මුහම්මද් (සල්) තුමාණන්ට අපහස කරන්න චිත්‍රපටයක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද වනවිට ඉස්ලාමීය ලෝකය ප්‍රබල කැළඹිමකට ලක්ව ඇති ආකාරය සියළු මාධ්‍යයන් තුලින් අසන්නට හා දකින්නට ලැබේ. ඒ පසුගිය දිනක මුහම්මද් (සල්) තුමාණන්ට අපහස වන ආකාරයට නිර්මාණය කොට Youtube යට මුදාහැර ඇති චිත්‍රපටයක් නිසාය. මෙම වීඩියෝව ඉවත් කරගන්නා ලෙසත්, එය තහනම් කරන ලෙසත් ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාව පාරට බැස උද්ගෝෂණ, විරෝධතා හා පෙළපාලිවල නිරතව තම විරෝධතාවය ප්‍රකාශ කරමින් සිටින මේ මොහොතේ ‘යහමඟ’ අඩවිය පාඨක ඔබේ අවධානයට එම කාරණය පිලිබදව කෙටි අදහස් දැක්වීමක් කරන්නට අදහස් කරමි.

ආගමක්, දර්ශනයක් හා ශාස්තෘවරුන් අපහසයට ලක් කිරීම ලොව තුල අද ඊයේ ඇති වූ අලුත් තත්වයක් නොවේ. එසේම මෙම තත්වය ඉස්ලාම් දහමට පමණක් බලපෑ තත්වයක් ද නොවේ. මෙවැනි පහත් ක්‍රියාවල නිරතව කිසියම් ආකාරයක වින්දනයක් ලබන විකෘති මානසිකත්වයෙන් පෙලෙන පිරිස් සෑම කාලයකම සෑම සමාජයකම දක්නට තිබූ බව අදටත් ඉතිහාසය ලොවට කියාදෙන සත්‍යයකි. මේ හේතුව නිසා තමා අන්තර්ජලය තුල සැරිසරන ඔබට කිතුණු දහමත්, යේසුස් වහන්සේත් අපහස වන ආකාරයේ, බුදුදහමත් හා බුදුන් වහන්සේත් අපහස වන ආකාරයේ මෙන්ම ඉස්ලාම් දහමත් මුහම්මද් (සල්) තුමාණන් අපහස වන ආකාරයේ ලිපි, පිංතූර හා වීඩියෝ දර්ශන දක්නට ලැබෙන්නේ. මෙම තත්වය ඉහත ආගම් තුනට සීමා වූ කාරණයක් ද ‍නොවේ. ලොව සෑම දහමක්ම දර්ශනයක්ම ඉහත අවාසනාවන්ත තත්වයට ගොදුරු වුවා යන්නත් ඉදිරියටත් ගොදු වෙනවා යන්නත් තමා සත්‍යය වන්නේ. එම සත්‍යය හොදින් මනසේ රදවාගෙන ඉහත විෂය වෙත දැන් අවධානය යොමු කරමු.

මෙහිදී ප්‍රථමයෙන් එසේම විශේෂයෙන් මුස්ලීම් සමාජයේ අවදානයට එක් කාරණයක් නැවත නැවතත් අවධාරනය කලයුතුව ඇත. එනම්, මෙය ඉස්ලාමයට හා මුහම්මද් (සල්) තුමාණන්ට අපහස කල පලමු අවස්ථාව නොවේ. අපේ රට පදනම් කරගෙන මෙම තත්වය විමසා බැලුවත්, සෑම තත්පරයකම ඉස්ලාම් විරෝධි එසේම මුහම්මද් (සල්) තුමාණන්ට අපහස වන ආකාරයේ ලිපි, පිංතූර හා අදහස් (comments) වෙබ් අඩවි හා බ්ලොග් හරහා අන්තර්ජාලයට විශාල වශයෙන් එක්වෙමින් ඇත. එපමණක් නොව එවැනි පහත් පෙලේ මෙහෙවරයන් සදහා ආවඩන ‘like’ ද අඩුවක් නොමැතිව එක්වෙමින් ඇත. මේ සියල්ල තුලින් අපට කියාපාන්නේ කුමක්ද? මෙම චිත්‍රපටය ඉස්ලාම් විරෝධි එක් පුද්ගලයෙකු ‘තම පහත් හැඟීම පිටකල එක් ආකාරයක් මිස මෙවැනි පහත් ක්‍රියාවල නියෙලුන් එකම පුද්ගලයා ඔහු නොවේ’ යන්න නොවේද?. එපමණක් නොව මෙම චිත්‍රපටය නිර්මාණය කල පුද්ගලයාට වඩා පහත් අන්දමින් ක්‍රියා කරන කිසිවකු මේ ලෝකයේ නැතැයි කිසිවකුට තර්ක කල හැකිද?. මෙවැනි නිර්මාණයන් කිරීමට අවශ්‍ය පහසුකම් නොමැතිවීම නිසාත්, සමාජ මතවාදයන්ට මුහුණදීමට බිය නිසාත් මෙවැනි නිර්මාණ බිහි නොවුනාට ඉහත චිත්‍රපට නිර්මාණකරුගේ පැතුම බොහෝ දෙනෙකුගේ පැතුමන් ඉටුවීමක් යන්න පැහැදිලිව මෙහි කිවහැක. එය අප රටේ සිංහල භාෂාවෙන් ඉදිරිපත් වන එක්තරා වෙබ් අඩවියක ඉහත වීඩියෝව ඉදිරිපත් කිරීමේ දී එයට එක්වූ අදහස් (comments) හා එම අදහස් (comments)වලට දැක්වූ ධනාත්මක ප්‍රතිචාර ‘like’ මනාව කියාපාන්නකි. ඒ අනුව ඉහත චිත්‍රපටයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන මුස්ලීම් ප්‍රජාව මේ මා පවසන සමාජ තත්වය පිලිබදව අවබෝධයෙන් ක්‍රියා කලයුතු යන්න මාගේ අදහසයි. මෙහිදී ‘මුස්ලීම්වරුන් මෙම චිත්‍රපටය සදහා විරෝධතාවයක් ප්‍රකාශ කිරීම අනවශ්‍යයි’ යන්න මා අදහස් නොකරමි. ඉහත තත්වයන් සියල්ල නොසලකා ‘මේ චිත්‍රපටය තමා එකම ප්‍රශ්නය’ යන්න පවසන ආකාරයට එයට ප්‍රතිචාර දැක්වීමත්, එම ප්‍රතිචාරයන් ඉස්ලාම් අනුමත නොකල ආකාරයට සිදුකිරීමත් පිලිබදව තමා ‘යහමඟ’ මෙහිදී අවධානය යොමු කරන්නේ. මෙතැනදී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. ඒ මෙවැනි ඉස්ලාම් විරෝධි මඩ ව්‍යාපාර තුලින් ඉස්ලාම් දහමට අත්වන යහපත් තත්වයන් පිලිබදවයි. එනම්,

මෙවැනි මඩ ව්‍යාපාර නිසා බුද්ධීමත් ප්‍රජාව එහි විෂය පිලිබදව බුද්ධීමත් විමසුමක් සිදුකිරීමට පෙළඹවීමක් සිදුවේ. මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව අපහසාත්මකව නිර්මාණය කල චිත්‍රපටය දකින බුද්ධීමත් ප්‍රජාව ‘ඇත්තට මේ මුහම්මද්ගේ චරිතය මොනවගේද?’ යන්න සිතන්නට පෙළඹේ. ඒ පිලිබදව ආගමික මූලාශ්‍රවල සදහන් කරුණූ කාරණා පිලිබදව බුද්ධීමත් ලෙස විමසා බැලීමට පෙළඹේ. එසේ පෙළඹීම තුල සැබෑවටම ‘මුහම්මද් කියන්නේ කවුද ?’ යන්න ඔවුනට අවබෝධ කරගැනීමට හැකිවේ. එපමණක් නොව මෙවැනි මඩ ව්‍යාපාර හේතුවෙන් ඇත්තෙන්ම ඉස්ලාම් යනු කුමක්ද?, එහි ඉගෙන්වීමන් මොනවගේද? වැනි කුතුහලයන් බුද්ධිමත් සමාජය තුල නිර්මාණය වේ. එහි ප්‍රථිපලයක් ලෙස ඔවුන් ඉස්ලාමීය මූලාශ්‍රයන් අධ්‍යනය කිරීමටත්, ඒ තුලින් පිරිසිදු දහම කුමක්ද? යන්න අවබෝධ කරගැනීමටත් අවස්ථාවක් උදාවේ. මෙම තත්වය තමා මෑත කාලීනව එනම් සැප්තැම්බර් 11 ඇමරිකාවේ ගුවන් ප්‍රහාරය හා ඒ සමඟ ලොව පුරා නිර්මාණය වූ ඉස්ලාම් විරෝධී ව්‍යාපාර හේතුවෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව දැඩි උනන්දුවක් දැක්වීමත්, ඒ තුලින් ඉස්ලාම් දහම කෙරෙහි ඔවුන්ගේ ආකර්ශනය සිදුවීමත් තුලින් මුස්ලීම් ලෝකයට කියාපෑවේ. මේ ආකාරයට එක් පසෙකින් දහම් ප්‍රචාරයක් නොමැතිව දහමක් අන්‍යආගමිකයන් වෙත ලඟාවීමට මෙවැනි මඩ ව්‍යාපාර අශිර්වාදයක් වනවිට තවත් පසෙකින් ද යහපතක් සිදුවේ. එනම් දහම් මෙහෙවරෙහි උදාසීනව කටයුතු කල මුස්ලීම් සමාජය මෙවැනි සිදුවීමන් තුල නව ජවයක් නිර්මාණය වී සක්‍රිය දහම් මෙහෙවරයන් ඉටු කිරීමේ තත්වයන් මේ තුල නිර්මාණය වේ. ඉස්ලාම් දහමේ පිඹිදීමන් පිලිබදව වූ ඉතිහාසය තරමක් ගැඹූරින් විශ්ලේෂණය කලේනම් මෙම තත්වය අතීතයේ පටන් සෑම අවස්ථාවකම දැකගත හැකි පැහැදිලි සත්‍යයකි. ඒ අනුව ද පැහැදිලි වන්නේ මෙවැනි මඩ ව්‍යාපාර ඉස්ලාම් දහමට වෙස්වලාගත් ආශිර්වාදයක් යන්න පමණි.

ඉහත තත්වයන් හොදින් මනසේ රදවාගෙන මෙම චිත්‍රපටය මූලික කරගත් මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපය පිලිබදව දැන් ආගමික දෘෂ්ඨිකෝණයෙන් අවධානය යොමු කරමු. ඉස්ලාම් දහමට එරෙහිව මෙවැනි ප්‍රචාරණයන් සිදුවූ පලමු අවස්ථාව මෙය නොවන බව මා ඉහතින් ද සදහන් කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එය කොතරම් අතීතයට දිව යනවා ද යන්න පවසනවා නම්, මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටී කාලයේ පවා මෙවැනි මඩ ව්‍යාපාර හා ඉස්ලාම් විරෝධී එදිරිවාදිකම් අඩුවක් නොමැතිව දක්නට ලැබුණි. බොරු ‘නබිවරුන්’ (වක්තෘවරුන්), ‘මුනාෆික්’ (වංචකයින්) එහි ප්‍රබල පාර්ශවයන් විය. සමහරක් අවස්ථාවල ‘සහාභාවරුන්’ (නබිතුමාණන්ගේ සමකාලීන අනුගාමිකයන්) ‘නබිතුමණි!, මට අවසර දෙන්න ඔහුගේ හිස ගසා දමන්න’ යනුවෙන් අවසර පැතූ අවස්ථාවන් ආගමික මූලාශ්‍රයන් තුල දක්නට ලැබේ. එහි උච්චතම අවස්ථාව ලෙස මුහම්මද් (සල්) තුමාණන් ‘තායිෆ්’ නගරයේ අත්විදි තත්වය සදහන් කල හැක. එනම්,

මක්කා වාසීන් සදහා දෙවියන්ගේ පණිවුඩය ප්‍රකාශ කිරීම තුලින් ප්‍රථිපලයක් නොලද තැන තම අසල්වාසි නගරය වන ‘තායිෆ්’ වෙත ගොස් දූත මෙහෙවර ඉටුකිරීමට මුහම්මද් (සල්) තුමාණන් අදහස් කලේය. ඒ අනුව ‘තායිෆ්’ වෙත ගිය නබිතුමාණන් එහි ජනතාවට තමා වෙත පහල වූ දේව පණිවුඩය ප්‍රකාශ කරන්නට විය. පාරම්පරික සම්ප්‍රදායන් මෙන්ම මිත්‍යා විශ්වාසයන් තුල කොටු වී ජීවත් වූ එම ජනතාව නබිතුමාණන්ට ප්‍රතිචාර දැක්වීම සදහා යොදාගත්‍තේ එම නගරයේ කුඩා දරුවන්ය. එම නගරයේ වෙසෙන කුඩා දරුවන් කැදවා ‘මේ මිනිහට ගල්වලින් ගහලා මරණ්න’ යනුවෙන් ඔවුන් උසිගන්වන ලදී. එහිදී නබිතුමාණන් තම ජීවිතය බේරාගැනීම සදහා වීදියක් වීදියක්ගානේ දිව්වේ ලේ වගුරවමිනි. මේ මොහොතේ එතුමාණන් හමුවට පැමිණී (දේවදූතයන්ට නායකයා මෙන්ම දේව පණිවුඩය වක්තෘවරුන් වෙත ගෙන එන් දූතයා වන) ‘ජිබ්රීල්’ (අලෛ) තුමා ‘අවසර දෙන්න!, අල්ලාහ් (දෙවි) අවසර ඇතුව මේ නගරවාසීන් මේ ස්ථානයේම විනාශ කරදමන්න.’ යනුවෙන් විමසූ විට, නබිතුමාණන් ‘දේව දූතයාණෙනි!, මේ තායිෆ් නගර වාසීන් විනාශ නොකරන්න.’ යයි පවසා එම (පහරදුන්) දරුවන් හා ඔවුනගේ දෙමාපියන්ගේ යහමඟ වෙනුවෙන් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා ද කරන ලදී.

නබිතුමාණන්ට අපහස කල වීඩියෝ දර්ශනයක් හා පිංතූරයක් පදනම් කරගෙන ආවේගකාරී හැඟීමන්ට වහල් වී ප්‍රකෝපකාරී ලෙස ක්‍රියා කරන්නට පෙළඹෙන මුස්ලීම් සමාජය ඉහත කාරණය පිලිබදව තරමක් ගැඹුරින් විමසා බැලීම අත්‍ය අවශ්‍යය. ඉහත චිත්‍රපටයට විරෝධතාවය ප්‍රකාශ කරන බව පවසමින් සමහරක් පිරිස් බොරදියේ මාළු බාන්නට සැරසෙන ආකාරයක් මුස්ලීම් සමාජය අවබෝධ කරතයුතුය. එනම්, සමහරක් සංවිධාන මෙම විරෝධතාවය තම සංවිධානය ජනතාව අතර ජනප්‍රිය කරන්නට අවස්ථාවක් කරගන්නට උත්සාහ කරන ආකාරයක් දක්නට ඇති අතර තවත් සමහරෙක් තම ආවේගය හා බලය සමාජයට පෙන්වීමට මෙය හොද අවස්ථාවක් යැයි සිතා කටයුතු කරමින් ඇති ආකාරයක් දක්නට ඇත. නමුත් මේ කිසිවක් ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුකූල නොවේ. මුස්ලීම්වරුන් තම ප්‍රාණයට වඩා උතුම් කොට සලකන, විශේෂයෙන් නබිතුමාණන්‍ වෙනුවෙන් තම ජීවිතය කොයි මොහොතේ වුවද පරිත්‍යාග කරන්නට බලා හිදින ‘සහාභාවරුන්’ වෙසෙන සමාජයක් මධ්‍යයේ නබිතුමාණන්ගේ ලේ වැගිරීමක් සිදුවේ. එහිදී එම සමාජය සීමාව ඉක්මවා ක්‍රියා කලේ නැත. නබිතුමාණන් ද එම ‘තායිෆ්’ වාසීන්ගේ යහපත සදහා ප්‍රාර්ථනා කලා මිස ඔවුනට ශාප හෝ වෛර කලේ නැත. වර්ථමාන මුස්ලීම් සමාජය මේවා තුල ආදර්ශ ලැබිය යුතුව ඇත. නමුත් උපන්දා පටන් මුස්ලීම්වරුන් වන අප එම ආදර්ශයන් කොතෙක් දුරකට අවබෝධ කරගෙන තිබෙනවාද?. මමත්, ඔබත් මුස්ලීම් වුවත්, අප අවට ‍ඉහත ආකාරයේ පහත් පෙලේ මඩ ව්‍යාපාර ඉස්ලාමයට මුස්ලීම්වරුන්ට එරෙහිව දියත් වීමේ දී අප දක්වන ප්‍රතිචාර සහා ඉස්ලාම් පිලිබදව හා එහි ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් නොවන විද්වතුන්ගේ ප්‍රතිචාර මොහොතක් බුද්ධීමත් ලෙස විමසා බලන්න…

රාජකීය පණ්ඩිත තල්ගම්පල පදුම හිමි මෙසේ පවසයි,

මුහම්මත් තුමා හට දේවදූත මෙහෙවර ලැබුණාට පසු ආගම ප්‍රචාරය කිරීමේ දී එයට විරුද්ධව කුරෛෂි ගෝත්‍රකයෝ නැගී සිටියහ. මුහම්මත්තුමා සහ අනුගාමිකයන්ට විවිධ වධහිංසා පමුණුවන්නට පෙළඹුණේය. ඒ අවස්ථාවේ දී මුහම්මත්තුමාගේ අනුගාමකයන් විරුද්ධවාදින් සමඟ සටන් කිරීමට මුහම්මත්තුමාගෙන් අවසර ඉල්ලූවේය. නමුත් මුහම්මත්තුමා එයට එකඟ වුයේ නැත. තමන්ගේ ප්‍රචාරක කටයුතු අවිහිංසාවෙන් ම ප්‍රචාරය කලේය!

ග්‍රන්ථය – සමයාන්තර ඥානය

බී. ජී ෂෝ මෙසේ පවසයි,

මුහම්මද් තුමාගේ ආගමේ පවත්නා විශිෂ්ට පැවැත්ම සම්බන්ධයෙන් මම කවදත් උසස් අදහස් දරමි. සෑම යුගයකටම ගැලපෙන මහඟු චර්‍යාධර්මයකින් යුත් එකම ධර්මය ඉස්ලාම් බව මට පෙනේ. එතුමා ශ්‍රෙෂ්ඨ පුරුෂයෙකු බව මනා ව වටහා ගතිමි. ක්‍රිස්තියානි විරෝධි නොවෙමින් පවසනවා නම්, එතුමා මානව සංහතියේ ගැලවුම් කාරයාය. එබදු පුරුෂයකු නූතන ලෝකයේ ඒකාධිපති පාලනය අතකර ගත හොත් දැනට පවත්නා සෑම ගැටළුවක් ම නිරාකරණය වෙමින් ලොවට බෙහෙවින් අවශ්‍ය ව ඇති සාමය හා සතුට අත්වන බව මම තරයේ විශ්වාස කරමි.

ග්‍රන්ථය – The Genuine Islam

ඉහතින් මා ඉදිරිපත් කර ඇත්තේ විද්වත් මතවාද දෙකක් පමණි. (මෙවැනි විද්වත් මතවාද රාශියක් මෙම අඩවිය තුල මීට ඉහත ද ඉදිරිපත් කොට ඇත.) මේ තුලින් පැහැදිලි වන්නේ ඉහත චිත්‍රපටය සමස්ථ ලෝකයේම ඒකායන පැතුම නොවනවා පමණක් නොව ඉස්ලාම් පිලිබදව යහපත් මත දරණ බුද්ධීමතුන් ලෝකයේ තවමත් සිටිනවා යන්නයි. මෙවැනි විද්වත් මතවාදයන් ඉස්ලාම් සම්බන්ධයෙන් ලෝකයා දරද්දී චිත්‍රපටයක් හෝ පිංතූරයක් තුලින් සමාජය තුල වැරදි මතවාදයක් ගොඩනැඟීමට කිසිවකු උත්සාහ කරනවා යන්න එය පැහැදිලිවම බුද්ධීමත් සමාජයක් හමුවේ අසාර්ථක උත්සාහයකි. මෙය තමා අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ පවසයි.

ඔවුන් අල්ලාහ්ගේ ආලෝකය (නම් දහම) මුවින් (පිඹ) නිවන්නට අදහස් කරන්නෝය. එහෙත් එම ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද අල්ලාහ් ඔහුගේ ආලෝකය (නම් දහම) පරිපූර්ණ නොකර නොහරින්නේය

ශුද්ධ වූ කුර්ආනය 9-32

ඒ අනුව මේ චිත්‍රපටයක් තුලින් මේ දිව්‍යමය දහමට කලහැකි බලපෑම කුමක්ද?. අනික ‘චිත්‍රපටයක්’ යයි කියූ සැනින් අප සියල්ල හොදින් දන්නා කාරණයක් නම්, එය කිසියම් පුද්ගලයෙකුගේ මනසේ ඇතිවූ මනක්කල්පිත සිතුවිල්ලක් යන්න සහා එයට කිසියම් පිරිසක් එක්ව පණපෙවීමක් (රඟපෑමක්) යන්න. එම් නිසා මේ තුලින් ඉතිහාසයක් අලුතින් නිර්මාණය කිරීමක් හෝ විකෘති කිරීමක් කල නොහැක. කලහැකි එකම දෑ වන්නේ තාවකාලික වින්දනයක් ප්‍රේක්ශකයාට ලබාදීම පමණි. නමුත් ඉහත චිත්‍රපටයේ නිර්මාණාත්මක පැත්ත සැලකුවේ නම්, එය ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක (එහි පසුබිම පවා කෘතිමව එක්කොට) සීමිත පිරිසක් එක්ව කල (කැලෑ පත්තරයක් ආකාරයේ) තුට්ටු දෙකේ නිර්මාණයකි. එය හොද කලා නිර්මාණයක් යයි බහුබූත කථා කීමටත් එහි එවැනි කිසිවක් නැත. එසේ තිබිය දී මෙය මෙතරම් ලෝක ප්‍රසිද්ධ වුනේ ඇයිද? මෙය මුස්ලීම් සමාජ දැන්වත් විමසා බැලිය යුතු කාරණයකි. ඒ අන් කිසිවක් නිසා නොවේ එහි ප්‍රචාරණ කටයුත්ත ‘විරෝධතා පෙලපාලි, උද්ගෝෂණ හා පත්‍රිකා’ යනාදිය තුලින් ඉටුකිරීම වගකීම මුස්ලීම්වරුන් භාරගෙන සිටින නිසාය. මෙවැනි කොන්ත්‍රත්තු අප බාරගත්තු පලමු අවස්ථාව ද මෙය නොවන බවද මුස්ලීම් සමාජය අවබෝධ කර ගතයුතුය. මීට කලකට ඉහත ඩෙන්මාකයේ දී මුහම්මද් (සල්) තුමාණන්ට අපහස වන ආකාරයේ ඇදි චිත්‍ර සදහා ලොවපුරා පුළුල් ප්‍රචාරයක් ලබාදීමේ පුරෝගාමීන් වන්නේත් අපමය. එම චිත්‍ර අදත් අන්තර්ජාලය තුල විසිරී පවතින බව මුස්ලීම් සමාජය අමතක නොකලයුතුය. ඉස්ලාමීය විනයක් හා ආදර්ශයන් තුල බුද්ධියෙන් ක්‍රියා කලයුතු මුස්ලීම් සමාජය තම හැඟීමන්ට වහල් වී එසේත් නැත්නම් වැරදි මඟපෙන්වීමක් තුල කොටු වී අද ඉස්ලාම් විරෝධි ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුත්ත අප ම බාරගෙන යන්න කණගාටුවෙන් වුවද ප්‍රකශ කරන්නේ බුද්ධීමත් මුස්ලීම් සමාජය දැන්වත් මේ පිලිබදව සිතා බලා කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක් වන බැවිණි.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මෙවැනි පහත් පෙලේ ව්‍යාපාරයන් ජාත්‍යන්තරය හා කරට කර අප රට තුලත් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඇත. මේවාට අප ප්‍රතිචාර දක්වන ආකාරය මත ඔවුන්ගේ අරමුණූ ඉටුවෙනවාද? නොවේද? යන්න තීරණය වේ. මෙවැනි මඩ ව්‍යාපාර තුලින් ඔවුන් අපේක්ෂා කරන ප්‍රධාන කාරණයක් නම් ප්‍රකෝපකාරී එසේම නීති විරෝධි ක්‍රියාවන්ට මුස්ලීම් ජනතාව පොළඹවා ගැනීම හා ඒ තුලින් මහා ඛේදවාචකයක් රට තුල නිර්මාණය කිරීම. මෙතැන දී මුස්ලීම්වරුන් ක්‍රියා කලයුත්තේ ඉස්ලාමීය මඟපෙන්වීම තුල හිඳ පමණි. මුහම්මද් (සල්) තුමාණන්ට ඝාතනය කරන්නට පිටත්ව පැමිණි වීර සහාභිවරයා වන උමර් (රලි) ඉස්ලාමය වැලද ගත්තා නම් ඒ ඉස්ලාමීය විනය තුල මුස්ලීම්වරුන් ක්‍රියා කිරීමේ ප්‍රතිපලයකි. ‘තායිෆ්’ හි නබිතුමාණන් ට තුවාල කොට ලේ වැගිරවූ පිරිසට යහමඟ ලැබෙන්න නබිතුමාණන් ප්‍රාර්ථනා කලානම් ඒ ඉස්ලාමීය විනය එහි ක්‍රියාත්මක වූ නිසාය. එසේනම් එම අවිය මුස්ලීම්වරුන් සතුව අදත් ඇත. ඒ ඉස්ලාමීය විනයක් තුල හිඳ මුස්ලීම්වරුන් ක්‍රියාකිරීම හා ඉස්ලාමයට එරෙහිව එදිරිවාදිකම් කරන පිරිසගේ බුද්ධීයට ආමණ්ත්‍රනය කරන ගමන් ඔවුනට යහමඟ ලැබීම පිණිස දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කිරීම. එසේනම්, ‘යාඅල්ලාහ්!, අනවබෝධය නිසා ඉස්ලාමයට එරෙහිව එදිරිවාදිකම් කරන පිරිසට මේ දහම පිලිබදව පූර්ණ අවබෝධයක් ලඟාකර දෙත්වා!’ යනුවෙන් අවංක වූ ප්‍රාර්ථනාව එක් කරමින් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම