මුස්ලීම්වරුන් හදන්න ගොසින් බෞද්ධයන් අතපසුවීද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දිනවල අප රටේ පුවත්පත් හි උණුසුම් මාතෘකාව වී ඇත්තේ ‘අයිස්’ සහා ‘පාලි බෞද්ධ සරසවිය‘ යන්නයි. මුළු ශ්‍රී ලාංකීය ජාතියටම හෙනයක් වී තිබෙන ‘මත් උවදුර’ පිලිබදව යහමග අඩවිය අවස්ථා ගණනාවකදීම සාකච්චා කොට ඇති නිසා මෙතැනදී ඒ පිලිබදව කථා කිරීමට අදහස් නොකරමි. ‘පාලි බෞද්ධ සරසවිය’ ගැටළුව ශ්‍රි ලාංකීය මුස්ලීම්වරුන්ට වැදගත් නොවන බෞද්ධයන්ගේ අභ්‍යන්තර අර්බුදයක් නිසා ඒ ගැන මෙතෙක් කථා නොකොට සිටියෙමි. නමුත් අද දවසේ ‘ලංකාදීප’ පුවත්පතේ ‘සරසවි භික්ෂූන් සහරාන් වගේ’ යන මාතෘකාව යටතේ පලවූ ලිපියෙහි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූ පහත ප්‍රකාශය නෙත ගැටීමත් සමඟ ඉහත ‘පාලි බෞද්ධ සරසවිය’ සිද්ධිය මූලික කරගෙන කරුණු කිහිපයක් කථා කිරීමට අදහස් කරමි.

…සහරාන් කියන පුද්ගලයා රැවුල වවාගෙන තමයි මැරුණේ, ඊට පස්සේ ගොඩක් මිනිස්සු සහරාන්ලා වගේ වෙන්න පටන් ගත්තා. රැවුල වවන්න පටන් ගත්තා..
…බෞද්ධ විශ්ව විද්‍යාලය ඇතුළු සරසවි වල තිබෙන කලා පීඨ වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලේබාන්ලා වගේ…

ඉහතින් සදහන් පාලි බෞද්ධ සරසවි ගැටළුව සම්බන්ධයෙන් පුවත්පත් හි පලවූ ලිපි කියවීමේදී මා හට පෙනීගිය කාරණය නම් ‘පාලි බෞද්ධ සරසවි’ ගැටළුව බෞද්ධ සමාජයේ විද්වතුන් ඒකරාශි වී විසඳා ගතයුතු අභ්‍යාන්තර අර්බුදයක් යන්නයි. නමුත් කොහේවත් තිබෙන කාලකන්නි ‘සහ්රාන්’ කෙනෙකු සහ ආයුධ සන්නද්ධ ‘තලයිබාන්වරුන්’ ඇද දමා රැවුල ගැටළුවක් කරගනිමින් ඉහත අර්බුදයට හේතු සෙවීම මාහට ‘කැකිල්ලේ නඩු තීන්දුව’ සිහි කිරීමක් විය. මේක තමයි එදා ඉදන්ම අද දක්වාම අපේ රටේ ආගමික හා දේශපාලන නායකයින් කලේ. ඔවුන් කරන්නේ ප්‍රශ්නය නිවැරදිව හදුනාගෙන එයට පිලියම් සොයනවා වෙනුවට මේ ආකාරයට වටේ යෑම පමණි.

මේ දේශය ‘බුදුන්ගේ දේශය’, ‘පිවිතුරු බුදුදහම පවතින එකම දේශය’… යනාදී ලෙස ලෝකයා ඉදිරියේ පුරසාරම් දොඩවමින් ඔවුන් පසුගිය කාලවල සැබෑවටම කලේ කුමක්ද?. ඔවුන් කලේ බුදුදහමේ ඉගෙන්වීමන්ට එරෙහිව කටයුතු කරමින් රටේ ජාතිවාද ආගම්වාද පතුරවමින් සුළු ජාතිය විශේෂයෙන් මුස්ලීම් ජාතිය ගරහමින් ඔවුනට අකුල් හෙලීම පමණි. මෙවැනි ක්‍රියාවන් තුලින් එදා ඔවුන් ලෝකයට මේ රට ගැන ලබාදුන් පණිවුඩය කුමක්ද?. ආගම්වාදය හා ජාතිවාදය සමාජය තුල වපුරවමින් ‘සහ්රාන්ලා’ සහ ‘තලයිබාන්ලා’ වගේ මේ සමාජය තුල ක්‍රියාකලේ කවුද?. ආගම දහමෙහි ඉගෙන්වීම් එහි නියමුවන් වන ආගමික නායකයින් තුල නැති කොට එම දැහැමි හැදියාව සමාජ තුලින් අපේක්ෂා කිරීම ‘මහ කකුළුවෝ පොඩි කකුළුවන්ට කෙලින් යන්න කියාදුන්නා සේ’’ නොවේද?.

මෙතැනදී අමතක නොකලයුතු කාරණයක් ඇත. එනම්, පසුගිය කාලවල අප රටේ සමහරක් ජනප්‍රිය භික්ෂූන් වහන්සේලා බුදුදහම, බෞද්ධ සමාජය සහ බෞද්ධ අධ්‍යාපනය කෙසේ වෙතත් මුස්ලීම් පාසැල් හි ඉස්ලාම් දහම විෂය නිර්දේශය සහ ඉස්ලාම් ආගමික විදුහල් (මද්ද්‍රසා) විෂය නිර්දේශය සංශෝධනය කරන්නට නම් විවිධ කමිටු හා සංවිධාන පිහිටුවමින් හා මාධ්‍ය සාකච්චා සංදර්ශන පවත්වමින් දිවා රූ වෙහෙසෙමින් උනන්දු විය. වත්මන් ‘පාලි බෞද්ධ සරසවි’ අර්බුදය දකින විට ශ්‍රී ලාංකීය මුස්ලීම් දරුවන්ගේ ඉස්ලාම් ආගමික දැනුම ගැන උනන්දු වූ ඒ බෞද්ධ ආගමික භීක්ෂූන් වහන්සේලාට බෞද්ධ සමාජය සහ බුදුදහම රැකගැනීම අතපසු වීදෝ? යැයි සිතේ.

එහි ප්‍රථිපලය අද ‘දිට්ඨ ධම්ම වේදනිය කර්මය’ ලෙස ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය අත්විඳිමින් සිටී. බුදුදහමේ ඉගෙන්වීමන්ට අවනත නොවන හා එහි ඉගෙන්විමන්ට එරෙහි වන බෞද්ධයන් පිලිබදව හා එවැනි භික්ෂූන් වහන්සේලා පිලිබදව අද මහානායක හිමිවරුන් කණගාටුවෙන් කථා කරයි. එයට කදිම හා සමීපතම නිදසුන ඉහතින් සදහන් ‘පාලි බෞද්ධ සරසවිය’ සිද්ධියයි. මීට අමතරව අප සමාජය තුල දෛනිකව වාර්ථා වන මෙවැනි තනි තනි සහ සාමුහික සිද්ධීන් ද ඕනෑ තරම් ඇත. එය ‘බෞද්ධයින් සිදු කරනු ලබන බුදුදහමට එරෙහි ක්‍රියා’ යන මාතෘකාව යටතේ අවශ්‍ය නම්, මෙම ලිපිය යටතේ විශාල වශයෙන් උදාහර්ණ සහිතව පෙලගැසිය හැක. නමුත් එසේ කිරීම බුදුදහමට සහ දහම නිවැරදිව අනුගමනය කරන බෞද්යින්ට කරන අසාධාර්ණයක් යැයි මා සිතන නිසාත්, එවැනි ක්‍රියාවකට ඉස්ලාම් දහම තුල ඉඩ නැති නිසාත් එවැනි පහත් ක්‍රියාවකට මා යොමු නොවෙමි. නමුත් ඔබ ශ්‍රී ලාංකීය පුවත්පත් සහ සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නෙකු නම්, එවැනි උදාහර්ණ දෛනිකව ඕනෑ තරම් ඔබේ නෙත ගැටෙනවා යන්න තිත්ත වූ ඇත්තයි.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ පසුගිය කාලවල ‘රට බේගන්න ආපු අය ඉන්න රටක් නැති කරලා ගියා’, ‘ජාතිය බේරගන්න ආපු අය ජාතියම නැති කරලා ගියා’ ඒ වගේම ‘ආගම බේරගන්න ආපු අය ආගමත් නැති කරන තැනට කටයුතු කරලා ගියා’. දැන්වත් මේ සත්‍යය තේරුම් අරගෙන වත්මන් අර්බුදයට නිවැරදි විසඳුම් බුද්ධිමත්ව සොයනවා මිස අනිත් අයගේ රැවුල් ගහේ එල්ලිලා මේක විසදන්න බැරි බව තේරුම් ගතයුතුය. එම කාරණය නැවත නැවතත් අවදාරනය කරමින් මෙම ලිපිය අවසන් කරන්නේ ඉහත ‘පාලි බෞද්ධ සරසවිය’ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ වෙබ් අඩවියේ පලවූ ලිපියක් ඔබේ බුද්ධිමත් විමසුමට තබමිනි.


බෞද්ධ සරසවියේ ශිෂ්‍ය සංගම් බුඳුන් වැදීම තහනම් කරලා

හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර මුදානොගත් ප්‍රදේශ බඳු වී ඇති බවත්, මෙම විශ්ව විද්‍යාලය තුළ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කර නිදහසේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා හැකි තත්වයක් නිර්මාණය කර දෙන ලෙස තමන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කළ බවත් එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ.
මෙහි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට බුදුන් වැඳීම නයාට අඳුකොළ මෙන් බව කී මහෝපාධ්‍ය හිමියෝ භික්‍ෂූන් වහන්සේලා 350ක් පමණ සිටින නේවාසිකාගාරයේ බුදු මැදුරෙහි බුද්ධ පූජාව තැන්පත් කරන්නේ නේවාසිකාගාර පාලක ලෙස කටයුතු කරන ගිහියෙකු බව ද සඳහන් කළහ.
එහි නේවාසිකාගාරවලට නේවාසිකාගාර පාලකවරුන් තිදෙනාට මෙන්ම කිසිවකුට ඇතුළුවීමට ශිෂ්‍යයින් ඉඩනොදෙන බව කී උන්වහන්සේ එහි සිදුවන දේ ගැන තොරතුරක් හෝ ලබාගත නොහැකි තත්වයක් පවතින බව ද කීහ.
උපාධිය සම්පූර්ණ කර විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ ඇතැම් භික්‍ෂූන් වහන්සේලා පවා රැවුල් කොණ්ඩා වවාගෙන නේවාසිකාගාරවල රැඳී සිටින බවත්, ඇතැම් ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල නිවාඩු කාලවලදීත් නේවාසිකාගාරවලින් පිටව නොයන බවත් කී නෙළුවේ සුමනවංශ හිමියෝ උන්වහන්සේලාට නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස ලිඛිතව දැනුම්දීම් කළත් ඒවා පිළිනොගන්නා බව ද ප්‍රකාශ කළහ.
එමෙන්ම නේවාසිකාගාර සිසුන් රාත්‍රී 12.00 පමණ වන තුරු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ඝෝෂාකාරී ලෙස හැසිරෙන බවට අවට පදිංචිකරුවන්ගෙන් පවා තමන්ට පැමිණිලි ලැබී ඇති බවත්, එය නවත්වන්නැයි දැනුම් දුන් විට විශ්ව විද්‍යාල සංස්කෘතිය අනුව තමන්ට එසේ කළ හැකි බව පවසන බවත් උන්වහන්සේ පැවසූහ.
වල්පොල ශ්‍රී රාහුල හිමියන් වෙනම පනතක් මගින් ස්වාධීන විශ්ව විද්‍යාලයක් ලෙස මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කළේ ආරාමික පරිසරයක් තුළ භික්‍ෂු අධ්‍යාපනය ලබා දී ධර්ම දූතයන් වහන්සේලා බිහිකිරීමේ අරමුණින් වුවත් මේ වන විට එහි එවන් වටපිටාවක් නැතැයි ද මහෝපාධ්‍ය හිමියෝ සඳහන් කළහ.
තමන් මෙහි සිටින ශිෂ්‍යයන්ට බුද්ධ වන්දනාවට සහභාගී වන්නැයි දන්වා දැන්වීමක් යොමු කළ විට කුපිත වූ ශිෂ්‍යයන් පොලු මුගුරු රැගෙන පැමිණ නේවාසිකාගාර පාලක හිමියන්ගේ කාර්යාලය වටලා ‘බුදුන් වඳින්න ආවොත් බාවනවා’ යැයි පවසා තිබෙන බවත්, ඔවුන්ගෙන් එවන් හැසිරීමක් කිසිසේත් බලාපොරොත්තු නොවූ බවත් උන්වහන්සේ කීහ. එමෙන්ම එහි ඇති බෝධි අංකුරයක් ඉවත්කරන ලෙස ද ශිෂ්‍ය සංගමය තමන්ට දැනුම් දී ඇතැයි සුමනවංශ හිමියෝ සඳහන් කළහ.
එමෙන්ම මෙහි නවක වදය පවතින බවට නැගෙන චෝදනා ද සත්‍ය බව කී මහෝපාධ්‍ය හිමියෝ තමන්ට ද සිසුන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි පැවසූහ.
මෙම වසරේ දී විශ්ව විද්‍යාලයට බඳවාගත් සිසුන්ගෙන් 17 දෙනෙක් නේවාසිකාගාරවලින් ඉවත්ව වෙනත් ආරක්‍ෂිත නේවාසිකාගාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් 40 දෙනා ද නේවාසිකාගාරවල පවතින ඝෝෂාකාරී බව ගැන තමන්ට දැනුම් දී ඇති බවත් කී උන්වහන්සේ මෙම තත්වය නිසා විදෙස් සිසුන් විශ්ව විද්‍යාලයෙන් ඉවත්වයෑමේ අවදානමක් පවතින බව ද ප්‍රකාශ කළහ.
විශ්ව විද්‍යාලය තුළ හා නේවාසිකාගාරවල මෙම කටයුතු මෙහෙයවන්නේ ශිෂ්‍ය සංගමයේ රැකවරණය ලබන 50 ක 60ක පිරිසක් බවත් ඔවුන් නිසා අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් සිටින සිසුන්ගේ අධ්‍යාපනයට ද බාධා එල්ල වන බවත් සුමනවංශ හිමියෝ කීහ.
මෙම තත්වය වළක්වා විනයගරුක පරිසරයක් ඇති නොකළහොත් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අරමුණු ඉටුනොවනු ඇතැයි ද මහෝපාධ්‍ය හිමියෝ වැඩිදුරටත් කීහ.

උපුටා ගැනීම – ලංකාදීප වෙබ් අඩවිය

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම