බිම්බරය අවභාවිතා කරන උලමාවරුන් ගැන අවදියෙන් සිටිමු

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


බිම්බරය අවභාවිතා
බිම්බරය අවභාවිතා

‘සිකුරාදා’ දිනය මුස්ලීම් සමාජයට සුවිශේෂී දිනයකි. එහි මහිමය මෙම අඩවිය තුල මීට ඉහත ‘සිකුරාදා දිනයේ මහිමය‘ යන මාතෘකාව යටතේ සාකච්චා කොට ඇත. මෙම දිනය මුස්ලීම් සමාජයට සුවිශේෂි දිනයක් යන්න මුස්ලීම් නොවන සමාජය පවා හොදින් අවබෝධ කොට සිටී. විශේෂයෙන් තම ව්‍යාපාරික ස්ථාන සියල්ල වසා දමා එම දිනයේ පවත්වන නැමදුමට සහභාගි වීම ඔවුන් මවිත කරවන්නකි. සිකුරාදා දිනයේ මධ්‍යහන 12.00 ට පමණ මුස්ලීම් දේවස්ථාන නොහොත් පල්ලිවල පවත්වන එම ‘ජුම්මා’ නම් නැමදුම සදහා සමස්ථ මුස්ලීම් සමාජයම සාමුහිකව ඒකරාශි වීම එහි අනිවාර්‍ය අංගයකි. මෙසේ සාමුහිකව ඉටු කරන එම ‘ජුම්මා’ නැමදුම ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය. එනම්,

  • ප්‍රථමයෙන් ආගමික දේශනයක් පැවැත්වීම,
  • දෙවනුව ‘සලාත්’ හෙවත් නැමදුම ඉටු කිරීම,

‘ජුම්මා’ නැමදුමේ පලමු කොටස වන ආගමික දේශනය උලමාවරයෙකු (මව්ලවි) විසින් සමාජයේ කාලීන මාතෘකාවක් ගෙන එය ආගමික දෘෂ්ඨියෙන් විමසා බැලීමයි බොහෝ විට ලොවපුරා සිදු වන්නේ. මෙම දේශනය සාමාන්‍යයෙන් විනාඩි 30-45 ත් අතර කාලයක් සිදු කරයි. ඉන් අනතුරුව නැමදුම ඉටු කිරීමෙන් ‘ජුම්මා’ නැමදුම අවසන් වේ. මෙම ‘ජුම්මා’ දිනය හා එහි ඒකරාශිවීමේ වැදගත්කම ඉස්ලාම් දහම අල්කුර්ආනය හා අල්හදීසය තුලින් කථා කරන අතර එවැනි එක් හදීසයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

දෙවියන් ඉදිරියෙහි ඇති හොඳම හා රැස්වීමේ දිනය වන්නේ සිකුරාදා දිනයයි.

මුලාශ්‍ර ග්‍රන්ථය- අල්-බයිහකි

සිකුරාදා දිනයේ වැදගත්කම සහ එම දිනයේ සිදුවන්නේ කුමක්ද? යන්න පිලිබදව මුස්ලීම් සහ මුස්ලීම් නොවන සමාජයට කිසියම් අවබෝධයක් ඉහත කරුණුවලින් ලැබී ඇතැයි සිතමි. එම කරුණු ඔබේ අවදානයට තබමින් මා මෙම ලිපිය තුලින් අවදානය යොමු කරන්න සූදානම් වන්නේ මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට හා විමසුමට ලක්විය යුතු සුවිශේෂි කාරණයක් පිලිබදවයි.

බිම්බරය අවභාවිතා කරන උලමාවරු

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව සිකුරාදා දිනය දිනයන් අතුරින් උතුම් දිනයකි. එම දිනයේ ‘ජුම්මා’ (මධ්‍යහන) මොහොත උතුම් වූ මොහොතකි. එම ජුම්මාවෙහි දේශනය සිදුකරන වේදිකාව (මෙය ‘බිම්බරය’ ලෙස හදුන්වයි) උත්තරීතර ස්ථානයකි. අද මෙම ලිපිය තුලින් කථා කිරීමට සූදානම් වන්නේ උතුම් වූ සිකුරාදා දිනයේ උතුම් වූ ‘ජුම්මා’ මොහොතේ උත්තරීතර ස්ථානය වන ‘බිම්බරය’ නොහොත් දේශන වේදිකාව අවභාවිතා කරන ඛේදවාචකය පිලිබදවයි.

රටේ, සමාජයේ කාලීන ගැටළු හා එයට ඉස්ලාම් පවසන විසඳුම් වැනි සුවිශේෂි මාතෘකා කථා කලයුතු සිකුරාදා ජුම්මා වේදිකාව අද සමහරක් උලමාවරුන් භාවිතා කරණ අරමුණු දෙස බලන විට ඇති වන්නේ මහා කලකිරීමකි. දෙවියන් විසින් පහල කල පාරිශුද්ධ වූ දහම කථා කලයුතු උතුම් දිනයේ එහි වේදිකාව මත හිඳ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන්ට පරස්පර වූ දේශනා සිදු කරමින් ලෞකික පටු අරමුණු වෙනුවෙන් සාමාන්‍ය ජනයා නොමඟ යවන අවාසනාවන්ත තත්වයක් දකින්නෙමු. මෙහි ඛේදනීයම තත්වය වන්නේ අප රටේ අති බහුතරයක් පල්ලිවල තත්වය මෙය වීමයි. මේ අවාසනාවේ තරම ඔබට සරලව තේරුම් කරවීම පිණිස පසුගිය සිකුරාදා සහ ඊට පෙර සතියේ සිකුරාදා මා සහභාගි වූ ජුම්මා සලාතයේ දී එහි දේශක මව්ලවිවරුන් තමන් නියෝජනය කරන නිකාය මතවාදය ජුම්මාවට පැමිණ මුස්ලීම් ජනයාගේ ඔළුවට දැමීමට කරන උත්සාහයේදී ඔහු පැවසූ මුසාවන් හා දහමට පරස්පර කරුණු ගණනාවක් අතුරින් හාස්‍ය ජනක කරුණු 03ක් ඔබේ බුද්ධිමත් අවදානයට මෙහි ඉදිරිපත් කරන්නම්,

  • නබිතුමාගේ උපන්දිනය සමරන්න එපා කියලා සමහරක් පවසනවා. අපි අපේ ගෙවල්වල දරුවන්ගේ උපන්දින සමරන්නේ නැද්ද?. ලෝක ළමා දිනය සැමරුවේ නැද්ද? ඉතින් නබිතුමාණන්ගේ උපන්දිනය සමරන්න එපා කියන්නේ කොහොමද?
  • මුහියද්දීන් අබ්දුල් කාදර් ජයිලානි (රහ්) ගේ උපන්දිනයට පල්ලිවල කොඩි ඔසවන්නේ කුමකටද? කියලා අහනවා. ඇයි පාසැල්වල නිවාසාන්තර තරගවල කොඩි ඔසවන්නේ නැද්ද? අප රටේ නිදහස් දිනයේ කොඩි ඔසවන්නේ නැද්ද? ඉතින් මේක විතරක් එපා කියන්නේ කොහොමද?
  • නබිතුමාගේ කාලයේ යුද්ධවලට යන කොට කොඩි අරන් ගියා මේවා තියෙන්නේ බයිබලයේ නොවේ බුහාරි හදීස්වල ඉතින් පල්ලිවල කොඩි උස්සන එක වැරදි කියලා කියන්නේ කොහොමද?

රටේ ප්‍රධාන නගරයක ප්‍රධාන දේවස්ථානයක් වූ එහි මේ ආකාරයට කිසිදු ආගමික පදනමක් හෝ තර්කයක් නැති ගොං කථා ජුම්මා දේශන පුරාවට ම තිබුණි. (මෙතැනදී කිවයුතු විශේෂ කාරණයක් ඇත. එනම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය සැමරීම හෝ අවුලියාවරුන්ගේ උපන්දින සැමරීම ඉස්ලාම් දහමට අනුකූලද? නැද්ද? යන්න මා මෙතැනදී කථා නොකරමි. නමුත් උතුම් සිකුරාදා දිනයේ උත්තරීතර වේදිකාවක් මත හිඳ ඔවුන් කරන ගොං කථාවන් තුලින් එය ඉස්ලාම් දහමේ ඉගෙන්විමන්ට අනුකූල නොවන බව නම් පැහැදිලිය.) මෙවැනි කථා බොහෝමයක් අතුරින් මා ඉහත 03 පමණක් ඉදිරිපත් කලේ, ඒ තුන කියවන සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකු හට එම ජුම්මාවන් මොන මට්ටමේ තිබෙන්නට ඇත්තද? යන්න සහ එය දහමට අනුකූල වුවාක්ද? යන්න තීරණය කිරීම එතරම් අපහසු නොවන බැවිණි.

මුහම්මද් (සල්) තුමාණන් ලේ වගුරවමින්, (එතුමාගේ සමකාලීන) සහාභාවරුන් දිවි පුදමින් ආරක්ෂා කරදුන් ඉස්ලාම් දහම අද සමහරක් උලමා (මව්ලවි)වරුන් ලෞකික ලාභ ප්‍රයෝජන සදහා විවිධ නිකායන්ට බෙදාගෙන, මුස්ලීම් සමාජය ද විවිධ කල්ලි කණ්ඩායම්වලට භේද කොට තම නිකාය ප්‍රතපත්ති සමාජය තුල වැපිරීම සදහාත්, එම නිකාය වටා මුස්ලීම් ජනයා ඒකරාශි කරගැනීම සදහාත්, රටේ නැති ගොං කථා ඉස්ලාම් නමින් පවසාගෙන ඔවුන් කරන විකාරය දහමේ ඉගෙන්වීමන් පිලිබදව සරල අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකු හට පැහැදිලිව පෙනෙන අතර එය පිලිකුල් සහගතය.

සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහි ඉස්ලාම් දහම පවරන පොදු වගකීමක් ඇත. එනම්, ‘අල්ලාහ් (දෙවි)ගේ මාර්ගය වන ඉස්ලාම් වෙත ජනයා කැඳවීම සහ දුර්මාර්ගයෙන් ජනයා වැලැක්වීම’ යන්නයි. නමුත් ඒ වෙනුවට අද සමාජයේ සිදුවන්නේ කුමක්ද?. විශේෂයෙන් ඉහත ක්‍රියාදාමයේ පෙරමුණ ගතයුතු උලමාවරුන් කරන්නේ,

  • විවිධ නිකායන් ගොඩනඟාගෙන ඒ වෙත ජනයා කැඳවීමත්,
  • විවිධ ජමාත් (ආගමික සංවිධාන හා කණ්ඩායම්) හඳාගෙන ඒ වෙත ජනයා කැඳවීමත්,
  • විවිධ අවුලියාවරුන් යැයි පුද්ගල චරිත ගොඩනඟාගෙන ඒ වෙත ජනතාව කැඳවීමත්ය.

ඉහතින් සදහන් කිසිවකට පක්ෂග්‍රාහී නොවී මධ්‍යස්ථව හිඳ මුස්ලීම් සමාජයේ ක්‍රියාකලාපයන් බුද්ධිමත්ව නිරීක්ෂණය කර බලන්න. මා පවසන සත්‍යය ඔබට පෙනෙනු ඇත. ඉස්ලාම් දහමේ ආගමික විද්වතුන්, උලමාවරුන්, මව්ලවිවරුන්, පූජකවරුන්… යැයි පවසාගන්නා බොහෝ අවස්ථාවාදීන් තම ලෞකික පටු අරමුණු වෙනුවෙන් කරන විකාරත්, මේ දහම අද ඔවුන් රැගෙන ගොස් තිබෙන තැනත් ඔබට පැහැදිලි වනු ඇත. මෙම පරිහානියේ තරම තවත් හොදින් අවබෝධ කරගැනීම පිණිස සමාජ යහපත වෙනුවෙන් අවංකව කටයුතු කරන යහපත් කැඳවුම්කරුවකුගේ මෙහෙවර කවර ආකාරයේ එකක් වියයුතු ද යන්න පිලිබදව අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ පවසන වාක්‍යයත් ඔබේ බුද්ධිමත් අවදානයට මෙහි ගෙන එන්නෙමි.

කවුරුන් අල්ලාහ් දෙසට (ජනයාව) කැඳවා, (තමන්ද) දැහැමි ක්‍රියාවන් කර, “නියත වශයෙන්ම මා (අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙමි’ යයිද පවසන්නේද, ඔහුට වඩා අලංකාරවත් වදන් පවසන්නා කවරෙක්ද?”

අල්කුර්ආන් 41-33

ඉහත වාක්‍යය හොදින් හා බුද්ධිමත්ව විමසා බලන්න. එවිට දහම තුල ‘ඉතාම අලංකාර වදන පවසන්නා’ වන්නේ කල්ලි, කන්ඩායම්, නිකායන්, අවුලියාවරුන්… වෙත ජනයා කැඳවන්නා නොව අල්ලාහ් (දෙවි) වෙත ජනයා කැඳවා ‘තමන් ද දහම අනුව ජීවත් වෙමි’ යැයි පවසන්නා බව පැහැදිලි වනු ඇත. එම දිව්‍ය මඟපෙන්වීමත් නොසලකා හැර, එසේම සෑම සතියකම සිකුරාදා දින අල්ලාහ් (දෙවි) මාලිගයේ මුස්ලීම්වරුන් ඒකරාශිවීම සහ ඔවුන් සදහා ආගමික දේශනයක් සිදුකිරීම බුද්ධිමත්ව කළමණාකරනය කොට එය මුස්ලීම් සමාජයට ආශීර්වාදයක් වන ලෙස භාවිතා නොකොට, රටේ සමාජයේ කාලීන මාතෘකා ඉස්ලාම් දහමේ දෘෂ්ඨියෙන් එනම්, අල්කුර්ආනය හා අල්හදීසය අනුව කථා කිරීම පවා පල්ලි පරිපාලක සභාව සහ ආගමික විද්වතුන් කටයුතු කලයුතුව තිබිය දී එයත් නොකොට ඒ උතුම් වටිනා අවස්ථාව සහ කාලය ඉස්ලාම් නමින් දහමට පරස්පර හා දහමට සම්බන්ධයක් නැති කරුණු දහම නමින් කථා කිරීමට යොදාගැනීම පාපයක් මෙන්ම ඛේදවාචකයක් නොවේද?.

ලොව සුන්දරම සහ ප්‍රායෝගිකම දහම වන ඉස්ලාමයට විවිධ කල්ලි, කණ්ඩායම් හා නිකායවාදීන් හොර ඔප්පු ලියා‍ගෙන තමන්ගේ මාර්ගය විමුක්තියේ මාර්ගය යැයි වහසිබස් දොඩවමින් සාමාන්‍ය මුස්ලීම් ජනයාගේ මනස අවුල් කරමින් ඔවුන්ගේ පටු අරමුණු වෙනුවෙන් මේ සරල දහම සංකීර්ණ කොට ජනතාව නොමග යවමින් සිටී. ඒ අනුව අප මේ පසුකරමින් සිටින්නේ ඉස්ලාම් දහම විවිධ කල්ලි, කණ්ඩායම්වලට නතු වූ යුගයකි. ඔවුන් පාරිශුද්ධ දහම විකෘති කරමින් එය තම වාසියට කථා කරමින් සිටී. ඔවුනට ‘උලමා’ නොහොත් ‘මව්ලවි’ නම් ගෞරව නාමයක් හිමි නම්, ඔහුට ඔළුවෙහි ජටාවක් ඔතාගන්න පුළුවන් නම්, සිකුරාදා ‘බිම්බරය’ හෙවත් දේශන වේදිකාවකුත් හිමි නම්, තමන්ට හිතෙන ඕනෑම දෙයක්, තමන් දරණ ඕනෑම මතයක් ඉස්ලාම් යැයි පැවසිය හැකි බව ඔවුන් සිතති. මෙහි භයානකම ඛේදවාචකය එය නොවේ. ඛේදවාචකය වන්නේ දේශනය කරන්නා ‘මව්ලවි’ යන ගෞරව නාමය හිමි කෙනෙකු නම්, ජටාවක් බැඳ බිම්බරයක් උඩ හිඳ කුමක් හෝ ඉස්ලාම් යයි පවසයි නම්, ඒ සියල්ල හිස් මුඳුනින් තබා ඉස්ලාම් යැයි පිලිගන්න බහුතර මුස්ලීම් සමාජය සූදානම්ව සිටීමයි. මෙම විකෘති තත්වයෙන් මේ සමාජය මුදවාගත යුතු නොවේද?.

ඒ සදහා ඇති එකම විකල්පය මුස්ලීම් සමාජයේ සෑම දෙනාම එනම්, ස්ත්‍රී/පුරුෂ භේදයකින් හා කුඩා/ලොකු භේදයකින් තොරව තමන්ට හැකි පමණින් දහම ඉගෙන ගැනීමයි. එය සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම ඉස්ලාම් පවරන වගකීමක් ද වේ. මෙම දහම් අධ්‍යාපානය උනන්දු කරන හදීසයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

ආගම පිළිබඳ දැනුම ලබාගැනීම සෑම මුස්ලිම්වරයෙකුටම (කාන්තාවක පිරිමියෙකු වුවද) අනිවාර්‍ය වේ.

මුලාශ්‍ර ග්‍රන්ථය- අල්-බයිහකි

ඉහත හදීසයට අනුව මුස්ලීම් සමාජයේ සෑම කෙනෙකුම ඉස්ලාම් දහම ඉගෙන ගැනීම අනිවාර්‍ය බව පැහැදිලිය. මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණයක් ඇත. එනම්, මේ සමාජයේ ආගමික විද්වතුන් යැයි පවසාගන්නා සමහරක් උලමාවරුන් (හෙවත් මව්ලවිවරුන්) මුස්ලීම් සමාජය අල්කුර්ආනය හා අල්හදීසය අධ්‍යනය කිරීම වලකාලමින් ‘මේ දහම හරි සංකීර්ණයි. එය පොදු ජනයා වන ඔබලාට සෘජුවම අවබෝධ කරගන්න බැහැ’ යනුවෙන් පවසමින් සමාජය නොමඟ යවනවා අප දකින්නෙමු. මේ හේතුව නිසාත් සාමාන්‍ය මුස්ලීම් ජනයා අල්කුර්ආනය හා අල්හදීසය අධ්‍යනය කිරීමට මැලිකමක් දක්වයි. එවැනි පිරිසගේ අවදානයට මුහම්මද් (සල්) තුමාණන්ගේ උපදේශයක් මෙහි ගෙන එන්නට කැමැත්තෙමි.

යමෙකුට අල්ලාහ් යහපතක් කරන්න අදහස්  කරන්නේද ඔහුට ආගම පිළිබඳ දැනුම ලබාදේ.

මුලාශ්‍ර ග්‍රන්ථය- බුහාරි

වර්ථමානයේ මුස්ලීම් නොවන දහස් ගණනක් දිනපතා ඉස්ලාම් දහම කරා ඇදී එන ආකාරය අප දකින්නෙමු. ඔවුන් එලෙස එන්නේ පැහැදිලිවම මුස්ලීම් සමාජයේ ක්‍රියාකලාපයන් දැක හෝ ඉහතින් සදහන් ආකාරයේ අවස්ථාවාදී පුහු ආගමික විද්වතුන්ගේ දේශන අසා නම් නොවේ. ඔවුන් ඉස්ලාම් දහම අල්කුර්ආනය හා අල්හදීසය තුලින් අධ්‍යනය කොට අවබෝධ කරගනී. තමන් තනිවම අධ්‍යනය කිරීම තුලින් ලබාගත් දැනුම හේතුවෙන් ඉස්ලාම් දහම වැළද ගනී. එය එසේ තිබියදී උපතින්ම මුස්ලීම් වූ අප මෙම අල්කුර්ආනය හා අල්හදීසය අධ්‍යනය නොකොට එය තේරුම් ගන්න බැරි බව පවසා එය නොබලා සිටීම කොතරම් අවාසනාවන්ද?. මෙය අපේ අවස්ථාවාදී ‘උලමාවරුන්’ අපව ගෙනවිත් නතර කොට ඇති තැනයි. නමුත් ඔබ අල්ලාහ් (දෙවි) කෙරෙහි විශ්වාසය තබා ඔහුට බියබැතිව, අවංකව හා බුද්ධිමත්ව ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් අධ්‍යනය කරන්නේ නම්, අනිවාර්‍යයෙන්ම අල්ලාහ් (දෙවි) ඔබට එහි විවරණයන් ලබාදෙනවා නොඅනුමානය. එය පහත අල්කුර්ආන් වාක්‍ය මගින් ද අල්ලාහ් (දෙවි) මෙලෙස තහවුරු කරයි.

නියතවශයෙන් අල්ලාහ්ට ඔහුගේ ගැත්තන් අතුරින් බියවනුයේ ඥානය ඇත්තෝ පමණි. නියතවශයෙන් අල්ලාහ් සර්ව බලපරාක්‍රමය. සර්ව ක්ෂමාශීලීය.

අල්කුර්ආන් 35-28

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ උතුම් සිකුරාදා දිනයේ උත්තරීතර බිම්බරය උඩ හිඳ තමන්ට සිතෙන ඕනෑම දෙයක් ඉස්ලාම් නමින් පවසන උලමාවරුන්ගේ බොරුව අවසන් කලයුතු යුගය දැන් පැමිණ ඇත. ඒ සදහා දහම හොදින් ඉගෙනීමට මුස්ලීම් සමාජය උනන්දු වියයුතුව ඇත. එසේම දහමට පරස්පරව කථා දහම නමින් සිකුරාදා දින බිම්බරයේ සිට පැවසූවත් එය එම මොහොතේම ප්‍රශ්න කිරීමට මුස්ලීම් ජනයා පෙලඹිය යුතුව ඇත. (මෙම ක්‍රියාවට ඉස්ලාම් දහම තුල අවසර ඇත.) මෙතැනදී අනිවාර්‍යයෙන් කිවයුතු කාරණයක් ඇත. එනම්, මේ දහම ආරක්ෂා කොට සත්‍ය මාර්ගය ජනතාවට දේශනා කරන යහපත් ආගමික විද්වතුන් ද සමාජයේ නැතුවා නොවේ. නමුත් ඔවුන්ගේ හඬ ප්‍රමාණවත් නැත. මුස්ලීම් සමාජයේ වත්මන් පරිහානිය හොදින් අවබෝධ කොටගෙන එයින් ජනයා මුදවාගැනීම සදහා වූ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කොට ඒ අනුව ඔවුන් කටයුතු කරමින් මේ මිත්‍යාවෙන් හා පරිහානියෙන් සමාජය මුදවාගෙන බුද්ධිමත් සමාජයක් ගොඩනැඟිය යුතුව ඇත.

මේ සියල්ල සදහා යාඅල්ලාහ්!…

  • මේ සියළු පාර්ශවයන්ට නුවණැස පෑදේවා!,
  • ඉස්ලාම් දහම එහි සැබෑ ආකාරයටම ඉගෙනීමට අපට දැනුම හා ශක්තිය ලබාදෙත්වා!,
  • මේ දහම විකෘති කරන අවස්ථාවාදී කපටි උලමාවරුන්ගෙන් මුස්ලීම් සමාජය ආරක්ෂා කරත්වා!,
  • දහමේ මූලික දැනුම හා පදනම නොදන්න උලමාවරුන්ට දහම් දැනුම ලබාදෙත්වා!,
  • මුස්ලීම් සමාජය පිවිතුරු දහම තුල ජීවත් වී මියදීමට ඔබගේ ආශිර්වාදය ලබාදෙත්වා!

…යන ප්‍රාර්ථනයෙන් මේ ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම