මුහම්මද් තුමා අවසාන වක්තෘවරයාණන්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මිනිස් වර්ගයාගේ ආරම්භය පටන් ඔවුන් හට යහමඟ ගැන්වීම සදහා දෙවියන් විසින් කලින් කලට දේව වක්තෘවරුන් (නබිවරුන්) මේ පොළොව මත තෝරා පත්කලා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ආරම්භ මිනිසා වන ආදම්ගේ පටන් සෑම ජන සමාජයකටම දේව වක්තෘවරුන් යැවූ බව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමයි. ඒ අනුව ලක්ෂයකටත් අධික වක්තෘවරුන් මේ පොළොව මත දේව නියෝජිතයන් ලෙස කලින් කලට තෝරා පත්කොට ඔවුන් මඟින් දේව පණිවුඩ මිනිස් සමාජයට දේශනා කරන ලද බව ඉස්ලාමීය ඉගෙන්වීමයි. ඒ අනුව ආරම්භ මිනිසා වන ආදම්ගේ පටන් විවිධ කාලවල විවිධ ජන සමාජවලට පැමිණී සියළු වක්තෘවරුන් තම සමාජයට, ලෝකයාට දේශනා කලේ ‘ඉස්ලාම්’ යන්න ශුද්ධ වූ කුර්ආනය අදටත් කියාපාන සත්‍යයයි.

මේ ආකාරයට ආරම්භ වක්තෘවර්‍යාණන් වන ආදම් තුමාගෙන් පටන්ගත් දේව පණිවුඩ මිනිස් සමාජයට පහල වීම අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් මඟින් අවසන් වූවා යන්නත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. ඒ අනුව මුහම්මද් (සල්) නම් දේව වක්තෘවරයාගේ මෙහෙවරත් සමඟ දේව වක්තෘ මෙහෙවරට මූද්‍රා තබන ලදී. අරාජික පැවතී අරාබි සමාජයට පහල වූ අවසාන වක්තෘවරයාණන් තම වක්තෘ මෙහෙවර නිමා කිරීමත් සමඟ ආදම් නබිතුමාණන්ගෙන් ඇරඹු ඉස්ලාම් දහමේ දේව මෙහෙවර මුහම්මද් (සල්) තුමා‍ණන් මඟින් සම්පූර්ණ වූවා යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. මෙය ශුද්ධ වූ කුර්ආනය පහත ආකාරය පවසයි.

අද දින නුඹලාගේ දහම නුඹලාම වෙනුවෙන් සම්පූර්ණ කලෙමු.

ශුද්ධ වූ කුර්ආනය 5-3

මුහම්මද් (සල්) තුමාණන්ගේ දූත මෙහෙවරේ අවසාන කාලයේ පහල වූ ඉහත ශුද්ධ වූ වාක්‍යයට අනුව ඉස්ලාම් දහම පරිපූර්ණ වූ දහමක් බවට එදින පත් වූ බව පැහැදිලි වේ. ඉස්ලාම් දහම පරිපූර්ණ වීමත් සමඟ වක්තෘවරයෙකුගේ අවශ්‍යතාවය මෙහෙවර නිමා වන බවත්, මිනිස් සමාජයට තවදුරටත් එවැනි වක්තෘ මෙහෙවරක අවශ්‍යතාවය ඇති නොවන බවත්, ඒ අනුව මුහම්මද් (සල්) තුමා වක්තෘ දම්වැලෙහි අවසාන පුරුක බවත් පැහැදිලි වේ. මේ කාරණය ඉතා අලංකාර උපමාවක් මඟින් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැහැදිලි කරන ලදී.

ජනතාව අලංකාරත්වයෙන් පරිපුර්න මාලිගාවක් නරඹමින් සිටින විට එහි බිත්තියේ එක්තරා ස්ථානයක එක් ගඩොලක අඩුවක් දකී. එය දුටු එම පිරිස ‘කොතරම් අලංකාර වු මාලිගාවක්ද? එවන් වූ මාලිගාවේ මේ ස්ථානයේ ගඩොලත් තිබුණේ නම් මේ ගොඩනැඟිල්ල සර්ව සම්පුර්ණ වෙනවා නොවේද?’ යයි සිතනු ඇත. යනුවෙන් පැවසූ නබිතුමාණන් ‘ඒ ගඩොලයි මාගේ පැමිණීම, එම ගඩොලින් මාලිගාව සර්ව සම්පුර්ණ වුවාසේ. මාගේ පැමිණීමත් සමග ඉස්ලාම් දහම ද සම්පුර්ණ වී වක්තෘ මෙහෙවර අවසාන් වන ලදී.’

ඉහත නබිවදන අනුව ඉස්ලාම් දහම නබිතුමාණන් විසින් ගෙන එන ලද නව දහමක් නොවන බවත්, ආරම්භ මිනිසා‍ගේ පටන් පැවත ආ විශාල මෙහෙවරක මුහම්මද් (සල්) තුමාණන්ද කොටස්කරුවකු බවත්, මෙහි විශේෂත්වය වන්නේ මෙම වක්තෘ මෙහෙවර අවසාන් වීම මුහම්මද් (සල්) තුමාණන්ගන් සිදුවීම බවත් ඉහත කරුණු වලින් පැහැදිලි වේ. මෙසේ මා පවසන විට එක්තරා ආගමික කොට්ඨාශයකට එනම්, ශ්‍රී ලාංකීය කිතුණු සමාජයට ගැටඑවක් මතුවිය හැක. ඒ,

ඇයි මුහම්මද් තුමා අවසාන වක්තෘ බව පවසන්නේ ඇයි මොසස් හෝ යේසුස් තුමන් අවසාන වක්තෘ වන්නට බැරි ?

මෙය බැලූ බැල්මට යම් සාධාර්ණයක් ඇති තර්කයක් ලෙස පෙනෙන්නට පුළුවන. මන්ද ඒ ඒ දහමන් හි විද්වතුන් හා පූජකවරුන් බොහෝ විට තම අනුගාමිකයන් හට දහම දේශනා කරන්නේ ‘අපේ දහම පරිපූර්ණ දහමක්’ යනුවෙන් වීමයි. නමුත් මෙහි සැබෑ තත්වය අවබෝධ කරගැනීමට නම් ඒ ඒ ආගමික මූලාශ්‍රයන් පරිශීලනය කිරීම අත්‍යඅවශ්‍ය වේ. ඒ අනුව එසේ එම ඉගෙන්වීමන් ගැඹුරින් අධ්‍යනය කරන විට ඉහත තර්කයට ඉඩක් නැති බව පමණක් නොව අනාගත වක්තෘවරයෙකු පිලිබදව අනාවැකියන් එහි අන්තර්ගත යන්නත් දක්නට ලැබේ.

ආරම්භ මිනිසාගේ පටන් ලොව මේ දක්වා පැමිණි සියලූම වක්තෘවරුන්, ශාස්තෘවරුන් දාර්ශනිකයන් තමන්ගෙන් පසු පැමිණෙන ශාස්තෘවරයෙකු පිලිබදව අනාවැකි පලකොට ඇති බව ඒ ඒ ආගමික මූලාශ්‍රයන් අධ්‍යනය කරන විට පැහැදිලිව පෙනෙන්නට තිබේ. උදාහර්ණයකට

  • ගෞතම බුදුන් විසින් මෛත්‍රි බුදුන් ගැන,
  • මොසස් තුමා විසින් තමන්ගෙන් පසු එන සුභාරංචි පවසන්නෙකු (මේ පිලිබදව පහතින් සාකච්චා කෙරේ)…

(ඉදිරියේ දී ද විවිධ ආගම් හා දර්ශනයන් හි මෙවැනි අනාවැකි ගැන කථා කොට ඇති ආකාරය මෙම අඩවිය තුලින් සාකච්චා කරන්න අදහස් කරමි)

මෙසේ අවසාන වක්තෘවරයා පිලිබදව අනාවැකි පැවසීමෙන් පමණක් නතර නොවූ අතීත ශාස්තෘවරුන් ඒ අනාගත ශස්තෘවරයා පිලිගෙන පිලිපැදීමේ අවශ්‍යතාවය ද තම සමාජයට අවධාරනය කරන ලද ආකාරයක් එම ආගමික ඉගෙන්වීමන් තුල දක්නට ලැබේ. නමුත් අවාසනාවකට බොහෝ ආගමික මූලාශ්‍රයන් 100% ක් ආරම්භයේ සිට ආරක්ෂා නොවීමේ දුර්වලතාවය අනුව එම මූලාශ්‍රයන් තුලින් බොහෝ සාක්ෂි සොයගෙත නොහැකි වූවත් යම් යම් ප්‍රකාශන ආරක්ෂා වී පැවතීම තුල ඉහත සත්‍යය වටහාගත හැකි වේ.

උදාහර්ණයක් ලෙස පවසනවා නම්,

  • කිතුණුවන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන බයිබලයේ,
“නුඔට සමාන අනාගත වක්තෘ කෙනෙක් ඔවුනට නැගිටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි. මා ඔහුට අණ කරන සියල්ල ඔහු ඔවුනට කියන්නේ.” (ද්විතීය කථාව 18-18)
  • බෞද්ධයින් ශුද්ධත්වයෙන් සලකන ත්‍රිපිටකයේ,
“…එකල මෛත්‍රිය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේය ඒ බුදුරජානන් වහන්සේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මණයන් සහිත මේ ලෝකය ද මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ජනයාද තමන් වහන්සේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කරන්නේය…”

ඉහත ආකාරයට ශුද්ධ වූ කුර්ආනය හැර සෑම ආගමික මූලාශ්‍රයකම වාගේ අනාගත ශාස්තෘවරයෙකු පිලිබදව අනාවැකි පලකිරීමක් දක්නට ලැබේ. නමුත් අපගේ මාතෘකාවට අදාල කරුණු දෙස අවධානය යොමු කරන්නේ නම්,

ඉස්ලාම් දහම හා කිතුණූ දහම අතර ඉතා සමීප සම්බන්ධතාවයක් ඇත. ඒ සෑම මුස්ලීම්වරයෙකුම යේසුස් වහන්සේ යනු මුහම්මද් (සල්) තුමාණන්ට පෙර වකවානුවක මිනිස් සමාජයට ඉස්ලාම් දහම දේශනා කරන්න පැමිණි දේව වක්තෘවරයෙකු ලෙස පිලිගැනීම තුලිනි. මේ හේතුව නිසා ඉහත බයිබලයේ සදහන් අනාවැකිය පිලිබදව බුද්ධිමත් ගවේෂණයක් සිදුකිරීම කිතුණු සමාජයේ මෙන්ම මුස්ලීම් සමාජයේ ද වගකීමක් වේ.

ඉහත වාක්‍යයෙන් මෝසස් තුමාට දෙවියන් වහන්සේ පවසන්නේ “නුඹට සමාන වක්තෘවරයෙක් අනාගතයේ පැමිණෙනවා යන්නයි” ඒ අනුව මෝසස්ට පෙර විසු සියලු වක්තෘවරුන්ගේ නියෝග හා අනුශාසනා මෝසස් තුමා මඟින් තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් එතුමාගෙන් පසුවටත් වක්තෘවරුන් පැමිණිම සිදුවන බවත්, ඔවුන් මඟින් ද දහම මිනිස් සමාජයට දේශනා කිරීම සිදුවන බවත් පැහැදිලි වේ. මෝසස් තුමා ජීවත් වු කාලය වන්නේ ක්‍රි:පු: 1500 ය. ඒ අනුව එතෙක් පැවතී ඉස්ලාම් දහම එතුමා මඟින් යාවත්කාලීන කෙරේ. එතුමාගෙන් පසු පැමිණී වක්තෘවරුන් විසින් තමන්ට අදාල කාලයට අනුව දහම යාවත්කාලීන කෙරේ. ඒ අනුව දැන් ගැටඑව වන්නේ,

‘මෝසස් තුමාගෙන් පසු පැමිණි වක්තෘවරයාණන් කවුද?’ යන්නයි.

මෝසස් තුමාගෙන් පසු වක්තෘවරුන් දෙදෙනෙකු පැමිණ ඇති බව ඉස්ලාමීය ඉතිහාසය පැහැදිලිව සදහන් වේ. ඒ ක‍්‍රි:ව: 01 දී යේසුස් තුමා සහා ක‍්‍රි:ව: 571 දී මුහම්මද් තුමාය. මේ දෙදෙනාගෙන් අවසානයට පැමිණ ඇත්තේ මුහම්මද් තුමාය යන්ද පැහැදිලිය. එසේ නම් අවසාන අනාගත වක්තෘවරයා බවට පත්වන්නේ මුහම්මද් (සල්) තුමාණන් යන්නත් පැහැදිලිය. මීට අමතරව ඉහත බයිබල් (ද්විතීය කථාව 18-18) වාක්‍ය යේ සදහන් අනාවැකිය පිලිබදව අවධානය යොමු කලේ නම්, එහි තරමක ව්‍යාකූල තත්වයක් පැන නැ‍ෙඟේ. එනම්,

  • මෝසස් තුමාගෙන් පසු පැමිණි යේසුස් තුමා නිසා එහි පවසන්නේ යේසුස් තුමා පිලිබදව බවට තර්ක කල හැක. මන්ද එතුමා පැමිණෙන්නෙත් මෝසස් තුමාගෙන් පසු කාලීන වීම හේතුවෙනි.
  • එසේම අවසානම වක්තෘවරයා මුහම්මද් (සල්) තුමාණන් නිසා මේ පවසන්නේ මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව යනුවෙන් ද පැවසිය හැක

නමුත් ඉහත වාක්‍යය හොදින් අධ්‍යනය කලේනම්, එම වාක්‍යය තුල අවසාන වක්තෘවරයාගේ ප්‍රධාන ලක්ෂණයක් ද බද්ධ කොට පවසන ආකාරයක් දක්නට ඇත. එනම් “නුඹට සමාන” (මෝසස්ට සමාන) වක්තෘවරයෙකු යයි එහි පවසයි. මෙහි දී ඉහත වාක්‍ය පවසන විට දෙවියන් “නුඹට සමාන” යන පදය අනවශ්‍ය ලෙස යොදා ගෙන නැති බවත් එසේ දෙවියන් අනවශ්‍ය ආකාරයට දේව පුස්තකය තුල වචන භාවිතා කරනවා යන්නත් සියළුදෙනා පිලිගන්නා පොදු කාරණයකි. එසේ නම් මෙහි දී මෙම ගැටළුව විසදා ගැනීම එතරම් අපහසු නොවේ. කලයුතුව ඇත්තේ මොසස් තුමාට සමාන වක්තෘවරයා වන්නේ යේසුස් තුමාද? මුහම්මද් තුමාද? යන්න විමසා බැලීම පමණි.

  • මොසස් තුමාට සමාන වක්තෘවරයා වන්නේ යේසුස් තුමාද? මුහම්මද් තුමාද?

මිනිස් දිවියේ ප්‍රධාන සංදිස්ථාන කිහිපයක් එනම් උපත, විවාහය, ජීවන රටාව, මරණය… යන කාරණයන් කෙරෙහි ඉහත ආකාරයට මෝසස්ට සාපේක්ෂව එයට සමාන වන්නේ ඊසා තුමාද? මුහම්මද් තුමාද? යන්න විමසා බැලුවේ නම්, මේ සියල්ල මෝසස් තුමා සමඟ 100% ගැලපෙන්නේ මුහම්මද් තුමාට යන්න ඔබට පැහැදිලි වනු ඇත. ඒ අනුව බයිබලයේ සදහන් අවසාන වක්තෘවරයා මෙන්ම අනාවැකි මගින් පවසන ලද වක්තෘවරායා වන්නේ මුහම්මද් (සල්) තුමාණන් යන්න පැහැදිලි වේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/9

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම