මුහම්මද් (සල්) තුමාණන් සමඟ දිනක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ දෛනික ජීවිතය කවර ආකාරයකට පැවතුනේද? එම චරිතය මිනිස් සමාජයට විශේෂයෙන් මුස්ලීම් සමාජයට කොතරම් ආදර්ශමත් එකක් වූයේද? වැනි කරුණු 'එතුමාණන්ගේ සාමාන්‍ය දිනක්' මූලික කරගෙන පියවරින් පියවර මෙහි තරමක් ගැඹුරින් සාකච්චා කිරීමට අදහස් කරමි.

ඒ මේ ආකාරයටය...

පෙරවදන

ඉස්ලාම් දහම තුල පමණක් නොව ලෝක ඉතිහාසය තුලත් මුහම්මද් (සල්) තුමාණන් කොතරම් බලවත් චරිතයක්ද? යන්න ඉතිහාසඥයින්, ගවේෂකයින් සහ නොයෙක් ක්ෂේත්‍රවල විද්වතුන් ඕනෑවටත් වඩා වැඩියෙන් කථා කොට ඇත. එපමණක් නොවේ මෙම යහමග අඩවිය තුලම එම විෂය අවස්ථා ගණනාවකදී විවිධ මාතෘකා ඔස්සේ සාකච්චා කොට ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

මීට වසර 1400 කට පෙර අරාබි දේශයේ මක්කා නම් නගරයක එතුමාණන් ආරම්භ කල ආගමික වක්තෘ මෙහෙවර අද බිලියන ගණනක අනුගාමිකයන් පිරිසක් දිනාගැනීමට සමත් වී ඇත. එක් පසෙකින් ආගමික ශාස්තෘවරයෙකු ලෙස ඉස්ලාම් දහමට නායකත්වය දෙමින්ද තවත් පසෙක රාජ්‍ය නායකයෙකු ලෙස රටේ පරිපාලන කටයුතුවලට නායකත්වය දෙමින්ද එතුමාණන් කල මෙහෙවර අති විශිෂ්ඨය. එතුමාණන්ගේ ඒ විශිෂ්ඨ වූ මෙහෙවර අධ්‍යනය කල ඉතිහාසඥයකු මෙනේම ලේඛකයෙකු ද වන ‘මයිකල් එච් හාට්’ මහතා තම 'The 100, A Ranking of the Most Influential Persons in History' ගවේෂණ කෘති මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව තබන සටහනක් මෙහි ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට කැමැත්තෙමි.

එය මෙසේය...

"ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයින්ගේ ලැයිස්තුවට නායකත්වය දීමට මා විසින් තෝරා ගන්නා ලද මුහම්මද් තුමා සමහර පාඨකයින් මවිතයට පත් කළ හැකි අතර අනෙක් අය විසින් ප්‍රශ්න කරනු ලැබිය හැකිය, නමුත් ආගමික සහ ලෞකික මට්ටම් දෙකෙහිම අතිශයින් සාර්ථක වූ ඉතිහාසයේ එකම මිනිසා ඔහුයි"

කෘතිය - 'The 100, A Ranking of the Most Influential Persons in History'.

(වැඩිදුර දැනගැනීම පිණිස - කිතුණු භක්තිකයෙකු වන මොහු ‘THE 100’ නම් කෘතියක් සදහා ලෝක ප්‍රබලයන් සියක්දෙනෙකු පෙලගැස්සීම් සිදුකල අතර එහි පලමු ස්ථානය මුහම්මද් (සල්) තුමාණන්ට ලබාදුන් අතර එයට ඔහු ඉදිරිපත් කල හේතු අතර ඉහත කාරණය ද එකකි. )


අනුගමනයට සුදුසුම චරිතය

මුහම්මද් (සල්) තුමාණන් ඉතිහාසඥයින් අතර වඩාත් ගෞරවාදරයට හා ඇගයීමට පාත්‍ර වූ ප්‍රබල චරිතයකි. ඒ එතුමාණන් ලෝකයට ලබාදුන් ආදර්ශ අදටත් ලෝකයා මවිත කරවන්නක් වීම හේතුවෙනි. එපමණක් නොව ලොව කිසියම් චරිතයක් එලෙසම අනුගමනය කරන්න කටයුතු කරන අනුගාමික පිරිසක් සිටින චරිතයක් වේ නම්, ඒ අතර මුල්තැන සිටින්නේ මුහම්මද් (සල්) තුමාණන්ය. එතුමාණන් ලෝකයාට පෙන්වාදුන් ඒ පරමාදර්ශය ‘හදීස්’ ලෙස ග්‍රන්ථාරූඪ වී අදටත් 100% ආරක්ෂිතව පවතී. ඒ අතර එය පරිශීලනය කරමින් ලොව බිලියන ගණනක් එතුමාණන්ගේ අඩිපාරේ යමින් ඔහු අඳින, පළඳින ආකාරය, කෑම කන සහ නිදාගන්නා ආකාරය... යනාදී ලෙස එලෙසම අනුගමනය කරන අනුගාමිකයින් පිරිසක් ද සිටී. එසේ අනුගමනය කිරීම මුස්ලිම් සමාජය කෙරෙහි කුසල් ගෙනදෙන වගකීමක් වන අතර අනුගමනය සදහා සුදුසුම පරමාදර්ශි චරිතයත් එතුමාණන් ම බව අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය තුලින් මෙසේ අවදාරණය කරයි.

"දෙවියන් වහන්සේගේ දූතයාණෝ දෙවියන් වහන්සේ සහ අවසාන දිනය කෙරෙහි බලාපොරොත්තු තබා නිතර නිතර සිහි කරන ඔබට විශිෂ්ට ආදර්ශයකි."

අල්කුර්ආනය 33-21

මේ ආකාරයේ විශිෂ්ඨ ආදර්ශයන්ගෙන් පරිපූර්ණ මුහම්මද් (සල්) තුමාණන්ගේ දිවිය තුල දෛනික චර්යාවන් කවර ආකාරයක් ගත්තේද? යන්න මෙම ලිපිය තුලින් ඉදිරියට විමසා බැලීමට මූලික වූ හේතු දෙකක් ඇත. එනම්,

  • මුස්ලීම්වරුන් එම චරිතය අනුගමනය කිරීම අපගේ ආගමික වගකීමක් වන නිසා,
  • ලෞකික සාර්ථකත්වයට එම ආදර්ශ ඉතා හොඳ මඟපෙන්වීමක් වන නිසා,

අප අපගේ දිවිය තුලම යහපත් පුරුදු කිහිපයක් ගොඩනඟාගෙන එය හොදම පුරුදු සහ චර්යාවන් ලෙස පිලිගෙන දෛනිකව එය අනුගමනය කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. නමුත් එසේ ගොඩනඟාගත් දෛනික චර්‍යාව හේතු කොටගෙන මෙලොව මෙන්ම පරලොව විමුක්තිය අපට දිනාගත හැකිවේද?, ඒ තුල සැබෑම ඵලදායී, අර්ථවත් ජීවිතය තිබෙනවාද?, එය සහතික කරන්න පුළුවන් කාටද? යන පැනයන් පවතී.


මුහම්මද් (සල්) තුමාව ම අනුගමනය කරන්නේ ඇයි?

මා මෙසේ කරුණූ පෙලගසන විට කෙනෙකුට ‘ඇයි ලෝකේ ඕනෑ තරම් ආදර්ශ චරිත තියෙන්නේ ඇයි මුහම්මද් (සල්) තුමාණන්වම අනුගමනය කරන්න ඕන කියන්නේ’ යනුවෙන් සිතෙන්නට පුළුවන. ‘ඔව්’, ලෝකේ ආදර්ශමත් චරිත බොහෝමයක් තිබෙන බව සැබෑවකි. අන්තර්ජාලයෙන් එවැනි චරිත ඕනෑතරම් සොයාගත හැකි බවද සැබෑවකි. නමුත් අප එහි දකින්නේ ඔවුන් අපට දැකීමට ඉඩ සැලසූ ඔවුන්ගේ දින චරියාවේ හොඳම කොටස හෝ කොටස් කිහිපයක් මිස සම්පූර්ණ චරිතය නොවේ. එමනිසා අප එලෙස තෝරාගන්නා චරිත හෝ පුද්ගලයන්ගේ සමස්ථ දිවිය තුල ඔවුන් කම්මැලි සහ නරක දවසක් ගත කරන විට ඔවුන්ගේ පුරුදු සහ චර්යාවන් කෙසේවීද? යන්න එහි දක්නට නොලැබේ. එසේම තම දිවියේ කිසියම් මානයක් පමණක් මතු කොට ඒ තුල ලෝකයටම ආදර්ශමත් බව කියාපාන බොහෝ එවැනි චරිත තම සමස්ථ පුරුදු හා දින චර්යාවන් සමාජයට ඉස්මතු කර දැක්වීම නොකරයි. එපමණක් නොව එවැනි චරිත ලෞකික දිවියට ආදර්ශමත් වූවත් පරලොව විමුක්තියට එවැනි චරිතවලින් කිසිදු පලක් නොවේ.

මුහම්මද් (සල්) තුමාණන්ගේ දෛනික චර්‍යාව ඉහතින් සදහන් ආකාරයේ අසම්පූර්ණ එකක් නොවේ. ඉහතින් මා සදහන් කලාසේ එය ‘හදීස්’ ලෙස පැහැදිලිව ලේඛනය වූ ඉතිහාසයකි. එය විශ්ලේෂණය කරන ඕනෑම කෙනෙකු හට එතුමාණන්ගේ දෛනික දිවියේ සෑම මොහොතක්ම ඉතා පැහැදිලිව සටහන් වී ඇත. මෙම සත්‍යය එතුමාණන්ගේ ඉතිහාසය ගවේෂණය කල බොහෝ ඉතිහාසඥයින් සහ චරිතාපදාන කරුවන්ගේ ප්‍රකාශ තුලින් ද මනාව පැහැදිලි වේ.


මුහම්මද් (සල්) තුමාණන්ගේ චරිතය පිලිබදව විද්වත් මත

එවැනි කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,

  • රාජකීය පණ්ඩිත තල්ගම්පල පදුම හිමි මෙසේ පවසයි – “මුහම්මත් තුමා හට දේවදූත මෙහෙවර ලැබුණාට පසු ආගම ප්‍රචාරය කිරීමේ දී එයට විරුද්ධව කුරෛෂි ගෝත්‍රකයෝ නැගී සිටියහ. මුහම්මත්තුමා සහ අනුගාමිකයන්ට විවිධ වධහිංසා පමුණුවන්නට පෙළඹුණේය. ඒ අවස්ථාවේ දී මුහම්මත්තුමාගේ අනුගාමකයන් විරුද්ධවාදින් සමඟ සටන් කිරීමට මුහම්මත්තුමාගෙන් අවසර ඉල්ලූවේය. නමුත් මුහම්මත්තුමා එයට එකඟ වුයේ නැත. තමන්ගේ ප්‍රචාරක කටයුතු අවිහිංසාවෙන් ම ප්‍රචාරය කලේය!”
  • Michael H Hart මෙසේ පවසයි – “ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන් ශ්‍රේෂ්ඨතම සාර්ථකත්වය උසුලන එකම පුරුෂයා මුහම්මද් තුමාය.”
  • Bosworth Smith මෙසේ පවසයි – “මුහම්මද් තුමා තුල සීසර් හා පොප්වහන්සේ යන දෙදෙනාම අරක්ගෙන සිටියේය. එතුමා පොප් වුයේ බාහිර ඇගවීම්වලින් තොරවය. සීසර් වුයේ හමුදා බල ඇණිවලින් තොරවය, ආත්මාරක්‍ෂක සෙබලූන් රහිතවය. අවි ආයුධ නැතිවුවත් ඒවායේ උපකාරයක් නොලදත් සෑම බලයක්ම හිමිවී තිබුණු බැවිනි!”
  • De Lacy O’Leary මෙසේ පවසයි – “සටන්කාමී මුස්ලීම්වරුන් විසින් අසිපත් තුඩින් ලොවපුරා ඉස්ලාමය බලයෙන් කාවද්දන ලදැයි ඉතිහාසඥයන් නොකඩවා කළ ප්‍රකාශය බැරැරුම් මුසාවක් වන වග කෙසේ හෝ ඉතිහාසයෙන් ම සනාථවේ.”
  • තොල්ස්තොයි මෙසේ පවසයි – “ලේ පිපාසිත දර දඩු ජන කොට්ටාශයක් ඔවුන්ගේ නපුරැ චරිත්‍රවලින් මුදවා ලෝකයේ දියුණුම සමාජයක් බවට පත්කල ජයග්‍රහණයට වඩා වෙනත් හේතුවක් මුහම්මද් තුමාගේ කීර්තියට අවශ්‍ය නොවේ. එතුමාගේ ව්‍යවස්ථා හා අනපනත් එහි බුද්ධිගෝචර ස්වභාවය සමගින් ලොවේ අධිකාරිය බවට පත්වනු ඇත.”

මේ ආකාරයට මුස්ලීම් නොවන ඉතිහාසඥයින් සහ චරිතාපදාන කරුවන් පවා මුහම්මද් (සල්) තුමාණන් හට මෙවැනි යහපත් චරිත සහතිකයක් ලබාදෙන්නේ එතුමාණන්ගේ මෙහෙවරේ තිබෙන ප්‍රබල බව නිසාම නොවේද?. වසර 23 ක වක්තෘ මෙහෙවර තුල එතුමාණන්ට එදිරිවාදිකම් කල සමකාලීන ඉස්ලාම් විරෝධීන්ට පවා එතුමාණන්ගේ දින චර්‍යාවන්හි වරදක් කීමට නොහැකි විය. එවැනි නිදසුනක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,


එතුමාණන්ගේ හොඳ කියන සමකාලීන හතුරන්

මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීනයකු මෙන්ම මුස්ලීම්වරුන්ට එරෙහි සෑම යුද්ධයකදීම නායකත්වය ගෙන ‘මුහම්මද් (සල්) තුමාණන් ඇතුළුව සමස්ථ මුස්ලීම් ජනයාම ඝාතනය කලයුතුයි’ යන චේතනාවෙන් පෙරමුණ ගෙන කටයුතු කල ‘අබූ සුෆියාන්’ නැමැත්තා එක්තරා අවස්ථාවක ‘හිරකල්’ (නම් මුස්ලීම් නොවූ) රජු ඉදිරියේ නබිතුමාණන් පිලිබදව මුසාවක් පැවසීමේ අරමුණින් ගිය අවස්ථාවක රජුගේ පැනයන් හමුවේ ‘සත්‍ය’ පමණක් පැවසූ ඉතිහාසය ‘බුහාරි’ නම් හදීස් ග්‍රන්ථයේ සවිස්තරව සටහන් වී ඇත. එයින් කොටසක් මෙහි උපුටා දක්වන්නේ නම්,

‘... හිරකල් රජු විමසයි, ‘ඉස්ලාමය අනුගමනය කරන පිරිස් දිනෙන් දින වර්ධනය වනවාද? නොසේ නම් අඩුවනවාද?’ එයට අබූසුෆියාන්, ‘වර්ධනය වෙමිනුයි තිබෙන්නේ’,
යලිත් හිරකල් රජු ‘එම දහම වැලදගත් පිරිස් අතුරින් කවරෙකු හෝ එම දහම ප්‍රතික්ෂේප කොට දහම අතහැර ගොස් තිබේද?’ එයට අබූසුෆියාන් ‘නැත රජතුමණි’,
යලිත් හිරකල් රජු ‘මෙම (ඉස්ලාම්) දහම ප්‍රකාශ කිරීමට පෙර කාලවල (මුහම්මද් වන) ඔහු නුඹලා අතර බොරුවක් පවසන බවට සැක කොට තිබෙනවාද?’ එයට අබූසුෆියාන් ‘නැහැ රජතුමණි’,
යලිත් හිරකල් රජු ‘ඔහු ජනතාවට වංචාවක්, මුලාවක් කර තිබෙනවාද?’ එයට අබූසුෆියාන් ‘නැහැ රජතුමණි, අප දැන් ඔහු සමඟ ගිවිසුමකට එළඹ සිටින්නෙමු. එහි දී ඔහු කුමණ ආකාරයට කටයුතු කරාවිද? යන්න නොදනිමු...’

මූලාශ්‍රය - බුහාරී

(මෙම හදීසය සහ ඊට අදාල විග්‍රාහය යහමග අඩවිය තුල මීට ඉහත පලවූ ලිපියකින් කියවීමට හැක. ඒ සදහා මෙහි Click කරන්න.)


වක්තෘ මෙහෙවර ආරම්භය හා සමාජ ප්‍රතිචාරය

තමන් ඉපදීමට පෙරම පියාත්, ඉපිද වයස අවුරුද් 06 වන විට මවත් අහිමිව අනාථයෙකුව සමාජයේ හැදී වැඩුනු නබිතුමාණන් කුඩා අවදියේ ඉතා දුප්පත් දුෂ්කර දිවියකට උරුමකම් කියන ලදී. නමුත් තරුණ විය ලබන විට එතුමාණන් හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙකු විය. මේ හේතුව නිසාම එතුමාණන්ට වයස අවුරුදු 23 ක්ව තිබියදී මක්කාවේ ධනකුවේරිනියක් වූ කතීජා තුමිය විවාහ කරගන්නට හැකි විය. එතැන් පටන් සමාජීය වශයෙන් හා පෞද්ගලිකව යහපත් දිවියක් ගතකල එතුමාණන්ව වයස අවුරුදු 40 දී නබිවරයෙකු ලෙස අල්ලාහ් (දෙවි) විසින් ඔහුව තෝරාගෙන වක්තෘ මෙහෙවර භාර කරන ලදී.

මෙම වක්තෘ මෙහෙවර එනම්, ඉස්ලාම් දහම මිනිස් සමාජයට ප්‍රකාශ කිරීමේ කාර්‍යය අරම්භ කරනවාත් සමඟ එතෙක් ‘අස්සිද්දීක්’ (විශ්වාසවන්තයා) ලෙස සමාජයේ නමක් දිනා සිටී එතුමාණන් පවුලේ සාමාජිකයන් අතරත්, තම මිතුරන් බොහෝ දෙනෙකු අතරත් ‘බොරුකාරයෙක්’ ලෙස ගැරහුම් ලබන්නට විය. එතැනින් නතර නොවූ එම සමාජයේ සමහරක් එතුමාණන්ව ඝාතනය කිරීමට පවා පෙලඹීය. මෙවන් අභියෝග මධ්‍යයේ ඉතා දුෂ්කර වක්තෘ මෙහෙවරක් ඉටු කරමින් පසුකාලීනව සාර්ථකත්වය දිනාගන්නට හැකි විය. අද එතුමාණන් බිලියනය ගණනක ජනතාවගේ ආදරය හා ගෞරවයට පාත්‍ර වසර 1400 ක් පුරාවට මුස්ලීම් සමාජයට පරමාදර්ශි වූ චරිතයකි.


එදා පැවතී ජීවන රටා අදට ආදර්ශ වන්නේ කොහොමද?

අද අප නවීන පහසුකම් සහ දියුණු තාක්ෂණයෙන් යුක්ත නවීන ලෝකයක ජීවත් වන නිසාත්, අතීත මිනිසුන්ට සාපේක්ෂව 21 වන සියවසයේ අප වෙනස්ම මානවයෙකු ලෙස ජීවත් වන නිසාත්, ‘අතීත නොදියුණු ජීවන රටා අපට අදාල නොවේ’ යනුවෙන් පුරසාරම් දොඩවන්නෙමු. එසේම ‘අතීත ඔවුන්ගේ පුරුදු සහ චර්යාවන් දියුණු අපට පහලින් මිස ඉහලින් නොවන බව’ සිතන්නෙමු. නමුත් අප අතීත ඔවුන්ගේ ජීවිත දෙස සමීපව බලන්නේ නම්, අද අප මුහුණ දෙන අභියෝග හා ගැටළුවලට ඔවුන් එදා මුහුණ දී ඇති බව අපට පෙනෙනු ඇත. එසේම ජීවිතයේ අරුථ සහ අරමුණ සොයා ඔවුන් ගත් වෙහෙස පැහැදිලිව පෙනෙනු ඇත. ඒ තුල ඔවුන් අපට පරමාදර්ශි බව සහ විශේෂි බව අවබෝධ වනු ඇත.

විශේෂ පුද්ගලයින් විශේෂ වන්නේ කෙසේදැයි ඔබ සිතන්නේද? ඒ ඔවුන්ගේ දෛනික පුරුදු සහ චර්යාව හරහා නොවේද? ඒ අනුව ගත්විට මුහම්මද් (සල්) වන ඔහුගේ පුරුදු සහ චර්යාවන් දිව්‍යමය මඟපෙන්වීමක් මත පදනම් වූ ආදර්ශයකි. මේ හේතුව නිසා අනුකරණයට හා අනුගමනයට සුදුසුම දිනචර්‍යාව එතුමාගේ දින චර්‍යාව යන්නෙහි කිසිවකුට විවාදයක් පැවතිය නොහැක.

ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන්ගේ දිනචර්‍යාව කෙබඳුවීද? යන්න සවිස්තරාත්මක හා ගැඹුරින් විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි. ඒ අනුව මෙතැන් සිට විවෘත මනසින් සහ බුද්ධිමත්ව මෙම ලිපිය ඉදිරියට කියවන්න ඔබට ආරාධනා කරමි.


දින චර්‍යාව කියවීමට පෙර අවදාරනය කරමි.

මෙම ලිපිය ඉදිරියට කියවීමට පෙර මතකයේ තබා ගතයුතු අත්‍යඅවශ්‍ය කරුණු කිහිපයක් ඇත. එනම්,

  • "දිනචර්‍යාව" යන වචනය භාවිතා කිරීම මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිතයේ සාමාන්‍ය දිනයක හොඳම විස්තරය නොවිය හැකිය.එයට හැකි උපරිමයෙන් සාධාර්ණයක් කරන්නට මෙහි උත්සාහ කරමි.
  • මෙම "දිනචර්‍යාව" යන මාතෘකාව තුල එම දෛනික දිවියේ ව්‍යුහය කුමක්ද? යන්නත්, එම කාලය නාස්ති නොවී උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තේ කෙසේද? යන්නත් පැහැදිලි කරන්න උත්සාහ කරමි.
  • මුහම්මද් (සල්) තුමාණන්ගේ දින චර්‍යාව අධ්‍යනය කරන්නේ ඒ තුලින් ‘මාව පරිපූර්ණ යහපත් චරිතයක් බවට පරිවර්ථනය කරගැනීම පිණිසයි’ යන අරමුණින් මෙම ලිපිය කියවන ලෙස ඉල්ලා සිටිමි.
  •  මුහම්මද් (සල්) තුමාණන්ගේ මූලික මෙහෙවර සහ කාර්‍යභාරය වූයේ දෙවියන්ගේ මාර්ගය වෙත මනුෂ්‍ය වර්ගයාට ආරාධනා කිරීම සහ ශෙයිතාන්ගේ නපුරෙන් මනුෂ්‍ය වර්ගයා බේරා ගැනීමයි.එය ඔහුගේ පූර්ණ කාලීන රාජකාරිය බවද අවදාරණය කරමි.
  • ඔහු පියෙකු, සැමියෙකු... යනාදී ලෙස පවුලේ වගකීමත්, රටේ නායකයෙකු ලෙස ප්‍රජා වගකීමත් එදිනෙදා චර්යාවන් හි ප්‍රධාන අංග බවද නැවතත් අවදාරණය කරමි.
  •  මෙහි නබිතුමාගේ දින චර්යාව විස්තර කරන්නේ ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී, එනම් මදීනාවෙහි ජීවත් වූ කාලය පදනම් කරගෙනය. මෙය එතුමාණන්ට එදිරිවාදිකම් කල බොහෝ පිරිසක් ඉස්ලාමය වැළඳ ගත් කාලවකවානුවක් වන අතර එය ඔහු ශක්තිමත් සහ බලගතු ස්ථානයක සිටි අවදියක් බව ද අවදාරණය කරමි.
  •  මුහම්මද් (සල්) තුමාණන්ගේ දිවිය තුල විශේෂි වූ දින එනම්, සිකුරාදා දින, අවුරුදු උත්සව දින, යුධ තත්වයන් පැවතී දින, පවුලේ සමාජිකයින් හෝ සහාභාවරුන්ගේ මරණයන් සිදුවූ දුක්බර දින... වැනි අසාමාන්‍ය දින මෙහිදී සංවාදයට පදනම් කර නොගනිමි.

එසේනම්, ඉහත කරුණු හොදින් මතකයේ රඳවාගෙන අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ 68-4 හි "ඇත්ත වශයෙන්ම, ඔබට විශිෂ්ට සදාචාරාත්මක චරිතයක් ඇත." යනුවෙන් පවසන ඒ චරිතයේ දවස කවර ආකාරයේ එකක් වුයේද? යන්න දැන් බලමු.


මුහම්මද් (සල්) තුමාණන්ගේ දවසේ කටයුතු

ඉස්ලාමීය ඉගෙන්වීම අනුව දවස ආරම්භය සිදුවන්නේ සන්ධ්‍යා කාලයේදීය. (මේ පිලිබදව මෙම අඩවිය තුල [[]] යන මාතෘකාව යටතේ කරුණූ සාකච්චා කොට ඇත.) නමුත් මෙම මාතෘකාවට අදාලව දවසේ ආරම්භය ලෝකයේ සම්මත පිලිගැනීමට අනුව උදෑසෙන ලෙස ගෙන මුහම්මද් (සල්) තුමාණන් උදෑසන අවදි වූ මොහොතේ පටන් දවසේ චර්‍යාව මෙතැන් සිට විමසා බලමි.

මෙම ලිපිය මෙතැන් සිට කියවීමේදී එම පරිසර තත්වය සහ සමාජ තත්වය යම්තාක් දුරකට හෝ සිතින් මවා ගැනීමට උත්සාහ කරන්න එවිට මෙම විස්තර කිරීම ඔබට වඩාත් රසවත් හා පැහැදිලි එකක් වනු ඇත.

උදෑසන අවදි වූ මොහොතේ සිට හිරු උදාවන මොහොත දක්වා

මුහම්මද් (සල්) තුමාණන් රාත්‍රී කාලය පුරාවට (කියාමුල්ලෛයිල් නම්) දිගු යාච්ඤාව අවසන් කොට කෙටි නින්දක පසුවෙමින් සිටී. එය ෆජ්ර් (උදෑසන) යාච්ඤාවට ආසන්න මොහොතයි. එම මොහොතේ මනරම් කටහඬින් බිලාල් (රලි) තුමාගේ උදෑසන අදාන් (යාච්ඤා සදහා කැඳවුම්) හඬ ඇසෙනු ඇත. ඒ උදෑසන දේව නැමදුම සදහා මදීනා වාසී ජනයාට ආරාධනා කරන හඬයි. ඒ සමඟ මුහම්මද් (සල්) තුමාණන් තම ඇස් දෙක අතින් පොඩි කරමින් අවදි වේ. එසේ අවදිවීමෙන් අනතුරුව පහත ප්‍රාර්ථනාව කරයි.

1- දුවා -සියලු ප්‍රශංසාව අපෙන් ලබා ගැනීමෙන් පසු අපට ජීවය ලබා දුන් අල්ලාහ්ට වන අතර නැවත නැඟිටීම ඔහු වෙතය

අනතුරුව තම සිවාක් නම් (කිසියම් ශාක කඳකින් සකසන ලද) දත්බුරුසුව ගෙන නැඟිට ගොස් එම කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව තම නිවසේම ෆජ්ර් සලාතය සදහා වූ සුන්නත් සලාතය (වෛකල්පිත යාච්ඤාව) නිවසේම ඉටු කරයි. එම මොහොතේ තම බිරිඳ අවදියෙන් සිටී නම්, ඇය සමඟ ආදරයෙන් කතා කිරීමටත්, ඇය නින්දෙහි පසුවන්නේ නම් ආදරණීයව ඇය අවදි කිරීමටත් කටයුතු කරයි. සමහරක් අවස්ථාවල ආගමික කරුණුද මෙනෙහි කරයි. නිදසුනක් ලෙස,

ඔබ අතරින් කවුරුන් හෝ ශාරීරිකව නිරෝගීව, තමා තුළම ආරක්ෂිතව සහ සුරක්ෂිතභාවයෙන්, දවසේ ආහාර සමඟ අවදි වන්නේ නම්, එය ඔහු මුළු ලෝකයම අත්පත් කර ගත්තාක් මෙනි.

මූලාශ්‍ර ග්‍රන්ථය- සුනන් ඉබන් මාජා

මේ මොහොතේ ෆජ්ර් යාච්ඤාව සදහා දේවස්ථානය තුල ජනතාව රැස්ව සිටින බව බිලාල් (රළි) තුමා දුටු විට, ඔහු නබිතුමාගේ නිවස (නබිතුමාණන්ගේ නිවස හා දේවස්ථානය එකම බිත්තියකින් වෙන්ව යාබදව තිබුණි. එම නිවස) අසලට පැමිණ මෙසේ පවසයි.

“ අල්ලාහ්ගේ දූතයාණනි, යාඥා කරන්න. ”

එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම නිවසින් පිටතට පැමිණ, අහස දෙස බලා, පසුව මෙසේ පවසනු ඇත:

2- දුවා-  " අල්ලාහ්ගේ නාමයෙන්, මම අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබමි, අල්ලාහ් සමඟ මිස බලයක් හෝ බලයක් නැත. අල්ලාහ්, මා නොමඟ නොයෑමට හෝ නොමඟ යැවීමට හෝ ලිස්සා යාමට හෝ පැකිලීමට හෝ පීඩාවට හෝ පීඩාවට පත් වීමට හෝ මෝඩ ලෙස හැසිරීමට හෝ මෝඩ ලෙස සැලකීමට ඉඩ නොතබන ලෙස මම ඔබ සමඟ සරණ යමි. ”

ඉන්පසු ඔහු තම දකුණු පාදයෙන් මස්ජිදයට (මුස්ලිම් දේවස්ථානයට) ඇතුළු වී මෙසේ ආයාචනා කරයි:

3- දුවා - “ අල්ලාහ්ගේ නාමයෙන්, අල්ලාහ්ගේ දූතයාණන්ට යාච්ඤා සහ සාමය ලැබේවා. අල්ලාහ්, ඔබේ දයාවේ දොරටු මා වෙනුවෙන් විවෘත කරන්න. මම උත්තරීතර අල්ලාහ්ගෙන් සහ ඔහුගේ උතුම් මුහුණෙන් සහ ශාප ලත් යක්ෂයාගෙන් ආරක්ෂා වී ඔහුගේ සදාකාලික අධිකාරියෙන් සරණ යමි .

බිලාල් (රළි) තුමා මුහම්මද් (සල්) තුමාණන් දේවස්ථානයට ඇතුළු වන අයුරු දුටු විට, ඔහු ඉකාමා (සලාතය ආරම්භය සනිටුහන් කරන විශේෂිත ඇමතුමක්) කරනු ඇත. ඒ සමඟ (මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන) සහාභාවරු නබි (සල්) තුමාණන්ට පිටුපසින් පිළිවෙළකට පේළියට සිටගනු ඇත. එවිට ෆජ්ර් නැමදුම මුහම්මද් (සල්) තුමාණන් මෙහෙයවනු ඇත.

මෙසේ ෆජ්ර් සලාතය අවසන් කිරීමෙන් අනතුරුව උදෑසන විශේෂ ප්‍රාර්ථනාවන් සමඟ දෙවියන් වහන්සේ සිහිපත් කරමින් එම ස්ථානයේ කාලය ගත කරනු ඇත, පසුව එතුමාණන් තම සහාභාවරුන් දෙසට හැරී අසුන්ගනු ඇත. සහාභාවරුන් නින්දෙන් පිබිදී යාච්ඤාවෙන් ප්‍රබෝධමත්ව සිටින එම මොහොතේ ඔවුන් සමඟ නබිතුමාණන් කතා කරයි. සමහර විට ඔහු ඔවුන්ව අඬන චංචල ආගමික ඉගැන්වීම් බෙදාගනී. තවත් සමහර අවස්ථාවල කුතුහලය සහ නිර්මාණශීලිත්වය ඔවුන් තුල මතුවන ලෙස ප්‍රශ්න කරයි. තවත් සමහර අවස්ථාවල එදින රාත්‍රියේ ඔවුන් දුටු සිහිනයන් බෙදා ගැනීමට ඔවුන්ගෙන් කිසිවෙකු සිහිනයක් දුටුවේ දැයි විමසා එම සිහිනයට විග්‍රහයන් ලබාදෙයි. තවත් සමහර අවස්ථාවල තම සහාභාවරුන්ගේ ජීවිත කරුණු සාකච්ඡා කරයි. මේ ආකාරයට සහාභාවරුන් නබිතුමාණන්ට සවන් දෙමින් හිරු උදාවන තුරු එතුමාණන්ගේ ඇසුරේ රැඳී සිටි.

...

මෙම ලිපියේ තවත් කොටස් ඉදිරියට බලාපොරොත්තු වන්න...

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/05/9

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම