මුස්ලිම්වරුන් සමූල ඝාතන සැලැස්මක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහමට එරෙහිව ලොව පුරා එල්ල වන චෝදනාවන් කිහිපය අතුරින් මුල්තැන ගන්නේ “ඉස්ලාම් දහම ත්‍රස්ථවාදයට අනුබල දෙනවා” යන්න සහ “ලොව පුරා සිටින මුස්ලීම්වරුන් ත්‍රස්ථවාදී ක්‍රියාවල නියැලෙනවා” යන්නයි. මේ හේතුව නිසාම මෙම විෂය පිළිබඳව මීට ඉහත දී යහමඟ අඩවිය ඔස්සේ කිහිප අවස්ථාවක මෙම සමාජ දුර්මතය පැහැදිලි කරමින් කරුණු සාකච්ඡා කොට ඇත. එවැනි ලිපි කිහිපයක් නැවත ඔබගේ මතකයට ගෙන එන්නේ නම්, “ජිහාද්” පිළිබඳව ඉස්ලාමීය විමසුම, ඉස්ලාම් කඩුවෙන් පතුරුවන ලද දහමක් ද? මුස්ලීම් නොවන්නන් ඝාතනයට ඉස්ලාම් අණ කරනවා ද?… යනාදිය සඳහන් කළ හැක. මෙවැනි ලිපි මඟින් ඉස්ලාම් දහම හා මුස්ලීම් සමාජය කෙරෙහි ඇති දුර්මතය සමාජයට අවබෝධ කරදීමට කොතෙක් උත්සාහ කළ ද, ‘ඉස්ලාම් කෙසේ හෝ විවේචනය කළ යුතුයි’ යන වියරුවෙන් හා වෛරයෙන් ක්‍රියා කරන පිරිසට නම් එය “බිහිරි අලීන්ට වීනා වැයීමක්” බඳු වී ඇත. ඔවුන් ඉදිරිපත් කරන තර්ක හා චෝදනාවන් සඳහා කොතරම් පැහැදිලි කිරීමන් සිදු කළද ඔවුන්ගේ තර්කය අඛණ්ඩව සමාජ ගත කරමින් සිටින්නේ එයට එරෙහිව ඉදිරිපත් කරන වාදයන් හා තර්කයන් පිළිබඳව කිසිදු තැකීමක් ද සිදු නොකොටමය. මෙවැනි පිරිසට තවදුරටත් පැහැදිලි කිරීම හෝ පිළිතුරු ලබා දීම නිෂ්ඵල කාරණයක් බව යහමඟ මේ ආ ගමන් මඟ තුල හොදින් අවබෝධ කරගෙන සිටින කාරණයකි. එනමුත් ඉහතින් සඳහන් පාර්ශවයන්ගේ සැලසුම් සහගත කුමන්ත්‍රණයන් තුල බුද්ධිමත් ප්‍රජාව පවා නොමඟ යෑම් සිදුවන බව ඔවුන්ගේ අදහස් දැක්වීමන් තුලින් අපට දැකගන්නට ලැබේ. මේ හේතුව නිසා මෙවැනි ලිපි තවදුරටත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය පැන නැඟේ. මෙම අවශ්‍යතාවය සමාජය තුල නිර්මාණය කරදෙමින් මෙවන් ලිපි සදහා භූමිකාව සකසා දෙන ඉහත ක්‍රමන්ත්‍ණනකාරී පිරිස ම වන නිසා ඔවුන්ගේ එම මඩ ව්‍යාපාරය ද ඉස්ලාම් දහමට වෙස්වලාගත් අශිර්වාදයක් වී ඇති බව සඳහන් කරමින් මාතෘකාව වෙත යොමු වෙමි.

පසුගිය දිනක එනම් 2011/07/22 දින නෝර්වේ ඔස්ලෝ නුවර ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල වී එහි පුද්ගලයන් 97 ක් පමණ මියගිය බව සමහරක් විට ඔබ මාධ්‍යයන් තුලින් දකින්නට ඇති. මෙම සිදුවීම පිළිබඳව ඔබ උනන්දුවක් නොදැක්වූ කෙනෙකු නම් “මෙම සිදුවීම මෙහි සඳහන් කරන්නේ ඇයි ද?” යන ගැටලුව පවා ඇති වනු ඇත. මෙම සිදුවීම අප රටේ මාධ්‍යයන් තුල ද වාර්තා වුවද ඒ තුලින් බොහෝ මාධ්‍යයන් සිදු කලේ “එරික් සොල්හයින්” සමඟ පැවති පරණ කෝන්ත්‍රණය පිරිමසා ගැනීම පමණි. නමුත් මෙම සිදුවීම අවස්ථාවක් කරගත් විවිධ ජාතිවාදී හා ආගම් අන්තවාදී පිරිස් මෙය මුස්ලීම්වරුන්ට එරෙහිව නොයෙක් ආකාරයේ පිඹුරුපත් සකස් කරන්නට අවස්ථාවක් කරගෙන ඇත. එය කොතරම් පහත් තැනකට වැටී ද යයි පවසනවා නම් ඒ සඳහා ඉහත නෝර්වේ සිදුවීම පවා සාධාරණීකරණ කරමින් “අප ශිෂ්ඨසම්පන්න” යයි පවසා ගන්නා අප සමාජයේ සමහරක් පිරිස් ක්‍රියා කරන්නේ “කන්න අවශ්‍ය වූණාම කබරයත් තලගොයා” කරන න්‍යායයෙනි. ඒ කෙසේ වෙතත් ඉහත නෝර්වේ සිදුවීම තුල ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස මුස්ලිම්වරුන් සිටින බව ශ්‍රී ලාංකීය බහුතරයක් මුස්ලීම්වරු පවා නොදනිති. එනමුත් මෙම සිදුවීමේ පසුබිම තරමක් දුරකට හෝ හදුනාගත් සමහරක් සිංහල භාෂාමය බ්ලොග්ස් “ලංකාවෙන් මුස්ලීම්වරුන් තුරන් කළ යුතුයි – නෝර්වේ ඝාතකයා” යන මැයෙන් ලිපි පවා අන්තර්ජාලය තුල ඉදිරිපත් කරමින් මෙම සිදුවීමට අනවශ්‍ය ප්‍රචාරයක් ගොඩනඟමින් කථිකාවත් ඇති කරන්නට උත්සාහ කලේ මා ඉහතින් සඳහන් ඉස්ලාම් දහම කෙරෙහි වියරු වැටුණු පාර්ශවයන් සඳහා පිවිසුමක් ලබා දීම සඳහා දෝ යන්න සිතේ. කෙසේ වෙතත් මෙම ලිපියෙහි වස්තු බීජයක් වන නෝර්වේ සිදුවීම පිළිබඳව ඔබට දළ අවබෝධයක් පැවතීම අත්‍යාවශ්‍ය අංගයක් යැයි හැඟේ. එම නිසා “නෝර්වේ හි සිදුවුයේ කුමක්ද?” යන්න පිළිබඳව ප්‍රථමයෙන් කෙටි අවධානයක් යොමු කරමු.

නෝර්වේ රටේ ඔස්ලෝ නුවර 2011/07/22 දින බෝම්බයක් පුපුරුවා හැර එහි ආසන්නයේ පිහිටී තවත් දූපතකට ගොස් එහි සිටි තරුණ තරුණියන් විශාල පිරිසක් වෙඩි තබා ඝාතනය කරමින් ඇන්ඩර්ස් බ්‍රෙයිවික් නම් ඝාතකයෙකු සමස්ථ ලෝකයා හට කිසියම් පණිවුඩයක් ලබා දෙයි. “ඒ සමස්ථ ලෝකය පුරාවට ජීවත් වන සියලු මුස්ලිම්වරුන් සමූල ඝාතනයන් සිදු කොට එම ජනතාව ලොවින් තුරන් කළ යුතුයි” යන්නයි. ඒ සඳහා ඔහු කාලවතවානු පවා ඉදිරිපත් කරන අතර වසර 2083 වන විට (එනම් තව අවුරුදු 72 ක් ඇතුළත) මෙසේ සිදු කොට අවසන් කළ යුතු බවද ලෝකයාට යෝජනා කරයි. මෙම පුද්ගලයා “නයිට්ස් ටෙම්ප්ලාර්” නම් වූ රහසිගත සංවිධානයක සමාජිකයකු බවත් එය බහු සංස්කෘතික විරෝධි, මාක්ස්වාදී විරෝධි, කාත්තාවාදී විරෝධි මෙන්ම ඉස්ලාම් ආගම හා මුස්ලිම් සමාජ විරෝධි සංවිධානයක් බවත් ඔහු පිළිබඳව වාර්ථා වූ කරුණුවල සදහන් වේ. ඉස්ලාම් දහම පිළිබඳව තිබෙන වියරුව හේතු කොටගෙන වසර 9 ක් මුළුල්ලේ සැලසුම් කොට සිදු කළ එම ප්‍රහාරය තුලින් ඔහු නෝර්වේ ඇතුළු ලොව සෑම රටකටම දෙන ප්‍රධාන පණිවුඩය “මුස්ලීම්වරුන් මෙලොවින් තුරන් කළ යුතුයි” යන්නයි. එය ලොව තුල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ඔහු යෝජනා කිරීමේ දී ඒ සඳහා පදනම් කර ගන්නේ මීට වසර කිහිපයකට පෙර එලි දැක්වූ එක්තරා සිනමා පටයකි. කෙසේ වෙතත් ඔහුගේ මෙම ක්‍රියා කලාපය සාධාරණීකරණය කිරීම සඳහා ඔහු විසින් රචිත දීර්ඝ ලිපියක් අන්තර්ජලයට මුදා හැර ඇති අතර එහි ශ්‍රී ලංකාව පිළිබඳව ද සඳහන් වන බව පැවසේ. ජාත්‍යන්තරය තුල වාර්තා වන තොරතුරුවලට අනුව සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සැදුම්ලත් ඉහත සංවිධානයේ සාමාජිකයෙකු වන ඇන්ඩර්ස් බ්‍රෙයිවික් නම් වූ පුද්ගලයා තම ජාතිය නියෝජනය කරන (මුස්ලීම් නොවන) ජනතාව ඝාතනය කරමින් බොළද වූ චිත්‍රපටයක් ආදර්ශයට ගෙන ලොව විශාලතම ජන කොට්ඨාශයන් අතුරින් එකක් වන මුස්ලීම් ජනතාව වසර 72ක් ඇතුලත සමූල ඝාතනය කරන්න ලොවට යෝජනා කරන්නේ නම් එය කොතරම් මානසික විකෘතිතාවයකින්, වියරුවකින් හා උමතුවකින් කරන ලද ක්‍රියාවක්ද යන්නත්, ඒ තුලින් ලෝකයාට දෙන පණීවුඩය කොතරම් බොළඳ වූ යෝජනවාවක් ද යන්නත් සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකු හට පවා අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත.

ලොව පුරා ඉස්ලාම් දහමේ සීඝ්‍ර ව්‍යාප්ති දරාගත නොහැකි සමහරක් උමතු පුද්ගලයන් හට අද ඇන්ඩර්ස් බ්‍රෙයිවික් පුද්ගලයාගේ ක්‍රියාකලාපය ආදර්ශමත් වීර ක්‍රියාවක් බවට පත්ව ඇත. ඔහු ඔවුන් අතර වීරයෙකු වී ඇත. තම න්‍යාය පත්‍රය ඇන්ඩර්ස් බ්‍රෙයිවික් තුලින් යම්තාක් දුරකට හෝ ක්‍රියාවට නැංවීම පිළිබඳව අමන්දානන්දයට පත් වී සිටින පිරිස දෙස බලන විට එක් කාරණයක් පැහැදිලි ය. ඒ මොහු වැනි උමතුවන් බොහෝමයක් ලොව පුරා විසිරී සිටිනවා යන කාරණයයි. මෙම තත්වය මුස්ලිම්වරුන් වන අපට අලුත් කාරණයක් නොවේ. මෙවැනි උමතුවන්ට මුස්ලීම් සමාජය ගොදුරු වූ අවස්ථාවන් ඉතිහාසය පුරාවට වාර්තා වී ඇත. එහි “ඇන්ඩර්ස් බ්‍රෙයිවික්” හි ක්‍රියා කලාපය තවත් එක් සිදුවීමක් පමණි. මෙවැනි උමතු ක්‍රියාවන් තුලින් සිදු වන්නේ ඉස්ලාමීය ඉගැන්වීමන් පිළිබඳව මුස්ලීම් නොවන ප්‍රජාව විමසුම් ඇසින් බැලීමයි. ලොව තුල ඉස්ලාම් සීඝ්‍ර වර්ධනයන්ට ලක් වූ අවස්ථාවන් ඉතිහාසය පුරාවට විමසා බැලුවේ නම් ඒ සියල්ල සිදු වී ඇත්තේ මෙවැනි තීරණාත්මක අවස්ථාවලදී යන්න ඔබට අවබෝධ කරගත හැක. සරලව පවසනවා නම් ඉහත ආකාරයේ සමාජ තත්වයන් සැමවිටම ඉස්ලාම් දහමට වෙස්වලාගත් අශිර්වාදයක් වූවා මිස කිසිදු අවස්ථාවක එය ඉස්ලාම් දහමේ පසුබෑමට හේතුවක් නොවීය.

එම ජයග්‍රහණයේ නිසි පල වර්තමානයේදීත් නෙලා ගැනීමට නම් මුස්ලීම් සමාජය අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඉතා වැදගත් වේ. එහිදී මෙවැනි කුමණ්ත්‍රණකාරී ක්‍රියාදාමයන් හමුවේ කෝපය මූලික කරගෙන ක්‍රියා කිරීමන් වෙනුවට ඉවසීම ආදේශ කොටගෙන ක්‍රියා කිරීම ඉතා වැදගත් සාධකයකි. මන්ද මෙවන් අවස්ථාවල මුස්ලීම්වරුන්ගේ ආවේගය මතුකොට ඒ තුලින් “බොරදියේ මාළු බාන්න” බලා හිඳින කුමණ්ත්‍රණකාරී පිරිස් අප අවට ද සිටිය හැකි බැවිණි. මෙවැනි තීරණාත්මක අවස්ථාවල මුස්ලිම් සමාජය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඉස්ලාම් දහම තුල අනන්තවාත් ආදර්ශයන් ඇත. මීට වඩා තීරණාත්මක එවන් අවස්ථාවක් ඔබගේ මතකයට ගෙන එන්නේ නම් එදා නබිතුමාණන් හට “තායිෆ්” (නම් නගරයේ) දී දුන්නු දුක් වේදනාව හා එම අවස්ථාවේ නබිතුමාණන් කළ ප්‍රකාශය මොහොතක් සිතා බලන්න. නබිතුමාණන් හට කෘෘර ලෙස පහර දුන් එම පිරිසට එරෙහිව සටන් කිරීමට නබිතුමාණන් හමුවේ මුස්ලීම්වරුන් අවසර පැතූවිට එයට එතුමාණන් දුන් පිළිතුර මොහොතක් සිතා බලන්න “එපා ඒ පිරිස් මේ දහම පිලි නොගත්තත් ඔවුන්ගේ පරම්පරාවේ එන අනාගත පරම්පරාව මේක කවදා හෝ පිලිගනු ඇත” යන්නයි. එදා “තායිෆ්” හි නබිතුමාණන් මුහුණ පෑ තත්වයට පැහැදිලිවම අද අප මුහුණ දී නොමැත. එසේ නම් අපට ඉස්ලාම් පෙනවා දෙන ඉහත ආදර්ශය ඉවසීමෙන් යුකුව ක්‍රියා කිරීමට හොඳටම ප්‍රමාණවත් ය.. එලෙස ඉවසීමෙන් ක්‍රියා කරන ගමන් මුස්ලීම් සමාජය කෙරෙහි තවත් මුඛ්‍ය වගකීමක් ද ඇත. ඒ මෙම වර්තමාන තත්වය පිළිබඳව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න සහෝදර මුස්ලීම් නොවන ප්‍රජාවට පැහැදිලි කිරීමයි. මෙම වගකීම වර්තමාන සෑම මුස්ලීම්වරයෙකුම හොඳින් අවබෝධ කරගෙන ක්‍රියා කිරීම කාලීන අවශ්‍යතාවයක් වේ.

ඒ අනුව මෙම විෂය පිළිබඳව පහත මාතෘකාවන් ඔස්සේ දැන් විමසා බලමු. එනම්…

“ජිහාද්” හෝ ත්‍රස්ථ ක්‍රියා පිළිබඳව ඉස්ලාමීය ඉගැන්වීම කුමක්ද?

මෙහිදී මෙම මාතෘකාව ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් පදනම් කරගෙන සාකච්ඡා කළ යුතු ය. ඒ ඉස්ලාමීය මූලාශ්‍රයන් හි මේ පිළිබඳව කුමක් පැවසෙනවා ද? යන්න සහ ඊට පරස්පර වූ සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපය යන්න පිළිබඳවයි.

වර්ථමාන ලොව තුල ජිහාද් හෝ ත්‍රස්ථවාදී ක්‍රියාවන් පිළිබඳව බුද්ධිමත් විමසුමක්

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම