බැටළු හම පොරොවාගත් නිකායවාදීන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක අප රටේ එක්තරා මාධ්‍යයක් තුලින් ‘ගාලු දිස්ත්‍රික්කයේ ඉස්ලාම් ආගමික පූජකවරුන් පිරිසක් කථානායකවරයා හමුවී මුස්ලීම් අන්තවාදී කණ්ඩායම් පිලිබදව කරුණු ඉදිරිපත් කරන ලදී” යනුවෙන් පුවතක් දුටුවෙමි. මෙම පුවත එය ඉදිරිපත් කරපු මාධ්‍යයට හා මුස්ලීම් නොවන සමාජයට ප්‍රබල පුවතක් වූවාට ‘ඔවුන් කවූරුන්ද?, එහි ඔවුන්ගේ පටු අරමුණ කුමක්ද?’ යනාදිය කරුණු හොදින් දන්නා මුස්ලීම් සමාජයට මෙය එතරම් වැදගත් පුවතක් නොවීය. ‘මුනාෆික්වරුන්ගේ’ තත්වයට වැටී කටයුතු කරන එම පිරිස මේ මුස්ලීම් සමාජය විශේෂයෙන් ගාලු ජනතාව හොදින් දනී.

(ඉස්ලාමයේ ඉගෙන්වීම අනුව මුනාෆික් යනු – ප්‍රසිද්ධියේ හා ප්‍රජාව තුළ තමා මුස්ලිම්වරයකු බව පෙන්වන නමුත් ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන හෝ ඊට එරෙහිව ඔහුගේ හදවතේ හෝ ඉස්ලාමයේ සතුරන් අතර ප්‍රචාරය කරන පුද්ගලයෙකි.)

මේ රටේ එක්තරා මුස්ලීම් නිකායක් නියෝජනය කරන පූජකයින් හා එහි සාමාජිකයන් පිරිසක් ගරු කථානායක කරූ ජයසූරිය මහතා හමුවී මේ රටේ තිබෙන මුස්ලීම් (තමන් නියෝජනය නොකරන හා තමන්ට පක්ෂ නොවන) නිකායන් කිහිපයක් පිලිබදව අසත්‍ය තොරතුරු එහි ඉදිරිපත් කරමින් “ඔවුන් මූලධර්මවාදීන් හා අන්තවාදීන්” බවත්, ඔවුන් මේ රටට අනතුරක් බවත්, ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කලයුතු බවත්, ඔවුන්ගේ පාසැල් හා නැමදුම් ස්ථාන තහනම් කලයුතු බවත්… පවසමින් දීර්ඝ විස්තරයක් කරන ආකාරයක් එහි දක්නට ලැබුණි. එම ක්‍රියාව සම්බන්ධයෙන් හා එහි සාකච්චා කල සමහරක් කරුණු සම්බන්ධයෙන් ඉස්ලාමයේ හා ‘යහමග’ අඩවියේ ස්ථාවරය පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

මෙම සාකච්චාවට ඇරඹුමක් ලෙස නබිතුමාණන් පැවසූ හදීසයක් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් සාකච්චාව ආරම්භ කරමි.

අබුදර්(රලි) තුමා පවසයි, මම එක් දිනක් නබිතුමාණන් සමඟ සිටියෙමි. ඒ මොහොතේ ‘දජ්ජල්ට වඩා මාගේ උම්මා (සමාජය) ගැන මා බිය වන කාරණයක් ඇත’ යැයි නබිතුමාණන් පවසන ලදී. එයට මා ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණනි!, එය කුමක්ද?’ යයි මා විමසුවෙමි. එයට නබිතුමාණන් ‘නොමඟ හා නොමඟ ගිය විද්වතුන්’යැයි පැවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්නාද් අහමද්

ලොව පහල වූ සෑම නබිවරයෙකුම තම සමාජයට කල දරුණුම අවවාදයක් වේ නම්, ඒ දජ්ජාල්ගේ පැමිණීම පිලිබදව වූ අවවාදයයි. අවසාන නබිවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් ද මේ පිලිබදව දැඩිව අවවාද කොට ඇති අතර ලොව සෑම මුස්ලීම්වරයෙකුම දිනපතා පස්වේල නැමදුමේ දී ද මෙම දජ්ජාල්ගෙන් ආරක්ෂාව පතයි. එවන් නපුරු දජ්ජාල්ට වඩා නබිතුමාණන් ‘නොමඟ ගිය (ආගමික) විද්වතුන්’ සම්බන්ධයෙන් අපිට අවවාද කරන්නේ ඔවුන් මේ මුස්ලීම් උම්මාව නොහොත් සමාජයට ඔවුන් කරන විනාශය මහා විශාල භයානක එකක් වන බැවිණි.

දජ්ජාල් අප අතරට පැමිණියත් ඔහුව පහසුවෙන් හදුනාගත හැකි වන ලෙස ඒ සදහා අවශ්‍ය පැහැදිලි කිරීම් සියල්ල ඉස්ලාම් මුස්ලීම් සමාජයට කියාදී ඇත. නමුත් ඉස්ලාමයේ ලෝගුව පෙරවාගෙන තමන්ගේ සහා තම නිකායන්ගේ පැවැත්ම ගැන සිතා සමස්ථ මුස්ලීම් සමාජය ම බිල්ලට දෙන්නට කටයුතු කරන මොවුන් දජ්ජාල්ට වඩා දරුණුය. ඉස්ලාමීය වෙස්ගෙන සමාජය තුල කටයුතු කරන මෙම නිකායවාදීන් නොහොත් කල්ලිවාදීන් (මෙම නිකාය හා කල්ලිවාදය පිලිබදව වැඩි විස්තර මෙතැනින් කියවන්න) පහසුවෙන් හදුනාගැනීම තරමක් අපහසුය. මන්ද ඔවුන් පෙනී සිටින්නේ ඉස්ලාම් නැමැති බෝඩ් ලෑල්ල පෙරටු කොටය.

කාලකන්ණි අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ පවතින තත්වය ආශිර්වාදයක් කොටගෙන තමන්ගේ විරුද්ධ මතධාරී පිරිස් පලිගන්නට පිඹූරුපත් සකසන මේ බැටළු හම පෙරවාගත් පිරිස මුස්ලීම් සමාජය පමණක් නොව මුස්ලීම් නොවන සමාජය ද නිවැරදිව හදුනා ගතයුතුය.

ඉහත කාරණය බුද්ධිමත් සමාජයේ විමසුමට තබමින් දැන් ඔවුන් කථානායකතුමා හමුවේ ඉදිරිපත් කල ප්‍රධාන වාදයක් වෙත අවධානය යොමු කරමු. එහිදී ඉහත සදහන් (බැටළු හම පෙරවාගත්) පිරිස ඉතා ලස්සන වාදයක් ගරු කථානායකතුමා හමුවේ ඉදිරිපත් කරයි.

එය මෙසේය.

“ජමාද් කියල තියෙන ඔක්කොම කථායනායකතුමනි මේ (මූලධර්මවාදී) වහාබ් අධ්‍යාපානය අළෙවිකරන්නන්”

මේ (බැටළු හම පෙරවාගත්) අන්ත නිකායවාදීන් කොතරම් වියරුවෙන් හා අනවබෝධයෙන් කටයුතු කරනවාද? යන්න තේරුම් ගැනීමට ඉහත ප්‍රකාශයම ප්‍රමාණවත්ය. එනම්, ඔවුන් පවසනවා “ජමාත්’ කියල හදුන්වන ඔක්කොම මූලධර්මවාදීන්…’ යනුවෙන්. මම සිතන විදියට එයින් ඔවුන් කියන්නට උත්සාහ කරන්නේ ‘මූලධර්මවාදීන් සියළුදෙනා අන්තවාදීන් බවත්, අන්තවාදීන් සියළුදෙනා ත්‍රස්ථවාදීන් බවත්ය. එසේනම්, මම ඔවුන්ගෙන් අසන පලමු සරල ප්‍රශ්නය, “සුන්නතුල් ජමාත්’ යන ජමාතය නියෝජනය කරන ඔබලා කවුරුන්ද?’. අනික ‘මූලධර්මවාදීන්’ යයි අන් අය විවේචනය කරන ඔබලා අනුගමනය කරන මූලධර්මය කුමක්ද?. ඔබලා කියන්නේ ඔබලාට ‘මූලධර්මයක් නැතැයි’ කියාද?. (මූලධර්මවාදය යනු කුමක්ද? මෙතැනින් කියවන්න.)

මෙහිදී වැරදි පූර්වාදර්ශයකට දැන හෝ නොදැන දායක වූ කථානායකතුමාගේ අවදානයට ‘යහමග’ මගේ ස්ථාවරය ද කිවයුතුය. එනම්, ‘කිසිදු පදනමක් නැති වෛරය හා වියරුව පමණක් පදනම් කරගෙන මුස්ලීම් සමාජයේම කොටසක් පලිගන්න පිඹුරුපත් සැකසූ මේ (බැටළු හම පෙරවාගත්) පිරිසට තම වටිනා කාලය කථායනායකතුමා වෙන්කරදීම අවාසනාවන්ත මෙන්ම වැරදි පූර්වාදර්ශයක් සමාජයට ලබාදීමක්’ ලෙස මා දකිමි.

ආගමක්, දර්ශනයක් කොතරම් පැහැදිලිව තිබුණත් එහි අනුගාමිකයන් තුල මතභේද, මතගැටුම් ඇතිවීම සාමාන්‍ය තත්වයක්. එම අවාසනාවන්ත තත්වයෙන් ලොව කිසිදු ජන සමාජයකට මිදීමට හැකි වී නැත. මුස්ලීම් සමාජයට ද එයින් මිදීමට හැකි වී නැත. ඉස්ලාමය පැහැදිලිව තිබුණත් මුස්ලීම් සමාජය භේද වී සිටිනවා යන්න කණගාටුවෙන් වුවද පිලිගතයුතු සැබෑවක්.

එසේ ඉස්ලාමය තුල බෙදීගිය පිරිස්, ඔවුන් කුමන නමකින් භේද වී පෙනීසිටියත් එය ඉස්ලාමය නොවේ යන්නත්, ඔවුන් සියල්ල නිකායවාදී ආගමික කල්ලි හා කණ්ඩායම් යන්නත් ‘යහමග’ ස්ථාවරයයි. මෙසේ විවිධ මතවාද මතභේද ඔස්සේ කල්ලි කණ්ඩායම්වලට බෙදී තමන් නියෝජනය කරන කල්ලිය හෝ කණ්ඩායම නිවැරදි කණ්ඩායම යයි වාද කිරීම සමාජයේ සමාන්‍ය තත්වයක්. නමුත් එම තත්වයෙන් ඔබ්බට ගොස් රටේ පවතින තත්වය තුල බොරදියේ මාළු බෑමට සූදානම් වීම සමස්ථ මුස්ලීම් සමාජයම තේරුම් ගතයුතු අවාසනාවන්ත තත්වයක්. මෙම ක්‍රියාව බුද්ධිමත්ව සිතා බලන්නේ නම්, එය පාස්කු ප්‍රහාරය කල සහ්රාන්ලාවත් අභිබවා යන පහත් ක්‍රියාවක් බව ඔබට පෙනෙනු ඇත.

මොවුන්ගේ එම අනවබෝධයේ තරම කොතරම්ද කියනවා නම්, මුස්ලීම් සමාජයේ පවතින ආගමික මතභේදයන් ඔස්සේ කල්ලි බෙදී එයට විනිශ්චය ඉල්ලා දේශපාලඥයින් ලඟට යෑමත්, එහි ඉස්ලාමයේ ඉගෙන්වීමන්ට පරස්පර කරුණූ ඉදිරිපත් කරමින් තමන් නිවැරදි බව පවසමින් තම විරුද්ධ මතධාරීන් රටට අනතුරුදායක සතුරන් ලෙස පෙන්වීමට උත්සාහ කිරීමත් ඔවුන්ගේ පටු අරමුණ හා අනවබෝධය මහ ඉහලින් ප්‍රදර්ශනය කරයි.

ඔවුන්ගේ විකෘතියේ සහා අනවබෝධයේ තරම පෙන්වීමට ඉහත ප්‍රකාශයම මා නැවත යොදා ගන්නම්,

“ජමාද් කියල තියෙන ඔක්කොම කථායනායකතුමනි මේ (මූලධර්මවාදී) වහාබ් අධ්‍යාපානය අළෙවිකරන්නන්”

ඉස්ලාමයේ මූලික ඉගෙන්වීම පවා නොදන්න මේ (මාධ්‍යයේ හදුන්වාදුන් ආකාරයට) ‘ඉස්ලාම් ආගමික විද්වතුන්’ තමන්ගේ මේ හමුවේ අරමුණ කථානායකතුමාට පැවසීමට පමණක් අවස්ථාවක් තරගත්තේ නම් එයින් සමාජයට ඔවුන් ‘පෙරවාගෙන සිටින බැටළු හම’ පමණක් පෙනෙන්ට තිබුණි. නමුත් ආගමික කරුණු එහි සාකච්චා කිරීමට යාමෙන් ඔවුන්ගේ අනවබෝධය ද හොදින් ප්‍රදර්ශනය විය.

‘ජමාත්’ යනු කුමක්ද? ඉස්ලාමයේ ඉගෙන්වීමන් තුල මේ පිලිබදව කොතරම සාකච්චා කොට තිබෙනවාද? යන්න පිලිබදව කිසිදු අවබෝධයකින් තොරව කථානායකතුමා ඉදිරියේ පුහු වීරයන් වූ ඔවුන් දැනගතයුතුයි ‘ජමාත්’ නොහොත් ‘මුස්ලීම්වරුන්ගේ එකතුව’ යන්න ඉස්ලාමය දැඩිව අවදාරණය කරන මූලික අවශ්‍යතාවයක් යන්න. මේ පිලිබදව අනවබෝධයෙන් කථා කරන ඔවුන්ද (කථාවට පමණක් හෝ) මහ ඉහලින් පිලිගන්නා සහීහ් බුහාරී ග්‍රන්ථයේ එන දීර්ඝ හදීසයක කොටසක් වැදිබණ දෙසන ඔවුනට මෙන්ම බුද්ධිමත් සමාජයේ විමසුමට පහතින් ඉදිරිපත් කරමි.

හුදෙයිෆා බින් යමාන් (රලි) තුමා පවසයි…

…එයට මා ‘එම පිරිස මා මුණගැසුණේ නම් කුමක් කලයුතුද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන්
‘මුස්ලීම් ජමාතය’ හා එහි නායකත්වය පැවතුණේ නම් ඔවුන් හා ඔබ අත්වැල් බැදගන්න’ යනුවෙන් පවසන ලදී.
එයට මා ‘(මුස්ලීම්වරුන් වන) ඔවුනට එවැනි ජමාතයක් හෝ නායකත්වයක් නොපැවතුනේ නම් කුමක් කලයුතු ද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘සියළු බෙදීමන්ගෙන් ඔබ දුරස් වන්න. (ඔවුන් සමඟ එකතු නොවී) ගසක මුලක් හෝ ඔබේ දත්වලින් අල්ලාගෙන ඔබ ඔබව ආරක්ෂා කරගන්න. ඒ තත්වය තුල ඔබ මියදුනත් කිසිදු බෙදීමකට ඔබ එක් නොවන්න.’ යනුවෙන් පිලිතුරු දෙන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

(ඉහත සම්පූර්ණ හදීසය මෙම අඩවිය තුල “මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 3 වන කොටස“ යන ලිපිය තුල කියවීමට පුළුවන)

‘මුස්ලීම් ජමාතයේ’ අවශ්‍යතාවය එහි එකතුවීමේ අවශ්‍යතාවය අවදාරණය කරන ඉහත හදීසයට දෙන විග්‍රහය කුමක්ද?. දැන් මා ඉහත (බැටළු හම පෙරවාගත්) පිරිසගෙන් විමසන්නේ ‘ජමාතය’ අවදාරණය කරන මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය ඔබලා පිලිපදිනවාද? නොඑසේ නම් තරීකා නායකයින්ගේ මාර්ගය අනුගමනය කරමින් මුහම්මද් (සල්) තුමාණන් ද මූලධර්මවාදියෙක් යයි පවසන්නට හදනවාද?.

අන්ධ භක්තික නිකායවාදයන් අද ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන් පවා නොදන්නා තරමට ඔවුන්ව අන්ධ කොට ඇත. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ තම නිකායට හා එහි සම්ප්‍රදායන්ට එරෙහි වන පිරිස විනාශ කිරීම පමණි. ඔවුනට ඇත්තේ තම විරුද්ධ මතධාරීන් කෙරෙහි වෛරය හා වියරුව පමණි. මෙවැනි විකෘතියක් ඇති පිරිස් තුලින් පිලිඹිබු වන්නේ මෝඩකම හා අනවබෝධය පමණි. මෙය ඉහත නිකායවාදීන්ට පමණක් ආවේනික ලක්ෂණයක් නොවේ. ඉස්ලාම් නමින් කවුරුන් කල්ලි කණ්ඩායම් හදාගනිමින් එහි අන්ධ භක්තිකව තම කල්ලි කණ්ඩායම් සාධාර්ණීකරනය කිරීමට වෙහෙසෙන්නේද ඔවුන් සියළුදෙනා තුල මෙම අනවබෝධය හා මෝඩකම පොදුවේ දැකිය හැකි තත්වයකි.

මුස්ලීම් සමාජය තුල ඇතිවන ආගමික මතවාද හා ගැටළු විසදා ගතයුතු ක්‍රමවේද ඕනෑතරම් ඇත. විද්වතුන්ගේ සභාවල්, සංවාද, වාදවිවාද… එවැනි කිහිපයකි. ඒ සියල්ල ප්‍රතික්ෂේප කොට මෙවැනි ක්‍රියාමර්ගයන්ට යොමුවීම අවාසනාවන්ත තත්වයකි. මෙවැනි තත්වයක් මීට වසර කිහිපයකට පෙර එනම් 2014/08/20 හජ් කෝටා බෙදාගන්න බැරුව භික්ෂූ සංවිධානයක් හමුවට ගොස් සාධාර්ණයක් ඉටු කරන්න යයි ඉල්ලූ අවස්ථාවක් ද අපි දුටුවෙමු. (ඒ පිලිබදව මෙතැනින් කියවන්න) මෙවැනි තත්වයන් ඇතිවීමට හේතුව අල්ලාහ් (දෙවි)ගේ සහ ඔහුගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ ඉගෙන්වීමන් ගැන තිබෙන අනවබෝධය හා ඉස්ලාමය කෙරෙහි වූ දුර්වල විශ්වාසයයි.

මෙවැනි ජාහිලියත් තීන්දු අපේක්ෂාවෙන් යන පිරිසගේ අවදානයට අල්කුර්ආන් පාඨයක් තබමින් මේ ලිපිය අවසන් කරන්නේ අල්ලාහ් (දෙවි)ට වඩා සාධාර්ණ විනිශ්චයකරුවෙකු නොමැති බව දැඩිව අවධාරණය කරමිනි.

(ඔවුන් ඉස්ලාමයෙන් බැහැරව) ජාහිලියියා (ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර විසූ අඥාන) කාල නීති අනුව විනිශ්චය ඔවුන් සොයන්නේද? (නමුත්) ස්ථීර විශ්වාසික ජනයාට අල්ලාහ්ට වඩා යහපත් විනිශ්චයකාරයකු කවරකුද?

ශුද්ධ වූ කුර්ආනය 5-50

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම