බටහිරින් හිරු උදාව සැබෑවක් ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දිනවල ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ ද උණූසුම් මාතෘකාවක් බවට ‘දෙසැම්බර් 21 ලෝක විනාශය’ යන්න පත්වෙමින් ඇත. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත් පාර්ශවයන් මෙම විෂය මූලික කරගෙන විවිධ වූ අනාවැකි ද ලෝකයා ඉදිරියේ ප්‍රකාශ කරමින් ඇත. ඊට අමතරව මේ සම්බන්ධයෙන් වූ sms, email පණිවුඩ ද ඉවරයක් නොමැතුව හුවමාරු වෙමින් ඇත. එපමණක් නොව මේ ගැන ලියවෙන ලිපි, රූපරාමු හා වීඩියෝ මඟින් වෙබ් අඩවීන් පිරීයමින් ඇත. මෙවන් සමාජ පසුබිමක කවදත් කාලීන විෂයන් සදහා ප්‍රතිචාර දක්වන වෙබ් අඩවියක් ලෙස වර්ථමාන සමාජය තුල භීතියක් නිර්මාණය කරමින් ඇති මෙම විෂය පිලිබදව ද ලිපි පෙලක් ඉදිරිපත් කිරීමට ‘යහමඟ’ අඩවිය අදහස් කොට ඇත. එහි පලමු පියවර ලෙස මේ දිනවල නිතර කථාබහට ලක්වන ‘බටහිරින් හිරු උදාව’ යන කාරණය පිලිබදව ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ නම්,

‘ලෝක විනාශය’ යන මාතෘකාවට දීර්ඝ ඉතිහාසයක් පැවතුනත් අතීතයේ කථාබහට ලක් නොවූ තරම් වර්ථමානයේ ලෝක විනාශය පිලිබදව වැඩි වැඩියෙන් කථා බහට ලක්වේ. ඊට බලපෑ ප්‍රධාන හේතුවක් ද ඇත. ඒ වසර 5000 කට වඩා පැරණි යැයි සැලකෙණ ‘මායාවරුන්ගේ’ දින දර්ශනයේ 2012/12/21 දිනෙන්, එම දින දර්ශනය නිමාවීමයි. දියුණු තාරකා විද්‍යා දැනුමක් පැවතියා යයි සැලකෙන මේ ‘මායාවරුන‍්ගේ’ දින දර්ශනයේ 2012/12/22 දිනයක් නොපැවතීම නිසා ‘එම දිනයට ලෝක විනාශය සිදුවේ වී’ යන මතවාදය මෑත කාලයේ දැඩිව සමාජගත වුවත්, දැන් දැන් එහි විෂය පථය පුළුල් වෙමින් ඊට වඩා ඔබ්බට යමින් ඇත. අරම්භයේ ‘මායාවරුන්ගේ’ දින දර්ශනය පදනම් කරගෙන අනුමනායන් මත හිඳ ‘ලෝක විනාශය පිලිබදව’ නිගමනයන් ට එළඹූනත්, අද මෙම විෂය විද්‍යාත්මක ඇසින් කථා කරන තැනට වර්ථමාන සමාජය යොමුව ඇත. ඒ අතුරින් ප්‍රධාන මතවාද 02ක් (මෙම ලිපියේ මාතෘකාවට අදාලව) පදනම් කරගෙන මෙම ලිපිය ඉදිරියට සාකච්චා කිරීමට අදහස් කරමි.

එම මතවාද දෙක වන්නේ…

  • පෘතුවියේ ධ්‍රැව එකිනෙක මාරුවීම නිසා සිදුවන විනාශය,
  • විශාල ග්‍රහ වස්තුවක් පෘතුවියේ ගැටීම නිසා සිදුවන විනාශය,

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ ජනප්‍රිය විද්‍යාත්මක අනාවැකි දෙකකි. මෙම අනාවැකි දෙක පදනම් කරගෙන ඉදිරියට කරුණූ සාකච්චා කිරී‍මට මත්තෙන් ශුද්ධ වූ නබිවදනක් හෙවත් හදීසයක් ද ඔ‍බගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි.

එය මෙසේය…

සූර්‍යයා බටහිරින් උදා වන තෙක් ලෝක විනාශ (කියාමත්) දිනය ඇති වන්නේ නැත.

දන්වන්නේ – අබූ හුරෙයිරා (රලි) මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්‍ය විශ්වාස කලයුතු කරුණූ 06 ක් ඇත. ඒ අතුරින් පස්වැන්න වන්නේ ‘ලෝක විනාශය සිදුවන දිනය’ පිලිබදව වූ විශ්වාස යයි. ඉස්ලාම් දහම මෙම දිනය නිකන්ම ම තවත් දිනක් ලෙස පැවසූවේ නැත. එම දිනය සදහා වූ පෙර සලකුණූ ද ගණනාවක් පවසන ඇත. එම සලකුණූ ප්‍රධාන කොටස් දෙකකට වෙන් කර දැක්විය හැක. එනම්,

  •  සුළු සලකුණූ,
  •  මහා සලකුණූ,

ඉහත සලකුණූ දෙක වෙන වෙනම ගෙන ඉදිරියේ දී මෙම අඩවිය තුල දීර්ඝ ලෙස කථා කිරීමට මා අදහස් කරන අතර අද දවසේ මාතෘකාවට අදාලව මෙහි අවධානය යොමු කරන්නේ නම්, ඉස්ලාම් දහම ලෝක විනාශයට පෙර සිදුවන ‘මහා සලකුණු’ 10 ක් පිලිබදව මිනිස් සමාජයට අවවාද කරයි. ඒ අතුරින් 05ක් ස්වභාදහම හා සෘජුව සම්බන්ධ සිද්ධීන් වන අතර එයින් එකක් වන්නේ ‘බටහිරින් හිරු උදාව’ සිදුවීමයි.

වර්ථමාන සමාජයේ පිලිගැනීමට අනුව බටහිරින් හිරු උදාවීම යන්න මිත්‍යාවකි. මේ ‍හේතුව නිසා තමා සාමාන්‍ය ව්‍යාවහාරයේ දී පවා ‘එහෙම වුනොත් බටහිරින් ඉර පායයි’ යනුවෙන් කිසි දිනක සිදු නොවන කරුණූ සම්බන්ධයෙන් පවසන්නේ. එවන් මිත්‍යාවක් ඉස්ලාම් දහම ලෝක විනාශයේ ප්‍රධාන පෙරනිමිත්තක් ලෙස පවසන්නේ නම් එය වරක් නොව කිහිපවරක් හොදින් විමසා බැලිය යුතු කාරණයකි. ඒ මෙවැනි පෙරනිමිත්තක් ඉස්ලාම් පවසන්නේ ඇයි ද?, මෙහිදී ඉස්ලාම් දහම ට වැරදිලා ද? නොඑසේ නම් මෙය මිත්‍යාවක් ලෙස සිතා සිටින අපට වැරදිලා ද? යනාදී වශයෙනි.

ඇත්තට ම වැරදුනේ කාටද? කොතැනද?

මීට වසර 1400 කට පමණ පෙර ඉස්ලාම් දහම (හදීසයක් තුලින්) පැවසූ ඉහත අනාවැකිය හා ඒ පිලිබදව වර්ථමාන සමාජයේ පිලිගැනීම යන කාරණය තරමක් ගැඹූරින් විමසා බැලීම තුල මෙම අවුල්සහගත තත්වය නිරවුල් කරගත හැකි වනු ඇතැයි සිතමි. එහි පලමු පියවර ලෙස ‘බටහිරින් හිරු උදාවීම’ යන සිද්ධිය ක්‍රියාවට නැංවීම සදහා ප්‍රායෝගිකව සිදුවිය යුත්තේ කුමක්ද?’ යන්න පිලිබදව ප්‍රථමයෙන් අවධානය යොමු කලේනම්,

එහිදී ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතු සත්‍යයක් ඇත. එනම්, හිරු හෙවත් සූර්‍යයා නැගීම, උදාව.. යනාදී වශයෙන් අප පවසන්නේ පෘථිවිය නිශ්චල යන (සාපේක්ෂ) පදනමේ හිඳ මිස එය සැබෑ තත්වය නොවේ. (ග්‍රහවස්තුවල සාපේක්ෂ චලිතය පිලිබදව මෙම අඩවිය තුල ‘විද්‍යාව’ යටතේ මීට ඉහත සාකච්චා ‍කොට ඇත) සැබැවින්ම සිදුවන්නේ සූර්‍යයා (පෘථිවියට සාපේක්ෂව) නිෂ්චලව පවතිද් දී පෘථිවිය සූර්‍යයා වටා හා තමන් වටා භ්‍රමණය වීමයි. ඒ අනුව හිරු බටහිරින් උදාවීමට හිරුගේ ගමන් දිශාවේ හෝ චලිත දිශාවේ වෙනස්වීමක් පෘථිවියට බලනොපානයි. නමුත් සූර්‍යයාට සාපේකෂව පෘථිවියේ ගමන් දිශාව හා භ්‍රමණ දිශාව පෘථිවියට හිරු උදාවන දිශාවට සෘජූව ම බලපායි. ඒ අනුව හිරු බටහිරින් උදාවන ආකාරයක් පෘථිවියට දර්ශනය වීමට නම් පැවතිය යුතු අවශ්‍යතාවයන් දෙකක් ඇත. එනම්,

  • පෘථිවිය දැනට තමා වටා සිදු කරනු ලබන භ්‍රමණ දිශාව ඊට ප්‍රවිරුද්ධ දිශාවට සකසා ගතයුතුය

නොඑසේ නම්…

  • පෘථිවියේ (උත්තර හා දක්ෂිණ) ධ්‍රැව දෙක (පෘථිවිය උඩුයටිකුරැ වී) මාරු විය යුතුය.

ඉහත අවස්ථා දෙකින් කුමක් සිදුවූවත් එවිට පෘථිවියට හිරු උදාව සිදුවන්නේ බටහිරින් යන්න ඔබට අවබෝධ කරගැනීම අපහසු නොවේ යයි සිතමි. ඒ අනුව ඉහතින් පැවසෙන අවස්ථාවන් දෙක ප්‍රායෝගිකව සිදුවිය හැකි තත්වයන් ද? යන්න දැන් විමසා බැලිය යුතුය. ඒ පිලිබදව අවදානය යොමු කිරීමේ දී එය ප්‍රායෝගිකව විය හැකි තත්වයන් බව ලොව පුරා බොහෝ විද්‍යාත්ඥයින් හේතු සහිතව මත පල කරයි. එනම්,

විශාල ග්‍රහ වස්තුවක් පෘථිවියේ භ්‍රමණ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවකින් පැමිණ පෘථිවියේ ගැටීම නිසා භ්‍රමණ දිශාව වෙනස්වීම — අතීතයේ පෘථිවි තලයේ විසූ ඩයිනෝසර් වැනි විශාල සත්වයන් පොළොවින් වඳ වී ගියා සේ කවදා හෝ පෘථිවියේ වෙසෙන සියළු ජීවීන් මේ පොළොවෙන් තුරන් වී යාමට හේතු විය හැකි ප්‍රධාන සිදුවීමක් ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ මේ පොළොව හා ගැටෙන කිසියම් ග්‍රහ වස්තුවක් යන්නයි. මෙවැනි ග්‍රහ වස්තූන් පිලිබදව කලින් කලට මාධ්‍යයන් හරහා ද අනාවැකි පැවසෙනවා අප නිතර අසා ඇත්තෙමු. ඒ අතුරින් පසුගිය කාලවල නිතර කථා බහට ලක්වුණු ‘කිලර්’ නම් ග්‍රහ වස්තුව සහා වර්ථමානයේ කථා බහට ලක්වන දෙවැනි හිරු හෙවත් ‘නිබිරු’ ග්‍රහ වස්තුව විශේෂයෙන් මෙහි සදහන් කල හැක.

පෘථිවිය වටා ඇති චුම්බක ක්ෂේත්‍රයන් හි වෙනස්වීමක් සිදුවීම තුලින් පෘථිවි ගෝලයේ ධ්‍රැව මාරුවීම — අප පෘථිවිය වටා කිසියම් ආකාරයක චුම්භක ක්ෂේත්‍රයක් පවතින බව සියළු දෙනා හොදින් දන්නා කාරණයකි. මෙම චුම්භක ‍ක්ෂේත්‍රය පිලිබදව නාසා ආයතනය පවසන පරිදි සෑම වසර 200,000ත් 400,000ත් අතර කාලයක දී මෙම චුම්භක ක්ෂේත්‍රයේ වෙනස් වීමක් සිදුවන බවත්, ඒ අනුව වර්ථමානයේ අප දකින මේ පෘථිවිය ආරම්භයේ පටන් මෙලෙස (උත්තර හා දක්ෂීණ) ධ්‍රව නොවෙනස්ව නොපැවතී බවත් පැහැදිලිය. තවදුරටත් ඔවුන් පවසන්නේ මෙලෙස ධ්‍රැව වෙනස්වීමක් මීට පෙර වාර්තා වන්නේ මීට වසර 780,000කට පෙර බවය.

මේ අනුව අප වෙසෙන පෘථිවියට බටහිරින් හිරු උදාවක් දිස්වීම යන්න ප්‍රායෝගික නොවන කාරණයක් නොවන බව දැන් පැහැදිලිය. එසේ නම් ඉස්ලාම් පවසන ආකාරයට ලෝක අවසාන දිනයේ පෙරනිමිත්තක් ලෙස ‘හිරු බටහිරින් උදාවීම’ යන්න ද ප්‍රායෝගිකව සිදුවිය හැකි එකක් යන්න පැහැදිලිය. ඉහත නබිවදන (හදීසය) තුලින් පැවසෙන ‘බටහිරින් හිරු උදාව’ යන දිව්‍යමය වදනත් සමඟ ඉස්ලාම් දහම විස්තර කරන අනිකුත් ලෝක විනාශ පෙරනිමිති හා එහි විස්තර කරන කෲර බව බුද්ධිමත් සමාජය බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම්, එය 100% ක් ගැලපීම බුද්ධිමත් සමාජය මවිත කරවන්නකි. (ඉන්ෂාඅල්ලාහ්! – ලඟදීම ඒ පිලිබදව ද මෙවැනිම ලිපියක් තුලින් මෙහි කථා කිරීමට අදහස් කොට ඇත) කෙසේ වෙතත් ඔබ වැරදි වැටහීමක් ඇති කර නොගැනීම පිණිස දැඩිව අවධාරණය කලයුතු කරුණක් ඇත. එනම්, ලෝක විනාශයේ පෙරනිමිත්තක් ලෙස හිරු බටහිරින් උදාවීම සැබෑවක් මිස එය සිදුවන්නේ පෘථිවියෙහි ග්‍රහ වස්තුවක් ගැටීමක් තුලින් ද? නොඑසේ නම් පෘථිවි චුම්භක ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්වීමකින් ද යන්න ස්ථීරවම කිව නොහැක. මන්ද වර්ථමාන දත්ත හා නිරීක්ෂණ පදනම් කරගෙන ඉහත නිගමනයට විද්‍යාව එළඹ සිටිය ද ඉදිරියේ දී එම නිගමනයන් වෙනස් විය හැක. (මෙය විද්‍යාව අතීතයේ පටන් ලෝකයාට කියාදෙන පාඩමක් වන බව ‘යහමඟ‘ මීට පෙර ද විද්‍යාව යනු කුමක්ද? යන ලිපිය තුලින් ඔබට කියවීමට පුළුවන)

අවසාන වශයෙන් ඔබේ බුද්ධිමත් අවධානයට මෙතැන දී කෙටියෙන් හෝ ගෙන ආයුතු කාරණයක් ඇත. ඒ අද ලෝකය තුල උණූසුම් වෙමින් පවතින 2012/12/21 දින ලෝක විනාශය පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක් ද? යන්නයි. එහිදි ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් වෙත ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

එම මොහොත පැමිණෙන්නක් ම ය. සෑම කෙනෙකු ම තමාගේ ඉපැයීම ට අනුව තිළිණ පිරිනමනු ලබන පිණිස එය සඟවා තබා ඇත්තෙමි…

ශුද්ධ වූ කුර්ආනය – 20-15

ඉහත දිව්‍යමය වාක්‍යයට අනුව ලෝක විනාශය සිදුවීම යන්න නියත බව පැහැදිලිය. මෙහි ගැටළුව ඇත්තේ එය සිදුවන්නේ කවදා ද? එනම් 2012/12/21 දින ද යන්න පිලිබදවයි. මේ පිලිබදව ද අල්ලාහ් (‍දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ පවසයි.

(මුහම්මද්!) එම මොහොත ගැන ජනතාව නුඹගෙන් විමසති. ඒ පිලිබදව දැනුම ඇත්තේ අල්ලාහ් වෙත යැයි කියන්න!, එම මොහොත සමීපව තිබිය හැකි බව නුඹ දන්නේ කෙසේ ද?

ශුද්ධ වූ කුර්ආනය – 33-63

මා ආරම්භයේ සදහන් කලාසේ මුස්ලීම්වරයෙකු විශ්වාස කලයුතු මූලික කරුණූ 06 අතුරින් 05 වැන්න වන්නේ ලෝක විනාශ දිනය පිලිබදව විශ්වාස කිරීමයි. එදා මුහම්මද් (සල්) තුමාණන් මේ දහම එවකට පැවතී සමාජය මධ්‍යයේ දේශනා කරන විට අදත් සමහරක් පිරිස් තර්ක කරනවා සේම එම සමාජයේ ද සමහරක් පිරිස් නබිතුමාණන් අපහසුතාවයට ලක් කිරීම පිණිස ‘ඔබ ඔය කියන ලෝක විනාශය සිදුවන්නේ කවදා ද? යනුවෙන් ප්‍රශ්න කරන ලදී. ඒ මොහොතේ අල්ලාහ් (දෙවි) ඉහත 33-63 වාක්‍යය මඟින් එයට පැහැදිලි පිලිතුරක් ලබාදුන්නේ එදා පටන් අද දක්වා සියළු ජනයා ට පැහැදිලි වන පරිදිය. එසේ තිබිය දී අද සමහරක් මුස්ලීම්වරුන් ද 2012/12/21 දින බටහිරින් හිරු උදාව සිදුවන බවත්, ඊට පෙර තමන් විසින් කරන ලද පාපයන් සදහා දෙවියන්ගෙන් පාපොච්චාරණය (තව්බා) කර ගන්නා ලෙසත්, ඒ දිනයෙන් පසු ‘තව්බා’වේ දොරටු වැසීයන බවටත් sms, email මඟින් පුළුල් ප්‍රචාරයන් සිදු කරමින් සිටී. එපමණක් නොව සමහරක් වීඩියෝ දර්ශන නිර්මාණය කොට එය අන්තර්ජාලයට මුසුකොට අනවශ්‍ය භීතියක් සමාජය තුල නිර්මාණය කරමින් සිටී. මෙහිදී මුස්ලීම් සමාජය පැහැදිලි ලෙස වටහා ගතයුතු කාරණයක් ඇත. එනම්, ඉස්ලාම් පවසන ලෝක විනාශ පෙරනිමිති අතුරින් ‘බටහිරින් හිරු උදාව’ යන්න තවත් එක් පෙරනිමිත්තක් මිස එකම පෙරනිමිත්ත එය නොවේ. එපමණක් නොව ප්‍රධාන පෙරනිමිති 10 අතුරින් ‘බටහිරින් හිරු උදාව’ යන්න 06 වැන්න වන අතර ඊට පෙර සිදුවිය යුතු දුමාරය, දජ්ජාල්ගේ පැමැණීම, ඊසා (යේසුස් (අලෛ)) තුමාගේ පහලවීම… යනාදී දීර්ඝ කාලීන නිමිති 05ක් තවම සිදු නොවී ඉදිරියට සිදුවීමට නියමිතව ඉතිරිව ඇත. ඒ සියල්ල නොසලකා හැර එපමණක් නොව අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ 20-15 මඟින් ‘සඟවා’ ඇතැයි පවසන එම දිනය 2012/12/21 දින උදා වෙනු ඇතැයි මුස්ලීම්වරයෙකු පැවසීම ඔහුගේ ආගමික අනවබෝධය පිළිඹිබු කිරීමක් මිස සත්‍යයක් නොවේ. කෙසේ වෙතත් අවසානම වශයෙන් එක් කාරණයක් ඔබේ බුද්ධීමත් අවධානයට ගෙන එමින් මේ ලිපිය අවසන් කරමි. එනම්,

2012/12/21 දින ලෝක විනාශය සිදුනොවේ යන්න එය කිසිදු දිනක එය සිදු නොවේ යන්න නොවේ. 2012/12/22 දිනය තවත් සාමාන්‍ය දිනක් ලෙස අප වෙනුවෙන් හෙට දවසේ උදා වන්නේ අල්ලාහ් (දෙවි)ට අවනත වූ සැබෑ මුස්ලීම්වරුන් ලෙස ‍අපව නිවරුදි කරගැනීමට තවදුරටත් අවස්ථා සලසාදීම පිණිස මිස අපට වහසිබස් දෙඩවීම පිණිස නම් නොවේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම