මරණය සදහා වූ ඔබේ සූදානම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මහ පොළවේ හතර මායිම් අල්ලාගෙන කටු කම්බි ගසාගත් පමණින් නොඑසේනම්, සියල්ල මට යැයි පොදබැඳගත් පමණින්, මේ මිහිමත ජීවය ලද කිසිවකු සර්වකාලීන වන්නේ නැත. නියත වශයෙන්ම ඉරණමේ ලියා ඇති දිනක් උදා වන්නේමය. ඒ ‘මරණය’ නම් කටුක, අමිහිරි හා වේදනාකාරී මොහොතයි. ඒ මොහොත පිලිබදව මේ මිහිමත වෙසෙන කිසිවකුටත් සැක නැත. නමුත් මිනිසුන්ගෙන් වැඩි පිරිසක් මේ මොහොත හිතාමතා අමතක කොට කිසිදා නොමියදෙන ආත්මයක් මෙන් ක්‍රියා කරමින් සිටී.

අද ලොව තුල සිදුවන තනිපුද්ගල හා කණ්ඩායම් බොහෝ මතභේද, අරඟල, ගැටුම්කාරී තත්වයන්ට හොදින් විමසා බලනවිට පෙනීයන කාරණය වන්නේ මනුෂ්‍යා තම ලෞකික දිවියේ අවසාන ඉරණම විසදෙන්නේ කවර ආකාරයටද? යන්න සිහි කිරීම අතපසු කිරීමයි. මේ හේතුව නිසාම මේ විෂයට වඩා වැඩි වැදගත්කමක් ලබාදී චින්තනවාදීන්, ශාස්තෘවරුන්, දාර්ශනිකයන්, වක්තෘවරුන්…යනාදී විද්වත් පිරිස් විවිධ අවස්ථාවල විවිධ මාතෘකා ඔස්සේ කථා කරන ආකාරයක් නිතර දැකිය හැක. විශේෂයෙන් ආගමික ඉගෙන්වීමන් සැලකූවිට ‍එහි ‘මරණය’ නම් විෂයට මූලික තැනක් ලබාදී කථා කර ඇති ආකාරය පැහැදිලිව දැකගත හැක. ඒ අනුව මෙම විෂයෙහි වැදගත්කම හොදින් අවබෝධ කොට සිටින ‘යහමඟ’ අඩවිය ද මීට ඉහත ‘ජීවිතය හඹා එන දිනෙක සැබෑ වන මරණය’ නම් මාතෘකාව යටතේ වීඩියෝ මාලාවක් ද ඉදිරිපත් කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එහි තවත් අදියරක් ලෙස ‘මරණය සදහා වූ ඔබේ සූදානම’ නම් මේ ලිපිය තුලින් ඉස්ලාම් දහම මේ විෂය පිලිබදච කථා කරන්නේ කුමක්ද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

දිව්‍යමය වදන( හදීසය )කින් මේ සදහා පිවිසුමක් ගන්නේ නම්, අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් (හෙවත් වක්තෘවරයාණන්) වන මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී,

නියත වශයෙන්ම (මේ මිහිමත) මනුෂ්‍යයා හට යහපත්ම එසේම උතුම් වු අවවාදයන් දෙකක් ඇත. ඒ (දිව්‍යමය පුස්තකය වන) ‘ශුද්ධ වූ අල්කුර්ආනය’ මඟින් (මිනිස් සමාජයට) ලබා දෙන අවවාදය හා (නියත වශයෙන්ම උදාවන) ‘මරණ’ ( හා ඉන් අනතුරුව උදාවන ඉරණම පිලිබදව ඇති) බිය තුලින් සමාජය ලබන අවවාදය.

මූලාශ්‍ර ග්‍රන්ථය – හදීස්

ඉහත හදීසයේ සදහන් දෙවන කාරණය ‘මරණය’ නොඑසේ නම් පෙර දැනුම්දීමකින් තොරව ක්ෂණිකව ඇති වන මරණය පිලිබදව වූ බිය බුද්ධිමත් මානව සංහතියටම අවවාදයක් යන්නෙහි විවාදයක් පැවතිය නොහැක. මේ මිහිමත වෙසෙන මිනිසා හට ස්වාධීනව තම ජීවත මාර්ගය යහපත් හෝ අයහපත් ලෙස තෝරා බේරා ගැනීමේ නිදහස ඇත. ඔහු තොරාගන්නා මාර්ගය අනුව ඔහුගේ දෘෂ්ඨිය, සිතුවිලි, චර්යාවන් සහ පිළිවෙත් සියල්ල වෙනස් වේ. නමුත් මෙලොව ජනිත යහපත් හා අයහපත් ලෙස වෙසෙන සියල්ලන්ට පොදූ වූ සත්‍යයක් සර්වඥානයෙන් යුතු මැවුම්කරුවා විසින් නියමකර ඇත. එය අන් කිසිවක් නොව සැකයකින් තොරව නියතවම දිනෙක අප වෙත සමීප වන ‘මරණය’ යි. එවන් වූ ‘මරණය’ පිලිබදව ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවි) අවවාද නඟද්දී,

සියළු ආත්මාවන් මරණය භුක්ති විදින්නෝමය.

ශුද්ධ වූ කුර්ආනය 3-185

ලොවෙහි සියළු දැය නැසෙන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 55-26

යනාදී ලෙස ද තවද ලොව කිසිදූ ජීවියෙකුට හෝ කිසිදූ වස්තුවකට අමරණීයත්වයක් හිමි නොවන බව ද නබිවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් ඔබ ද දිනෙක මියදෙන බව අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනය මඟින් මෙසේ අවවාද නඟයි,

නබිතුමනිණි, ඇත්තෙන්ම ඔබ මැරෙන්නෙය. ඔවුහු ද මරණයට පත් වන්නේමය.

ශුද්ධ වූ කුර්ආනය 39-30

ඔබට පෙර කිසිම මනුෂ්‍යයෙකුට අමරණීයත්වය නුදූන්නෙමු.

ශුද්ධ වූ කුර්ආනය 21-34

මේ ආකාරයට ඔබ අප සියළුදෙනාට අවවාද නඟන ‘මරණය’ සම්බන්ධයෙන් සෑම කෙනෙකුම තමන්ගෙන්ම විමසා ගතයුතු මූලික පැනයක් ඇත. ඒ ‘දිනක ස්ථීරවම උදාවන මරණය වෙනුවෙන් අප කොතරම් දුරකට සූදානම්ද?’ යන්නයි. ‘ස්ථීරවම අපත් දිනෙක මියැදෙනවා!’ යන්න වටහාගෙන සිටින පිරිසගෙන් ‘මරණය’ සම්බන්ධයෙන් මෙලෙස මා පැනයක් මතු කිරීමට මූලික හේතුවක් ද ඇත. ඒ වර්ථමාන මිනිසාගේ ක්‍රියාකලාපයන් දෙස බලන විට ඔහු ‘මරණය’ පිළිබඳ සිතක් නොව මතකයක සේයාවක් පවා දක්නට නොමැති තරමට එම සිතුවිල්ලෙන් දුරස්ව ඔහු ජීවත්වීමය. ලෞකික අරමුණූ දිනාගැනීම හා මුදූන්පත් කර ගැනීම සදහා වේගවත් ගමනක නිරතව සිටින නූතන මේ මිනිසා පහත (හදීසය හෙවත්) නබිවදන මොහොතක් බුද්ධිමත්ව විමසා බැලීම කාලීන වශයෙන් ඉතා වැදගත් වේ යයි සිතමි. එනම්,

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී, ‘අවස්ථා පහක් උදාවීමට මත්තෙන් අවස්ථා පහක් ප්‍රයෝජනවත් කරගන්න. ඒ,
* ඔබ මරණයට පත්වීමට පෙර ආයු කාලයද,
* ඔබ රෝගීවීමට පෙර නීරෝගි කාලයද,
* ඔබ කාර්යය බහුල වීමට පෙර විවේක කාලයද,
* ඔබ මහළු වීමට පෙර තරුණ කාලයද,
* ඔබ දිළිඳූ වීමට පෙර ධනය ද, ප්‍රයෝජනවත් කරන්න.’

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්නද් අහමද්

ඉහත හදීසය බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, මේ මිහිමත වෙසෙන මිනිසා කවර ආගමික මතවාදයක් දැරුව ද ඔහුගේ ලෞකික ක්‍රියා පටිපාටීන් කවර ආකාරයක් ගතයුතුද යන්න ඉහත කරුණුවලින් අවබෝධ කරගැනීම අපහසු නොවේ. ඒ කරුණු 05 අතුරින් පලමු කාරණය වන ‘මරණය’ සම්බන්ධයෙන් මනුෂ්‍යාගේ ස්ථාවරය පිලිබදව කථා කරන කාරණය වෙත අවදානය යොමු කරන විට තවත් ශුද්ධ වූ කුර්ආන් පාඨයක් ඔබේ විමසුමට ගෙන ඒම සුදුසු යයි හැ‍ගේ. එනම්,

සෑම ජන සමාජයකටම නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලසීමාව පැමිණියහොත් ඔවුන්ට එක් නිමේෂයකින්වත් පමා වීමට හෝ ඉක්මන්වීමට නොහැකිය.
ශුද්ධ වූ කුර්ආනය 7-34

අද සමාජයේ බොහෝ පිරිසකගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණය කරන විට සිතෙන්නේ ‘මොවුන් අමරණීය වරම් ලබාගෙනදෝ?’ යනුවෙනි. මරණය හෝ ඉන් ඔබ්බට උදාවන ඉරණම පිලිබදව ඔවුනට කිසිදු තැකීමක් නැත. විටෙක ‘සියල්ල මිල මුදලින් විසදා ගැනීමට සිතනවාදෝ?’ යන්න ද සිතේ. කෙසේ නමුත් ඉහත 7-34 වාක්‍යයෙන් සදහන් ආකාරයට පැහැදිලිව එක් කාරණයක් අවබෝධ කරගත යුතුය. එනම්, ඒ ‘මරණය’ ඔබව සොයා එන නිශ්චිත දිනය හෝ ඒ නිශ්චිත මොහොත නිමේෂයකින් හෝ පමා කිරීමට ඔබ කිසිසේත් ශක්ති සම්පන්න නොවන බවයි. එම කාරණය ඔබේ විමසුමට තබමින් මේ ලිපියට විරාමය තබන්නේ තවත් ශුද්ධ වූ නබිවදනක් ඔබේ මතකයට දිගහරිමිනි. එනම්,

වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී. ‘මිනීවළ පරලොව (කරා වූ ගමනෙ)හි නවාතැන්වලින් ප්‍රථම තැනයි. මෙයින් කෙනෙකු ජය ලබන්නේද, ඔහුට මින්පසු සිදුවන සියල්ල වඩා යහපත් වේ. මෙයින් කෙනෙකු පරාජය ලබන්නේද, ඔහුට ඉන්පසු සිදුවන සියල්ල වඩාත් අයහපත් වේ.’

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

උපන්දා පටන් තම ලඟින්ම සිටී දෙමාපියන්, බිරිද/ස්වාමියා, දූදරුවන්, ඥාතී හිතමිතුරන්… යනාදී පිරිස ද, තම දිවිය පුරා නොකා නොබී හරි හම්බකරපු ධනය ද, ඉතා දුකසේ හා බොහෝ කැපකිරීම් මධ්‍යයේ ජීවිත කාලය පුරාවට ගොඩනඟාගත් දැනුම හා පෞරුෂය ද ක්ෂණයකින් අතහැර අඩි 6×3 මිනීවළක ඔබට සදාකල් හුදෙකලා වීමට සිදුවනවා යන්න ඔබ මොහොතක් බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇත. එය ඉහතින් සදහන් සුන්දර වටපිටාවෙන් ඈත් වූ පාළු සොහොන් පිටියක හාරන ලද ඝන අඳුරින් පිරි වලක් තුල යන්නත් ඔබ මොහොතක් සිහියට නඟා ගතයුතුව ඇත. එහිදී ඉහතින් සදහන් හදීසයේ ආකාරයට ඔබේ පිහිටට සහයට ඉතිරි වන්නේ ඔබ ලෞකික දිවිය තුල කල සත්ක්‍රියාවන් හා ඒ තුලින් ලද කුසල් මිස ඔබ ලෞකිකව ඔබ වටා ගොඩනඟාගත් ඥාති හිතමිතුරන්, ධයන හෝ වෙනත් පුහු අලංකාරයන් නම් නොවන බව ද පැහැදිලිව වටහා ගතයුතුව ඇත. එසේනම් එවන් වූ නියත මරණය සදහා ඔබ දැන් සූදානම් ද?.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම