මේක ජාති ආලයද

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් මනුෂ්‍ය බුද්ධියට කථා කරන දහමකි. එයතුල මිත්‍යාවන් හා මනුෂ්‍ය බුද්ධිය අවතක්සේරුවට ලක් කරන ක්‍රියාවන් නොමැත. ඒ අනුව පිලිම වන්දනය, පිහිටපැතීම, එයට ගෞරව දැක්වීම… යනාදී ක්‍රියාවන් අනුවනක්කාර මෝඩ ක්‍රියාවක් ලෙස ඉස්ලාම් පෙන්වා දේ. ‍ඉස්ලාම් දහම ප්‍රකාශ වූ ආරම්භ කාලයේ පිලිම වන්දනය ද එම අරාබී සමාජයේ පැවතී මිත්‍යා ඇදහිල්ලකි. එම මිත්‍යා විශ්වාසයට එරෙහිව නබිතුමාණන් ක්‍රියාකල අතර එම මිත්‍යාවෙන් ජනතාව මුදවාගැනීම සදහා විවිධ වූ කුර්ආන් පාඨයන් ද දෙවියන්ගෙන් පහල විය. ඉන් එක් වාක්‍යයක් ඔබගේ අවධානයට යොමු කරන්නේ නම්,

“මනුෂ්‍යයනි! ඔබට උපමාවක් කියනු ලබන්නේය. එයට සවන් දෙනු, අල්ලාහ් නොවන කුමක් ඔබ ආරාධනා කර අඩගසන්නේ ද ඒ සියල්ල එකට එකතු වී උත්සාහ කලත් මැස්සෙක් හෝ නිර්මාණය කල නොහැක. මැස්සෙක් නිර්මාණය කිරීම කෙසේ වෙතත් මැස්සෙක් ඔවුන්ගෙන් යමක් පැහැරගත්ත ද එය බේරාගැනීමට ද ඔවුනට නොහැකිය. ඔබ ආරාධනා කරන්නන් ද එවැනිය.”

(ශුද්ධ වූ කුර්ආනය)

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට අමතරව තවත් බොහෝ තැන්වල අල්ලාහ් (දෙවියන්) පිලිම වන්දනය , ප්‍රාර්ථනය හා ගෞරවදැක්වීම යන්න මිත්‍යාවක් බවත් බුද්ධිමත් මිනිසාගේ අනුවනක්කාර ක්‍රියාවක් බවත් අවධාරනය කරයි. ඉස්ලාම් මෙසේ අවවාද කර තිබිය දී ඉස්ලාමය තම ජීවිතයට ආදර්ශයක් කර ගතයුතු සමහරක් මුස්ලීම්වරුන් එම ඉගෙන්වීමන් පසෙකලා විවිධ වූ ලෞකික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් ඉහත මිත්‍යාවන් හි නිරතවේ. එවැනි සිදුවීමක් පසුගිය දිනක එක්තරා බ්ලොග් Blog එකක් මගින් දැකගන්නට ලැබුණී. ජාතික හැගීම දෝරගලන එම ලිපිය මෙහි පහතින් ඉදිරිපත් කරන අතර එය ජාතික හැඟීමක්ද? වියරුවක්ද? යන්න තීරණය කිරීම බුද්ධීය ඇති ඔබට භාරය.

එම ලිපියට අවධානය යොමු කිරීමට මත්තෙන් තවත් වැදගත් කාරණයක් ලාංකීය සමාජයට පැවසීමට ඇත. එනම් යහමග මීට පෙර ද අවධාරනය කලාසේ වර්ථමානයේ මුස්ලීම් ජාතික කිසිදු දේශපාලඥයෙක් ඉස්ලාම් දහම හෝ මුස්ලීම් ජනතාව නියෝජනය නොකරනවා යන්න අදත් අවධාරනය කරමි. නමුත් සෑම මුස්ලීම්වරයෙකු තුලින්ම ඉස්ලාම් දහම ප්‍රකාශවන බැවින් පහත දැක්වෙන ආකාරයේ ක්‍රියාවන් පිලිබදව ඉස්ලාමීය තීන්දුව සමාජයට ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් පැන නැ‍ඟේ. ඒ අනුව පහත ඒ ක්‍රියාව ඉස්ලාමීය ඉගෙන්වීමන්ට පරස්පර වූ ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන බුද්ධිමත් ජීවියාගේ මෝඩ ඉස්ලාම් වි‍ෙරාධි ක්‍රියාවකි.

දැන් වර්ෂය මුළුල්ලේ සතුන්ගේ අසූචිවලින් නැහැවෙන වර්ෂයේ දවසක් මල්මාල පලදින ඒ ජාතික හැඟීම හා ශෝකාලාපය බලමු.


බලාපල්ලා, අසිංහලයො මට මල්මාලා දානවා | The Irony

අද මගේ එකසිය හතළිස් පස් වැනි උපන්දිනේ. හොඳට ඇස් ඇරලා බලාපල්ලා. කවුද මට මල්මාලා දාන්නේ? ආරිය සිංහල ඇඳුම ඇඳගත්තු, මේ මං වගේ ආරිය සිංහල නමක් ගත්තු සිංහල බෞද්ධයෙක්ද? නෑ. පරසුද්දගෙ කලිසමයි ටයි එකයි දාගත්තු මරක්කලයෙක්. ඒ මොකද? උඹලගෙ මහ රජාටයි හැට හුටහමාරක් ඇමති මණ්ඩලේටයි මට මල්මාලා දාන්ඩ එන්ඩ වෙලාවක් නැති නිසා. ජාතික හෙළ උරුමයට මාවයි කැප්පෙටිපොළවයි, සෝම හාමුදුරුවන්වයි මතක් වෙන්නෙ මැතිවරණයකට ඉස්සෙල්ලා විතරයි. චන්දෙදි ලැජ්ජා නැතුව මාව විකුණන චම්පික රණවක, විමල් වීරවංශ ගොන් තඩියන්ට වත් අද මාව මතක නෑ. උන් යන්ඩ ඇති අනර්කලී කෙල්ලට කැන්වසිං පාරක් දාන්ඩ. අල වගේද ගෝවා.

එක අතකට තම්බියෙක් ඇවිල්ලා මට මල්මාලා දාන එකෙත් පුදුමයක් නෑ. මොකද කොළඹ රටේ අද වැඩි හරියක් ඉන්නෙ අසිංහලයොනෙ. අහ ගනිල්ලා. තම්බියන්ට දෙමළුන්ට මොළේ තියෙනවා. උඹලට නෑ. ඒකයි උං කොළඹ රටට ගාල් වෙන්නේ. දියුණු වෙන්න ලේසිම පළාත ඒක. උඹල ඉතින් දේශීය ආර්තිකය, ජාතික චින්තනය රැක ගන්ඩ ඕනැ කියල රට්ටුන්ට ණය වෙවී, කාස්ටක අව්වේ වේළි වේළි, දවස පුරා ඩහදිය පෙරාගෙන, රෑට නින්දක් නැතුව මදුරුවො තල තලා හොරොව්පතානට වෙලා පොළොව කොට කොටා, සූරියප්පෙරුම “අපේ ගම” වැඩසටහනේ කියන බයිලා උජාරුවෙන් අහගෙන මෝඩ චූන් එකක් අරගෙන හිටපල්ලා. කොල්ලො හමුදාවට යවලා කෙල්ලො ගාමන්ට් ෆැක්ටරි වලට යවපල්ලා. GSP+ නැති උනහම උඹලට කන්ඩ වෙන්නෙ පිදුරු තමයි. ඊට පස්සේ තව ලෝන් එකක් දාගන්ඩ පර සුද්දො පස්සෙ හරි, චීනා පස්සෙ හරි ඉරානෙ තම්බියො පස්සෙ හරි පලයල්ලා.

උඹලට දේශීය ග්‍රාමීය ආර්තිකයේ වටිනාකම කියල ඉනා බේත් දීල දරුවො ගමේ ඉස්කෝලෙට යවල ඉංගිරිස් නැතුව සිංහලෙන් විතරක් ඉගෙනගනිල්ලා කියන එවුන්ම උන්ගෙ දරුවො රෝයල් එකටයි ඕස්ට්‍රේලියාවෙ විශ්ව විද්‍යාල වලටයි යවන හැටි කට බලියාන බලාන හිටපල්ලා. සිංහල බෞද්ධකම ගැන උජාරුවෙන් කතා කරන එවුන්ම තමන්ගෙ දරුවො පර සුද්දගෙ ඇංග්ලිකන් සැන් තෝමස් එකට යවන්නෙ මොකද කියල අහපල්ලා උඹලට කොන්දක් කියල එකක් තියෙනවනම්.

උන් දන්නව උඹල රජ ගොන්නු කියලා. මොකක් හරි කලින් අහල නැති වචනයක් උඹලගෙ ගොං මොළ වලට දැම්මහම උඹලත් චතුස්කෝටිකේ, චතුස්කෝටිකේ, චතුස්කෝටිකේ කියලා මතුර මතුර ඉඳීවි රට හරක් වගේ, බත් කන්ඩ වත් සිහියක් නැතුව. උඹලට “අපේ ප්‍රවාද” හදන්ඩ කියල උන් “උන්ගේ ගෙවල්”, ”උන්ගේ පවුල්” සහ “උන්ගේ ලෝකය” හදාවි, උඹලගෙ ඇහැට වැලි ගහල.

පියසිරි විජේනායක උඹලට සඟිස්කෘතිය කියල දේවි. විමල් වීරවංස උඹලට සාහිත්‍යය කියලා දේවි. තිලංග සුමතිපාල සම්මා ආජීවය කියල දේවි. අනර්කලී කෙල්ල දේශපාලනය කියල දේවි. නිමල් සිරිපාල යහපත් සෞඛ්‍ය පුරුදු කියාදේවි. ඇයි මේධානන්ද ගොයියා පුරා විද්‍යාව කියල දේවි. තව මොනව හරි මදි නම් කැළණියේ ආචාර්ය ඩබල මර්වින් සිල්වගෙනුයි නලින් ද සිල්ව ගෙනුයි අහල දැනගෙන, දේශද්‍රෝහී රන්දෙපැය බලන්නෙ නැතුව දේශප්‍රේමී අයි.ටී.එන් එකේ පබා බලල, රෑට කලා වැවේ දිය රැළි නංවන්ඩ චූ පාරක් දාල බුදිය ගනින්. දැන් යුද්ධයත් දිනපු එකේ හෙට අනිද්දම කේතුමතී රාජ්‍යය පහළ වෙනවා ස්ථිරයි.

බලාපල්ලා දෙමළු දිහා. බලාපල්ලා තම්බියො දිහා. උන් ජීවිකාව ගෙනියන්ඩ පුළුවන් කරුමාන්තයක් පුරුදු පුහුණු වෙනවා, කාලෙ නාස්ති නොකර. ඊට පස්සෙ උන් ලේසියෙන්ම පෞද්ගලික අංශෙ රස්සා හොයා ගනීවි. උඹලා ඉංගිරිස් ටිකක් ඉගෙන ගන්නෙත් නෑ, වැඩකට ඇති කරුමාන්තයක් ඉගෙන ගන්නෙත් නෑ. උඹලට තියා උඹලගෙ අප්පොච්චිලාටවත් නොතේරෙන ජාතික චින්තනය ගැනයි, චතුස්කෝටිකය ගැනයි, දඬු මොණර ගැනයි බයිලා කිය කියා හිටපල්ලා දියසේන කුමාරයා පහළ වෙනකල්.

බලාපල්ලා, අසිංහලයො මට මල්මාලා දානවා | The Irony


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම