනුෂ්‍ය ආත්මයක් ලබන්නට තරම් කුසල් කර නොමැති වියයුතුය. බුද්ධිමත්ව සිතා බලන්න මේ පොලොව මත ජීවත් වන සමස්ථ මනුෂ්‍ය වර්ගයාම එකම මොහොතේ මියදුන ද එම අගය තත්පරයක් තුල ලොවපුරා බිහිවන බැක්ටීරියා සංඛ්‍යාවට සමාන නොවනු ඇත. මේ මා පවසන්නේ “බැක්ටීරියාව” පිලිබදව පමණකි. බුද්ධිය ඇත්තෙකුහට මෙම බැක්ටීරියා ක‍්‍රියාකාරීත්වයම ප‍්‍රමාණවත් ආත්මවාදය අසත්‍යක් බව වටහා ගැනීමට ඊට අමතරව “වෛරසය” හා අනිතුක් ජීවින්ගේ බිහිවීම හා ව්‍යාප්තිය ද සම්බන්ධ කරගත්තේ නම් මෙම ආත්මවාදය කොතරම් අන්ධ හා මිත්‍යා විශ්වාසයක්ද යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත.

මෙවන් වූ ආත්මවාදය සාධාර්ණීකරණය කිරීම සදහා වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජය තුල විටින් විට විවිධ වූ වාදයන් ඉදිරිපත් කරනවා අප නිරන්තරයෙන් අසන්නෙමු. ඉන් ජනප‍්‍රියම වාදය වන්නේ “මිනිසුන් වශයෙන් ජීවත්වන අප විවිධ අවස්ථාවල වැරදි කරන්නෙමු එසේ කරන වැරදිවලට විපාකයන් වශයෙන් කල වරදෙහි ප‍්‍රමාණය අනුව විවිධ ආකාරයේ දඩුවම් වශයෙන් මෙම ආත්මයේ මෙන්ම ආත්මවලත් මිනිසුන් ලෙසත් සත්වයන් ලෙසත් ඉපිද එම පව් ගෙවන්නේ” මේ ආකාරයෙන් සියළු පාපයන් ගෙවා දැමීමෙන් නිවන ලබගත හැකි යන්න ඔවුන්ගේ ප්‍රධාන වාදයයි. මෙම වාදය කොතරම් බුද්ධිමත් හා සාධාර්ණ වූ වාදයක්ද? යන්න දැන් විමසා බලමු.

මෙහිදී මෙම කාරණය ප්‍රායෝගික ලෙස විමසා බැලිය යුතුය. කිසිවකු හට කිසිවක් (දඩුවමක් හෝ ප්‍රශංසාවක් එසේත් නැත්නම් තෑග්ගක්) ලබාදෙන්නේ නම්, එය ලබන පුද්ගලයා හට ඒ පිලිබදව අවබෝධයක් තිබිය යුතුය. ඒ මේ දඩුවම කුමක් සදහා ද?, මේ තෑග්ග කුමක් සදහා ද? යනාදී වශයෙනි. එනම් මාගේ මෙම ක‍්‍රියාව සදහා මට මේ දඩුවම එසේත් නැත්නම් මෙම තෑග්ග ලැබුනා යන්න ඔහුට අවබෝධයක් තිබිය යුතුයි. එසේ වීම තුල තමා වරදක් නිවරුදි කරගැනීමටත්, යහපත් කටයුතුවල තව තවත් නියලීමටත් උනන්දුවක් ඇති වන්නේ. මෙම අවස්ථාව ආත්මවාදය තුල තිබෙනවාද?. සරලවම විමසනවා නම් “ඔබ සිතන්න මේ ආත්මයේ මා මේ දුක්විදින්නේ ගිය ආත්මයේ මා කල මේ මේ වැරදි වෙනුවෙන් යයි ඔබ දන්නවාද?”. එසේ නොදන්නා වරදකට ඔබ දඩුවම් ලැබීම සාධාර්ණ වු ක‍්‍රියාවක්ද?. මෙසේ නොදන්නා වරදක් වෙනුවෙන් දඩුවම් ලැබීම තුල ගිය ආත්මයේ කල වරද මේ ආත්මයේ නිවරුදි කරගත හැකිවේද?. ආත්මවාදය තුලින් අපේක්ෂිත අරමුණ මේ ආකාරයෙන් දිනාගත හැකිවේද? මෙයට හොද නිදසුනක් පසුගිය පොසොන් දිනයක රූපවාහිණි ආගමික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක දක්නට ලැබුණි. එය මෙසේය. “එක්තරා කාන්තාවක් දුරකථනය මඟින් එම මාධ්‍ය සාකච්චාවට පැමිණ සිටී භික්‍ෂූන් වහන්සේගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් මෙසේ විමසන ලදී. එනම්,

“මම කුඩා කල සිටම දෙමවිපියන්ගේ සිත් නොරිදවා ඔවුන් දෙපල හා සුහදව කටයුතු කරමි. මාගේ දෙමවිපියන්ගේන් හැමදාම මට හිමිවුයේ සිත් පෑරවීම් හා සිත් රීදීම් පමණි (හඩමින් පවසයි) මෙවැනි ඉරණමක් මාහට හිමිවීමට හේතුව කුමක්ද?”

මෙම ප‍්‍රශ්නයට එම ස්වමින් වහන්සේගේ පිලිතුර වූයේ…

“ඔබ පවසන ආකාරයට දෙමවිපියන් සමග ඔබ සුහදව සිත් නොරිදවා කටයුතු කරන බව ඔබගේ කථාව තුල සදහන් වුනි එසේ නමි ඔබට මේ ආත්මයේ මෙවැනි තත්වයක් උදාවීමට බලපා ඇත්තේ ගිය ආත්මයේ ඔබ කල පාප ක‍්‍රියාවන් විය යුතුයි.”

දැන් නැවතත් මාතෘකාවට යොමු වුණේ නම්, එහිදී මාගේ ප‍්‍රශ්නය වන්නේ “මෙම කාන්තා ගිය ආත්මයේ කල පාපයක් සදහා මේ ආත්මයේ දඩුවම් ලබන්නේ නම්, ඒ ගිය ආත්මයේ කල කුමන වරද සදහාද?. යන්නයි. මේ ආත්මයේ දඩුවම් ලබන ඇයට ඒ පිලිබදව පැහැදිලි අවබෝධයක් පැවතීම සාධාර්ණ වූ කාරණයක් නොවේද?. ආගමික ඉගෙන්වීම පසෙක තැබුවද මෙය අද මුළු ලොවම ඒකමකිකව එකඟ වූ පොදු සම්මුතියකි. මේ හේතුව නිසා තමා සිරකරුවෙකුට පවා මානසික ලෙඩක් තිබේ නම් ඔහුට දඩුවම් ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවන්නේ. මන්ද දඩුවමි ලබන්නා හට අවබෝධයක් තිබිය යුතුයි තමන් මේ දඩුවම ලබන්නේ කුමණ වරදක් සදහා යන්න පිලිබදව. ඒ ආකාරයටම ඉහත සදහන් කාන්තාවට ද තමන්ට මෙවැනි ඉරණමක් අත්වීමට බලපානු ලැබු කාරණය පිලිබදව අවබෝධයක් තිබීම අනිවාර්ය කාරණයකි. එසේ එම කාන්තාවට එය පිලිබදව අවබෝධයක් තිබුණහොත් පමණයි එවැනි ක‍්‍රියාවකින් ඉදිරියේ දී වැලකී සිටීමට හැකි වන්නේ. මනුෂ්‍ය අත්මයක් ලද කෙනෙකු පවා මෙවැනි සංකීර්ණ ගැටළුවල සිරවෙද්දී තමන් කල වරද වෙනුවෙන් සත්ව ආත්මයක් ලැබුවේ නම් එහි තත්වය තවත් කනගාටුදායක වනු ඇත. නිදසුනක් ලෙස ගිය ආත්මයේ කල පාපයන් නිසා මේ ආත්මයේ බල්ලෙකු වෙලා ඉපදුනා යයි සිතන්න. මේ සත්වයා කෙසේද අවබෝධ කරගන්නේ මේ ඉරණම හිමිවුයේ මා කල මේ මේ වරදවෙනුවෙන් බවට. එය වටහා ගැනීමට තරම් බුද්ධියක් ප‍්‍රඥාවක් සතුන්ට තිබේද?. එසේම ඉදිරි ආත්මයන් හි මෙවැනි ඉරණමක් හිමිනොවීමට යහකටයුතු කරන්න තරම් බුද්ධියක් සතුන්ට පවතිනවාද?. මෙම තත්වය අවබෝධ කරගැනීම සදහා උදාහර්ණයක් මෙසේ පවසන්නම්, මිනිසෙකු තවත් මිනිසෙකු ඝාතනය කිරීම හේතුවෙන් ඔහුට අධිකරණය මරණ දඩුවම නියමකලා යයි ද මෙසේ මරණ දඩුවම නියමකිරීමෙන් අනතුරුව ඔහු සිහිවිකල් වී මානසික රෝගීයකු බවට පත්වුවා යයි සිතන්න. දැන් ඔහු වෙනුවෙන් දඩුවම් ක්‍රියාත්මක කිරීම තහනම් බව අප හොදින් දනිමු. එසේ දඩුවම් ලබා නොදීමට හේතුව ඔහුට එම දඩුවම කුමක්ද? යන්න හා එය කුමක් සදහාද? යන්න පිලිබදව කිසිදු අවබෝධයක් ලබාගත හැකි මට්ටමේ ඔහු නොපැවතීම හේතුවෙනි. කිසියම් ආකාරයකට එවැනි දඩුවමක් ක්‍රියාවට නැංවුවද ඒ පිලිබදව ඔබේ බුද්ධිමත් තීන්දුව කුමක්ද?. නියත වශයෙන්ම බුද්ධිමත් කිසිවකු එය අනුමත නොකරනු ඇත. මීට අමතරව මිනිස් සමාජයේ ප‍්‍රායෝගිකව අත්විදින තවත් කාරණයක් ඇත. එනම් මනුෂ්‍යාගෙන් පරිභාහිර වෙනත් ඕනෑම ජීවියෙකු මඟින් මනුෂ්‍යාහට කිසියම් වරදක් සිදුවුයේ නම් එම ජීවියාට එරෙහිව කිසිදුවිටක අධිකරණ තීන්දුවක් නොපතමු. මන්ද යම් දඩුවමක් එම සත්වයා සදහා තීන්දු කොට එය ඉටුකලද එය අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් එම සත්වයා තුල නොමැති බැවිනි. මෙය ලොවම අවබෝධ කරගෙන සිටින ප‍්‍රායෝගික සත්‍යයකි. එසේ නම් සාමාන්‍ය මනුෂ්‍ය බුද්ධියට ගෝචර කාරණයන් පවා ප්‍රතික්ෂේප කරමින් ඉදිරිපත් වන ආත්මවාදය ප්‍රායෝගික නොවන මිත්‍යාවක් යන්නට මීට වඩා කරුණු අවශ්‍ය වේද?.

එය එසේ නමුත් මෙම ආත්මවාදය ඉදිරිපත් කරන ප්‍රජාව අතර ශ්‍රී ලාංකීය බෞද්ධ ප්‍රජවද සිටින නිසා බුදුදහම මෙම ආත්මවාදය පිලිබදව කුමක් පවසනවාද? යන්නත්, ඒ සදහා සමාජය ඉදිරිපත් කරන සාක්‍ෂින් කුමක්ද? යන්නත්, දැන් විමසා බලමු.

ඉස්ලාම් දහම මෙම ආත්මවාදය ප‍්‍රතික්‍ෂෙප කරන බව ඉහතින් පැහැදිලි කලෙමි. බෞද්ධ ඉගෙන්වීමන් හි මේ පිලිබදව කුමක් පැවසෙනවාද? යන්න විමසා බැලූවිට විට එහි මෙවැනි වාක්‍යයක් සදහන් වේ. ඒ “සබ්බේ ධම්මා අනාත්මා” යනුවෙනි. මෙහි අරුථ “සියළු ආත්මයන් අනාත්මයි” යන්නයි. මෙහි “ධම්මා” යන පදයට ජීවි අජිවී සියල්ල අන්තර්ගත යන්න බෞද්ධ ඉගෙන්වීමයි. ඒ අනුව එනම් බුදුදහමේ ඉගෙන්වීමට අනුව කිසිවකුට මරණයෙන් මතුවට ආත්මයක් නැත යන්න පැහැදිලිය. එනම් “පුනරුත්පත්තියක් නැත” යන්න පැහැදිලිය. මේ ආකාරයට හේතු කාරණා සහිතව පුනරුත්පත්තිය හෙවත් ආත්මවාදය ප්‍රතික්ෂේප කරන විට එම සියළු කාරණයන් පසෙක තබා පාරම්පරික විශ්වාස හෝ විද්වතුන් යයි පවසාගන්නා සමහරක් පිරිස් ආදර්ශයට ගෙන මෙවැනි මතවාදවල දිගින් දිගටම සමහරක් පිරිස් එල්බ සිටී. මොවුන්ගේ මෙම විශ්වාසයන් තහවුරු කිරීම සදහා සමහරක් මාධ්‍යය ද මහත් උත්සාහයක් ගනී. විශේෂයෙන් ගිය ආත්මය පවසනවා යයි කියන සමහරක් පුද්ගලයන් හා විද්වතුන් (වෛද්‍යවරුන් පවා) සාකච්චා මණ්ඩපයකට ගෙනවිත් මෙම ආත්මවාදය තහවුරු කිරීමට ගන්නා උත්සාහය ශ්‍රී ලාංකීය අපට අළුත් කාරණයක් නොවේ. කවදත් හාස්කම් හා විශ්මයන් අන්ධ භක්තියෙන් බදාගන්නා අප සමාජය මෙම කාරණයේ දී ද දෙවැනි වී නැත.

මෙම ආත්මවාදය සමාජයට තහවුරු කිරීම සදහා යොදා ගන්නා එකම උපක්‍රමය “මෝහන” නම් ක්‍රමවේදයයි. මෙම මෝහනය මඟින් සිදුකරන්නේ මනුෂ්‍යා කිසියම් ආකාරයක පියවී තත්වයෙන් වෙනස් ආකාරයේ තත්වයකට පත්කිරීමයි. එය ඉහත (ආත්මවාදය පිලිගන්නා) පිරිස් සදහන් කරන්නේ සංසාර සවාරියක නිරතවන බවයි. එය තහවුරු කිරීම සදහා ඔවුන් නඟන ප්‍රශ්නය වන්නේ “පුනරුත්පත්තියක් නැත්නම් මෝහනය මගින් ගිය ආත්මයේ තොරතුරු පවසන්නේ කොහොමද? පුනරුත්පත්තියට මීට වඩා තවත් සාක්‍ෂියක් අවශ්‍යද?” යන්නයි. මෙම විෂය මීටත් වඩා මා පැහැදිලි කරනවාට වඩා මෙම විෂය පිලිබදව අත්දැකීම් බහුල විද්වතෙකු මෙන්ම පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශාධිපති මහාචාර්‍ය පී ඩී පේ‍්‍රමසිරි මහතාගේ අදහස වෙත අවධානය යොමු වීම සුදුසු යයි සිතමි. එතුමා පවසන්නේ,

“මෝහනය වැනි චිත්ත වශීකරනයක් ඔස්සේ යමකු පෙරභවය දක්වා කැදවාගෙන යාහැකි යයි. විශ්වාස කිරීම බුදුදහමට එකග නැත.”

මෙම අදහස “ජනකාන්ත මිත්‍යාමත” යන පොතෙහි 200 පිටුවෙහි සදහන්ව ඇත. පාලි හා බෞද්ධ විෂය පිලිබදව පුළුල් දැනුමක් ඇති එතුමාගේ එම ප්‍රකාශනය කිසිසේත් අවතක්සේරු කල නොහැක. මේ අනුව සැලකුවද බුදුදහම නමින් සමාජ විශ්වාසයේ පවතින ආත්මවාදය හා මෝහන ක‍්‍රියාදාමය අසත්‍යයක් බව පැහැදිලි වේ. මෙසේ මා පවසන විට ඔබට ගැටලූවක් ඇති විය හැක. එනම් අප ඕනෑ තරම් පුවත්පත්වල හා රූපවාහිනීවල ගිය ආත්මයන් පිලිබදව පැවසෙන සිද්ධීන් අසා ඇත. එසේනම් පුනරුත්පතිය කොහොමද අසත්‍ය වන්නේ?. මෙය ප්‍රශ්නයට පිලිතුරු ලබාදීමට පෙර එක් කරුණක් අවබෝධ කරගත යුතුයි. එනම් කිසියම් කාරණයක් පිලිබදව ගවේෂණයක් හෝ පරීයේෂණයක් සිදුකොට එහි ප‍්‍රථිපලය වැරදී යයි 99 වාරයක් ඔප්පු වුවද, (ජනතා අපේක්ෂාව සේම) එහි ප්‍රථිපලය හරි යයි එක් වතාවක් හෝ ඔප්පු වුයේ ජනතාව අතරට යන්නේ ඒ එක ප‍්‍රථිපලය පමණි. මෙය ලෝක පොදු ධර්මතාවයකි. එම කාරණය හොදින් මතකයේ රදවාගෙන ඉදිරියට යොමු වෙමු.

ඉහත සදහන් ආකාරයට මෙම පුනරුත්පත්ති වාදය හා මෝහන ක‍්‍රියාදාමය බුදුදහම ප‍්‍රතික්‍ෂෙප කලත් අද බෞද්ධයින් අතර මේ පිලිබදව දැඩි විශ්වාසයක් පවතී. ඒ මා පෙර සදහන් කල හාස්කම්, විශ්මය ජනක කරුණූ පසුපස හඹායාමේ ආසාව හා තම අපේක්ෂාව ඉටුවන කරුණූ අන්ධ භක්තිකව බදාගැනීම යන හේතු නිසාය. පුනරුත්පත්ති වාදයට පාර එලි කරන එකම සාධකය වන මෝහනය පිලිබදව ගැඹුරු පරියේෂණවල නිරත වූ ජාත්‍යන්තර විද්වතුන්ගේ අදහස් විමසා බැලුවේ නම්, විද්‍යාඥයින් වන ආචාර්ය ඊ රයින්ල, මහාචාර්ය විලියම් මැක්ඩුගල් සහා මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් වැනි විද්වතුන් පවා තමන්ගේ එම පරියේෂණය අවසානයේ “ගැඹුරින් හැදෑරීමට අවශ්‍ය සාධක තිබේ” යන නිගමනයෙන් පමණක් නතර කර ඇත. මෙම මෝහනය පිලිබදව අප රටේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙකු වන මනෝ රෝග විශේෂඥ වෛද්‍ය රනිල් අබේසංහ මහතා අදහස් දැක්වීමේ දී

“මෝහනය මගින් පෙර භවය විමසීම අඩුම ගානේ මනෝ වෛද්‍ය විද්‍යා පථයටවත් අයත් දෙයක් නොවේ. මෝහනය කියන්නේ මොකක්ද? ඉන් කල හැක්කේ කුමක්ද? කියන එක පිලිබදව දැන් නුතන මනෝ වෛද්‍ය විද්‍යාවෙන් බොහෝ කරුණු තහවුරු කරගෙන තියෙනවා. ඒ අනුව මෝහනය කියන්නේ අධි මානසික ශක්තියක් පුබුදුවා ගතහැකි මාධ්‍යයක් නොවන බව දැන් සනාථවී තිබෙනවා”

යනුවෙන් පවසයි. එහෙත් අප රටේ මාධ්‍යයන් ඔස්සේ විශේෂයෙන් රූපවාහිනී වැඩසටහන් මගින් මෝහනය හරහා පුනරුත්පත්තීන් පරීක්‍ෂණ පවත්වන ඊනියා වෛද්‍යවරුන් ඉහත සදහන් විද්‍යාඥයින්ද අභිබවා බොහෝදුර ගොස් ඇති බව මනාව පැහැදිලි වේ. මෙය හරියට රත්නපුරයේ මැණික් පතල්වල දෝනා ගොස් හිස් අතින් ආපසු එද්දී කිසිදු මහන්සියක් නොවී කෙනෙකුට පිටකොටුව බෝගහ යට මැණික් අහුරු ගනන් හසුවනවාසේය. එක් පසෙකින් කුමක් හෝ ජනතාවට පවසා මුදල් උපයන් බලාහිදින අප රටේ මාධ්‍යයන්වල ජනප‍්‍රිය මාතෘකාවක් මෙන්ම ජාවාරම්කරුවන්ගේ ඉරිදා පොලක් බවට පත්ව ඇති අතර තවත් පසෙකින් මා පෙර සදහන්කලා සේ හාස්කම් හා විශ්මයජනක කරුණු පසුපස හඹායන මිත්‍යාදෘෂ්ඨිකයන්ට තම මතය ඉදිරියට ගෙනයාමට මෙය මහත් පිටුවහලක් වී ඇත.

මෙවැනි ආත්මවාදී කථා අප සමාජයේ විවිධ කාලවල කොතෙකුත් අසා ඇත්තෙමු. ඒවා අතර හිටපු ජනාධිපතිවරු ප‍්‍රසිද්ධ ගායකයෝ සහා විවිධ ක්‍ෂෙත‍්‍රවල ප‍්‍රසිද්ධියක් ඉසුලූ ජනප‍්‍රිය පුද්ගලයින්ද විය. මේවා පොදු ජනයා අතරට අවාට වඩා වේගයෙන් ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂෙප වී ගියා යන්න තමා සැබෑව. එවැනි තත්වයක් තුල ඉහත මිත්‍යා දෘෂ්ඨිකයන්ගේ අවධානයට මෙන්ම මෙම විෂය බුද්ධිමත් ලෙස අධ්‍යනය කරන පිරිසගේ අවධානයට අප රටේ විවිධ කාලවල සිදුවූ පුනරුත්පත්ති සිදුවීම් කිහිපයක් ඔබගේ රසස්වාදය සදහා මෙන්ම බුද්ධිය අවදි කිරීම සදහාත් “ජනකාන්ත මිත්‍ය මත” නැමති පොතින් උපුටාගෙන මෙහි පල කරමි.

සිංහල කතා කළ හැපින්නක්

මෙම කාන්තාවගේ වයස අවුරුදු 45ක් වන අතර බෞද්ධාගමික වත්පිළිවෙත් හි දැඩිව යෙදෙන්නෙකි. මෙම කාන්තාව මෝහනයට පත්කලේ නෙවිල් ද සිල්වා මහතා විසිනි එහිදී කල සාකච්චාව පහත ආකාරයට වේ.
* කරුණාකරලා කියන්න ඔබ කව්ද? – “හැපින්නක්”
* ඔය හැපින්න කොයි පළාතේද? – “කැළේක” ඇය රහසින් කීවාය
* ඒක තෙත් වනාන්තරයක්ද? වියළි වනාන්තරයක්ද? – “වියළි”
* කොයිවගේ පළාතක්ද? – “අනුරාධපුරේ”
* අනුරාධපුර බව දන්නේ කොහොමද? – මද කල්පනාවකට පසු “චෛත්‍ය දැකලා තියෙනවා”
* ඒ කියන්නේ හැපින්න ජීවත්වුනේ අනුරාධපුර අටමස්ථාන ආශ‍්‍රතව? – “ඔව්”
* හොදට මතකද? – “මතකයි”
* හැපින්න ඒ කාලේ මිනිසුන් කීදෙනෙකුට දෂ්ඨ කලාද? – “දෙන්නෙකුට”
* දෙන්නම ගැහැණු? – “නැහැ පිරිමි”
* දෙන්නම මැරුණාද? – “නැහැ”
* එහෙනම්? – “එක්කෙනයි මැරුණේ”
* ඔහු මියගිය බව හැපින්න කොහොමද දන්නේ? – “ඒ වෙලාවේ මගේ තද විෂක් තිබුනා”
* හොදයි හැපින්න කොහොමද කෑම බීම සොයා ගත්තේ? – “වතුර බිව්වේ මල්වතු ඔයෙන්”

දැන් මේ පිලිබදව විමසුමක යෙදෙමු, සාමාන්‍යයෙන් සර්පයෙකුට තමන් පිලිබදව අනන්‍ය වශයෙන් දැනගන්නට හැකියාවක් නැත. තම වර්ගයේ පිරිමි සතුන් සමග ප‍්‍රජනන කාර්යයේ යෙදුණද තමන්ද ඒ වර්ගයේ ස්ත‍්‍රි පාර්ශවයට අයත් බව වටහාගත හැකියයි පැවසීමත් විහිලූවකි. දෙවැන්න පරිසරය පිලිබදව ඇය පැවසු කාරණය වනාන්තරයක තෙත් හා වියළි බව වටහා ගැනීමට යම් ඥාණ ශක්තියක් මෙන්ම පරිසර විශමතාවන් පිළිබද දැනුමක් තිබිය යුතුයි. මෙම කාන්තාව සැබැවින්ම හැපින්නක්ව සිටියේනම් එම පරිසරයේ සංවේදිතාවන් ප‍්‍රබල විඥනයක් නොමැති ඇගේ සිතේ තැන්පත් වුයේ කෙසේද? මෙවැනි විඥන ශක්තියක් ඇත්තේ මිනිසුන් වන අපට පමණි. එසේම තමන් ජීවත්වු පරිසර අනුරාධපුර ද්‍රගැබ් අසල බව වටහා ගැනීමට නම් ඇයට අප රට පිලිබදව මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබදවද යම් අවබෝධයක් තිබිය යුතුය. එසේම තමන් දෂ්ඨකල දෙදෙනා පිරිමින් බව හදුනාගැනීමට ලිංග භේදය පිලිබදවද අවබෝධයක් තිබිය යුතු අතර සංඛ්‍යාව 02ක් බව පැවසීමට සංඛ්‍යා පිලිබදවද අවබෝධයක් තිබිය යුතුය. මෙවැනි සර්පයින් ලොව කොහේ වෙසෙත්දැයි අපි නොදනිමු.

ඩී එස් ගේ කාලයේ ලංගම බස් දුටු සෝමලතා

නෙවිල් ද සිල්වා මහතා විසින් මෝහනය කල මීලග කාන්තාව වයස අවුරුදු 42ක් වු අවිවාහක කාන්තාවකි එහි විස්තර පහත ආකාරයට වේ

* පෙර බවයේ මියගිය ආකාරය විමසුවිට “තමා පිටිසරබද ගමක ජීවත්වු සෝමලතා නම් තැනැත්තියකු බවත් දරු ප‍්‍රසුතියකදී අධික දුක්වේදනා විද මියගිය බවත් ඇය පවසන ලදී”
* ඒ කාලයේ රටේ දේශපාලන තත්වය විමසූ විට එයට ඇය කීවේ “ඩී එස් මහත්තයා අගමැතිව සිටී බවත් තමන් විළිරුදාවෙන් පීඩා විදිමින් මෝටර් රථයක් නොමැති බැවින් ලංගම බසයකින් රෝහල වෙත ගිය බවත් පවසන ලදී
* නැවතත් ගමන පිලිබදව විමසද්දී ඇය කීවේ “ඒ කාලයේ එම පාරේ ධාවනයව කරන ලද්දේ ලංගම බස් පමණක්” බවයි

මේ මෝහනයේ ඇය පැවසු ලංගම බස් තිබීමට කිසිදු හැකියාවක් නැත මන්ද ඩී එස් සේනානායක මහතාගේ කාලයේ ලංගම ආයතනය පිහිටා තිබුනේ නැත.

අහසේ පාවුණ බැංකු කළමණාකරු

මෙම මෝහනය මෙහෙයවන ලද්දේ නෙවිල් ද සිල්වා මහතා විසින්ය මෙය 2000 අගොස්තු 09 බදාදා ප:ව: 2:30 ට මහරගම සිරි වජිරඥන ධර්මායතනයේ තරුණ ශීල සමාද්‍රන ගොඩනැගිල්ලේ ප‍්‍රදර්ශනාත්මකව 500ක් පමණ ජනකායක් මධ්‍යයේ සිදුකෙරුණී.

මෙහිදී විශේෂ කරුණක් වශයෙන් සදහන් කලයුත්තක් තිබේ. එනම් මෙම කාන්තාවගේ ප‍්‍රශ්න කලේ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසින් වන අතර මෙය නැරඹීමට ශාස්ත‍්‍රපති පුජ්‍ය ත‍්‍රිකුණාමලේ ආනන්ද හිමි ල පුජ්‍ය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි ප‍්‍රමුඛ සිරි වජිරඥන ධර්මායතනවාසී මහා සංඝරත්නයෙන් 30කට ළංවන භික්‍ෂුන් වහන්සේ පිරිසක්ද මෙම විමසුම් නිරීක්‍ෂණයට වැඩම කලහ. එම සංවාදය මෙසේය

* මව් කුසට පිවිසෙන්න පෙර ඔබ සිටියේ කෙහේද? – “ඕස්ටේ‍්‍රලියාවේ”
* ඕස්ටේ‍්‍රලියාවේ කොහේද? – “පර්ත් කිට්ටුව වගේයි මතක”
* ඔබේ නම මොකක්ද? – “ස්ට්‍රොක් ස්මිත්”
* ඔබ විවාහ වෙලාද හිටියේ? – “ඔව්”
* ඔබේ සැමියාගේ නම මොකක්ද? – “නෑ නෑ මම පිරිමි කෙනෙක් බැදලා හිටියේ ඈන් කියලා කෙනෙක්ව”
* දරුවෝ කීදෙනෙක් හිටියාද? – “දෙන්නයි”
* ඔබේ රුකියාව මොකක්ද? – “මං බැංකු කළමණාකරුවෙක්”
* මොකක්ද බැංකුව? – “කොමන් වෙල්ත්” (වත්මන් රාජකාරී කටයුතුවල දී මෙම බැංකුව පිලිබදව තමන් කොතෙකුත් අසා ඇති බව ඇය පසුව කීවේය)
* මොකක්ද ශාඛාව? – “ඒ බැංකු ශාඛා නැහැනේ”
* මොකද නැත්තේ ශාඛා තියෙනවා? – “ඒ කාලේ ශාඛා තිබුනේ නැහැ” (තම වත්මන් රාජකාරීවලට සම්බන්ධ කටයුතු කරන්නේ කොමන් වෙල්ත් බැංකු මුලස්ථානයේ ජාත්‍යන්තර ශාඛාව මගින් පමණක් වන අතර එහි ශාඛා ඇති බවක් තමන් නොදන්නා බව ඇය පසුව කීවාය)
* මොකක්ද ඔබ ඔය කියන කාලය? – “පළවෙනි ලෝක යුද්ධ කාලය”
* එතකොට ඔබ ඒ බැංකුවෙන් අස්වුනේ මොන කාලෙද? – “හරියටම මතක නැහැ ඒ කාලේ අපට ගොඩාක් සල්ලි තිබුණා ඒ නිසා මං කලින්ම අස්වුණා”
* අස්වුනාට පස්සේ ඔබ මොකද කලේ? – “අපි හුගක් විනෝදෙන් ජීවත් වුනා රට රටවල්වල ඇවිද්දා”
* ගුවන් මගින්ද? – “අපි නැවක නැගලා ලස්සන දුපත් බලන්න ගියා මතකයි”
* ඔබ කතාකලේ මොන භාෂාවෙන්ද? – “ඉංග‍්‍රිසි භාෂාවෙන්”
* හොදයි එහෙනම් ඔස්ට්‍රේලියාවේ විදියට ඉංග‍්‍රිසි කතා කරන්න? – “(හඩමින්) My dear, I love you. Why are you crying? I love you dear Ann”
* ඔයා කාටද කතා කලේ? – “ඈන්ට – ඒ තමයි මගේ අන්තිම මොහොත”
* ඔබ කොහොමද මැරුණේ? – “හුගක් වයසට ගිහින්”
* කොයි අවුරුද්දේද? – “1956 නත්තල් කාලේ”
* මැරුණට පස්සේ මොකද වුනේ? – “මට පුදුම සැහැල්ලූවක් දැනුණා ඈතට ඈතට පාවෙලා ගියා මුහුදු උඩින් පාවෙලා ගියා මාස හතරක්ම පා වුනා ආයිත් සැරයක් ඔස්ට්‍රේලියාවට ගියා එතකොට ඈන්ලා මං වෙනුවෙන් යාඥ කර කර ඉන්නවා දැක්කා”
* කාලය මාස හතරක් බව ඔබට නිශ්චිතව වැටහුණේ කෙසේද? – එයට පිලිතුරක් නොදෙන ලදී
* හොදයි ඉතින් කොහොමද මේ අත්මයේ උපත ලැබුවේ? – “මාස හතරක් තිස්සේ පාවෙවී යනවිට මට හිතුනා ආයි උපදින්න ඕනෙයි කියා ඊට පස්සේ මම මගේ අම්මව දැක්කා අපේ අම්මා හරිම හොද අහිංසක ගුණ යහපත් කෙනෙක් නිසා මට හිතුණා අම්මාගේ කුසට එන්න ඉතින් ආවා”
* ඔබ ඉපදුණේ කවදාද? – “1957 අප්‍රෙල් මස”
* එතකොට ඔබ ඉපදිලා තියෙන්නේ මරණයෙන් මාස පහකට පස්සේ හැබැයි ඒ අතරේ තව මාස 04ක් පාවෙලත් තියෙනවා එහෙම වෙන්න විදියක් නැහැනේ ඔබේ මරණය සිද්ධවුනේ 1956 ද? – “හරියට මතක නැහැ ඒත් නත්තල් කාලෙක නම් තමයි හැම තැනම නත්තල් ගස් තිබුණා හරිම ලස්සනයි”
* ඔබ පාවෙන කාලයෙත් හොදට හිතන්න පුලූවන් බව ඔබේ කතාවෙන් තේරුණා එහෙම නම් ඔබේ ඒ පාවෙන කාලයේ ශරීර ස්වභාවය ගැනත් වැටහීමක් තිබිය යුතුයි? – “ඒක වචනයෙන් කියන්න මට තේරෙන්නේ නැහැ මට පාවුණු බව විතරයි මතක මං හරිම සැහැල්ලූවෙන් පා වුණා”
* හොදයි කඩදාසියක් දුන්නොත් අදින්න පුලූවන්ද? – “පුලූවන් වේවි” (ඇය නටුව නැති අඹකොලයක් එසේත් නැත්නම් මාලූමිරිස් කරලකට සමාන හැඩයක් අදින ලදී)
* එහෙනම් ඔබ පාවෙවී ආවේ කිසියම් හැඩයක් ඇති සත්වයකුගේ ස්වරූපයෙන් බව අපට පිලිගන්න සිද්ධ වෙනවා? – “ඔව්”

මෝහනය ප‍්‍රතිගමනය මගින් මතුවෙනුයේ යටපත් මතකයන් සමග පුබුදුවන යටි සිතේ අල්ලාප සල්ලාප බවත් ඒවා බොහෝ විටම තම සිහින මායා විය හැකි බවත් මින් මනාව ඒත්තු යනු නියතය.

අනාගතයට ගිය කාන්තාව

මෝහනය මගින් අතීතයට මෙන්ම අනාගතයටද යාහැක පහත ඉදිරිපත් කර ඇත්තේ එවැනි අවස්ථාවකි. මෙයද මෙහෙයවන ලද්දේ සෝම හිමියන් විසිනි. එම සංවාදය මෙසේය.

* ඔබ දැන් ඉන්නේ ක‍්‍රී:ව: 2005 වසරේ කවුද දැන් රටේ ජනාධිපති? – “ජනාධිපති කෙනෙක් නැහැ”
* එහෙනම් කවුද අගමැති? – “දැන් රටේ හරියට කලබල”
* හොදයි එහෙනම් දැන් ඔබ ක‍්‍රි:ව: 2006 දක්වා ඉදිරියට යන්න දැන් කව්ද රටේ ජනාධිපති? – “චන්ද්‍රිකා බණ්ඩාරනායක” (මේ කාලයේ රටේ ජනපති මහින්ද රාජපක්‍ෂය)
* එතුමිය එක දිගටම බලයේ හිටියද? – “නැවත පත්වුනා” (වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව යමෙකුට ජනපති පදවිය දැරිය හැක්කේ දෙවරක් පමණි)
* එතකොට කවිද විපක්‍ෂ නායක? – “සිරිල් මැතිව්” (මොහු ඊටත් වසර කිහිපයකට පෙර මියයන ලදී)
* හොදට කල්පනා කර බලන්න නම හරිද? – “නම හරි සිරිල් මැතිව් තමා”
* උතුරු නැගෙනහිර තත්වය කොහොමද? – “මේ අවුරුද්දේ වෙන්වෙනවා”
* කවුද එතකොට උතුර පාලනය කරන්නේ ? – “ප‍්‍රභාකරන්”
* එතකොට නැගෙනහිර කවුද? – “චෙල්වනායගම්”

මෙය කිවීමේ දී ඔබට එය විනෝදජනක වුවත් මේ තුල ඔබට සිතන්නට අවබෝධ කරගන්නට බොහෝ දෑ ඉතිරි කර ඇත. විශේෂයෙන් මේ මෝහනය තුලින් අතීතය මෙන්ම වර්ථමානයද දැකීම තුලත් එය මනක්කල්පිතයක් වීම තුලත් පැහැදිලි වන්නේ පුනරුත්පත්තියක් නොව හුදෙක් යටිසිතේ ඇතිවන අල්ලාප සල්ලාප යන්න පමණි. ඒ අනුව “මෝහනය මගින් පුනරුත්පත්තිය ගවේෂනය කලහැකි” යන්න අමූලික මුසාවක් බව දැන් පැහැදිලි වියයුතුය. නමුත් මෙහි ඉහත පවසන ලද සමහරක් කරුණු පිලිබදව චකිතයක් තිබෙන්නට පුලූවන උදාහර්ණයක් ලෙස ඉහතින්ම ගෙනහැර පෙන්වන්නේ නම්. පාවෙන අවස්ථාව චිත‍්‍රයකට ඇදීම මේවා බොහෝ පොත්පත්වල දක්නට තිබෙන උපකල්පන චිත්‍රයක් යන්න මේ පිලිබදව වැඩිදුර ගවේෂණය කරන පිරිස හොදින් දන්නා කාරණයකි. මෙය තවත් පැහැදිලිව වටහා ගැනීම සදහා එවැනි තවත් කාරණයක් පවසන්නේ නම්, වෙනත් ග‍්‍රහලෝකයකින් පැමිණෙන බවට උපකල්පනය කරන ජීවියාගේ රුව ගෙනහැර දැක්විය හැක. එවැනි ජීවියෙකු දුටු බවට පැහැදිලි සාක්ෂි කිසිවක් නැත. නමුත් එවැනි රූපයක් අදින්න කියුවිට කුඩා දරුවන් පවා බිත්තරයක හැඩය ඇති විශාල ඇස් දෙකක් සහිත රූපයක් අදී. මෙයම තමා ඉහතින් සිදුවන්නේත්. මේවා සියල්ල උපකල්පනයන් පමණි. මෙවැනි පදනම් විරහිත හාස්‍යජනක කරුණූ බුදුදහම හා මුසුකොට මේවාට සාවද්‍ය වූ ධර්මානුකූල අර්ථකථන ලබාදීම මෙන්ම සමාජය නොමඟ යැවීම කණගාටුවට කරුණකි.

(වර්ථමාන බෞද්ධ ප්‍රජාව මෙම “පුනරුත්පත්ති” විශ්වාසයෙන් තරමක් දුරකට හෝ මීදී ඇති බව පැවසිය යුතු කාරණයක් මෙන්ම සතුටට ද කාරණයක් වුවද ඔවුන් අතුරින් සැලකිය යුතු පිරිසක් “පුනර්භවය” පිලිබදව වාදයක් සමාජය තුල ගොඩනඟමින් සිටී. මේ හේතුව නිසා ඉදිරියේ දී යහමඟ හරහා එම විෂය පිලිබදව කථා කිරීමට බලාපොරොත්තු වෙමි.)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/9

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම