මුහම්මද් (සල්) තුමාණන්ට හතුරුකම් කල සමකාලීනයනුත් නිරුත්තරයි.

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහම පිලිබදව හා එහි අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව දිනෙන් දින අප රට තුල ගොඩනැ‍ගෙන වාද විවාද අපමණය. එවන් කරුණූ කොතරම් දුරකට වලංගු වනවාද? යන්න මෙම යහමඟ අඩවිය තුල විටින් විට සාකච්චා කොට ඇත. නමුත් එවැනි විවේචකයන්ගේ අඩුවක් නම් තවම දක්නට නැත. පූර්වනිගමන හා අනුමානයන් පමණක්ම පදනම් කරගෙන මෙලෙස සංවාද ගොඩනඟන පිරිසගේ අවධානයට ඉස්ලාමීය ආරම්භ කාල පටන් ඉස්ලාම් දහමට එරෙහිව දැඩි කැපවීමකින් ක්‍රියාකල ඉස්ලාම් විරෝධියෙකුගේ ප්‍රකාශනයක් ගෙනහැර දැක්වීමට මෙහිදී අදහස් කරමි.

අරාබි දේශයේ ඉස්ලාම් දහම ප්‍රකාශ වන මුල් අවධියේ පටන් එයට එරෙහිව කටයුතු කල පුද්ගලයන් අතර ප්‍රධාන පුද්ගලයෙකු වන්නේ “අබූසුෆියාන්” නම් තැනැත්තාය. මක්කාවේ ව්‍යාපාරිකයන් අතර ජනප්‍රිය එමෙන්ම බුද්ධිමත්, දක්ෂ ව්‍යාපාරිකයෙකු වන මොහු වීරත්වයෙන් ද විශීෂ්ඨයෙකු විය. ඉස්ලාම් දහම විනාශ කිරීමට දිවා රූ නොබලා වෙහෙසුනු මොහු ඒ සදහා කල කුමණ්ත්‍රන අපමණය. විශේෂයෙන් ඉස්ලාමීය ඉතිහාසය ප්‍රරාවට ක්‍රියාත්මක වූ බහුතරයක් යුද්ධයන් හි තම දායකත්වය නන්අයුරින් ලබාදී ඇත. ඉස්ලාම් දහම විනාශ කිරීම එකම අරමුණූ කරගෙන ක්‍රියාකල “අබූසුෆියාන්” හට දිනක් ඒ සදහා හොද අවස්ථාවක් උදාවිය. ඒ එවකට රෝම අධිරාජ්‍යය පාලනය කල බලසම්පන්න රජෙකු වන “හිරකල්” නම් රජු හමුවේ මුහම්මද් නම් පුද්ගලයා විසින් මක්කාව හා මදීනාව තුල ව්‍යාප්ත කරමින් සිටින “ඉස්ලාම්” නම් නව දහම් ප්‍රතිපත්තිය ප්‍රකාශ කොට එයට එරෙහිව රජුගේ සහයෝගය ලබාගැනීමයි. එය මෙසේය…

එවකට රෝම අධිරාජ්‍යයේ පාලකයා වන “හිරකල්” රජු වෙත මක්කාව මදීනා අවට ව්‍යාප්ත වෙමින් පවතින නව දහමක් හා අවසාන වක්තෘවරයා (නබිවරයා) යැයි පැවසෙන පුද්ගලයෙකු පිලිබදව වූ ආරංචියක් ලැබුණි. මේ පිලිබදව වැඩි දුර තොරතුරු සොයා බැලීමේ අරමුණින් එම අවස්ථාවේ (මක්කාව මදීනාව අශ්‍රත) ප්‍රදේශයේ සිට සිරියාව බලා යමින් සිටී ව්‍යාපාරික කණ්ඩායමක් හිරකල් රජු විසින් රාජ්‍ය සභාවට කැදවන ලදී. මෙසේ කැදවාගෙන ආ වෙළද කණ්ඩායම හමුවේ (රජතුමා තම භාෂා පරිවර්තකයන්ගේ සහය ඇතුව) “නුඹලා හමුවේ තමා නබිවරයෙක්” යයි පවසන පුද්ගලයාගේ පරම්පරාවට සමීපතම පුද්ගලයා කවුද?” යනුවෙන් විමසන ලදී. (එවිට තමා වෙත ලැබුණූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනු අරමුණින්) අබූසුෆියාන්, “තමා ඔහුගේ පරම්පාරවට සමීපතමයෙකු” යනුවෙන් පවසන ලදී. එවිට රජ පුරුෂයෙකු මඟින් ඔහුව රජු හමුවට කැදවාගෙන එන ලදී. ඉන් අනතුරුව රජු විසින් (අබූසුෆියාන් වන) ඔහු සමඟ පැමිණි පිරිසට නියෝගයක් පනවන ලදී. එනම් “තමා විසින් මොහු (අබූසුෆියාන්)ගෙන් විමසන පැනයට ඔහු වැරදි පිලිතුරක් ලබාදෙන්නේ නම් එය එම මොහොතේ ඔබලා පෙන්වාදිය යුතුය” යන්නයි. මෙම කොන්දේසියෙන් තැතිගැණුනු තමා (ට එම මොහොතේ සිතුණූ දෑ පසුකාලීනව එනම් ඉස්ලාම් දහම වැලද ගැනීමෙන් අනතුරුව මෙසේ පවසන ලදී.) එනම් “(මා සමඟ පැමිණි) පිරිස් මා බොරුවක් පැවසූ බව පවසාවි දෝ යන බිය පමණක් මා හඳ තුල නොතිබුණේ නම් සත්‍ය වශයෙන්ම මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව එදා බොරු ‍ගොත ගොතා පවසා ඇත්තෙමි”. මෙසේ රජු විසින් නියෝගය පැනවීමෙන් අනතුරුව හිරකල් රජු හා අබූසුෆියාන් අතර සංවාදය ඇරඹූණි. එය මෙසේය…

හිරකල් – උඹලා අතර ඔහුගේ පරම්පරාවට ඇති පිලිගැනීම කොහොමද?
අබූසුෆියාන් – ඔහු ඉහල (හොද) පරම්පරාවකින් පැවත එන්නෙකි.
හිරකල් – මොහුට පෙර මොහුගේ පරම්පරාවේ වෙන කවරෙහු හෝ මෙම දර්ශනය ප්‍රකාශ කොට තිබෙනවාද?
අබූසුෆියාන් – නැහැ
හිරකල් – ඔහු පරම්පරාවේ කවරෙහි හෝ රජෙකු (රාජ්‍ය පාලකයෙකු) ලෙස හිද තිබෙනවාද?
අබූසුෆියාන් – නැහැ
හිරකල් – ඔහුව පිලිපදින පිරිස් එම සමාජයේ උසස් පුද්ගලයන්ද? පහත් පුද්ගලයන්ද?
අබූසුෆියාන් – පහත් පුද්ගලයන් තමා
හිරකල් – එසේ අනුගමනය කරන පිරිස් දිනෙන් දින වර්ධනය වනවාද? නොසේ නම් අඩුවනවාද?
අබූසුෆියාන් – වර්ධනය වෙමින් පවතින්නේ
හිරකල් – එම දහම වැලදගත් පිරිස් අතුරින් කවරෙකු හෝ එම දහම ප්‍රතික්ෂේප කොට දහම අතහැර ගොස් තිබේද?
අබූසුෆියාන් – නැහැ
හිරකල් – මෙම (ඉස්ලාම්) දහම ප්‍රකාශ කිරීමට පෙර කාලවල ඔහු නුඹලා අතර බොරුවක් පවසන බවට සැක කොට තිබෙනවාද?
අබූසුෆියාන් – නැහැ
හිරකල් – ඔහු ජනතාවට වංචාවක්, මුලාවක් කර තිබෙනවාද?
අබූසුෆියාන් – නැහැ, අප දැන් ඔහු සමඟ ගිවිසුමකට එළඹ සිටිනවා. එහි දී ඔහු කුමන ආකාරයට කටයුතු කරාවිද? යන්න නොදනිමු.
හිරකල් – නුඹලා ඔහු සමඟ යුධ කොට තිබෙනවාද?
අබූසුෆියාන් – ඔව්
හිරකල් – ඔහු සමඟ කල යුද්ධයන් හි තත්වය කුමක්ද?
අබූසුෆියාන් – ජය පරාජය දෙපාර්ශවය අතර මාරුවෙන් මාරුවට පැමිණෙන්නේය
හිරකල් – ඔහු නුඹලාට කුමක් කරන ලෙස අණ කරන්නේද?
අබූසුෆියාන් – නූඹලා අල්ලාහ් (දෙවි)ට පමණක් වැදුම් පිදුම් කරන්න, දෙවියන්ට කිසිවක් සමාන නොකරන්න, නුමළාගේ පැරණ්නන් පැවසූ (පාරම්පරික) දෑ අත්හරින්න, එපමණක් නොව (දිනපතා පස්වේල් වන්දනය) ‘සලාතය’ ඉටු කරන්න, සකාත් (බද්ධ) ගෙවන්න, සත්‍ය පමණක් කථා කරන්න, අන් අයගේ ගෞරවය (ආත්ම අභිමානය) ආරක්ෂා කරන්න, පාපක්‍රියාවන්ගෙන් වැලකෙන්න, ඥාතී සම්න්බන්ධතා ආරක්ෂා කරමින් ඔවුන් සමඟ සමීපව (සහයෝගයෙන්) කටයුතු කරන්න… යනාදී දෑ දේශනා කරයි.

මෙ‍සේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිරකල් රජූ තවදුරටත් මෙසේ පවසන ලදී…

* මම ඔහුගේ පරම්පරාව ගැන විමසුවෙමි. එයට ඔබ “ඔහු අප අතුරින් උසස් පරම්පරාවකින් පැවත එන්නේය” යනුවෙන් පවසන ලදී. එලෙසයි දේව වක්තෘවරුන් එවනු ලබන්නේ
* “ඔහු පවසන දෑ ඔහුට පෙර එම පරම්පරාවේ වෙන කවරෙහු හෝ ප්‍රකාශ කොට තිබෙනවාද?” යනුවෙන් විමසූ විට ඔබ “නැතැයි” පිලිතුරු දුන්නේය. එසේ මීට පෙර ප්‍රකාශ වූ යමක් මොහුද ප්‍රකාශ කලේනම්, මොහු ඔවුන් පිලිපදිනවා යනුවෙන් පවසන්නට තිබුණි,
* “ඔහු පරම්පරාවේ කවරෙහි හෝ රජෙකු (රාජ්‍ය පාලකයෙකු) ලෙස හිද තිබෙනවාද?” යනුවෙන් විමසූ විට එයටත් ඔබ “නැතැයි” පිලිතුරු දුන්නේය. එසේ පැවතුණි නම් “තම පියාගේ බලය” ලබාගන්න තැත්කරනවා යනුවෙන් පවසන්නට තිබුණි,
* “මෙම දහම ප්‍රකාශ කිරීමට පෙර ඔහු නුඹලා අතර බොරුවක් පවසන බවට සැක කොට තිබෙනවාද?” යනුවෙන් මා විමසූ විට ඔබ “නැතැයි” පිලිතුරු දුන්නේය. එසේනම් මිනිසුන් මධ්‍යයේ බොරුවක් පවසන්නට නොපෙළඹූණූ ඔහුට දෙවියන් සම්බන්ධයෙන් බොරුවක් පැවසීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව මට පැහැදිලිය.
* මා විසින් “ඔහුව පිලිපදින පිරිස් එම සමාජයේ උසස් පුද්ගලයන්ද? නොඑසේ නම් පහත් පුද්ගලයන්ද?” යනුවෙන් විමසූ විට “පහත් පුද්ගලයන් තමා” යනුවෙන් ඔබ පවසන ලදී. එවැනි පිරිස් තමා දේව වක්තෘවරුන් පිලිපැදීමෙහි කවදත් පෙරමුණ ගෙන සිටියේ.

(ඉහතින් දක්වා ඇත්තේ දීර්ඝ ‘හදීසයක’ කොටසක් පමණි. මෙම සම්පූර්ණ හදීසය බුහාරී නම් හදීස් ග්‍රන්ථයේ මුල් හදීස් 10 තුල ඔබට දැකගත හැක)

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය මෙලෙස ඔබගේ අවධානයට යොමු කිරීම තුලින් මා අපේකෂා කරන්නේ වර්ථමාන ලෝකය තුල ඉස්ලාම් දහමට විශේෂයෙන් මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව පිටු ගණන් චෝදනා පත්‍ර පෙල ගස්සන පිරිස් මෙම කරුණූ විමසා බැලීම අත්‍යඅවශ්‍ය යන්නයි. වසර 1400 ක‍ට පසු කාලීනව හිද අද යමක් විවේචනය කිරීම කොතරම් ප්‍රායෝගක කාරණයක්ද? යන්න මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. අබූසුෆියාන් යනු එවැනි තවත් වර්ථමාන චරිතයක් නොවේ. ඔහු මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීනයෙකි. එපමණක් නොව ඉස්ලාම් දහමට එරෙහිව කුමණ්ත්‍රණ ගණනාවක්ම සැලසුම් කල බුද්ධිමත් දක්ෂ සැලැසුම්කරුවෙකි. එවන් වූ ඔහු හමුවේ ඉදිරිපත් වන පැනයන් හා එයට ඔහු ලබාදෙන පිලිතුරු පිලිබදව බුද්ධිමත් ලෙස විමසා බැලීම තුල මුහම්මද් (සල්) තුමාණන් නම් අසමසම චරිතය ඔබට නිවරුදිව හදුනාගත හැකි වනු ඇත. වර්ථමානයේ අප රට තුල මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව පෙලගස්සන චෝදනාවන් සියල්ලට ඉහත සංවාදය තුල පිලිතුරු ඇතැයි සිතමි. ඉහත සංවාදය තුල මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව එක් ප්‍රකාශයක් හෝ කරන්නට ඔහු අසාර්ථක විය. එය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම පිණිස එහි වැදගත් අවස්ථාවක් ගෙනහැර දක්වන්නට කැමැත්තෙමි. එනම් ඉහත හදීසයේ එක්තරා තැනක හිරකල් රජු මෙසේ විමසයි. “ඔහු ජනතාවට වංචාවක්, මුලාවක් කර තිබෙනවාද?” මේ අවස්ථාවේ අබූසුෆියාන් “නැහැ” යනුවෙන් පවසා තවදුරටත් “අප දැන් ඔහු සමඟ ගිවිසුමකට එළඹ සිටින්නෙමු. එහි දී ඔහු කුමණ ආකාරයට කටයුතු කරාවිද? යන්න නොදනිමු.” යනුවෙන් පවසයි. මේ පිලිබදව (අබූසුෆියාන් වන) ඔහු පසුකාලීනව (ඉස්ලාම් දහම වැලද ගැනීමෙන් අනතුරුව) පැවසීමේ දී “එලෙස මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව කුතුහලයක් මතු කරමින් පිලිතුරුදීමක් හැර එතුමාණන්ට එරෙහිව වෙන කිසිදු බොරුවක් පවසන්න මට එහි අවස්ථාවක් නොලැබුණි” යනුවෙන් පවසන ලදී.

මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීනයෙකු බුද්ධිමතෙකු වන අබූසුෆියාන්ගේ ඉස්ලාම් විරෝධී මෙහෙවරත් සමඟ වර්ථමාන ඉස්ලාම් විරෝධින්ගේ මෙහෙවර සැලකූවිට එය “මහාමේරු පර්වථය ලඟ තැබූ අඹ ඇටයක් තරම්ය” එවන් වූ පුද්ගලයෙකුට පවා මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව එදා චෝදනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වුවානම් එම සමාජය පිලිබදව කිසිදු අවබෝධයකින් තොරව අනුමානය පමණක් පදනම් කරගෙන චෝදනාවන් ගොඩනඟන අප රටේ ඔස්තාර්ලා පිලිබදව කුමක් පවසන්නද? කෙසේ වෙතත් මේ සියල්ල ඔබගේ බුද්ධිමත් විමසුමට තබමින් අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කරමින් මඩ ව්‍යාපාරයන් හි නියලෙන ඉහත පිරිස් මෙම සංවාදය නැවත නැවතත් බුද්ධිමත් ලෙස විමසා බැලීම අත්‍යඅවශ්‍ය යන්නයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/12/6

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම