මිනිස් අවයව පරිත්‍යාගය පිලිබදව ඉස්ලාම් හි දැක්ම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනවල අප රටේ උණුසුම් මාතෘකාවක් වූ ‘මිනිස් අවයව වෙළදාම සහ වෘෂණ කෝෂ බද්ධ කිරීම’ යන කාරණය මූලික කරගෙන මෙම (යහමග) අඩවිය තුල ‘වෘෂණ කෝෂ පරිත්‍යාග සහ බද්ධ ප්‍රායෝගිකද?’ යන මාතෘකාව යටතේ කරුණු කිහිපයක් සාකච්චා කලෙමි. එම ලිපියෙහිම තවත් කොටසක් ලෙස මිනිස් අවයව පරිත්‍යාගය පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න මෙම ලිපිය තුලින් මෙතැන් සිට කථා කිරීමට අදහස් කරමි.

මුස්ලීම් සමාජය තුල මිනිස් අවයව නොහොත් ඉන්ද්‍රියන් පරිත්‍යාගය පිලිබදව වූ සංවාදය දීර්ඝ කාලයක් පුරාවට පවතින්නකි. මුස්ලීම් ලෝකය තුල අදටත් එය පූර්ණ එකඟතාවයකට නොපැමිණුනු නොවිසඳනු පැනයක්ව පවතී. මුස්ලීම් සමාජය තුල මේ පිලිබදව වූ මතවාද ප්‍රධාන ආකාර තුනකින් පවතී. එනම්,

  • ජීවත්ව සිටියදී අවයව පරිත්‍යාගය කලහැක යනුවෙන් වූ මතවාදය,
  • මියගිය පසු පමණයි අවයව පරිත්‍යාග කලහැකි වන්නේ යනුවෙන් වූ මතවාදය,
  • අවයව පරිත්‍යාගය ඉස්ලාම් දහමට අනුකූල නොවේ යනුවෙන් පවසන මතවාදය,

මනුෂ්‍යයෙකු තම ජීවිතය තුල ගතයුතු තීන්දු අතර ඉතා තීරණාත්මක තීන්දුවක් ලෙස තම අවයව පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ගනු ලබන තීන්දුව සැලකිය හැක. ඒ එය මිනිස් ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක ගතයුතු කටුකම හා සංවේදී තීන්දුවක් වන බැවිණි. එසේ ගනු ලබන තීන්දුව ඉස්ලාමයට අනුකූලද? නැද්ද? යන්න පිලිබදව අවබෝධයෙන් යුතුව ගැනීම ද අත්‍ය අවශ්‍යය. මන්ද තම අවයව පරිත්‍යාගය සෘජුවම කුසල ක්‍රියාවක්ද? එසේත් නැත්නම් අකුසලක්ද යන්න දහම තුල විනිශ්චය වන බැවිණි. අපැහැදිලි තැනක හිඳ ගත නොහැකි තීන්දුවක් වන එම විෂය පිලිබදව අවංකව හා දහමේ මඟපෙන්වීමන්ට යටත්ව මෙතැන් සිට විමසා බලමු.

මිනිස් අවයව පරිත්‍යාග කිරීම පිළිබඳ විද්වත් මණ්ඩල තීන්දු

මිනිස් අවයව පරිත්‍යාගය පිලිබදව වූ සංවාදය ඉස්ලාමීය ලෝකය තුල ඈත අතීතයටම දිවයන්නකි. ඒ අනුව ඉන්ද්‍රිය පරිත්‍යාගය අනුමත කරමින් ලොව පලමු ‘ෆත්තුවා’ නොහොත් ආගමික තීන්දුව ප්‍රකාශයට පත්කොට ඇත්තේ 1966 දී ඊජිප්තු ආගමික සභාවක් විසිනි. ඉන් අනතුරුව මැලේසියාව 1969 දී ද, ඇල්ජීරියාව 1972 දී ද , ජෝර්දානය 1977 දී ද, කුවේට් රාජ්‍ය 1979 දී ද, සෞදි අරාබියේ රියාද් හි උලමාවරුන් 1982 දී ද, පසුව, 1985 මුස්ලිම් ලෝක ලීගයේ අටවන සැසිවාරයේදී ද, ඉස්ලාමයට අනුකූල වන පරිදි ප්‍රතිකාරමය වශයෙන් අවශ්‍ය වන අවයව පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීම සදහා අවසර ලබාදී ඇත. එම අවසරය තවත් ඉදිරියට ගෙයමින් 1986 දී, ඉස්ලාමීය ෆික්කුහු කවුන්සිලය (අම්මාන්, ජෝර්දානය) විසින් ජීවත්ව සිටින සහ මියගිය යන දෙඅංශයෙන්ම අවයව පරිත්‍යාග කිරීම සඳහා තීන්දුවක් (තීන්දු අංක 3-07-86 යටතේ) නිකුත් කරන ලදී.

එහි තවත් ඉදිරි පියවරක් ලෙස එක්සත් රාජධානියේ, මුස්ලිම් නීති කවුන්සිලය 1996 දී ඉස්ලාම් දහමට අනුකූලව අවයව පරිත්‍යාගය අනුමත කරන ලද අතර, ඔවුන්ගේ එම තීන්දුව මීට පෙර විවිධ රටවල ලබාදුන් තීන්දුවලට වඩා තරමක වෙනස් එකක් විය. එනම්, මොළය මියගිය (Brain death) කෙනෙකුගේ ශරීර අවයව පරිත්‍යාග සදහා එහි අනුමැතිය ලබාදෙන ලදී. මෙය එවකට ඉස්ලාමීය ලෝකයේ තරමක උණුසුම් මතභේදාත්මක කාරණයක් ද විය.

ඉහත ආකාරයට කුමන තීන්දු ප්‍රකාශ වූවත් මිනිස් අවයව පරිත්‍යාගය පිලිබදව සාකච්චාව ඇරඹු කාලයේ පටන් මේ දක්වා ම එය ඉස්ලාම් දහමට අනුකූලද? යන කාරණය සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුල උණූසුම් වාද-විවාද තර්ක-විතර්ක පවතී. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ වන විද්වත් තීන්දු තීරණ විටින් විට අභියෝගයට ලක් කරන හා පක්ෂව කථා කරන පිරිස් තම මතවාදය තහවුරු කිරීම පිණිස විවිධ වූ සාක්ෂින්ද ගෙන හැර දක්වීම ද මුස්ලීම් සමාජය තුල සිදුවෙමින් පවතී. එලෙස ඔවුන් ඉදිරිපත් කරන තර්ක මොනවාද? එය ඉස්ලාම් දහමට අනුව කොතරම් සාධාර්ණද? යන කාරණය ද මෙතැන් සිට දැන් විමසා බලමු.

අවයව පරිත්‍යාගයට පක්ෂව ඉදිරිපත් කරන තර්ක

මිනිස් ඉන්ද්‍රියන් පරිත්‍යාගය ඉස්ලාම් දහමට අනූකල යැයි පවසන සියළුදෙනා ඒ සදහා ඉදිරිපත් කරන ප්‍රධාන සාක්ෂි වන්නේ අල්කුර්ආනයේ 5-32 වාක්‍යයි. එම වාක්‍යය ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

…යමෙක් තවත් කෙනකු ජීවත් කර වන්නට සැලසු වුවහොත් ඔහු සකළ මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වැනි යැයි අප ඉස්රායිල් දරුවන්ට අණ කළෙමු…

අල්කුර්ආනය 5-32

ඉහත අල්කුර්ආන් වාක්‍යය තුලින් පවසන කාරණය ඉතා සරලය. එනම්, යම්කිසි කෙනෙකු ජීවත් කරවන්න උදව් කිරීම මුළුමහත් මිනිස් වර්ගයාම ජීවත් කරවන්න උදාව් කලා හා සමාන යන්න එහි ඉගෙන්වීමයි. මේ අනුව අසාධ්‍ය තත්වයක සිටින ජීවිතයක් බේරා ගැනීම පිණිස නිරෝගි කෙනෙකු තම අවයව පරිත්‍යාග කිරීම කිසිසේත් වරදක් නොවන උතුම් ක්‍රියාවක් යන්න ‘අවයව පරිත්‍යාගය ඉස්ලාම් දහමට අනුකූලයි’ යැයි පවසන පිරිසගේ ස්ථාවරයයි. එම මතවාදය තවදුරටත් ස්ථීර කිරීම පිණිස හදීසයක් (නොහොත් මුහම්මද් (සල්) තුමාණන්ගේ වදනක්) ද ගෙන හැර දක්වයි. එය මෙසේය,

මුස්ලිම්වරයෙකුගේ ලෞකික අර්බුදයක් නිරාකරණය කරන්න තවත් මුස්ලීම්වරයෙකු සහය වන්නේද, (මරණින් මතු) විනිශ්චය දිනයේදී අල්ලාහ් (දෙවි) ඔහුව අර්බුදකාරී තත්වයන්ගෙන් නිදහස් කරයි. තවද කෙනෙකුගේ ලෞකික දුෂ්කරතාවක් ලිහිල් කිරීමට උදව් කරන්නාට අල්ලාහ් (දෙවි), ඔහුගේ දුෂ්කරතාවයකින් සහනයක් ලබා දෙයි…

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

ඉහත හදීසය තුල පැවසෙන ‘අර්බුදය සහ දුෂ්කරතාවය’ යන කාරණය රෝගීව පසුවන අය සදහා ද වලංගු බවත්, මෙම හදිසය මිනිස් අවයව පරිත්‍යාග කිරීම අනුමත කරන බවත්, එය ඉස්ලාම් දහමට අනුව කුසල ක්‍රියාවක් යන්නත් ‘අවයව පරිත්‍යාගය ඉස්ලාම් දහමට අනුකූලයි’ යැයි පවසන පිරිසගේ වාදයයි.

මෙලෙස තබන වාදයන්ට එරෙහි වන පිරිසද තම වාදය තහවුරු කිරීම පිණිස විවිධ වාදයන් ගෙනහැර දක්වයි. එම වාදයන් අතුරින් ප්‍රධාන වාදය නම්,

“කෙනෙකුගේ ශරීර අවයව අක්‍රීය වී ඔහු මාරාන්තික රෝගී තත්වයකට පත්වීම මැවුම්කරු වූ අල්ලාහ් (දෙවි)ගේ  පෙර නියමයකි. එවන් රෝගියෙකුට අවයව පරිත්‍යාග කිරීම හා බද්ධ කිරීම එම දේව පෙර නියමය හෙවත් දිව්‍ය සැලැස්ම අභියෝගයට ලක් කිරීමකි.”

මෙම තර්කය බැලූ බැල්මට සාධාර්ණ වූ තර්කයක් ලෙස පෙනේ. එයට හේතුව මුස්ලීම්වරයෙකු අනිවාර්‍ය විශ්වාසය තැබිය යුතු ‘කලාකදිරය’ නොහොත් දිව්‍ය සැලසුම අභියෝගයට ලක් කිරීම යන්න ඉස්ලාම් දහමට අනුව මහා පාපයක් වන බැවිණි. නමුත් එය එසේ නොවන බව පහත හදීසය බුද්ධිමත්ව විමසා බැලීමේ දී ඔබට පැහැදිලි වනු ඇතැයි සිතමි. එනම්,

උසාමා ඉබ්නු ශරික් (රලි) තුමා දන්වයි, දිනක් මා නබිතුමාණන් හමුවේ සිටින විට, (දුර සිට පැමිණි) කාන්තාර අරාබිවරයෙකු ‘අල්ලාහ්ගේ දූතයාණෙනි!, (අපි රෝගී වූ විට) ප්‍රතිකාර ලබා ගතයුතුද?’ යනුවෙන් විමසන ලදී. එයට අල්ලාහ්ගේ දූතයාණන් (වන මුහම්මද් (සල්) තුමාණන්) ‘ඔව්, ප්‍රතිකාර කරන්න. මක්නිසාද, ප්‍රතිකර්මයක් ඇති නොකොට අල්ලාහ් (දෙවි) කිසිදු රෝගයක් ඇති කොට නැත. ඒ මහළු විය හැර’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්

ඉහත හදීසයට අනුව ‘මහළුවිය’ යන හේතුව හැර අන් සියළු රෝග සදහා ප්‍රතිකාර ක්‍රමද අල්ලාහ් (දෙවි) නියම කර ඇති බව පැහැදිලිය. මා මෙසේ පවසන විට ඔබට ‘එසේනම් අදටත් සමහරක් රෝග සදහා ප්‍රතිකාර ක්‍රමයක් නැතැයි වෛද්‍යවරුන් පවසන්නේ ඇයිද?’ යනුවෙන් අමතර පැනයක් මතු වන්නට පුළුවන. ‘ඔව්, නමුත් බොහෝ විට වෛද්‍යවරුන් ප්‍රතිකාර ක්‍රමයක් නැතැයි පවසන්නේ නැත. ඔවුන් පවසන්නේ තවම ප්‍රතිකාර ක්‍රමයක් හෝ ඖෂධයක් සොයාගෙන නොමැත යනුවෙනි. එය කෙසේ වෙතත් මෙයින්ද පැහැදිලි වන්නේ ‘ප්‍රතිකාරයක් නැතැයි යන්න අල්ලාහ් (දෙවි) විසින් ඇති කොට තිබෙන ප්‍රතිකාරය තවම සොයගෙන නොමැත යන්නයි’ යන කාරණය ඔබේ වැඩිදුර දැනුම සදහා තබමින් නැවත මාතෘකාවට යොමු වූයේ නම්, ඉහත හදීසයට අනුව රෝගයක් සදහා ප්‍රතිකාර කිරීම ඉස්ලාම් දහමට අනුව අත්‍යඅවශ්‍ය කාරණයක් යන්න දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. නමුත් මුලදී ඉදිරිපත් කල ‘අවයව බද්ධ කිරීම දිව්‍ය සැලැස්ම අභියෝගයට ලක්කිරීම’ යන වාදයට තවම ඔබට පැහැදිලි පිලිතුරක් ඉහත හදීසය තුල ලැබී නැතැයි සිතෙන්නට පුළුවන. එසේ සිතෙන අයගෙන් අසන්නට ඇත්තේ සරල පැනයක් පමණි. එනම්,

මිනිස් අවයවයක් හෝ ඉන්ද්‍රියයක් ක්‍රියා විරහිත වීම මැවුම්කරු විසින් කලින් නියම කරන ලද්දක් බව ඔබ පිළිගන්නේ නම්, ඉහත සඳහන් කළ හදීසයට අනුකූලව අල්ලාහ් (දෙවි) විසින්, එයට ප්‍රතිකාරය ලෙස අවයව හෝ ඉන්ද්‍රියයන් බද්ධ කිරීම ද කලින් නියම කර ඇතැයි ඔබ පිලි නොගන්නේ ඇයිද?

මේ අනුව මිනිස් අවයව හෝ ඉන්ද්‍රියයන් පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීම ඉස්ලාම් දහමට අනුකූල යන්න යහමග ස්ථාවරයයි. නමුත් ඉන්ද්‍රයයන් පරිත්‍යාගය යම් යම් සීමාවන්ට යටත්ව සිදු කලයුතු වේ. එවැනි සීමාවන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • අල්කුර්ආනයට හෝ අල්හදීසයට පරස්පර ලෙස කටයුතු කිරීමෙන් වැලකිය යුතුය.
  • තම ජීවිතය අවාදනමකට ලක් කරමින් හෝ හානියක් සිදුවන ආකාරයට අවයව පරිත්‍යාග නොකලයුතුය.
  • කෙනෙකු බියගන්වා හෝ රවටා අවයව ලබාගැනීම නොකලයුතුය.
  • ජීවිත අවදානමක් නොවන වෙනත් කාරණයන් සදහා අවයව පරිත්‍යාගය නොකල යුතුය (නිදසුනකට – වෘෂණ කෝෂ පරිත්‍යාගය).
  • ව්‍යාපාර අරමුණින් මෙය සිදු නොකලයුතුය,

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මෙම විෂය සම්බන්ධයෙන් පැහැදිලි දැනුම ඇත්තේ අල්ලාහ් (දෙවි) හමුවේ පමණි. එමනිසා මෙම විෂය තව තවත් සංවාදයට විවෘත කරමින් මෙම ලිපිය අවසන් කරන්නේ ‘මේ කාරණය සම්බන්ධයෙන් ඉහ්ලාසය නොහොත් දේව අවනතභාවය පලමු කොට සලකා තීරණයන් ගන්නට අල්ලාහ් (දෙවි) අපට ආශිර්වාද කරත්වා!,’ යන ප්‍රාර්ථනයෙනි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම