මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගත් බිරින්දෑවරුන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මුහම්මද් (සල්) තුමාණන් බහුවිවාහයක් සිදුකලාද? යන කාරණය මෙම අඩවිය තුල ඉස්ලාම් පවසන බහුවිවාහය හා මුහම්මද් (සල්) තුමාණන් කල විවාහයන් යන මාතෘකාව යටතේ මීට ඉහත සාකච්යිචා කලෙමු. මෙම ලිපිය තුලින් මුහම්මද් (සල්) තුමාණන් සිදුකල විවාහ සංඛ්‍යාව කීයද?, ඒ කවුරු සමඟද?, ඒ කුමක් සදහාද?... වැනි කරුණු එතුමාණන් සිදුකල එක් එක් විවාහයන් පදනම් කරගෙන දැන් විමසා බලමු.

මුහම්මද් (සල්) තුමාණන් විවාහ වූ බිරින්දෑවරුන්

කතීජා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන්ගේ ප්‍රථම විවාහය සිදුවුයේ කුවෙයිලිද් නැමැත්තාගේ දුව වන කතීජා (රලි) තුමිය සමඟය. මෙය මුහම්මද් (සල්) තුමාණන් (නබිවරයෙකු හෙවත්) වක්තෘවරයෙකු වීමටත් පෙර කාලයේ සුදුවුවකි. එනම් මුහම්මද් (සල්) තුමාණන්ට දේව වක්තෘත්වය හිමිවුණේ වයස අවුරුදු 40 දී වන නමුත් එතුමාණන් විවාහ වුයේ තරුණ අවදියේ එනම් වයස අවුරුදු 23 දී පමණය. මෙම ස්ථානයේ සදහන් කලයුතු කරැණක් ඇත. එනම් එතුමාණන් වයස අවුරුදු 40 දක්වා සමාජය තුල කල කියු කිසිවක් ඉස්ලාම් නොවන බව පැහැදිලිවම සමාජය අවබෝධකර ගතයුතුය. මන්ද ඉස්ලාම් දහම දේව පණිවුඩ මූලික පදනම කරගත් දහමකි. ඒ අනුව දේව පණිවුඩ මුහම්මද් (සල්) තුමාණන්ට පහලවීම ඇරඹෙන්නේ එතුමාට වයස අවුරුදු 40 දී පටන් වන බැවින් ඉහත නිගමනයට එළඹීම අපහසු කාරණයක් නොවනු ඇත.

දැන් මාතෘකාව වෙත අවධානය යොමු කරමු. ප්‍රථමයෙන් මුහම්මද් (සල්) තුමාණන් තරුණ අවධිය ගතකල සමාජය පිලිබදව කෙටි අවධානයක් යොමු කලේ නම්, එය ඉතා අරාජිකව පැවැති සමාජයකි. එහි නීතියක්, සාරධර්මයක්, සාධාරණයක්, සභ්‍යත්වයක් හෝ සදාචාරයක් පැවතුනේ නැත. එය මෙම යහමඟ වෙබ් අඩවිය හරහා කිහිපවිටක් කථා කොට ඇත. ඉහත සදහන් තත්වය අවබෝධ කරගැනීම සදහා එම සමාජයෙන් එක් නිදසුනක් මාතෘකාවට අදාලව ගෙනහැර දක්වන්නේ නම්, එම සමාජයේ විවාහය සිදුවූ ආකාරය සදහන් කලහැක. එනම්,

“එදා එම (ඉස්ලාම් ප්‍රකාශවීමට පෙර (ජාහිලියා)) සමාජයේ කිසියම් කාන්තාවක් විවාහවීමට අපේක්ෂා කරන්නේ නම් ඇය තම නිවස ඉදිරිපස කොඩියක් ලෙලදෙනු ලැබේ. එවිට එම ප්‍රදේශයේ ජීවත්වන ඇය විවාහ කරගැනීමට අපේක්ෂා කරන සියළු පිරිමීන් පැමිණ ඇය හා ලිංගිකව එක්වනු ලැබේ. එසේ කාලයක් ගතවීමත් සමඟ ඇය ගැබ්ගෙන දරුවකු මෙලොවට බිහිකරයි. ඉන්පසු ඇයි විසින් හෝ ඒ සදහාම එදා සමාජයේ පත්කර තිබූ කාන්තාවක් විසින් බිහිවුනු දරුවා දෙස බලා මේ දරුවාගේ පියා මොහු තමා යයි නම්කරනු ලැබේ. එවිට එම පුද්ගලයා ඇයව විවාහ කරගතයුතු වේ.”

මෙවන් වූ අරාජික සමාජය තුල දුරාචාරය රජකල බව ඉහත කාරණයෙන් ඔබට මනාව පැහැදිලි වනු ඇත. මෙවන් වූ සමාජයක් තුල පිරිසිදු ජීවිතයක් ගතකරනවා යනු ඉතා දුලභ වූ කරුණක් විය. එවන් සමාජයක් තුල පිරිසිදු චරිතයකට උරුමකම් කියන්නට හැකිවුයේ ඉතාම සීමිත පිරිසකට පමණි. එවන් පිරිස් අතර මුහම්මද් (සල්) තුමාණන් ද කෙනෙකු බව ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව මෙන්ම එදා මෙදා තුර ඉස්ලාම් දහමට එරෙහිව මෙන්ම මුහම්මද් (සල්) තුමාණන්ට කල විවිධ අපහසයන් අතර මෙම චෝදනාව අඩංගු නොවීම තුල ද මනාව පැහැදිලි වේ. කුඩා කලසිටම දෙමාපිය සෙනෙහස අහිමිවී ගිය නබිතුමාණන්, වරදකට පෙළඹෙන්නට සියළු අවස්ථාවන් හොදින් පිහිටුනු මෙපමණ අරාජික සමාජයක් තුල නිසි මඟපෙන්වවීමක් නොමැතිව කාගෙත් ආකර්ශණය හා විශ්වාසය දිනාගෙන පාරිශුද්ධ ජීවිතයක් ගතකිරීම අද අපව පවා මවිත කරවන කාරණයකි. එතුමාණන්ගේ ඒ අසමසම ආදර්ශමත් ජීවිතය කියාපාන සාධක බොහෝමයක් ඉතිහාසයේ සදහන්ව ඇත. එදා එම සමාජය තුල දිනාගෙන සිටී ගෞරවය හා ආදරයට හොදම නිදසුන ලෙස පහත සිදුවීමන් සදහන්කල හැක.

  • එතුමාණන් ඉස්ලාම් දහම සමාජයට දේශනා කිරීමට පෙර එතුමාණන්ව එම සමාජය ආමන්ත්‍රණය කලේ “අස්සිද්ධික්” එනම් “සත්‍යවාදියා” යනුවෙනි.
  • එදා එම “ජාහිලියා” (ඉස්ලාමය ප්‍රකාශවීමට පෙර) සමාජයේ කිසියම් තීරණාත්මක හෝ ගැටළුකාරී අවස්ථාවල තීරණ ගැනීමේ ඒ අවස්ථාව හිමිවුයේ මුහම්මද් (සල්) තුමාණන්ටය. එයට නිදසුනක් ලෙස කව්බතුල්ලා නම් ශුද්ධ වූ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ දී එහි තිබූ “හජ්රුල් අස්වද්” නම් වූ ගල නැවත තිබූ තැන සවිකිරීමට එය කවුරුන් විසින් එම ස්ථානයේ තබනවාද යන්න පිලිබදව දරුණු මතභේදයක් එවකට සමාජයේ පැවතී කුල අතර ඇතිවිය. මේ මොහොතේ මුහම්මද් (සල්) තුමාණන්ට (වක්තෘවරයෙකු වීමට පෙර කාලයේ) මැදිහත් වී එම තත්වය සමතයකට පත්කිරීමට හැකි වුයේ එම සමාජයේ එතුමාණන්ට තිබූ ප්‍රසිද්ධිය හා ගෞරවය හේතුකොටගෙනය.
  • “එසේම එතුමාණන් දිනක් කන්දක් මුදුනට නැඟ එදා සමාජයේ ජීවත් වූ සියළු කුලයන් ඒ ඒ නම්වලින් ආමන්ත්‍රණය කොට මෙසේ විමසන ලදී. ‘මේ කන්ද පිටුපසින් ඔබලාට පහරදීමට සේනාවක් එනවා යයි මා පැවසුවේ නම් එය නුඹලා පිලිගන්නෙහිද?’ එයට එම පිරිස් එක හඩින් පවසා සිටියේ “ඔබ අප අතරේ විශ්වාසම පුද්ගලයා ඔබ කුමක් පැවසුවත් අප පිලිතනිමු” යනුවෙනි… (මෙය දීර්ඝ හදීසයක්)

ඉහත කරුණූ එතුමාණන් කෙරෙහි සමාජයේ තිබූ ආදරය ගෞරවය මනාව පිළිඹිබු කරනවා නොවේද?

මෙවන් වූ ආදරයත් ගෞරවයත් ඉහලින්ම දිනාගෙන සිටී මුහම්මද් (සල්) තුමාණන්ට එතුමාණන්ගේ බහුවිවාහය පදනම් කරගෙන වර්ථමාන සමාජය එල්ලකරන ප්‍රධාන චෝදනාව තමා “අධික කාම වියරුවකින් පෙළුණා” යන්න. මෙම චෝදනාව කොතරම් පදනම් විරහිත චෝදනාවක් ද යන්න මෙම ලිපි පෙල ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත. කෙසේ වෙතත් ඉහත චොදනාව පදනම් විරහිත චොදනාවක් යන්නට ගෙනහැර දක්වන පලමු කාරණය එතුමාගේ පිවිතුරු තරුණ දිවිය වන අතර දෙවන කාරණය තමා ප්‍රථම විවාහය ජීවිතය.

වයස අවුරුදු 25 දී එතුමාණන් විවාහ වන්නේ කතීජා නමු වූ වයස අවුරුදු 40 ක වැන්දඹු කාන්තාවක් සමඟය. එම කතීජා නම් වූ කාන්තාව පිලිබදව කෙටි විමසුමක් කරන්නේ නම්, ඇය මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගැනීමට පෙර දෙවරක්ම විවාහ වී වැන්දඹු වූ කාන්තාවකි. එපමණක් නොව ඇය දරුවන් කිහිපදෙනෙකුගේ මවක්ද වුවාය. නමුත් මේ කතීජා (රලි) තුමිය හා මුහම්මද් (සල්) තුමාණන් අතර විවාහය සිදුවන විට මුහම්මද් (සල්) තුමා සිටියේ ආකර්ශණීය කරුණ අවදියකය. මා ඉහතින් සදහන් කලාසේම එම සමාජයේ ඉහල ආදරය ගෞරවය දිනාගෙන ඉහල පෙළපතකට පවා උරුමකම් කියූ එතුමාණන් සිතුවේ නම් එම සමාජයේ සිටි සුන්දරතම කන්‍යාව ක්ෂණයකින් විවාහ කරගන්නට හැකියාව පැවතුණි. එසේ තිබිය දී පවා දරුවන් කිහිපදෙනෙකුගේ මවක් මෙන්ම දෙවරක්ම වැන්දඹු වූ මහළු විය අභියස සිටින කාන්තාවක් විවාහ කරගැනීම තුලින් ඉහතින් චෝදනා කරනවා සේ කාම වියරුවක් එතුමාණන්ට නොපැවතී බව පැහැදිලිය. වර්ථමාන සමාජය හා මෙම තත්වය මොහොතක් සිතා බලන්න අද තරුණයන් සොයන්නේ තමන්ට වඩා අවුරුදු 5ක් හෝ ඊටත් අඩු තරුණියන්ය. එවන් තත්වයක මුහම්මද් (සල්) තුමාණන් තම ප්‍රථම විවාහය වයස අවුරුදු 40 ක වැන්දඹු කාන්තාවක් හා ඇති කරගැනීම සාමාන්‍ය තත්වයට එහා ගිය සරල තත්වයක් යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එය කොතරම් සරල තත්වයක්ද යයි පවසනවා නම් මෙම තත්වය කෙනෙකුට “ඉස්ලාම් සමාජයට පෙන්වාදෙන වැරදි ආදර්ශයක්” යයි පවා සිතෙන්නට පුළුවනි. එසේ සිතුවේ නම් එහි වරදක් ද නැත මන්ද මුහම්මද් (සල්) තුමාණන් මුස්ලීම් සමාජයට ඇති එකම ආදර්ශය ලෙස මුස්ලීම්වරුන් සලකන බැවිණි. නමුත් මෙහි දී මා ඉහතින් පැවසූ කාරණය නැවත අවධාරණය කරමි. එනම් මුහම්මද් (සල්) තුමාණන් මුස්ලීම් සමාජයට අදර්ශයක් වන්නේ එතුමාණන් වක්තෘභාවය ලැබූ මොහොතේ පටන්ය. ඒ අනුව මෙම විවාහය මුස්ලීම් සමාජයට අදර්ශයක් වන්නේ නැත. එපමණක් නොව විවාහය සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමාණන් දේව වක්තෘවරයෙකු වශයෙන් මුස්ලීම් සමාජයට දේශනා කල කාරණය ඉහත ආදර්ශය අභිබවා යන්නකි. ඒ පිලිබදව සදහන් කරන්නේ නම්,

“දිනක් මුහම්මද් (සල්) තුමාණන් ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රලි) නැමැති කරුණායාගෙන් මෙසේ විමසන ලදී ‘නුඹ විවාහයක් කරගෙන ඇත්තේද?’ යයි විමසන ලදී. එයට ඔහු ‘ඔව්’ යයි පිලිතුරු දෙන ලදී. එයට මුහම්මද් (සල්) තුමාණන් ‘කන්‍යාවියක්ද? වැන්දඹුවක්ද?’ යයි විමසන ලදී. එයට ඔහුට ‘වැන්දඹු කාන්තාවක් තමා’ යයි පවසන ලදී. ඇයට මුහම්මද් (සල්) තුමාණන් ‘නුඹ කන්‍යාවියක් විවාහ කරගතයුතු නොවේද?, ඇය සමඟ නුඹ විනෝද වන්නටත්, නුඹ සමඟ ඇය විනෝදවන්නටත්, ඇය හා නුඹ සතුටින් සිටින්නටත්, නුඹ හා ඇය සතුටින් සිටින්නටත් කන්‍යාවියක් තමා සුදුසු වන්නේ’ යයි පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී හා මුස්ලීම්

මේ අනුව ඉස්ලාම් මුස්ලීම් සමාජයට විවාහය සම්බන්ධයෙන් මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රියා පිලිවෙත පැහැදිලිවම සදහන් කරයි. එය මා මීට වඩා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. දැන් කිසියම් කෙනෙකුට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම් මුහම්මද් (සල්) තුමාණන් මෙය “මුස්ලීම් සමාජයට එක් ආකාරයටත් තමන්ට තවත් ආකාරයටත් ගලපා ගත්තේ ඇයි?” මෙහි දී අවබෝධ කරගතයුතු කාරණය නම් මෙවැනි දිවියක් එතුමා අපේක්ෂා නොකල යන්න පමණි. ඒ කෙසේ වෙතත් මේ සියල්ල තුලින් නැවත නැවතත් තහවුරු කරන්නේ මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිතය තුල ඉහත පිරිස් චෝදනා කරනවා සේ කාමුක වියරුවක් හෝ ලොල් බවක් නොපැවතී බව පමණි. මෙම කාරණය වඩාත් හොදින් තහවුරු වන්නේ එතුමාණන් කතීජා (රලි) තුමිය සමඟ යුගදිවිය ගතකල කාලය පිලිබදව සැලකීමේදීය. මුහම්මද් (සල්) තුමාණන් තම වයස අවුරුදු 25 දී විවාහ වී වයස අවුරුදු 50 දක්වා කාලය වන අවුරුදු 25 ජීවත් වුයේ කතීජා තුමිය සමඟයි. මනුෂ්‍ය දිවියේ විශේෂයෙන් තරුණ දිවියක වයස අවුරුදු 25 සිට 45 පමණ කාලය යන්න ජීවිතයේ සුන්දරතම අවධියයි. ඒ පිලිබද කිසිවුකුටත් විග්‍රහයක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවනු ඇත. එසේම ඒ පිලිබදව කිසිවකුටත් වාදයක් පැවතීමට ද නොහැක. එවනු වූ සුන්දර කරුණ්‍යය විදින් ඕන අවදියේ මුහම්මද් (සල්) තුමාණන් තම ජීවිතය ගතකලේ මහළු කතීජා තුමිය සමඟයි. (මුහම්මද් (සල්) තුමාට වයස අවුරුදු 50 වන විට එතුමාගේ බිරිදගේ වයස අවුරුදු 65කි. මෙහි දී වටහා ගතයුතු තවත් වෛද්‍ය විද්‍යාත්ම කාරණයක් ඇත. එනම් සාමාන්‍යයෙන් කාන්තාවට ඇතිවන ලිංගික අවශ්‍යතාවයන් උපරිමයෙන් පවතින්නේ වයස අවුරුදු 20-40 ත් අතර යන්න වෛද්‍ය විද්‍යාව පවා අනාවරණය කරන කාරණයකි. මෙම කාරණයේ දී පිරිමයකුගේ දිවියේ සුන්දරතම අවධිය වන්නේ වයස අවුරුදු 30-35 ත් අතර කාලයයි. මේ පිරිමියකුගේ ලිංගික දිවියේ උච්චතම කාල පරාසයයි. දැන් මෙම කාරණය පිලිබදව තරමක් ගැඹුරින් විමසුමක් කලේනම්, මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 30-35 වයස ලබන විට එතුමාගේ ආදර බිරිදගේ වයස අවුරුදු 45-50 වේ. මේ දෙදෙනාගේ විවාහ දිවිය තුල ලිංගික සතුට උපරිමයෙන් පවතින්ට හැකියාවක් පවතිනවාද? යන්න ඔබම බුද්ධිමත් ලෙස විමසා බලන්න. එපමණක් නොව මුහම්මද් (සල්) තුමාණන් කතීජා තුමිය සමඟ වසර 25ක් ජීවත් වූ බව මා ඉහතින් සදහන් කලා ඒ අනුව කතීජා තුමිය වයස අවුරුදු 65 දක්වා ජීවත් වී ඇත. මුහම්මද් (සල්) තුමාණන් කාමුක වියරුවකින් පෙළුනා යයි චෝදනා කරන පිරිස මෙහි දී අවධානයට ගතයුතු කාරණය නම් එතුමාගේ බිරිදගේ වයස 50-65 දක්වා වසර 15ක කාලයක් මුහම්මද් (සල්) තුමාණන් තම හැඟීම් පාලනය කලේ කෙසේද? මුහම්මද් (සල්) තුමාණන්ට චෝදනා කරන පිරිස් මෙම කාරණය පිලිබදව දෙවරක් සිතා බැලිය යුතුය. එම චූදිතයන් පවසන ආකාරයට එතුමාණන්ට අධික කාමඅශාවන් පැවතුණා නම් කතීජා තුමියගේ අවසාන කාලයේ එතුමාණන්ට වෙනත් කාන්තාවක් විවාහ කරගන්නට තිබුණි. මන්ද එම සමාජය (ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර සිටම) බහු විවාහය සම්පූර්ණයෙන්ම අනුමත කල සමාජයක් වන බැවිණි. නමුත් එවැනි තත්වයකට එතුමාණන් යොමු නොවීම තුලද ඉහත චෝදනාව පදනම් විරහිත එකක් බව පැහැදිලි වේ.

මෙහි දී සමහරෙක් මතු කරණ තර්කයක් තමා “එවැනි අවශ්‍යතාවයක් පැවතුණත් සමාජ ගෞරවය තමන්ට අහිමි වේ යයි බියක් පවතින්න ඇති” යන්නයි. මෙය සම්පූර්ණයෙන්ම වැරදි තර්කයකි. මන්ද මා ඉහතින් සදහන් කලාසේ බහු විවාහය එම සමාජයේ සම්ප්‍රදායක්ව පැවතුණි. එක්කෙනෙකු විවාහ 10,15, 20 ක් යනාදී වශයෙන් එම සමාජයේ සම්ප්‍රදායන් පැවතුණි. එපමණක් නොව බහු විවාහයන් සිදුකොට තිබීම අඩම්භරයට කාරණයක් ලෙස එම සමාජය සලකන ලදී. එවන් සමාජයක “තම ගෞරවය ඒ නිසා අහිමි වේවි” යයි සිතුවා යන්න පැහැදිලිවම අනවබෝධයක් පමණි. වාදයකට ඉහත එම තර්කය සත්‍ය යයි උපකල්පනය කලත්, මුහම්මද් (සල්) තුමාණන් දහම් ප්‍රචාරයේ දී තම ගෞරවය පිලිබදව සැලකිලීමත් වුවාද යන්න එහි දී මතුවන ගැටළුවයි. එතුමාගේ දහම් ප්‍රචාරන වසර 23ක දිවිය තුල එතුමාණන් දිනාගත්තු දෑ අල්පය එතුමාණන් අහිමිකරගත් දෑ අපමණය. එතුමාණන්ට අවවාද කරන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් එතුමාණන් විසින් සමාජයට දේශනා කලේ සමාජ ගෞරවයට වඩා දේව නියෝග හා කැමැත්ත මුඛ්‍ය කොට සැලකූ නිසාය. එවැනි වාක්‍යයන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • “තම දෙවියන්ගේ සොමිනස පතා උදය සවස තම දෙවියන් හඩගසන ඔවුන් පලවා නොහරිව්. නුඔ එසේ කලේ නම් නුඔද අපරාධකරුවන්ගෙන් කෙනෙකු වන්නේය.”(6-52)
  • “…ඔවුනට සමාවදීම හෝ නොදීම නුඔට අයිති දෙයක් නොව…” (3-128)
  • “නුඔට (මුහම්මද්ට) සිතු කෙනෙකු හරි මඟට ගත නොහැක. අල්ලාහ් සිතු කෙනෙකුට පමණි නිවරුදි මාර්ගය පෙන්වන්නේය. “(28-56)

මීට අමතරව ශුද්ධ වු කුර්ආනයේ 8-68, 66-1, 28-56, 15-88, 20-131, 18-28 සහා 80-1 සිට 10 දක්වා ඇති වාක්‍යයන් ද ගෙනහැර දැක්විය හැක. ඉහත කුර්ආන් වාක්‍යයන්ට අමතරව තමාන් එවැනි විශේෂි ගෞරවයක් අපේක්ෂා නොකල බව සනාථ කරන හදීස් කිහිපයක්ද සදහන් කලහැක,

  • අන්‍ය ආගමිකයන් සේ දෙපා වැද නමස්කාර කිරීම නුඹලා මාහට නොකරන්න. එය මහා පාපයකි,
  • මා වෙනුවෙන් නුඹලා සිටී තැනින් නැඟිට ගෞරව නොකරන්න.
  • යේසුස් වහන්සේට (ඊසා (අලෛ) තුමාණන්ට) කිතුණුවන් සීමාව ඉක්මවා ගරුකරමින් වර්ණනා කලාසේ මාහට එසේ නොකරන්න,
  • මා ද නුඹලා මෙන්ම සාමාන්‍ය මනුෂ්‍යයෙකි. මා හට සැගවුණු කරුණු පිලිබදව විශේෂ ඥානයක් හෝ ශක්තියක් නොමැත විශේෂත්වය වන්නේ දෙවියන්ගේ පණිවුඩය මට ලැබෙනවා එපමණයි.

මේ කිසිවක් තුල එතුමාණන් සමාජ ගෞරවයක් අපේක්ෂා නොකල බව පැහැදිලිය. ඒ අනුව ඉහත වාදය කවර ආකාරයට සැලකුවද එය පදනම් විරහිත දෙඩවිල්ලක් පමණක් බව පැහැදලිවේ. මෙම තත්වය තවත් පැති ඔස්සේ තර්ක කරන පිරිස් ද අප සමාජයේ ඇත. ඒවා පිලිබදව ද මෙහි දී කෙටි අවධානයක් යොමු කලේනම්,

“ඉහත අකාරයේ අසම්පූර්ණ පවුල් ජීවිතයක් උරුම වූ මුහම්මද් අසාර්ථක පිලිකුල් මෙන්ම වියරු වූ ජීවිතයක් ගතකරන්නට ඇති” යන්න එක් වාදයකි. එතුමා ජීවත් වූ වකවානුව ලේඛන කලාව ඉහල මට්ටමක පැවතී ඉතිහාසයන් හොදින් ලියවුණූ වකවානුවකි. එසේම එතුමාණන්ගේ ජීවිතයේ සිදුවූ සියළුම සිදුවීම් ලේඛනගත වූ වකවානුවකි. එපමණක් නොව එතුමාණන්ගේ ක්‍රියාවන්, අනුමත කිරීමන් හා නියෝගයන් මුස්ලීම්වරුන් පැහැදිලිව සටහන් තබන ලද වකවානුවකි. අද ඉස්ලාමීය මූලාශ්‍රයන් දෙක අතුරින් හදීස් යනුවෙන් හදුන්වන්නේ ඉහත සදහන් ක්‍රියාවන්, අනුමත කිරීමන් හා නියෝගයන්ය. මේ අනුව එතුමාණන්ගේ ජීවිතයේ වර්ථමාන සමාජයට වසන් වූ කිසිවක් නැත. එසේ නම් ඉහත චෝදනාව සත්‍ය නම් ඒ පිලිබදව ආගමික මූලාශ්‍රයන් හි කොතැනක හෝ සදහන් වී තිබිය යුතුය. එසේ නම් කුමක්ද ඒ හදීසය එතුමාණන් අසාර්ථක පවුල් ජීවිතයක් නිසා කලකිරුණා යයි පවසන එසේත් නැත්නම් වියරුවෙන් ජීවත් වුවායයි පවසන ඒ හදීසය කොහිද? මේ ආකාරයට කිසිදු පදනමක් නොමැතිව දහමක් හෝ එහි ශාස්තෘවරයෙකු විවේචනය කිරීම වැරදි පූර්වාදර්ශයක් යන්න පමණක් මෙහි සදහන් කිරීමට කැමැත්තෙමි. කෙසේ වෙතත් පදනම් විරහිතව හෝ චෝදනාවක් සමාජය හමුවේ තබන නිසා මෙම කාරණය පිලිබදව ද කිසියම් අවධානයක් යොමුකිරීම අත්‍ය අවශ්‍ය වේ.

මුහම්මද් (සල්) තුමාණන් සහා එතුමාණන්ගේ ආදරණීය බිරිද අතර තිබූ බැදීම කෙබදුද යන්න කෙටි අවධානයක් යොමු කලේනම්, මුහම්මද් (සල්) තුමාණන් විවාහපත් වී වසර 15ක් පමණ ගෙවීගොස් වයස අවුරුදු 40 ක් වූ සමයේ එවකට එම සමාජයේ අරාජිකත්වය පිලිබදව කලකිරුණු නබිතුමාණන් මක්කාවේ තරමක් ඈතින් පිහිටා තිබූ “හීරා” නම් වූ ගල් ගුහාවක කාලය ගතකිරීම සිරිතක් කරගත්තේය. මෙම ගල්ගුහාවේ නබිතුමාණන් දිනගනන් කාලය ගතකල අතර එසේ නබිතුමාණන් යාමේදී එතුමාණන්ට අවශ්‍ය ආහාර පාන සකසාදීම මෙන්ම එතුමාට අවශ්‍ය ආහාර පාන එම ගල් ගුහාව වෙත රැගෙනයාම කතීජා තුමිය විසින් සිදුකරන ලදී. මක්කාවේ ධනකුවේර කාන්තාවක් වූ ඇයට බොහෝ සේවකයෝ ද සිටියේය. අවශ්‍ය නම් සේවකයකුගේ අතේ නබිතුමාණන්ට අවශ්‍ය ආහාරපාන යවන්නට තිබූණි. නමුත් එම ආහාර පාන ඇය විසින්ම රැගෙනයාම තුල ඒ දෙදෙනා අතර තිබූ බැදීම අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එපමණක් නොව මුහම්මද් (සල්) තුමාණන් වක්තෘභාවය ලබා සමාජයට එය දේශනා කරන විට සමස්ථ සමාජයම එක හඩින් පවසා සිටියේ “මේ මුහම්මද්ට පිස්සු හැදිලා” යනුවෙනි. නමුත් එතුමාණන්ගේ බිරිද කතීජා තුමිය එතුමාගේ ප්‍රකාශය පිලිගෙන එතුමාණන්ව සත්‍ය කලාය. මේ එතුමිය හා එතුමාණන් අතර පැවතී අවබෝධය පිලිඹිබු කරන තවත් අවස්ථාවකි. මේ දෙදෙනා අතර පැවතී බැදීම කෙබදුද යන්න වටහාගත හැකි තවත් කාරණයක් තමා කතීජා තුමියගේ මරණය. කතීජා තුමියගේ මරණය මුහම්මද් (සල්) තුමාණන්ට දැඩි දුකක් ගෙනදෙන එකක් විය. මේ නිසාම එම වර්ෂය පවා දුක්ක වර්ෂයක් ලෙස පැවතුණුබව ඉතිහාසඥයින් සදහන් කරයි. නබිතුමාණන්ගේ (පසුකාලීන) බිරින්දෑවරුන් අතුරින් එකම කන්‍යාවිය වන ආයිෂා (රලි) තුමිය වරක් මෙසේ පවසන ලදී,

“මට ඊර්ෂියාවක් ඇතිවන තරමට හැම විටම කතීජා (රලි) තුමියව මුහම්මද් (සල්) තුමාණන් සිහිකරයි, වර්ණනා කරයි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අල් ඉසාෆා

ඉහතින් චෝදනා කරනවා සේ මුහම්මද් (සල්) තුමාණන් හා කතීජා (රලි) තුමිය අතර අසාර්ථක බැදීමක් හෝ කාමුක වියරුවක් නම් පැවතුණේ කතීජා (රලි) තුමියගේ මරණය නබිතුමාණන්ට සතුට ගෙනදෙන කාරණයක් වියයුතුය. එසේම කිසිවිටෙකත් ලාබාල කන්‍යාවියක් වූ ආයිෂා (රලි) තුමියට වඩා මහළු වයොවෘද්ධ කතීජා (රලි) තුමිය ශ්‍රේෂ්ඨ විය නොහැක. මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ මේ දෙදෙනා අතර තිබුණු බැදීම කාමුක ආශාවන් ඉක්මවාගිය සුන්දර ආදර බැදීමක් යන්නයි. මෙය වඩ වඩාත් තහවුරු කරන තවත් කාරණයක් ලෙස කතීජා (රලි) තුමිය මියදෙන තෙක් මුහම්මද් (සල්) තුමාණන් තවත් විවාහයක් කර නොගෙන සිටීම ද නැවතත් සදහන් කලයුතුම වේ. ඊට අමතරව මුහම්මද් (සල්) තුමාණන් හා එතුමාණන්ගේ ආදරණීය ප්‍රථම බිරිද අතර පැවතී බැදීම කෙබදුද යන්න අවබෝධකර ගැනීමට ඉහත කරුණූ හොදටම ප්‍රමාණවත් වුවත්, අවසාන වශයෙන් මුහම්මද් (සල්) තුමාණන් කල ප්‍රකාශයක් (හදීසයක්) සදහන් කරන්නට කැමැත්තෙමි. එනම්,

“මෙලොව සිටින කාන්තාවන් අතුරින් ඉම්රාන්ගේ දූ මරියම් ((යේසුස් හෙවත්) ඊසා (අලෛ) තුමාගේ මව) සහා කුවෙයිලිද්ගේ දූ කතීජා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ කාන්තාවන් වන්නේය.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි, තිර්මිදි

ඉහත හදීසයන්ට අමතරව කතීජා (රලි) තුමියගේ මහිමය කියාපාන බොහෝ හදීසයන් ආගමික මූලාශ්‍රයන් හි දක්නට ඇත. නමුත් ඒවා එකින් එකට විස්තර කිරීමට අවශ්‍ය නොවනු ඇත. මන්ද මෙතෙක් ඉදිරිපත් කල කාරණයන් අන්තවාදී නොවී බුද්ධිමත් ලෙස අවධානය යොමු කලේනම් මුහම්මද් (සල්) තුමා සහා කතීජා (රලි) තුමිය අතර පැවතී බැදීම අන්තවාදී විවේචකයන් පවසනවා සේ කාමුක ජීවිතය එකම අරමුණුකරගත් බැදීමක් නොවන බවත්, ඒ දෙදෙනා අතර පැවතියේ සුන්දර හා ගෞරවණීය ආදරයක් යන්නත් මනාව පැහැදිලි වනු ඇත.


සව්දා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන් තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය මියයෑමෙන් අනතුරුවව විවාහ කරගත් කාන්තාව වන්නේ සව්දා (රලි) තුමියයි. මෙම සව්දා (රලි) තුමිය මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගත් ඉතිහාසය දැන් විමසා බලමු.

සව්දා (රලි) තුමිය, සම්ආ නැමැත්තාගේ ආදරණීය දියණිය වන අතර සහ්රාන් ඉබුනු අම්ර් අල් අන්සාරි (රලි) තුමාගේ බිරිදයි. ආරම්භ කාලයේම ඉස්ලාම් දහම වැලදගත් මෙම (සහ්රාන් – සව්දා) යුවල එසේ දහම වැලදගැනීම නිසා තමන් නියෝජනය කල අබ්දුස්සම්ස් ගෝත්‍ර ප්‍රජාව විසින් ඔවුන්ව විවිධ වදහිංසනයට ලක්කරන ලදී. තමන්ට සිදුකරන වදහිංසන විදදරාගත නොහැකි මෙම යුවල තම උපන්බිම වන මක්කාව හැර දමා ඇබීසිනීයාව (වර්ථමාන ඉතියෝපියාව)ට පලායන (හිජ්රත් කරන) ලදී. එදා ඇබීසිනියාව තුල ඉස්ලාමීය පාලනයක් නොපැවතුනත් එහි පාලකයන් මුස්ලීම්වරුන් හොදින් පිලිඅරගෙන ඔවුනට හොදින් සැලකූ නිසා බොහෝ පිරිස් මෙලෙස ඇබීසිනියාවට පලාගියේය. ඒ අනුව ඇබීසිනියාවට පලාගිය සහ්රාන්-සව්දා (රලි) යුවල එහි කලක් ජීවත් වනවිට. “දැන් මක්කාව තුල යහපත් වාතාවරණයක් උදාවී ඇත” යන වැරදි ආරංචියක් ඔවුනට ලැබුණි. ඒ අනුව ඔවුන් ආපසු තම උපන්බිට පැමිණෙන් අතරතුරදී සහ්රාන් (රලි) තුමා (සව්දා (රලි) තුමියගේ ස්වාමියා) මියයයි. මේ හේතුව නිසා සව්දා (රලි) තුමිය වැන්දඹු කාන්තාවක් බවට පත්වේ. මේ වැන්දඹු කාන්තාව තමා මුහම්මද් (සල්) තුමාණන් දෙවන වරට විවාහ කරගන්නේ.

මෙහි දී සදහන් කලයුතු විශේෂ කාරණයක් ඇත. එනම් මුහම්මද් (සල්) තුමාණන් විසින් සව්දා (රලි) තුමිය විවාහ කරගන්නා විට ඇය තරුණ හෝ මැදිවිය කාන්තාවක් නොවේ. ඇය තම තරුණකමත්, ජීවතයේ සුන්දර අවධීන් සියල්ලමත් අහිමිකරගත් මහළු අවධිය පාමුල සිටින කාන්තාවක් විය. මුහම්මද් (සල්) තුමාණන් විසින් සව්දා (රලි) තුමිය විවාහ කරගන්නා විට ඇයගේ වයස අවුරුදු 55 යි. මුහම්මද් (සල්) තුමාණන්ගේ වයස අවුරුදු 50 යි.

දැන් මෙම තත්වය හා ඉහත සදහන් චූදිතයන් ඉදිරිපත් කරන තර්කයන් දිහා බුද්ධිමත් අවධානය යොමු කරමු. ඔවුන් පවසනවා සේ මුහම්මද් (සල්) තුමාණන් අධික කාමආශාවකින් හෝ වියරැවකින් පෙළුනානම් ද, තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය හා ජීවත් වූ දිවිය අසාර්ථක මට්ටමේ පැවතුණානම් ද මොනයම් හේතුවක් නිසා කතීජා (රලි) තුමිය මියෙදෙන තුරැ තවත් විවාහයක් කර නොගත් මුහම්මද් (සල්) තුමාණන් තම කාමුක අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සදහා විවාහ කර ගතයුත්තේ සුන්දර තරැණ කන්‍යාවියකි. එය එතුමාණන්ට එම සමාජයේ අපහසු කාර්‍යයක්ද නොවේ. (තෙවන බිරිද වන ආයිෂා (රලි) තුමියගේ විවාහය එය සනාථ කරයි) නමුත් දෙවන වරටත් මුහම්මද් (සල්) තුමාණන් තම බිරිද වශයෙන් තොරාගන්නේ වැන්දඹූ තමන්ට වඩා වැඩිමල් මහළු අවධිය පාමුල සිටින කාන්තාවකි. මේ ආකාරයට තමන්ට වඩා වයසින් අවුරැදු 05ක් වැඩිමල්, වැන්දඹු මහළු කාන්තාවක් මුහම්මද් (සල්) තුමාණන් තම බිරිද වශයෙන් තෝරාගැනීම තුල ඉහත චූදිතයන්ගේ චොද්නා කරනවා සේ එතුමානන්ගේ විවාහය තුල අසීමිත කාමුක ලොල් බවක් හෝ වියරැවක් නොපැවතුනු බව මනාව පැහැදිලි වන්නේ ඉහත චෝදනාවන් ද අර්ථ ශුන්‍ය බවට පත් කරවමිනි.


ආයිෂා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන් මීළඟට විවාහ කරගත් කාන්තාව වන්නේ අබූබක්කර් (රලි) තුමාණන්ගේ දූ කුමරිය වන ආයිෂා (රලි) තුමියයි. තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය මරණයට පත්වී වසර 03කට පසු එනම් තම වයස අවුරුදු 53 දී මුහම්මද් (සල්) තුමාණන් අයිෂා (රලි) තුමිය විවාහ කරගත්තාය. ඒ වනවිට අයිෂා (රලි) තුමියගේ වයස අවුරුදු 06ක් පමණි. මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිතය තුල සිදුවූ විවාහයන් අතුරින් මෑත කාලයේ ජාතිකත‍ලයෙත් ජාත්‍යන්තරයෙත් ප්‍රබල විවේචනයන්ට ලක්වන විවාහයක් ලෙස මෙම විවාහය සදහන් කලහැක. මේ හේතුව නිසා මෙම කාරණය පිලිබදව තරමක් පුළුල්‍ ලෙස කථාකිරීම කාලීන අවශ්‍යතාවයක් වේ.

මෙහි දී සදහන් කලයුතු මුල්ම කාරණය නම් මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගත් බිරින්දෑවරුන් අතුරින් කන්‍යාවියක් වුයේ ආයිෂා (රලි) තුමිය පමණි. (අනිකුත් සියළු දෙනා වැන්දඹු කාන්තාවන්) එසේම වයසින් ලාබාල කාන්තාවක් වුයේද අයිෂා (රලි) තුමිය පමණි. මේ හේතූන් නිසා කිසිවකු මුහම්මද් (සල්) තුමාණන් “දැඩි කාමාශාවකින් නොඑසේ නම් කාම වියරුවකින් පෙලුණා” යයි චෝදනාවක් ඉදිරිපත් කරන අන්තවාදී පිරිසට ආයිෂා (රලි) තුමියගේ විවාහය තුල ඉඩක් ඇත යන්නෙ හි විවාදයක් නැත. එසේම මුහම්මද් (සල්) තුමාණන් මීට පෙර සිදුකල (ආයිෂා (රලි) තුමියගේ විවාහය හැර) විවාහයන් මෙන්ම ඊට පසුව සිදුකරන විවාහයන් දෙස බැලූ සමහරක් විවේචකයන් මුහම්මද් (සල්) තුමාණන්ගේ පුරුෂත්වය පිලිබදව ද (එනම් කිසියම් ලිංගික දුර්වලතාවයකින් පෙළුනා යයි) සැකයන් මතු කරමින් කථා කොට ඇති ආකාරය ද දක්නට ඇත. එනම් “වයසින් වැඩි (වයොවෘද්ධ) කාන්තාවන් මුහම්මද් විවාහ කරගත්තේ ඔහුට පුරුෂත්වයක් නොපැවතුනු නිසාය” යන්න එම චෝදනාවයි. එම විවාහයන් දෙස අන්තවාදීව බලන කෙනෙකුට එවැනි සැකයක් ඇතිවීම ද පුදුමයක් නොවේ. නමුත් මෙහිදී විමසා බැලිය යුත්තේ ඉහත චෝදනාවන් දෙක එකට එක් කලවිට එතැන තිබෙන පොදු වූ තත්වය කුමක්ද? යන්නයි.


ලොව ඕනෑම සිදුවීමකට හරි හා වැරදි යයි පරස්පර නිගමන දෙකක් පැවතිය නොහැක. ඒ ආකාරයටම මුහම්මද් (සල්) තුමාණන් සම්බන්ධයෙන්ද ඉහත පරස්පර මත දෙකම පැවතිය නොහැක. එසේම ඉහත මත දෙකෙම ප්‍රකාශ වීම තුල සත්‍යය මේ දෙකෙන් පරිභාහිර එකක් වීමටද පුළුවන. උදාහරණයක් ලෙස කිසියම් කෙනෙකු කිසියම් වස්තුවක් දෙස බලා එය සුදුපාට යයි පවසන විට තවත් කෙනෙකු එය කළුපාට යයි පවසයි නම් ඉන් පැහැදිලි වන කාරණය නම් එම වස්තුවේ පැහැදිලි සුදක් හෝ කළු බවක් නොපවතින බවයි. එහි වර්ණය මතු වන්නේ එය දකින පුද්ගලයාගේ දැක්මට අනුව බව පැහැදිලිය. තවත් සරලව පවසනවා නම් එය අළුපාට වර්ණින් යුක්ත වස්තුවක් නම් කෙනෙකුට එය කළු ලෙස වාදකල හැකි අතර තවත් කෙනෙකුට එය සුදු ලෙස වාදකල හැක. එය පුද්ගලයා දැක්ම මත පදනම් වේ. ඒ ආකාරයටම මුහම්මද් (සල්) තුමාණන්ගේ විවාහය ද විවිධ පුද්ගලයන් විවිධ අන්තවල සිට බලන නිසා විටෙක කාමාශාවේ උපරිමයේ සිටියා යයි ද තවත් විටෙක එවැනි ආශාවන් නොපැවතුනා යයි ද එකම පුද්ගලයාහට චෝදනා ඉදිරිපත් කරයි. මේ අන්ත දෙකම එකම මනුෂ්‍යයෙකු තුල පැවතිය හැකිද? මෙවන් වූ තර්ක සැබැවින්ම බුද්ධිමත් තර්කයන්ද? මෙය තමා “කන්න ඕන වුණාම කඹරයා තලගොයා කරනවා” යයි සිංහල ව්‍යවහාරයේ පවසන්නේ. කෙසේ වෙතත් මෙලෙස පරස්පර මත පැවසීම තුල එතුමාණන්ගේ ජීවිතය මේ දෙකෙහි මධ්‍යස්ථ වූ ජීවිතයක් වූ බව පැහැදිලි වේ. එනම් ආයිෂා (රලි) තුමිය, මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගැනීම තුල එතුමාණන්ට ද අනිකුත් පිරිමීන් මෙන්ම ලිංගික අවශ්‍යතාවයෙන් යුක්ත ජීවිතයක් පැවතුනා යන්න පැහැදලි වන අතර එතුමාණන් වයොවෘද්ධ කාන්තාවන් විවාහ කරගැනීම තුලින් එය කාමුක වියරුවක් ආකාරයෙන් නොපැවතුනා යන්න ද පැහැදිලි වේ. සරලවම පවසනවා නම් එතුමාණන්ගේ දිවිය සාමාන්‍ය මනුෂ්‍ය දිවියක් ලෙස පැවතුණා යයි සදහන් කලහැක.

නමුත් වයසින් ලාබාල කාන්තාවක් වන අයිෂා (රලි) තුමිය, මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගැනීම තුලින් එතුමාගේ පහත් කාමුක හැඟීම මනාව පිළිඹිබු කරනවා යන්න ඉහත චූදිතයන් ඉදිරිපත් කරන චෝදනාවයි. එම කාරණය වෙත අවධානය යොමු කිරීමට මත්තෙන් මෙහි තත්වය හොදින් වටහා ගැනීම සදහා අවබෝධ කරගත යුතු කාරණයක් ඇත. එනම්, මීට වසර 1400 කට පෙර පැවති සමාජයක තමා මෙම විවාහය සිදුවන්නේ. එය කවර ආකාරයේ සමාජයක් ද යන්න පවසනවා නම් එම සමාජයේ මුහම්මද් (සල්) තුමාණන් තම මූලික අවශ්‍යතාවයන් සදහා කන බොන එක පවා ඉස්ලාම් විරෝධීන් දැඩි ලෙස විවේචනයට ලක්කල සමාජයකි. ඔවුන් ඉස්ලාමයට හා එහි වක්තෘවරයා වන මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සදහා කරුණූ සොයා ඇවිද්ද සමාජයකි. එපමණක් නොව අසත්‍ය කරුණූ පවා එතුමාණන්ට එරෙහිව ගොතා පැවසු සමාජයක් තමා එදා සමාජය. නමුත් ඉතිහාසය පුරාවට කිසිවකුත් මුහම්මද් (සල්) තුමාණන්ගේ මෙම (අයිෂා (රලි) තුමිය) විවාහය චෝදනාවක් ලෙස ඉදිරිපත් කොට නැත. මේ තුලින් පැහැදිලි වන්නේ කුමක්ද? එය ඔවුනට මඟහැරුණා යන්නද? නොඑසේ නම් එය අනුමත කලා යන්නද?

එදා සමාජයේ බහුවිවාහය මෙන්ම වයසින් අඩු කාන්තාවන් වැඩිමහල් පුරුෂයන් විවාහ කරගැනීම සමාජ සම්මතයක්ව හා සම්ප්‍රදායක්ව පැවතුණි. මෙය අරාබි දේශයේ පමණක් නොව ලොව සෑම ප්‍රදේශයකම පැවතුණූ සමාජ සම්ප්‍රදායකි. මෙපමණක් නොව මීටත් වඩා කුරිරු සම්ප්‍රදායන් පවා එම සමාජයේ පැවතුණි. නිදසුනක් ලෙස පවසන්නේ නම්, ගැහැණු දරුවන් පණපිටින් වලලෑම, කාන්තාව විවාහයට පෙර බහුපුරුෂ සෙවනෙහි යෙදවීම… යනාදිය ඉන් කිහිපයකි. සරලවම පවසනවා නම් එය අදට සාපේක්ෂව ශිෂ්ඨසම්පන්න නොවූ සමාජයක් විය. ඒ සියල්ල එකවර යහපත් වෙනසක් සිදුකිරීම මුහම්මද් (සල්) තුමාණන්ට පවා කල නොහැකි වූ ක්‍රියාවකි. එම වෙනස සමාජය තුල නිර්මාණය කිරිමට එතුමාණන් හට වසර 23 ක් ගතවිය. එම වසර 23 තුල පසුකාලීනව මෙම බාලවයස් විවාහය ද ඉස්ලාම් තහනම් කලද එසේ තහනම් කිරීමට පෙර සමාජයේ ආයිෂා (රලි) තුමියගේ විවාහය ද සිදුවන්නේ එම සමාජ සම්ප්‍රදායන් ඇතුලේ යන්න මුලින්ම අවබෝධ කර ගතයුතුය. මෙහි දී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් කිසියම් සිදුවීමක් හෝ කාරණයක් පිලිබදව කථා කිරීමේ දී එය වර්ථමාන සමාජයට සාපේක්ෂව කථා කිරීම නිවරැදි නොවේ. මෙම කාරණය පිලිබදව දැඩි විවේචනාත්මක අයුරින් කථා කරන බෞද්ධ ප්‍රජාවට එය අවබෝධ කරගැනීම සදහා කාරණයක් මතක් කර දෙන්නට කැමැත්තෙමි. එනම් මීට වසර 2500 කට පෙර කිඹූල්වත් පුරයෙහි විසූ සිදුහත් කුමරාය විවාහපත් වීමට පෙර ගතකරන්නේ අධිසුඛෝපභෝගි ජීවිතයකි. ඒ පිලිබදව අංගුත්තර නිකායේ තිකනිපාතයේ බුදුන්වහන්සේ පැවසූ බවට මෙසේ සදහන් වේ.

…වැසි කාලය සදහා වූ (විවිධ කාලවලට විවිධ වූ මාලිගා 03ක් ඔහුට තම පියා විසින් නිර්මාණය කර දී තිබුණි) මාලිගයෙහි ගී ගයන, වයන ස්ත්‍රීන් පිරිවරා වැසි වසින සාරමස තුල කල් ගෙවනු විනා ඉන් පහතට නොබැස්සෙමි.

මෙවන් සුඛෝපභෝගි ජීවිතයක් ගතකල සිදුහත් කුමාරා විවාහපත් වන්නේ තම වයස සොළොස්වියක් වූ සමයකය. ඔහු විවාහ කරගන්නා යශෝධරා දේවියගේ වයස (මාහට සොයා ගැනීමට අපහසු විය) නියත වශයෙන්ම ඔහුට වඩා අඩු වියයුතුය. මේ දෙදෙනා එකම වයසේ පසුවුවා යයි උපකල්පනය කලත් නියත වශයෙන්ම අදට සාපේක්ෂව යශෝදරා දේවිය ද පසුවී ඇත්තේ ළමා අවධියකය. එපමණක් නොව අදට සාපේක්ෂව සිදුහත් කුමරාද ඉහත සැපසම්පත් භුක්තිවිද හා විවාහපත් වී ඇත්තේ ළමා අවධියකය. දැන් ඔබේ හදවතට අත තබා පවසන්න ඔබ ඔබේ දරුවා සම්බන්ධයෙන් මෙවැනි දෑ අනුමත කරනවාද?

මේ අනුව විශාල කාල අන්තරයක් ඇති සිදුවීම් සාපේක්ෂව බැලීම කොතරම් අනුවන ක්‍රියාවක්ද? යන්න ඔබට වැටහෙනු ඇති. දැන් මුහම්මද් (සල්) තුමාණන් විසින් ආයිෂා (රලි) තුමිය විවාහ කරගැනීම හා ඒ හේතුවෙන් සමාජය විසින් මතුකරන චෝදනාවන් පිලිබදව දැන් විමසා බලමු.

තම හොද මිතුරා මෙන්ම ඉස්ලාමයේ ආරම්භයේ පටන් සෑම මොහොතකම මුහම්මද් (සල්) තුමාණන්ට නන්අයුරින් සහය වූ මිත්‍රයකු තමා අබූබක්කර් (රලි) තුමා. එතුමාගේ දියණිය වන අයිෂා (රලි) තුමිය, මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගන්නේ අයිෂා (රලි) තුමියට වයස අවුරුදු 06 දීය. වයස අවුරුදු 23 දී ප්‍රථම විවාහය වයස අවුරුදු 40ක් වූ වැන්දඹු කාන්තාවක් සමඟ සිදුකොට ඇය සමඟ වසර 25ක් ජීව්ත වී මහළු වියට පත් (වයස අවුරුදු 53ක් වූ) මුහම්මද් (සල්) තුමාණන් චූදිතයන් පවසන ආකාරයට “තම මුල් විවාහයන් තුලින් තුනී කරගැනීමට නොහැකි වූ අධික කාමාශාව හේතුවෙන් ලාබාල ආයිෂා (රලි) තුමිය විවාහ කරගත්තා” යන්න පදනම් විරහිත වූ චෝදනාවකි. මන්ද කිසියම් කෙනෙකුහ‍ට (පුරුෂයෙකුට) කාමුක හැඟීමක් හෝ ලිංගිකව එක්වීමේ අවශ්‍යතාවයක් ඇතිවූයේ නම්, ඒ සදහා එම මොහොතේ මඟක් සොයනවා මිස හෙට, ලබන සතිය, ලබන මාසේ, ලබන වර්ශ… යයි සැලසුම් කරන්නේ නැත. (මෙය වැඩිහිටි පිරිමින් හොදින් දන්නා කරැණකි) ඒ අනුව වසර 25ක් තිස්සේ මුහම්මද් (සල්) තුමාණන්ට නොලැබුණු ඒ ජීවිතය ලාබාල ආයිෂා (රලි) තුමිය විවාහ කරගැනීම තුලින් අපේක්ෂා කලානම්, එම අවශ්‍යතාවය ඒ මෙහොතේ තුනී කරගන්නට තිබුණි. නමුත් අයිෂා (රලි) තුමිය හා මුහම්මද් (සල්) තුමාණන් අතර සිදුවූ විවාහය එවැන්නක් නොවේ එය චාරිත්‍ර විවාහයකට පමණක් සීමා වූ එකකි. එම විවාහයෙන් අනතුරුවව අයිෂා (රලි) තුමිය තම පියාගේ නිවසේ තවදුරටත් රැදීසිටිය අතර මුහම්මද් (සල්) තුමාණන් සුපුරැදු පරිධි තම නිවසේ ජීවත්වුවාය. අයිෂා (රලි) තුමිය නබිතුමාණන් තම නිවසට කැදවාගෙන යන්නේ අයිෂා (රලි) තුමියට වයස අවුරුදු 09 දීය. (එනම් විවාහ වී වසර 03 කට පසුවය) මේ අනුව මෙම විවාහයේ අරමුණ ඉහත චූදිතයන් පවසනවා සේ “කාමාශාව” පදනම් වූ එකක් නොවන බව පැහැදිලිය. මන්ද වසර තුනකට පසුව කාමාආශාව තුනී කරගන්නට දැන් විවාහ වෙනවා යන්න කිසිවිටෙකත් ප්‍රායෝගික නොවන කාරණයක් වන බැවිණි. එසේනම් මෙම විවාහය කුමක් සදහාද? මෙය මෙම ලිපි මාලාවේ අවසාන කොටසේ සවිස්තරාත්මකව කථා කිරීමට අපේක්ෂා කරන නිසා මෙම විවාහය තුල චූදිතයන් පවසන “කාම වියරුව” යන්න පදනම් විරහිත චෝදනාවක් යන්න පමණක් මෙහි සදහන් කරමි. එසේ පැවසීමට තවත් හේතුවක් නම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ කරුණ අවධිය (මුල් ලිපියේ මේ පිලිබදව කථා කොට ඇත) සැලකූවිට එය ඉහත සිදුහත් කුමරාගේ මෙන් කාන්තාව හා ගෙවූ සුඛෝපභෝගි ජීවිතයක් නොවූ අතර එය ආදර්ශමත් පාරිශුද්ධ චරියක් විය. (මුල් ලිපියේ මේ පිලිබදව කථා කොට ඇත) එමනිසා තමා වයස අවරැදු 25ක කරුණයෙකුව හිද වයස අවරැදු 40 ක කතීජා (රලි) තුමිය විවාහ කරගෙන ඇය සමඟ වසර 25ක් තෘප්තිමත් දිවියක් ගෙවන්නට හැකිවුයේ. මෙ‍සේ වසර 25ක කරුණ ජවය හෙබි දිවිය ඇය සමඟ ගෙවා දැමු මුහම්මද් (සල්) තුමාණන්ට හිටී හැටියේ වයස අවුරුදු 55 දී “කාමුක වියරුව උත්සන්න වී ලාබාල අයිෂා විවාහ කරගත්තා” යන්නත් බොලද පදනම් විරහිත තර්කයක් පැහැදිලිවම වටහාගත යුතුවේ. එපමණක් නොව මුහම්මද් (සල්) තුමාණන් හා ආයිෂා (රලි) තුමිය අතර පැවතී බැදීම පිලිබදව “හදීසයන්” හි සදහන් කරුණූ දෙස බලන කල මේ දෙදෙනා අතර පැවති බැදීම ආදරය හා අවබෝධය මත ගොඩනැගුණු සුන්දර වූ බැදීමක් යන්න පැහැදිලිවේ.

සැබැවින්ම මුහම්මද් (සල්) තුමාණන් අසාමාන්‍ය කාම වියරුවකින් පෙළුනා යයි පවසන පිරිසගේ අවධානයට අවසාන වශයෙන් තවත් කාරණයක් යොමු කරන්නට කැමැත්තෙමි. එනම් කතීජා (රලි) තුමියගේ අභාවයෙන් පසු වයස අවුරුදු 55ක් වූ සව්දා (රලි) තුමිය හා වයස අවුරුදු 06ක් වූ ආයිෂා (රලි) තුමිය විවාහ කරගන්නා මුහම්මද් (සල්) තුමාණන් එතැන් පටන් වසර 03 ක් (ආයිෂා (රලි) තුමිය තම නිවසට කැදවාගෙන යනතුරු) ගෙවූ ජීවිතය සැලකුවේ නම්, එක් පසකින් සව්දා (රලි) තුමිය තම හැඟීම් සියල්ල අහිමි වූ වයෝවෘද්ධ කාන්තාවක් අනෙක් පසකින් අයිෂා (රලි) තුමිය යුගදිවියකට පරිනත නොවූ ලාබාල කාන්තාවක්. මෙවන් පසුබිමක මුහම්මද් (සල්) තුමාණන් වසර 03ක කාලය ගෙවා දමන්නේ නම් ඒ තුල “කාම වියරුවක් හෝ අසාමාන්‍ය ලිංගික ආශාවෙන් පෙළුනු කෙනෙකු” යයි චෝදනා කිරීම කොතරම් පදනම් විරහිත චෝදනාවක්ද? මේ අනුව මීට පෙර සදහන් කල කතීජා (රලි) තුමිය, සව්දා (රලි) තුමිය සේම ඉහත සදහන් ආයිෂා (රලි) තුමිය මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගැනීම තුල ඉහත චූදිතයන් පවසනවා සේ “අසාමාන්‍ය හා දැඩි කාමාශාවකින් හෝ වියරුවකින් නොපෙළුනා” යයි පැවසීම මුසාවක් මෙන්ම කිසිදු පදනමක් නැති අන්තවාදී අදහසක් යන්න මනාව පැහැදිලි වේ.


හෆ්සා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන් තම ජීවිත කාලය තුල සිදුකල විවාහයන් පිලිබදව ඉස්ලාම් පවසන බහුවිවාහය හා මුහම්මද් (සල්) තුමාණන් කල විවාහයන් යන මාතෘකාව ඔස්සේ සාකච්චා කරමින් එන ලිපි මාලාවේ මේ වන විට පලමු බිරිද කතීජා (රලි) තුමිය, දෙවන බිරිද සව්දා (රලි) තුමිය හා තෙවන බිරිද ආයිෂා (රලි) තුමිය පිලිබදව වෙන වෙනම සාකච්චා කලෙමි. එම ලිපි පෙලෙහි නබිතුමාණන් සිදුකල හතර වන විවාහය වන හෆ්සා (රලි) තුමිය පිලිබදව මෙහිදී කථා කිරීමට අදහස් කරමි.

ඉස්ලාමීය රාජ්‍ය යේ දෙවන කලීෆා (පාලකයා) වන උමර් (රලි) තුමාගේ දියණිය වන හෆ්සා (රලි) තුමිය ඉස්ලාමීය ආරම්භ කාලයේදීම ඉස්ලාම් දහම වැලදගත් විවාහක කාන්තාවකි. එතුමිය හුදාෆා (රලි) තුමාණන්ගේ ආදරණීය බිරිද වූවාය. මේ යුවල ඉස්ලාමීය ආරම්භ කාලයේ එනම් ඉස්ලාම් දහමට එරෙහිව සියළු එදිරිවාදිකම් ක්‍රියාත්මක වන අවධියක ඉස්ලාම් දහම වැලදගත් වීර චරිත දෙකක් විය. මා මෙහිදී මේ දෙපල වීර චරිත බව සදහන් කිරීමට හේතූ රාශියක් ඇත. එහි විශේෂයෙන් සදහන් කලයුතු කාරණය නම් ඉස්ලාමීය ඉතිහාසයේ තිරණාත්මක අවස්ථාවන් වන බද්ර් හා උහුද් යන සටන් දෙකේදීම මේ යුවල සහභාගි වී සිටීමයි. මේ දෙදෙනා ඉස්ලාම් දහම වැලදගැනීම හේතුකොටගෙන මක්කාවාසීන්ගේ දැඩි හිංසනයන්ට දිගින් දිගටම ගොදුරු වීම නිසා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආශිර්වාදය මත නබිතුමාණන් වක්තෘත්වය ලැබී වසර 06 කට පසු (එතුමාණන්ගේ වයස අවුරුදු 46 දී) පලමු “හිජ්රත්” ය (එනම් තම උපන්බිම වන මක්කාව හැර පලායාම) සිදුකරන ලදී. (පලමු හිජ්රතය සිදුවුයේ මක්කාවේ සිට ඇබීෂීණියාව (වර්ථමාන ඉතියෝපියාව)ටය) මෙසේ හිජ්රත් කල හුදාෆා (රලි) තුමා මුහම්මද් (සල්) තුමාණන් (මක්කාවේ සිට මදීනාවට) දෙවන හිජ්රතය සිදුකාලාට පසුව මදීනාවට පැමිණ එතුමාණන් සමඟ එකතු වී ඉස්ලාම් දහමේ උන්නතිය සදහා බොහෝ සේවයන් කල අතර උහ්ද් සටනේ දී තුවල ලබා ඒ හේතුවෙන් මියදෙන ලදී.

හුදාෆා (රලි) තුමාගේ මරණය හේතුවෙන් වැන්දඹු කාන්තාවක් බවට පත්වන හෆ්සා (රලි) තුමිය හිජ්රි 03 දී මුහම්මද් (සල්) තුමාණන්ව විවාහ කරගන්නේ මුහම්මද් (සල්) තුමාණන්ගේ වයස අවුරුදු 56 ව තිබියදීය. මෙම විවාහය තුලින් ද අබුබක්කර් (රලි) (අයිෂා (රලි) තුමියගේ පියා) සේම උමර් (රලි) තුමා ද නබිතුමාණන්ගේ ඥාතීත්වය ලබාගැනීමට හේතුවක් විය. ආරම්භයේ පටන් වයොවෘද්ධ වැන්දඹූ කාන්තාවන් විවාහ කරගත් නබිතුමාණන් හට අයිෂා (රලි) තුමිය මෙන්ම හෆ්සා (රලි) තුමියගේ විවාහයන් කිසියම් ආකාරය කෙලිලොල් මෙන්ම සුන්දර වූ එකක් බවට පත්ව තිබූ බවක් යම් යම් හදීසයන් පරිශීලනය කරන විට පැහැදිලි වේ. එවන් එක් සිදුවීමක් සදහන් කරන්නේ නම්,

“ආයිෂා (රලි) තුමිය මෙසේ පවසයි, නබිතුමාණන් තම බිරින්දෑවරුන් අතුරින් සෙයිනබ් බින්තු ජහ්ෂ් (රලි) තුමිය වෙත ගියේ නම්, එහි මී පැණි පානය කොට අධික කාලයක් නතර වේ. මෙයට අකමැති වූ මා (අයිෂා (රලි)) සහා හෆ්සා (රලි) තුමිය එකතු වී අපි තීරණයකට එළඹුනෙමු. එනම් අපි දෙදෙනා අතුරින් කව්රුන් හමුවට නබිතුමාණන් පැමිණියත් ‘ඔබ තුමා ලඟ දුර්ගධක් හමනවා මොනවාද? කෑවේ’ යනුවෙන් විමසිය යුතු යන්නයි. ඒ ආකාරයටම නබිතුමාණන් මාගේ නිවසට පැමිණි විට පෙර කථා කරගත් ආකාරයට නබිතුමාණන්ගෙන් විමසුවෙමි. එයට එතුමාණන් ‘මම සෙයිනබ් (රලි) තුමිය නිවසේ මී පැණි තමා අනුභව කලේ දුර්ගද කිසිවක් කෑවේ නැහැ’ යනුවෙන් පවසා තවදුරටත් ‘මින් මතුවට කවරදාකවත් මම මී පැණි අනුභව නොකරන බවට දිව්රමි’ යනුවෙන් පවසන ලදී…”

(දීර්ඝ හදීසයක්)

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත ආකාරයට නබිතුමාණන් පවා අසරණ කරන විහිළු තහළු කරමින් කෙලිලොල් ක්‍රියාවල නිරත වූ ඉහත බිරින්දෑවරු දෙපලගේ එම ක්‍රියාව කොතරම් බරපතල තැනකට යොමු වුනාද? යන්න පවසනවා නම් ඉහත නබිතුමාණන්ගේ ප්‍රකාශය අවවාදයට ලක්කරමින් අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වු කුර්ආනයේ 66-1 වාක්‍යය පවා පහල කරන ලදී. මේ කෙලිලොල් බිරින්දෑවරුන් දෙපල අතුරින් හෆ්සා (රලි) තුමියගේ ජීවිත කථාව තුල මීට වඩා කිසිවක් සදහන් කිරීමට නොවූයේ එම බිරිද පිලිබදව මුස්ලීම් සමාජය තුල පමණක් නොව මුස්ලීම් නොවන සමාජය තුල පවා කිසිදු මතභේදයක් නොපැවතුණු බැවිණි. එනමුත් මෙම විවාහය තුල ඉතිහාසගත සත්‍යයක් ලොවට කියාපෑම බොහෝ දෙනෙකුගේ අවධානයට හසුනොවී පවතී. එම කාරණය ඔබගේ අවධානයට යොමු කිරීමට මා අදහස් කරන අතර ඊට පෙර ඉහත ආකාරයට විවිධ වූ අවස්ථාවන් සදහා කාල රාමු ඉදිරිපත් කල මා ඇයගේ මරණය සිදුවූයේ තම වයස අවුරුදු 60 දී වන අතර මියගියේ හිජ්රි 45 දී යන්නත් සටහන් තබමින් ඇයගේ ජීවිත කථාව තුල එලිවෙන ඉතිහාසගත සත්‍යය වෙත යොමු වෙමි.

එහි ආරම්භක අධියර ලෙස ඉහත කරුණු දැක්වීමන් තුල ඉදිරිපත් කල කාලරාමු සහා ඉස්ලාමීය ඉතිහාසයේ සදහන් සුවිශේෂි කාල වකවානු සාරාංශ කොට පවසනවා නම්,

  •  මුහම්මද් (සල්) නබීත්වය හෙවත් වක්තෘභාවය හිමිවීම වයස අවුරුදු 40 දී සිදුවිය
  •  පලමු හිජ්රතය සිදුවූයේ නබීත්වයෙන් වසර 06 කට පසුවයි
  •  එනම් මුහම්මද් (සල්) තුමාණන්ගේ වයස අවුරුදු 46 දීය
  •  මුහම්මද් (සල්) තුමාණන් මක්කාවේ සිට මදීනාවට පලාගිය අවස්ථාව (දෙවන) හිජ්රත් නම් වේ
  •  එය සිදුවූයේ නබීත්වය හෙවත් වක්තෘභාවය ලැබී වසර 13 කට පසුවය
  •  හිජ්රි යන නම ඉස්ලාමීය දින දර්ශනයට පදනම් වන්නේ මේ සිදුවීම පදනම් කරගෙනය
  •  ඒ අනුව හිජ්රි වර්ෂ ඇරඹෙන්නේ නබිතුමාණන්ගේ වයස අවුරුදු 53 සිටය
  •  නබිතුමාණන් හෆ්සා (රලි) තුමිය විවාහ කරගන්නේ හිජ්රි 03 දීය
  •  එනම් නබිතුමාණන්ගේ වයස අවුරුදු 56 (53+3) දීය
  •  හෆ්සා (රලි) තුමිය මියගියේ වයස අවුරුදු 60 දීය
  •  හෆ්සා (රලි) තුමිය මියදෙන්නේ හිජ්රි 45 දීය

දැන් ඉහත දත්තයන් පදනම් කරගෙන මුහම්මද් (සල්) තුමාණන් විසින් හෆ්සා (රලි) තුමිය විවාහ කරගන්නා විට එතුමියගේ වයස කීයද? යන්න විමසා බලමු.

ඇය මියගියේ හිජ්රි 45 දී නිසාත්, (නබිතුමාණන් හා) විවාහ වුයේ හිජ්රි 03 දී නිසාත්, ඇය මියගියේ වයස අවුරුදු 60 දී නිසාත් ඇය නබිතුමාණන් විවාහ කරගන්නා විට වයස වන්නේ,

  •  නබිතුමාණන් හා විවාහ වීමෙන් අනතුරුව එතුමිය ජීවිත් වූ කාලය – 45-3 = අවුරුදු 42 යි
  •  ජීවත් වූ කාලය – 60 යි
  •  ඒ අනුව විවාහ වූ වර්ෂය – 60-42 = අවුරුදු 18 ය

මුහම්මද් (සල්) තුමාණන් විසින් හෆ්සා (රලි) තුමිය ඇයගේ වයස අවුරුදු 18 දී නම් විවාහ කරගත්තේ ඒ වනවිටත් වැන්දඹු කාන්තාවක් වූ ඇයගේ පලමු විවාහය සිදුවූයේ කවදාද යන කාරණය විමසා බලුවේ නම්,

  •  මුහම්මද් (සල්) තුමාණන් එතුමිය විවාහ කරගත්තේ හිජ්රි 3 දී නිසා එදා එතුමියගේ වයස :- අවුරුදු 18 යි.
  •  ඉස්ලාමීය පලමු හිජ්රතය සිදුවන්නේ දෙවන හිජ්රතයට :- අවුරුදු 07 කට පෙරය
  •  එනම් මුහම්මද් (සල්) තුමා විසින් එතුමිය විවාහ කරගන්න වසර 10 කට පෙරය
  •  ඒ අනුව පලමු හිජ්රතය සිදුවන විට ඇයගේ වයස අවුරුදු :- 18-10 = අවුරුදු 08 යි.

ඉස්ලාම් දහම වැලදගන්නා විටත් ඇය විවාහකව සිටී බව සදහන් වන නිසා නියත වශයෙන්ම වයස අවුරුදු 08 ටත් අඩු කාලයක දී තමා ඇයගේ විවාහය සිදුවී ඇත්තේ.

(ඉහත තොරතුරු අනාවරණය කරගැනීම සදහා සහය වූ පාඨක පිරිස මෙහි කෘතවේදීව සිහිකරමි.)

මුහම්මද් (සල්) තුමාණන් විසින් ආයිෂා (රලි) තුමිය අඩු වයසින් විවාහ කරගැනීම පිලිබදව පහත් අන්දමින් වාද විවාද කරන පිරිස් මෙම කාරණය එනම් ඇය (හෆ්සා (රලි) තුමිය) ඉස්ලාම් දහම වැලද ගන්නා විටත් අඩු වයසින් විවාහකව සිටී බව පැහැදිලි වේ. ඒ අනුව අඩු වයසින් විවාහ කරගැනීම යන්න ඉස්ලාමීය ආදර්ශයක් නොව එවකට පැවතී සමාජ සම්ප්‍රදායක් යන්න ද පැහැදිලි වේ.


සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන් තම ජීවිත කාලය තුල සිදුකල විවාහයන් පිලිබදව මුහම්මද් (සල්) විවාහ කරගත් බිරින්දෑවරුන් යන මාතෘකාව ඔස්සේ සාකච්චා කරමින් එන ලිපි මාලාවේ අද විමසා බලන්නේ මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගත් පස්වන බිරිඳ වන සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමිය පිලිබදවයි.

පවුල් පසුබිම

සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමිය, ක්‍රි:ව: 595 දී එවකට සමාජයේ පැවතී බානු හිලාල් නම් කීර්තිමත් ගෝත්‍රයේ කුසයිමා බින් අබ්දුල්ලා (රලි) තුමා සහ හින්ද් බින්ට් අවුෆ් (රලි) තුමියට දාව උපන් ආදරණීය දියණියක් විය. සෙයිනබ් (රලි) තුමියගේ මව “පෘථිවියේ උතුම්ම නැන්දම්මා” යන ගෞරව නාමය හිමි කාන්තාවක් විය. එයට හේතුව වූයේ ඇය මුහම්මද් (සල්) තුමාණන්ගේ සහකරුවන් කිහිප දෙනෙකුගේ නැන්දම්මා වීමය. ඇයගේ දියණියන් 05 ක් වූ අතර එම පස්දෙනා විවාහ වූයේ පහත ආකාරයටය. එනම්,

  • සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමිය සමඟ මුහම්මද් (සල්) තුමාණන් විවාහ විය,
  • ලුබාබා බින්ත් අල්-හාරිස් (රලි) තුමිය මුහම්මද් (සල්) තුමාණන්ගේ මාමා වන අබ්බාස් (රලි) තුමා සමඟ විවාහ විය,
  • අස්මා බින්ති උමයිස්ගේ (රලි) තුමිය ජව්ෆර් බින් අබූතාලිබ් (රලි) සමඟ විවාහ වූ අතර ඔහුගේ අභාවයෙන් පසුව ඇය අබූබක්කර් (රලි) තුමා සමඟ විවාහ විය,
  • සල්මා බින්ත් උමයිස් (රලි) තුමිය මුහම්මද් (සල්) තුමාණන්ගේ තවත් මාමා කෙනෙකු මෙන්ම ඉස්ලාමීය ඉතිහාසයේ කීර්තිමත් ශහීද් සහාභිවරයෙකු වන හම්සා (රලි) තුමා සමඟ විවාහ විය.
  • සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමියගේ ආභාවයෙන් පසු ඇයගේ නැගණිය වූ මයිමුනා (රලි) තුමිය සමඟ මුහම්මද් (සල්) තුමා විවාහ විය,

සෙයිනබ් (රලි) තුමියගේ අභාවයෙන් පසු, ඇගේ සොහොයුරිය වූ මයිමූනා (රලි) තුමිය සමඟ මුහම්මද් (සල්) තුමාණණ් විවාහ වූ නිසා හින්ද් බින්ට් අවුෆ් (රලි) තුමිය දියණියන් දෙදෙනෙකු “උම්මාහාත් උල් මූමිනීන්” එනම් විශ්වාසවන්තයින්ගේ මව්වරුන් අතර විය. මීට අමතරව හින්ද් බින්ට් අවුෆ් (රලි) තුමිය ඉබ්න් අබ්බාස් (රලි), කාලිඩ් බින් වලිද් (රලි), මුහම්මද් බින් අබි බකර් (රලි) සහ උමාමා (රලි) යන සහාභාවරුන්ගේ ආච්චි ද විය. මේ අනුව “පෘථිවියේ උතුම්ම නැන්දම්මා” යන්න ඇයට වචනයේ පරිසාමාප්තියෙන්ම ගැලපුනු අතර සෙයිනබ් (රලි) තුමියගේ පවුල එතරම් කීර්තිමත් හා උතුම් වූ පවුලක් ද විය.

විවාහය

මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගත් සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමිය ඒ වනවිට වැන්දඹු කාන්තාවකි. මුහම්මද් (සල්) තුමාණන්ට පියාගේ ඥාති සොහොයුරෙකු වූ අබ්දුල්ලා බින් ජහාෂ් (රලි) තුමා සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමියගේ පලමු විවාහක සැමියා වේ. ඔහු උහුද් සටනේදී දිවි පිදූ අතර මේ හේතුව නිසා සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමිය වැන්දඹු තත්වයට පත්විය. සමාජයේ දුප්පතුන්ට උපකාර කිරීමෙහි ඉහල ප්‍රසිද්ධියක් ලබා සිටී සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමියට මුහම්මද් (සල් ) තුමාණන් විවාහ යෝජනාවක් යවා ඇයගේ කැමැත්ත මත විවාහ කරගත්තේය. ඒ වනවිට එතුමියගේ වයස ආසන්න වශයෙන් අවුරුදු 30 ක් පමණ වූ අතර විවාහ වී මාස කිහිපයකට පසු ඇය මිය ගියේය. කදීජා (රලි) තුමා හැරුණු විට, මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිත කාලයේ මිය ගිය එකම බිරිඳ සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමිය විය. ඇය පිලිබදව මුහම්මද් (සල්) තුමාණන් කල ගුණ වර්ණනයක් එතුමාණන්ගේ තවත් බිරිඳක් වන ආයිෂා (රලි) තුමිය වරක් මෙසේ පැවසීය

"ඔබ අතරෙන් දෑත් දිගු ඇය මට පරලොවේදී මුලින්ම මුණගැසෙනු ඇත”

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

දුප්පතුන්ගේ මව

සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමිය ඉස්ලාම් දහම වැලඳ ගැනීමට පෙර සිටම ත්‍යාගශීලී සහ අසරණයන්ට උපකාර කරන කාන්තාවක් විය. මේ හේතුව නිසාම ඇයට එවකට සමාජයේ “දුප්පතුන්ගේ මව” හෙවත් උම්මුල්-මිස්කීන් නම් ගෞරව නාමය හිමිව තිබුණි. ඉහත අල්හදීසය තුලින් “දිගු දෑත්” යනුවෙන් නබිතුමාණන් සංකේතවත් කලේ එයයි. ඉස්ලාම් දහම ශුද්ධ වූ කුර්ආනය සහ හදීස් තුලින් දුප්පත් අයට දයානුකම්පිතව සැලකීම පිළිබඳව අවධාරණය කරයි. එවැනි ඉගෙන්වීම් කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

අල්ලාහ් හැර (වෙන කිසිවෙකු හෝ කිසිවක්) නැමදුම් නොකරනුයි ද,දෙමව්පියන් වෙත (යුතුකම් ඉටුකර) ඇප උපස්ථාන කරනුයි ද, නැදෑයින්ට ද, අනාථයින්ට ද දුගීයන්ට ද (ඇප උපස්ථාන කරනුයි ද) තවද, මිනිසුන්ට ප්‍රිය වදන් පවසනුයි ද, සලාත්හි නිරතවනුයි ද, සzකාත් දෙනුයි ද, යනුවෙන් (මුතුන්මිත්තන් වූ) ඉස්රාඊල් දරුවන් සමඟ අප ගිවිසුමක් කරගත් සැටි සිහියට නගනු. ඉන්පසුව ද, නුඹලා අතුරින් ටික දෙනෙකු හැර (අන් අය එම ගිවිසුම) නොසලකා මඟ හැරියාහුය.

අල්කුර්ආනය 2-83

“වැන්දඹුවන් සහ දුප්පතුන් ගැන සැලකිලිමත් වන තැනැත්තා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නා හා සමාන වේ. විවේකයකින් තොරව (සලාතය සඳහා) නැගී සිටින්නෙකු ලෙස සහ විවේකයක් නොමැතිව උපවාස කරන්නෙකු ලෙස මම ඔහුව සලකමි."

මූලාශ්‍ර ග්‍රන්ථය - තිර්මිදි

"දුප්පතුන්ට ප්‍රේම කරන්න, මන්ද අල්ලාහ්ගේ දූතයාණෝ ඔහුගේ ආයාචනයේ දී, 'අල්ලාහ්, මා දුප්පතුන් ලෙස ජීවත් කර දුප්පතුන් බවට පත් කර දුප්පතුන් අතරට (මලවුන් කෙරෙන් නැගිටුවන දින) මා එක්රැස් කරන්න' යනුවෙන් පවසනු මට ඇසිණි."

මූලාශ්‍ර ග්‍රන්ථය - ඉබ්නු-ඊ-මාජා

ඉස්ලාමයට පෙරත්, ඉස්ලාම් දහම වැලඳ ගැනීමෙන් පසුත් අසරණයන්ට පිහිට වීම වැනි පුණ්‍ය කටයුතුවල නියැලුනු ඇයගේ මෙහෙවර අසමසම එකක් විම නිසා “දුප්පතුන්ගේ මව” හෙවත් උම්මුල්-මිස්කීන් යන්න ඇයට වචනයේ පරිසාමාප්තියෙන්ම ගැලපුනු බව අපට පෙනී යයි. එය නබිතුමාණන් ද වරක් “සෙයිනබ්ට මෙය නිසැකවම සත්‍ය විය. ඇයට "දුප්පතුන්ගේ මව" යන පදවි නාමය ලැබුණේ "දුප්පත් අය කෙරෙහි ඇයගේ දයාව, අනුකම්පාව සහ කරුණාව නිසාය." යනුවෙන් පැවසූ බව ඉබුනු හිෂාම් නම් ග්‍රන්ථයේ සදහන් වේ.

අභාවය

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් සමඟ ඇයගේ විවාහ දිවිය ඉතා කෙටිකාලීන වූ අතර, විවාහ වී මාස කිහිපයකින් ඇය රබිඅල්-අව්වල් මාසයේ මිය ගියේය. මුහම්මද් (සල්) තුමාණන් එතුමියගේ ජනාසා සලාතය (අවමංගල්‍ය යාඥාව) මෙහෙයවූ අතර ඇයව භූමිදානය කලේ “ජන්නතුල් බකි” නම් සොහොන් බිමේය. මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණයක් ද ඇත. එනම්, නබිතුමාණන්ගේ පලමු බිරිඳ වන කතීජා (රලි) තුමිය මරණයට පත් වූ කාලයේ වර්තමාන ජනාසා [ අවමංගල්‍ය] යාච්ඤාව නියම වී නොතිබූ බැවින්, අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් විසින්ම අවමංගල්‍ය යාච්ඤාව මෙහෙය වූ එකම භාර්යාව වීමේ ගෞරවය ද සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමිය හිමි විය .


සෙයිනබ් බින්තු ජහ්ෂ් (රලි) තුමිය

මෙම කොටස ඉදිරියට බලාපොරොත්තු වන්න...

උම්මු සලමා (රලි) තුමිය

මෙම කොටස ඉදිරියට බලාපොරොත්තු වන්න...

ජුවෙයිරියා (රලි) තුමිය

මෙම කොටස ඉදිරියට බලාපොරොත්තු වන්න...

උම්මු හබීබා (රලි) තුමිය

මෙම කොටස ඉදිරියට බලාපොරොත්තු වන්න...

සෆියා බින්තු හුයෙයි (රලි) තුමිය

මෙම කොටස ඉදිරියට බලාපොරොත්තු වන්න...

මයිමුනා (රලි) තුමිය

මෙම කොටස ඉදිරියට බලාපොරොත්තු වන්න...


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/8

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම