බයිබලය විමසුමක් – ඉස්ලාම් හා දේව පුස්තකය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


ඉස්ලාම් යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්

1) අවනත වීම හා

2) සාමය යන්නයි.

ආදම් හා ඒවව මවා මෙලොවට යැවූ දා සිට ඒ දෙදෙනාට හා ඔවුන්ගෙන් ව්‍යාප්ත වූ මෙම මුළු මහත් මිනිස් සංහතියටම විශ්වයාධිපති දෙවියන් වහන්සේ ලබාදුන් පණිවිඩය වන්නේ ඒකක දෙවියන් වහන්සේ වන ඔහුට පමනක් නැමදුම් කර ඔහු විසින් ලබාදුන් දිව්‍යම නීතියට පමනක් අවනත වන ලෙයසි.(එනම් ඉස්ලාමයට අනුව ජීවත් වන ලෙයසි.) මෙම දිව්‍යම නීතිය මිනිසාට දැනුම් දීම සඳහා මිනිසුන් අතරින්ම යහපත් පුද්ගලයින්ව දෙවියන් වහන්සේ විසින් අනාගත වක්තෘවරුන්(නබිවරුන්) වශයෙන් තොරා පත්කර එතුමන්ලාට දේව පුස්තකය ද පිරිනමන ලදි. මෙම අනාගත වක්තෘවරුන්ගේ මඟ පෙන්වීමට අනුව දෙවියන් වහන්සේට සහමුලින්ම අවනත වී දේව පුස්තකය මගින් අන කරනු ලබූ දිව්‍යම නීතිය පිළිපදිමින් ජීවත් වීමට ඉස්ලාම් යැයි කියනු ලැබේ.මෙසේ ජීවත් වන්නා මුස්ලිම් (ඉස්ලාම් නැමැති කාර්ය ඉටුකරන්නා) යැයි හඳුන්වනු ලැබේ. මෙසේ දිව්‍යම නීතියට අවනත වී ජීවත් වන පුද්ගලයාට සාමයෙන් ජීවත් වීමේ භාග්‍ය උදාවේ. මේ ආකාරයට දෙවිට අවනත වී සාමය අත්කර ගැනීම ඉස්ලාම් වේ.

ලොව ඇති අනිකුත් ආගම් හා දර්ශන ගැන මදක් විමසා බැලූ විට අපට වටහාගත හැකි කරණක් නම් ඒවා සියල්ල යම්කිසි පුද්ගලයෙක් හෝ ප‍්‍රදේශයක සමාජයක නාමයෙන් ව්‍යවහාරය වීමයි. නිදසුනක් ලෙස කි‍්‍රස්තියාණි ආගම යේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ නාමයෙන්ද, බෞද්ධාගම ගෞතම බුදුන් වහන්සේගේ නාමයෙන් ද ව්‍යවහාරය වේ. හින්දු ආගම ඉන්දියාවේ හින්දු සමාජයෙන් බිහි වූ නිසා හින්දු යන නමින් ද යුදෙව් ආගම යූදියා නැමැති රටේ යූදා නම් ගෝත‍්‍රයෙන් බිහි වූ නිසා ඒ නමින් ද හඳුන් වනු ලැබේ.නමුත් ඉස්ලාම් දහම කිසිඳු පුද්ගලයෙකුගේ හෝ රටක, සමාජයක නමින් ව්‍යවහාර නොවේ. දේව නීතියට සහමුලින්ම යටත් වී ජීවත් වන මෙන් අණ කරන මෙම දිව්‍යම දහමට ඉස්ලාම් යන අර්ථවත් නම තබන ලද්දේ සර්වබලධාරී දෙවියන් වහන්සේ වන අල්ලාහ් විසින්ම යි. මේ ගැන අවසාන දේව පුස්තකය ද කිසිඳු විකෘති කිරීම් වලට ලක් නොවූ එකම දේව පුස්තකය ද වන අල්-කුර්ආනයේ සර්වබලධාරී දෙවියන් වහන්සේ මෙසේ පවසයි. ”අද දින ඔබලා වෙනුවෙන් ඔබලාගේ ආගම මම සම්පූර්ණ කළෙමි, ඔබලා වෙත මාගේ අනුග‍්‍රහය ද සම්පූර්ණ කළෙමි, තවද ඉස්ලාමය ඔබලා සඳහා ආගම වශයෙන් තෝරාගෙන ඇත්තෙමි.” (අල් කුර්ආන්5-3)

මෝසෙස් තුමා හෝ ඊශ‍්‍රායීල්වරුන් වෙත පැමිණි කිසිඳු අනාගත වක්තෘවරයෙක් තම වක්තෘ මෙහෙය ඉටුකරන විට යුදෙවි ආගම යන නම භාවිතා කළ බව යුදෙව් ආගමික ග්‍රන්ථය වන තෝරා හෝ තැලුමුද් වල කොතැනකවත් සඳහන් නොවන අතර යුදෙව් ආගම නැමැති පදය බයිබල් ශබ්ද කෝෂයේද නොමැත. එසේම යේසුස් වහන්සේ ද තම ආගම ක‍්‍රිස්තියාණී කියා හෝ තම අනුගාමිකයින්ව ක‍්‍රිස්තියාණියින් කියා හැඳින් වූ බව ද බයිබලයේ කිසිම තැනක සඳහන් නොවේ. ක‍්‍රිස්තියානීන් යන වචනය ප‍්‍රථමයෙන්ම භාවිතා කළේ අන්තියෝක් නම් ස්ථානයේ බවයි පහත බයිබල් වාක්‍යයෙන් පැහැදිලි වන්නේ.

”ගෝලයන්ව කි‍්‍රස්තියානීන් ලෙස පළමු වරට හැඳින් වූයේ අන්තියෝකියේදී ය.”(අළුත් ගිවිසුම – ක‍්‍රියා 11-26)

මේ අනුව පැහැදිලිවන්නේ ක‍්‍රිස්තියානි යන පදය යේසුස් වහන්සේට බොහෝ කලකට පසු භාවිතයට ආ වචනයක් බවයි. පසුව දෙවන අග‍්‍රිපා රජු මෙම වචනය පවසා ඇත.

”එවිට අග‍්‍රිපා පාවුල් අමතා,”වැඩි වේලාවක් යන්න කලින් ඔබ මාව ක‍්‍රිස්තියානියෙකු කරයි” කියා පැවසුවේ ය.(අළුත් ගිවිසුම – ක‍්‍රියා :26-28)

පසුව පේතෘස් ද මෙම වචනයට ඇල්මක් දක්වා ඇති බව පහත බයිබල් වාක්‍ය මගින් වටහා ගත හැකිය.

”එහෙත් යමෙක් කිතුනුවෙක් මෙන් දුක් විඳී නම්, ඒ ගැන ලැජ්ජා නොවී, ඔබ කිතුනු නාමය දරන බැවින් දෙවියන් වහන්සේට ගෞරවය කරන්න.” (අළුත් ගිවිසුම:1 පේතෘස් 4-16)

මේ ආකාරයට කිස්තියාණි යන වචනය බයිබලයේ සඳහන් වන්නේ අපි ඉහත උපුටා දක්වා ඇති වාක්‍ය තුනෙහි පමණකි. යේසුස් වහන්සේගේ කාලයේ එතුමා හෝ එතුමාගේ අනුගාමිකයින් මෙම වචනය භාවිතා කර නොමැති අතර මෙය එතුමාට බොහෝ කලකට පසු පේතෘස් පාවුල් වැන්නන් විසින් හඳුන්වා දෙන ලද්දක් බව පැහැදිලිය.

මේ ආකාරයට යේසුස් වහන්සේ හෝ ඊස්රාඉල්වරුන් වෙත එවනු ලැබූ කිසිම අනාගත වකතෘවරයෙක් ක‍්‍රිස්තියානි හෝ යුදෙව් ආගම් යන වචනයන් ප‍්‍රකාශ නොකළ නමුත් ඔවුන් සියළු දෙනාම දෙවියන් වහන්සේට අවනත වීම නැමැති ඉස්ලාමය දේශනා කළ බවට බයිබලයේ පරණ ගිවිසුම මෙන්ම අලූත් ගිවිසුම ද සාක්‍ෂි දරයි.

අනාගත වක්තෘ ජෝෂුවා මෙසේ ප‍්‍රකාශ කළ බව බයිබලයේ සඳහන් වේ :

”එසේ වී නම් ඔබ අතරෙහි ඇති අන් දෙවිවරුන් පහකර දමා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔබේ සිත් යොමු කරන්නැ’යි ජෝෂුවා ඔවුන්ට කීවේ ය. අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳ පුදා උන්වහන්සේගේ හඬට සවන් දෙන්නෙමු’යි සෙනඟ ද ජෝෂුවාට පිළිතුරු දුන්නෝ ය”(ජෝෂුවා 24:23-24)

අනාගත වක්තෘ මෝසෙස් මෙසේ අණ කළ බව බයිබලයේ තවත් තැනක සඳහන් වේ:

”දැන් ඉතින් ඉශ්රායෙල් ජනයෙනී, දෙවි සමිඳාණන් වහන්සේට ඔබෙන් උවමනා වී ඇත්තේ කුමක් ද? උවමනා වී ඇත්තේ දෙවි සමිඳාණන් වහන්සේට ගරු බිය පෑමත්, උන් වහන්සේගේ සියලූ මාර්ගවල යෑමත්, උන්වහන්සේට පේ‍්‍රම කිරීමත්, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද උන් වහන්සේට වැඳුම් පිඳුම් කිරීමත්, මා අද දින ඔබේ ශුභ සිද්ධිය තකා ඔබට අණ කරන උන් වහන්සේගේ අණ පණත්, නීති හා නියෝග පිළිපැදීමත් ය.” (ද්විතීය නීති සංග‍්‍රහය 10: 12-13)

යේසුස් වහන්සේගේ ප‍්‍රකාශ බයිබලයේ අලූත් ගිවිසුමේ පහත පරිදි සඳහන් වේ :

”ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුව ද, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරියත්, මාගේ මෑණියෝත් ය’ යි වදාලා සේක.”

(මතෙව් 12:50)

ඉහත බයිබල් වාක්‍ය වලින් පැහැදිලි වන කරුණ නම් අනාගත වක්තෘවරු දේශනා කර අත්තේ දෙවියන් වහන්සේට අවනත වී උන්වහන්සේට පමණක් නැමදුම් කර උන්වහන්සේගේ අණ පණත් හා නීති නියෝග අනුව ජීවත් වන ලෙයසි. එනම් ඉස්ලාමයට අනුව ජීවත් වන ලෙයසි. යේසුස් වහන්සේ ද ප‍්‍රකාශ කර ඇත්තේ ඉස්ලාමයට අනුව ජීවත් වන්නන් කවුරුන් වුවත්, ඔවුන් උන්වහන්සේට සහෝදර සහෝදරියන්ද මෑණියනන් ද වන බවයි.

මෙහිදී ඉතාමත් වැදගත් කරුණක් දෙස අපි අවධානය යොමුකළ යුතුයි. එනම් මුස්ලිම් නොවන බොහෝ දෙනෙක් සිතා සිටින්නේ සත් වන ශත වර්ෂයේ සෞදි අරාබියේ මක්කා නගරයේ ජීවත් වූ මුහම්මද් නබි තුමාණෝ ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයා වන බවයි.නමුත් සත්‍ය නම් මුහම්මද් නබි තුමාණෝ ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයාණන් නොව එම පිවිතුරු දහම ලොවට දේශනා කළ අනාගත වක්තෘ දම්වැලේ අවසන් පුරුකය යන්නයි. ඇත්ත වශයෙන්ම විශ්වයාධිපති දෙවියන් වහන්සේ වන සර්වබලධාරී අල්ලාහ් විසින් ඉස්ලාම් දහම මුලින්ම දෙනු ලැබුවේ මෙලොවේ ප‍්‍රථම මිනිසා ද ප‍්‍රථම අනාගත වක්තෘවරයාද වූ ආදම් (අ‍ලෛ) තුමාට යි. එතුමාගෙන් පටන් ගෙන මෙලොවට ආ නෝවා(නූහ්) ආබ‍්‍රහාම් (ඉබ්රාහීම්) දාවිත් (දාවූද්) මෝසෙස් (මූසා) යේසුස් (ඊසා) (අලෛහිමුස් සලාතු වස්සලාම්) ඇතුළු සියළු අනාගත වක්තෘවරුන්ගේ ආගම වූයේ ද ඉස්ලාමය යි. මේ ආකාරයට මේ මිහිතලය මත ඉස්ලාම් නැමැති විශ්වයාධිපති දෙවිට අවනත වීමේ පිවිතුරු දහම ස්ථාපිත කිරීම සඳහා ඔහු විසින් ලක්‍ෂයකටත් අධික අනාගත වක්තෘවරුන්ව තෝරා පත්කර ඔවුන්ට පුස්තකය ද ලබා දෙන ලදී. නමුත් එක් අනාගත වක්තෘවරයෙක් ඉස්ලාමය නිවැරදිව ස්ථාපිත කර පුස්තකය ද ජනතාව අතරට පත් කොට මිය ගිය පසු එම අනාගත වක්තෘවරයාව දෙවිගේ තත්වයට සමාන කර එතුමාට වැඳුම් පිඳුම් කිරීමත් එතුමා විසින් දෙවිගෙන් ලබාදුන් දේව පුස්තකයට මිනිසාගේ අදහස් ඇතුළු කොට එහි දිව්‍යම භාවය කෙලසීමටත් එම සමාජය ඉදිරිපත් වූහ. ඉස්පසු නැවතත් තවත් අනාගත වක්තෘවරයෙකුගේ අවශ්‍යතාවය පැන නැගුණි. යළිත් තවත් අනාගත වක්තෘවරයෙක් පැමිණ නිවරදි ඉස්ලාමය ස්ථාපිත කළ පසු එතුමාටද කලින් අනාගත වක්තෘවරයාගේ ඉරණම අත් විය. මෙසේ දේව පුස්තකයට මිනිස් අදහස් ඇතුළු කිරීමත් එහි දිව්‍යම භාවය කෙලසීමත් මිනිසා ඉතිහාසය පුරාවටම තම සිරිතක් කර ගත්තේ ය.

අවසාන වශයෙන් සර්වබලධාරී දෙවි සියළු ප‍්‍රදේශවලටත් සියළු සමාජවලටත් පොදු වූ එකම අනාගත වක්තෘවරයා වශයෙන් ද යුගාන්තය දක්වා වූ අවසාන අනාගත වක්තෘ වරයා වශයෙන් ද මුහම්මද් (සල්) තුමාණන්ව තෝරා පත්කර එතුමාණන්ට අල්-කුර්ආනය නැමැති දිව්‍යම පුස්තකයද ලබාදුන්නේ ය. එම දිව්‍යම පුස්තකය අවසානය දක්වා ආරක්‍ෂා කිරීමේ වගකීමද සර්වබලධාරී දෙවියන් වහන්සේ වන අල්ලාහ්ම භාරගත්තේ ය. සර්වබලධාරී අල්ලාහ් පාරිශුද්ධ කුර්ආනයේ මෙසේ සඳහන් කරයි,

“මෙම පුස්තකය අපිම පහළ කළෙමු. එය අපිම (අවසානය දක්වා) ආරක්‍ෂා කරමු” (ශු අල්කුර්ආනය 15:9).

මේ ආකාරයට එහි ආරක්‍ෂාව පිළිබඳ වගකීම භාරගත් දෙවි සියවස් 15ක් තිස්සේ සියළු ආකාරයේ දූෂණ වලින් එය ආරක්‍ෂා කර තිබීම විවෘත හදවතින් එය පරිශීලනය කිරීමේදී දැනගත හැකිය. එසේම මින් ඉදිරියටත් එහි ආරක්‍ෂාව පිළිබඳූව කිසිඳු සැකයක් නොමැත.

අල්-කුර්ආනය නම් වූ එම දිව්‍යම පුස්තකය මුහම්මද් (සල්) තුමාණන්ට අනාවරණය කරනු ලැබූ මුල් බස වන අරාබි බසින් ඒ ආකාරයෙන්ම අදටත් පැවතීමත්, එම භාෂාවද මළ භාෂාවක් බවට පත් නොවී ලෝකයේ අති බහුතරයකගේ මව් භාෂාව වශයෙන් ව්‍යවහාරයේ පැවතීමත් අල්-කුර්ආනයේ ආරක්‍ෂාව ගැන කථා කරන කළ ඉතා වැදගත් ලක්‍ෂණයන් වේ. මෙම සත්‍ය දේව හෙළිදරව්ව ලොවට දේශනා කළ අනාගත වක්තෘ මුහම්මද් නබි (සල්) තුමාණන්ව ලඟින්ම ඇසුරු කළ එතුමාණන්ගේ සමීපතම සඟයින් විසින්ම එය ග‍්‍රන්ථාරූඩ කිරීමත්, එම සඟයින් විසින් ග‍්‍රන්ථාරූඩ කරන ලද මුල් පිටපත් අදටත් පැවතීමත් අල්-කුර්ආනයේ නිරුපද්‍රිත භාවයට කදිම සාක්‍ෂි වේ. (මුහම්මද් (සල්) තුමාණන්ගේ බෑන හා එතුමාණන්ගේ සමීපතම අනුගාමිකයෙක් ද වූ උස්මාන් (රලි) තුමාගේ පාලන කාලයේ එතුමාගේ නායකත්වයෙන් ලියන ලද මුල්පිටපත් දෙකක් අදටත් සෝවියට් දේශයේ තාෂ්කන්ට් නගර කෞතුකාගාරයේ හා තුර්කියේ අගනුවර වන ස්තාන්බූල්හි ටොකාපි කෞතුකාගාරයේ දැකිය හැකිය. අල්-කුර්ආනය එහි මුල් බසින්ම කටපාඩම් කිරීම නබි තුමාගේ සමයේ සිට අද දක්වාම මුස්ලිම් සමාජය කලාවක් හැටියට සැලකීමද, එසේ කටපාඩම් කරන අයට සමාජය තුළ වැදගත් කමක් දීම මගින් ද අල්-කුර්ආනයේ ආරක්‍ෂාව තවත් තහවුරු වේ. මේ ආකාරයට ලොවේ දැනට ඇති මිනිස් අදහස් වලින් දූෂණය නොවූ අඩු වැඩි කිරීම් වලට ලක් නොවූ හා දෙවි විසින් අනාවරණය කළ පසු සංශෝධනයන්ට ලක් නොවූ එකම දිව්‍යම පුස්තකය පාරිශුද්ධ වූ අල්-කුර්ආනය පමණක් බව ස්ථිරවම ප‍්‍රකාශ කළ හැකිය.

අල්-කුර්ආනය අනාවරණය කිරීමට පෙර බොහෝ පුස්තක අනාවරණය කරනු ලැබූ බව අල්-කුර්ආනයම ප‍්‍රකාශ කරයි. එසේ පහල වූ බව විශ්වාස කරන මෙන්ද අල්-කුර්ආනයෙන් සර්වබලධාරී අල්ලාහ් අපට අණ කරයි. මෙසේ අනාවරණය කරනු ලැබූ සමහර පුස්තකවල නම් ද කුර්ආනයේ සඳහන් වේ. නමුත් ඒවා මිනිසුන් විසින් තම ස්ව අදහස් ඇතුළු කර, දේව අදහස් එයින් ඉවත් කර මිනිසුන් අතින් දූෂණය කර ඇති බවද ස්ථිරවම ප‍්‍රකාශ කරයි. මෝසෙස් (මූසා) (අලෛ) නම් අනාගත වක්තෘවරයාණන්ට තෝරා(තව්රාත්) නම් පුස්තකය ලබාදෙන ලදී. එහෙත් එතුමාගේ අභාවයෙන් පසු යුදෙවිවන් එයට තම ස්ව අදහස් ඇතුළු කර, එහි දෙවියන් විසින් පණවන ලද නීතිරීති ඉවත් කර සංශෝධනය කර එහි දිව්‍යම භාවය වනසා විකෘති කරන ලදි. එසේම අනාගත වක්තෘ දාවිත් (දාවූද්) (අලෛ) තුමාට සබූර් නම් පුස්තකය ලබාදුන් බව අල්-කුර්ආනය පවසයි. නමුත් එවැනි ග‍්‍රන්ථයක් අද ලෝකයේ නොමැත.

එසේම පාරිශුද්ධ වූ අල්-කුර්ආනය ඉහලින්ම ගෞරවය දක්වන අනාගත වක්තෘවරයෙකි, යේසුස්(ඊසා අලෛ) වහන්සේ. එතුමාණන්ට ඉන්ජීල් (ස්වර්ග රාජ්‍යයේ ශුභාරංචිය) නැමැති පුස්තකය ලබාදුන් බවත් එය අල්කුර්ආනයද සත්‍ය කරන බවත් සර්වබලධාරී අල්ලාහ් අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් කර ඇති අතර එය විශ්වාස කරන මෙන් අණ කර ඇත. මෙම ඉන්ජීල් නම් දේව පුස්තකය බයිබලය බව කිතුනුවෝ පවසති. ලෝක ජනගහනයෙන් බහුතරයක්ම බයිබලය දේව පුස්තකය ලෙස පිළිගන්නා කිතුනුවෝ වෙති. මෙම බයිබලය දේව පුස්තකය බවට ප‍්‍රචාරය කරන සංවිධාන ගනනය කළ නොහැකි තරම් විශාල සංඛ්‍යාවක් ලොව පුරා ක‍්‍රියාත්මක වේ. මෙම ලිපියේ අරමුණද බයිබලයේ දිව්‍යම භාවය ගැනත් කිතුනු ප‍්‍රතිපත්තීන් හා යේසුස් වහන්සේ අතර ඇති සම්බන්ධතාවයන් ගැනත් ගවේෂණයක් කිරීම යි.

කතෘ - ඉබුනු ජෙමීල්

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම