යහපත් රටක් උදෙසා වූ අරඟලයන් ට ජය වේවා!

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


කාලීන වශයෙන් වැදගත් වූ දේශපාලනමය මාතෘකා බොහෝමයක් ඉස්ලාම් දහමේ දෘෂ්ඨියෙන් මීට ඉහත යහමග අඩවිය තුල සාකච්චා කොට ඇත. (එම ලිපි ‘දේශපාලනය’ යන ගොනුව යටතේ කියවීමට හැක.) එම සාකච්චාවේ තවත් දිගුවක් ලෙස ශ්‍රී ලාංකීය වත්මන් දේශපාලන තත්වය මූලික කරගෙන ‘අපේ රටේ නායකයින් සහ පාලකයින්’ පිලිබදව කරුණු කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට අදහස් කරමි.

යහපත් නායකත්වය යන්න ගුණාංගයන් හා හැකියාවන් මත ගොඩනැඟෙන්නකි. යහපත් නායකත්ව ලක්ෂණ අතර විනය, කැපවීම, අවංකත්වය, බුද්ධිය සහ ධර්මිෂ්ඨ බව යනාදීය ප්‍රධාන තැනක් ගනී. මෙම ලක්ෂණ අතුරින් එකක් ගිලිහී ගිය විට, එතැන ‘යහපත් නායකත්වය’ යන්නට කිසිදු ඉඩක් නැත. විනයක් නැති, කැපවීමක් නැති, අවංක නැති, බුද්ධියක් නැති, ආගමික විනයක් නැති පාලකයෙකු මොහොතක් උපකල්පනය කර බලන්න. එතැන පවතින අරාජිකත්වය ඔබට අවබෝධ වනු ඇත. මෙවන් අරාජික නායකයින් සහ පාලකයින් වත්මන් ලෝකයේ තැනින් තැන පාලනය කරමින් සිටිනවා යන්න තිත්ත වූ ඇත්තයි. එවන් තැන් අතුරින් අපේ රටත් ලෝකය හමුවේ ඉදිරියෙන්ම සිටිනවා යන්න වඩාත්ම තිත්ත වූ ඇත්තයි.

ලෝකයේ විද්වතුන් සහ නායකයින් බොහෝමයක් අප දියුණිවේ ඉනිපෙත්තෙහි සිටින බවටත්, ඉදිරි කාලය තුල අඟහරු සහ චන්ද්‍රයා මත මිනිස් ජනාවාස ඇති කල හැකි බවටත් මහා ඉහලින් පුරසාරම් දොඩවමින් අද අපව නතර කොටය ඇත්තේ කොතැනද?. අපට සහ අපේ දරුවන්ට ඉතිරි කොට ඇත්තේ කවර ආකාරයේ ලෝකයක්, රටක්, සමාජයක්ද?. ඔවුන්ගේ පැවැත්ම උදෙසා ආදරය වෙනුවට වෛරයත්, සමඟිය වෙනුවට පලිගැනීමත්, සමාදානය වෙනුවට යුද්ධයත්, සහෝදරත්වය වෙනුවට ඊර්ෂ්‍යාවත්, උපකාරය වෙනුවට වංචාවත්, සමඟිය වෙනුවට ජාතිවාදයත්… සමාජය තුල වපුරවමින් ඔවුන් ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය භූමිකාව සමාජය තුල නිර්මාණය කරගත්තා මිස ඉන් එහා ඔවුන් කල යමක් තිබේද?.

රටක් සමාජයක් මෙලෙස අන්දමින් තම බලය රුකගන්න කටයුතු කරන නායකයින්ට නම් මේ පොළොව මත හිඟ නැත. ලෝකයක් ජාත්‍යන්තරයක් ගැන කථා කුමකටද? අප රට තුලම එවැනි කාලකන්නි චරිතවලට හිඟයක් නැත. අප වසර 74 ක් මුළුල්ලේ කලින් කලට විවිධ බෝඩ් ලෑලිවලට අන්දුනු ඇන්දිල්ලත්, ඒ තුලින් ඔවුන් අපට ඉතිරි කොට ඇති රටත්, ලෝකයා ඉදිරියේ අපව දණගස්සවා ඇති තරමත් ඔබට තවම අවබෝධ නොවන්නට හේතුවක් නැත.

මේ බෝඩ් ලෑලි මතකද බලන්න…

  • 1965 – වගා සංග්‍රාමය
  • 1970 – ජනතා රජය
  • 1977 – ධර්මිෂ්ඨ සමාජය
  • 1994 – සාමය හා සමෘද්ධිය
  • 2004 – යලි පුබුදමු ශ්‍රී ලංකා
  • 2005 – සුබ අනාගතයක්
  • 2010 – ආසියාවේ ආශ්චර්‍යය
  • 2015 – යහ පාලනය
  • 2019 – සෞභාග්‍යයේ ඉදිරි දැක්ම

ඉහතින් දැක්වෙන්නේ අපේ රටේ පාලකයින් විවිධ කාලවල අපට ලබාදුන් සුන්දර මැතිවර්ණ පොරොන්දුය. මෙලෙස කලින් කලට ආකර්ශණීය පොරොන්දු පිට පොරොන්දු ලබාදෙමින් ඔවුන් අවසානයේ අපට ඉතිරි කොට ඇති රටේ තත්වය කුමක්ද?.

  • ජාතීන් අතර වෛරය හා අවිශ්වාසය,
  • රට හැරයාම සහ බුද්ධිගලනය,
  • උග්‍ර මන්දපෝෂණය,
  • රුකියා විරහිතභාවය,
  • සුළු හා මධ්‍ය ප්‍රමාණයේ කර්මාන්ත කඩා වැටීම,
  • සාරධර්ම පිරිහුනු සමාජයක් නිර්මාණය වීම,
  • අවනීතිය රජ කිරීම,
  • ඉහල උද්ධමන තත්වයක් ඇති වීම,

මේ ආකාරයට දිනෙන් දින පිරිහෙමින් කඩා වැටෙන මේ ලක් මාතාවගේ වත්මන් තත්වය බිලියන 4429 (ඒ කියන්නේ රුපියල් ලක්ෂ 4429,000,000,000.00) ක අයවැය පරතරය සහ රටේ ආනාගත කොඳුනාරැටිය වන 56000 ක් දරුවන් උග්‍ර මන්දපෝෂණයෙන් පෙලීම යන්න ඔබ දන්නේද?. මෙවැනි රෝගී පණ අදින රටක් නිර්මාණය කිරීමේ මහඟු පාපකර්මයට දායක වූ අපේ නායකයින් සහ ඔවුනට ආවැඩු වන්දිබට්ටයින් මෙම ඉරණමේ වගකීම භාරගත යුතු නොවේද?. මෙහි විශ්මයජනක හා ඛේදජනකම කාරණය වන්නේ තවමත් ‘මේ ක්‍රමය හොදයි – ඉස්සරහට හරි යයි’ යැයි පවසමින් එම අසාර්ථක නායකයින් හා පාලකයින් ආවඩන සමහරක් මේ සමාජය තුල සක්‍රියව සිටීමයි. මෙහි තවත් විශ්මයජනක හා ඛේදජනක කාරණය වන්නේ, නොමඟ යන නායකයින් හා පාලකයින් හදුනාගෙන ඔවුනට අවවාද අනුශාසනා කොට ඔවුන්ව නිසිමඟට ගෙන යහපත් රටක් ගොඩනඟන්න පෙරමුණ ගතයුතු ආගමික නායකයින් සහ පූජකවරුන් ද රටේ පොදු ජනයාට බණ කියමින් ඔවුන් නොමඟ යැවීමයි. මෙයත් අසාර්ථක පාලකයින්ගේ කුමණ්ත්‍රනවල ප්‍රධාන පියවරක් යන්න පහත සදහන් ලොව ප්‍රසිද්ධ කියමන තුලින් ඔබට පැහැදිලි වනු ඇතැයි සිතමි. එනම්,

‘අසාර්ථක පාලකයෙක්, රටේ ජනතාව තම පාලනයට එරෙහිවීම වලකාලීමට නීතියද? මනසින් එරහිවීම වලකාලීමට ආගම ද උපයෝගි කරගනී.’

වත්මන් ශ්‍රී ලංකාව තුල නිර්මාණය වී ඇති තත්වය හමුවේ රටේ මහා ජන කැළඹීමක් පවතී. එහිදී රටේ නායකයින්ට සහ පාලකයින්ට එරෙහිව මතු වන ජන හඬ පාලනය කිරීමට රටේ නීතිය උපයෝගි කොටගෙන රජය ගෙනයන විවිධ ක්‍රියාකාරකම් අප දිනපතා අසන්නෙමු, දකින්නෙමු. ඊට සමාන්තරව රටේ විවිධ ජනප්‍රිය ආගමික නායකයින් හා පූජකවරුන් ද සෘජුව හා වක්‍ර ආකාරයට රටේ පාලකයින්ට පක්ෂව රටේ ජනතාව ඉදිරියේ පහත ආකාරයේ බණ දෙසමින් සමාජය නොමඟ යැවීමන් ද සිදු වෙමින් ඇත. එනම්,

  • අපි දැහැමි ජනතාවක් ලෙස මෙවැනි මොහොතක ඉවසීමෙන් කටයුතු කරන්න ඕන,
  • මෙවැනි තත්වයන් රට තුල ඇති වන්නේ අපේ කරුමය නිසයි,
  • අපි පෙර ආත්මයන් හි කරපු වැරදි නිසයි මේ විදියට අප දුක්විඳින්නේ,
  • මේ වෙලාවේ අපි දානමාන පිංකම්වලට සිත යොමු කරන්න ඕන,
  • මේ වෙලාවේ පාලකයින් (හිට්ලර් වගේ) දැඩිව කටයුතු කිරීම අත්‍යඅවශ්‍යයි,

‘ඔව්’ අපේ ආගමික නායකයින් හා පූජකවරුන් පවසන ආකාරයට අප ක්‍රියා කලයුතු යන්න, සැබෑවක් යැයි වාදයකට පිලිගමු. එවිට අපේ නායකයින් ඔවුන්ගේ සොරකම්, වංචා, දූෂණ හා අක්‍රමවත් පාලන නිවැරදි කරගතයුතු නොවේද?. අපි අපේ කරුමය ලෙස සිතා කාලය ගෙවන ගමන් පාලකයින් වන ඔවුන් ඔවුන්ගේ වාසනාව ලෙස තව තවත් සොරකම්, වංචා, කොමිස්… යනාදී ලෙස පොදි බැඳගන්න ඉඩ හරින ලෙසද මේ වැදි බණ තුලින් පවසන්නේ. මේක මොන ලෝක දහමක්ද?

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ‘වත්මන් ශ්‍රී ලංකාව තුල අපේ නායකයින් සහ පාලකයින් යහමග ගැන්වීම පිණිස අරඟල කිරීම කාලීන අවශ්‍යතාවය. නමුත් එය ඉහතින් සදහන් අසාර්ථක නොමඟ ගිය නියකයින් මෙන් නොවී රටේ පවතින නීතියට අවනතව විනයක්, කැපවීමක් ඇතුව අවංකව හා බුද්ධිමත්ව ඉටු කිරීම අත්‍යඅවශ්‍යය. එසේම මෙම අරඟල තුල පටු වාසි ලබාගන්නට සහ මෙම අරඟල ආසර්ථක කරන්නට එන විවිධ පාර්ශවයන් නිවැරදිව හදුනාගැනීම ද අවශ්‍යය. එසේ හදුනාගන්නා පිලිලයන් ඉවත් කොට පිවිතුරු අරඟලයක් ලෙස ජයග්‍රහණය කරා මෙහෙයවීමත් එසේම මේ රටට නායකත්වයක් දීමටත් අවශ්‍ය යහපත් නායකත්වයන් ඒ තුල නිර්මාණය වීමත් අත්‍යඅවශ්‍යය’ යන්නයි.

ඒ සදහා ශ්‍රී ලාංකීය සියළු ජනයා තම තමන්ට හැකි උපරිමයෙන් හා සක්‍රියව දායක වීමට හැකි වේවා! යනුවෙන්ද, එසේම, කෘෂිකාර්මික රටක් ලෙස ‘(1965) වගා සංග්‍රාමය’ ජයගත් ස්වයංපෝෂිත රටක් ලෙසත්, එසේම ‘(1977) ධර්මිෂ්ඨ’ හා ‘(1994) සාමය හා සමෘද්ධිය පිරි සමාජයක් ලෙස ‘(2004) යලි පිබිදෙන්නටත්’, ඒ තුලින් රටට ‘(2005) සුබ අනාගතයක් හා ‘(2010) ආසියාවේ ආශ්චර්‍යය’ වීමට අවශ්‍ය ‘(1970) ජනතා රජයක්’ බිහිවීමට හා ඒ තුලින් ‘(2015) යහ පාලනයක්’ බිහිවී ‘(2019) සෞභාග්‍යයේ ඉදිරි දැක්ම’ ජයගන්නටත් වරම් ලැබේවා! යනුවෙන්ද ප්‍රාර්ථනය එක් කරමින් මේ සටහන අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම