බයිබලය දේව හෙලිදරව්වක් ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යේසුස්(ඊසා අලෛ) වහන්සේ තුමාණන්ට ඉන්ජීල් (ස්වර්ග රාජ්‍යයේ ශුභාරංචිය) නැමැති පුස්තකය ලබාදුන් බවත් එය අල්කුර්ආනයද සත්‍ය කරන බවත් සර්වබලධාරී අල්ලාහ් අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් කර ඇති අතර එය විශ්වාස කරන මෙන් අණ කර ඇත. මෙම ඉන්ජීල් නම් දේව පුස්තකය බයිබලය බව කිතුනුවෝ පවසති. ලෝක ජනගහනයෙන් බහුතරයක්ම බයිබලය දේව පුස්තකය ලෙස පිළිගන්නා කිතුනුවෝ වෙති. මෙම බයිබලය දේව පුස්තකය බවට ප‍්‍රචාරය කරන සංවිධාන ගනනය කළ නොහැකි තරම් විශාල සංඛ්‍යාවක් ලොව පුරා ක‍්‍රියාත්මක වේ. මෙම ලිපියේ අරමුණද බයිබලයේ දිව්‍යම භාවය ගැනත් කිතුනු ප‍්‍රතිපත්තීන් හා යේසුස් වහන්සේ අතර ඇති සම්බන්ධතාවයන් ගැනත් ගවේෂණයක් කිරීම යි.

මොවුන්ට සත්‍ය වටහා දීමේ යුතුකමක් අප සතුව ඇති බැවින් මේ විෂය යටතේ ලිපි මාලාවක් සම්පාදනය කිරීමට අදහස් කළෙමු. එම උත්සාහයේ පරමාර්ථය කිතුනුවන්ගේ සිත රිදවීම නොව ඔවුන්ට යථාර්තය වටහා දීම වේ. ඒ අනුව පහත මාතෘකාවන් ඔස්සේ කරනු ලැබේ.

බයිබලය ගැන හැඳින්වීමක්

බයිබලය නැමැති ග්‍රන්ථය කොටස් දෙකකින් සමන්විත වේ. එයින් පළමු කොටස පැරණි ගිවිසුම(පැරණි තෙස්තමේන්තුව) ලෙසද දෙවන කොටස අලූත් ගිවිසුම(අලූත් තෙස්තමේන්තුව) ලෙසද හඳුන්වනු ලැබේ. පැරණි ගිවිසුමට පොත් 39ක් (රෝමානු කතෝලික විශ්වාසයට අනුව පොත් 46ක්) අන්තර්ගත වන අතර අලූත් ගිවිසුමට පොත් 27ක් අන්තර්ගත වේ.

ක‍්‍රිස්තියාණි විශ්වාසයට අනුව පැරණි ගිවිසුම යනු යේසුස් වහන්සේට පෙර ජීවත් වූ අනාගත වක්තෘවරුන්ගේ පුස්තකයන් වේ. එනම් පැරණි ගිවිසුම යනු පුස්තක ගනනාවක එකතුවකි. උදාහරණයක් ලෙස පැරණි ගිවිසුමේ පොත් 39න් පළමු පොත් පහ වන උප්පත්තිය,නික්මයාම,ලෙවී කතාව,ගණන් කතාව,ද්විතීය කතාව යන පොත් මෝසෙස් නම් අනාගත වක්තෘවරයාගේ පොත් ලෙස කිතුනුවෝ විශ්වාස කරති. හය වන පොත වූ යෝෂුවා යෝෂුවා නැමැති අනාගත වක්තෘවරයාගේ පොත වන බවයි කිතුනුවන් ප‍්‍රකාශ කරන්නේ. මේ ආකාරයට සාමුවෙල් 1 හා 2 යනුවෙන් ඇති පොත් දෙක සාමුවෙල් නම් අනාගත වක්තෘවරයාගේ පොත වේ. කිතුනු විශ්වාසයට අනුව මෙසේ අනාගත වක්තෘවරන් ගනනාවක් හටම දෙවි විසින් ලබාදෙන ලද පොත්වල එකතුවකි පැරණි ගිවිසුම.

අලූත් ගිවිසුම යනු යේසුස් වහන්සේට පසු ජීවත් වූ අය ශුද්ධාත්මයේ ආනුභාවයෙන් ලියන ලද පොත් බවට කිතුනුවෝ විශ්වාස කරති. මේ ආකාරයට විවිධ කතුවරුන් විසින් ලියල ලද පොත් 27ක එකතුවකි අලූත් ගිවිසුම. උදාහරණයක් ලෙස අලූත් ගිවිසුමේ එක් පොතකි මතෙව්. මෙය මතෙව් නැමැති කතුවරයා විසින් ලියන ලද ශුභාරංචිය යි. එසේම මාක් නැමැති ශුභාරංචි පොත මාක් නැමැති කතුවරයා විසින් ලියන ලදී.

බයිබලයේ මුල් බස කුමක්ද?

යම් ග‍්‍රන්ථයක් එය දෙවි විසින් අනාවරණය කරනු ලැබූ දේව හෙලිදරව්වක් යැයි පවසනවා නම් අනිවාර්යෙන්ම එය දෙවි විසින් අනාවරණය කරනු ලැබූ මුල් බසින්ම ආරක්‍ෂා විය යුතු යි. දේව හෙලිදරව්වට වෙනත් භාෂාවලින් පරිවර්ථනයන් ලබා දිය යුතු නොවේ යන්න මෙහි අර්ථය නොවේ. අනිවාර්යෙන්ම ලොව සිටින සියළු දෙනාගේ ප‍්‍රයෝජනය තකා සියළු භාෂාවලට පර්වර්ථනය කළ යුතුය. නමුත් දෙවි විසින් අනාවරණය කරන ලද මුල් බසින් ද එය පැවතිය යුතු අතර එය වෙනත් භාෂාවකට පරිවර්ථනය කරන්නා එම මුල් බස සහ එය පරිවර්ථනය කරනු ලබන බස හොදින්ම දන්නා පුද්ගලයෙක් විය යුතුයි.

සිංහල දෙමළ ඉංග‍්‍රීසි ආදී සියළු බයිබල් පරිවර්ථනවල පැරණි ගිවිසුමේ සඳහන් කර ඇත්තේ හෙබ්‍රෙව් සහ අරාමීය භාෂා මුල් පිටපතින් පරිවර්ථනය කර ඇති බවයි. මෙම හෙබ්‍රෙව් හා අරාමීය මුල් පිටපත් ඇත්තේ කොහිද? මෙය කිතුනුවන් කල්පනා කළ යුතු ප‍්‍රශ්නයකි. උදාහරණයක් ලෙස සිංහල භාෂාවට බයිබලය පරිවර්ථනය කරන්නේ නම් පරිවර්ථකයා අනිවාර්යෙන්ම සිංහල හා හෙබ‍්‍රව් සහ අරාමීය යන භාෂාවන් හොඳන් දන්නා පුද්ගලයෙක් විය යුතුයි. එසේ ලංකාවේ හෙබ්‍රෙව් භාෂා දන්නා පුද්ගලයා කවුද?

ලංකාවේ ඇති අනිකුත් ආගම් ගැන සලකා බැලීමේදී ඒවායේ ආගමික ග‍්‍රන්ථ ලියවී ඇති මුල් භාෂාව අදාල ආගමේ පූජක පක්‍ෂය හා බොහෝ විද්වතු හොඳන්ම දනිති. උදාහරණයකට ලංකාවේ බහුතරයක් විසින් පිළිබඳිනු ලබන බුදු දහමේ මූලාශ‍්‍රයන් ලියවී ඇති පාලි භාෂාව ව්‍යවහාරයේ නොමැති මළ භාෂාවක් වුවද, එම ආගමික පූජකවරුන් හා විද්වතුන් හොඳින්ම දන්නා අතර බෞද්ධ පාඨශාලා වල එම භාෂාව අදටත් උගන්වනු ලැබේ. එසේම එම පූජකවරුන් එම මූලාශ‍්‍රවලින් කරුණක් හෝ ස්ලෝකයක් උපුට දක්වන විට එම මුල් බසින්ද එය කියා පරිවර්ථනය කරති. මේ ආකාරයට ලංකාවේ කුමන හෝ ක‍්‍රිස්තියාණි පාඨශාලාවක හෙබ්‍රෙව් භාෂාව උගන්වනු ලබනවා ද? ක‍්‍රිස්තියාණි පූජකවරුන් මෙසේ බයිබලයෙන් කරුණක් උපුටා දක්වන විට එම මුල් බසින් එය ප‍්‍රකාශ නොකරන්නේ මන්ද? මෙය කිතුනුවන් කල්පනා කළ යුතු ප‍්‍රශ්නයකි.

එසේම අලූත් ගිවිසුමේ සිංහල පරිවර්ථනවල සඳහන් කර ඇත්තේ ග‍්‍රීක භාෂා ශුද්ධ ලියවිලිවලින් සිංහලට පරිවර්ථනය කළ බවයි. එහි අර්ථය නම් අලූත් ගිවිසුමේ මුල් බස ග‍්‍රීක භාෂාව බවයි. නමුත් යේසුස් වහන්සේ කථා කළ භාෂාව ග‍්‍රීක භාෂාවද? නැත,ග‍්‍රීක භාෂාව යනු බටහිර භාෂාවකි. යේසුස් වහන්සේගේ නිජ බිම වූ ආසියාතික රටක් වන පලස්තීනයේ කිසිම කළක ග‍්‍රීක භාෂාව ව්‍යවහාරයේ තිබී නොමැත. මෙය කිතුනුවන්ද පිළිගනිති. ශ‍්‍රී ලංකා බයිබල් සමාගම විසින් 1990 දී ප‍්‍රකාශිත බයිබලයේ අලූත් ගිවිසුමේ පෙරවදනෙහි ”ජේසුස් වහන්සේ කථා කළේ ද, දේශන හා ඉගෙන්වීම කළේ ද, ජුදෙව්වරුන් කථා කළ අරමීය භාෂාවෙනි. එහෙත් සමකාලීන ලෝකයෙහි පොදු භාෂාව වශයෙන් පැවතියේ ග‍්‍රීක භාෂාව බැවිනුත්, ප‍්‍රචලිත ශිෂ්ටාචාරය ග‍්‍රීක ශිෂ්ටාචාරය වූ නිසාත්, නව ගිවිසුම මුලින්ම ලියන ලද්දේ ජාත්‍යන්තර භාෂාව වූ ග‍්‍රීක භාෂාවෙනි.” යනුවෙන් සඳහන් වේ.

මෙම ප‍්‍රකාශයෙන් යේසුස් වහන්සේගේ ඉගෙන්වීම් හා දේශන උන්වහන්සේ කථා කළ භාෂාවෙන් ලියන නොලද බව පැහැදිලිවම ඔප්පු වේ. එම නිසා එහි නිරුපද්‍රිත භාවය ගැනත්, දේව භාෂිතයකට(?) මෙවැනි කනගාටුදායක තත්වයකට මුහුන දීමට සිදුවීම ගැනත් කිතුනුවන් මදක් සිතා බැලිය යුතුයි. බයිබලයේ මුල් බස ගැන පැන නැගී තිබෙන ප‍්‍රශ්ණය මෙන්ම බයිබල් අනුවාද සලකා බැලීමේදී යම් යම් ප‍්‍රශ්ණ පවතී. කිතුනු දහම තුල බොහෝ නිකායන් ඇත. එක් එක් නිකායන් වෙන වෙනම බයිබල් අනුවාදයන් භාවිතා කරති. ඒක් එක් අනුවාදයන් අතර වෙනස් කම් ද තිබේ. ඒවා අතුරින් ප‍්‍රධාන නිකායන් දෙකකි, රෝමානු කතෝලික හා ප්‍රොතෙස්තන්ත යන නිකායන් දෙක.

විවිධ බයිබල් අනුවාද ගැන………

බයිබලයේ මුල් බස ගැන පැන නැගී තිබෙන ප‍්‍රශ්ණය මෙන්ම බයිබල් අනුවාද සලකා බැලීමේදී යම් යම් ප‍්‍රශ්ණ පවතී. කිතුනු දහම තුල බොහෝ නිකායන් ඇත. එක් එක් නිකායන් වෙන වෙනම බයිබල් අනුවාදයන් භාවිතා කරති. ඒක් එක් අනුවාදයන් අතර වෙනස් කම් ද තිබේ. ඒවා අතුරින් ප‍්‍රධාන නිකායන් දෙකකි, රෝමානු කතෝලික හා ප්‍රොතෙස්තන්ත යන නිකායන් දෙක.

රෝමානු කතෝලික බයිබලය (Roman Catholic Version)

රෝමානු කතෝලිකයින් විසින් භාවිතා කරනු ලබන බයිබලය 1582 වසරේ දී ලතින් වල්ගේට් භාෂාවෙන් ඉංග‍්‍රීසියට පරිවර්ථනය කරනු ලැබ රේම් නගරයේ ප‍්‍රකාශයට පත්කෙරුණු බයිබලය යි. මෙය ඉතා පැරණි පරිවර්ථනයකි.16 වන සියවසේදී ප‍්‍රකාශයට පත්කෙරුණු ඉතා පැරණි පරිවර්ථනයක් යන විරුද්ධාවලිය මෙම අනුවාදයට හිමි වුවද, මෙම අනුවාදය ප්‍රොතෙස්තන්ත නිකායට අයත් කිතුනුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. ඊට හේතුව වූයේ මෙම අනුවාදයට දෙවියන් වහන්සේගේ වදන් දැයි සැක උපද වන පොත් 7ක් අන්තර්ගත වීමයි. එම නිසා ප්‍රොතෙස්තන්ත බයිබලයට මෙම පොත් හත අන්තර්ගත වී නැත. එම පොත් හත නම්

1. තෝබිත්

2. ජූදිත්

3. සලමොන්ගේ ප‍්‍රඥාව

4. සිරාක්

5. බාරුක්

6. මක්බිවරුන්ගේ පළමු පොත

7. මක්බිවරුන්ගේ දෙවන පොත

යන පොත් හතයි. එසේම රෝමානු කතෝලික හා ප්‍රොතෙස්තන්ත යන දෙපාර්ශවයේ බයිබල්වලම දානියෙල් නමින් පොතක් ඇත. රෝමානු කතෝලික බයිබලයේ එම දානියෙල් පොතට පරිච්චේද 14ක් අන්තර්ගත වන අතර ප්‍රොතෙස්තන්ත බයිබලයේ එම පොත පරිච්චේද 12න් අවසන් වේ. එසේම මෙම දානියෙල් නැමැති පොතේ තුන් වන පරිච්චේදයට රෝමානු කතෝලික බයිබලයේ වාක්‍යයන් 97 අන්තර්ගත වන අතර ප්‍රොතෙස්තන්ත බයිබලයේ මෙම පරිච්චේදය වාක්‍ය 30න් අවසන් වේ.

එස්තර් නමින් පොතක් මෙම දෙපාර්ශවයේ බයිබල් වලටම අන්තර්ගත වී ඇත. රෝමානු කතතෝලික බයිබලයේ මෙම පොතට ද පරිච්චේද 16ක් ඇතුලත් වන නමුත් ප්‍රොතෙස්තන්ත බයිබලයේ මෙම පොත පරිච්චේද 10න් අවසන් වේ. එසේම මෙම එස්තර් පොතේම 10 වන පරිච්චේදයට රෝමානු කතෝලික බයිබලයේ වාක්‍ය 13 ක් අන්තර්ගත වන අතර ප්‍රොතෙස්තන්ත බයිබලයේ මෙම පරිච්චේදය වාක්‍ය 3න් අවසන් වේ.

මෙහිදී වැදගත් කරුණක් දෙස අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. යම් ග‍්‍රන්ථයක් දේව භාෂිතයක් ලෙස පිළිගැනීමට නම් එය දේව භාෂිතයක් ලෙස විශ්වාස කරන සියළු දෙනාටම පොදු එකක් විය යුතුයි. එසේම එය මිනිසා අතින් සංශෝධනයන්ට ලක් නොවිය යුතුයි. මෙම සුදුසුකම දේව භාෂිතයක් සපුරා තිබිය යුතු බව බයිබලය ද තහවුරු කරයි. බයිබලයේ මෙසේ සඳහන් වේ.

”මා ඔබට අණ කරන වචනයට යමක් එකතු නොකරන්න; එයින් යමක් අඩු නොකරන්න”

(ද්විතීය නීති සංග‍්‍රහය 4:2)

”මා විසින් අණ කරන සියල්ල පවත්වන්නට බලාගන්න. ඊට යමක් එකතු නොකරන්න; එයින් යමක් අඩු නොකරන්න.”(ද්විතීය නීති සංග‍්‍රහය 12:32)
”එතුමන්ගේ වචනවලට කිසිවක් එක් නොකරන්න. එසේ කළොත්, එතුමන් ඔබට තර්ජනය කරනු ඇත. ඔබ බොරුකාරයෙකු බව පෙන්වනු ඇත”(හිතෝපදේශ 30:6)
”යමෙක් මේ පොතේ දිවැස්වැකිවලින් යමක් අහක් කරන්නේ නම්, මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයේ ද ශුද්ධ නුවරේ ද පංගුකාරකමින් දෙවියන් වහන්සේ ඔහු පහ කරන සේක.”(එළිදරව්ව 22:19)

දේව භාෂිතයක් නම් එය මිනිසා විසින් සංශෝධනයන්ට ලක් නොවිය යුතු යැයි ඉහත සඳහන් කළ බයිබල් වැකි වලින් ඔප්පු වේ.දෙවි විසින් අනාවරණය කරනු ලැබූ පුස්තකයක් සතු විය යුතු යැයි බයිබලයම නිර්ණය කරන මෙම සුදුසුකම බයිබලයට තිබේ දැයි පරීක්‍ෂා කළහොත් නියතවශයෙන්ම නැත යැයි කිව හැකිය. දේව භාෂිතය කුමක් ද යන කරුණෙහි කිතුනු ලොව දැඩි අර්බුදයකට මුහුණදී තිබීම ඊට හේතුවයි.

එක් ක‍්‍රිස්තියාණි නිකායක් දේව භාෂිතය යැයි විශ්වාස කරන බොහෝ වාක්‍ය තවත් ක‍්‍රිස්තියාණි නිකායක් විසින් දේව භාෂිතය නොවේ යැයි ප‍්‍රතික්ෂේප කර ඇත. ඉහත සඳහන් කළ රෝමානු කතෝලිකයින් විසින් දේව භාෂිතයයි පළිගනු ලබන, එසේම ප්‍රොතෙස්තන්ත නිකාය විසින් දේව භාෂිතය නොවේ යැයි ප‍්‍රතික්ෂේප කරනු ලබන පොත් හතට අන්තර්ගත වන වාක්‍ය සංඛ්‍යාව 4370කි. එසේම දානියෙල් නම් පොතෙහි ප්‍රොතෙස්තන්ත නිකාය පිළිනොගන්නා වාක්‍ය 174 අන්තර් ගත වේ. එස්තර් පොතෙහි එම නිකාය පිළිනොගන්නා වාක්‍ය ගනන 108. සියළු වාක්‍ය වල එකතුව 4652කි. එනම් වක්‍ය 4652 ක් දේව භාෂිතයද නොවේද යන්න පිළිබඳ කිතුනු සමාජය තුලම මතභේද පවතී.

මෙම වාක්‍ය 4652ම දේව පුස්තකය වූ බයිබලයට අන්තර්ගත විය යුතු ඒවා බවත්, ප්‍රොතෙස්තන්ත නිකායිකයින් විසින් ඒවා ඉවත් කර ඇති බවටත් රෝමානු කතෝලිකයෝ චෝදනා කරති. මෙම වාක්‍ය 4652 දේව භාෂිතය නොවන බවත්, ඒවා කතෝලික පූජකවරුන්ගේ ස්ව අදහස් බවත් ප්‍රොතෙස්තන්ත නිකායිකයින් චෝදනා කරති. රෝමානු කතොලිකයින්ගේ චෝදනාව නිවැරදි නම් දේව භාෂිතයක්(?) වූ බයිබලයෙන් දෙවියන් වහන්සේගේ වදන් සාමාන්‍ය මිනිසුන් විසින් ඉවත් කිරීමට තරම් දුර්වල තත්වයකට පත්ව ඇත යන්න තහවුරු වේ. ප්‍රොතෙස්තන්ත නිකායිකයින්ගේ තර්කය සත්‍ය නම් දේව භාෂිතයක්(?) වූ බයිබලයට අලූතින් මිනිසුන්ගේ අදහස් ඇතුළු කිරීමට තරම් අසරණ මෙන්ම දුර්වල තත්වයකට පත් වී ඇත යන්න තහවුරු වේ. මෙම චෝදනා දෙකෙන් එකක් අනිවාර්යෙන්ම සත්‍ය විය යුතුයි. මේ අනුව බයිබලය සංශෝධන වලට ලක් වී මිනිසුන් අතින් දූෂණය වි ඇත බව තහවුරු වේ.

මෙහිදී ඉතා වැදගත් කරුණක් දෙස අවධානය යොමු කරමු. එනම් රෝමානු කතෝලික හා ප්‍රොතෙස්තන්ත යන මෙම නිකායන් දෙක අතුරින් පැරණිම නිකාය වන්නේ රෝමානු කතෝලික නිකාය යි.ප්‍රොතෙස්තන්ත නිකාය බිහි වූයේ රෝමානු කතෝලික නිකාය බිහි වී බොහෝ කලකට පසුවයි. ප්‍රොතෙස්තන්ත නිකායේ නිර්මාතෘවරයා වූ මාටින් ලූතර් ද මුලදී රෝමානු කතෝලික පූජක සභාවේ සාමාජිකයෙක් විය. ඔහු එයින් ඉවත් වී ප්‍රොතෙස්තන්ත නිකාය පිහිටෙව්වේ 16 වන සිය වසේදීය. එනම් ප්‍රොතෙස්තන්ත නිකාය බිහි වූයේ යේසුස් වහන්සේට අවුරුදු 1600කට පසුවයි.යේසුස් වහන්සේට සියවස් 16කට පසු බිහි වූ නිකායක් බයිබලයේ වාක්‍ය 4652ක් දේව වාක්‍ය නොවේ යැයි තර්ක කරයි නම් පහත අපි ඉදිරිපත් කරන ප‍්‍රශ්ණ වලට කිතුනු ලොව පිළිතුරු සෙවිය යුතුයි.

  • මෙතරම් විශලා වාක්‍ය ගනනක් බයිබලයෙන් ඉවත් කළ හැකි වූයේ කෙසේ ද?
  • මෙතරම් විශලා වාක්‍ය ගනනක් බයිබලයට අයත් නොවේ යැයි පවසන විට එවකට ජීවත් වූ කිතුනුවන් නිශ්ශබ්දව සිටියේ කෙසේ ද?
  • මෙයට විරුද්ධව කතෝලික සභාවට කිසිවක් කළ නොහැකි වූයේ මන්ද?

මෙම ප‍්‍රශ්ණ වලට දිය හැකි එකම පිළිවතුර වන්නේ “මෙම නිකාය බිහිවීමට කලින් සිටම බයිබලට අලූතින් කරුණු එකතු කිරීමත් තිබෙන කරුණු ඉවත් කිරීමත් සාමාන්‍ය දෙයක් විය. කතෝලික සභාව ද බයිබලය තුල තම සෙල්ලම් පෙන්වමින් සිටියහ.එම නිසා මෙම නිකාය බයිබලය සංශෝධනයට ලක් කරන විට කතෝලික සභාව ඊට විරුද්ධව නැගී සිටීය ද එයින් පලක් නොවිය.” යන්න යි.

මෙම වාක්‍යයන් ඉවත් කිරීමට ප්‍රොතෙස්තන්ත නිකායිකයින්ට අවශ්‍ය වූයේ කුමක් නිසා දැයි මදක් විමසා බලමු.ප්‍රොතෙස්තන්ත නිකායිකයින් විසින් දේව වාක්‍ය නොවේ යැයි ප‍්‍රතික්ෂේප කරන ලද පොත් වල පාවුල් විසින් හඳුන්වා දෙන ලද ක‍්‍රිස්තියාණි ප‍්‍රතිපත්තිවලට අභියෝග කරන, ඒවා වැරදි යැයි තහවුරු කරන වදන් අන්තර්ගත විය.

යේසුස් වහන්සේ කුර්සයේ(හෝ වධ කනුවක) තියා ඇණ ගසනු ලැබූ බවත් මරණයට පත් වීමෙන් පසු යළිත් පණ ලබා නැගිටුනු බවත් කිතුනුවෝ විශ්වාස කරති.මෙම විශ්වාසය කි‍්‍රස්තියාණි දහමේ මූලික විශ්වාසයක් වන අතර සියළු නිකායන්ට අයත් කුතුනුවෝ මෙය විශ්වාස කරති. නමුත් ප්‍රොතෙස්තන්ත නිකායිකයින් විසින් ප‍්‍රතික්ෂේප කර ඇත පොත් වල මෙම ප‍්‍රතිපත්තිය වැරදි බව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් වදන් අන්තර්ගත වේ. උදාහරණයකට මොවුන් විසින් බයිබලයෙන් ඉවත් කරන ලද පොත් වලින් එකකි, සලමොනගේ ප‍්‍රඥාව නම් පොත. මෙම පොතේ 2:5 වාක්‍ය පහත සඳහන් වේ.

“එසේය, අපේ ජීවිත කාලය සෙවනැල්ලක් මෙන් පහ වී යනු ඇත. මරණින් පසු ආපසු හැරී ඒමක් නැත.” (සලමොන්ගේ ප‍්‍රඥාව 2:5)

මෙම වාක්‍යයෙන් පැහැදිලිවන්නේ කුමක් ද? මරණින් පසු හැරී ඒමක් කිසිවෙකුටත් නොමැති බවයි. මෙය පිළිගතහොත් යේසුස් වහන්සේ මරණයෙන් පසු නැගිටුණු බව විශ්වාස කරන ප‍්‍රතිපත්තියට මෙය පටහැනි වේ.

ආදම් නැමැති පළමු මිනිසා පාපයක් කළ බවත් මෙම පාපයට දෙවියන් වහන්සේ සමාව නොදුන් බවත් එම නිසා ඉපදෙන සියළු දෙනා පාපයෙන්ම උපත ලබන බවත් යේසුස් වහන්සේ සියළු දෙනාගේ පාප සඳහා සිය ජීවිතය පූජා කළ බවත් විශ්වාස කිරීම කිතුනුවන්ගේ තවත් ප‍්‍රධාන ප‍්‍රතිපත්තියකි. මෙම ප‍්‍රතිපත්තියට දරුණු ප‍්‍රහාර එල්ල වන, මෙය වැරදි විශ්වාසයක් බව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් වදන් ප්‍රොතෙස්තන්ත නිකායිකයන් විසින් ප‍්‍රතික්ෂේප කර ඇති සලමොන්ගේ ප‍්‍රඥාව හා සිරාක් යන පොත්වල අන්තර්ගත වේ.

”මිනිස් වර්ගයාගේ පියා වූ මවනු ලැබූ පළමු මිනිසා තනි ව මවන ලදී. ඔහුගේ රැකවල්කරු ප‍්‍රඥාව වූවා ය. ඈ ඔහු පවින් මුදාගත්තා ය.”(සලමොන්ගේ ප‍්‍රඥාව 10:1)

ඉහත වාක්‍යයෙන් ආදම්ගේ පවට ක්‍ෂමාව ලැබූ බව වටහාගත හැකිය. ආදම්ගේ පාපයට සමාව ලැබුනු බව තහවුරු වන විට, යේසුස් වහන්සේ සියළු දෙනාගේ පාප වලට සිය ජීවිතය පූජාකළේය යන ප‍්‍රතිපත්තිය වැරදි ප‍්‍රතිපත්තියක් බව සනාථ වේ. මේ ආකාරයට අපි ඉහත සඳහන් කළ වාක්‍ය මගින් කිතුනු ප‍්‍රතිපත්තීන් අභියෝගයට ලක් වන නිසා ප්‍රොතෙස්තන්ත නිකායිකයින් මෙවැනි පොත් බයිබලයෙන් ඉවත් කර ඇත.

මෙහිදී ඇතැමුන්ට ප‍්‍රශ්ණයක් මතුවිය හැකිය. එනම් ඉහත සඳහන් කළ කිතුනු ප‍්‍රතිපත්ති සියල්ල රෝමානු කතෝලිකයින්ද විශ්වාස කරන විට ඔවුන් මෙසේ කිතුනු ප‍්‍රතිපත්තිවලට පටහැනි වූ වාක්‍ය අන්තර්ගත පොත් බයිබලයෙන් ඉවත් නොකළේ කුමක් නිසාද?

මෙහිදී එක් කරුණක් වටහාගත යුතු වේ. එනම් රෝමානු කතෝලිකයෝ තම ආගම අන්න්‍යයන්ට ප‍්‍රචාරය කිරීමට දැඩි උත්සාහයක් නොදරති. අන්න්‍ය ආගමිකයින් සමග සංවාද වලට ඉදිරිපත් නොවෙති. එමනිසා ඔවුන්ට අන්න්‍ය ආගමිකයින්ගේ ප‍්‍රශ්ණවලට මුහුණ දීමට සිදු නොවේ.

නමුත් ප්‍රොතෙස්තන්ත නිකායිකයින්ගේ තත්වය මීට වඩා වෙනස් වේ. ඔවුන් තම ආගම අන්‍ය ආගමිකයින් හට ප‍්‍රචාරය කිරීමටත් ඔවුන්ව ක‍්‍රිස්තියාණකරණය කිරීමටත් දැඩි උත්සාහයක් දරණ පිරිසක් වෙති. අන්‍ය ආගමිකයින්ගේ ප‍්‍රතිපත්තිවලට චෝදනා එල්ල කරමින් ඔවුන්ව තම ආගමට හරවා ගැනීම සඳහා සැලසුම් සහගතව ක‍්‍රියාත්මක වන්නන් වෙති. එම නිසා මොවුන්ට අන්‍ය ආගමිකයින්ගේ ප‍්‍රශ්ණවලට මුහුණ දීමට සිදුවන අවස්ථාද ඇත. එවැනි අවස්ථාවක ඉහත අප සඳහන් කළ වාක්‍යයක් ඉදිරිපත් කර පිළිතුරු සපයන මෙන් යම් කෙනෙක් ඉල්ලා සිටී විටක ඔවුන්ට එම ප‍්‍රශ්ණයෙන් පැන යා නොහැකි තත්වයක් උදාවනු ඇත. එම නිසා මෙවැනි පොත් බයිබලයෙන් ඉවත් කිරීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති විය.

ප්‍රොතෙස්තන්ත යන නමින් බෙදී වෙන් වී යෑමට පෙර රෝමානු කතෝලිකයින් සමග එක්ව එකම පාර්ශවයක් ලෙස සිටින විට දෙපාර්ශවයම එකතු වී බොහෝ වාක්‍ය හා පොත් ඉවත් කර ඇති නිසාත්, සඟවා ඇති නිසාත් මෙසේ ප්‍රොතෙස්තන්ත නිකායිකයින් ඒවා ඉවත් කරන විට රෝමානු කතෝලිකයින්ට ඒවාට විරුද්ධව නැගී සිටීමට නොහැකි විය. රෝමානු කතෝලිකයින්ද (ප්‍රොතෙස්තන්ත නිකායිකයින් වෙන්වී යෑමට පෙර) බයිබලයෙන් බොහෝ පොත් ඉවත් කර ඇතැයි අප ප‍්‍රකාශ කරන්නේ බයිබලයේම සාක්‍ෂි පදනම් කරගෙන යි.

බයිබලය යනු අනාගත වක්තෘවරු බොහෝ දෙනෙකුගේ පුස්තක වල එකතුවක් බව අපි කලින් ද සඳහන් කළෙමු. බයිබලයේ බොහෝ තැන්වල තවත් අනාගත වක්තෘවරුන්ගේ පොත් ගැන සඳහන් වේ. නමුත් එවැනි පොත් බයිබලය තුල නොමැත. ඒ අනුව පැහැදිලි වන්නේ ඒවා ඉවත් කර ඇති බවයි. උදාහරණයකට පහත සඳහන් බයිබල් වාක්‍ය දෙස අවධානය යොමු කරමු.

”…දේශවල සියලූ රාජ්‍යවලටත් සිදු වූ කාරණා ද යන සියල්ල දිවැසිවර සාමුවෙල්ගේ ද දිවැසිවර නාතාන්ගේ ද දිවැසිවර ගාද්ගේ ද පුරාවෘත්ත ග‍්‍රන්ථවල ලියා තිබේ”

(1 වංශාවලිය 29:30)

මෙම බයිබල් වාක්‍යය පොත් තුනක් ගැන සඳූහන් කරයි. එනම් සාමුවෙල්ගේ පොත, නාතන්ගේ පොත හා ගාද්ගේ පොත යි. මෙම පොත් තුනෙන් සාමුවෙල්ගේ පොත අදටත් බයිබලයේ ඇත. නමුත් අනාගත වක්තෘ නාතන්ගේ පොතත් අනාගත වක්තෘ ගාද්ගේ පොතත් බයිබලයේ නොමැත. මෙම පොත් දෙකට සිදු වූයේ කුමක් ද? මේ දෙක පමණක් නොව තවත් බොහෝ පොත් මේ ආකාරයට බයිබලයෙන් ඉවත් කර ඇත.

“එබැවින් සමිඳුන්ගේ සටන් ග‍්‍රන්ථයෙහි මෙසේ කියා තිබේ……….”

(ගණන් කථාව 21:14)

“…….මෙපවත් යාෂාර්ගේ පොතේ ලියා නැද්ද?….”(යෝෂුවා 10:13)

මෙම වාක්‍යවල සඳහන් වන දෙවියන් වහන්සේගේ සටන් ග‍්‍රන්ථය කෝ? යාෂාර්ගේ පොත කෝ? මේවා සියල්ල වසන් කර ඇත යන්න හැර වෙනත් පිළිතුරක් නොමැත.

“මුල පටන් අන්තිම දක්වා සාලමොන්ගේ අනික් ක‍්‍රියාවල් නාතාන් අනාගතවක්තෘගේ කතන්දර පොතේද ෂිලොනිය අභියාගේ අනාගතවාක්‍යයේද නෙබාත්ගේ පුත‍්‍ර වූ යෙරොබොවම් ගැන දිවස් ඇත්තා වන ඉද්දෝ ලියූ දර්ශනවලද ලියා නැද්ද?”

(2 ලේකම් 9:29)

ඉහත වාක්‍යය ගැන අවධානය යොමුකළේ නම් එහි පොත් කිහිපයක් ගැනම සඳහන් කෙරේ.අනාගතවක්තෘ නාතාන්ගේ පොතට සිදු වූයේ කුමක්ද? අභියාගේ අනාගත වාක්‍ය අද බයිබලයේ නොමැත්තේ මන්ද? ඉද්දෝ ලියූ දර්ශනයට සිදු වූයේ කුමක් ද? මේවා කිතුනු ලොව මධ්‍යස්ථව කල්පනා කළ යුතු ප‍්‍රශ්න වේ. මේ ආකාරයට මුල සිටම දේව පුස්තකයෙන් කරුණු ඉවත් කිරීම මොවුන්ට සාමයන්‍ය දෙයක් වී ඇත යන්න කිසිවෙකුටත් ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. මෙය බයිබලයේ පැරණි ගිවිසුම මුහුණපා ඇති අසරණ තත්වයයි.

මේ ආකාරයටම අලූත් ගිවිසුමද දේව පුස්තකයෙන් කරුණු ඉවත් කිරීම නැමැති රෝගයට ගොදුරු වී ඇති ආකාරය බයිබලයම පදනම් කරගෙන මදක් විමසා බලමු. අලූත් ගිවිසුම යනු යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ විසින් ලබාදෙන ලද පුස්තකය නොවේ; යේසුස් වහන්සේගේ දේශනා අන්තර්ගත පුස්තකය ද නොවේ; යේසුස් වහන්සේ ගැන විවිධ කතුවරුන් විසින් උන් වහන්සේට බොහෝ කලකට පසු ලියන ලද, උන්වහන්සේ ගැන බොරු හා සත්‍ය තොරතුරද අන්තර්ගත ග‍්‍රන්ථ වල එකතුවකි.

එසේ නම් යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ පොතක් ලබාදුන්නේ නැද්ද? ක‍්‍රිස්තියාණි විශ්වාසයට අනුව පාපයේම උපත ලද බොහෝ අනාගත වක්තෘවරුන්ට පවා දෙවියන් වහන්සේ පොත් ලබාදී ඇති විට සියළු දෙනාගේ පාප සඳහා සිය ජීවිතය පූජා කිරීමට පැමිණි ප‍්‍රධානතම අනාගත වක්තෘවරයා වන යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ පොතක් ලබා නොදුන්නේ ද?

යේසුස් වහන්සේ ද පොතක් දේශනා කළ බව අලූත් ගිවිසුමේ බොහෝ තැන්වල සඳහන් වේ.

“ඉන්පසු ඔහු(යේසුස් වහන්සේ) සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්ද ජනයාට වැලඳී තිබුණු සියලූ ආකාර රෝග සහ ආබාධ සුව කරමින්ද මුළු ගලීලිය පුරාම ගියේය.”(මතෙව් 4:23)
“…යේසුස් ගලීලයට ගොස් දෙවිගේ ශුභාරංචිය දේශනා කරමින්..”(මාක් 1:14)
“……ශුභාරංවිය කෙරෙහි ඇදහිල්ල ඇතිව සිටින්න.”(මාක් 1:15)

මෙසේ මතෙව් හා මාක් යේසුස් වහන්සේ රාජ්‍යයේ ශුභාරංවිය දේශනා කළ බව සඳහන් කරති. මාක් එය දෙවියන් වහන්සේගේ ශුභාරංවිය බව පවසයි. දෙවියන් වහන්සේ විසින් ලබාදෙන ලද, යේසුස් වහන්සේ ජනයින්ට දේශනා කළ මෙම රාජ්‍යයේ ශුභාරංවිය නම් පොතට සිදු වූයේ කුමක් ද?

වෙනත් අයගේ පොත් ආගමේ නාමයෙන් ආරක්‍ෂා කරන කිතුනුවන්, යේසුස් වහන්සේට අවුරුදු දහස් ගනනකට පෙර ජීවත් වූ අනාගත වක්තෘවරුන්ගේ පොත් පවා පැරණි ගිවිසුම නමින් ආරක්‍ෂා කරන කිතුනුවන්, යේසුස් වහන්සේගේ පොත නැති කර ගත්තේ කෙසේ ද? මෙම ප‍්‍රශ්නයට දිය හැකි එකම පිළිතුර නම් යේසුස් වහන්සේට කිසිඳු සම්බන්ධතාවයක් නොමැති අලූත් ප‍්‍රතිපත්තියක පාවුල් විසින් ඇති කරගෙන, එය යේසුස් වහන්සේගේ නාමයෙන් ජනතාව අතරට ගෙනයන විට එයට පටහැනි වූ යේසුස් වහන්සේගේ සත්‍ය දේශනය වන දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශභාරංචිය නැමැති පොත වසන් කර ඇති බවයි.

මෙතෙක් රෝමානු කතෝලික බයිබලය ගැනත්, ප්‍රොතෙස්තන්ත නිකායිකයින් ඒ ගැන සැක පහළ කළ ආකාරයත් බයිබලය ඉතිහාසය පුරාවටම විවිධ අවස්ථාවලදී විකෘති කිරීම් වලට ලක් වූ ආකාරයත් විමසා බැලූවෙමු. රෝමානු කතෝලිකයින්ගේ බයිබලය ප‍්‍රතක්ෂේප කළ ප්‍රොතෙස්තන්ත නිකායිකයින් ද බයිබල් අනුවාදයක් ඉදිරිපත් කළහ. දැන් එම අනුවාදය ගැන මදක් විමසා බලමු.

ප්‍රොතෙස්තන්ත බයිබලය (Authorised Version)

ප්‍රොතෙස්තන්ත බයිබල් පරිවර්ථනය AV(Authorised Version) අනුමත සංස්කරණය යැයි හඳුන්වනු ලැබේ. KJV (King James Version)පළමු ජේම්ස් රජුගේ අනුවාදය යන නමින් ද මෙය හඳුන්යනු ලැබේ. එංගලන්තයේ පළමු ජේම්ස් රජුගේ උපදෙස් මත මෙම අනුවාදය ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. අදටත් එය ඔහුගේ නමින්ම හඳුන්වනු ලැබේ.

මෙම අනුවාදය ලෝකයේ බොහෝ රටවල්වල භාෂා 1500කට ආසන්න ප‍්‍රමාණයකින් ලබාගත හැකි ය. එම නිසා කතෝලිකයින් පවා (කතෝලික පරිවර්ථනය නොලැබෙන ස්ථානවල) මෙම පරිවර්ථනයම භාවිතා කරති.

මෙම අනුවාදය 1611දී ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. නැවතත් 1881දී සංශෝධනය කිරීමෙන් පසු RV (Revised Version) සංශෝධිත සංස්කරණය යැයි හඳුන්වනු ලැබීය. 1952 දී යළිත් සංශෝධනය කරනු ලැබ, ” RSV (Revised Standard Version) සංශෝධිත උසස් තත්වයේ සංස්කරණය යැයි හඳුන්වනු ලැබීය. 1971 දී නැවතත් සංශෝධනය කරනු ලැබූ නමුත් නමෙහි වෙනසක් නොකර RSV ලෙසම හඳුන්වනු ලැබීය.

මෙහිදී කිතුනු ලොව මධ්‍යස්ථව සිය අවධානය යොමු කළ යුතු වන්නේ ශුද්ධ(?) දේව වාක්‍ය නැවත නැවතත් මිනිසුන් අතින් සංශෝධනයට ලක් වීමේ හාස්‍යජනක කරුණටයි. 1971 දී ප‍්‍රකාශයට පත්කරණු ලැබූ RSV අනුවාදයේ පෙරවදන කියවා බැලූවහොත් මෙම දේව හෙලිදරව්ව(?) මුහුණ දී ඇති අන්ත අසරණ තත්වය මොනවටම පැහැදිලි වේ. එහි සබැඳුම පහත දැක්වේ.

http://www.bible-researcher.com/rsvpreface.html

මෙහිදී අප අවධානය කළ යුතු වැදගත් කරුණක් නම් අනුවාදය නිකුත් වීමෙන් පසු මුල් අත්පිටපත් සොයාගනු ලැබීමේ සිද්ධියටයි. මින් පසුත් සංශෝධන, ප‍්‍රති සංශෝධන කියා සංශෝධනවලද අවසානයක් නොමැත. අඩුපාඩු සහිත අනුවාදය පිළිපදිමින් ජීවත් වූ ජනයාගේ ඉරණම කුමක් ද? ඔවුන්ට ස්වර්ග රාජයේ ශුභාරංවිය හිමි වේ ද? නැතහොත් ඔවුන්ගේ ජීවිතයේ අවසානය විනාශය ද? මේවාට කිතුනු ලොව පිළිතුරු සැපයිය යුතුයි.

වොච්ටවර් බයිබලය (WATCHTOWER BIBLE)

වොච්ටවර් බයිබලය ගැන ද වචනයක් ඉදිරිපත් කිරීම කාලෝචිත යැයි සිතමු. මෙම බයිබලය යෙහෝවාගේ සාක්‍ෂිකරුවෝ(Jehovah’sWitnesses) නැමැති ක‍්‍රිස්ත‍්‍රියාණියින්ගේ බයිබලය යි. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ WATCHTOWER BIBLE AND TRACT SCOCIETY නැමැති ආයතය විසින් ප‍්‍රකාශිත මෙම බයිබලය සිංහල ඇතුළු භාෂා කිහිපයකින්ම ලබාගත හැකිය. මෙම බයිබලයේ අලූත් ගිවිසුම නව ලොව පරිවර්ථනය යන නමින් හඳුන්වනු ලැබේ. මෙම නව ලොව පරිවර්ථනය පළමු වරට ප‍්‍රකාශ කරන ලද්දේ 1950දී ඉංග‍්‍රීසි බසින් බව මොවුන්ගේ සිංහල පරිවර්ථනයේ සඳහන් වේ.

මෙම යෙහෝවාගේ සාක්‍ෂිකරුවෝ නැමැති සංවිධානය දෙවියන් වහන්සේට අද්විතීය නමක් ඇති බවත් එය යෙහෝවා බවත් ප‍්‍රකාශ කරති. ත‍්‍රිත්වය තදින්ම ප‍්‍රතික්‍ෂේප කරති. එසේම කුරුසයද නො අදහති. ඔවුන් කියන්නේ යේසුස් ව කුර්සයක නොව කනුවක තියා ඇණ ගැසූ බවයි. එම කනුව වධකනුව යැයි මොවුන් හඳුන්වති. යේසුස්ගේ උපන් දිනය දැනගැනීමට තරම් තොරතුරු බයිබලයෙන් සපයා නොමැති බව පවසන මොවුන් යේසුස්ගේ උපත දෙසැම්බර් මාසයේ සිදු නොවූ බව තහවුරු කිරීමට සාක්‍ෂි බයිබලයේ ඇතැයි පවසමින් නත්තල් සැමරීම ප‍්‍රතික්‍ෂේප කරති. මේ ආකාරයට තවත් ප‍්‍රතිපත්ති කිහිපයකින් ද මොවුන් අනිකුත් කිතුනු නිකායන්ගෙන් වෙන් වෙති.

ඉහත සඳහන් කළ ප්‍රොතෙස්තන්ත බයිබලයම මොවුන්ද පිළිගන්නා නමුත් මොවුන්ගේ ප‍්‍රතිපත්තිවලට සමගාමීව එහි යම් යම් වෙනස්කම් මෙම බයිබලයේ සිදුකර ඇත. ශ‍්‍රී ලංකා බයිබල් සමාගම විසින් නිකුත් කරන ලද බයිබලයේ ”සමිඳානන්” යැයි සඳහන් වන තැන්වල මෙම බයිබලයේ යෙහෝවා යැයි සඳහන් වේ. එසේම එම බයිබලයේ ”කුරුසිය” යැයි සඳහන් වන තැන්වල මෙම බයිබලයේ වධකනුව යනුවෙන් සඳහන් වේ. මේ ආකාරයට මොවුන්ගේ බයිබලය හා අනිකුත් බයිබල් අතර සුළු වෙනස්කම් කිහිපයක් පවතී. අපි මෙම ලිපියේ දී භාෂාවේ ලිහිල්භාවය සැලකිල්ලට ගෙන බොහෝ අවස්ථාවල මොවුන්ගේ බයිබලයෙන් කරුණු උපටා ගෙන ඇති අතර, මෙම බයිබලය ශ‍්‍රී ලංකා බයිබල් සමාගම විසින් නිකුත් කරන ලද බයිබලයෙන් වෙනස් වන ස්ථාන වලදී අදාල වචනය වරහන් තුල සඳහන් කර ඇත්තෙමු. උදාහරණයකට මොවුන්ගේ බයිබලයේ යෙහෝවා යැයි සඳහන් වන ස්ථාන උපුටා දක්වන විට අපි වරහන් තුළ සමිඳානන් යැයි සඳහන් කරමු. එසේ වධකනුව යැයි සඳහන් ස්ථානයක් උපුටා දක්වන විට වරහන් තුල කුරුසය යැයි සඳහන් කරමු.

මෙම යෙහෝවාගේ සාක්‍ෂි කරුවෝ නැමැති ක‍්‍රිස්තායාණියින්ගේ වැදගත් තර්තයක් ගැන සලකා බලමු. මොවුන් පවසන්නේ දෙවියන් වහන්සේට අද්විතීය නාමයක් ඇති බවත්, එම දිව්‍ය නාමය යෙහෝවා (නොහොත් ජෙහෝවා) බවත් ය. මුල් ග‍්‍රීක කෘතියෙහි දැනට තිබෙන අත්පිටපත්වල පමණක් නොව, පැරණි හා නූතන සංස්කරණ බොහෝමයකින් දිව්‍ය නාමය දක්නට නොතිබීම පුදුමයට කරණක් බව මොවුන් පවසති.මොවුන්ගේ මෙම තර්කය නිවැරදි නම් බයිබලය අනාවරණය කළ දෙවියන් වහන්සේගේ දිව්‍ය නාමය පවා නොදන්නා තරමට කිතුනු ලොව අසරණ වී ඇත. මෙම දිව්‍ය නාමයේ නිවැරදි උච්චාරණය අද හරියටම නොදන්නා බව මොවුන්ගේම බයිබලයේ උපග‍්‍රන්ථ 1 හි සඳහන් වන අතර හෙබ්‍රෙව් වලින් (ය්හ්ව්හ්) යන අකුරු හතරෙන් නියෝජනය කරනු ලැබූ ඒ නාමය හෙබ්‍රෙව් ශද්ධ ලියවිල්ලේ 7000 වතාවක් පමණ දක්නට ලැබූ බවත් සාමාන්‍යයෙන් මෙය ටෙට‍්‍රග‍්‍රැමටනය යනුවෙන් හඳින්වන බවත්, ඉංග‍්‍රීසීයෙන් එය YHWH (නැත්නම් JHVH) යන අකුරු වලින් දැක්වෙන බවත් සඳහන් වේ. මොවුන්ගේ මෙම ප‍්‍රකාශයෙන් පැහැදිලිවන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නාමය නිවැරදිව උච්චාරණය කිරීමට කිසිවෙක් නොදන්නා තරමටම කිතුනු ලොව අන්ත අසරණ වී ඇති බවයි.

බයිබලය දේව භාෂිතයක් ද?

යම් ග‍්‍රන්ථයක් දේව භාෂිතයක් ලෙස, එනම් දෙවියන් වහන්සේ විසින් අනාවරණය කරනු ලැබූ, උන්වහන්සේගේ අදහස් පමණක් අන්තර් ගත ග‍්‍රන්ථයක් ලෙස පිළිගැනීමට නම් එය විශේෂිත ගුණාංග කිහිපයකින් සමන්විත විය යුතු වේ. ඒවා නම්

  • එම ග‍්‍රන්ථයේ අදහස් මුල සිට අග දක්වාම එකිනෙක සම්බන්ධ විය යුතු යි. එහි පරස්පර විරෝධී අදහස් එකක්වත් තිබිය නොහැක
  • එම ග‍්‍රන්ථය මගින් කෙරෙන අනාවැකි සත්‍ය විය යුතුයි. එක අනාවැකියක් හෝ අසත්‍ය වූ විට දේව භාෂිතයක් නොවේ.
  • ඓතිහාසික තොරතුරු අතින් ද එම ග‍්‍රන්ථය නිවැරදි විය යුතු යි.
  • එම ග‍්‍රන්ථය මගින් අණ කරන නීතිරීති ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ හැකි ඒවා විය යුතු යි.
  • දේව පුස්තකයක් යැයි ඔප්පු කිරීම සඳහා වූ සාධකයන් හා ප‍්‍රාතිහාරයන් එහි අන්තර්ගත විය යුතුයි.
  • එම පුස්තකයේ සඳහන් කරුණු ඔප්පු කරන ලද විද්‍යාත්මක න්‍යායන්ට පටහැනි නො විය යුතුයි.
  • අසභ්‍ය කරුණු එහි අන්තර්ගත නොවිය යුතුයි.

ඉහත සඳහන් කළ කරුණුවලින් එකක් හෝ යම් ග‍්‍රන්ථයක අන්තර් ගත වේ නම්

එය දේව භාෂිතයක් හැටියට පිළිගත නොහැකිය. මෙම කරුණු පදනම් කරගෙන බයිබලය මදක් විමසා බැලූවහොත් එය දේව භාෂිතයක් නොවේ යන්න පහසුවෙන්ම වටහාගත හැකිය.

බයිබලයේ පරස්පර විරෝධී අදහස්

බයිබලයේ එකකට එකක් පටහැනි වන පරස්පර විරෝධී අදහස් රැසක් දැකිය හැකිවේ. එක සිද්ධියක් ගැන එක තැනක යම් කරුණක් පවසා එම සිද්ධිය ගැනම තවත් තැනක ඊට හාත්පසින්ම වෙනස් අදහසක් ප‍්‍රකාශ වේ නම් එවැනි අදහසක් දෙවියන් වහන්සේගේ අදහසක් වන්නේ කෙසේ ද? දෙවියන් වහන්සේ කරුණු අමතක කරන්නා ද?(නවූදු බිල්ලාහි මින්හා ) මෙම දුර්වලතාවය බයිබලයේ බොහෝ තැන්වල දැකිය හැකි වේ. ඒ අනුව පැහැදිලි වන්නේ බයිබලය දේව භාෂිතයක් නොව මිනිසාගේ අදහස් අන්තර්ගත ග‍්‍රන්ථයක් බවයි. උදාහරණ කිහිපයක් සළකා බලමු.

පැරණි ගිවිසුමේ පරස්පර විරෝදී අදහස්
පරස්පරතාවය – 1
  • ජෙහෝයාකින් රජ වන විට වයස අවු: 8 ද?, 18ද?
  • ඔහුගේ පාලන කාලය මාස 3ක් ද? මාස 3යි දවස් 10ක් ද?
  • 2 රාජාවලිය 24 පරිච්ඡෙදයේ 8 වන වාක්‍ය :
  • යෙහෝයාඛින් වයස අවුරුදු දහඅටේදී රජකම් කරන්නට පටන්ගෙන යෙරුසලමේ තුන් මසක් රජකම් කළේය.
  • 2 ලේකම් 36 පරිච්ඡෙදයේ 9 වන වාක්‍ය :
  • යෙහෝයාකීන් අට අවුරුදු වයසේදී රජකම් කරන්නට පටන්ගෙන තුන් මස් දස දවසක් යෙරුසලෙමේ රජකම් කරමින්………..
පරස්පරතාවය -2
  • ගී කියන ස්ත‍්‍රී පුරුෂයින්ගේ ගනන 200 ද? 245 ද?
එස්රා 2 පරිච්ඡෙදයේ 65 වන වාක්‍ය :
  • ඔවුන්ට ගී කියන ස්ත‍්‍රී පුරුෂයෝ දෙසියයක් සිටියෝය.
නෙහෙමියා 7 පරිච්ඡෙදයේ 67 වන වාක්‍ය :

….ඔවුන්ට ගී කියන ස්ත‍්‍රී පුරුෂයෝ දෙසිය හතළිස් පස්දෙනෙක් සිටියෝය.


පරස්පරතාවය – 3

සාලමොන් රජුගේ මාලිගාවේ තනන ලද මුහුදට අල්ලන වතුර බාත් ගනන බාත් 2000ක් ද? 3000ක් ද?

1 රාජාවලිය 7 පරිච්ඡෙදයේ 26 වන වාක්‍ය :

…..එහි බාත් දෙදාහක් ඇල්ලූවේය.

2 ලේකම් 4 පරිච්ඡෙදයේ 5 වන වාක්‍ය :

…..එහි බාත් තුන්දාහක් ඇල්ලූවේය.


පරස්පරතාවය – 4

ගනන් කරන්නට දාවිත්ව පෙලඹෙව්වේ සාතන් ද? දෙවියන් වහන්සේ ද?

1 ලේකම් 21 පරිච්ඡෙදයේ 01 වන වාක්‍ය :

සාතන් ඊශ‍්‍රායෙල්ට විරුද්ධව නැගිට ඔවුන් ගණන් කරන්ට දාවිත් පෙලඹෙව්වේය.

2 සාමුවෙල් 24 පරිච්ඡෙදයේ 01 වන වාක්‍ය :

……. ඔහු (දෙවියන් වහන්සේ) යන්න, ඊශ‍්‍රායෙල්ද යූදාද ගණන් කරන්නයි කියමින් ඔවුන්ට විරුද්ධව දාවිත් පෙලඹෙවිවවේය.


පරස්පරතාවය – 5

හත් අවුරුදු සාගතයක් ද? තුන් අවුරුදු සාගතයක් ද?

2 සාමුවෙල් 24 පරිච්ඡෙදයේ 13 වන වාක්‍ය :

මෙසේ ගාද් දාවිද් ළඟට විත්: ඔබගේ දේශයේ හත් අවුරුද්දක් සාගතය වන්නේ ද?………..

1 ලේකම් 21 පරිච්ඡෙදයේ 11-12 වන වාක්‍ය :

මෙසේ ගාද් වනාහි දාවිත් ළගට ඇවිත් කතා කොට: යෙහෝවා (දෙවියන් වහන්සේ) මෙසේ කියන්නේය: තුන් අවුරුදු සාගතයක්ය;……..


පරස්පරතාවය – 6

අහසියා රජකම් කරන්නට පටන්ගත්තේ විසි දෑ අවුරුදු වයසේ දී ද? නතහොත් හතළිස් දෑ අවුරුදු වයසේ දී ද?

2 රාජාවලිය 8 පරිච්ඡෙදයේ 26 වන වාක්‍ය :

අහසියා විසි දෑවුරුදු වයසේදී රජකම් කරන්ට පටන්ගෙන යෙරුසලෙම්හි අවුරුද්දක් රජකම් කළේය.

2 ලේකම් 22 පරිච්ඡෙදයේ 2 වන වාක්‍ය :

අහසියා හතළිස් දෑවුරුදු වයසේදී රජකම් කරන්ට පටන්ගෙන යෙරුසලෙම්හි අවුරුද්දක් රජකම් කළේය.


පරස්පරතාවය – 7

බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් බැබිලෝනියට ගෙන ගිය අයගෙන් වහල්කමින් මිදී නැවත යෙරුසලමෙහිද යූදාහිද තමන්ගේ නුවරවලට පැමිණි ඊශ‍්‍රායෙල් පුත‍්‍රයින්ගේ ගනන එස්රා 2 වන පරිච්චේදයේද නෙහෙමිය 7 වන පරිච්චේදයේද සඳහන් කර ඇත. මෙහි මෙම පරිච්චේද දෙක අතර පරස්පරථා රැසක්ම පවතී.

ලයිතුව එස්රා එස්රාහි නෙහෙමිය නෙහෙමියාහි

වාක්‍ය ගණන වාක්‍ය ගණන

ආරාගේ පුත‍්‍රයෝ 5 775 5 652 පාහත් මෝවබ්ගේ පුත‍්‍රයෝ 2818 6 2812 11 ශට්ටුගේ පුත‍්‍රයෝ 8 945 13 845 බානීගේ පුත‍්‍රයෝ 10 642 15 648 බේබයිගේ පුත‍්‍රයෝ 11 623 16 628 අස්ගාද්ගේ පුත‍්‍රයෝ 12 1222 17 2322 අදොනිකාම්ගේ පුත‍්‍රයෝ 13 666 18 667 බිග්වායිගේ පුත‍්‍රයෝ 14 2056 19 2067 ආදීන්ගේ පුත‍්‍රයෝ 15 454 20 655 හාෂුම්ගේ පුත‍්‍රයෝ 19 223 22 328 බේශායිගේ පුත‍්‍රයෝ 17 323 23 324 බෙතෙල්හිද ආයිහිද මනුෂ්‍යයෝ 28 223 32 123 ලෝද්හිද හාදිද්හිද ඕනෝහිද පුත‍්‍රයෝ 33 725 37 721 සෙනායාහි පුත‍්‍රයෝ 35 3630 38 3930 ආසාප්ගේ පුත‍්‍රයො 41 128 44 148 දොරටුපාලයෝ 42 139 45 138 පෙළපත පෙන්වන්නට බැරි වූ අය 59-60 652 61-62 642 මේ ආකාරයට එස්රා 2 පරිච්චේදය හා නෙහෙමියා 7 වන පරිච්චේදයත් නම් නිවැරදිව සඳහන් කරන අතර සංඛාව ලබාදීමේදී මෙතරම් විශාල පරස්පරතා රැසක්ම පවතී. දෙවියන් වහන්සේට කිසිඳු සම්බන්ධතාවයක් නොමැතිව කනට වැදුනු සියල්ල සටහන් කළොත් පමණි, මෙතරම් පරස්පරතා මතු විය හැක්කේ. මේ ආකාරයට බයිබලයේ මෙතෙක් පැරණි ගිවිසුමේ සඳහන් පරස්පරතා කිහිපයක් දෙස අවධානය යොමු කෙළෙමු. තවත් බොහෝ පරස්පරතා පැරණි ගිවිසුමෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙන නමුත් මෙම ලිපිය දීර්ඝ වීම සැලකිල්ලට ගෙන් ඒවා සඳහන් නොකරමු.

මෙතෙක් අපි බයිබලයේ පැරණි ගිවිසුමෙහි සඳහන් වන පරස්පර විරෝධි තැන් කිහිපයක් සළකා බැලූවෙමු. දැන් අලූත් ගිවිසුමෙහි සඳහන් පරස්පර විරෝධී තැන් කිහිපයක් දෙස අවධානය යොමු කරමු.

අලුත් ගිවිසුමෙහි සඳහන් පරස්පරතා
පරස්පරතාවය -1

යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා යැයි කිතුනුවන් විශ්වාස කළද බයිබලය දාවිත්ගෙන් පටන් යෝසෙප් දක්වා යේසුස් වහන්සේගේ පෙළපත ඉඳිරිපත් කරයි. එම පෙළපත ඉඳිරිපත් කිරීමේදී මතෙව් එක පෙළපතක් ඉඳිරිපත් කරන අතර ඊට හාත්පසින්ම වෙනස් පෙළපතක් ලූක් ඉඳිරිපත් කර ඇත. මතෙව්ගේ හා ලූක්ගේ මෙම පෙළපත් දෙක කොතරම් දුරට පරස්පර වෙනවාදැයි කිවහොත්, දාවිත් හා යෝසෙප් හැර වෙන කිසිම සමානත්වයක් මෙම පෙළපත් දෙක අතර නොමැත. මතෙව්ට අනුව මෙම පෙළපතට දාවිත් හා යෝසෙප් අතර 26 දෙනෙක් අන්තර්ගත වන අතර ලූක්ගේ පෙළපතෙහි 41 දෙනෙක් අන්තර්ගත වීමෙන් මෙය කොතරම් පරස්පරද යන්න වටහාගත හැකිය. දාවිත්ගේ පුත් සලමොන්ගේ පරම්පරාවෙන් යෝසෙප් පැවත එන බව මතෙව් කියන විට ලූක් කියන්නේ දාවිත්ගේ පුත් නාතන්ගේ පරම්පරාවෙන් යෝසෙප් පැවත එන බවයි. මේ අකාරායට මෙම එකම එක කරුණ තුළ පමණක් පරස්පරතා ජාලයක්ම පෙන්වා දීමේ හැකියාව තිබුණත් එය එකක් හැටියටම මෙහි සඳහන් කර ඇත්තෙමු. ඒ පෙළපත් දෙක පහත පරිදි වේ.

මතෙව් 1:6-16

දාවිත්

1. සලමොන්

2. රෙහෝබෝවම්

3. අබියා

4. ආසා

5. යෙහෝෂපාට්

6. යෙහෝරාම්

7. උසියා

8. යෝතම්

9. ආහස්

10. හෙසකියා

11. මනස්සේ

12. ආමොන්

13. යොෂියා

14. යෙකොනියා

15. ෂෙයල්ටියල්

16. සෙරුබාබෙල්

17. අබියූද්

18. එලියාකිම්

19. ආෂොර්

20. සාදොක්

21. ආකීම්

22. එලියූද්

23. එලියාසර්

24. මතන්

25. යාකොබ්

26. යෝසෙප්

යේසුස්


ලූක් 3:23-31

දාවිත්

1. නාතන්

2. මත්තතා

3. මෙන්නා

4.මේලියා

5.එලියාකිම්

6. යෝනාම්

7. යෝසෙප්

8. යූදස්

9. සිමියොන්

10.ලෙවි

11.මතට්

12. යෝරිම්

13. එලියේසර්

14. යේසුස්

15. ඒර්

16. එල්මාසද

17. කෝසම්

18. අද්දි

19. මෙල්කි

20. නේරි

21. ෂෙයල්ටියල්

22. සෙරුබාබෙල්

23. රේසා

24. යොවානන්

25. යෝදා

26. යෝසෙක්

27. සෙමියන්

28. මටතියස්

29. මායත්

30. නග්ගයි

31. එස්ලි

32. නාහුම්

33. ආමෝස්

34. මටතියස්

35. යෝසෙප්

36. යනයි

37. මෙල්කි

38. ලෙවී

39. මතට්

40. හේලි

41. යෝසෙප්

යේසුස්


පරස්පරතාවය – 2

සරටියක් රැගෙන යායුතුද? නොවේ ද?

යේසුස් වහන්සේ තම ගෝලයන් දොලොස් දෙනා ධර්ම දූත සේවාවට යැවීමේ පුවත සඳහන් කරන විට මතෙව් සහ මාක් එකට එකක් පටහැනි අදහස් ඉදිරිපත් කරති. මාක් ඔවුන්ට යේසුස් වහන්සේ සැරටිය පමණක් රැගෙන යන මෙන් අණ කළ බව පවසන විට මතෙව් පවසන්නේ සැරටියත් රැගෙන නොයන ලෙස අණ කළ බවයි.

ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරටිය වත් සපයා නොගන්න………(මතෙව් 10:10)

ගමනට සැරටියක් හැර, රොටි වත්, මල්ලක් වත්, පසුම්බිවල මුදල් යන කිසිවක් නොගෙන, වහන් පය ලා කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළ සේක.

(මාක් 6:8)

පරස්පරතාවය – 3

කුරුසය උසුලාගෙන ගියේ යේසුස් වහන්සේ ද? සීමොන් ද?

යේසුස් වහන්සේව කුරුසයේ තියා ඇණ ගැසීමට කුරසය උසුලාගෙන ගියේ සීමොන් යැයි ලූක් කියන විට ජොහන් නම් කියන්නේ යේසුස් වහන්සේම උසුලාගෙන ගිය බවයි.

උස්වහන්සේ ම කුරුසිය උසුලාගෙන හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා යයි කියන කපාලපිටිය නම් ස්ථානයට වැඩිය සේක.(ජොහන් 19:17)

ඔවුහු උන් වහන්සේ ගෙන යන කල පිටිසරින් පැමිණි සිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලාගෙන, ජේසුස් වහන්සේ පසුපස්සෙන් කුරුසිය දරාගෙන යන පිණිස එය ඔහු පිට තැබූ හ.(ලූක් 23:26)

ඓතිහාසික තොරතුරු අතින් බයිබලය

ඓතිහාසික තොරතුරු අතින් බයිබලය විමසා බලන විට, එය කිසිසේත්ම දේව භාෂිතයක් නොවන බව පහසුවෙන්ම වටහාගත හැකි ය. යම් ඓතිහාසික සිද්ධයක් වාර්තා කරන විට ඒ ගැන සඳහන් කරන ඉතිහාස කරුණ සත්‍ය හා නිවැරදි විය යුතුයි. නමුත් බයිබලය මගින් ඉදිරිපත් කර ඇති පහත කරුණු සලකා බැලීමේදී ඓතිහාසික කරුණු කොතරම් දුරට වරදවා ඇත් දැයි වටහා ගත හැකි ය.

මෝසෙස්ගේ මරණය ගැන පුවත මෝසස් විසින්ම ලියන ලද ග‍්‍රන්ථයේ

ක‍්‍රිස්තියාණි විශ්වාසයට අනුව පැරණි ගිවිසුම යනු බොහෝ අනාගත වක්තෘවරුන්ගේ පුස්තකවල එකතුවක් බව කළින් සඳහන් කළෙමු. පැරණි ගිවිසුමේ පළමු ග‍්‍රන්ථ පහ වන උප්පත්තිය,නික්මයාම,ලෙවී කතාව,ගණන් කතාව,ද්විතීය කතාව යන පොත් මෝසෙස් නම් අනාගත වක්තෘවරයාගේ පොත් ලෙසත් ඒවා ලියන ලද්දේ මෝසෙස් විසින්ම බවත් කිතුනුවෝ විශ්වාස කරත. නමුත් මෙම පොත් පහෙන් එකක පොතක් වන නික්මයාම නැමැති පොතේ සඳහන් වන පහත සඳහන් වාක්‍යයන් සලකා බලන විට මේවා මෝසෙස් විසින් ලියන නොලද බව ඔප්පු වේ.

”මෙසේ සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස්,උන් වහන්සේ වදාල පරිදි මෝවබ් දේශයේ දී අපවත් විය. උන් වහන්සේ බෙත්-පෙයෝර් නම් නගරයට ඉදිරියෙන් වූ මෝබව් දේශයෙහි තැනැතලාවක ඔහු භූමිදානය කළ සේක. කිසිවෙක් අද දක්වා ඔහුගේ සොහොන් පළ නොදනිති. මෝසෙස් අපවත් වන විට ඔහුට වයස අවුරුදු එකසිය විස්සකි. ඔහුගේ ඇස් පෙනීම හොඳට තිබිණි. ශරීර ශක්තිය අඩු නොවී ය. ඉශ්රායෙල් ජනතාව මෝවබ් මිටියාවතේ මෝසෙස් ගැන දවස් තිහක් හඬා වැලපුණෝ ය. හඩා වැලපෙන කාලය ද අවමංගල්‍යයේ වත්පිළිවෙත් කාලය ද නිම විය.”(ද්විතීය නීති සංග‍්‍රහය 34:5-8)

”මෝසෙස් නූන්ගේ පුත් ජෝෂුවා පිට තම අත් තැබූ බැවින්, ඔහු ප‍්‍රඥානුභාවයෙන් පූර්ණ වූයේ ය. ඉහ්රායෙල් ජනතාව ද ඔහුට කීකරු වී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝ ය.”( ද්විතීය නීති සංග‍්‍රහය 34:9)

මෝසෙස් විසින් ලියන ලද ග‍්‍රන්ථයේ මෝසෙස්ගේ මරණය ගැන පුවත ඔහුව භූමිදානය කළ ස්ථානය හා ආකාරය මරණයට පත්වන විට ඔහුගේ වයස මෝසෙස්ගේ මරණයෙන් පසු ඉශ්රායෙල්වරු දවස් 30ක් හඬා වැලපුනු පුවත මෝසෙස්ට පසු ජෝෂුවා ඊලඟ නායකයා වශයෙන් පත් වූ පුවත යනාදී කරුණ අන්තර්ගත වූයේ කෙසේ ද? මෙම කරුණුවලින් පැහැදිලිවන්නේ මෝසෙස් ලියූ බව කිතුනු ලොව විශ්වාස කරන මෙම පොත්වලට හා මෝසෙස්ට කිසිඳු සම්බන්ධතායක් නොමැති බවයි. ද්විතීය නීති සංග‍්‍රහයේ 34:10 වාක්‍යයේ මෙසේ සඳහන් වේ.

”සමිඳානන් වහන්සේ මුණට මූණ ලා ඇඳිනගත් මෝසෙස්ට සමාන දිවැසිවරයෙක් ඉන්පසු ඉශ්රායෙල්වරුන් අතර තවත් නොවී ය.”( ද්විතීය නීති සංග‍්‍රහය 34:10)

මෝසෙස්ට සමාන දිවැසිවරයෙක්(අනාගත වක්තෘවරයෙක්) ඉන්පසු ඉශ්රායෙල්වරුන් අතර නොවූ බව මරණයට පත් වී භූමිදානය කිරීමෙන් පසු මෝසෙස් දැනගත්තේ කෙසේ ද? මෙම කරුණ මෝසෙස් ලියා තිබේ යැයි කවහොත් එය විශ්වාස කළ හැකි ද? මෙතරම් ඓතිහාසික කරුණු වරද්දවා ඇති පොතක් තවත් තිබිය හැකි ද?

සත්‍ය නම් මෝසෙස්ට බොහෝ කළකට පසු ජීවත් වූ පුද්ගලයෙක් ඔහුගේ නම යොදා මෙම පොත් ලියා ඇති බවයි.

බාෂා මියගොස් අවුරුදු 9 කට පසු ආසාට විරුද්ධව යුද වැදීම

ආසාගේ තුන්වන අවුරුද්දේ දී අභියාගේ පුත‍්‍ර වූ බාෂා තිර්ශාහි සිය`ඵ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී අවුරුදු විසිහතරක් රජකම් කළ පසු අපවත් වී තීර්හි භූමිදානය කර ඇති බව කියන ඉතිහාස කථව 1 රාජාවලියේ 15:33 වාක්‍යයේ සිට 16:6 වන වාක්‍ය දක්වා සඳහන් වේ. නමුත් 2 වංශාවලිය 16 : 1 වැනි වාක්‍යයේ සඳහන් වන්නේ ආසා රජකම් කළ තිස්හය වන අවුරුද්දේ දී බාෂා ආසා වෙත කිසිවෙකුටත් යන්න ඉඩ නොහරින පිණිස රාමා නගරය ගොඩනැගූ බවයි. එසේ නම් බාෂා මෙම නගරය ගොඩනගා ඇත්තේ මිය ගොස් අවුරුදු නවයකට පසුවයි.මෙසේ ඉතිහාස තොරතුරු වරද්දන ග‍්‍රන්ථයක් දේව භාෂිතයක් විය හැකිදැයි කිතුනු ලොව කල්පනා කළ යුතු වේ.එම බයිබල් වාක්‍ය දෙක පහත සඳහන් කර ඇත.

1 රාජාවලිය 15 පරිච්ඡෙදයේ 33 වන වාක්‍ය හා 16 පරිච්ඡෙදයෙ 6 වාක්‍ය:

ජුදාහි ආසාගේ තුන් වන අවුරුද්දේ දී අභියාගේ පුත‍්‍ර වූ බාෂා තිර්ශාහි සියලූ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී විසිහතර අවුරුද්දක් රජකම් කළේ ය.(15:33)

බාෂා අපවත් වූ පසු තීර්හි භූමිදාන කරන ලදී……(16:6)

2 වංශාවලිය (ලේකම්)16 පරිච්ඡෙදයෙ 1 වාක්‍ය:

ආසා රජකම් කළ තිස්හය වන අවුරුද්දේ දී බාෂා ජුදාට විරුද්ධ ව ගොස් ජුදාහි රජු වූ ආසා වෙත කිසිවෙකුට යන්න එන්න ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැගුවේ ය.

පියාට වඩා අවුරුදු දෙකක් වැඩිමහල් පුතෙක්

බයිබලයේ 2 වංශාවලිය (සමහර බයිබල් වල 2 ලේකම් පොත) හි ජෙහෝරාම් රජුගේ ඉතිහාසය ගැන සඳහන් වේ. මෙම ඓතිහාසික තොරතුර ඉදිරිපත් කරන විට බයිබලය කොතරම් වැරදි පුවතක් ඉදිරිපත් කරනවාදැයි කිවහොත් ජෙහෝරාම්ට වඩා ඔහුගේ බාල පුත‍්‍රයා වන අහසිය අවුරුදු දෙකකින් වැඩිමහල් බව සඳහන් වේ.

“ඔහු (ජෙහෝරාම්) තිස්දෑවුරුදු වයසේ දී රජ වී අට අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කණගාටු නො වූ හ. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝ ය. එහෙත් තැන්පත් කළේ රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේ.” (2 වංශාවලිය 21:20)

මෙම වාක්‍යයේ සඳහන් වන්නේ ජෙහෝරාම් රජ වන විට ඔහුගේ වයස තිස් දෙකක් බවත් ඔහු අවුරුදු අටක් රජකම් කළ පසු මරණයට පත් වූ බවත් ය. එනම් ඔහු මරණයට පත් වන විට ඔහුගේ වයස අවුරුදු හතලිහකි. දැන් පහත වාක්‍ය දෙස බලන්න.

“ජෙරුසලමේ වැසියෝ රජුගේ බාල පුත් අහසියා ඔහු වෙනුවට රජකමට පත් කළෝ ය. මන්ද, අරාබිවරුන් සමග කඳවුරට ආ හමුදාව රජුගේ සියලූ වැඩිමහල් පුත‍්‍රයන් මරා දමා තිබිණි. එබැවින් ජුදාහි රජ වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා රජකම් කෙළේ ය. අහසියා හතළිස්දෑවුරුදු වයසේ දී රජ වී අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.” (2 වංශාවලිය 22 : 1-2)

ජෙහෝරාම්ගේ මරණයෙන් පසු ඔහුගේ බාල පුත් අහසියා රජ වූ බවත් රජ වන විට ඔහුගේ වයස අවුරුදු හතලිස් දෙකක් බවත්,ඔහු අවුරුද්දක් ජෙරුසලම පාලනය කළ බවත් මෙම වාක්‍යයේ සඳහන් වේ. මෙම වාක්‍ය දෙක සලකා බැලීමේ දී පැහැදිලි වන්නේ අහසියා ඔහුගේ පියා වන ජෙහෝරාම්ට වඩා අවුරුදු දෙකකින් වැඩිමහල් බවයි. මෙසේ ඉතිහාස තොරතුරු වරද්දන පොතක් දේව භාෂිතයක් වීම කෙසේ වෙතත් සිහිබුද්ධියෙන් යුක්ත් පුද්ගලයෙකුගේ වචනයක් වීමට වත් ඉඩක් නැත.

මේ ආකාරයට ඓතිහාසක තොරතුරු වැරදියට හා එකකට එකක් පටහැනිව සඳහන් කර ඇති ස්ථාන බොහෝමයක් බයිබලයෙන් පෙන්වා දීමේ හැකියාව තිබුණත්,මෙම ලිපිය දීර්ඝ වන නිසාත් තවත් බොහෝ කරුණු සාකච්ඡා කිරීමට අවශ්‍ය නිසාත් ඒවා සඳහන් නොකරමු. බයිබලය දේව භාෂිතයක් නොවේ යැයි ඔප්පු කිරීමට එකක් පමණක් ප‍්‍රමාණවත් නමුත් එවැනි කරුණු තුනක් සඳහන් කර ඇත.

අසභ්‍ය කරුණු

දේව පුස්තකයක අරමුණ විය යුත්තේ මිනිසුන් එය කියවා තේරුම් ගැන ඒ අනුව ජීවත් වීම යි.එනම් මිනිසාව යහමග යොමුකිරීම යි. එම නිසා එය පවුලේ සියළු දෙනාටම එකට වාඩි වී පරිශීලනය කල හැකි එකක් විය යුතු යි. මවට හා පුතාට, දුවට හා පියාට මෙන්ම සහෝදරයාට හා සහෝදරියට එකට වාඩි වී පරිශීලනය කළ නොහැකි ආකාරයට යම් ග‍්‍රන්ථයක අසභ්‍ය කරුණු අන්තර් ගත වේ නම් එවැනි ග‍්‍රන්ථයක් දේව භාෂිතයක් විය නොහැකි ය.

සංසර්ගය, ඔසප් වීම, ප‍්‍රසූතිය වැනි මිනිස් ජීවිතය හා බැඳුනු කරුණු ගැන කථා කිරීමෙහි වරදක් නොවුනද එවැනි කරුණු ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා වූ සදාචාරය හා විනීතභාවය රැකගැන ඒවා ඉදිරිපත් කළ යුතුය.

නමුත් බයිබලය ගැන අවධානය යොමුකළ හොත් එය මෙම සදාචාරය කඩකරමින් මෙවැනි අදහස් එකම පවුලේ සාමාජිකයින්ට එකට වාඩි වී අධ්‍යනය කළ නොහැකි ආකාරයට ඉදිරිපක් කර තිබීම දැකිය හැකිය. කාන්තාවන්ව ඉතාමත් කාමුකව විග‍්‍රහ කරන කවි පවා බයිබලයේ අන්තර්ගත වී ඇත. දේව භාෂිතයකට මෙවැනි කවි වලින් ඇති අවශ්‍යතාවය කුමක් ද? පහත සඳහන් උදාරහරණයන් දෙස අවධානය යොමු කිරීමේදී ඔබට මෙය හොඳින්ම වටහාගත හැකි ය.

බයිබලයේ සාලමොන්ගේ ගීතිකාව (පේ‍්‍රම ගී) නැමැති පොතේ මෙසේ කාන්තාවන්ව කාමුකව විග‍්‍රහ කරන බොහෝ තැන් දැකිය හැකිය. එයින් සමහරක් පහත සඳහන් කරමු.

”මාගේ පේ‍්‍රමවන්තයා මට මාගේ පියයුරු මැද ගන්ධරස පොදියක් හා සමානය” (සාලමොන්ගේ ගීතිකාව 1:13)

”ඔහු තමන් මිදි යුෂ ශාලාවට මා ගෙනාවේය; මට උඩින් ඔහුගේ කොඩිය පේ‍්‍රමය විය.” (සාලමොන්ගේ ගීතිකාව 2:4)

”…පේ‍්‍රමයෙන් රෝගාතුර වෙමි”

(සාලමොන්ගේ ගීතිකාව 2:5)

”ඔහුගේ වමත මගේ හිස යටය; දකුණත මා වැලඳ ගනියි”

(සාලමොන්ගේ ගීතිකාව 2:6)

”ඔබේ රිකිලි අනර්ඝ පල හා දෙළුම් ගෙඩින් ජටාමාංස පැළ හා මරිතොණ්ඩින්”

(සාලමොන්ගේ ගීතිකාව 4:13)


කතෘ - ඉබුනු ජෙමීල්

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම