මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද ‘යහමග‘ අඩවිය තුලින් සාකච්චා කිරීමට යන්නේ කාලීන වශයෙන් මුස්ලීම් සමාජයට ඉතා වැදගත් වූ මාතෘකාවක් පිලිබදවයි. ඒ මීට වසර 1400 කට පෙර මිහිමත ස්ථාපනය වූ ‘මුස්ලීම් උම්මාවට‘ අද අත්ව ඇති ඉරණම කුමක්ද? යන්න පිලිබදවයි. එදා අවනීතිය හා අමනුෂ්‍යත්වය පමණක්ම රජකල නොදියුණු සමාජයක් මුහම්මද් (සල්) නම් වක්තෘවරයෙකු හට ඉස්ලාම් දහම ප්‍රචාරය කරන්නට සිදුවිය. එසේ විකෘති වූ මිලෙඡ්ච සමාජයක් හමුවේ මුහම්මද් (සල්) තුමාණන් දහම් ප්‍රචාරය කරන විට එතෙක් විකෘති වී සීසීකඩව පැවති සමාජය ‘උම්මතන් වාහිදා’ නම් ඒකීය සමාජයක් ලෙස පරිවර්තනය විය. වෛරය, වියරුව, පලිගැනීම වැනි දුර්මතවලින් මිදී ඔවුන් අතර සහෝදරත්වය, ආදරය, සෙනෙහස ගොඩනැඟුණි. ඔවුන් අතර සිදුවූ එම පරිවර්ථනය අදටත් ලෝකයා විශ්ම කරවන්නකි. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට පහත විද්වත් ප්‍රකාශය මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. එනම්,

තොල්ස්තොයි මෙසේ පවසයි – “ලේ පිපාසිත දර දඩු ජන කොට්ටාශයක් ඔවුන්ගේ නපුරු චාරිත්‍රවලින් මුදවා ලෝකයේ දියුණුම සමාජයක් බවට පත්කල ජයග්‍රහණයට වඩා වෙනත් හේතුවක් මුහම්මද් තුමාගේ කීර්තියට අවශ්‍ය නොවේ. එතුමාගේ ව්‍යවස්ථා හා අනපනත් එහි බුද්ධිගෝචර ස්වභාවය සමගින් ලොවේ අධිකාරිය බවට පත්වනු ඇත.”

ලේ පිපාසිත දර දඩු ජන කොට්ටාශයක් ඔවුන්ගේ නපුරු චාරිත්‍රවලින් මුදවා ලෝකයේ දියුණුම සමාජයක් බවට පත්කල ජයග්‍රහණයට වඩා වෙනත් හේතුවක් මුහම්මද් තුමාගේ කීර්තියට අවශ්‍ය නොවේ.

අඳුරේ පැවතී සමාජයක් යහමග ට

අඳුරු යුගයක ජීවත් වූ ඒ ජන සමාජය ලොව අසමසම ජාතියක් ලෙස එදා ගොඩනැඟුණේ ඉස්ලාම් දහම ඔවුන්ගේ හඳවත් තුල සහෝදරත්වයේ හැඟීම දහමේ මූලික අංගයක් ලෙස පරිපූර්ණ කල නිසාය. ඒ සදහා සරල නිදසුනක් ලෙස ‘හිජ්රත්’ (ඉස්ලාම් විරෝධින්ගේ කුමණ්ත්‍රන හමුවේ තම දිවි බේරාගැනීමට උපන් බිම වන ‘මක්කා’ව අතහැර ‘මදීනා’වට මුස්ලීම්වරුන් සරණාගතයින් ලෙස) ගිය අවස්ථාවත් එහිදී මදීනාවාසීන්ගේ සහෝදරත්වයේ දෑත් දිගු වූ ආකාරයත් සදහන් කලහැක. එදා එකීය සමාජයක් ලෙස ඒකදේව සංකල්පය යටතේ එකම අරමුණක් ඔස්සේ පෙලගැසුණු සමාජය අද ඒ දිව්‍යමය දහම මූලික කරගෙන භේදබින්න වී විරසකයන් ගොඩනඟාගෙන එකින් එකාහට කාෆීර්, මුෂ්රික්, මුනාෆික්, මුර්තද්… යනාදී ලෙස චෝදනා නඟන තත්වයට‍ පත්ව සිටීම අවාසනාවන්ත තත්වයක් මෙන්ම ඛේදවාචකයකි. මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසුවිවිධ අවස්ථාවල මුස්ලීම් සමාජයේ විවිධ වූ මතවාද මතගැටුම් කලින් කලට පැවතුණත් වර්තමානයේ එහි සීඝ්‍ර වර්ධනයක් මෙන්ම දැඩි මතවාදී ස්වභාවයක් දක්නට ඇත. ජාත්‍යන්තරයේ පමණක් නොව අප රට තුල ද මෙම තත්වයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට තිබෙන නිසා ඒ පිලිබදව ඉස්ලාමීය දෘෂ්ඨියෙන් විමසා බැලීම කාලීන අවශ්‍යතාවයක් ද වී ඇත.

මුස්ලීම් සමාජය බෙදීම් ඇතිවීම

ඉහතින් මා සදහන් කල තත්වය කිසිසේත් සුළුකොට තැකිය හැකි තත්වයක් නොවේ. ඉස්ලාම් දහමට පරිභාහිරව හිඳ ඉස්ලාම් දහමටත්, මුස්ලීම් සමාජයටත් වින කරන පිරිස් මෙන් නොව මුස්ලීම්වරුන් ලෙස පෙනීසිට ඉස්ලාමයටත්, මුස්ලීම්වරුන්ටත් වින කිරීම ඉතා භයානක තත්වයකි. එහිද දහමේ සැබෑ ආරක්ෂකයන්, නියමුවත්, මඟපෙන්වන්නන් හෝ විද්වතුන් ලෙස සමාජයේ පෙනීසිට දහමටත්, මුස්ලීම් සමාජයටත් කරන හානීය ඉතා ප්‍රබලය. මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවය පසු මුස්ලීම් සමාජය තුල නිර්මාණය වූ ආගමික නිකායන් හා කල්ලිවාදයන් පිලිබදව සාමාන්‍ය ජනයාට පවා කිසියම් දැනුමක් අවබෝධයක් ඇත. මුස්ලීම් සමාජය තුල ක්‍රියාත්මක එවැනි නිකායන් හා කල්ලීන් සියගණනින් පෙලගැසීමට ද හැක.මේවා කිහිපයක් පිලිබදව ‘යහමග’ අඩවිය මීට ඉහත අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ද ඇත.

නිදසුන් දෙකක් පවසනවා නම්,

මේ ආකාරයට ශුද්ධ වූ ඉස්ලාම් දහම විකෘති කරමින් කලින් කලට සමාජගත වූ ඊනියා ආගමික නිකායන් හා කල්ලීන් පිලිබදව මීට ඉහත ද විවිධ මාතෘකා ඔස්සේ මෙම අඩවිය තුල කරුණූ සාකච්චා කොට ඇත. නිදසුනක් ලෙස ‘ආගමේ නාමයෙන් බෙදීයන මිනිස්සු‘ යන මාතෘකාව යටතේ සාකච්චා කල ලිපි පෙල සදහන් කල හැක. නමුත් මෑත කාලයේ ඉතා භයානක ප්‍රතිපත්ති මා මතවාද රාශියක් පෙරදැරි කරගෙන මුස්ලීම් සමාජය හමුවේ කරලියට පැමිණ සිටින ‘ආගමික නූතනවාදීන්‘ ගණනාවක් පිලිබදව නැවත ‘යහමග‘ අඩවිය තුල කථා කිරීම දැඩි අවශ්‍යතාවයක් වී ඇත. ඉහතින් සදහන් නිකායවාදීන් හෝ කල්ලිවාදීන් මෙන් නොව මේ ‘නූතන කල්ලිවාදීන්‘ තම මතවාද හා තර්ක සාධාර්ණීකරණය කිරීම සදහා යෝදාගන්නා ක්‍රම ඉතා උපක්‍රමශීලිය. තමන් අද ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය හමුවේ ශුද්ධ වූ දහම දේශනා කරන බවත්, අද ‘අප පමණයි පිරිසිදු දහමට උරුමකම් කියන්නේ‘ බවත් පවසමින් මුස්ලීම් සමාජය භේදබින්න කරමින් හා ශුද්ධ වූ ඉගෙන්වීමන් වන ඉස්ලාමීය මූලාශ්‍රයන් (වන ශුද්ධ වූ කුර්ආනය හා හදීසයන්) හි වලංගුභාවය ප්‍රශ්නාර්ථයක් කරමින් ඊනියා ආගමික ව්‍යාපාරයක මොවුන් නියලී සිටිති. පිරිසිදු දහම ජනයාට දේශනා කරනවාට වඩා ඔලුගෙඩි රුස්කිරීමේ ව්‍යාපාරයේ නියලී සිටින, ඒ සදහා ම පහත් අන්දමේ න්‍යායපත්‍රයන් තුල කටයුතු කරන මේ ඊනියා ඉස්ලාම් සංවිධානයන් පිලිබදවත්, ඔවුන්ගේ මතවාදයේ වලංගු අවලංගුතාවය කොතරම්ද? යන්න පිලිබදවත් මුස්ලීම් සමාජයට අවබෝධයක් ලබාදීම පිණිසත්, එසේම මෙවැනි විකෘති සංවිධානයට හෝ එවැනි මතවාදයට අනුබල දෙන පිරිසගේ දැනගැනීම පිණිසත් මේ ඊනියා සංවිධානවල මතවාද, ප්‍රතිපත්ති, හා ක්‍රියාකලාපයන් කොතරම් සාධාර්ණද?, එය ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හා කොතරම් දුරකට ගැලපෙනවාද?… යනාදී කරුණු මූලික කරගෙන මේ ඊනියා සංවිධාන හා කල්ලිවල මූලික ලක්ෂණ පිලිබදව වඩාත් සරලව හා අනුමාතෘකා ගණනාවක් ඔස්සේ මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් කරමි. එනම්,

  •  දහම් ප්‍රචාරය නමින් පුද්ගල විවේචනයේ යෙදීසිටීම,
  •  ජනතා ආකර්ශනය තම වලංගුභාවයට සහතිකයක් කරගෙන සිටීම,
  • කලින් කලට අරමුණූ ප්‍රතිපත්ති හා ස්ථාවර වෙසන් වීම,
  •  ජනප්‍රිය විද්වතුන් තමා වටා සිටීම පුරසාරම් දෙඩවීම,
  •  තමන් විදේශ ආධාර ලබා නොගන්නා බව සහතික වීම,
  •  තම සංවිධානය වටා ජනයා ඒකරාශි වීම අනිවාර්‍ය බවට ප්‍රචාරණයන් සිදුකිරීම,
  •  තම ප්‍රතිපත්ති නොපිලිගන්නා පිරිස් කාෆිර්, මුෂ්රික්, මුර්තද්… යනාදී ලෙස තීන්දුදීම,
  •  ඉස්ලාමීය ශුද්ධ වූ මූලාශ්‍ර සම්බන්ධයෙන් දෙබිඩි පිලිවෙතක් අනුගමනය කිරීම,

ඉහතින් මා පෙලගසා ඇත්තේ අද අප රට තුල ක්‍රියාත්මක ඊනියා ආගමික කල්ලිවාදීන් තම ව්‍යාපාරය සාධාර්ණීකරනය කිරීම සදහා මුස්ලීම් ජනයා හමුවේ තබන ජනප්‍රිය මතවාද කිහිපයකි. මේවා එකින් එක මෙතැන් සිට විමසා බලමු.

පුද්ගල විවේචන හා අපහස

ඉහතින් හැදින් වූ ඊනියා ආගමික කල්ලීන් අතුරින් එක්තරා ජනප්‍රිය ඊනියා ආගමික කල්ලියක් පිලිබදව අප රටේ ප්‍රසිද්ධ ආගමික දේශකයෙකු දැක්වූ හැදින්වීමකින් මෙම විෂය පිලිබදව වූ සාකච්චාව අරඹන්නේ නම්, එය මෙසේය.

…ඔබට ‘තව්බා’ (තමන් කල වැරදි වෙනුවෙන් අල්ලාහ් (දෙවි) හමුවේ පාපොච්චාරණය) කිරීමට අවශ්‍ය නම්, ‍ඔබේ විසින් දැන හෝ නොදැන මෙතෙක් කල වැරදි පෙලගැසීමට ඔබ වෙහෙසිය යුතු නැත. ඔබ කලයුතු වන්නේ ‘——-‘ යන සංවිධානයට (මා එම ඊනියා ආගමික කල්ලියේ නම මෙහි සදහන් නොකරමි) ඔබේ නම ලබාදීම පමණි. එවි‍ට ඔවුන් ඔබ උපන්දා පටන් කල සියළු වැරදි අන්තර්ජාලයේ පෙලගසනු ඇත. ඉන්පසු ඔබ කලයුතු වන්නේ ඒ පෙලගැසීම අනුව අල්ලාහ් (දෙවි)ගෙන් තව්බාව හෙවත් පාපොච්චාරණය කිරීම පමණි…

ඉහත ප්‍රකාශය තරමක් හාස්‍ය උපදවන්නක් වුවත් මා මෙම ලිපියට වස්තු බීජය කොට ඇති කල්ලීන් අතුරින් එක්තරා කල්ලියක ප්‍රධාන ලක්ෂණය මෙම ගුණාංගයයි. එනම්, පුද්ගල විවේචන හා මඩ ව්‍යාපාරයන් හි දැඩිව නිරතවීමයි. අප රටතුල මොවුන් හදුනාගැනීම එතරම් දුෂ්කර නැත. මොවුන්ගේ දේශන පුරාවට තිබෙන්නේ පුද්ගල විවේචන පමණි. තමන් ශුද්ධ වූ කුර්ආනය හා හදීසය පමණක් අනුගමනය කරන ශ්‍රී ලංකාවේ එකම ‘තව්හීද්’ සංවිධානය බව නිරන්තරයෙන් ප්‍රකාශ කරන, යහපත් දහම් මෙහෙවරක නිරත වන බවට තමන්ව හදුන්වන මොවුන්ගේ දේශන හොදින් සවන් දුන්නේ නම් ඒ තුල සමකාලීන පුද්ගල විවේචන, අපහස, නින්දා… කිරීම සුලභව දැකිය හැක. පසුගිය දිනක (2014/02/16) ඔවුන්ගේ දේශනයකට සහභාගි වූ මා මේ දුර්වලතාවය එනම්, ‘තමන් ඉතා පහත් අන්දමින් විවේචනය කරන පුද්ගලයන් මේ ස්ථානයේ නොමැති නිසා එවැනි විවේචන සාධාර්ණ නොවන බවත්, එය යහපත් කථිකයෙකුට නොසුදුසු දෙයක් බවත් පැවසූ විට (අවේශ වූ ස්වභාවයෙන්) එයට ඔහුගේ ප්‍රතිචාරය වුයේ පහත ආකාරයටය.

‘එතකොට මුහම්මද් (සල්)තුමා, අබූබක්කර (රලි) තුමා, අබූ ජහ්ල්, අබූලහබ්… යනාදී පිරිස ගැන කථා කරන්නත් බැහැ නේ?, ඒ අයත් මෙතැන නැහැනේ…’

බැලූ බැල්මට සාධාර්ණ හා බුද්ධිමත් තර්කයක් ලෙස ඉහත තර්කය පෙනුනත්බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ඒ තුල පෙනීයන්නේ ඉහත ඊනියා කල්ලියේ දහම් ප්‍රචාරයේ ක්‍රමවේදය කුමක්ද? යන්න හා ඔවුන්ගේ ආගමික මෙහෙවර තුල පුද්ගල වියරුව කොතරම්ද? යන්න පමණි. දිව්‍යමය වදන් ලෙස පැහැදිලිව ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය ලෙසත්, හදීස් ලෙසත් ආරම්භයේ පටන් ලේඛනගතව ඇති කරුණු ජනයාට පැවසීමත් සමකාලීනව ජීවත් වන පුද්ගලයෙකු ඔහු නොමැති තැනක විවේචනය කිරීමත් එකසේ සමාන කිරීම කොතරම් සාධාර්ණද? යන්න මා මෙහි විග්‍රහ කිරීමට අවශ්‍ය ‍නොවේ යයි සිතමි. කෙසේ වෙතත් තමන් ශුද්ධ වූ කුර්ආනය හා හදීසය පමණක් අනුගමනය කරන බව නිරන්තරයෙන් පවසා ගන්නා ඒ පිරිසගේ අවදානයට ශුද්ධ වූ නබිවදන් දෙකක් ඉදිරිපත් කරන්නට අදහස් කරමි. එනම්,

වරක් නබිතුමාණන් තමඅනුගාමිකයන් (සහාභාවරන්)ගෙන් ‘(ඕපාදූප හෙවත්)කේලම් පැවසීම යනු කුමක්ද? යන්න නුඹලාදන්නෙහිද?’ යනුවෙන් විමසා අනතුරුව මෙසේ එනම්, ‘නුඔගේ සහෝදරයා (නුඹ කථා කරන දෑඅතුරින්) කවරක් පිලිකුල් කරයිද?. එය ඔහු නොමැති අවස්ථාවක පැවසීම’ යනුවෙන් පවසනලදී. එයට (අනුගාමික) සහාභිවරයෙකු ‘අප පවසන කාරණය ඔහු තුල පැවතුනත්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඔබ පවසන කාරණය ඔහු තුල පැවතුණු නිසාමය එය කේලමක් වන්නේ (එසේ නොවේ නම් එය මුසාවක්)” යනුවෙන් පවසන ලදී.’
මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්
‘කේලම් පවසන පිරිස් (මරණින් මතු උදාවන) විනිශ්චය දිනයේ දී ඉතා දැඩිව දඬුවම් ලබනු ඇත. තම අතින්මතමාව දඬුවම් කරගනු ඇත.’ යනුවෙන් නබිතුමාණන් පවසන ලදී. (තවදුරටත් එතුමාණන්පැවසීමේ දී) ‘(දෙවියන් හමුවට ගිය ගමන) ‘මිහ්රාජ්’හිදී මා එක්තරාපිරිසක් පසුකර ගියෙමි. එම පිරිසට උල්නිය තිබුණි ඒ නියවලින් ඔවුන් තම මුහුණහා පපුව තුවාල කරමින් සිටියේය.’ එය දුටු මා ((දේවදූත) ජිබ්රීල් (අලෛ) ගෙන්) ‘ජිබ්රීල් අර පිරිස කවුරුන්ද?’ යනුවෙන් විමසුවෙමි. එයට ජිබ්රීල් ‘ඒ පිරිස්මනුෂ්‍යන්ගේ මාංශ අනුභව කල (කේලම් පැවසූ) පිරිස් එනම් මනුෂ්‍යන්ගේ ගෞරවයටඅතතැබූ පිරිස්’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්

අද අප රටේ ක්‍රියාත්මක සමහරක් ජාතිවාදී ව්‍යාපාරයන් මෙන් කේලම් හා බොරුවෙන් සියල්ල දිනාගැනීමට ඉහත සංවිධානය ද අදහස් කරන්නේ නම් ඒ පිරිස මෙම අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල ‘හොද නරක දෙකටම කටය‘ යන ලිපිය මෙන්ම ඉහත ශුද්ධ වූ නබිවදන් දෙක ද බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇත. නමුත් තමන්ගේ මතවාදයට හරස් වන සියළු ‘හදීස්’ එලෙස හරස්වීම පමණක්ම පදනම් කරගෙන ප්‍රතික්ෂේප කලයුතු හදීස් බවට ප්‍රකාශ නිකුත් කරන ඉහත කල්ලීන්ට මෙහි සදහන් හදීසයන් දෙක ද කොතරම් දුරකට වලංගුවේද? යන්න සැක සහිතය.

ඔබ පවසන කාරණය ඔහු තුල පැවතුණු නිසාමය එය කේලමක් වන්නේ (එසේ නොවේ නම් එය මුසාවක්)” යනුවෙන් පවසන ලදී.’

කෙසේ වෙතත් මෙවැනි ඊනියා මෙන්ම වියරුවාදී ආගමික කල්ලීන් පිලිබදව මුස්ලීම් සමාජය අවබෝධයෙන් පසුවිය යුතුයි යන රතු එලිය දල්වමින් ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය‘ යන ලිපියෙහි තවත් කොටසක් වන ‘ජනතා ආකර්ශනය හිමිවීම තමන් කරන ක්‍රියාවේ වලංගුභාවයට සහතිකයක්ද?‘ යන මාතෘකාවට දැන්ත යොමු වෙමු.

ජනතා ආකර්ශනය හිමිවීම තමන් කරන ක්‍රියාවේ වලංගුභාවයට සහතිකයක්ද?

මෙහිදී ඉහත අනුමාතෘකාවට යොමුවීමට ප්‍රථම සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් අද ජාත්‍යන්තරය සැලකුවත්, වර්ථාමාන ශ්‍රී ලාංකීය සමාජය සැලකුවත් ඒ තුල ක්‍රියාත්මක ඉස්ලාම් ආගමික සංවිධාන, එහි නියමුවන් ලෙස කටයුතු කරන විද්වතුන් හා ඔවුන්ගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ බහුතරයකට ඇත්තේ දැඩි කලකිරීමක් හා නොසතුටකි. (මේ පිලිබදව ද ‘යහමග’ අඩවිය ‘මුස්ලීම් සමාජයේ බෙදීම්‘ යන ලිපිය තුලින් මීට ඉහත දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත) මෙවැනි අවස්ථා‍වල තම ස්ථාවරය දරණ පිරිස නොඑසේ නම්, ඉහත පිරිසට එරෙහිව ක්‍රියා කරන පිරිස් වටා ජනයා ඒකරාශී වීම මනුෂ්‍ය ස්වභාවයකි. (එය අද අප රටේ දේශපාලන ව්‍යාපාරය තුල සරලව දකින කාරණයකි. එනම් කිසිදු දේශපාලන පසුබිමක් නොමැති පිරිස් අද දේශපාලන ව්‍යාපාරය තුල ඉහල ජනවරම් දිනාගැනීම එහි ප්‍රතිපලයයි.) ඒ අනුව පසුගිය කාලවල අප රටේ සමහරක් ඉස්ලාම් ආගමික සංවිධාන හා එහි නියමුවන් ඉස්ලාමීය රාමුවෙන් පිට තම පටු න්‍යාය පත්‍රයන් තුල දිගින් දිගටම කටයුතු කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔවුන්ගේ සැබෑ ස්වරූපය ජනයාට එලි කරන විකල්ප බලවේගයක් සම්බන්ධ ජනතා පැතුම සමාජය තුල නිර්මාණය වන්නට විය. එවැනි අවස්ථාවක ආකර්ශණීය බෝඩ් ලෑලි හා තේමාපාඨ පෙරදැරි කරගෙන එසේම ජනප්‍රිය හා ජනතා ආකර්ශනය ඇති විද්වතුන් මූල් කරගෙන ජනතාව ඉදිරියට පැමිණෙන සංවිධානවලට ජනතා ආකර්ශනය හිමිවන්නට විය. මෙම තත්වය සූක්ෂම ලෙස හදුනාගත් සමහරක් ඊනියා ඉස්ලාමීය කල්ලීන්ද මෙය අවස්ථාවක් කරගෙන විවිධ වූ ආකර්ශණීය ප්‍රතිපත්තීන් ජනතාව ඉදිරියේ තබමින් නව ජවයකින් සමාජගත වන්නට විය. .

මේ අනුව අද කිසියම් ආගමික සංවිධානයක් වටා ජනතාව ඒකාරාශී වීම ප්‍රධාන හේතු 03 ක් ඔස්සේ සිදුවන බව සාරාංශ කොට මෙහි පැවසිය හැක. එනම්,

  •  වගකිවයුතු පාර්ශවයන්ගේ ක්‍රියාකලාපයන් පිලිබදව තිබෙන නොසතුට හා කලකීරීම,
  •  කිසියම් සංවිධානයක ප්‍රතිපත්ති, ක්‍රියාකලාප හා එම සංවිධානය වටා සිටින විද්වතුන් කෙරෙහි තිබෙන විශ්වාසය හා ආකර්ශනය,
  •  එම සංවිධානයේ ප්‍රතිපත්ති හා ඉගෙන්වීමන් හොදින් අධ්‍යනය කොට ලබාගත් අවබෝධය,

ඉහත අවස්ථා 03 සැලකූවිට එහි අති බහුතරය අයත් වන්නේ ඉහත පලමු හා දෙවන ගොනුවලටය. වෙනත් අකාරයකට පවසනවා නම්, කිසියම් මතවාදයක් ප්‍රතිපත්තියක් අවබෝධයෙන් යුතුව පිලිගැනෙන පිරිස සැමවිටම ඉතා සුළුතරයකි.මේ අනුව කිසියම් සංවිධානයක් වටා ඒකරාශි වී සිටින ඔළුගෙඩි ගණනින් එම සංවිධානය හරි/වැරදි යයි තීන්දු කිරීම නිවරුදි ඉස්ලාමීය ක්‍රමවේදය නොවේ. මෙය ශුද්ධ වූ කුර්ආනය පවා බොහෝ ස්ථානවල දැඩිව අවධාරණය කරන කාරණයකි. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස අල්ලාහ් (දෙවි) විසින් ඔහුගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට කරන අවවාදය ඔබේ විමසුමට ශුද්ධ වූ කුර්ආනයේන් ගෙන එන්නේ නම්,

තවද (නබි මුහම්මද්!) නුඹ මෙලොව (වෙසෙන) අයගෙන් බහුතරයන්ට කීකරු වුවහොත් ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹ නොමඟට පමුණු වන්නෝය. ඔවුහු අනුමානය අනුගමනය කරන්නෝ මිස නැත. තවද ඔවුහු ප්‍රලාප දොඩන්නෝ මිස නැත.

ශුද්ධ වූ කුර්ආනය – 6-116

බහුතරය බලා ඒ අනුව තීන්දු තීරණවලට එ‍ළඹෙන මුස්ලීම් ප්‍රජාව ඉහත වාක්‍යය බුද්ධිමත්ව විමසා බැලිය යුතු නොවේද?.

අද ආගම දහම සංකීර්ණ විෂයක් ලෙස සමාජය ඉදිරියේ මතවාදයක් නිර්මාණය කරමින් ඇත. අතීතයේ මෙන් නොව අද එකම දහම තුල විවිධ වූ මතවාද නිර්මාණය කරමින් සරල දහමට සංකීර්ණ මුහුණුවරක් ලබාදෙමින් පොදු ජනයා ව්‍යාකූල තැනකට ‍යොමු කරමින් ඇත. මෙවැනි පසුබිමක සාමාන්‍ය ජනයා මේ දහම තෝරා බේරා ගැනීමට ඉතා සරල ක්‍රමවේදයන් භාවිතා කරමින් ද ඇත. එනම්,

  •  මාපියන් අනුගමනය කල නොඑසේ නම් උපතින් උරුම මාර්ගයේ තවදුරටත් රුදීසිටීම,
  •  බහුතරය පිලිපැදීම,
  •  ජනප්‍රිය චරිත අනුගමනය කිරීම,

එවැනි සරල ක්‍රමවේදයන් කිහිපයකි. ඉහතින් මා ජනප්‍රිය කාරණා 03ක් පමණක් ඉදිරිපත් කලත් මෙවැනි කාරණා ගණනාවක් පදනම් කරගෙන පොදු ජනයා මේ දහම සම්බන්ධයෙන් සරල ලෙස තීන්දු තීරණ ගන්නා තැනට අද යොමුව සිටීම අවාසනාවන්ත තත්වයකි. මේ සියළු ක්‍රමවේද නිවරුදි නොවන බව හෝ වලංගු නොවන බව මා මෙහි විග්‍රහ කිරීමට අවශ්‍ය නොවේ යයි සිතමි. මන්ද ඉහත සදහන් කල්ලීන් වටා ඒකරාශි වන පිරිස් පවා මා ඉහතින් සදහන් ක්‍රමවේදය නිවරුදි ක්‍රමවේදය නොවන බව පැහැදිලිව අවබෝධ කොට සිටින බැවිණි. ඒ අනුව මෙවැනි කල්ලීන් වටා ඒකරාශිව මුස්ලීම් ජනතාව ඉහත කරුණු නැවත වරක් බුද්ධිමත්ව විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ.

කාලයත් සමඟ අරමුණු, ප්‍රතිපත්ති හා ස්ථාවර වෙනස්වීම,

කාලයත් ඊට සාපේකෂව ජනතාවගේ සිතුම් පැතුම් වෙනස්වීමත් සමඟ තම ප්‍රතිපත්ති හා ස්ථාවරයන් වෙනස් කරමින් ඉදිරියට ගමන් කිරීම ලොව ඕනෑම සංවිධානයක පොදුවේ දකින්නට තිබෙන ලක්ෂණයකි. මන්ද මනුෂ්‍ය බුද්ධිය මූලික කරගෙන නිර්මාණය කරන නීති, ප්‍රතිපත්ති කිසිකලෙක සර්වකාලීන නොවන බැවිණි. මෙය අප රටේ විෂය පිලිබදව හසල දැනුමක් ඇති පිරිස් විසින් නිර්මාණය කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 18 වාරයක් සංශෝධන කිරීම වඩාත් හොදින් කියාපාන සත්‍යයකි. මේ අනුව සෑම මුස්ලීම්වරයෙකුම පැහැදිලිව හා දැඩිව විශ්වාස කලයුතු කාරණයක් ඇත. එනම්, දිව්‍යමය අණපනත් තුල හා දේව වක්තෘවරයෙකුගේ මඟපෙන්වීම තුල මිස ලොව සර්වකාලීන නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කලහැකි වෙන කිසිවකු මේ විශ්වය තුල නොමැත යන්නයි. එසේ තිබියදී කිසිවකු විසින් තම බුද්ධියෙන් සර්වකාලීන නීතියක් ප්‍රතිපත්තියාක් සමාජයට හදුන්වා දෙන්නේ නම් ඔහු දේව ගුණාංග හෙබි මනුෂ්‍යයෙකු බවට පත්වේ. මෙසේ විශ්වාස කිරීම පවා ඉස්ලාම් දහමට අනුව ‘ශිර්ක්‘ නම් මහා පාපයක් යන්න මුස්ලීම් සමාජය දැඩිව සිහියේ තබාගත යුතුවේ.

සෑම මුස්ලීම්වරයෙකුම පැහැදිලිව හා දැඩිව විශ්වාස කලයුතු කාරණයක් ඇත. එනම්, දිව්‍යමය අණපනත් තුල හා දේව වක්තෘවරයෙකුගේ මඟපෙන්වීම තුල මිස ලොව සර්වකාලීන නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කලහැකි ජගතෙකු මේ විශ්වය තුල නොමැත යන්නයි.

ඉහත සරල පැහැදිලි කිරීම මා මෙහි ඉදිරිපත් කලේ මේ ලිපියට මූලික වී තිබෙන ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදීන්‘ සැලකූවිට ඔවුන්ගේ අද ප්‍රතිපත්තිය නොව ඊයේ ඔවුන් තුල පැවතුණේ, ඊයේ ප්‍රතිපත්තිය නොව ගිය සතියේ ඔවුන් තුල පැවතුණේ, ගිය සතියේ ප්‍රතිපත්තිය නොව ගිය මාසයේ ඔවුන් තුල පැවතුණේ, ගිය මාසයේ ප්‍රතිපත්තිය නොව ගිය අවුරුද්දේ ඔවුන් තුල පැවතුනේ, ගිය අවුරුද්දේ ප්‍රතිපත්තිය නොව මීට වසර 05කට පෙර ඔවුන්ගේ ප්‍රතිපත්තිය ලෙස පැවතුණේ… මේ ආකාරයට කලින් කලට ප්‍රතිපත්ති වෙනස් කරමින් ඉදිරියට ගලායාම මොවුන්ගේ එක් මූලික ලක්ෂණයක්. මෙහි වරදක් ඇතැයි මා මෙහි නොපවසමි. නමුත් ස්ථීර නොවන ප්‍රතිපත්තියක හිඳ අනිකුත් සමාජයන්, සංවිධාන හා කල්ලි පිලිබදව ආගමික තීන්දුදීම කිසිසේත් සාධාර්ණ ක්‍රමවේදයක් විය නොහැක. එය ඉහත කල්ලිවාදීන් අවබෝධ කරගන්නට මැලි වෙති. මෙතැනදී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ද ඇත. එනම්, කිසියම් පුද්ගලයෙකු ආගමික කාරණයක් අධ්‍යනය කොට සම්ප්‍රදායක පිලිගැනීමට වඩා වෙනස් මතවාදයකට එළඹීම වරදක් නොවේ. එම මතවාදය සමාජයට දේශනා කිරීමත් වරදක් නොවේ. නමුත් තමන් එළඹුනු නිගමනයේ සිට තවත් කෙනෙකු සම්බන්ධයෙන් ‘මුෂ්රික්, මුනාෆික්, කාෆිර්… යනාදී ලෙස අගමික තීන්දු ලබාදීම සාධාර්ණ නොවේ. මන්ද මනුෂ්‍යයෙකු ගනු ලබන තීන්දු තීරණ හා නිගමනයන් තුල 100% ක නිවරුදිතාවයක් සැමවිට නොපවතින බැවිණි. ආගමික හෝ ආගමික නොවන ඕනෑම තීන්දුවක් ගැනීමේ දී ඒ විෂය පිලිබදව පවතින දැනුම, සමාජ භාවිතය හා සම්ප්‍රදාය, බුද්ධි මට්ටම, තමන් පුද්ගලිකව දරණ මතවාදය, තීන්දු ගැනීමේ හැකියාව… යනාදී කාරණයන් මත තමන් ගනුලබන තීන්දුවට බලපෑමන් ඇති වේ. එපමණක් නොව තමන් වර්ථමාන මතවාදයට එළඹිමට පදනම් කරගත් කරුණූ කාරණාවල වැරදීම් ද තිබෙන්නට පුළුවන. මෙයට සරල හා සමීපතම නිදසුනක් මුස්ලීම්වරුන්ගේ බුද්ධිමත් විමසුමට මා මෙහි පවසන්නම්,

‘ඇස්වහ‘ යන්න මුස්ලීම්වරුන් සෑම කෙනෙකුම වාගේ විශ්වාස කරන කාරණයකි. මෙම ඇස්වහින් මිදීමට, ආරක්ෂා වීමට හා එයින් ඇති වන බලපෑමෙන් මිදීමට මුස්ලීම් සමාජය විවිධ වූ ක්‍රමවේදයන් අනුගමනය කිරීමත් සමාජය තුල සුලභව දක්නට ඇත. මේ පිලිබදව ශුද්ධ වූ මඟපෙන්වීමන් තුල ද බොහෝ ඉගෙන්වීමන් දක්නට ඇත. ‘යහමග‘ අඩවිය තුල මීට ඉහත පලකල දෛනික ප්‍රාර්ථනා-ඇස් වහ උවදුරින් ආරක්ෂාවට හා දෛනික ප්‍රාර්ථනා – ඇස් වහ උවදුරින් ළමුන්ගේ ආරක්ෂාව යන ලිපි දෙක ද මීට හොද නිදසුන් දෙකකි. එවන් වූ මේ ‘ඇස්වහ‘ සම්බන්ධයෙන් නූතන මතවාදයක් අද මුස්ලීම් සමාජය තුල ප්‍රකාශ වෙමින් ඇත. එනම්, ‘ඇස්වහ‘ යනුවෙන් කිසිවක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පැවසෙන කිසිදු හදීසයක් විශ්වාස නොකලයුතු බවත්, එසේ කිසිවකු විශ්වාස කරන්නේ නම් ඔහු ((ඉස්ලාමයේ මහා පාපයක් වන) ශිර්ක් කරන) ‘මුෂ්රික්‘ කෙනෙකු බවට පත්වන‘ බවත් මතවාදයක් සමාජගත වෙමින් ඇත.

මෙම ප්‍රකාශය හරිද? වැරදිද? යන කාරණයට මා මෙතැනදී යොමු නොවෙමි. මෙතැනදී ඔබේ අවදානයට ගෙන එන්නට මා උත්සාහ කරන්නේ මේ නූතනවාදීන් කොතරම් සරල ලෙස මුස්ලීම් ජනයා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නවාද යන්න පැහැදිලි කිරීමටයි. ඉස්ලාමීය මූලාශ්‍රවල පැහැදිලි ලෙස එසේම පිලිගත හැකි (‘සහීහ් ‘ වූ) හදීස් ලෙස ‘ඇස්වහ‘ සම්බන්ධයෙන් ‘හදීස්‘ හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශ සදහන්ව තිබියදී එය මුස්ලීම්වරයෙකු පිලිගැනීම ඔහු ‘මුෂ්රික්‘ තත්වයට පත්වීමට හේතුවක් ලෙස කිසිදු පදනමකින් තොරව නූතනවාදීන් ප්‍රකාශ කිරීම කොතරම් සාධාර්ණ ද යන්න බුද්ධිමත් ඔබ බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇත.

මේ නූතනවාදීන් තමන්ගේ මතවාදය සාධාර්ණය කිරීම සදහා සමාජය හමුවේ තබන එකම මතවාදය තම බුද්ධියට එය ගෝචර නොවේ යන්න හා දේව ගුණාංගවලට එය පරස්පර යන්නයි. මෙහි හාස්‍යජනකම කාරණය වන්නේ මීට කලකට ඉහත (2003 දී) එක්තර සහෝදරයෙකු ඉස්ලාමීය මාසික සඟරාවක ප්‍රශ්න විචාරක තීරුවේ 9-51 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පෙන්වමින් මෙම ඇස්වහ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී ඉහත නූතනවාදී කල්ලියේ සමහරක් විද්වතුන් එදා පිලිතුරු දෙන ලද්දේ ‘මේ සම්බන්ධයෙන් පැහැදිලි හදීසයන් ඇති නිසා ඒවා එලෙසින්ම පිලිගතයුතු මිස අපේ බුද්ධිය යොදවා මේවාට තීන්දු තීරණ නොගතයුතුයි‘ යනුවෙනි. නමුත් එදා එලෙස තීන්දු දුන් පිරිස අද ඉහත කුර්ආන් වාක්‍යයම පෙන්වමින් පවසා සිටින්නේ ‘ඇස්වහ‘ විශ්වාස කිරීම ‘ශිර්ක්‘ නම් මහා පාපයට අයත් වන බවත් එය විශ්වාස කිරීම නොඑසේ නම් නූතන මතවාදය ප්‍රතික්ෂේප කිරීම මුස්ලීම්වරයෙකු ‘මුෂ්රික්‘වරයෙකු බවට පත්කිරීමට සමත් වන බවයි.

‘තවත් වසර 100 ක් ගෙවීගියත් මේ කිසිවක් වෙනස් නොවේ‘ යනුවෙන් සහතිකයක් දියහැකිද?. මේ ප්‍රශ්නයන්ට නූතනවාදීන් අවංකව පිලිතුරු දෙන්නේ නම්, මෙහිදී ඔවුනට දියහැකි එකම පිලිතුර ‘නොහැක‘ යන්න මිස අන්කිසිවක් නොවේ. එසේනම් එම ස්ථාවරයේ හිඳ පොදු ජනයාට තීන්දු තීරණ ලබාදීම කොතරම් දුරකට සාධාර්ණද?

කෙසේ වෙතත් මෙවැනි නූතන මතවාදයන් දරන පිරිසගෙන් සාධාර්ණ වූ ප්‍රශ්නයක් විමසන්නට කැමැත්තෙමි. එනම්, වාදයකට ඔබලාගේ මතවාදයන් හා ප්‍රතිපත්තීන් අද සිට මා පිලිගැනීමට සූදානම් වෙනවා යයි සිතන්න. ඔබලා මේ අද දරණ මතවාදයෙන් කීයෙන් කීයක් හෙට දිනයේ ස්ථීරවම පවතීද? කීයෙන් කීයක් මීළඟ වර්ෂය එළඹෙන විට නොවෙනස්ව පවතීද? තවත් සරලව විමසනවා නම්, ‘තවත් වසර 100 ක් ගෙවීගියත් මේ කිසිවක් වෙනස් නොවේ‘ යනුවෙන් සහතිකයක් දියහැකිද?. මේ ප්‍රශ්නයන්ට නූතනවාදීන් අවංකව පිලිතුරු දෙන්නේ නම්, මෙහිදී ඔවුනට දියහැකි එකම පිලිතුර ‘නොහැක‘ යන්න මිස අන්කිසිවක් නොවේ. එසේනම් එම ස්ථාවරයේ හිඳ පොදු ජනයාට තීන්දු තීරණ ලබාදීම කොතරම් දුරකට සාධාර්ණද? යන්න තීන්දු තීර්ණ ගැනීම බුද්ධිමත් ඔබට ම බාරය. කෙසේ වෙතත් අවසාන වශයෙන් නැවතත් අවදාරණය කලයුතුව ඇත්තේ ඉස්ලාමීය මූලාශ්‍රයන් අධ්‍යනය කොට ඒ අනුව තීන්දු තීරණවලට එළඹීම, තමන් අවබෝධකරගත් කාරණය සමාජයට ප්‍රකාශ කිරීම හෝ ඒ අනුව ක්‍රියා කිරීම වරදක් නොවේ. නමුත් තමන් දරණ මතවාදයේ හිඳ සමාජයකට හෝ පුද්ගලයෙකුට තීන්දු ලබාදීම ඉස්ලාම් අනුමත නොකරන පහත් ක්‍රමවේදයක් බව පැහැදිලිව අවබෝධකර ගතයුතු වේ.

ජනප්‍රිය විද්වතුන් සිටීම කිසියම් ක්‍රියාවක් වලංගුභාවයට සහතිකයක් වේද?.

අද බොහෝ නූතනවාදී සංවිධාන තම මතවාදය සාධාර්ණීකරණය කිරීමටත්, එය කෙරෙහි ජනතා ආකර්ශණය දිනාගැනීමටත් ඉදිරිපත් කරන ප්‍රබල තුරුම්පුව ‘අපිත් එක්ක කොතරම් ප්‍රබල විද්වතුන් සිටිනවාද? ඒ පිරිස ආවාට ගියාට කරුණු පවසයිද?‘ යන තර්කයයි. මෙය අද මුස්ලීම් සමාජයේ අති බහුතරයක් මතු කරණ තර්කයක්ද වන නිසා ඒ පිලිබදව ද තරමක් දුරකට විමසා බැලීම අත්‍යඅවශ්‍යය. ඇත්තෙන්ම මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු කලින් කලට ලොව බිහිවූ ආගමික නිකායන්, සංවිධාන හා කල්ලීන් සියල්ලෙහිම බොහෝ විට පෙරමුණ ගත්තේ ඉස්ලාම් ආගමික විද්වතුන් යන්නෙහි සැක නැත. එපමණක් නොව ඔවුන්ගේ මතවාද හමුවේ මේ සමාජය භේද වී ගියා යන්නෙහිත් සැක නැත. එදා ශාෆි, හනෆි, හම්බලි, මාලික් ලෙසත්, තබ්ලීක්, ජමාතේ ඉස්ලාම්, අහමදියා, ශියා… යනාදී ලෙසත් මුස්ලීම් සමාජයේ බෙදීමන් තුල ද පෙරමුණ සිටියේ ආගමික විද්වතුන්ය.

මෙලෙස සමාජ බෙදීමන්ට මූලික වූ ඉහත විද්වතුන්ගෙන් සමහරක් පිරිස් කාලයත් සමඟ තම මතවාද වෙනස් කරගනිමින් හා විප්ලවීය මතවාද දහම නමින් සමාජය තුල ප්‍රකාශ කරමින් මුස්ලීම් සමාජයට කල බලපෑම් ද අති ප්‍රබලය. ඒ පිලිබදව ද මෙම මාතෘකාව තුල කථා කිරීම දැඩි අවශ්‍යතාවයක් වී ඇත. මක්නිසාදයත් අද සමහරක් නූතනවාදීන්ගේ ක්‍රියාකලාපයන්, ප්‍රතිපත්ති හා මතවාද දෙස බලන විට මේ නූතනවාදීන් ද භයානක ඉසව්ව කරා ගමන් කරනවාදෝ? යන සැකය මතුවන බැවිණි. මේ පිලිබදව වඩාත් හොදින් වටහාගැනීම පිණිස මෑත ඉතිහාසයෙන් බිඳක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

  • පසුකාලීනව තමාව නබිවරයෙක් (හෙවත් දේව වක්තෘවයෙක්) ලෙස හදුන්වාගත් ‘එල්ජා මුහම්මද්‘ නැමැත්තා මුල්කාලයේ දහම් මෙහෙවර තුල ජනප්‍රිය එසේම විශිෂ්ඨ කථිකයෙකු වූ ‘මැල්කම්එක්ස්‘ නැමැත්තා ඉස්ලාම් දහම වැලදගැනීම සදහා වූ දහම මෙහෙවර සිදු කල ආගමික විද්වතෙකි.
  • පසුකාලීනව තමාව නබිවරයෙක් ලෙස හදුන්වාගත් ‘ගුලාම් මුහම්මද් කාදියානි‘ නැමැත්තා ද ඉස්ලාමයට එරෙහිව ඉස්ලාම් විරොධීන් මතු කරන මතවාදයන්ට නිසි පිලිතුරු දීමේ ක්‍රියාවලියේ පෙරමුණ ගෙන විශාල සංඛ්‍යාවක් ඉස්ලාම් දහම වැලදගැනීම‍ට කටයුතු කල ආගමික විද්වතෙකි,
  • අප රටින්ම නිදසුනක් ගෙන එන්නේ නම්, අද පුත්තලම් දිස්ත්‍රික්කයේ ඒතාල ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘ජමාතුල් මුස්ලිමීන්‘ නිකායවාදීන්ට නායකත්වය දෙන ‘උමර් අලි‘ගැන සදහන් කලහැක. ආරම්භයේ තව්හීද් ප්‍රචාරයේ නිරත වූ ඔහු පසුකාලීනව ජමාතුල් මුස්ලිමීන් නමින් සංවිධානයක් ස්ථාපනය කොට තම සංවිධානය හා එක් නොවන තම නායකත්වය පිලිනොගෙන ප්‍රතික්ෂේප කරන පිරිස් ‘කාෆිර්‘ (ඉස්ලාම් ප්‍රතික්ෂේප කල මුස්ලීම් නොවන්නන් ලෙස) ප්‍රකාශ කලේය,

මේ ආකාරයට ආරම්භයේ යහමග කටයුතු කල විද්වත් පිරිස් පසුකාලීනව මේ සමාජය ම නොමඟ යැවීමට හේතුවක් වුවා යන්න තිත්ත වූ ඇත්තයි. ඉහතින් මා එවැනි කිහිපදෙනෙකු පිලිබදව සදහන් කලත් ඉතිහාසය පුරාවට එවැනි චරිත දක්නට ඇත. කලින් කලට මෙවැනි නොමඟ ගිය කල්ලීන්ට හා කණ්ඩායම්වලට නිසි පිලිතුරු ලබාදෙමින් එවන් විනාශකාරී මතවාද සමතයකට පත්කලත්, එම මතවාදයන් තුල අන්ධ භක්තියෙන් කටයුතු කරන පිරිස් අදටත් ලොව නැතුවා නොවේ. මේ නිසා මෙවැනි නූතන මතවාද සමාජගතවීම පිලිබදව මුස්ලීම්වරුන් අවතක්සේරුවෙන් කටයුතු කලයුතු නොවේ. කෙසේ වෙතත් ආගමික විද්වතුන් අන්ධභක්තිකව අනුගමනය කරන ඔවුන් කෙරෙහි ඉස්ලාමීය රාමුවෙන් බැහැරව විශ්වාසය තබන පිරිසගේ අවදානයට මේ ස්ථානයේදී එවැනි පිරිසට කියාමත් (විනිශ්චය) දින අත්වන ඉරණම පවසන ශුද්ධ වූ කුර්ආන් පාඨ කිහිපයක් බුද්ධිමත් විමසුමට තබන්නට කැමැත්තෙමි.

ඔවුන්ගේ මුහුණු පෙරල පෙරලා ගින්නෙන් දවා හරින දින දී ‘අපගේ විනාශයයි! අපි අල්ලාහ්ට අවනත වී සිටියා නම් නොවෙද? (ඔහුගේ) දූතයාටද, අවනත වී සිටියා නම් නොවෙද!’ යයි දොඩවනු ඇත.
‘අපගේ දෙවියනේ! නියත වශයෙන්ම අපි අපගේ ප්‍රධානීන්ටද, අපගේ වැඩිහිටියන්ටද අවනත වුනෙමු. ඔවුන් අපිව වැරදි මාර්ගයෙහි ඇතුළු කර දැමූහ’.
‘(එබැවින්) අපගේ දෙවියනේ! ඔබ ඔවුන්ට දඬුවම දෙගුණයක් වශයෙන් දී ඔවුන් කෙරෙහි ඉමහත් වූ ශාපයද ලබා දෙනු’ යයි පවසන්නාහ.

ශුද්ධ වූ කුර්ආනය 33-66 සිට 68 දක්වා

අවසාන වශයෙන් ඉහත කරුණූ සියල්ල සාරාංශ කොට පවසනවා නම්,

කිසියම් සංවිධානයකට නායකත්වයක් තිබීම හෝ ඒ සදහා ජනප්‍රිය ආගමික විද්වතුන් නායකත්වය දී කටයුතු කිරීම එම සංවිධානයේ හෝ එම සංවිධානයේ මතවාද හා ප්‍රතිපත්ති නිවරුදි යන්න තීන්දු කිරීමට හේතුවක් නොවේ. ඔවුන් ඉදිරිපත් කරන මතවාද හා ප්‍රතිපත්ති ඉස්ලාමීය ඉගෙන්වීමන්ට කොතරම් දුරකට ගැලපෙනවාද? යන්නයි මෙහි තීරණාත්මක සාධකය වන්නේ. එයයි ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨයන් තුලින් ද අවදාරණය කරන්නේ. එසේනම් මේවා පිලිබදව සැලකිල්ලක් දක්වා තීන්දු තීරණ ගැනීමයි සැබෑ මුස්ලීම්වරයෙකුගේ දහම තුල නිවරුදි ක්‍රමවේදය විය යුත්තේ.

සංවිධානයක් හෝ කල්ලියක් වටා ඒකරාශිවීම අත්‍යඅවශ්‍ය නොවේ.

මුස්ලීම් සමාජය තුල අද ක්‍රියාකාරීන් වී සිටින නුතනවාදීන් ඉදිරිපත් කරන ජනප්‍රිය මතවාද අතර ‘මුස්ලීම්වරයෙකු සංවිධානයක් (ජමාතයක්) ලෙස කටයුතු කිරීම අනිවාර්‍යයි. එසේ නොවී ඔහුට මුස්ලීම්වරයෙකු ලෙස කටයුතු කල නොහැක.‘ යන්නත් ප්‍රධාන එකකි. මෙම මතවාදයට සරල පිලිතුරක් දෙන්නේ නම් ඒ ‘ඔව්‘ යන්නයි. මන්ද ඉස්ලාම් පවසන ‘උම්මාව‘ ඒකීය ජනසමූහයක් මිස කෑලි කෑලිවලට බෙදීගොස් තර්ක විතර්ක තුලම කල්ගෙවන කල්ලි හෝ කණ්ඩායම් නොවේ. මුහම්මද් (සල්) තුමාණන්ගේ වසර 23 ක දහම් මෙහෙවර තුල ප්‍රධාන කොටසක් වූයේද මේ ජන සමූහය ඒකීය ජනසමූහයක් බවට පරිවර්ථනය කිරීමයි. මුහම්මද් (සල්) තුමාණන් තම දේශනයන් තුල ‘ජමාතුල් මුස්ලිමීන් (මුස්ලීම්වරුන්ගේ සංවිධානය)‘ යන යෙදුම භාවිතා කලේද මේ නිසාමය. හැබැයි මෙලෙස සාමූහිකත්වයේ වටිනාකම අවදාරණය කරන ඉස්ලාම් දහම එවැනි පරිසරයක් නොමැති අවස්ථාවක කුමක් හෝ පිරිසක්, කණ්ඩායමක්, කල්ලියක් වටා ඒකරාශි වීමට අනකලේ ද නැත. එය පහත හදීසය තුලින් හොදින් අවබෝධ කරගත හැක.

එයට නබිතුමාණන් ‘සියළු බෙදීමන්ගෙන් ඔබ දුරස් වන්න. (ඔවුන් වෙත ඇදී නොගොස්) ගසක මුලක් හෝ ඔබේ දත්වලින් හෝ අල්ලාගෙන ඔබ ඔබව ආරක්ෂා කරගන්න. ඒ තත්වය තුල ඔබ මියදුනත් කිසිදු බෙදීමකට ඔබ එක් නොවන්න.’

හුදෙයිෆා බින් යමාන් (රලි) තුමා පවසයි, එක්තරා අවස්ථාවක ‘ජනතාව අල්ලාහ්ගේ දූතයාණන් හමුවේ යහපත් දෑ පිලිබදව විමසමින් සිටියේය’. මම අයහපත දඋ පිලිබදව විමසුවෙමි. මන්ද එයට මා හසුවේදෝ? යන බිය මා තුල පැවතී නිසාමය. මම ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් අපි අඥාන කාලයේ අයහපතෙහි ගිලී සිටියෙමු. එවන් සමයක අල්ලාහ් (දෙවි) ‘ඉස්ලාම්’ නම් යහපත අපහමුවට ගෙන ආවා. මෙම යහපතට පසුව අයහපතක් පැවතීමට හැකි ද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔව්’ යනුවෙන් පිලිතුරු ලබාදෙන ලදී. එයට මම ‘එම අයහපත් තත්වයට පසු කුමක් හෝ යහපතක් තිබෙන්නේද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔව්, නමුත් එහි කැළඹිලි ස්වභාවයක් පවතිනු ඇත’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘එම කැළඹිලි ස්වභාවය කුමක්ද? යනුවෙන් විමසූ විට නබිතුමාණන් ‘එක් පාර්ශවයක් මාගේ මාර්ගයෙන් වෙනස් වූ මාර්ගයකට ජනතාව කැදවමින් ඔවුන්ට මඟපෙන්වයි. ඔවුන් තුල ඔබ යහපතත් අයහපතත් දකිනු ඇත’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘එය යහපතට පසුව අයහපතක් ඇත්තේද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන්  ‘ඔව්, නිරයේ දොරකඩ හිඳ ආරාධනා කරන (කැදවුම්කරුවන්) පිරිසක් බිහිවනු ඇත. ඔවුන්ගේ ආරාධනය පිලිගත් පිරිස් නිරයට විසිවනු ඇත.’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘දූතයාණනි!, ඔවුන්ගේ සලකුණු අපට කියන්න.’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔවුන් අපගේ පරම්පාරාව නියෝජනය කරන අපගේ භාෂාව කථා කරන පිරිසක් වේ’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘මේ පිරිස මා හට හමුවුයේ නම් කුමක් කලයුතුද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ (කොතැනක හෝ පිරිසිදු) ‘මුස්ලීම් ජමාතයක්’ (මුස්ලීම් සංවිධානයක්) හා එහි නායකත්වයක් පැවතුණේ නම් ඔවුන් හා ඔබ අත්වැල් බැදගන්න’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘(මුස්ලීම්වරුන් වන) ඔවුනට එවැනි නායකත්වයක් හෝ සංවිධානයක් නොමැතිව (සීසීකඩව) පැවතුනේ නම් කුමක් කලයුතු ද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘සියළු බෙදීමන්ගෙන් ඔබ දුරස් වන්න. (ඔවුන් වෙත ඇදී නොගොස්) ගසක මුලක් හෝ ඔබේ දත්වලින් හෝ අල්ලාගෙන ඔබ ඔබව ආරක්ෂා කරගන්න. ඒ තත්වය තුල ඔබ මියදුනත් කිසිදු බෙදීමකට ඔබ එක් නොවන්න.’ යනුවෙන් පිලිතුරු දෙන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

ඉහත හදීසයට අනුව ‘ඔවුනට ජමාතයක් හෝ සංවිධානයක් නොමැතිනම්‘, යන යෙදුම තුලින් එවැනි තත්වයන් මුස්ලීම් සමාජයේ ඇතිවිය හැකි බවත් එවැනි අවස්ථාවල මුස්ලීම්වරුන් ක්‍රියාකලයුත්තේ කෙසේද? යන්නත් ඉස්ලාම් පැහැදිලිව පවසා ඇත. එසේ තිබියදී කිසියම් සංවිධානයක් හෝ කල්ලියක් තමා වටා ඒකරාශි කිරීමට පොදු ජනයාට ආරාධනා කිරීමත් එය ප්‍රතික්ෂේප කරන පිරිස් කාෆිර්, මුෂ්රික්… යනාදී ලෙස තීන්දු දීමත් ඉස්ලාමීය ක්‍රමවේදයක් නොවේ. තමන්ට සංවිධානයක් තිබූ පමණින්, එහි ජනප්‍රිය විද්වත් සිටී පමණින්, තමන්ට කියා ප්‍රත්පත්ති මාලාවක් හෝ මතවාද රාශියක් තිබූ පමණින් මේ සියල්ල ජනතාව පිලිගෙන තමා වටා ඒකරාශි වියයුතු යයි අපේකෂා කිරීම අනවබෝධයකි. මීට ඉහත ලිපියේ සදහන් කලාසේ බහුතරයක් පිරිස් එක් එක් සංවිධානයන් වටා ඒකරාශි වන්නේ එම සංවිධානවල මතවාද හා ප්‍රතිපත්ති පිලිබදව 100% ක අවබෝධයෙන් යුතුව නොවේ. යම් යම් කාරණා (ඉහතින් සදහන් කලාසේ අන් පිරිස කෙරෙහි කලකිරීම, නායකත්වය කෙරෙහි ඇති ආකර්ශනය… වැනි කාරණා) පදනම් කරගෙනය. මේ පිරිසට මෙම සංවිධානයේ ප්‍රතිපත්ති හා මතවාද පිලිබදව පැහැදිලි අවබෝධයක් නැත. මෙවැනි පිරිස් කලයුතු වන්නේ අන්ධභක්තිකව මෙවැනි සංවිධානවලට එක්වීමට වඩා ඔවුන්ගේ ප්‍රතිපත්ති කොතරම් ඉස්ලාම් දහමට අනුකූලද යන්න අධ්‍යනය කිරීමයි. මෙය මාගේ පුද්ගල මතවාදය නොවන අතර ඉස්ලාමීය ඉගෙන්වීම ද එයයි. මේ සදහා ඉස්ලාමීය මූලාශ්‍රයෙන් බිඳක් ඔබේ විමසුමට තබන්නේ නම්,

නුඹට ඒ ගැන දැනුමක් නැති දෑ නොපිළිපදිනු. නියතවශයෙන් ශ්‍රවණයද, දර්ශනයද, සිතද, ඒ සැම දෙයක් ගැනම ප්‍රශ්න කරනු ලබන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 17-36

…වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී. එනම්, ‘(මේ දහම තුල) ‘හලාල්’ යන්නත් පැහැදිලිය, ‘හරාම්’ යන්නත් පැහැදිලිය, මේ දෙක අතර (ජනයාට පූර්ණ දැනුමක් නැති) සැක සහිත දෑ ද ඇත. සැක සහිත දෑ වලින් කවුරුන් වැලකී සිටින්නේද. ඔහු දහමත් තම ගෞරවයත් ආරක්ෂා කරගත් තැනැත්තෙකු වන්නේය…’ යනුවෙන් පවසන ලදී. (මෙය දීර්ඝ හදීසයක කොටසක් පමණි)

මූලාශ්‍ර ග්‍රන්තය – බුහාරී

ඉහත ශුද්ධ වූ මඟපෙන්වීමට අනුව මුස්ලීම්වරයෙකු අන්ධභක්තිකව කටයුතු කිරීමට අවශ්‍ය නැත. තමන් කරන කාර්‍යය හෝ ගනු ලබන තීරණ පිලිබදව පැහැදිලි අවබෝධයකින් කටයුතු කිරීම ඔහු කෙරෙහි ඉස්ලාම් අනිවාර්‍ය කරන වගකීමකි. මෙය ද අවබෝධ කරගෙන කටයුතු කිරීමට මුස්ලීම් සමාජය මෙවැනි නූතන කල්ලීවාදීන්ගේන් ආරක්ෂා වීමට හේතුවක් වනු ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම