බොදු / ජාතික බල සේනා ගැටුම හා මුස්ලීම් ජනතාව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මේ රටේ නැවත ජාතිවාදී ව්‍යාපාරයන් සක්‍රිය වීම ආරම්භ වී ඇත. ඊට අවශ්‍ය පරිසරය ද දැන් නිර්මාණය වී ඇත. දැඩිවිය ක්‍රියාත්මක වූ ජාතිවාදී ව්‍යාපාරයන් පසුගිය කාලවල හිටී හැටියේ නිහඬවීම පිලිබදව බොහෝ පිරිසකට තිබුණේ විශ්මයක් මෙන්ම කුතුහලයකි. ඒ වගේම සමහරක් දේශපාලඥයින් මේ නිහැඩියාව ආඩම්භරෙන් කථා කල ආකාරයක් ද දක්නට ලැබුණි. නමුත් එදා එලෙස එම ව්‍යාපාරයන් නිහඩවීමට රටේ මුලික හේතු කිහිපයක් තිබුණි. ඒ අප රටේ පැවතී පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව, ජිනිවා හී පැවතී මානව හිමිකම් සමුළුව හා අප රටේ පැවතී (සුළු ජාතීන්ගේ ඡන්දය තීරණාත්මක වන) බස්නාහිර – දකුණ පළාත් සභා ඡන්ද යනාදිය ප්‍රධාන තැනැක් ගනී. දැන් ඒ සියල්ල නිමාවීම තුල නැවතත් ජාතිවාදීන් සක්‍රිය වීමට අවශ්‍ය පරිසරය හා භූමිකාව මෙන්ම දේශපාලන අවශ්‍යතාවය යලි රට තුල නිර්මාණය වී ඇත. මේ පිලිබදව ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත ‘කැසීනොව හා ජාතිමාමක නිහැඩියාව‘ නම් ලිපිය තුලින් මෙන්ම ‘ජාතිවාදය යලි හිස ඔසවයි’ නම් ලිපිය තුලින් කරුණු සාකච්චා කල අතර ජාතිවාදී ප්‍රහාර නම් ගොනුව යටතේ ද බොහෝ කරුණු විටින් විට මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත.

ඒ අනුව අද දවසේ ද මෙම ලිපිය තුලින් අවධානය යොමු කරන්නේ පසුගිය දිනවල මාධ්‍යවල උණුසුම් මාතෘකාවක් වූ බොදු බල සේනාව හා ජාතික බල සේනාව යන දෙක අතර ඇති වූ ගැටුම හා ඒ දෙකට අතරට මැදි වූ මුස්ලීම් ප්‍රජාව සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන් ක්‍රියා කල ආකාරයත් පිලිබදවයි. පසුගිය පූර්ව මැතිවර්ණ සමයේ මේ රටේ මුස්ලීම් ප්‍රජාවට බොදු බල සේනා වැනි අන්තවාදී මෙන්ම ජාතිවාදී ව්‍යාපාරවලින් සිදුවන හානීය හා හිරිහැර පිලිබදව කථා කල අවස්ථාවාදී මුස්ලීම් ජනතා නියෝජිතයන් දෙදෙනෙකු හා දේශමාමක වීරයන් කිහිපදෙනෙකු සිටියේය. (මුස්ලීම් ඔබ විමසිල්ලෙන්ද?) කොළඹ මුස්ලීම් ජනතාවගේ ඡන්දය මංකොල්ලකෑම සදහා මුස්ලීම් කෝංග්‍රස් ලෙසත්, ශ්‍රී ලංකා මහජන කෝංග්‍රසය ලෙසත් ජනතාව ඉදිරියේ පෙනීසිට එතෙක් මරනින්දෙන් අවදිවුවා මෙන් බොදු බල සේනා වැනි ජාතිවාදී ව්‍යාපාරයන්ට එරෙහිව වීර වදන් පවසමින් මුස්ලීම් ජනතා ඡන්දය දිනාගත් ඔවුන් දැන් නැවතත් දැන් මරනින්දට වැටී ඇති සේය.

එදා මුස්ලීම් ජනතාව වෙනුවෙන් වීර වදන් පවසමින් හඬ නැඟූ එසේම ජාතික සමඟිය වෙනුවෙන් හඬ නැඟූ ඒ කපටි කයිරාටික නිවට දේශපාලඥයින් මේ මොහොතේ කොහිද?. මේ රටේ මුස්ලීම් ප්‍රජාවත් විශේෂයෙන් එහි ඉස්ලාම් ආගමික පූජකවරුනුත් දැඩි අපහසයට හා නින්දාවට පත්කරමින් ඔවුන්ගේ නිදහසය හා අයිතියට අකුල් හෙළමින් ජාතිවාදී ව්‍යාපර ක්‍රියා කරන විට ඒ වෙනුවෙන් හඩ නැඟුවේ කවුද?.

ඉහත ආකාරයට රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින්ද, මුස්ලීම් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රක නිදහසට බාධා කරමින් ද ජාතිවාදී ව්‍යාපාර මුස්ලීම් ජනතාව සම්බන්ධයෙන් ක්‍රියා කරන විට ඒ‍ අසාධාර්ණය වෙනුවෙන් ‘ජනතා විමුක්ති පෙරමුණ’ වැනි පක්ෂ පවා ක්ෂණික ප්‍රතිචාර දක්වමින් දැඩි විරෝධය ප්‍රකාශ කරන විට මුස්ලීම් ජනතා නියෝගිකයන් කොහිද? යන්න තවත් ප්‍රබල ගැටළුවකි.

අඩුම තරමින් මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශයක් කරන්නට බැරි මේ මුස්ලීම් ජනතා නියෝජිතයන් සැබෑම ජනතා නියෝජිතයන්ද? යන්න මුස්ලීම් ජනතාව වරක් නොව සියවාරයක් විමසා බැලිය යුතුව ඇත. මුස්ලීම් ජනතාව වෙනුවෙන් සේවය කරන බව පවසමින් ජනතා කරමත ගොස් රජ සැප විඳින මොවුන් සම්බන්ධයෙන් මුස්ලීම් ජනතාව බුද්ධිමත් තීරණ ගතයුතුව ද ඇත. මේ රටේ මුස්ලීම් ජනතාව නින්දිත අයුරින් ආමන්ත්‍රණය කරමින් වහලුන් ලෙස නඩත්තු කරන්නට මාන බලන මේ ජාතිවාදී ව්‍යාපාර මෙන්ම ඔවුනට ආවඩන මාධ්‍ය, (ජාතිවාදී) දේශපාලයින්, හා අන්කුත් ජාතිවාදී මතදරන්නන් හමුවේ කිසිවක් නොවූවා සේ මුස්ලීම් බලධරයන් බලා සිටීම මුස්ලීම් ජනතාවගේ අවාසනාවක් මෙන්ම ඛේදවාචකයක් නොවේද?.

මා මේ පවසන තත්වය අවබෝධ කරගැනීමට ඉහත වීඩියෝව තුල ‘ජාතික හෙළ උරුමය’ කරන ප්‍රකාශය හොදම නිදසුනකි. එපමණක් නොව පසුගිය දිනක අප රටේ ප්‍රධාන පුවත්පතක් වන ‘මව්බිම’ පුවත්පත ඉහත සිදුවීම වාර්ථා කල ආකාරයත් හොද නිදසුනකි. එය මෙහි පහතින් ඉදිරිපත් කරන්නම්, ඉහත වීඩියෝව ඔබ හොදින් නැරඹුවා නම්, පහත පුවත්පත් වාර්ථා කරනයේදී ඉතා සූක්ෂම ලෙස කොතරම් වැරදි තොරතුරු මාධ්‍යයට ලබාදෙනවාද? යන්නත් ඒ තුලින් එම සිදුවීම සාධාර්ණීකරන කරනවාද? යන්නත් ඔබට දැකගත හැක.

(උපුටා ගැනීම මෙතැන් සිට...)


ජාතික බලසේනාව…

රෂිනි මෙන්ඩිස්

ජාතික බල සේනාව නමින් වූ සංවිධානයක් කොළඹ කොම්පඤ්ඤවීදිය “නිපෝන්” හෝටලයේ ඊයේ (9දා) පෙරවරුවේ පැවැත්වීමට සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදුණු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් එකී සාකච්ඡාව මෙහෙය වීමට වැඩම කර සිටි භික්‍ෂුන් වහන්සේ ඇතුළු පිරිසට තර්ජනය කොට මාධ්‍ය හමුව පැවැත්වීමට ඉඩ නොදී පන්නා ගනු ලැබීය.මේ අවස්ථාවට ඥානසාර හිමියන් සමඟ භික්‍ෂුන්වහන්සේ 20 නමක් පැමිණ සිටිනු දක්නට ලැබිණි.
ජාතික බලසේනාව මේ මාධ්‍ය හමුව කැඳවා තිබුණේ විල්පත්තු උතුර අභය භූමියේ කැලෑව කපමින් සිදුකෙරෙන ඉදිකිරීම්වලට බොදුබල සේනාවේ මැදිහත්වීමට විරෝධය පෑම සඳහාය. වටරැක විජිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට තවත් භික්‍ෂුන්වහන්සේ සත් නමක් හා මුස්ලිම් පූජකවරුන් ලෙස හැඳින් වූ තිදෙනෙක්ද පැමිණ සිටියහ.
මාධ්‍ය හමුව කැඳවීම ගැන මාධ්‍යයට කරුණු දැක්වීමට වටරැක විජිත හිමියන් ඇතුළු පිරිස සූදානම් වෙද්දී එකවරම එම ස්ථානයට කඩා වැදුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්,
“මොකක්ද මේ හාමුදුවරු අල්ලගෙන තමුසෙලාට විසඳගන්න තියෙන ගැටලුව? මුස්ලිම් සමාජයේ ප්‍රශ්න ඇති. ඒවා මුස්ලිම්වරු එක්ක විසඳගන්නවා. මොකටද චීවරේ ගාවගන්නේ. අපි එන්නේ නැහැනේ ලෙබ්බෙලා ඉස්සරහට දාගෙන ප්‍රශ්න විසඳන්න. රටේ මීට වඩා ප්‍රශ්න තියෙනවා.
චීවරේ දාගෙන ලැජ්ජා නැද්ද උඹලාට මෙතනට එන්න. යන්නයි කිව්වේ පල්ලිවල වළං බාන්න චීවරේ අල්ලන්නේ නැතුව වටරැක විජිත හාමුදුරුවෝ හම්බවෙනකම් තමයි හිටියේ. තමුසේට ලැජ්ජ නැද්ද මේ පල්ලිවල රෙදි හෝදන්න. චීවරේ ගලවලා බුර්කාවක් අන්දනවා දැනගනිං තනිකරම මේ මිනිහා බල්ලෙක්. චීවරේට ගැළපෙන්නේ නැහැ. මුළු සංඝයාවහන්සේම ලැජ්ජාවට පත් කළා. ජාතියම පල්ලි පල්ලි ගාණේ ගිහිල්ලා ලැජ්ජා කළා. මුං වගේ හොර තක්කඩියෝ තියන්න වටින්නේ නෑ යකෝ. අපි කවදාද මේ චීවරේට අගෞරව කළේ. අපිට විවාදෙට කතා කරන්න. හරි අපි දැන් ආවා මාධ්‍යයත් ඉන්නවා. විවාදේ කරමු අපි.
අපි නියෝජනය කරන්නේ මුළු ජාතියම, එහෙත් මුන් කැලෑ විනාශ කරනකන් අපි බලාගෙන ඉන්න ඕනෙ. එක සිංහලයෙක්ට විල්පත්තුවේ දර කෑල්ලක් කඩා ගන්න බැහැ. මුන් ගිහිල්ලා ගෙවල් හදාගෙන පදිංචි වෙනවා. එහෙව් එවුන් එක්ක චීවරයක් දාගෙන එක මේසේ් ඉඳගෙන කතා කරන්න උඹලා එනවා.
මේ අවස්ථාවේදී වටරැක විජිත හිමියන් දෙසට පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇතුළු පිරිසේ අවධානය යොමුවන අවස්ථාවේ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළ මුස්ලිම් පූජකවරු තුන්දෙනා එම ස්ථානයෙන් පැන දුවනු දක්නට ලැබිණි. තවදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියන් මෙසේද කීවේය.
දැන්වත් මේ බොරුව නවත්තන්න. ඔබවහන්සේ කියනවානේ මහියංගණ පන්සල නැති වුණේ අපි නිසා කියලා. මුළු ජාතියෙන්, සමස්ත සංඝයා වහන්සේගෙන් සමාව ගන්න. අපි ඔබවහන්සේව පන්සලට ගිහිල්ලා බස්සන්නම්.
ඥානසාර හිමියන්ගේ බල කිරීම මැද “සමස්ත ජාතියෙනුත්, සංඝරත්නයෙනුත් සමාව ගන්නා බව පැවැසූ වටරැක විජිත හිමියෝ මුස්ලිම් ජනතාව ඉදිරියේ බෞද්ධ ශාසනය හා ජනතාව, සංඝරත්නය හෑල්ලු කරලා, අපහාස කරලා කතා කිරීම සම්බන්ධව බෞද්ධාගම පාවාදීම ගැන මම සමාව ඉල්ලා සිටිනවා” යැයි පැවැසූහ.
මෙහිදී ඥානසාර හිමි ප්‍රකාශ කර සිටියේ මෙසේ සමාව අයැද යළිත් හොර වැඩකට සම්බන්ධ වුවහොත් කිසිදු සමාවක් ලබා නොදෙන බවය. මේ සමාව ගැනීම බලහත්කාරයෙන් කියවගත්තා යැයි නොපවසන්නේ නම් පමණක් තමන්වහන්සේව මහියංගණයට ගෙන යන බවද ඥානසාර හිමියෝ පැවැසූහ.
“නැහැ මම ආයෙත් කිසිම ප්‍රකාශයක් මේ ගැන කියන්නේ නැහැ. මම දහස් වාරයක් සමාව ඉල්ලනවා. මගේ අතින් සිදු වූ අපහාසයට, අගෞරවයට” යැයි වටරැක හිමියෝ කීහ.
මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටි සාමනේර හිමිවරු පන්සිල් පද පහවත් නොදන්නා අතර, තමන්වහන්සේ පැවැත එන පරම්පරාවවත් නොදන්නා චීවරය නිසි ලෙස ඇඳීමටද නොහැකි ස්වාමින්වහන්සේ වීමද අර්බුදකාරී තත්ත්වයක් වන අතර මේ ජාතික බලසේනාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බද්යුදින් මහතාගේ අනු දැනුම මත ක්‍රියාත්මක වන සංවිධානයක්ද මෙහිදී අනාවරණය විය.

Link – http://www.mawbima.lk/86-55536-news-detail.html


(උපුටා ගැනීම අවසන්)

මේ ආකාරයට ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනතාවට එරෙහිව ජාතිවාදී බූවල්ලා රටම වේලා ගනිද්දී, මුස්ලීම් ජනතා නියොජිතයන් හා ඔවුන් වෙනුවෙන් මැදිහත් වියහැකි පාර්ශවයන් මේ සියල්ල නිහඬව බලාසිටීම තුල අවසානයේ සිදුවන්නේ සමස්ථ මුස්ලීම් ජාතියම අවාසනාවන්ත ඉස්වකට තල්ලුවීමය.

එම නිසා අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ. මේ ර‍‍ටේ වත්මන් තත්වය තේරුම්ගෙන සැබෑ ජනතා මෙහෙවරක් කරන්නට වගකිවයුතු පාර්ශවයන්ට යහපත් සිතුවිලි පහල වේවා! යනුවෙන්ද, නිසි වගකීම ඉටු නොකරන මුස්ලීම් ජනතා නියෝජිතයන් ප්‍රතික්ෂේප කොට සැබෑ ජනතා නියෝජිතයන් තෝරා පත්කිරීමට නුවණක් මුස්ලීම් ජනතාවට පහල වේවා! යනුවෙන්ද, සමස්ථ මුස්ලීම් ජාතියම පටු මතවාද මතගැටුම් පසෙක තබා මේ ජාතිවාදී ව්‍යාපාරය හමුවේ එකාමෙන් අත්වැල් බැඳ නැඟීසිටීමටත් ආගමික විනයක් තුල ජාතිවාදයට එරෙහිව ක්‍රියා කිරීමටත් නුවණැස පෑදේවා! යනුවෙන්ද ප්‍රාර්ථනා කරමින් මේ ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම