මුහුණූ පොත’ තුල නිරුවත් වන අපේ ඇත්තෝ

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


නූතන මිනිසා තාක්ෂණය හා උරෙන් උර ගැටී තම ජීවිතයට එය ගලපාගන්නට දක්වන්නේ ඉමහත් රුචියකි. නමුත් යහපත් අරමුණූ පදනම් කරගෙන බිහිවන බොහෝ තාක්ෂණීක උපකර්ණ හා පහසුකම් තුලින් අවසානයේ සිදුවන්නේ යහපතට වඩා අයහපත් කරුණූ කාරණා යන්න ප්‍රායෝගිකව පෙනෙන කාරණයකි. මිනිස් දිවියේ පහසුව හා යහපත උදෙසා නිර්මාණය වන බොහෝ දෑ ඔහුට ආශීර්වාදයක් කරගන්නවා වෙනුවට සියළු ආකාරයේ වූ අවැඩයන් හා අනාචාරයන් සදහා ආශිර්වාදයක් කරගෙන විනාශය කරා පියමැණීම නිතර දකින කාරණයකි. එවැනි කරුණු පිලිබදව යහමඟ අඩවිය තුල විටින් විට සාකච්චා කොට ඇති අතර එවැනි තවත් කාරණයක් වන ‘මුහුණූ පොත’ හෙවත් facebook පිලිබදව සමාජ අවධානයට කරුණු කිහිපයක් අද යහමඟ තුලින් කථා කිරීමට අදහස් කරමි. එම මාතෘකාවට අවතීරණය වන්නට ප්‍රථමයෙන් මෙම ලිපිය සදහා ඌනපූර්ණයක් ලෙස ඔබගේ බුද්ධිමත් අවධානයට ශුද්ධ වූ නබිවදනක් (හදීසයක්) ගෙන එන්නට අදහස් කරමි.

“කාමයේ වරදවා හැසිරීමේ (සිzනාවේ) කොටසක් (ප්‍රථම මිනිසා වන) ආදම්ගේ දරුවාට ද හිමි බවට දෙවියන් නිර්ණය කොට ඇත. එය ඔහුට නියතවම හිමිවන්නේය. මනුෂ්‍යාගේ ඇස් කරන සිzනාව තමා (කාමුක හැඟීමන් ඇතිකර වන) එවැනි දෑ බැලීම, දිවෙන් කරන සිzනාව තමා ඒ හා සම්බන්ධ (කාමුක හැඟීමන් ඇතිකර වන) දෑ පිලිබදව කථා කිරීම. සිතින් කරන සිzනාව තමා ඒ කෙරෙහි නැඹුරුවක් හා ආසාවක් දැක්වීම. අවසානයේ මේ සියල්ල තම රහස් අවයවය (ලිංගික අවයව) මඟින් සනාථ කිරීම හෝ අසත්‍ය කිරීම සිදුකරයි.”
දන්වන්නේ :- අබුහුරෙයිරා (රලි) තුමා, මූලාශ්‍ර ග‍්‍රන්ථය :- බුහාරි

ඉහත හදීසය වර්ථමාන සමජය බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුව ඇත. එහි අවවාද කරන ආකාරයට දෛනිකව අපගේ ඇස, දිව යනාදී අවයව ‘සිzනාව’ සදහා කොතරම් නැඹුරු ‍වෙනවාද?. මිතුරණ් කිහිපදෙනෙකු එක්වූ කල එහි මාතෘකාව කුමක්ද? මඟතොට ගමන් කරනවිට අපගේ බැල්ම කොහිද?. මේවා පිලිබදව ස්වයං අධ්‍යනයන් සිදු කලයුතුව ඇත. රටක, සමාජයක අනාගතය තීන්දු කරණ ප්‍රධාන සාධකය තරුණ පරම්පරාවයි. ඔවුන් වල්මත් වී ගමන කරන්නේ නම් රටේ අනාගතය නියත වශයෙන්ම අඳුරේය. මේ හේතුව නිසා තමා යහමඟ අඩවිය පවා එම තරුණ පිරිස ඉලක්ක කරගෙන විටින් විට මෙවැනි විෂයන් කථා කිරීමට උනන්දු වන්නේ. ‘වර්ථමාන තාරුණ්‍යයේ හෙට දවස‘ සහා ‘තරුණයෙනි කැරකිලා නොව නැඟිටලා‘ යන්න එවැනි ලිපි දෙකකි. නමුත් මෙවැනි ලිපි කිහිපයකින් ඔවුන් ගැන කථා කොට සියළු යුතුකම් හා වගකීම්වලින් බැහැරවීම කිසිසේත් සිදුකල නොහැකි කාරණයක් යන්න යහමඟ හොදින් අවබෝධ කරගෙන ඇත. විශේෂයෙන් තරුණ පරම්පරාවේ හැඟීමන් හා සිතුවිලි ඉලක්ක කරගෙන ලොව බිහිවන තාක්ෂණික මෙවලම් බොහෝ විට ඔවුන්ගේ යහපතට නොව විනාශය හා පරිහානිය තීන්දු කරන සාධක බවට පත්වෙමින් පවතින යුගයක කිසිසේත් එයින් ඉවත්විය නොහැක.

ඒ අනුව වර්ථමාන ‍ලෝකයේ ආක්ර්ශණීය මෙන්ම ජනප්‍රිය අංගයක් වන facebook පිලිබදව පාඨක ඔබේ විමසුමට කරුණූ කිහිපයක් ගෙන එන්නේ නම්, සිංහල භාෂාවෙන් ‘මුහුණූ පොත’ යනුවෙන් හදුන්වන මෙම facebook පිලිබදව අද නොදන්නා කිසිවකු නැති තරම්ය. මෙය අන්තර්ජාලය තුල සැරිසරන ඔබ සදහා නොමිලේ ලබාදෙන සමාජ ජාල වෙබ් අඩවියක් වේ. මීට වසර 08 කට පෙර (එනම් 2004 දී) හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටී ‘මාක් ෂුකර්බර්ග්’ නම් සිසුවා තම විශ්වවිද්‍යාලයේ සිසුන් අතර තොරතුරු හුවමාරුව සදහා ආරඹන ලද මෙම සේවාව අද ලොව ජනප්‍රිය සේවාවක් බවට පත්ව ඇත.තාරුණ්‍යයේ දොර අභියස සිටින ඔහුගේ වයස තවම අවුරුදු 27 ක් වුවද ඔහුගේ මෙම නිර්මාණය අගයමින් ඒ වෙනුවෙන් ‘2010 වර්ෂයේ ලොව ආදර්ශමත්ම පුද්ගලයා (Person of Year)’ යන සම්මානය පවා ‘ටයිම්ස් (Time)’ සඟරාව ඔහුට ලබාදෙන ලදී. ඒ අනුව අද වනවිට සමස්ථ අන්තර්ජාලයම බූවල්ලෙකු මෙන් ආක්‍රමණය කොටගෙන සිටින මේ සමාජ ජාල වෙබ් අඩවියේ මේ වනවිට සාමාජික සංඛ්‍යාව මිලියන 750 ක් පමණ වන අතර පසුගිය දිනක එලිදැක්වූ වාර්ථාවකට අනුව දිනපතා අලුතින් එක්වන සංඛ්‍යාව 700000 ක් පමණ බව සදහන් වේ.

එදා යහපත් අරමුණූ පෙරදැරිව ආරම්භ කල මෙම facebook සේවාවේ වර්ථමාන තත්වය විමසා බැලීම තමා මෙහිදී වැදගත් වන්නේ. සමස්ථ ලෝකයම ඉතා ආකර්ශණිය ආන්දමින් අපේ ඇඟිලි තුඩගට ගෙනදී ඇති මේ facebook තුලින් ගත හැකි ලෝකයාට දියහැකි දෑ බොහෝය. ඉතා සුළු පිරිසක් එම තත්වය අවබෝධ කරගෙන එම මෙහෙවර තුල නිරත වීම දක්නට නැතුවා නොවේ. නමුත් බහුතරයකගේ තත්වය සැලකූවිට ඔවුන් මේ තුලින් විනාශය හැර වෙන කිසිවක් පතන බවක් නොපෙනේ. අසභ්‍ය පිංතූර, වීඩියෝ Upload කිරීමටත්, ඒ තුල කාලය නිකරුණේ ගෙවා දමන හරයක් නැති කන්ඩායම් chat වලටත්, ඔපාදූප කථා කිරීමටත්, අනවශ්‍ය ප්‍රේම සම්බන්ධතාවයන් ඇති කර ගැනීමටත්, පුද්ගලිකත්වය ලෝකයාට නිරාවර්ණය කිරීමටත් හැර වැඩදායී කටයුත්තක් සදහා මෙය අද භාවිතා නොකරන තැනකට පත් කොට ඇත. විශේෂයෙන් කවදත් තාක්ෂණය නොපිටට ගලපාගන්නා තරුණ්‍යය මේ facebook තුල ද උඩුයටිකුරු වීම මෙහි සදහන් කලයුතු හා සාකච්චා කලයුතුම අංගයක් බවට පත්ව ඇත. මේ හේතුව නිසාම අද වනවිට නොයෙක් ආකාරයේ පරියේෂණ හා සමීක්ෂණ මේ පිලිබදව සිදුවෙමින් ඇත. ශ්‍රී ලාංකීය රජය විසින් පවා මෙම facebook සම්බන්ධයෙන් යම් යම් වාරණයන් පනවා ඇතත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන තත්වයකි. සියළු ආකාරයේ අනාචාරයන් හා අවැඩයන් සදහා තොතැන්නක් වී තිබෙන මෙම facebook තුලින් අද වන උන්මත්තක රොගීන් බිහිවන බව මනෝවිද්‍යාඥයින් පවා පෙන්වා දෙමින් සිටී. ඔවුන් මෙම රෝගී තත්වය ‘fad’ හෙවත් Facebook Addiction Disorder (ෆේස්බුක් වෙත ඇබ්බැහිවීමේ ආබාධය) යනුවෙන් හදුන්වන අතර මෙම මානසික ආබාධයට ගොදුරු වුවන් ලොව පුරා ව්‍යාප්තව සිටින බවත් එය දිනෙන් දින සීඝ්‍රයෙන් ව්‍යාප්තව වෙමින් පවතින බවත් පෙන්වා දේ. මෙම තත්වය facebook සම්බන්ධයෙන් පසුගිය දිනක එලිදැක්වූ සමීක්ෂණ වාර්ථාවක් තුලින් ඔබට මනාව අවබෝධකර ගතහැකි වනු ඇත.

ලොව ප්‍රකට සමාජ සමීක්ෂණ ආයතන දෙකක් වන  ‘oxygen media’ සහ  ‘Light speed Research’ යන ආයතන මඟින් Facebook Addiction Disorder සම්බන්ධයෙන් මෙහෙය වූ සමීක්ෂණය මෙසේ…
මෙම සමීක්ෂණය සදහා පුද්ගලයන් 1605 ක් සම්බන්ධ කරගෙන තිබිණ. මෙහිදී හෙළි වූ කරුණු මගින් අනවශ්‍ය ආකාරයට Face Book වෙත නැඹුරුවීමේ විපාක අපූරුවට තේරුම්ගත හැකි වේ. සමීක්ෂණයට සහභාගී වූ වයස අවුරුදු 18-38 අතර කාන්තාවන්ගෙන් 34% ක්ම පැවසූයේ, තමන් උදෑසන අවදිවීමෙන් පසුව සිදුකරන පළමු කටයුත්ත තම FaceBook ගිණුම පරීක්ෂා කිරීම බවයි. ඔවුන් මුහුණ කට සෝදා ගන්නේත් ඉන්පසුවය. කාන්තාවන්ගෙන් 21% ක්ම පැවසූයේ, මධ්‍යම රාත්‍රියේ ඇහැරී FaceBook ගිණුම පරීක්ෂා කිරීමට තමා පුරුදුව සිටින බවයි. සමීක්ෂණයට යොමු වූ සමස්තයෙන් 58% ක් දෙනා Face Book භාවිතාකරන්නේ ‘වියරුවැටුණු’ (frenetic) පුද්ගලයන් ආකාරයට බැව්, සමීක්ෂණ ආයතනය පෙන්වාදී තිබේ. මේ පිළිඳව තවදුරටත් අදහස් දක්වන සමීක්ෂණ ආයතනය, Face Book  උන්මාදයට බහුලවම ගොදුරු වී සිටින්නේ නව යොවුන් වයසේ කාන්තාවන් බවද පවසා සිටී. (මේ පිලිබදව වැඩි විස්තර සදහා….)

ඉහත තත්වය හොදින් විශ්ලේෂණය කලේනම්, මෙය කුඩු, මත්පැන්… යනාදීන්ට ඇබ්බැහිවීමන්ට වඩා භයානක තත්වයක් යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. ජීවිතයේ වටිනා කාලයත් ශ්‍රමයත් මෙලෙස facebook හමුවේ විනාශ කරගනිමින් මානසික දුබලාවයන් හා විකෘතිතාවයන් නිර්මාණය කරගන්නා තාරුණ්‍යය තුලින් රටක් ලෙස හෙට දවසේ අපේක්ෂා කලහැකි යහපත කුමක්ද?. මිනිස් දිවියේ මිල කල නොහැකි වටිනා සම්පත වන ‘කාලය’ මේ තුල විනාශ කරදැමීම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද?. මේ facebook තුල නුතන තාරුණ්‍යය නැති කරගන්නේ කාලය පමණක් නොවේ. ඔහුගේ වටිනා සාරධර්ම, විනය, ශක්තිය, බුද්ධිමත්භාවය… යානදී සියල්ල අහිමි කරගනී. මෙහිදී මුහම්මද් (සල්) තුමාණන් පැවසූ හදීසයක් මතකයට නැ‍‍ගේ. එනම්,

කිසිදු මිනිසෙක් තම ලෞකික දිවිය කෙසේ ගෙවාදැමුවාද?,  තම තරුණ අවදිය කොයි ආකාරයට ගතකලාද? යන ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා නොදී කියාමත් (විනිශ්චය) දිනයේ තමා සිටින ස්ථානයෙන් එක් අඩියක් වුවද සෙලවිය නොහැක.

ග‍්‍රන්ථය :- තිර්මිදි

වයස පමණක් නොව කාලයත් මේ facebook තුල ගෙවාදමන නූතන තාරුණ්‍යය හෙට දවසේ ඉහත පැනයට දෙවියන් හමුවේ ලබාදෙන පිලිතුර කුමක්ද? මෙහිදී විශේෂයෙන් ඉහත සමීක්ෂණය තුලින් පවා දැඩිව අවධාරණය කල පාර්ශවයක් ඇත ඒ තරුණ කාන්තාවන් යන්නයි. සැබැවින්ම facebook ගිණුමක් පවත්වාගෙන යන ඕනෑම කෙනෙකු හට මෙම තත්වය සුලභව දැකිය හැක. විශේෂයෙන් මුස්ලීම් සහෝදරියන් ෆතිමා, ආයිෂා, සුමෙයියා… නමින් පෙනීසිට facebook තුල කරන විගඩම් නම් මෙහි සදහන් නොකරම බැරිය. ඉස්ලාම් කාත්තාව සදහා ගෞරවණීය ස්ථානයක් ලබාදී තිබියදී ඇයගේ අලංකාරය ලෝකයා හමුවේ වසන් කිරීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්න ඉස්ලාම් බලකරද්දී ඇය මේ ෆේස්බුක් තුල නිරුවත් වෙමින් සිටී. සමහරක් සහෝදරියන්ගේ profile photo එක තමන්ගේම නොවුවත් එය ලොව ජනප්‍රිය චරිත වී ඇත. සමහරක් අවස්ථාවල බොලිවුඩ් නිළියන් වී ඇත. එම සහෝදරියන්ගේ ප්‍රියතම චරිත බොලිවුඩ් නිළියන් වීම තුල ලෝකයාට කියාපාන්නට උත්සාහ කරන්නේ කුමක්ද? යන පැනය හා කුතුහල ඇති වේ. මේ කාරණයේදී සහෝදරියන් හා කරට කර ‍සහෝදරයන්ද සිටී. ඔවුනට ද බොහෝ විට profile photo වී තිබෙන්නේ හොලිවුඩ් හෝ බොලිවුඩ් රුකඩය සමහරක් අවස්ථාවල ක්‍රිඩකයන්ගේ පිංතූරද ඉදිරිපත් කරන අවස්ථාවන් දක්නට ලැබේ. ඉස්ලාම් දහම තුල ආදර්ශමත් චරිත අපමණක් තිබියදී ආදර්ශ භංග වූ ජාතියක් ලෙස මෙවැනි රූකඩ පසුපසින් ඇදීයාම තාරුණ්‍යයේ විකෘති හෙට දවස පමණක් නොව බලාපොරොත්තු අහිමි වූ රටේ ආනාගතයත් පිලිඹිබු කිරීමක් නොවේද?. මෙහිදී ‘ඉස්ලාමීය ආදර්ශමත් චරිත තම profile photo සදහා යොදාගත්තේ නම් සියල්ල නිවරුදිය’ යන වැරදි අවබෝධයක් ඇතිකර නොගතයුතුය නොවේ. ඉස්ලාම් දහම තුල මෙවැනි ක්‍රියාවන් සදහා කිසිදු ඉඩක් නොමැති බව පැහැදිලි ලෙස ප්‍රථමයෙන් වටහා ගතයුතුය. ලොව ශ්‍රේෂ්ඨතම හා ආදර්ශතම පුද්ගලයාගේ ඡායාරූපයක් හෝ වෙනත් සිතුවමක් එදා පටන් අද දක්වා නොමැතිවීම තුල ඒ පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එසේ තිබියදී රූකඩ පසුපස යමින් ඔබ කියන්නට උත්සාහ කරන්නේ ඉස්ලාම් පෙන්වාදෙන මෙම ආදර්ශය අපට ප්‍රමාණවත් නොවේ යන්නද?.

මෙම ලිපිය ආරම්භයේ දී නබිතුමාණන් සමාජයට කල අවවාදාත්මක හදීසයක් ඔබගේ අවධානයට මා ගෙන ආවා. එහි ‘…මනුෂ්‍යාගේ ඇස් කරන සිzනාව තමා (කාමුක හැඟීමන් ඇති වන ආකාරයට) එවැනි දෑ බැලීම…’ යනුවෙන් පැවසූ බව මා සදහන් කලා. දැන් facebook තුල අපේ සහෝදරියන්ගේ තත්වය මොහොතක් විමසා බලන්න. ඔවුන් දැන හෝ නොදැන ‘සිzනා’ හි දොරකොඩ නොවේද? මේ සිටින්නේ. ඒ සදහා නිදසුන් සියගණනින් යහමඟ ෆේස්බුක් තුලින් ගෙනහැර දැක්විය හැක. නමුත් එයින් ද සිදුවන්නේ ඔවුන් තව තවත් ඉහත අවාසනාවන්ත තත්වයට ගොදුරු වීම පමණි. මෙහිදී facebook ගිණූමක් පවත්වාගෙන යාම පාපකාරී ක්‍රියාවක් යනුවෙන් මා කිසිවිටෙක නොපවසමි. යහපත් කටයුතු සදහා මෙම පහසුකම උපයෝගි කරගත හැකි යන්නෙහි විවාදයක් නැත. අදටත් සමහරක් ‍සහෝදර සහෝදරියන් එම මෙහෙවරේ නිරතව ඉන්නවා යන්න සතුටට කරුණක්. නමුත් සම්ස්තය සැලකූවිට එය තුලින් විනාශය පතන පිරිස තමා බහුතරය යන්න තිත්වූ ඇත්ත.

ඉහත මා ඉදිරිපත් කරන කරුණූ සම්බන්ධයෙන් විශේෂයෙන් හෙට දවසේ රටත්, ජාතියත්, දහමත් භාරගන්නට හා ආරක්ෂා කරන්නට ඉන්නා අපගේ තරුණ තරුණියන් බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු යන්න අවංක වූ ප්‍රාර්ථනයයි. මන්ද ඔවුන් ගැන කථා කිරීමේ දී මෙම පරිහානිය සම්බන්ධයෙන් හා අවාසනාවන්ත තත්වය සම්බන්ධයෙන් කිසිවිටෙකත් එය මඟහැර, අතපසු කොට හෝ නොසකලා කථා කිරීමට නොහැක. විශේෂයෙන් සමාජ වගකිවයුත්තන්ට ද මේ සම්බන්ධයෙන් ඉමහත් වගකීමන් ඇත. නමුත් අවාසනාව කියන්නේ මාජ වගකිවයුත්තන්, ආගම හා සමාජය යහපත වෙනුවෙන් යමක් කලහැකි පිරිස් හා ආගමික විද්වතුන් පවා මෙම facebook රුල්ලට හසුවී සමාජය යහපත් අතට ගන්නවා වෙනුවට විනාශය කරා මෙහෙයවමින් සිටීමයි. මෙම තත්වය පොදුවේ සෑම ආගමික පිරිස් තුලම දක්නට ඇත. ඔවුන් තම වගකීම පැහැරහරිමින් ලෞකික ආලංකාරයන් තුල මත්වෙමින් සිටී. ඔවුන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ශෛයිතාන්ගේ සහයෝගය හා ආශිර්වාදය උපරිමයෙන් ලබමින් සිටී. මෙවැනි රූකඩ විද්වතුන් පිලිබදව යහමඟ ඉදිරියේදී නම් ගම් ඇතුව සමාජයට අනාවර්ණය කිරීමට අදහස් කරමි. එවන් පිරිසගේ අවධානයට දැනට පහත නබි වදන ඉදිරිපත් කරන්නේ ඒ තුල සිතන්නට බොහෝ දෑ තවම ඉතිරිව ඇති නිසාමය.

‘දාහක් වන්දනාමානවල යෙදෙන බැතිමතුන්ට වඩා එක් ආගමික විද්වතෙකු සම්බන්ධයෙන් ශෛයිතාන් බිය වේ’

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි, ඉබුනුමාජා

තම ජීවිත කාලය වන්දනා මානවලට පමණක් සීමා කොට ජීවත් වන පුද්ගලයා සම්බන්ධයෙන් ශෛයිතාන්ට බියයුතු කිසිවක් නැත. මන්ද දහම ඔහුට පමණක් සීමා වී ඇති නිසාය. නමුත් ආගමික විද්වතෙකු සැලකූ විට එය එසේ නොවේ. ඔහු තම දැනුම අන්අයට බොදාදීම තුලින් සත්‍ය මාර්ග වෙත ජනයා කැදවයි. මේ තුලින් දහමේ ව්‍යාප්තියට ඔහු දායකත්වය සපයයි. එවිට එය ශෛතාන්ගේ මෙහෙවරට බාධාවක් වේ. නමුත් එවන් වූ පිරිස් ඉහත ආකාරයට ‍ලෞකික අලංකාරයන් තුල මුළුගැන්වීම කොතරම් අවාසනාවන්ත ඉරණමක් සමස්ථ සමාජයට උදා කරදීමක්ද?.

මෙතෙක් මා පැවසූ කරුණූ කාරණා හොදින් විශ්ලේෂණය කලේනම් මා ආරම්භයේ සදහන් කල මානසික උන්මත්තකය හෙවත් ‘fad’ තත්වය විවිධ තරාතිරමින් අප සමාජය තුල ඔඩුදුවා ඇත්ද? යන්න පහසුවෙන් වටහාගත හැක. දිනෙන් දින මෙලෙස විකෘතිතාවයන්ට ගොදුරුවන පිරිස් එම තත්වයෙන් මුදවා ගැනීමේ වගකීම සමාජයේ සෑම පුරවැසියෙකුටම ඇත. එසේම මෙම ‘fad’ තත්වයට තමන් කොතරම් දුරකට ඇබ්බැහි වී සිටිනවාද? යන්න සෑම කෙනෙකුම ස්වයං අධ්‍යනයක්ද කලයුතුව ඇත. තමන් එම රොගී තත්වයේ කුමණ අවධියක් මේ මොහොතේ පසු කරමින් සිටිනවාද? යන්න තීරණය කිරීම එතරම් අපහසු නොවනු ඇත. ඔබේ එදිනෙදා ජීවිතය තුල ආගමික කටයුතු, රාජකාරී කටයතු, යුතුකම්, වගකීම… යනාදී නියමිත වේලාවන්ට ඉටුනොවී පැහැරහරිමින් මේ facebook තුල කාලය ගෙවාදමන්නේ නම් ඔබ ‘‍fad’ අබාධයට ගොදුරුවී ඇති බව පැහැදිලිව වටහා ගන්න.

මෙතෙක් විවිධ පැතිකඩ ඔස්සේ අවධානය යොමු කල මෙම ලිපිය තුල අනිවාර්‍යයෙන් කථා කලයුතු තවත් පාර්ශවයක් ද සිටී. ඒ ඉහත තරුණ්‍යයේ ආරක්ෂයන් හා මඟපෙන්වන්නන් වන වැඩිහිටි හා මාපිය පාර්ශවයන්ය. අවසාන වශයෙන් එම පාර්ශවයේ අවධානයට කරුණූ කිහිපයක් කෙටියෙන් පවසන්නේ නම්,

  • නියත වශයෙන්ම ඔබලාගේ සම්පත් මා දූදරුවන් නුඹලා පරික්ෂාකර බැලීම සදහාමය… (ශුද්ධ වූ කුර්ආනය 8-28, 64-15)
  • නුඹලා සියළුදෙනා වගකීමන්ට බැදී සිටී. නුඹලාගේ එක් එක් වගකීමන් පිලිබදව නියත වශයෙන්ම (දෙවියන්) විමසනු ඇත. (මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්)

එසේනම් මෙතෙක් කථා කල සමාජ පරිහානිය තුලින් සමාජය ගොඩගැනීමේ දී නියත වශයෙන්ම වැඩිහිටියන්ට හා මාපියන්ට වගකීමක් ඇත. විශේෂයෙන් තරුණ සහෝදරියන් සම්බන්ධයෙන් අවධියෙන් හා පසුවිපරමින් ක්‍රියා කිරීම ඔවුනට ඉතා පහසු කටයුත්තක් වන්නේ බොහෝ විට ඔවුන් නිවසේ රුදීසිට මෙවැනි ක්‍රියාවන් හි නිරතවන නිසාය. තම දුව පුතා facebook භාවිතා කරන බව දන්නා බොහෝ දෙමාපියන්ට ඒ තුල ඔවුන් කුමක් කරනවාද? යන දැනුම නැත. ඔවුන් නූතන තාක්ෂණය හා කරට කර ගමන් කරනවා යන්න පමණක් දන්න දෙමාපියන් බොහෝ දෙනෙකුට ඔවුන් ඒ තුලින් විනාශය පතමින් සිටින බව දන්නේ නැත. වැඩිහිටියන් හා මාපියන් මෙන්ම සමාජ වගකිවයුත්තන් මෙලෙස සියළු වගකීමන්ගෙන් දුරස්ව සිටීමේ අවසාන ප්‍රතිපලය ලෞකිකව ගත්තද ලෝකොත්තරව සැලකුවද නියත වශයෙන්ම දෙපාර්ශවයටම ඉතාම අවාසනාවන්ත ඉරණමක් උදාකර දෙන තත්වයක් යන්න පමණක් පවසමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/16

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම