මුස්ලීම් ඔබ විමසිල්ලෙන්ද ? – ශ්‍රී ලාංකීය දේශපාලනය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ජිනීවා හි මානව හිමිකම් කවුන්සිල‍යේ 25වන සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත යෝජනාවත්, ඊට සමඟාමීව සැලසුම් කල බස්නාහිර-දකුණ පළාත් සභා මැතිවර්ණයත් පිලිවලින් මේ (2014/ මාර්තු) මස 28 හා 29 යන දෙදින පැවැත්වීමට නියමිතය. මේ ඡන්ද විමසීම් දෙක හේතු කොටගෙන රටේ දේශපාලන වේදිකා දිනෙන් දින උණුසුම් වෙමින් ඇත. ‘යහමග’ අඩවිය ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යාපාර හමුවේ නිහඬ පිලිවෙතක් අනුගමනය කලත් වර්ථමානයේ ර‍ට තුල නිර්මාණය වෙමින් තිබෙන තත්වය කාලීන වශයෙන් කිසියම් ආකාරයක තීරණාත්මක අවස්ථාවක් වන නිසා ඒ පිලිබදව කථා කිරීම‍ට අදහස් කරමි.

දකුණේ මෙන්ම බස්නාහිර පළාතේ ද මුස්ලීම් ජනතාවගේ ඡන්දය සමස්ථ ඡන්ද ප්‍රතිපලයට කිසියම් ආකාරයක බලපෑමක් කලහැකි තත්වයක ඇත. මේ හේතුව නිසාම මුස්ලීම් ජනතාවගේ වටිනා ඡන්දය දිනා ගැනීමේ අරමුණින් නොයෙක් ආකාරයේ කුමණ්ත්‍රනයන් හා නාටකයන් සමාජය තුල දියත් වන සේයාවක් පිලිබදව සාධාර්ණ සැකයක් මතු වෙමින් ඇත. මේ හේතුව නිසා ‘මුස්ලීම් ඔබ විමසිලීමත් වන්න..!’ නම් මෙම ලිපිය තුලින් මුස්ලීම් ජනයාගේ බුද්ධිමත් අවදානයට හා විමසුමට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි.

ඊට ප්‍රථම කිවයුතු වැදගත් කාරණාවක් ඇත. එනම්, මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී විවිධ වූ පටු රාමුවන් තුල කොටු නොවී, එසේම පක්ෂ පාට කණ්ණාඩි මොහොතකට පසෙකලා බුද්ධියෙන් විමසා බලන්න. එවිට නියත වශයෙන්ම මෙහි පවසන කරුණුවලට වඩා යමක් ඔබට අවබෝධ කරගත හැකිවනු ඇත.

පටු සීමාවන් හි කොටු නොවී, එසේම පක්ෂ පාඨ කණ්ණාඩි මොහොතකට පසෙක තබා බුද්ධියෙන් විමසා බලන්න.

මා ඉහතින් සදහන් කල ආකාරයට ‘යහමඟ’ අඩවිය ශ්‍රී ලාංකීය දේශපාලනය පිලිබදව උනන්දුවෙන් කථා නොකලත්, ශ්‍රී ලාංකීය මුස්ලීම්වරයෙකු (එනම් පාලකයෙකු හෝ පුරවැසියෙකු) ලෙස, රටේ දේශපාලනය හමුවේ ක්‍රියා කලයුත්තේ කෙසේද? යන්න පිලිබදව විවිධ මාතෘකා යටතේ සාකච්චා කොට ඇත. විශේෂයෙන් රටේ පුරවැසියෙකු ලෙස මැතිවර්ණවල දී තම දායතක්වය ලබාදිය යුත්තේ කෙසේද?. තම ඡන්දය ප්‍රකාශ කිරීමේ දී සැලකිලිමත් වියයුත්තේ කවර කාරණයන් පිලිබදව ද… යනාදී කරුණු පිලිබදව දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. (එම ලිපි මෙම අඩවිය තුල ‘දේශපාලනය‘ නම් ගොනුව යටතේ ඔබට කියවීමට පුළුවන) එම ලිපි වෙත ඔබේ බුද්ධිමත් අවදානය යොමු කරන ගමන් ශුද්ධ වූ නබිවදනක් ද ඔබේ විමසුමට තබමින් අදාල මාතෘකාව වෙත දැන් යොමු වෙමි.

නබි (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී. ‘නුඹලාගේ නායකයන් අතුරින් යහපත් පිරිස වන්නේ නුඹලා ඔවුන්ට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන, ඔවුන්ට නුඹලා (යහපත)ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් (යහපත)ප්‍රාර්ථනා කරන තත්වයේ නායකයින්ය. එසේම, නුඹලාගේ නායකයින් අතුරින් නරක පිරිස වන්නේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලා ප්‍රියා නොකරන, නුඹලා ඔවුන්ට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන තත්වයේ නායකයින්ය.

මූලාශ්‍ර ග්‍රන්ථය :- මුස්ලිම්

ඉහත හදීසයේ සදහන් අවාසනාවන්ත ඉරණම මුස්ලීම් සමාජය තුල උදා නොවේවා! යන ප්‍රාර්ථනය ඇතුව ඉදිරියට යොමු වන්නේ නම්,

මේ දිනවල අප රටේ ජාතිවාදී ව්‍යාපාරවල මෙන්ම මුස්ලීම් ජනතාවගේ හා මුස්ලීම් නොවන සමහරක් ජනතාවගේ දේශපාලන මාතෘකාව තුල ‘රවුෆ් හකීම්’ නම් අධිකරණ අමාත්‍යවරයා හා රිෂාඩ් බදුර්දීන් නම් නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ප්‍රධාන මාතෘකාවක් වී ඇත. විශේෂයෙන් අප රටේ මාධ්‍යයන් මේ දිනවල රවුෆ් හකීම් මහතා හා රිෂාඩ් බදුර්දීන් මහතා වීරයන් කොට, සරල බසින් පවසනවා නම්, ‘පොරවල්’ කොට ඔහුව හොදින් අලෙවි කරමින් ඇත. මේ ක්‍රියාවලිය තුල සමහරක් මුස්ලීම් ජනතාවද ප්‍රබෝධමත් වී එයත් සරලව පවසනවා නම් ‘කික්’ වී ඔවුන් සම්බන්ධයෙන් වීර වදන් තෙපලමින් උද්ධාමයට පත්ව ඇත. එපමණක් නොව මේ අමාත්‍යවරුන් දෙපල මුස්ලීම් ජනතාව අතර ‘පොරක්’ කිරීමේ කොන්ත්‍රත්තුව මේ දිනවල බොදු බලසේනා ඥානසාර හිමි භාරගෙන ඇත. ඒ අනුව මේ දිනවල රඟදක්වන හවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් හා ඥානසාර හිමි නාඩගම තුල තවත් ‍බොහෝ පාර්ශවයන් තම අරමුණූ දිනාගැනීමට, න්‍යාය පත්‍රයන් ක්‍රියාවට නැංවීමට අවස්ථාවක් කරගෙන ඇත.

එවැනි කිහිපයක් ඔබේ විමසුමට පෙලගසන්නේ නම්,

  • ජාතිවාදී ව්‍යාපාරයන් තම ව්‍යාපාරය සාධාර්ණීකරනය කරන්නට මේ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය අවස්ථාවක් කරගෙන ඇත.
  • ජාතිවාදී දේශපාලන පක්ෂ තම දේශපාලන අරමුණු දිනාගැනීමට මේ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය අවස්ථාවක් කරගෙන ඇත.
  • රටේ විපක්ෂයද රටේ මුස්ලීම් ජනයා දිනාගැනීමට මේ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය අවස්ථාවක් කරගන්න උත්සාහ දරමින් ඇත.
  • නිදහස් සන්දානයේ සිටින සමහරක් මැති ඇමතිවරුන් මෙන්ම සුළු පක්ෂ රටේ ජනතාව ඉදිරියේ හා ජනාධිපති ඉදිරියේ ලකුණු දා ගැනීමට මේ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය අවස්ථාවක් කරගෙන ඇත.
  • මෙවැනි හේතු රාශියක් අවස්ථාවක් කරගෙන මුස්ලීම් ජනතාවගේ බුද්ධිමත් ඡන්දය සංවේදී හැඟීම්වලට වහල් කොට සූක්ෂම ලෙස දිනාගැනීමේ ව්‍යාපාරයේ මුස්ලීම් කෝංග්‍රසය හා එවැනි (මුස්ලීම්වරුන් පෙනීසිටින බව පවසන) සුළු පක්ෂ අද නියලී ඇත.

ඉහතින් මා පවසන කාරණය කොතරම් සාධාර්ණද? යන්න මා පැවසූ නිසාම ඔබ පිලිගතයුතු නැත. ඔබ මොහොතක් ඈත ඉතිහාසය දෙස නොව අප රටේ මෑත ඉතිහාසය දෙස හැරී බලන්න. විශේෂයෙන් 2014 පොදු රාජ්‍ය සමුළුවට පෙර වකවානුව හා එහි මේ රටේ මුස්ලීම් ජනයාට එරෙහිව දියත් වූ ජාතිවාදී ව්‍යාපාරයන් මොහොතක් සිහියට නඟන්න.

ඔබේ මතකයට (‘යහමග’ අඩවිය තුල සාකච්චා කල) එවැනි ජාතිවාදී ව්‍යාපාර හෙලිදරව් කිහිපයක් ගෙන එන්නේ නම්,

(මේ යටතේ මෙම අඩවිය තුල ලියවුණූ තවත් බොහෝ ලිපි කියවීමට ‘ජාතිවාදය‘ හා ‘බ්ලො‍ග් විමසුම’ යන ගොනු කියවන්න.)

ඉහතින් පෙලගසන ලද්දේ එසේම මේ අඩවිය තුල සාකච්චා කලේ අප රටේ දියත් වූ මුස්ලීම් විරෝධි ජාතිවාදී ව්‍යාපරයන්ගෙන් බිඳක් පමණි. මේ ඉස්ලාම් හා මුස්ලීම් විරෝධී ව්‍යාපරයන් තුලින් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ආගමික අයිතීන්ට බාධා කිරීම, මුස්ලීම්වරුන්ගේ දේවස්ථානවලට පහර දී විනාශ කිරීම, මුස්ලීම්වරුන්ගේ ව්‍යාපාර අසාර්ථක කිරීමට කටයුතු කිරීම, මුස්ලීම්වරුන්ගේ ව්‍යාපර ස්ථාන විනාශ කිරීමට කටයුතු කිරීම, මුස්ලීම් කාන්තාවන්ගේ ආගමික අයිතිය දැඩි ලෙස විවේචනය කිරීම හා අපහස කිරීම, ඉස්ලාම් නමින් විකෘති මතවාද සමාජගත කිරීම, ශුද්ධ වූ කුර්ආනය අපහස කිරීම, මුහම්මද් නමිතුමාණන් අපහසයට ලක්කිරීම, මුස්ලීම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවන ආකාරයට කටයුතු කිරීම, සහෝදර ජාතීන් අතර විරසකයක් කෘතිමව නිර්මාණය කිරීම… යනාදී ලෙස මේ රටේ මුස්ලීම් ජනයාට ජාතිවාදීන් කල බලපෑම සුළුපටු නොවේ. මේ රටේ සුළුතරයක් වන මුස්ලීම් ජනතාව සම්බන්ධයෙන් එදා අමු අමුවේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙද්දී මුස්ලීම් ජනතාව වෙනුවෙන් පෙනීසිටියේ කවුද?

අද වීර වදන් පවසමින් මුස්ලීම් ජනයාගේ වටිනා ඡන්දය උපක්‍රමශීලී ලෙස බිලිබාන්නට පොරකන මේ මුස්ලීම් ජනතා නියෝජිතයෝ එදා ජාතිවාදී ව්‍යාපරයන් රටේ ක්‍රියාත්මක වනවිට සිටියේ කොහිද?. ජාතිවාදී ව්‍යාපාරයන් හමුවේ මේ පිරිස එදා මුනිවත රැක සියල්ල බලා සිටී අවස්ථාවේ මුස්ලීම් ජනයාතාව ‘අප වෙනුවෙන් සාධාර්ණ හඬක් නඟන්නට කිසිවකුත් නැතිදෝ?’ යනුවෙන් අපේක්ෂා භංගත්වයෙන් බලා සිටී මොහොතේ මේ රටේ මුස්ලීම් ජනතාව වෙනුවෙන් හඬක් නැඟුවේ කවුද?

එදා ගරුතර ස්වාමිණ් වහන්සේලා වන දඹර අමිල හිමි, (මෙවර ද පළාත් සභා ‍අපේක්ෂක) බද්දේගම සමිත හිමි වැනි ස්වාමිණ් වහන්සේලා කිහිපනමක් එදා මුස්ලීම් ජනයා වෙනුවෙන් හඬ නඟද්දී මේ පුහු වීරයෝ සිටියේ කොහිද?. එසේම ගරු අමාත්‍යවරුන් වන ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, විදේශ කටයුතු අමත්‍ය ඩිලාන් පෙරේරා, උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක වැනි පිරිස් මුස්ලීම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් රටතුල හඬ නඟද්දී, මේ හේතුව නිසාම උන්වහන්සේලාගේ හා අමාත්‍යවරුන්ගේ ජාතකය පවා ජාතිවාදීන් ප්‍රශ්න කරද්දී මේ පුහු වීරයෝ සිටියේ කොහිද?

එපමණක් නොව එදා විදේශ රටවල නියෝජිතයන් අතිගරු ජනාධිපති හමුවී මේ ර‍ටේ මුස්ලීම් ජනයාගේ නිදහස තහවුරු කරන්න යනුවෙන් ඉල්ලීම් කරන විටත්, ටිබට් බෞද්ධ නායක දලයිලාමා තුමා ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ නිදහස තහවුරු කරන ලෙස ඉල්ලීම් කරන විටත් අපේ මේ පුහු වීරයන් කලේ කුමක්ද?. ජනපති හමුවීමට පැමිණි විදේශ නියෝජිතයන් හමුවේ ‘මේ රටේ මුස්ලීම් ජනතාවට කිසිදු ප්‍රශ්නයක් නැතැයි’ ප්‍රකාශ කල ‘අස්වර්ව’ සභාවෙන් බැහැර කරන ලෙස විදේශ නියෝජිතයන් ඉල්ලුම් කල අවස්ථාව මේ රටේ මුස්ලීම් ජනතාවට තවම අමතක වී නැතැයි මා සිතමි.

එදා මුස්ලීම් ජනයා නියෝජනය කරන දේශපාලන හඬක් තිබුණේ නම්, ඒ විපක්ෂයේ අසාද් සාලී, ඉම්තියාස් බාකිර් මරෙක්කාර් හා (මෙවර ද පළාත් සභා ‍අපේක්ෂක) මුජීබ් රහ්මාන් මහතා වැනි කිහිප දෙනෙකුගේ හඬ පමණි. එදා ආණ්ඩුපක්ෂයේ මුස්ලීම් ජනතා නියෝජිතයන් සියළුදෙනා තම වරප්‍රසාද, වරදාන හමුවේ ගොළුවන්, බිහිරන්, අන්ධයන් සේ සියල්ල බලා සිටියා මිස කලේ කුමක්ද?.

ඒ නිවටයන් හට අද මුස්ලීම් ජනයා නැවත මතක් වී ඇත. මේ මැතිවර්ණ සමයේ ඔවුන්ගේ මුස්ලීම් ජාතික හැඟීම් දෝර ගලමින් ඇත. මුස්ලීම් ජනතාව වෙනුවෙන් වීර වදන් පවසමින් ඔවුන් අද කරලියට පැමිණ ඇත. ඒ මෙලෙසය…

ඉහත නාඩගම තුල ‘යහමඟ’ට හැ‍‍ගෙන කාරණා කිහිපයක් මුස්ලීම් ජනයාගේ බුද්ධිමත් විමසුමට තබන්නට කැමැත්තෙමි. ඒ නිවැරදි කිරීමන්ට හා එක් කිරීමන්ට යටත්වය. එනම්,

  • කාලයක් මුළුල්ලේ අසාර්ථක ව්‍යාපාර ගණනාවක නිරත වූ බොදු බල සේනාව ‘රවුෆ් හකීම්’ හා රිෂාඩ් බදුර්දීන් නම් පුහු වීරයන්ගේ කරපිට නැඟී මේ මැතිවර්ණ සමයේ නොවටින මාතෘකාවක් ගෙන කරලියට එන්නේ සූක්ෂම හා සංවිධානාත්මක සැලැස්මකට අනුව නොවේද?.
  • මුස්ලීම් ජනතාව වෙනුවෙන් තම හඬ අවදි කලයුතු හා ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් අරඟල කලයුතු අවස්ථාවන් මඟහැර ‘රවුෆ් හකීම්’ මහතා දැන් මැතිවර්ණයක් අභියස වීර වදන් පවසන්නේ යටි අරමුණක් ඇතුව නොවේද?.
  • කොළඹ මුස්ලම් ජනතාවගේ (විපත්ෂ) ඡන්ද බලය දියකර හැරීමට ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන ‘රවුෆ් හකීම්’ හා ‘රිෂාඩ් බදුර්දීන්’ වෙනම පක්ෂ දෙකක් ඉදිරිපත් කිරීම මේ කුමණ්ත්‍රනයේ තවත් පියවරක් යන්න මනාව ඔප්පු වනවා නොවේද?.
  • ආණ්ඩුව හා ‘රවුෆ් හකීම්’ අතර තිබෙන මේ නාඩගම තුල මුලාවන මුස්ලීම් ජනයා සංවේදී වී ආණ්ඩුවට එරෙහි වන බව සිතා තම (අති බහුතර එ.ජා.ප) ඡන්ද ආණ්ඩු විරෝධි රවුෆ් හකීම් නායකත්වය දෙන ‘මුස්ලීම් කෝංග්‍රස්’ පක්ෂයට ලබාදීමට ඉදිරිපත් වීම තුල විපක්ෂයේ ජයග්‍රහණය දුර්වල කිරීමක් සිදු වනවා නොවේද?
  • අවසානයේ කවදාවත් විපක්ෂයේ නොරුදෙන දැනටත් ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙන ‘මුස්ලීම් කෝංග්‍රස්’ තම ‘කුට්ටිය’ තවත් වැඩි කරගෙන ආණ්ඩුවට එකතු වනවා නොවේද?.
  • අවසානයේ මුස්ලීම් ජනයාට ඉතිරි වන්නේ මුලාව හා පසුතැවීම පමණක් නොවේද?

මේ ලිපිය මේ දක්වා කියවපු ඔබට මේ ඉහත කරුණූ දැක්වීම මනක්කල්පිතයක් පමණක් යයි විටෙක සිතෙන්නට පුළුවන. නමුත් ‘මුස්ලීම් කෝංග්‍රස්’ පක්ෂය ඉතිහාසය පුරාවටම ඔප්පුකොට පෙන්වා ඇති පරම සත්‍යද එයම පමණක් බව ඔබ මෙහි අමතක කලයුතු නැත. එපමණක් නොව මේ දිනවල රිෂාඩ් බදුර්දීන් වායකත්වය යටතේ ‍’මොණරා’ ලාංඡනයෙන් කොළඹ ඉදිරිපත් වන ‘සමස්ථ ලංකා මහජන කෝංග්‍රසය’ ඉතිහාසය පුරාවට මේ රටේ මුස්ලීම් ජනතාවගේ ගැටළුවල දී මැදිහත් වූයේ කවදාද?. නමුත් ඔහුගේ පක්ෂය මෙවර පළාත් ඡන්දයට ඉදිරිපත් කල අත්පත්‍රිකාවට අනුව නම් මුස්ලීම් ජනතාවට බොහෝ සේවයන් කොට ඇත. (එය පහතින් ඉදිරිපත් කරන අතර ඒ මත click කර විශාල ‍කොට කියවන්න) එම අත්පත්‍රිකාව කියවන ඔබ පසුගිය දිනවල රටේ ක්‍රියාත්මක වූ (දැනට තාවකාලිකව නතර වී ඇති) ජාතිවාදය හමුවේ ඔහු කලා යයි පවසන මැදිහත්වීම සමඟ මේ රටේ ඉහතින් නම් සදහන් ස්වාමිණ්වහන්සේලා කල මෙහෙවර හා මැදිහත්වීම මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. එවිට මෙහි මා පවසන කාරණය තවදුරටත් ඔබ‍ට පැහැදිලි වනු ඇත.

ර‍ජයේ අමාත්‍යවරුන් ලෙස හිඳ තම කුට්ටිය තවත් තර කරගැනීමේ අරමුණින් හා රජයේ දේශපාලන අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් එනම් කොළඹ මුස්ලීම් ජනතාවගේ ඡන්ද බලය දියකර හැරීමේ අරමුණින් ඉහත කුමණ්ත්‍රනකාරී නාඩගම දියත් වී ඇත. මේ පිලිබදව මුස්ලීම් ජනතාව බුද්ධිමත් වියයුතුය.

අවසාන වශයෙන් මෙතැනදී මුස්ලීම් ජනතාවගේ බුද්ධිමත් අවදානය පිණිස පැවසිය යුතු වැදගත් කාරණා කිහිපයක් ඇත. එනම්,

  • මෙතෙක් මා කථාකල කරුණු තුල පක්ෂ පාට මතවාදයක් ඔබ අවබෝධ කරගතයුතු නැත. මා මෙහි අවධාරණය කරන්නේ, ඉහතින් මා අණාවර්ණය කරන එම නාඩගම් ඔබ 2014/03/29 දින ඡන්දය ප්‍රකාශ කිරීමේ දී කිසිසේත් පදනම් කරගත යුතු නැත යන්නයි.
  • ඉහත ලිපිය තුලින් කිසියම් පක්ෂයකට ඡන්දය ලබාදෙන ලෙසත් තවත් පක්ෂයකට ඡන්දය ලබා‍ නොදෙන ලෙසත් අදහස් කිරීමක් ඇත්නම් එවැනි අදහස් කිරීමක් මා කිසිවිටෙක අදහස් නොකරන නිසා එවැනි අදහසක් ඉදිරිපත් වීම පිලිබදව සමාව අයද සිටින්නේ නිවරුදි කිරීමකට ද යටත්වය.
  • එනමුත් ජනතාව මුලාකොට හා කුමණ්ත්‍රනකාරී ලෙස ජන්ද ව්‍යාපාරයන් හි නියලෙන පිරිස මුස්ලීම් ජනතාව ප්‍රතික්ෂේප කලයුතු බව නම් මේ ලිපිය තුලින් අවදාරණය කරමි.
  • එපමණක් නොව ‘මුස්ලීම් කෝංග්‍රස්’ යන නම තුල ‘මුස්ලීම්’ යන වදන තිබෙන නිසා මෙම පක්ෂය ඉස්ලාම් දහමත් මුස්ලීම් සමාජයත් ආරක්ෂා කරන ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් යයි ඔබ වැරදි අවබෝධයක් ඇති කරගත යුතු නැත.
  • එහි වත්මන් නායකයාගේ ක්‍රියා කලාපයන් 100% ඉස්ලාමීය ඉගෙන්වීමට අනුකූල ක්‍රමවේදයන් යනුවෙන් ඔබ වැරදි අවබෝධයක් ඇති කරගත යුතු ද නැත.
  • මුස්ලීම් ජනතාව තම වටින ඡන්දය භාවිතා කිරීමේ දී එය දේශපාලන ප්‍රතිපත්තිය හා එය ක්‍රියාවට නැංවීමේ හැකියාව මත පදනම් ව තීන්දු කරනවා මිස පුද්ගල භාහිර ස්වරූපය, ඔවුන්ගේ කථා ශෛල්‍ය, සංවේදී වදන්, වීර වදන්, ජාතිය, ආගම, කුලය පුද්ගල ලාභ ප්‍රයෝජන, පාරම්පරික තීන්දු තීරණ… යනාදී පටු කාරණාවල හිඳ තීන්දු කලහැකි කාරණයක් නොවේ.
  • එසේම රුල්ලට ඡන්දේ දෙන මුස්ලීම් ජනයා පාරම්පරික පක්ෂ පාට දේශපාලනවලින් බැහැරව එසේම අවස්ථාවාදී දේශපාලනවලින් බැහැරව බුද්ධිමත් තීන්දු තීරණවලට එළඹිය යුතු නොවේද?.

එම කාරණයන් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපිය අවසන් කරන්නේ මෙහි සාකච්චා කල කරුණු හා ඔබේ විමසුමට තබන ලද අදහස් රටේ පටු දේශපාලන රාමුවලට ලඝු නොවේවා!, යනුවෙන් ද, තම වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී පටු සීමාවන් තුල කොටු නොවී පුළුල් ලෙස හා බුද්ධිමත් ලෙස විමසා රටේ ගමන් මඟ යහපත් ඉසව්වක් කරා මෙහෙයවීමට තම චන්දය ලබාදීමට නුවණැස පෑදේවා ! යනුවෙන් ද ප්‍රාර්ථනා එක් කරමිනි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම